IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වරලත් ගණකාධිකාරී ආයතනයෙන් අයවැයට යෝජනාවලියක්

 

  • මූල්‍ය ප්‍රතිපත්තිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම
  • දිගුකාලීන ආර්ථික වර්ධනයකට ශක්තිමත් ප්‍රතිපත්ති සැලසුම්
  • රාජ්‍ය - පෞද්ගලික කාර්ය සාධක බලකායක්
  • සමෘද්ධිමත් ආර්ථිකයකට පදනම දැමීම

 ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය 2025 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත රජයේ අයවැය ප්‍රකාශනයේ දී සලකා බැලීම සඳහා පුළුල් යෝජනා මාලාවක් ඉදිරිපත් කළේය. මෙම යෝජනා ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ වර්ධන ගමන් පථය ශක්තිමත් කරන අතරම, පාලනය, විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපත්තිය කෙරෙහි මහජන විශ්වාසය නැවත ඇති කිරීම අරමුණු කරගෙන සකස් කර ඇතැයි එම ආයතනය සඳහන් කරයි. 

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති හේෂණ කුරුප්පු මහතා විසින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත පසුගියදා මෙම යෝජනා භාරදී ඇත. උපසභාපති ටිෂාන් සුබසිංහ, බදු පීඨයේ සභාපති සාරා අෆ්කර්, විකල්ප සභාපති සමන් ශ්‍රී ලාල්, පීඨයේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලක්මාලි ප්‍රියංගිකා යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගී වූහ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ පාර්ශ්වකරුවන් අතර විශ්වාසය ඇති කිරීම සඳහා, තිරසාර ආර්ථික ප්‍රගතියක් සඳහා රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය අවධාරණය කරයි. දිගුකාලීන ආර්ථික වර්ධනයක් සහ මූල්‍ය විනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙම යෝජනා මගින් ඉස්මතු කර ඇත. බදු ඔම්බුඩ්ස්මන්වරයකු හඳුන්වාදීම, වේගවත් ඩිජිටල්කරණය හරහා මුදල් ගනුදෙනු අවම කිරීම, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ගිවිසුම් පුළුල් කිරීම සහ පරිපාලන විධිවිධාන සංශෝධනය කිරීම යන කාරණා ප්‍රධාන නිර්දේශ අතර වේ. ඊට අමතරව, මෙම යෝජනා මගින් රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව අවධාරණය කරන අතරම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ද පෙනී සිටී. එහි සාමාජිකයන්ගේ සහ කොටස්කරුවන්ගේ සාමූහික හඬ පිළිබිඹු කරමින්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ, උපදේශන මාලාවක කූටප්‍රාප්තිය මෙන්ම, වාර්ෂික බදු දේශනය, දෙදින ආර්ථික හා බදු සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය පිළිබඳ මහජන සංජානන සමීක්ෂණය මෙන්ම, බදු, ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඵලදායී යෝජනා ජනනය කිරීම සඳහා කැප වූ සම්මන්ත්‍රණ සහ අන්තර්ජාල සම්මන්ත්‍රණ හරහා ලබාගත් ප්‍රතිඵලයක් ලෙසින්ද හඳුන්වා දිය හැකිය.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම යටතේ කර්මාන්ත පොකුරු, වෙළෙඳ සංගම් සහ අදාළ බලධාරීන් සම්බන්ධ කර ගනිමින් බලපෑම්කාරී ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම සඳහා පෙනී සිටී. කාලෝචිත හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා, රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම නියෝජිතයන්ගෙන් සමන්විත කැපවූ කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ආයතනය යෝජනා කරයි. 

බදු ආශ්‍රිත දුක්ගැනවිලි සාධාරණව හා අපක්ෂපාතීව විසඳීම සඳහා නිර්මාණය කර ඇති ස්වාධීන අධිකාරියක් වන බදු ඔම්බුඩ්ස්මන්වරයකු පිහිටුවීම ද ප්‍රධාන නිර්දේශයක් වන අතර, එමඟින් බදු ගෙවන්නන්ගේ විශ්වාසය වර්ධනය වේ. තවද, බදු ප්‍රතිපත්ති නිතිපතා සමාලෝචනය කිරීම සහ ප්‍රතිපෝෂණ ලබාදීම සඳහා වෘත්තීය බදු පොකුරක් නැවත ස්ථාපිත කිරීමට ද ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ඉල්ලා සිටින්නේ, ඒවා අනුවර්තනය විය හැකි සහ ජාතික ආර්ථික ඉලක්ක සමඟ පෙළගැසී ඇති බව සහතික කරන නිසාය.

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සහ පැහැදිලි ගනුදෙනු සීමාවන් නියම කිරීම මගින් ඩිජිටල්කරණය සහ විනිවිදභාවය යන ක්ෂේත්‍රයේ  මුදල් ගනුදෙනු අවම කිරීමට ආයතනය නිර්දේශ කරයි. මෙම මාරුවීම හරහා විනිවිදභාවය වැඩි දියුණු කරන අතර, බදු පදනමද පුළුල් කරනු ඇත. මෙම සංක්‍රාන්තියට සහාය වීම සඳහා ශක්තිමත් යටිතල පහසුකම් සහ මහජන පුහුණුවක අවශ්‍යතාව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය අවධාරණය කරයි. මීට අමතරව, ප්‍රධාන ආයතන හරහා පුරවැසි දත්ත සම්බන්ධ කරන මධ්‍යගත ජාතික දත්ත සමුදායක් සඳහා පෙනී සිටින ඩිජිටල් ඒකාබද්ධතා යෝජනාවක් ද ඉදිරිපත් කර ඇත. මෙම මුලපිරීම හරහා පෙර-පුරවන ලද බදු ප්‍රතිලාභ, ක්‍රියාවලි විධිමත් කිරීම සහ නිරවද්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා පහසුකම් සපයනු ඇත.

ජාත්‍යන්තර වෙළෙඳාමේ වැදගත්කම හඳුනාගනිමින්, පුළුල් වෙළෙඳ ගිවිසුම් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ශක්තිමත් කිරීම මගින් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය යෝජනා කරයි. එවැනි ගිවිසුම් මගින් දේශීය ව්‍යවසායකයන්ට සහ නිෂ්පාදනවලට තරගකාරී වාසියක් ලබා දෙනු ඇත. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ බදු ගිවිසුම් ජාලය පුළුල් කිරීම ද නිර්දේශ කරනු ලබන අතර, රටේ ගෝලීය තත්වය ඉහළ නැංවීම සඳහා ස්වයංක්‍රීය තොරතුරු හුවමාරු ගිවිසුම් වැනි හොඳම ජාත්‍යන්තර භාවිතයන් අනුගමනය කිරීම ද නිර්දේශ කෙරේ.

බදුකරණයේ පරිපාලන ප්‍රතිසංස්කරණ සඳහා, සාධාරණ තත්වය යටතේ පොලිය අත්හැරීමට හෝ අඩු කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට බලය පැවරීමට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය යෝජනා කරයි. බදු ආරවුල් සහ මුදල් ආපසු ගෙවීම් සඳහා පොලී අනුපාත සමාන කිරීම, ආරවුල් අවසාන තීරණයෙන් පසුව පමණක් පොලිය පැනවීමෙන් සාධාරණත්වය සහතික කිරීම ද ආයතනය නිර්දේශ කරයි.

රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, මෙම යෝජනාවල තවත් මුල් ගලක් වන අතර, පාලනය සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය සතු ව්‍යවසාය (SOEs) සඳහා උපදේශක මණ්ඩලයක් පිහිටුවීම සඳහාද නිර්දේශ ඉදිරිපත් කර ඇත. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලින් සඳහා විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්ද ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පෙනී සිටියි.

අවසාන වශයෙන්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යටතේ, ජාත්‍යන්තර රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිති (IPSAS) සමඟ අනුකූලව උපචිත ගිණුම්කරණ ප්‍රමිතිවලට මාරුවීමට ද ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය නිර්දේශ කරයි. සවිස්තරාත්මක ක්‍රියාකාරී සැලැස්මක්, පැහැදිලි සන්ධිස්ථාන සහ ප්‍රමාණවත් අයවැය ප්‍රතිපාදන මගින් මෙම සංක්‍රාන්තියට සහාය ලබාදෙනු ඇත. 

මෙම ප්‍රතිසංස්කරණ මෙහෙයවීමේ දී ප්‍රධාන හවුල්කරුවකු ලෙස ස්ථානගත වෙමින්, රාජ්‍ය අංශයේ මූල්‍ය කළමනාකරණයේ එහි සුදුසුකම් ද ආයතනය විසින් ඉස්මතු කරයි. මෙම හමුවේදී, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශයේ පාර්ශ්වය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ (APFASL) උපායමාර්ගික සැලැස්ම මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සන්ධිස්ථාන සමාලෝචනය ද කුරුප්පු මහතා විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාට භාර දුන්නේය.

ආයතනයේ කැපවීම අවධාරණය කළ කුරුප්පු මහතා, ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය කේන්ද්‍රගත විය යුතු තීරණාත්මක අවස්ථාවක ශ්‍රී ලංකාව සිටින බවත්, තිරසාරභාවය, විනිවිදභාවය සහ වගවීමට ප්‍රමුඛත්වය දෙන හොඳ මූල්‍ය ප්‍රතිපත්ති හරහා ජාතියට සහාය වීමට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය දැඩි ලෙස කැපවී සිටින බවත් පැවැසීය.

“මෙම යෝජනා හරහා පිළිබිඹු කරන්නේ ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ මූල්‍ය පරිසර පද්ධතියේ ඉදිරියෙන්ම සිටින අපගේ සාමාජිකයන්ගේ සාමූහික විශේෂඥතාව සහ තීක්ෂණ බුද්ධියයි. ඇතුළත් ප්‍රතිපත්ති සැලසුම් කොට පෝෂණය කිරීම, ඩිජිටල්කරණය වේගවත් කිරීම සහ රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීම වැනි ක්ෂණික අභියෝගවලට මුහුණ දීමෙන්, අපට ඔරොත්තු දෙන සහ සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා වේදිකාව සැකසිය හැකි බව අපි විශ්වාස කරමු” යැයි ඔහු පැවසීය.

තවද, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ හරහා වත්මන් මූල්‍ය අභියෝගවලට මුහුණ දීම පමණක් නොව, දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා අඩිතාලම දැමීම ද අපේක්ෂා කරන බවද කුරුප්පු මහතා වැඩිදුරටත් පැවසීය. “සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් සාධාරණ හා විනිවිද පෙනෙන මූල්‍ය පරිසරයක් අපට සහතික කළ හැකි” යැයි ඔහු තවදුරටත් පැවසීය. 



අදහස් (0)

වරලත් ගණකාධිකාරී ආයතනයෙන් අයවැයට යෝජනාවලියක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site