IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සියල්ලටම වගකිවයුත්තේ රාජ්‍ය අංශයද ?


“ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය මුළු රැකියා නියුක්තියෙන් සියයට 15 ක් සහ විධිමත් රැකියා නියුක්තියෙන් සියයට 35 ක් නියෝජනය කරන අතර, එය රාජ්‍ය වියදම්වලින් සියයට 26 ක් සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් පරිභෝජනය කරයි. විශේෂයෙන්, 2005 සිට රාජ්‍ය අංශයේ රැකියා නියුක්තිය සියයට 60 කින් පමණ වැඩි වී තිබේ. කෙසේ වෙතත්, ලෝක ව්‍යාප්ත පාලන දර්ශකයට (Worldwide Governance Index - WGI) අනුව ශ්‍රී ලංකාවේ රජයේ කාර්ය සාධනය “දුර්වල” ලෙස සලකනු ලබන අතර, රජයේ කාර්යක්ෂමතාව සෘණ 0.65 කි” යැයි ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පවසයි. 

ඇඟිලි දිගු කිරීම

2024 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකයන් හමුවූ විට, රජයේ අරමුණු සහ රාජ්‍ය සේවයේ සාම්ප්‍රදායික මෙහෙයුම් ක්‍රම අතර පරතරයක් ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය පරිපාලනයේ ක්‍රියාකාරීත්වය වෙනස් විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

දෙසැම්බර් 20 වැනි දින දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සමුළුව ඇමැතූ ජනාධිපතිවරයා, වත්මන් අකාර්යක්ෂමතාව සහ මහජන විශ්වාසය නොමැතිකම පිළිබඳව සිය කනස්සල්ල පළ කළ අතර, රාජ්‍ය සේවය එහි අපේක්ෂිත අරමුණුවලින් බැහැර වී ඇති බවත්, එහි කාර්යක්ෂමතාව යථා තත්වයට පත් කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිසංස්කරණවලට භාජන විය යුතු බවත් අවධාරණය කළේය.

කිසියම් හෝ සියලුම අයහපත් දෙයක් දුටු විට දේශපාලනඥයන්, පෞද්ගලික අංශය, චින්තකයන්, ශාස්ත්‍රාලිකයන් සහ මහජනතාවගේ ඇඟිලි දිගු වන්නේ රාජ්‍ය අංශය දෙසටය. මෙම අංශය ඉතා විශාල බවත් ජනගහණයට, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ පෞද්ගලික අංශයට සාපේක්ෂව අසමාන බවත් කියැවේ. උදාසීන, අධික නියාමනය, අධික තදබදය, නිලධාරිවාදී, උදව් නොකරන, අකාර්යක්ෂම, අවිනිශ්චිත සහ දූෂිත බවට නිරන්තරයෙන් රාජ්‍ය අංශයට දොස් පවරනු ලැබේ.

රාජ්‍ය අංශයට ඇඟිල්ල දිගු කර ශෝක වීම පහසු නමුත්, එය පමණක් ප්‍රමාණවත් නොවේ. එය එසේ වන්නේ ඇයි සහ රාජ්‍ය අංශයේ සැපයුම වැඩිදියුණු කිරීම සඳහා කළ හැකි පිළියම් මොනවාද යන්න පරීක්ෂා කිරීම අවශ්‍ය වේ. දුරදිග යන ප්‍රතිසංස්කරණ හඳුන්වා නොදී, සංඛ්‍යාව අඩු කිරීමෙන් පමණක් රාජ්‍ය අංශය වඩා හොඳ එකක් නොවේ.

තවත් කනස්සල්ලට කාරණයක් වන්නේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් ඇතුළු රැකියා සොයන්නන් අඩු වැටුප් ලබන රාජ්‍ය අංශයට සම්බන්ධ වීමට කැමති වන්නේ මන්ද යන්නයි. සූදානම් කළ පැහැදිලි කිරීම නම්, රාජ්‍ය අංශයේ කෙනකුට “වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අවශ්‍ය නැත”, “රැකියා සුරක්ෂිතභාවය සහතික කෙරේ”, “වැටුප් වර්ධක සහ උසස්වීම් ඉබේ ලැබේ” සහ විශ්‍රාම වැටුප්, තීරු බදු රහිත වාහන බලපත්‍ර වැනි “විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලැබීමට” හේතු වන බවයි. 

කාර්යයක් නොමැතිව වෙලාවට වැඩ කිරීම

උදෑසන අලංකාර ලෙස ඇඳ පැළඳ සිටින කාන්තාවන් පැමිණීමේ ලේඛනයේ ඇති “රතු ඉර” වැදීම වළක්වා ගැනීම සඳහා රජයේ කාර්යාලයකට ඉක්මනින් යාම අසාමාන්‍ය දෙයක් නොවේ. ඒ හා සමානව, සවස් වරුවේ ඔවුන් පොදු ප්‍රවාහන සේවයේ අසුනක් ලබා ගැනීමට දුව යනු දැකිය හැකිය. රීතියේ සඳහන් වන්නේ උදෑසන 8:30 සිට පස්වරු 4:15 දක්වා කාර්යාලයේ සිටිය යුතු බවයි. ඔබ එම කාලය ගත කරන්නේ කෙසේද සහ කුමක් කරන්නේද යන්න එහි සඳහන් නොවේ. රීතිය වෙලාවට වැඩ කිරීම ගැන කතා කරයි. එහෙත් නිශ්චිත කාර්යයක් හෝ ඉලක්කයක් ගැන කතා නොකරයි. 

බොහෝ සේවකයෝ කාර්යාලයට පැමිණ නැවත නිවෙසට යාම සඳහා සැතපුම් හා පැය ගණන් ගමන් කරති. ඔවුහු සේවා ස්ථානයෙන් ඈත්ව, තම පවුල් සමග තම තමන්ගේම නිවෙස්වල ජීවත් වෙති. ඔවුන්ට කාර්යාලය, නිවෙස, පවුල සහ ඔවුන්ගේ රෝගී මහලු මවුපියන් නඩත්තු කිරීමට සිදුවේ. රාජ්‍ය සේවකයකුට සේවා ස්ථානයට ආසන්නව පදිංචි වීමට වියදම් සාධකය ඉඩ නොදේ. ස්වාභාවිකවම, රාජ්‍ය සේවකයා උදේ සහ දහවල් කඩිමුඩියේ සිටින අතර 8:30 ත් 4:15 ත් අතර විවේක ගනියි.

පත්වීම් ලිපිය

රාජ්‍ය සේවයට බඳවා ගන්නා අයකුට පත්වීම් ලිපිය, රාජකාරි ලැයිස්තුව සහ නීති පොත සමඟ ලේඛන දෙකක් ලැබේ. කථිකාචාර්ය (අධ්‍යයන කාර්ය මණ්ඩලය), කථිකාචාර්ය නොවන ගුරු, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, අධ්‍යයන සහායක කාර්ය මණ්ඩලය සහ විධායක (පරිපාලන) ශ්‍රේණියේ තනතුරු සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පත්වීම් ලිපි සාම්පල කිහිපයක් මම පරීක්ෂා කළෙමි. මෙම එක් එක් කාණ්ඩයේ අපේක්ෂිත කාර්යභාරය එකිනෙකට වඩා බෙහෙවින් වෙනස්ය. මෙම සියලු තනතුරු සඳහා වන ලිපිය “ඔබ දරණ තනතුරට පත් කර ඇති බව මා ඔබට සතුටින් දන්වා සිටිමි” යනුවෙන් ආරම්භ වන අතර, “කරුණාකර මෙම ලිපිය ලැබුණු බව පිළිගෙන මෙහි දක්වා ඇති නියමයන් සහ කොන්දේසි මත ඔබ තනතුර පිළිගන්නේද යන්න සඳහන් කරන්න” යනුවෙන් අවසන් වේ. පවරා ඇති කාර්යය/ ඉලක්කය හැර අනෙකුත් සියලුම කරුණු ගැන ලිපියෙන් කතා කරයි. මෙය සියලුම රාජ්‍ය ආයතනවලට පොදුය. එසේ නම්, රාජ්‍ය සේවකයකු නියමිත කාර්යය ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නේ ඇයි?

යල් පැනගිය බඳවා ගැනීමේ යෝජනා ක්‍රම/ උසස් කිරීම්

බඳවා ගැනීමේ/ උසස් කිරීමේ යෝජනා ක්‍රම යල් පැනගිය ඒවා වන අතර වේගයෙන් වෙනස් වන දේශීය අවශ්‍යතා සහ ගෝලීය ප්‍රවණතා සපුරාලීම සඳහා ඒවා සංශෝධනය කර නොමැත. ඒවා ආයතනයේ අරමුණු සමග නොගැලපේ.

පර්ෙ ය්ෂණ ආයතනයක “ප්‍රධාන අරමුණු” පහත දක්වා ඇත:

යල් පැනගිය නීති

රාජ්‍ය සේවකයාට සේවය කිරීමට සිදු වන්නේ බොහෝ සෙයින් යල් පැනගිය ආඥා පනත, පනත් සහ රෙගුලාසි මගින් වෙන් කරන ලද රාමුවක් තුළය. මෙම ලේඛන වෙනස් වන අවස්ථාවට ගැලපෙන පරිදි වෙනස්කම්වලට භාජන වී නොමැත. 

මෙම පනත් හඳුන්වා දී ඇත්තේ වනඅලි වාසස්ථාන සුදු අලි වාසස්ථාන බවට පත්වීමට පෙරය. දේශපාලන හේතු මත වරින් වර සිදුවන සමහර පැලැස්තර ඇලවීම් හැරුණුවිට, කිසිදු රජයක් මෙම ලේඛන නැවත පරීක්ෂා කර බැලීමට කරදර වී නොමැත.

රැකියා සොයන්නන්ගේ මනාපය

තවත් කනස්සල්ලට කාරණයක් වන්නේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් ඇතුළු රැකියා සොයන්නන් අඩු වැටුප් ලබන රාජ්‍ය අංශයට සම්බන්ධ වීමට කැමති වන්නේ මන්ද යන්නයි. සූදානම් කළ පැහැදිලි කිරීම නම්, රාජ්‍ය අංශයේ කෙනකුට “වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අවශ්‍ය නැත”, “රැකියා සුරක්ෂිතභාවය සහතික කෙරේ”, “වැටුප් වර්ධක සහ උසස්වීම් ඉබේ ලැබේ” සහ විශ්‍රාම වැටුප්, තීරු බදු රහිත වාහන බලපත්‍ර වැනි “විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලැබීමට” හේතු වන බවයි. නමුත්, තරුණයන් පෞද්ගලික අංශයට සම්බන්ධ වීමට මැළිවීමට සහ එහි බේරී සිටීමට නොහැකි වීමට බලපා ඇති වෙනත් හේතු පිළිබඳව සාකච්ඡා කර නොමැත.

රැකියා අපේක්ෂකයන්ගෙන් බොහෝ දෙනකු ස්වභාෂා අධ්‍යාපනය ලැබූ ග්‍රාමීය තරුණයන් වන අතර, ඔවුන්ට එතරම් නිරාවරණයක් සහ අන්තර් ක්‍රියාකාරිත්වයක් නොමැත. ඔවුන්ගේ ක්ෂිතිජය ඔවුන්ගේ ගමෙන් ඔබ්බට නොයයි. සේවා ස්ථාන සබඳතා, ව්‍යුහයන්, ක්‍රියාවලි, භාවිතයන් සහ පෞද්ගලික අංශයේ ආචාරධර්ම පිළිබඳ ප්‍රවේශය ඔවුන්ට හුරුපුරුදු නැත. පෞද්ගලික අංශයේදී, ආයතනික ඉලක්ක සපුරා ගැනීම සඳහා සේවකයකුට කළ යුතු රැකියාවක් තිබේ. ග්‍රාමීය තරුණයකු පෞද්ගලික අංශයට සම්බන්ධ වූ පසු ඔහුට දැනෙන්නේ ජලයෙන් ගොඩට ගත් මාළුවකු මෙනි.

අසාර්ථක අධ්‍යාපනය

අධ්‍යාපනය මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා උත්ප්‍රේරකයකි. අධ්‍යාපනය යනු ඵලදායී හා තරගකාරී ශ්‍රම බලකායක් සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා පුද්ගලයන්ට ලබා දෙයි. එය නවෝත්පාදන හා තාක්ෂණික දියුණුව සඳහා අත්‍යවශ්‍ය නිර්මාණශීලිත්වය සහ ගැටලු විසඳීමේ හැකියා පෝෂණය කළ යුතුය. එහෙත් අපගේ අධ්‍යාපන ක්‍රමයේ නිෂ්පාදනය අඩක් පුළුස්සන ලද සහ රැකියාවකට නුසුදුසුය. විශ්වවිද්‍යාල උපකුලපතිවරයකු සමග මම මෙම භූමිකාව ගැන සඳහන් කළ පසු, ඔහුගේ ක්ෂණික පිළිතුර වූයේ “චන්ද්‍රේ, විශ්වවිද්‍යාල කියන්නේ රැකියා කම්හල් නොවේ” යන්නයි. උත්ප්‍රාසාත්මක ලෙස, රාජ්‍ය අංශයේ ක්‍රියාකාරිත්වයට එරෙහිව කෑගසන අය අතර විශ්වවිද්‍යාල ඉදිරියෙන්ම සිටී. ඔවුහු “දුර්වල ක්‍රියාකාරී රාජ්‍ය අංශය” පිළිබඳ  පර්ෙ ය්ෂණ පවත්වන අතර, පත්‍රිකා ලියති. එහෙත් අවාසනාවකට මෙන්, ඔවුන් කැඩපත දෙස බලන්නේ නැත.

ඩිජිටල්කරණය පොරොන්දුවක් ලෙස පවතී

මහජනතාවට තම සේවා නිවසේ සිටම ලබා ගැනීමට හැකිවන පරිදි ඩිජිටල්කරණයේ අවශ්‍යතාව රජය අවධාරණය කරයි.

දත්ත මධ්‍යගත කිරීම සහ සේවා විමධ්‍යගත කිරීම මෙහි අරමුණයි. නමුත්, ශ්‍රී ලංකාවේ සේවා මධ්‍යගත කර ඇති අතර දත්ත විමධ්‍යගත කර විසිරුවා ඇත. අද වන විට දිස්ත්‍රික්ක 25 තුළම ජීවත් වන මුළු ජනගහනයම යම් සේවයක් ලබා ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයට යමින් සිටිති.  අදාළ සියලු තොරතුරු සහ ලේඛන ඔවුන් පදිංචි දිස්ත්‍රික්කය තුළ ඇත. සහතික කිරීම් සහ නිර්දේශ සියල්ල දිස්ත්‍රික්කය තුළ සිදු කෙරේ. බෙදාහැරීමේ ආයතනවල ශාඛා දිස්ත්‍රික්කය තුළ තොරතුරු ද්වාර, මාර්ගගත පහසුකම් සහ කාර්ය මණ්ඩලයෙන් සමන්විත වේ. කෙසේ වෙතත්, සියලුම මූලික සේවා සැපයීම කොළඹ දිස්ත්‍රික්කය තුළ සංකේන්ද්‍රණය වී ඇත. තොරතුරු සහ ලේඛන සමග කොළඹට පැමිණීමට ජනතාවට බල කෙරෙයි. ජනතාව පදිංචි ස්ථානයට සේවා ගෙන යාමට රජය අපොහොසත් වී ඇත; ඒ වෙනුවට, සේවා ලබා දෙන ස්ථානයට ජනතාව ගෙන එනු ලැබේ.

රාජ්‍ය සේවයේ දූෂණ

රාජ්‍ය සේවයේ දූෂණ චෝදනාව ගැන මම කතා කළ යුතු නැත. ජාතික වාණිජ මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා මේ පිළිබඳව කතා කර ඇත.

“දූෂණයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිදුවී ඇති දෙයට වගකිව යුතු එකම කණ්ඩායම රජයේ නිලධාරීන් නොවේ. රටේ දුක්ඛිත තත්වයට ව්‍යාපාරික ප්‍රජාවද වගකිව යුතුයි. “අල්ලස් දීමට සූදානම් අය නොමැති නම්, රාජ්‍ය සේවයේ කිසිවකුට අල්ලසක් පිළිගත හැකිද?” යැයි ඔහු ඇසුවේය. “කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම සඳහා ඔබ නිලධාරියකුට අල්ලසක් දීමට සූදානම් නැද්ද? නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියකුගේ ඇස් අන්ධ කර ගැනීම සඳහා ඔබ නීතියට පටහැනිව ක්‍රියා කළ අවස්ථාවක නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියකුට අල්ලසක් ලබා නොදෙන්නේද? ඔබ ඉදිරිපත් කළ අයැදුම්පතක් සැකසීම නිලධාරියකු ලවා කඩිනම් කිරීමට ඔබ අල්ලසක් ලබා දී නැද්ද?”

කාර්ය සාධන නිරීක්ෂණයක් නොමැතිකම

ඉදිරි අයවැයේදී රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කරන බව රජයේ ප්‍රකාශකයන් නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. ඕනෑම වැටුප් වැඩිවීමක් උද්ධමනයට මෙන්ම කාර්ය සාධනයටද පෙළගැස්විය යුතුය. රජයේ අයවැයේ සෑම අමාත්‍යාංශයක් සඳහාම ප්‍රධාන කාර්යයන්, ප්‍රධාන කාර්ය සාධන දර්ශක සහ තිරසාර සංවර්ධන ඉලක්ක දැක්වීමට පිටුවක් ඇත. මම කල්පනා කරන්නේ අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල කාර්ය මණ්ඩලය කවදා හෝ මේවා දෙස බලන්නේද, නැතහොත් අවම වශයෙන් ඒවායේ පැවැත්ම පිළිබඳව දැනුවත්ද යන්නය. මෙම දර්ශක සාක්ෂාත් කර ගැනීම පිළිබඳව අධීක්ෂණයක්/පසුවිපරමක් නොමැත. ඊළඟ අයවැය කැඳවීම තෙක් භාණ්ඩාගාරය සහ අදාළ අමාත්‍යාංශය යන දෙකම නිදිමතේ ගිලී යයි. කාර්ය සාධන ඇගයීම යනු රාජ්‍ය අංශයේ අමතක වූ විෂයයකි.

සමාප්තිය

මිතුරකු පැවසූ කතාවකින් මම මේ ලිපිය අවසන් කරමි: බීජ අර්තාපල් ආනයනය කිරීම සඳහා ඔහුගේ අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ලබාගත් පසුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගේ මිතුරා ආනයන ඇණවුම ලබා දීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතියේ පිටපතක් රැගෙන භාණ්ඩාගාරයට ගොස් ඇත. මෙය වසරේ අවසානයේ විය. වගා සමය සහ හදිසිභාවය පිළිබඳව භාණ්ඩාගාර නිලධාරියා නොදැන සිටියේය. ඔහුගේ ප්‍රතිචාරය වූයේ “ඇයි මෙතරම් ප්‍රමාද?” යන්නයි. මගේ මිතුරා, ලැජ්ජාව වළක්වා ගැනීම සඳහා, අනුමැතිය සඳහා ඊළඟ වසරේ මුල් භාගයේදී සතුටින් ගොස් තිබුණි. ඔහු එම භාණ්ඩාගාර නිලධාරියාම හමුවිය. මෙවර ඔහුගේ ප්‍රතිචාරය වූයේ “ඇයි මෙතරම් කලින්?” යන්නයි.

“ඩේලි එෆ්.ටී.” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ 
අනිල් කරුණාරත්න



අදහස් (0)

සියල්ලටම වගකිවයුත්තේ රාජ්‍ය අංශයද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site