ඇති තරම් සම්පත් තිබුණත් නිෂ්පාදන කිරීමට නිසි මඟ පෙන්වීමක් නෑ
දුෂ්කරතා මැද නිෂ්පාදන කළත් අලෙවිකර ගැනීම බරපතළ ප්‍රශ්නයක්
නිසි වැඩ පිළිවෙළක් ඇති කළොත් ගෘහ කර්මාන්ත රාශියක් දියුණුකර ජාතික ආර්ථිකයට දායකත්වය ලබා ගන්න පුළුවන්
ප්‍රදේශයේ රැකියා විරහිත අයට හොඳ විසඳුමක්
ඇතැම් නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් තිබුණත් නිෂ්පාදනය සහ ප්‍රවාහන ගැටලු රාශියක්
කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කළත් ඒවා ගමේ මුදලාලි ගන්නේ කුණු කොල්ලෙට
නිෂ්පාදකයන්ට අවශ්‍ය සහයදී වෙළෙඳපොළක් සකසාදීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි
කෘෂිකාර්මික ජීවන රටාවක දිවි ගෙවන මිණිපේ ගොවියාට එම කර්මාන්තයට අමතරව වෙනත් ආදායම් උපයන ක්‍රම හඳුන්වා දී නැත. පවුලේ ගෘහමූලිකයා පමණක් වර්තමානයේ උපයන ආදායම එම පවුල නඩත්තු කිරිමට ප්‍රමාණවත් නොවේ. මේ නිසා ගැමි ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෘහ ආශ්‍රිත ස්වයං රැකියා ව්‍යාපෘති හඳුන්වා දීමේ වැඩසටහනක් ආරම්භ කර දෙන ලෙස මිණිපේ කොට්ඨාසයේ රැකියා විරහිත තරුණ කාන්තාවෝ සහ ග්‍රාමීය ජනතාව අදාළ අංශවලින් ඉල්ලා සිටිති.
මිණිපේ කොට්ඨාසයේ ගෘහ ආශ්‍රිත කර්මාන්ත කිරීමට අවශ්‍ය පහසුකම් සහ සම්පත් තිබෙනමුත්, මෙම සම්පත්වලින් ප්‍රයෝජනයක් ගෙන ගැමියාගේ ආර්ථිකය වැඩි දියුණු කිරීමට කිසිදු ආයතනයක් පියවර නොගැනීම කනගාටුදායක තත්වයක් බව ද ඔවුහු පෙන්වා දෙති.
වඩු කාර්මික ශිල්පි ටී.ජී. සමරතුංග මහතා:
“රජය මගින් තනි පුද්ගලයන් සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන ස්වයං රැකියා ව්‍යාපෘති සම්බන්ධයෙන් පෙර හෝ පසු විපරමක් කරන්නේ නෑ. නිෂ්පාදන අලෙවි කිරීමට ක්‍රමවේදයක් සකස් කර නොමැතිකම නිසා ගෘහාශ්‍රිත ස්වයං රැකියාවල නිරත වී සිටින කාන්තාවන් ද එම රැකියාවලින් ඉවත් වී සිටිනවා. විශේෂයෙන් මෙම ප්‍රදේශයේ වේවැල් හා උණ බට පතුරු, තෘණ හා පන් වර්ග, කිතුල් හා පොල් පැණි, රසකැවිලි, බිම්මල්, කඩදාසි, ඇඟලුම් ආයතනවලින් ඉවතලන රෙදි ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු හා කුරහන් සහ කිතුල් වැනි පිටි වර්ග ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු බොහෝ ස්වයං රැකියා ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකියි. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට පොදු ස්ථාන සහ ගෘහවල අවශ්‍ය තරම් ඉඩ පහසුකම් ද ඇති බව ඔවුන් සඳහන් කරනවා. ස්වයං රැකියා ආරම්භ කිරීමට අමුද්‍රව්‍ය ප්‍රදේශයෙන් ලබා ගැනීමට හැකි වන අතර, අදාළ ව්‍යාපෘතිය සඳහා මූලික පුහුණුවක් සහ එයට වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට අවශ්‍ය යම් යම් මෙවලම් සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සහ එම නිෂ්පාදන අලෙවි කිරීමට සුදුසු වැඩපිළිවෙළක් ලබා දීමට යම් ආයතනයක සේවාව මේ සඳහා අවශ්‍ය වන බව ද ඉතා පැහැදිලි කාරණයක් බව කියන්න ඕනෑ.”
පාරම්පරික වට්ටි පෙට්ටි නිර්මාණයේ යෙදෙන හසලක ඇල්දම්පෝරුව ගමේ පදිංචි ඒ.ජී. බේබි මහත්මිය:
“මම වසර හතළිහක පමණ කාලයක පටන් පන් ආශ්‍රිත වට්ටි පෙට්ටි වැනි දෑ නිර්මාණය කරනවා. මෙම නිෂ්පාදනවලට අද නගරයේ මෙන්ම සංචාරකයන් ගැවැසෙන පළාත්වල ඉහළ ඉල්ලුමක් පවතිනවා. එහෙත් මේ නිෂ්පාදන අපිට නගරයට රැගෙන යෑමට නොහැකි තත්වයක් පවතිනවා. හේතුව, මම නිෂ්පාදනය කරන්නේ ගැමියන්ගේ ඉල්ලුමට පමණයි. මෙවැනි ව්‍යාපෘති සෑම ගමකම සෑම ගෘහණියකටම හඳුන්වා දීමටත්, එම නිෂ්පාදන සඳහා සුදුසු වෙළෙඳපොළක් ඇති කරනවා නම් රජයේ සහනාධාර මත යැපීමට උත්සාහ කරන ග්‍රාමීය පවුල් ඉන් ගොඩ ගෙන දේශීය ආර්ථිකයට ශක්තියක් ගෙන දෙන පවුලක් බවට පත් කිරීමටත් පුළුවන් වෙනවා. එපමණක් නෙමෙයි සමාජයෙන් ගිලිහී යමින් පවතින දේශීය කර්මාන්තය තරුණ පරපුර වෙත හඳුන්වා දී එය රැක ගැනීමටත් හැකි වෙනවා. විශේෂයෙන් මේ ගැන රජයේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් කියා මම යෝජනා කරනවා.”
ස්වයං රැකියාවක නියුතු රංජිත් කුලතුංග මහතා:
“මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වනගත කඳුකර ගම්මාන ගණනාවක කිතුල් ආශ්‍රීත නිෂ්පාදන නිපදවෙමින් පවතිනවා. කිතුල් හකුරු සහ කිතුල් පැණි මෙන්ම ඒ ආශ්‍රිතව නිෂ්පාදනය කරනු ලබන ආහාර වර්ගවලට පළාතේ විශාල ඉල්ලුමක් පවතිනවා. මෙම නිෂ්පාදන මිලදී ගැනීමට ඈත එපිට ගම් හා නගරවල සිට පාරිභෝගිකයන් පැමිණියත් එම ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් කිරීමට මේ ග්‍රාමීය නිෂ්පාදකයාට හැකියාවක් නැහැ.”
නකල්ස් කඳු පද්ධතියේ පිහිටි මැදකැලේ, උඩගලදෙබොක්ක සහ ගලමුදුන යන ගම්මාන කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධියක් ලබන ගම්මාන වේ. මීට අමතරව සෑම ග්‍රාම නිලධාරි වසමකම කිතුල් ගස් වැවී තිබුණත් එම ගස්වලින් කිසිදු ප්‍රයෝජනයක් ගැනීමට එම ගැමියා උනන්දුවක් දක්වන්නේ නැත.
මතු සඳහන් ගම්මානවල කිතුල් ගසෙන් ලබා ගන්නා ද්‍රාවණය උපයෝගි කරගෙන හකුරු සහ පැණි නිෂ්පාදනය කළත්, එම ගැමියාට නිසි මිලකට අලෙවි කරගැනීමට නොහැකිව ඇත්තේ එම ගම හා නගරය අතර පවතින දුර හේතුවෙනි.
මේ නිෂ්පාදනයක් නිසි මිලකට අලෙවි කරගන්නට නම් ගැමියාට වනාන්තරවල පිහිටි තම ගම්මානවල සිට ජනපදය ආසන්න ගම්මානයකට කිලෝමීටර් 6-7ක් වැනි දුරක් පා ගමණින් පැමිණ, එතැන් සිට කිලෝමීටර් 10-12ක් වැනි දුරකින් පිහිටි හසලක නගරයට පැමිණිය යුතුය. මේ ගමන ඉතා වෙහෙසකර හා කාලය ගත වන කටයුත්තකි. මේ වෙහෙසකර ගමන නිසාම පහළ ගමට රැගෙන එන නිෂ්පාදන ගමේ කඩේ වෙළෙන්දා ඉල්ලන සොච්චම් මුදලට දී එම කඩෙන්ම නිවෙසට අවශ්‍ය තුනපහ ද්‍රව්‍ය මිලට ගෙන පෙරළා ගම බලා පිය නැගීමට මේ නිෂ්පාදකයාට සිදුව තිබේ. සොච්චම් මුදලට ලබා ගන්නා හකුරු හෝ පැණි ඉතා ඉහළ ගණන්වලට ගමේ කඩේ වෙළෙන්දා විකුණන බව ද, මෙය ඉතා අවාසනාවන්ත තත්වයක් බව ද එම නිෂ්පාදකයෝ සඳහන් කරති. මෙම තත්වයට විශේෂ හේතුව වන්නේ, නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර නොගැනීම සහ එම නිෂ්පාදන සඳහා සුදුසු වෙළෙඳපොළක් සොයා දීමට කිසිදු රාජ්‍ය ආයතනයක් ඉදිරිපත් නොවීමය.
වරාගොල්ල ගමේ පදිංචි දේශීය වෛද්‍ය අරඹගේ ජයවර්ධන මහතා:
“විවිධ රෝගවලට ගුණදායක මෙන්ම දේශීය ඔෟෂධයක් වශයෙන් දේශීය වෛද්‍යවරයා හඳුන්වනු ලබන මේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවලට අද ඉහළ ඉල්ලුමක් තිබෙනවා. එහෙත් මේ නිෂ්පාදන සංවර්ධනය කර නිෂ්පාදයකයා දිරිගන්වන්නට හෝ තම නිෂ්පාදන පහසුවෙන් ඉහළ මුදලකට අලෙවි කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට කිසිදු ආයතනයක් පියවර ගෙන නැහැ. මෙය ස්වයං රැකියාවක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිතුල් ගස් ඇති ගෙවතු හිමියෝ දැනුවත් කොට ඔවුන් ඒකරාශි කර මෙම නිෂ්පාදනයේ වටිනාකම පහදා දී ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පුහුණුව සහ මෙවලම් සහන පදනමකට හෝ ආධාරයක් මත ලබා දීමට ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සුදුසුයි. ඒ වගේම මේ නිෂ්පාදන අලෙවියට නගරයේ හෝ තදාසන්න නගරයක වෙළෙඳපොළක් සකස් කර දීමට පියවර ගන්නේ නම් ගැමියාගේ ආර්ථිකය ඉහළ නැංවෙනවා පමණක් නොව දේශීය ආහාරයක් පාරිභෝගිකයාට පහසුවෙන් ලබා ගැනීමට හැකි වෙනවා.”
හසලක - සුනිල් ඒකනායක
හසලක ගොවීන්ගේ ගෘහ කර්මාන්තවලට පිහිටක් නැද්ද ?