IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා

 

 

 

නීතිඥ රජී වසන්ත වෙල්ගමයන්ගේ ඉසියුම්වූත් ඉගැඹුරුවූත්  සුගේය පද සුසංයෝගයෙන් ද ප්‍රතිභාපූර්ණ තරුණ සංගීතවෙිදී දර්ශන රුවන් දිසානායකයන්ගේ  සුස්වර සුසංකලනයෙන් ද ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ යතිවර හඬ මාධුර්යෙන් ද සුවිභූෂිත වූ මෙි ගී මිණ අසාහය ගල් වඩුවකුගේ මාහැඟි නිමැවුමක විස්මිත බව මෙන්ම මානවබන්ධුත්වය පිළිබඳ හැඟීම් දනවයි.

ගේය පදගත බස ද ස්වර රචනය ද ගායනය ද අතිවිශිෂ්ට සමායෝජනයකට එළැඹි මෙි තරමි පරිසමාප්ත මනරම් ගී මිණිරුවනක් මෑතකාලයේදී මම නොදිටිමි. මානව ජීවිතය වනාහි මෙලොව පවත්නා උදාරතම වස්තුව යි යන්න සමඟ එකඟ නොවන්නෝ කවරහුද?⁣ සුභාවිත ගීතය අභාවිතයට  මෙන්ම අවභාවිතයට යන වකවානුවක මෙබඳු ගී මිණක් හමුවීම මොනතරම් භාග්‍යයක් ද? අද්‍යතන සිංහල ගී කෙතේ පඳුරු ලලා වැඩෙන වල්පැළ අතර කිරිවැදුණු රන් වී කරලක් දැකීම නෙතට  උළෙලක් නොවෙිද? වත්මන් තරුණ පරපුරට පෙර පරපුරෙන් නැගෙන චෝදනාවලට නීතිඥ රජි වසන්ත වෙල්ගමයෝ මෙි ගීතය හරහා නිසි පිළිතුරක් සපයති. සාහිත්‍යය,සංගීතය, ගායනය මනාව කැටිවුණු මෙි ගී මිණ ධ්වනිතාර්ථපූර්ණය.

රසාලිප්තය.මනෝරංජනය.

මෙි වුකලි කලාව වෙනුවෙන් උදාර පරමාර්ථයකට ඇප කැපවී සිටින තවත් සාම්ප්‍රදායික දුප්පත් අහිංසක කලාකරුවකුගේ ජීවන ඛෙිදවාචකයයි. මෙබඳු සාමිප්‍රදායික කලාකරුවෝ අවවරප්‍රසාදිතයෝය.ඔවුහු වියත් කලාවෙි නිරතවූ රජවරුන්, පඬිවරුන්, යතිවරුන් මෙන් රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් වරදාන, වරප්‍රසාද ගරුබුහුමන් නොලැබු අහිංසක දුප්පත් සාමිප්‍රදායික කලාකරුවෝය. විවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණදෙමින් පීඩත පන්තියේ පහළ අඩියේ ජීවත්වූ ඔවුහු සිය කලා මාධ්‍යයෙහි අතීත නිර්මිත සත්සම්ප්‍රදාය ආරක්ෂා කළෝය. ඔවුහු අනවරතයන්ම සිය කලාවෙි ජීවගුණය,උදාරත්වය නොනසා රැකගැනීමට සමත් වූහ. ලෝකයේ විශිෂ්ට කලාකරුවන් හැමවිටම තම පරමාර්ථය ලෙස අවධාරණය කර ඇත්තේ කලාවෙන් තමා ලබන අධ්‍යාත්මික වින්දනයමයි. ඔවුනට මූලික වූයේ මුදල නොව කලාවය. කලාකරුවා කලා නිර්මාණ නිපදවන්නේ තමාගේ යුගයේ බලපවත්වන ප්‍රතිගාමී දෘෂ්ටිවාද බිඳ හෙළීමටය. දෘෂ්ටිවාදී සිපිරිගෙදරින් ජනතාව මුදාගැනීමටය.එහෙත් අද රටෙි හැමතැනම සිටිනුයේ ගුත්තිල කාව්‍යයේ එන මූසිලලා වැනි ධන තෘෂ්ණාවෙන් වෙළෙඳ වසල කුලයට මුක්කු ගසන අවස්ථාවාදී කලාකරුවෝය. ඔවුහු සරස්වතිය ගණිකා වෘත්තියේ යොදවමින් ලක්ෂමිය තුරුලට ගනිති.

ගුත්තිල කාව්‍ය නිර්මාණය කරමින් වෑත්තෑවෙි හිමියෝ ව්‍යාජ කලාකරුවාගේ වෙස් මුහුණ ගලවා දැමූහ.මුදල නමැති යක්ෂයා මූසිලගේ ඉවසීම පලවා හැරියේය. මූසිලට වීණා වාදනය හැදෑරීම සඳහා කුසලතාවත් ආසාවත් උනන්දුවත් තිබිණ. එහෙත් ඔහුගේ මූලික අභිප්‍රාය වූයේ මුදල් ඉපයීමටය. මූසිල හොඳ වීණා වාදකයකු වීමට වඩා මුදල් උපයන්නකු වීමට  ආසා කළේය. බරණැස් නුවර හොඳ වෙළෙඳ වටිනාකමක් ඇති සරුබිමක් වූ නිසා ඔහු එහි පැළපදියම් වූයේය. මූසිලගේ පරම පරමාර්ථය වූයේ ධනෝපායනයයි. ඔහුගේ කූට අභිප්‍රාය වූයේ ශිල්ප ශාස්ත්‍රය මැනවින් දත් ගුත්තිල  පඬිවරයා අල්ලාගෙන වීණා වාදනය ප්‍රගුණ කොට ප්‍රදේශයේ ධනකුවෙිරයන් දිනාගැනීමය. මූසිල ශිල්පය වෙනුවෙන් කැපවුණු කලාකරුවකු නොවූයේ ද මෙි නිසාය.කලාකරුවාට ජීවිත්වීම සඳහා මුදල් අවශ්‍යය. එහෙත් ඔහු කිසිදු මොහොතක සිය ප්‍රතිභාව වෙන්දේසි නොකළ යුතුය. කලාකරුවාගේ මූලික අභිප්‍රාය විය යුත්තේ මුදල් ඉපයීම නොව කලාවයි. මුදල ද්විතීයික අරමුණ විය යුතුය.එහෙත් එබඳු කලාකරුවෝ දුර්ලභයෝය. මෙි ගීතයේ කථකයා ද එබඳු සුදුර්ලභ කලාකරුවෙකි.

ව්‍යවහාරික කලා අතර ඉපැරැණිම සම්ප්‍රදාය වනුයේ සිතුවම් හා සුරුවම් කලාවය. රළු බිතක, පාෂාණයක නන් විසිතුරු ලාක්ෂාවෙන් සිතුවම් මැවූ සිත්තරුන්ගේ ගල් වඩුවන්ගේ දස්කම් විස්කම් සීගිරියෙන්, තිවංක පිළිම ගෙයින්, සමාධි බුදු පිළිමයෙන් අපි දකින්නෙමු. අනුරාධපුරයේ කලාවැව අබියස  තිබෙන අවුකන බුදු පිළිමය ද එබඳු විස්මකර්ම⁣යකුගේ දෑතින් නිමැවුණු සුරුවමකි. ධාතුසේන රජ සමයේ නිර්මාණය කළා යැයි පැවසෙන අවුකන පිළිමය භරණ නමැති ගල් වඩුවකු විසින් තැනූ විස්මිත සුරුවමකැයි ඉතිහාසඥයෝ කියති. අනුරාධපුරය වූකලි  සිංහලයන් දීර්ඝතම කාලයක් අපරාජිතව වැජඹුණු රාජධානියයි. මෙි ශුද්ධ නගරයේ ජීවත්වන්නෝ බෞද්ධයෝය. ආගම යනු පීඩිත මිනිසාගේ සුසුමය. පීඩතයන්ගේ හදවතක් නැති ලෝකයේ හදවතය.එමෙන්ම ආගම යනු අබිං යැයි ද වරක් ජර්මානු දාර්ශනික කාල් මාක්ස් කීවේය.

මෙනයින් ආගමෙි පැටලීගත් කාව්‍ය, ගීත, සංගීත, චිත්‍ර මූර්ති ආදී අගනා කලා කෘති රාශියක්  ඇත.එකී කලා කෘති නිපදවූවෝ අහිංසක දුප්පත් සාමිප්‍රදායික අව්‍යාජ  කලාකරුවෝය. ඔවුහු නිරාමිස ප්‍රේමයෙන් නිස්සරණාධ්‍යාශයෙන් මෙි දස්කම් විස්කම් ලොවට දායාද කළහ. එහෙත් අප්‍රතිහත ධෛර්යෙන්, භක්තියෙන්, කැපවීමෙන්  කළ එ් කිසිදු කලා නිමැවුමක ඔවුනගේ වතගොත හාංකවිසියක්  නැත. ඒ සියල්ලට අයිතිවාසිකම් කියමින් බැබළෙන්නෝ රාජරාජ මහාමාත්‍යාදීහුය.ඔවුන්ගේ නම ගියේය. කලාකරුවන්ගේ හම ගියේය. මෙි වූකලි ව්‍යවහාරික කලාව පෝෂණය කළ දුප්පත් අහිංසක ගල් වඩුවකුගේ අඳුරු ජීවන අන්දරයයි. ගල් වඩුවෝ රළුපරළු පාෂාණ ගල් කටුවෙන් ඔප දමා නන්විධ පිළිම කැටයම් නිමවති.එහෙත් සිතේ සමාධිය නොබිඳමින් මෙි නිමැවුමි කළ යුතුය. ඔවුන්ගේ නිර්මාණ විශිෂ්ටත්වයට පත්වනුයේ ඊට අයත් සම්ප්‍රදායේ නියාම ධර්මවලට අනුගතවුහොත් පමණි.

මෙිතරම්  සියුමැලි ද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

ගල් වඩුවා කළුගලක නෙළා ඇති සියුම් සිත්තම් දුටු මතින් රජි වෙල්ගම කවියාගේ සිතෙහි කුකුසක් පැන නගී.පාෂාණයක මෙතරමි සියුමැලි මල්කම් ලියකම් කළ හැකි  දැයි ඔහු අසයි. මෙතරමි මනරම් විස්කම් කළ මිනිසා කෙරෙහි ඔහු තුළ අසීමිත ගෞරවාදරයක් උපදියි. අවසානයේ තම සිතෙහි ලොබලිය වැඩු මෙි අහිංසක දුප්පත් සාමිප්‍රදායික කලාකරුවා සොයායෑමෙි නොතිත් අාසාවක් කවියා තුළ උපදියි .

මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා 

මෙි ගීතය කන වැකුණු සැණින් කේෂත්‍රයේ ඇතැමි ප්‍රවීණයෝ බුදුන්ට දෑස් දිය හැකි ජගතා කවුරුන් දැයි ඇසූහ. ඊර්ෂ්‍යා පරවශභාවයෙන් මඬින ලද ඇතැමි කූපමණ්ඩුක  කුහකයෝ ක්ෂෙත්‍රයට පිළපන් නවකයාට ගර්හා කළහ. එහෙත් මෙි ගීමිණ ඒ සියලු අභියෝග ජයගෙන සුභාවිත ගී ⁣අඔර එකලු කළේය. අංගුලිමාල, නාලගිරි, නන්දෝපනන්ද, ආලවක, තීර්තක ආදීන් දමනය කළ බුදුන් රදුන්ගේ දෑස් පාෂාණමය අනුරුවකට නැගීම විස්මිත පෙළහරකි. අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා යනුවෙන් කවියා අතිප්‍රබල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ද බෞද්ධ සාහිත්‍යයේම මෙි පිළිබඳ විවිධ කතා පුවත් ඇත.දෑස්දීම යන පද සංඝට්නාව බහුඅරුත් දනවන සුලුය. වරක් සුබා තෙරණිය කෝක නම් වූ වැද්දකුට සිය නෙත් සඟල උදුරා දුන්නීය. එයින් වැද්දා තමා කළ අනුවණකම ගැන පශ්චාත්පයට පත්වූයේය. මෙයින් ගම්‍යවනුයේ වැද්දාගේ ඇස් පෑදීමට සුබා තෙරණිය සරණ වූ බව නොවෙිද? දෑස්දීම යනුවෙන් අදහස් කරනුයේ  ජීවිතාවබෝධය පිළිබඳ සංඥාර්ථයකි. බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන ශිල්පියා හුදු පූර්ව කෘතියක පිටපතක් නෙළන්නකුට වඩා බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සමුදාය නැණසින් දැක එය ප්‍රතිනිර්මාණය කරන්නෙකි. මෙනයින් බුද්ධ ප්‍රතිමා නෙළීම යනු බුදුන් මනසින් මවාගෙන ඊට සමවැදී කරනු ලබන භාවනායෝගී ව්‍යායාමයකි. මෙි ගීතයේ කථකයා ද එබඳු කලා ශිල්පියෙකි.

⁣කලාවැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මෙි කථකයා දුප්පත් අහිංසක අව්‍යාජ කලාකරුවෙකි.මෙයින් සංඥාර්ථ ගන්වන්නේ ඔහු තුළ ඇති අල්පේච්ඡතාවයි. දුගියෝ කවදත් අල්පේච්ඡ ජීවන ශෛලියකට අනුගතවූවෝය. ලෞකික සැප සම්පතින් ඈත් කරන ලද පන්ති සමාජය ඊට දෙස් දෙයි. කලා වැව ඉස්මත්තේ කටුමැටි නිවෙසක වෙසෙන මේ අසාහය කලාකරුවා සැඳෑඳුරත් කැටුව විත් කඩමලු පන් පැදුරක දිග ඇදී ගත සිත විඩාව නිවා ගනී. තනිකඩ ජීවිතයට හුරුවුණු ඔහුගේ විඩාබර සිරුරේ කකියන වෙිදනාව කාටනම් කියන්නද?⁣ තෙල් සාත්තු සප්පායම් කරන්නට කෙනකු නොමැති කල ඔහු සිය ගත  සිත වෙිදනා සංතාප තනියම පිරිමැද ගන්නා බව නොවෙද මෙි කියන්නෙ?


රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මෙි වූකලි මොනතරම් රමණීය කාව්‍යෝක්තියක්ද? උත්පාද ඨිතී භංග යන දහම් පාඨය මැරෙන ඉපදෙන රළ යන යෙදුම ඇසෙන සැණින් සිහියට නැගෙයි. මෙි කථකයා අනිමිස ලෝචනයෙන් බලා සිටිනුයේ කලා වැව් දියමත නැඟී බිඳී යන රළ දෙසය. කලාකරුවාගේ මුළු ජීවිතයම ආගම දහමට නැඹුරුවී පේවි ඇති බව ඉන් තව දුරටත් සුවිශද වෙයි. ඔහු හිස් දියඹෙි රළට සිත්දී කල් මරයි. සංසාරයේ අනිත්‍ය බව  මෙනෙහි කරයි. සැබෑ කලාකරුවෝ  හැමවිටම සිය නිර්මාණ තුළින් ආත්මතෘප්තිය ලබති. ඔවුහු ලෞකික සැප සම්පත් හඹා නොයති.

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූවිට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා

ඉසුරුමුණියේ පෙම් යුවළ භාවලීලා රසික හදවත් තුළ ශෘංගාර හැඟීම්, කමාස්වාදය ජනනය කරති. නරඹන්නෝ ඊට ලොබ බඳිති. ඔවුහු දිවියේ සොඳුරු තැන් සංස්පර්ශ කරමින් ඔද වැඩෙති. එහෙත් මෙි කථකයා ඒ සොඳුරු දිවි තතුවලින් විනිර්මුක්ව තනිකඩ දිවිපෙවෙතක් ගත කරයි. ඔහු සියලු ජීවන ලාලසා මඬිමින් අඳුර රජයන පාළුපැලේ හුදෙකලා අවනඩුවක පැටලී සිටියි. ඉසුරුමුණියේ සුන්දර පෙම් යුවළක් තැනූ ඔහුට ගේහසිත ප්‍රේමය පවා අහිමිය. සුතනඹුවන් නොමැති නිවෙස හිස් පාළු සොහොන් පිටියකි. කලාව වෙනුවෙන් මුළුමහත් ජීවිතයම කැපකළ මෙබඳු අසාහය නිර්මාණකරුවන්ගේ භාවනායෝගී ජීවිත කවදත් වීතරාගීය. ඔවුහු ගේහසිත ප්‍රේමයට ලොබලිය නොබඳිති. මෙි ගීතයෙන් අවුකන බුදු පිළිමය තැනූ නිර්මාණකරුවාගේ ප්‍රතිභා ප්‍රභා සුවිශද කරමින් රජි වෙල්ගම කවියා සිංහල බසෙහි සිරි විසිතුරු රැකීමට ද උත්සුකවෙයි. සක්ක පද අමුණමින් හරසුන් ගීත ලියන අැතැමුන්ට මෙය අතුල් පහරකි.. මෙබඳු සංවෙිදි කලාකරුවන් නොතකමින් ඇතැමි දේශපාලන අඳබාලයෝ අදටත් ඔවුනගේ නිර්මාණ කොල්ලකමින් සාක්කු පුරවාගෙන ප්‍රදර්ශන කාමයේ නිරතවෙති. එබඳු කලා විහීනයන්ට මෙි ගීතයෙන් රජී වෙල්ගමයෝ ප්‍රබල කනේ පහරක් ද එල්ල කරති.

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ


 

 



අදහස් (12)

අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා

ANURA NANAYAKKARA Monday, 03 October 2022 07:50 AM

විශිෂ්ඨ ගණයේ පද එකතුවකි. ඉතා දක්ෂ ලෙස අහිංසක කලාකරුවාගේ අල්පේක්ෂක ගුණයත්, බුදුගුණ තමන්ගේ හදවතට යොමුකොට එමගින් බුදුරදුන් හිත්පිත් නොමැති ගලක් තුළින් ලෝකයට දැක ගැනීමට පිළිවන් ආකාරයට නිර්මාණය කොට ලෝකයාට දායාද කළ බව මෙම විශිෂ්ඨ පද එකතුවෙන් පෙන්වා දෙනු ලැබේ.

:       0       8

Pradeep Kumara Monday, 03 October 2022 08:07 AM

ඉතාමත් හොඳ විවරණයක්....!

:       0       10

විජයසුන්දර Monday, 03 October 2022 09:10 AM

ඉතාම හරවත් විශේෂාංගයක්.. බොහෝම වැදගත්. රස වින්දනය ගැන ඉගෙන ගන්නා සිසුන්ට ඉතාම වැදගත්. සංගීත ස්වර ලිපියත් මේ සමග ඉදිරිපත් කරන්න. සංගීතය විෂය හදාරණ දරුවන්ට ලොකු උදව්වක් වේවි...!

:       0       9

RANDIL Monday, 03 October 2022 09:53 AM

යුගයෙන් යුගයට නොමියෙන අති විශිෂ්ඨතම සොඳුරු කාව්‍යයක්... බොදු ගීතයකි...!

:       0       6

sanjeewa Amarasinghe Monday, 03 October 2022 03:10 PM

පසුගිය වාර්තාවලට වඩා සාර්ථකව මෙවර ඉදිරිපත් කර තිබේ. මෙම විශේෂාංගය මම නොවරදවාම කියවමි. ඉතාම සාර්ථක විශේෂාංගයකි. ශෂි ප්‍රභාත් රණසිංහ මහත්මයාණනි ඔබට මීටත් වඩා හොඳින් ලිවීමේ ශක්තිය ලැබේවා...!

:       0       5

ආනන්ද Monday, 03 October 2022 07:25 PM

ශෂි, ඔබ විසින් මනාවට මේ කර තිබෙන විචාරනය ඉතාම පුලුල්. ඒ වගේම අර්තවත්. මුලින්ම මා ඔබගේ ප්‍රයත්නය ඉතාම අගය කරනවා . මා අව්කන පිලම වහන්සේ වන්දනා කොට දෑස් පියාගෙන ඉතාමත් සංවේදීව පින් අනුමෝදන් කරන්නේ අව්වැසි නොතකා, දහඩිය වගුරමින් බොහෝවිට කුසට හරියට අහරක් නැතිව දින ගානක් වසර ගානක් පිලිම වහන්සේ නෙලූ කලා කරුවන්ටයි. රජී වෙල්ගමට මේ නොමියෙන අදහස් ගලාගෙන ආවේ කෙසේද? එතුමා සංසාර ගමනේ සැරිසරන කොට මේ ශිල්පීන් හමුවෙන්නට ඇතිද? ඔහුත් මැරෙන ඉපදෙන රල දිහා බලාගෙන ඉන්න ඇතිද...?

:       0       0

chandana Monday, 03 October 2022 07:40 PM

ඉතාම ලස්සන විචාරයක්, මේ ගීතය ගැන මා මීට පෙර අසා ඇති විචාරයන්ට වඩා, ගීයටම බද්ධිතව විචාර කරයි. අනිත් කරුණ විචාරකයාගේ සිංහල භාෂා ප්‍රවීණත්වයයි. ඔහු ඉතාම සිත්ගන්නා සුළු භාෂාවක් මේ සඳහා භාවිතා කිරිමයි... හිතට දැණුනු විචාරයක්...!

:       0       0

මැක්ස් Tuesday, 04 October 2022 09:18 PM

ශෂී ප්‍රභාත් රණසිංහ මහතාණෙනි, දේශපාලන අවුල් වියවුල්, මිනීමැරුම්, මන්දපෝෂණ, කූට සටකපටකම් වැනි දහසක් බහුබූත පුවත් අතරේ අපට නිවී සැනහෙන ලිපියක්... හර්දයාංගම ගී විමන්සාවක් කියවන්නට ලැබෙන්නේ ඔබතුමන් ගෙනි. අප එය ඉතාමත් ඉහළින් වින්දනය කරන බව ඔබතුමන්ට දැනුම් දෙන්නේ ස්තුති පූර්වකවයි...

:       0       4

sarath Jayasinghe Tuesday, 04 October 2022 11:00 PM

ඉතා විශිෂ්ඨ විවරණයක්... භක්තිය සහ කාල රසය උද්දීපනය කළ ලියවිල්ලක්.. ඔබට ප්‍රණාමය..!

:       0       3

prasad Wednesday, 05 October 2022 11:26 AM

මේ ගීතයේ පදරචනය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා නේද? විශාරද සුනිල් එදිරිසිංහ මහත්තයා කියලා තිබුණා මේ ගීතය ගායනා කරන්නේ නැහැ කියලා... ඇත්තටම මේ ගීතයේ පදරචනය කාගේද?

:       0       1

සමරකෝන් එස්. බී. ටී බී. Thursday, 06 October 2022 07:15 AM

මෙය මා හඳුනා ගන්නේ ප්‍රේම කාව්‍ය රචක විශිෂ්ටයිනුදු තනිකඩව වසනායුරු කියැවෙන්නක් ලෙසයි. කාව්‍යෝක්ති අලංකාරයෙන් ප්‍රේමය වර්ණනා කළ මහැදුරු සුනිල් ආරියරත්නයන් වැන්නකුද ප්‍රේමයක්‌ නොලබා තනිකඩව ඇති බැව්ත්, ඒ හෙයින්ම එය සාහිත්‍ය කලා නිර්මාණය ක්‌ මිස මහ පොළොවේ යථාර්තය ක්‌ නොවන බව කියන අපූරු නිර්මාණයක්‌ ලෙසයි මා දකින්නේ...

:       0       1

AB Thursday, 06 October 2022 07:18 AM

මා පාසල් සිසුවකුව සිටි අවධියේ බුදුරදුන්ගේ දෑස් (නේත්‍රා) පාෂාණමය අනුරුවකට නැගීමේ විස්මිත පෙළහර මගේ දෑසින් දැකීමේ අවස්ථාව මට ලැබිණි. එය ඉතාම ඉවසීමෙන් කළයුතු කලාවක් / ක්‍රියාවක් බව කැටයම්කරුගේ නිහඬ තත්වයෙන්ම මට අවබෝධ විණි...

:       0       0

ඔබේ අදහස් එවන්න

ගී විනිස

සංහිඳේ දෙවියන්ගේ පාමුල
2024 නොවැම්බර් මස 19 503 0

සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ


පිළිම නෙළා නැති
2024 නොවැම්බර් මස 12 1026 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය


මිහිරැති වසන්ත කාලේ
2024 නොවැම්බර් මස 05 1130 0

සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද


රෑ වැඩ මුරය
2024 ඔක්තෝබර් මස 29 1296 0

බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්


අඳුරු කුටිය තුළ
2024 ඔක්තෝබර් මස 22 1278 1

ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත


මගේ සිහිනය මට දකින්න
2024 ඔක්තෝබර් මස 15 1225 0

මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 455 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 689 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1955 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site