IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


ජගන් මෝහිනී

 

 

 

සරස්වතී අභිනන්දන ගීත විරලය. එබඳු ගීත අතළොස්සක් තිබුණ ද එහි බස සරලය. එහෙත් සංස්කෘත භාෂාවෙන් විරචිත 'ජගන් මෝහිනී' නමැති සුප්‍රකට ගීතය අනාදිමත් කාලයක සිට ලාංකේය සාහිත අඹරේ ලඹ දෙන සුදුර්ලභ ගීමිණිරුවනකි. මෙි සුවිශිෂ්ට ගීතය රචනා කළෝ සුකීර්තිමත් ගේය පද රචක ශ්‍රී චන්දරත්න මානවසිංහයෝය. ඊට මනරම් මියැසිය ද යොදා ගැයූ  ගඳඹයෝ අමරදේවයෝය. සංස්කෘත භාෂාවෙන් ගී ලිවීම එතරම් පහසු කටයුත්තක් නොවෙි. එපමණක් නොව සංස්කෘත ව්‍යාකරණානුකූලව ගීතයක් ප්‍රබන්ධ කිරීම ඊටත් වඩා බැරැරැම් ව්‍යායාමයකි. එහෙත් මෙි ගීසපුව සංස්කෘත භාෂාවෙන් පෝෂණය කොට වර්ණවත් සළුපිළි අන්දා විරාජමාන කිරීමට මානවසිංහයෝ උත්සුක වෙති. මෙනයින් මිශ්‍ර සිංහලයේ නිතර ව්‍යවහාර වන සංස්කෘත වාංමාලාව සිංහල ස්වරූපයට ගැළපීමට රචකයා දැරූ ප්‍රයත්නය සාර්ථකවී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි. තතු මෙසේ වූවද ජගන් මෝහිනී ගීතය අසන සහෘද රසික ප්‍රජාවට හැඟෙනුයේ එය සිංහල භාෂාවෙන් රචිත වූවක් ලෙස නොවෙිද?
 

අභිනන්දනය යනු අභිවන්දනය නොවෙි.අභිනන්දනයේදී සිදුවන්නේ කිසියම් ශාස්තෘවරයකු හෝ සුප්‍රකට චරිතයක් භක්ත්‍යාදරයෙන් සතුටුකර ප්‍රශංසා කිරීමය. එහෙත් අභිවන්දනය යනු දීන මානසිකත්වයකින් කෙරෙන ප්‍රතිරූප  වන්දනාවය. නයුවන් කරමත ඔසවාගෙන යන්නෝ අභිවන්දන ලෝලයෝය. ඔවුහු තම නයුවන් වෙනුවෙන් නිතර ප්‍රශස්ති ගී ගයමින් වන්දිභට්ටකම් කරති. වනන්දනය යන වචනයට 'අභි' නම් උපසර්ගය යෙදීමෙන් එම වචනයේ අර්ථය තීව්‍ර වෙි. ඒ අනුව මැනවින් හෝ උතුම් ලෙස වැඳීම යන අර්ථ ගම්‍යවෙි. සරස්වතියට ගරුබුහුමන් කරන්නෝ කලාවල්ලභයෝය. ඔවුහු ඇයගේ දේවත්වයට නිතර වැඳ නමස්කාර කරති. මුළුමනින්ම සංස්කෘත භාෂාවෙන් ප්‍රබන්ධ කර ඇති මෙි ගීමිණ සරස්වතියට කෙරෙන උපහාරයකි.
 

රාධා පද්මා චායා දේවී
දුර්ගා දේවී සරස්වතී

⁣මෙහිදී ශාස්ත්‍ර ඥානය ප්‍රදානය කරන්නා වූ අධිපති හෙවත් ඊශ්වරී ලෙස ගැනෙනුයේ සරස්වතී දේවියයි. දේව පූජාවන්හීදී පළමුවෙන්ම සරස්වතිය පිදිය යුතු බව ඊශ්වරවාදයේ සඳහන් වෙි. සරස්වතිය මහාබ්‍රහ්මයාගේ පාදපරිචාකාව ලෙස ද පුරාණෝක්තිවල සඳහන්වෙි. ශ්‍රී කෘෂ්ණයන් විසින් නිර්මාණය කරන ලද සරස්වතිය පිළිබඳ  විවිධ මතිමතාන්තර සහිත ඉතිහාස කතා ඇත. එහෙත් ඇය ප්‍රකට ශාස්ත්‍ර ඥානය කලා ශිල්ප ප්‍රදානය කරන්නා වූ දිව්‍යාංගනාව වශයෙනි. උත්තම භාෂා ව්‍යවහාරයකින් ලියැවුණු මෙබඳු අභිනන්දන ගීතයක් හින්දු දේව භක්තියෙන්ගෙන් ගහන භාරතයෙහි පවා නොමැත. විද්වත් ජනසම්භාෂණයකදී ඉන්දියාවෙන් පවා නොඇසෙන මෙබඳු උත්තරීතර, ගම්භීර ගීතයක් රචනා කළ මානවසිංහයන්ට අපි සදා ණයගැති වෙමු. ඊශ්වරවාදයට හා තාන්ත්‍රිකවාදයට අනුවද සරස්වතිය උත්තමගණයේ ස්ත්‍රියක ලෙස ගරුබුහුමන් ලබන්නීය. මෙනයින් මානවසිංහයන් රචනා කළ පරිදි විශ්වය මෝහනයට පත්කිරීමෙහිලා සුකුමල වූ ද මනෝරම්‍ය වූ ද මනස්කාන්ත වූ ද ස්ත්‍රි මායා අභිරූපිකාව සරස්වතිය ම වන්නීය. මෙි වූකලි ඇය වෙනුවෙන් කෙරෙන වැනුමකි. උපහාරයකි. අභිනන්දනයකි. ප්‍රණාමයකි.


ජගන් මෝහිනී - මධුර භාෂිණී
චාරු දේහිනී - කමලවාසිනී
සරස්වතී දේවී වන්දේ
සරස්වතී දේවී වන්දේ

සරස්වතිය  වූකලි මුළුමහත් විශ්වයම මෝහනයට පත්කරන්නීය. ඇයගේ මුවින් වෑහෙන අමොද බිඳු වැනි මධුර ඉමිහිරි තෙපුල්සර අතිශය ප්‍රියජනකය. එබඳු වදන් ඇසූ කල සවනට මීබිඳු වෑහෙන්නා සේය. චාරු දේහිනී යනු ඉතා සිහින් නොවූ ද ඉතා පිරිපුන් නොවූ ද ඉඟසුඟ මිටින් ගත හැකි සුන්දර සිරුරක් ඇත්තීය. කෝට්ටේ විසූ මහා කවියකු වන ෂඩ්භාෂා පරමෙිශ්වර තොටගමුවෙි ශ්‍රී රාහුල හිමියෝ සැලළිහිණි සඳසෙහි ජයවද්දන පුර වැනුමෙහි සොඳුරු ලියක රුවනාර  මෙසේ වනති.


සිසිවන උවන ඉඟසුඟ ගත හැකි     මිටින
නිසි පුළුලුකුල රියසක යුරු            තිසරතන
දිසි රන් ලියෙව් රූසිරි යුත්             මෙපුරඟන
ඇසි පිය හෙළන තරමින් නොවෙති දෙවඟන

සරස්වතිය වනාහි ද මෙකී  අසාමාන්‍ය නාරිසෞන්දර්යකින් යුතු දිව්‍යාංගනාවකි. කමලවාසිනී යන යෙදුමෙන් ගම්‍ය වනුයේ ඇය  නෙළුම් මලක වැඩ සිටින බවය. එවැනි මලසුනක වෙසෙන  සරස්වතී දේවිය වඳිමි යැයි කථකයා කියයි. ගීතයේ ස්ථායි කොටසෙන් සුවිශද වනුයේ සරස්වතිය කෙරෙහි කථකයා සතු භක්ත්‍යාදරයයි.
 

කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා

කම්පිත හෙවත් සැලෙන රන්දම් ඇත්තී ඔබය.ඇය පා පැළඳි කුඩා මිණිබැඳි සළඹ නූපුර ජාලා මධුර නාද නගන බවත් මින් ධ්වනිත වෙයි. මෙහිදී සරස්වතිය රඟන්නේ ලාස්‍ය ස්වරූපයේ නැටුමකි. සරෝජා යනු සකු භාෂාවෙන් නෙළුම් මලට කියන තවත් නමකි.  පා පියුමෙහිත් පුළුලුකුල නමැති පොකුණෙහිත් සසල බව සහිත ලාලිත්‍ය නැටුම් ඇත්තී ඇය ම නොවෙිද? ස්ත්‍රී ලාලිත්‍යයෙහි අග්‍රස්ථානය උකුලය. මෙනයින් සරස්වතියගේ පුළුලුකුල නමැති තටාකයේ ඉසියුම් නර්තන ලීලා නොදකින්නෝ කවරහුද? එහෙත් ඉන් ජනිත වනුයේ කාමාරසාස්වාදය නොව වීත රාගයකි.එසෙත් නැත්නම් අපිස් හැඟීමකි.


මීන මකර පංකජ රූපාකුල අංකික කුංකුම රේඛා
පූර්ණ කුම්භමිව පීන පයෝධර පූරිතාමෘත ධාරා

මෙහිදී මීන යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ මසුන් හෙවත් මාළුන් පිළිබඳවය. කවි සමයෙහි දී සාහිත්‍යකරුවෝ  කතුන්ගේ ඇස් මාළුවන්ගේ දෙනෙතට සම කළහ. මීන නුවන් සඟලක් ඇත්තියෝ රුවැත්තියෝය. මෙි ගීතයේ මකරකු ගැන ද කියැවෙයි. එහෙත් මෙහිදී මකර යනුවෙන් අරුත් ගන්වන්නේ 'මෝරා' නමැති විසල් මත්ස්‍යයා ගැනය. මත්ස්‍යයන් අතරින් ප්‍රලයකු ලෙස සැලකෙන මෝරා  සංස්කෘත සාහිත්‍යයේ හැඳින්වෙන්නේ  "මකර "නමිනි. එබැවින් මෙහිදී මකරා යනු චීන පුරාණෝක්තිවල එන මිත්‍යා සත්වයකු නොවෙි. පංකජ යනු සුදු නෙළුමය. සුදු නෙළුම සහ සරස්වතිය අතර ඇත්තේ ද අවියෝජනීය බැඳීමකි. මානවසිංහයන්ට අනුව සරස්වතියගේ දෙතනෙහි ඇත්තේ කිරි නොව අමෘතයය. මෙනයින් යටකී අන්තරා කොටසෙහි සරල අර්ථය මෙසේ හකුළා දැක්විය හැකිය. මාළුන්ගේත් මෝරුන්ගේත් නෙළුම්මලෙහිත් රූප ⁣ගුරුපැහැති කොකුම්ලේ රේඛාවලින් සරස්වතියගේ දෑතෙහි  සිතුවම් කර ඇත. කුංකුම හෙවත් කොකුම් ස්වභාවයෙන්ම රතු පැහැතිය. එබැවින් ඒවා ලේ පැහැගැන්වීම ද අරුමයක් නොවෙි. පුන්කලස් වැනි ඇගේ පුන් පියවුරු ද අමා දියෙන් පිරී පවතී.
 

භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර සුරකුල වර අභිරූපා
දේහි දේහි වරදායක හස්තේ ශුභ මංගල මූද්‍රා

සකල කලාවටම අධිපතිනිය වූ සරස්වතිය උපතින්ම වාසනාවන්තියකි. ඇය ඇසුරු කරනවූන්ට ද ඒ වාසනා ගුණ මහිමයත් පිනත් පල දෙනු නියතය. වාසනාව උදාකරන පිනෙහි මූර්තිය බඳු උතුම් සුරකුලයෙහි උපන් වෙසෙස් රූ ඇත්තී, අභිරූපෝත්තම වරම් ලද ඇය නම් සරස්වතී ම වන්නීය. ඈ අතෙහි  යහපත් වූ උතුම් වූ සුබ මංගල මුදාාවකි. මෙි කථකයා සරස්වතියගෙන් ඉල්ලන්නේ  මහැදුරු සරච්චන්ද්‍රයන් මෙන් පිං ඇති සරසවි වරමක් නොවෙිද? ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ සකසු වැලිවිටියේ සෝරත හිමියෝ "සරසවි - සරස්වතී" දෙවදනට මෙසේ අරුත් දෙති. උන්වහන්සේට අනුව 'සරසවි' යන වචනයට දිය හැකි අර්ථය සරස්වතී ය. "සරස්වතී" යන වදනට දිය හැකි අරුත "වචනය" ය. මෙනයින් සරස්වතී යනු වචනාධිපති දෙවඟන ලෙස ගිනිය හැකි බව උන්වහන්සේගේ විවරණයෙන් මොනවට පැහැදිලි වෙි.

මානවසිංහයන්ගේ ගීතයේ එන සංස්කෘත වාංමාලාව සුස්වර සංරචනයෙන් හා සුගායනයෙන් කන්කලු අනගි ගීමිණිරුවනක් කිරීමට මහත් දායකත්වයක් දැක්වූයේ හෙළයේ මහගඳඹයෝ පණ්ඩිත් අමරදේවයෝය. අමරදේවයන්ගේ කර්ණරසායන හඬ මාධුර්ය ඇසූ සැණින් ඕනෑම සංගීත ලෝලයකුට හැඟීයන්නේ ලෝකයට තවත් සරස්වතී ප්‍රණාම ගීයක් ඇවැසි නොවන බව නොවෙිද? ඔහු මෙි ගීතය සඳහා යොදන ස්වරාලංකාර එතරම්ම රමණීය ය. මෙනයින් සිංහල ගීතයේ භාව ප්‍රකාශනයේ නිර්මාතෘ පණ්ඩිත් අමරදේවයන් යැයි කීම අතිශයෝක්තියක් නොවෙි. ඔහුගේ ගැයුම එතරම්ම කන්කලු ය. සිත්කලු ය. මෙි වූකලි සවනට මෙන්ම නෙතට ද එකම රසඳුනක් වූ මහඟු ගීමිණක් නොවෙිද ?

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ


 



අදහස් (3)

ජගන් මෝහිනී

Chandana Friday, 27 January 2023 04:28 PM

සංස්කෘත භාෂාවෙන් ලියා තිබෙන මේ ගීතය පිළිබඳ ශෂී ප්‍රභාත් රණසිංහ මහතාගේ විචාරය විශිෂ්ටයි. ඔහු ගීතයේ තේරුම ඉතා සිත්ගන්නාසුලු අයුරින් රසිකයාට ඉදිරිපත් කර තිබෙනවා.ලංකාදීපයට හුඟාක් ස්තුතියි.ගී විනිස වැනි අනර්ඝ විශේෂාංගයක් පටන් ගත්තාට.

:       0       6

Suranga Saturday, 28 January 2023 09:19 AM

අති විශිෂ්ඨයි...!

:       0       3

Jayathilake Saturday, 28 January 2023 06:22 PM

සෑම සඳුදා දිනකම ලංකාදීප වෙබ් අඩවියට පිවිසෙන්නේ ගී විනිස විශේෂාංගය රස විඳීමේ අපේක්ෂාවෙන්. සුභාවිත ගීතය පිළිබඳ බීබිසී සංදේශයට මහාචාර්ය සුචරිත ගමිලත් සම්පාදනය කළ ගීමිණිආර වැඩසටහන තරම්ම, ශෂී ප්‍රභාත් රණසිංහයන්ගේ ගී විනිස මනරම් බව නොකියාම බැරිය. එදා ගම්ලතුන් පවා විචාරය නොකළ විශිෂ්ට ගීත කිහිපයක්ම ශෂී ප්‍රභාත් රණසිංහ මහතා ගී විනිසෙන් විචාරයට ලක් කොට තිබේ. විශේෂයෙන්ම නව පරපුරේ සුභාවිත ගීත රාශියක්ම ඔහුගේ තියුණු විචාරක්ෂියට ලක්වීම සතුටට කරුණක්. පණ්ඩිත් අමරදේවයන් ගයන ජගන් මෝහිනී ගීතයද ශෂී ප්‍රභාත් මහතා අපූරුවට විචාරය කර තිබෙනවා. ඔහුගේ වෑයම තව තවත් සාර්ථක වේවා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

ගී විනිස

සංහිඳේ දෙවියන්ගේ පාමුල
2024 නොවැම්බර් මස 19 503 0

සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ


පිළිම නෙළා නැති
2024 නොවැම්බර් මස 12 1026 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය


මිහිරැති වසන්ත කාලේ
2024 නොවැම්බර් මස 05 1130 0

සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද


රෑ වැඩ මුරය
2024 ඔක්තෝබර් මස 29 1297 0

බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්


අඳුරු කුටිය තුළ
2024 ඔක්තෝබර් මස 22 1278 1

ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත


මගේ සිහිනය මට දකින්න
2024 ඔක්තෝබර් මස 15 1225 0

මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 456 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 689 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1955 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site