IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


පුන්සඳ රෑට ඇවිදින් හේනේ

 

 

 

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේය පද සුරචනයෙන් ද නිරෝෂා විරාජිනීයගේ භාවානුරාගී හඬ මාධුර්යෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි.

 

සම්භෝග ශෘංගාර සුව නොවිඳ කුටුමිබ ජීවිත ගතකරන්නෝ අවාසනාවන්තයෝ ය. විවාහ ජීවිතය වනාහි ප්‍රේමානුරාගයෙන් පිරුණු රසෝඝයකි. ගේහසිත ප්‍රේමයේ සැබෑ සුව විඳින්නෝ එය දනිති. එහෙත් ඇතමෙක් කසාද බැන්ද ද කාල්පනික ලෝකවල ජීවත් වෙති. ඔවුහු විවාහ ජීවිතයේ සුඛානන්දය, සුඛාස්වාදය රිසි සේ බුක්ති නොවිඳ සොඳුරු තාරුණ්‍යය ද අහිමිකර ගනිති. අවසානයේදී දරුඵල නොලබා ම අකලට මහලු වී ජරපත් වී ජීවිත කාලයම ශෝක සන්තාපයෙන් හූල්ලති. එබඳු අඹුසැමියෝ මුළු ජීවිත කාලය ම එකිනෙකාට වෛරකරමින්, දොස් පවරමින් පශ්චාත්තාප වෙති. මෙනයින් ජීවිතයේ සුඛප්‍රහර්ෂය නොලද අඹසැමියෝ කවරහුද? පන්ති සමාජයේ වෙසෙන පීඩතයෝ මෙි අවාසනාවන්ත ඉරණමට  අනවරත⁣යෙන් ම ගොදුරු වෙති. මෙි ගීතයේ කථකාව ද දරුමල්ලන් හැදීමෙි අපේක්ෂාවෙන් කාමසම්භෝග සම්පර්කය පතා ලොබ ලිය වඩන්නීය. මෙි  වූකලි හේන්පැලේ රැකවලට ගිය සැමියා පිළිබඳ ළතෙත් බවින්, ජීවන ලාලසාවෙන් පසුතැවෙන දුප්පත් අහිංසක ගෙවිලියක නොවෙිද? එකල මෙන් නොව මෙකල අඹුසැමියන්ට එකට වාසය කරමින් කාලය ගෙවන්නට ලැබෙන්නේ කලාතුරකිනි. බොහෝ අඔුසැමියන්ට දිව රෑ දෙකෙහිම එකට විසුමට කාලය නොමැත. ඔවුහු විවිධ රැකි රක්ෂා කටයුතු වෙනුවෙන් ජීවිතය කැප කරති. ඇතමෙක් විදෙස් රැකියාවලට ගොස් බඩවියත රැක ගනිති. මෙනයින් සැමියෝ බිරියන්ගෙන් ද බිරියෝ සැමියන්ගෙන් ද දරුවෝ මවුපියන්ගෙන් ද වියෝ වී තනි තනිව එකලාව ජීවත් වෙති. මෙි වූකලි යාන්ත්‍රික ජීවන චරියාවක් නොවෙිද? මෙහි අවසන් ප්‍රතිඵලය කුමක්ද? මෙහි ප්‍රතිඵල ලෙස පවුල් කැඩී විසිරී නන්නත්තාර වී අනාථ වනු නොඅනුමානය.

ගීතයකින් සිදුවිය යුත්තේ භාව ප්‍රකෝප කිරීම නොව භාව විකසිත කිරීමය. එහෙත් අද ඇසෙන බොහෝ ගීතවලින් සිදුවන්නේ ජුගුප්සිත හැඟීම් අවදිකොට භාව භංග කිරීමය. ගේයපද රචකයන් කෙතරම් බිහිවුණ ද සියුම් රස ජනනයට මුලපුරන සාහිත්‍ය රසයෙන් අනූන නැවුම්බර, හැඟුම්බර, හරබර, ධ්වනිතාර්ථපූර්ණ ගුණයෙන් පොහොණි ගේය කාව්‍ය සිත්තරුවෝ සුදුර්ලභයෝය. ගීතයකින්  මොනතරම් ආකෘතික හරඹ, වාග්කෙළි කළ ද මිනිස් හැඟීම් නමැති කේෂ්ත්‍රය මගහැර නොයා යුතුය. ගීතයක ජීවිතය නැත්නම් එය කඩදාසි ගෙයක් බඳුය. මානව හැඟීම් යනු ආලය, රාගය, සන්තාපය, වෛරය, ක්‍රෝධය සන්තුෂ්ටිය, ජුගුප්සාව යනාදියයි. කාලාවෙි සාරය වන යටකී ලක්ෂණ නොවෙි නම් එය ගීතයක් නොවන්නේය. ඔිනෑම කලාකෘතියක කර්තව්‍ය නම් එය සමඟ සම්පර්කයට සම්ප්‍රාප්ත වන රසිකයා තුළ මානව හැඟීම් හෝ හැඟීමක් පෝෂණය ද ශික්ෂණය ද කිරීමය. 


රත්න ශ්‍රී විජේසිංහයන් විසින් විරචිත මෙි සුදුර්ලභ ගීමිණ ද එකී ගුණාංග දහසකින් සංලක්ෂිතය. විජේසිංහයෝ සිය ජීවනානුභූතියක අනුසාරයෙන් මෙි ගීතය රචනා කළහ. සිද්ධිය සැකවින් මෙසේය. රත්න ශ්‍රී විජේසිංහයෝ  කවියකු මෙන්ම වෘත්තියෙන් ගුරුවරයෙක් ද වූහ. දිනක් ඔවුහු කිසියම් කලා කටයුත්තක් සඳහා කහටගස්දිගිලිය ප්‍රදේශයට ගියහ. අදාළ වැඩසටහන අවසන්වූයේ තරමක් රෑ බෝ වීමෙන් පසුවය. අවසානයේදී  රත්න ශ්‍රී ඇතුළු පිරිස රැය පහන් කිරීමට නවාතැන්පළකට ගියහ. මෙකී නවාතැන්පළ අසල තනියම වෙසෙන මහලු කාන්තාවක් පිළිබඳ අපූරු ආරංචියක්  රත්න ශ්‍රී ගේ කන වැකුණි. විජේසිංහයෝ ගමන් විඩාව ද නොතකා එම වයෝවෘද්ධ කාන්තාව බැහැදැකීමට ඇගේ කුඩා පැල්පතට ගියහ. ඇය සුහදශීලි අයුරින් රත්න ශ්‍රී ඇතුළු පිරිස පිළිගත්තාය. අවුරුදු අසූනවයක් පරමායුෂ විඳ මියගිය සිය සැමියා ගැන ඇය උජාරුවෙන් කතා කළාය. ළෙන්ගතු  කතාබහකින් පසු විජේසිංහයෝ ඇයගෙන් පැනයක් ඇසූහ.

"අම්මට දරුමල්ලන් එහෙම නැද්ද ?"

මහලු කතගේ දෙනෙත් කදුළින් බරවිය. තැවුල් සිතින්  වටපිට බැලූ ඇය මෙසේ කීවාය.

"අනේ !නැහැ මහත්තයෝ. අපේ උන්දැට ඒ ගැන වගේ වගක් තිබුණේ නැහැ නොවැ. එයා මුළු ජීවිතය ම කැපකළේ කැත්තෙ උදැල්ලේ වැඩට. මුළු දවසම හේනක් බදාගෙන නැහුණා."

ඇයගේ දුක්බර වදන් පෙළ විජේසිංහයන් දෙසවන දෝංකාර දෙන්නට විය. විජේසිංහයෝ නවාතැන්පළට ගිය සැණින් කල්පනාවක නිමග්නව මෙි අහිංසක ගැහැනියගේ ජීවන ඛෙිදවාචකය මානවබන්ධුත්වයෙන් පිරුණු ගීතයකට පෙරළන්නට වූහ. මෙි වුකලි ඒ මහඟු ගීමිණිරුවන යි.
 

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිව

පාළුව, හුදෙකලාව, කාන්සිය, තනිකම තදින් ම දැනෙන්නේ රාත්‍රි කාලයට ය. දිවා ආලෝකය පහව ගොස්, අවට සියලු හඬවල් නිහඬ වී බැහැරි ලොව ගනඳුරින් වැසී යත් ම හුදෙකලාව කාන්සිය තනිකම අප අරක් ගනී. එවිට මළපාළු හැඟීමක්, සියුම් ශෝකයක් අප අධ්‍යාත්මය වසා පැතිරේ. මිනිස් උණුසුමක ඇවැසියාව තදින් ම  දැනේ. අප හදට පවන් සලන්නාක් වැනි දසුන් දෙන ප්‍රියයන්ගේ ප්‍රියාවන්ගේ මුහුණු අඳුර අතරින් එබිකම් කරයි. මෙි අත්දැකීම තුන්යම් රාත්‍රිය මුළුල්ලේ ම පවතී. නින්ද නො ගියහොත් අත්දැකීම බලවත් ලෙස ශෝකී බවට පත්වෙි. මෙි ගීතයේ කථකාව ද යටකී ඉරණමට ගොදුරු වී සිටින්නීය. ඇය හේනට ගිය සැමියා පිළිබඳ  ළසොවින් තැවෙමින් කාමසම්භෝග සම්පර්කයට නොතිත් ආසාවෙන් ලොබ ලිය වඩන්නීය. රචකයා ගීතය ඔස්සේ පරාමර්ශනය කිරීමට යත්න  දරන්නේ මෙි අත්දැකීම යි. එහෙත් මෙකී සියලු දේ යටපත් කරමින් අපට කිසියම් ⁣ශෝකී රාවයක් ඇසේ. මෙි වූකලි දරුඵල නැති විවාහක කාන්තාවකගේ ආත්මීය විලාපය යි.

පුන්සඳ යනූ පුර්ණ චන්ද්‍රයා ය. පුන්සඳ, පුරහඳ වනාහි එකම අරුත් දෙන අමයුරු වදන් ය. පුන්සඳ මෝරා නුබ ගැබ අරා නැගෙන්නේ පසළොස්වක පොහෝ දිනටය. මෙි වූකලි ආගමික කාරණා රාශියකට මුල්වූ සෞම්‍ය සොඳුරු වස්තුවකි. බුදුන්ගේ ඉපදීම. අභිනික්මන, සර්වඥතාව, පළමු දම් දෙසුම, පිරිනිවන ඇතුළු සුවිශේෂ ක්‍රියාකාරකම් සමුදායක් ම සිදුවී ඇත්තේ පුන්සඳ පෑයූ දිනවලය. මෙි කථකාවට ද ගේහසිත ප්‍රේමයේ අනුරාගික හැඟීම් සම්භෝග සුව මතක රස ගලා එන්නේ පුන්සඳ පෑයූ සුන්දර සිරිබර රාත්‍රියක ම නොවෙිද? තරු සිදුරෙන් සඳරැස් පෙරා එවමින් මඳින් මඳ නැගුණු පූර්ණචන්ද්‍රයා අහස්කුස අරා විරාජමාන වෙයි. එකී පුරහඳ සිය සැමියා නිදිවර්ජිතව සිටින හේනේ අන්ධකාරය බිඳිමින් මුණින් නැවූ රන්කළයකින් රීදී දහරා ගලා ගොස් ලොව සිහිල් කරන්නා සේ රන්කෙඳි වන් කිරණින් බඩඉරිඟු යායේ සුදිලෙන කසුන් පැහැති කරල් චුම්බනය කරයි. මෙි වූකලි කාමසමිබෝගයට අතවනන රූපක සංකේතාර්ථ බහුල බහුඅරුත් දනවන කාව්‍යෝක්ති සංකල්ප රස මංජරියකි. ගීතයේ ස්ථායි කොටසෙන් සුවිශද වන්නේ රචකයාගේ පැසුණු කවිකමයි. සඳ එළිය ගලා එද්දී ගතසිත සිහල් වෙයි.එවිට අනුරාගී හැඟීම් පිබිදෙයි.ප්‍රියයෝ සිහිවෙති. සඳරැස් අනුරාගය දියුණු තියුණු කරන බාහිර සාධකයකි. රත්න ශ්‍රී විජේසිංහයන් සතු වියත් බස්වහර සම්භාව්‍ය පොතපත ඇසුර මෙි ගීසපුවෙි  සුන්දරත්වයට දෙස් දෙයි.


නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුණාට ගෙඩි නෑ තාම අඹ ගහට

ගීතයේ පළමු අන්තරා කොටස ද අපූරු කාව්‍යෝක්ති රැසකින් පිරී පවතී. වත්මන් සමාජය පුද්ගල අණුවලට සිඳී ගොසිනි. මෙහි පුද්ගලයා යනු තනි තිතකි. මෙි අතින් ඔහු හෝ ඇය දුබලය. මිනිසා තුළ පාළුව තනිකම රජයන්නේ එහෙයිනි. මෙනයින් පුරුෂයකුට සහචාරිණිියක ද ස්ත්‍රියකට සහචරයකු ද ඇවැසිය. සහචරලාභය නොමැති කල රතිමය අවශ්‍යතා ද හරිසැටි නො සැපිරේ. මෙි කථකාව සහචරලාභය තිබුණ ද එය සපුරාගැනීමට නොහැකිව ළතැවන්නීය. මෙි හේතු කොටගෙන සහචර දුරස්ථභාවය ප්‍රබල ශෝකය දනවයි. සහචරලාභය ප්‍රබල සුඛප්‍රහර්ෂය උපදවන බව ඇය හොඳින්ම දන්නීය. එබැවින් ඇය ඊට ලොබ ලිය වඩන්නීය. රාගය හෙවත් කාමාශාව ජීවවිද්‍යාත්මකය. තතු එසේ වූවද ඇතමෙක් එය සන්තර්පණය කරගැනීමට නොහැකිව ළතැවෙති. කාමාරසාස්වාදයෙන් තොර ආලයක් ප්‍රේමයක් නැත. මෙි කථකාව ද හේනේ සිටින තම ස්වාමියා එනතුරු නිවසේ පිල්කඩ උඩ වැතිරී සිටින්නේ සිය කාමාශා සන්තර්පණය කරගැනීමෙි අපේක්ෂාවෙන් නොවෙිද? ඇයට ජීවිතයේ තනිකම මෙන්ම දරුඵල නොමැති වීම පිළිබඳව ද තදින්ම දැනේ. ඈත අහසේ මෙිකුළු අතර සැඟවී ඉඟිබිඟි පාන නිල් පැහැති තරුමල් පවා ඇයට ඔච්චම් කරයි. මෙි ගීතයේ කාව්‍යෝක්ති බාහුලය. එබැවින් දිසි අරුතට වඩා වැසි අරුත ප්‍රබලය. ව්‍යංගාර්ථපූර්ණ රූපකාර්ථවත් ධිවනිතාර්ථපූර්ණ ගීතය විශිෂ්ට  කවියක් තරම්ම ප්‍රබලය. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ බොහෝ ගීත මෙකී ගුණාංග දහසකින් පිරී ඇති බව කීම අතිශයෝක්තියක් නොවෙි.


මීඅඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුණාට ගෙඩි නෑ තාම අඹ ගහට

පූර්වෝක්ත  යෙදුමෙන් ඇගේ අධ්‍යාත්මය පුරා පැතිර යන ශෝකාන්ධකාරය ධ්වනිත නොවෙිද? මිදුලේ  හොඳින් වැඩී තිබෙන මීඅඹ ග⁣සේ මල් පිපී තිබුණ ද එකදු ගෙඩියක් තවම නැත. එබැවින් ගිරවුනි නුඹලාගේ පැමිණීමෙන් පලක් නැත. දරු සුරතල් බැලීමට තරම් වාසනාවක් ඇයට තවම නොමැති බව නොවෙිද මෙි කියන්නේ? දරුඵල නොමැති ගැහැනියකගෙන් පලක් තිබෙිදැයි ඇතමෙක් අසති. එහෙත් ඇයට එබඳු ඉරණමක් අත්වූයේ කාගේ වරදින්ද? බිරිය මගහැර හේන බදාගෙන ඉන්න සැමියා ඊට වගකිය යතු නොවෙිද? "මල් පිපුණාට ගෙඩි නැහැ තාම අඹ ගහට." මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? රචකයාගේ ප්‍රතිභාව මෙකී පදපෙළෙන් මොනවට පැහැදිලි වෙයි. "මීඅඹ කන්න ගිරවුනි එන්න එපා හෙට" යන යෙදුම නැදිමයිලන්ට දැන්ම නිවෙසට නොපැමිණෙන ලෙස කරන ආයාචනයක් බඳුය. නෑයෝ යනු  වෙියෝය. වෙියෝ සීරුමාරුවෙන් සියල්ල කා දමති. නෑයන් ද එසේය.  ඔවුහු අලුත බැඳපු ජෝඩුවකගේ නිවෙසට හාපුරා ගොස් අඩුපාඩු හොයති. කුණුකන්දල් අවුස්සති. දරුවන් නැති දැයි පුන පුන අසති. දරුමල්ලන් නැති යුවළකට මෙය කෙතරම් වෙිදනාකාරී අත්දැකීමක්ද?
 

රන්කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
රන්මල් යහන හීනෙන් දකින පින පමණ
තුන්පත් රෑන වේදෝ කොහෝම අප දෙදෙන
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන

ගම ගෙදරක ගැහැනියකට කැත්තෙ උදැල්ලේ වැඩට ගොස් හේන් කුඔුරු කොටන මිනිහා පෙනෙන්නේ සවිශක්තිය ඇති ඇත්රජකු මෙනි. ඇතැමි බිරියෝ සැමියන්ට රන්කඳ නමින් ද ආමන්ත්‍රණය කරති. අව්‍යාජ බිරියකගේ මුවින්  එබඳු වදනක් අසන්නට සැමියකු  පින්කළ යුතු ⁣නොවෙිද?

ඔහු නිදා සිටින රන්මල් ඇතුරූ යහන ඇයට දක්නට ලැබෙන්නේ සිහිනෙන් පමණි. එබඳු සිරියහනක කාමසම්භෝග ශෘංගාරරස විඳීමට තරම් තමා පින්කර නොමැති බවත් එවැන්නක් දැකීම සිහිනයෙන් ම පමණක් බවත් ඇය පවසන්නීය. මෙහිදී රචකයා තවත් අපූරු රූපකයක් ගොඩනගයි. ඒ තුන්පත් රෑන යන්නයි. තුන්පත් රෑන යනු ප්‍රබල රූපකයකි. දරුවකු පිළිබඳ නොතිත් ආසාවකින් සිටින ඇයට එබඳු සිතිවිලක් පහළ වීම අරුමයක් නොවුණ ද එම යෙදුම ඖචිත්‍යය ය. තුම්පත් රෑන යන වචනය දෙදෙනා තිදෙනකු වීම යන අර්ථය සුවිශද කරයි. මෙහිදී තුන්පත් රෑන ගැන ඇතමෙක්  සදොස් ලෙස අර්ථ ගන්වති. තුන්පත් රෑන කියූ සැණින් අපගේ සිතෙහි මැවෙන සාමිප්‍රදායික චිත්‍රයක් ඇත. එනම් අලි පියා, මව සහ දරුවා යන තිදෙනායි. එහෙත් මෙහි නිරුක්තිය ඊට හාත්පසින් ම වෙනස්ය. තුන්පත් රෑන යනු අලි මවත්⁣ ලොකු අක්කාත් පොඩි අක්කා හෝ මල්ලීත් ය. ඔවුහු එකම පවුලේ ඇත්තෝ ය. මෙහිදී ඇය තවත් පැනයක් අසන්නීය. තවමත් නූපන් පුතකු පිළිබඳ ආසාවක් ඇගේ සිතෙහි ඇත. ඊඩිපස් සංකීර්ණය අනුවද මෙි සංකල්පය නිවැරැදිය. මවක හැමවිටම පතන්නේ පුතෙකි. එහෙත් පියකුගේ ආසාව දියණියකි. සිග්මන් ෆොයිඩ් නමැති මනෝවිද්‍යාඥයා මෙි ළබැඳියාව සබැඳියාව අපූරුවට පෙන්වා දෙයි. ප්‍රියසංයෝගය යම් සුඛප්‍රහර්ෂයක් දනවා ද ප්‍රිය විප්‍රයෝගය ඊට නො දෙවැනි ශෝකසන්තාප දනවයි. මෙි සුඛප්‍රහර්ෂය හා ශෝක සන්තාපය සාහිත්‍යයට හා කලාවට ඇතුළු වූ කල්හි "රස" යනුවෙන් හඳුන්වනු ලැබෙි. මෙි ගීතයේ ගැබ් වන්නේ එකගෙයි සිටිය ද එකට ඉන්නට නොහැකි විප්‍රයෝගයකි. උනුන් එකිනෙකා වැළඳ බදාගෙන සම්භෝග සුව විඳිමින්  දරුඵල ලබන්න මෙි අහිංසක දුප්පත් ගෙවිලිය පෙරුමි පුරන්නීය. එහෙත් අගේ ළසෝගී ඔහුට කවරදාක නම් ඇසේවිද?

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ


 



අදහස් (2)

පුන්සඳ රෑට ඇවිදින් හේනේ

randil Monday, 20 March 2023 01:45 PM

නිරෝෂා ගැයූ විශිෂ්ඨතම ගීතයකි.

:       0       7

මැක්ස් Monday, 20 March 2023 04:17 PM

තම සුපුරුදු වාග් කෞෂල්‍යය විදහාපාමින් විශිෂ්ට ගී මිණක් පිළිබඳ අර්ථපුර්ණ රචනාවක් මේ සතියෙත් අපට ලබා දුන් ශෂී මහතාටත්, ලංකාදීපයටත් ස්තුතියි.

:       0       8

ඔබේ අදහස් එවන්න

ගී විනිස

සංහිඳේ දෙවියන්ගේ පාමුල
2024 නොවැම්බර් මස 19 503 0

සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ


පිළිම නෙළා නැති
2024 නොවැම්බර් මස 12 1026 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය


මිහිරැති වසන්ත කාලේ
2024 නොවැම්බර් මස 05 1130 0

සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද


රෑ වැඩ මුරය
2024 ඔක්තෝබර් මස 29 1297 0

බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්


අඳුරු කුටිය තුළ
2024 ඔක්තෝබර් මස 22 1278 1

ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත


මගේ සිහිනය මට දකින්න
2024 ඔක්තෝබර් මස 15 1225 0

මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 456 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 689 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1955 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site