IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


විදුලිය එළිය දැක


ස්වර්ණ ගුණවර්ධනයන්ගේ ගේය පද සංකලනයෙන් ද ඉන්ද්‍රණි බෝගොඩගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද ෂෙල්ටන් විජේසේකරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණිරුවන කරුණරසය දනවයි.

ප්‍රේමය වනාහි මානවීය හැඟීමකි.පුහුදුන් මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට ද ප්‍රේමය,සෙනෙහස,ආදරය යන හැඟීම් දැනේ.මෙනයින් මිනිසාගේ අධ්‍යාත්මය රංජනය හෙවත් වර්ණවත් වන්නේ ප්‍රේමය නමැති විස්මිත මානව හැඟීම නිසා යැයි කීම අතිශයෝක්තියක් නොවේ.මෙහිදී ස්ත්‍රී - පුරුෂ ප්‍රේමය හෙවත් නුරාරස කාමය අතිශය ප්‍රබලය.ආදරයෙන් අන්ධ වූ පසු උනුන් එකිනෙකාට ප්‍රේමය අමෘතයකි. සම්භෝග සම්පර්කයට එළැඹීමට තෝතැන්නකි.එහෙත් ප්‍රේමාවන්ධ ස්ත්‍රීයෝ සහ පුරුෂයෝ ළඟ මිස දුර නොබලති.ඔවුහු අනුරාගික බැඳුම්වල එල්බගෙන කාල්පනික ලෝකවල අතරමං වී සිටිති.එහෙත් මෙි ප්‍රේමයේ ඇති තතු නොවෙි.තරුණ යුවළක් ආදරයෙන් බැඳුණ ද ඔවුනට සමාජ කොටුපවුරේ ගැටීමට සිදුවෙි.එහෙත් මෙි සමාජ කොටුපවුර යනු කිම? මෙි වනාහි ධන,බල,කුල ගොත්, ජාති ආගම්වාදී ඊර්ෂ්‍යා, ක්‍රෝධ,මද,මාන,මාත්සර්යාදී වෙිරම්බවාතය. මෙකී පිළිමලුන්ට ගොදුරු වූ ප්‍රේමවන්තයෝ ලත් තැනම ලොප් වෙති.එහෙත් ප්‍රේමයෙන් වශීකෘත වී සිටින ආදරවන්තයෝ මෙි බාධා නොදකිති.ඔවුහු ප්‍රේමයේ පරමාස්වාදයෙන් මොහාන්ධකාරයේ ගිලී වළකට වැටුණු පසු යථාර්ථය දකිති.එහෙත් එවිට සියල්ල අහිමි වී අවසන්ය.⁣ප්‍රේමයෙන් මූළාවූවෝ අවසානයේ ජීවිතය ද අහිමිකර ගනිති.

ප්‍රේමයේ අමධුර,අපිරිසුදු පක්ෂය නොදැක වැඩ වරද්ද ගත් ගැහැනියකගේ ශෝකාලාපයක් මෙි ගීතයෙන් සුවිශද වෙයි.මෙි වූකලි ආදරයෙන් අන්ධ වී ජීවිතය අපායක් කරගත් තරුණ කාන්තාවකගේ ⁣ස්වයං පාපෝච්චාරණයකි.ඇය මෙකී පාපෝච්චාරණය කරන්නේ තම මව ඉදිරියේ වීම ද විශේෂත්වයකි.මවකගේ දාරක ප්‍රේමයට පිටුපා හිතුමනාපෙට කසාදයක කරගැනීම නිසා ඇයට මෙි සන්තෑසිය සිදුවී ඇත.තමා කළ වරද ගැන ඇය දැන් පසු තැවෙන්නීය.මෙහි රචක ස්වර්ණ ගුණවර්ධනයෝ වඩාත් බුහුටි ලෙස ජනවහරේ එන ප්‍රකට උපහැරණ,ප්‍රස්ථාව පිළිරු ගීතය ඔපවත් කිරීමට යොදා ගනිති.

 

විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙළා

මග වැරදිලා දිව්වේ මං මුළා වෙලා

පැන ගිය මුවන් ළඟ හැළුණයි නෙළු පලා

දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

 

විදුලිය කොටන මොහොතක ඇතිවන එළියේ ආලෝක තීව්‍රතාව කෙතරම් ද? ඇස් නිලංකාර කරන එබඳු එළි අසුරු සැණින් නිවී යයි.එහෙත් ඇතමෙක් එය දේවතා එළි සේ ද දකිති.ගිනිහුල යනු පිටිසර ජීවත් වන ගම්බද මිනිසුන්ගේ රාත්‍රි විදුලි පන්දමයි.ගම්මු වියළි පොල් අත්තක් හෝ පොල් මටලු බැඳ සදාගත් ගිනිහුල මගතොට යනවිට රැගෙන යති. කාර්ය අවසන් වූ පසු එය නිවා දමයි. මෙලෙස නිවා දැමූ ගිනිහුල අවශ්‍ය නම් නැවත භාවිත කිරීමට ද පුළුවන.එහෙත් එය වතුරට තෙමුණොත් යළි පත්තු නොවෙි.මෙි කථකාව ද පෙම්වතාගේ විදුලිය එළිය බඳු ප්‍රේමනීය ඇස් බැන්දුමට රැවටී ජීවිතයට ආලෝකය දුන් කුඩා ගිනිහුලේ එළිය නිවා දමන්නීය.එහෙත් දියේ හෙළු ගිනිහුල නැවත දැල්විය නොහැකිය .දැන් අඳුර ජීවිතය අරක් ගෙනය.පෙම්වතාගේ විදුලිය එළිය බඳු රැස් වළල්ල ද නැත.තමන්ට මග වැරදුණු බව ද ඇය පවසන්නීය.මෙහිදී "පැනගිය මුවන් දැක හැළුණයි නෙළු පලා"යනු ඇගේ පාරිශුද්ධවය ඔහුට පිදුබව කීමට ගත් වෑයමකි.මෙි උපහැරණය ඖචිත්‍ය නොවෙිද? තමා සතු මහඟු වස්තුවක් අහිමි කරගැනීම පිළිබඳ ප්‍රකාශ කිරීමට කදිම උපහැරණයකි.පිරිසුදුකම කාන්තාවකට ආභරණයකි.රචයා ව⁣ක්‍රෝක්තියෙන් කියන්නේ එයයි."නෙළු පලා "යනු ඇය සතු පරම ධනය වන කන්‍යාභාවය යි.තතු එසේ වූව ද බැදිවල ගොස් මග වැරැදී එන දරුවන්ට මවුපියෝ කවරදාකවත් ⁣ගෙදර දොර නොවසති.

 

කස්තුරි කපුරු කෑ තරමට එපා වුණි

තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණි

ඇස් රතු කළ කොලොප්පමකට හිනා වුණි

මහමෙර වගෙයි නුඹ නොදොඩා බලා වුණි

 

කස්තුරි, කපුරු කෙතරම් සුවඳ වූවත් ඒවා අනුභව කළ නොහැකිය.තම හද බැඳි පෙම්වතාගේ ව්‍යාජ ප්‍රේමය ඇයට එපා වුණු හැටි නොවෙිද මෙි කියන්නේ? එහෙත් ඇයට එදා තම පෙම්වතාගෙන් වහනය වූයේ කෙතරම් මනරම් සුවඳක් ද? ඒ සුවඳට ඉව අල්ලාගෙන ගිය ඇයට දැන් ජීවිතයම එපා වී ඇත.අවසානයේ මීවදේ ඇති සුමිහිරි ප්‍රණීත පැණි පවා ඇයට තිත්ත විය.මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? ඔහුගේ ප්‍රේමය එපාවුණු සැටි කීමට මෙයටත් වඩා ව්‍යංග්‍යාර්ථ,සංකේතාර්ථ උපමා උපමෙිය,රූපක අන්‍යාලාප ඇවැසි ද?මෙහිදී ඇස් රතු කළ උසුළු විසුළුවකට පවා ඇය සිනාසුණු බව කියති.අදරෙන් අන්ධ වූ පසු ස්ත්‍රියට පමණක් නොව පුරුෂයාට ද සියල්ල පෙනෙන්නේ සිනා පිරුණු සිහින සාගරයක් මෙනි.එහෙත් එයින් ලැබෙන්නේ තාවකාලික වින්දනයක් පමණි. මවක් යනු මහමෙර උසුලන ගැහැනියකි.ඇයට සියල්ල විඳ දරා ගැනීමෙි ශක්තිය ඇත.මෙි කථකාවගේ මව ද තම දියණියට සිදුවුණු සියලු විපත් දැක සියල්ල ඉවසා දරා අකම්පිතව සිටින්නීය.

 

මෝල්ගහත් ඇවුළුණි කරුම ගින්නට

උණුසුම මදි වුණා ඔය පැලේ ඉන්නට

ආ ගිය මාවතක් ඉම නෑ පෙනෙන්නට

අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට

 

ජීවිතය යනු දුක සැප නිති පෙරළෙන සංසාර චක්‍රයකි.ජීවන රිය සක කැරකෙන්නේ අටලෝ දහමට අනුවය.ඊට අනුගතව ජීවත් වන්නෝ මෙි ජීවන යථාර්ථය දැනගෙන මැනවින් වෙසෙති. මිනිසාට හැමදාම ⁣හොඳ කලදසාවක් උදාවන්නේ නැත.නරක කාලයට හැමදේම පරහට සිටියි.තමන්ගේ ග්‍රහයා නීච වන විට මෝල්ගහත් පත්තු වන බව කියති.කරුමය පඩිසන් දෙන්නේ එසේය.ජේත්තුකාර පෙම්වතාගේ ව්‍යාජ ප්‍රේමයට රැවටුණු මෙි කථකාවට තම මවගේ දාරක ප්‍රේමය පිරුණු කුඩා පැල්පතෙහි ද ඉන්න හිත දුන්නේ නැත.ඇය ඉසුරු සොයා රජ මාලිගයකට කිරිල්ලියක මෙන් ඉගිල ගියාය.එහෙත් අද ඇයට ඉන්න සිදුවී තිබෙන්නේ අත්තටු සිඳගත් කිරිල්ලියක ලෙස නොවෙිද? ඇය ගිය ගමනේ ඉමක් කොනක් දක්නට නැත.සියල්ල මිරිගුවකි.මෙහිදී පොඩි හිඟන්නී යන විශේෂණ පදය යොදා ඇත්තේ මෙි කථකාව පවුලේ බඩපිස්සිය බව ඇඟවීමටය.සමා වෙලා දොර අරින්නැයි ඇය මවගෙන් ඉල්ලන්නේ යථාර්ථය වැටහී ගිය පසුය.පෙම් බැඳුම් හට ගනී.එහෙත් ඒවා තත්ක්ෂණයෙන් හෝ කාලයාගේ ඇවෑමෙන් බිඳී යයි.ලෝකයේ බොහෝ ආදර අන්දර බිඳි යන්නේ ඒවා යට සැඟවී තිබෙන ව්‍යාජය නිසාය.ව්‍යාජ පෙම් බැඳුම්වල මානවබන්ධුත්වයේ ඉමිහිරි සංස්පර්ශය නැත.අද කාලයේ ඇසෙන අපභ්‍රංස අමිහිරි අරුත්සුන් පබැඳුමි,ගැයුම්,වැයුම්වලට වඩා මෙි විශිෂ්ට ගීමිණී කෙතරම් රමණීය ද?

 



අදහස් (0)

විදුලිය එළිය දැක

ඔබේ අදහස් එවන්න

ගී විනිස

සංහිඳේ දෙවියන්ගේ පාමුල
2024 නොවැම්බර් මස 19 503 0

සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ


පිළිම නෙළා නැති
2024 නොවැම්බර් මස 12 1028 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය


මිහිරැති වසන්ත කාලේ
2024 නොවැම්බර් මස 05 1131 0

සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද


රෑ වැඩ මුරය
2024 ඔක්තෝබර් මස 29 1297 0

බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්


අඳුරු කුටිය තුළ
2024 ඔක්තෝබර් මස 22 1279 1

ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත


මගේ සිහිනය මට දකින්න
2024 ඔක්තෝබර් මස 15 1225 0

මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 458 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 690 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1958 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site