ගීතයට සාහිත්‍යමය විචාරයක් අවශ්‍යය යන්න වෙසෙසින් තහවුරු වන්නේ මෙබඳු ගී මිණක් දුටු තන්හිදීය. අර්ථ පූර්ණ ගේය පද මාලාවක් සංකල්පීය විචාරයකට භාජනය වීම සාහිත්‍යයේ උන්නතියට මෙන්ම සුභාවිත ගීතයේ ප්‍රගමනයට ද හේතුභූත වෙයි. සාහිත්‍ය විචාරය නමි ගීතයකට පාදක වන පද මාලාවේ රස-විරස අනාවරණය කිරීමයි. ඒ අනාවරණය සඳහා එහි එන යෙදුමි, ප්‍රකාශන විධි,කාව්‍යෝක්ති ආදිය විශ්ලේෂණය කිරීම අවශ්‍ය වන්නේය. ගී විනිස කෙරෙන් අප අනවරතයන් උත්සාහ කරනුයේ ද එබඳු උසස් විචාර කලාවක් ගොඩනැගීමටය.
ලූෂන් බුලත්සිංහලයන්ගේ සුදුර්ලභ ගේය පද රචනයෙන් ද විශාරද ගුණදාස කපුගේ සූරීන්ගේ සුගායනයෙන් සහ ස්වර සංරචනයෙන් ද සුරංජිත වූ මේ ගී මිණ ඇති නැති පරතරයේ පන්ති විසමතාව මෙන්ම පීඩතයාගේ සෝචනීය ඉරණම ප්‍රේමයේ විප්‍රලම්බ ශෘංගාරය ඇසුරෙන් සුවිශද කරයි.ලූෂන් බුලත්සිංහලයන්ගේ මේ ධ්වනිතාර්ථපූර්ණ ගීතය අසන මොහොතක් පාසා මගේ මතකයට නැගෙනුයේ මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයයි. ප්‍රබුද්ධ වනාහී සේකර කවියේ කූටප්‍රාප්තියයි. සේකරයන්ගේ අවසන් කාව්‍ය ප්‍රයාමය වන ප්‍රබුද්ධ කවදත් දුහුනනට අත්පොතකි.
මේ වූකලි නූතන සිංහල කවියේ අග්‍රඵල යැයි කීම අතිශයෝක්තියක් නොවේ. විදුලි මිණි පහන් ගීතයේ කථකයා වන කුරා කුහුඹු මිනිසා අන් කවුරුවත් නොව සේකරගේ ප්‍රබුද්ධය. බුදු දහමේ හරය දාර්ශනික එළැඹුමකින් ගෙනහැර දැක්වීමට සේකරයෝ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය තුළින් උත්සුක වෙති. ගැමි වහර,පුර වහර,ගත් වහර එක් කොට සැකසුණු රමණීය භාෂා ප්‍රවාහයක් ප්‍රබුද්ධ කාව්‍ය ඔස්සේ ගලා යයි.
සේකරයන්ගේ ප්‍රබුද්ධ වූකලි දුප්පත් අහිංසක කලාකරුවෙකි.යශෝධා නමැති රූමත් ධනවත් තරුණියකට පෙම් බඳින ප්‍රබුද්ධ අවසානයේ ඇති නැති පරතරය හමුවේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කොට ගෙන ප්‍රේම විජිතයෙන් පලා යයි.ධනයෙන්,බලයෙන්,කුලයෙන් කුල්මත් වූ යශෝධාගේ ප්‍රභූ සමාජ පන්තියේ ඉදිරියේ ප්‍රබුද්ධ අසරණ වෙයි.ලූෂන්ගේ විදුලි මිණි පහන් ගීතයේ කථකයාට වනුයේ ද මෙකී සන්තෑසියමය.ඔහු ද සිය පොහොසත් පෙමිවතියගේ උසස් සමාජ පන්තිය හමුවේ හීනමානයෙන් චකිතයෙන් ඔද්දල් වී සිටියි.
කුලීන පවුල්වල ප්‍රභූ සමාජ පන්තිය ඉදිරියේ ප්‍රබුද්ධලා කවදත් අසණයෝය.ඔවුහු කුරා කුහුඹුවෝය.විදුලි මිණිපහන් ගීතයේ ඇරඹුමත් ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයේ ඇරඹුමට සමානය.දිනක් යශෝධාගේ උපන් දින සාදයකට ප්‍රබුද්ධට ද ඇරියුමි කරයි.සිය පෙමිවතියගේ ඇරියුම සතුටින් බාර ගත්ත ද ප්‍රබුද්ධ එහි යන්නේ තරමක් චකිතයෙනි.
අහස් මාලිගාවකි
යසෝදාගේ නිවෙස.
සුදු පවුර
සුදු යකඩ ගේට්ටුව.
කිරිගරුඬ බිම වසන රන් පලස
නන් විසිතුරු කැටයම් ගෘහ භාණ්ඩ
නොයෙක් රටවලින් ආ
නොයෙක් වයි වාරන්න
පළිඟු මිණි දැල් පහන්
සුව පහස්
යස ඉසුරු දකින විට
ප්‍රබුද්ධ තුළ අල්ප හැඟීමක් ඇතිවිය
පුපුරා ගොස් මෙතෙක් දවස්
රෑ සිහිනෙන් දුටු සිහිනය
මහ දාවල්
මහ පොළොවට ඇද වැටුණා මෙන් විය.
අප දෙදෙන අතර ඇති පරතරය
දැන් දකිමි පැහැදිලිව
යසෝදා!
සේකරයෝ මෙසේ ද ලියති.
නැංගේය ඔහු උඩුමහලට
ප්‍රාසාදයෙහි
ඇය හා අතිනත ගෙන
ටයි කබා කලිසම්
දිස්න නගනා පාවහන් තුළ
සිර කොට වසා තද කොට
නිදැල්ලේ ගලා ගිය ආත්මය
දිස්වීය මුළු නුවර ඔහු නෙතට
උස් මිටි ගොඩනැගිලි
උයන් පටු මං වීදි
මග දිගට තරගයට දිව යන මහ සෙනඟ.
නැගගෙන නැගගෙන පඩිපෙළ
ආ විට උඩුමහලට
දිස්වීය ඔහු නෙතට
කුරා කුහුඹුවන් ලෙසට
පඩංගු පකිස් ලෑලි
ටිං බෙලෙක්ක තහඩු
ගෝනි අස්සෙන් එබී බලන
මුඩුක්කු දහ ජරාව පැටවු ගැහුව
වැරහැලි කාලකණ්ණි මිනිස් ප්‍රාණ
දුගඳ පිරුණු කාණු දිගට
හමා අයෙන් සිතට පිළිකුලක්
ඒ අඳුරු කාණුවෙන්
වහා නෙත් ඉවතට හැරවීය ඔහු
ප්‍රිය සමිභාෂණය දෙසට
ප්‍රබුද්ධගේ ලෝකය ජරාජීර්ණ අවීචි මහ නරකාදියකි. බඩසයෙන් පෙළෙන දරුවෝ, මහල්ලෝ, කමිකරුවෝ, මංපහරන්නෝ, ගණිකාවෝ එහි කුජීත ජීවිත ගත කරති. යශෝධාගේ සත්මහල් ප්‍රාසදයේ ජනෙල් කවුළුවෙන් එබී බලද්දී ඔහු දුටුවේ දරිද්‍රතාවෙන්,නැතිබැරියවෙන් මිරිකී ගඳ ගහන මේ නරාවළ නොවේද? විදුලි මිණිපහන් නමැති මහඟු ගී මිණ ඔප මටිටමි කිරීමේදී ලූෂන් බුලත්සිංහලයන් බුහුටි මැණික්කරුවකු වීමට ගරුහරුකම් ගනුයේ ද සේකරයන්ගේ ප්‍රබුද්ධ කියැවීමෙන් යැයි මම හඟිමි.
විදුලි මිණිපහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිරවී
සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
මේ කථකයාට සිය පෙම්වතියගේ උපන් දින සාදයට ගිය සැණින් තමා කෙරෙහි පුංචි හීනමානයක් මෙන්ම අවතක්සේරුවක් ඇති වෙයි. මාලිගයක් බඳු ඇගේ නිවෙසත්,අවට පරිසරයත් දුටු මතින් විදුලි මිණි පහන් මෙන් දැල්වෙන වර්ණවත් ආලෝක බුබුළු යට ඔහුගේ දෑස් නිලංකාර වී යයි. මේ විසිතුරු සැඳෑ සාදය ඔහුට සිර කුටියකි. ගලිවරයන් අතරට පැමිණි තමා ලිලිපුටිටකු නොවේ දැයි ඔහුට සිතෙයි.
පන්ති භේදය,කුල භේදය,පළාත් භේදය ස්ත්‍රි ගර්හා ආදියෙන් දූෂිත වන ප්‍රේමය මූල්‍ය ගනුදෙනුවක් විනා තව දුරටත් ඒ පරම රමණීය ස්ත්‍රි - පුරුෂ කායික - මානසික සබඳතා නොවේ. විදුලි මිණි පහන් ගීතයට විෂය වනුයේ ද දුෂ්ට සමාජයේ දිනෙන් දින වර්ධනය වන මේ අයථාර්ථවත් භාවයයි. මානව ජීවිතය වනාහි මෙලොව පවත්නා උදාරතම වස්තුව යි යන්න සමඟ එකඟ නොවන්නෝ කවරහුද? එහෙත් පන්ති,කුල පීඩනය හමුවේ මානවයෝ අසරණයෝය. විදුලි මිණි පහන් ගීතයේදී ලූෂන් බුලත්සිංහලයෝ පන්ති පරතරයේ සමාජ ඛේදවාචකය සුවිශද කිරීමට එහි කථකයා කුරා කුහුඹුවකුට සම කරති. අපි නැවතත් සේකරයන්ගේ ප්‍රබුද්ධ වෙත හැරෙමු. ප්‍රබුද්ධ සත්මහල් ප්‍රාසදයේ තරප්පු පෙළ නැගගෙන අවසානයේ ප්‍රිය සම්භාෂණය පැවැත්වෙන ප්‍රධාන ශාලාවට පැමිණියේය. එහි සිටින්නෝ කවරහුද?
සිටියෝ විසිත්ත කාමරයෙහි
කළු කබා මහත ටයි
තරබාරු ප්‍රභූවරු
ගරුතර මැති ඇමැතිවරු
පිටිකර රැලි වැටුණු
කඳ බඩ හොඳින් ආරපු
සංස්ථා ලොක්කෝ
සහ පෙරකදෝරුවෝ
පීරා ඈතින් කෙස් ගෙනත්
තට්ටය යාන්තමින් වසාගත්
රජයේ වර ලැබූ
ව්‍යාපාර හිමිකරුවෝ
ජාතික බැනියම් අඳින
ඡන්දයට සල්ලිත් දෙන
සිටියෝ මෝරපු ගැහැනු
බැන්ද උස් කොංඩා හා
ගන දෙතොල් උල් නිය ඇති.
අඩවන් තඩිස්සි ඇස්
ඉඟ දෙපසින් එල්ලෙන මස්
විජිනිපත් ගෙන පවන් සලමින්
බලමින් නෙත් කොනින් ගර්වයෙන්
මැකෙන රූ සිරියට මුක්කු ගසමින්
යශෝධාගේ උපන් දින සාදයේ විසූක දස්සනවලින් අන්ද මන්ද වී සිටින ප්‍රබුද්ධ ඉහළ සමාජයේ කූල් ටූර් ජීවිත දෙස සදය උපහාසයෙන් බලයි.නිර්ධන පන්තියේ ජනතාවගේ ශ්‍රමය සූරාකමින් ඇතැමි ධනපතියෝ මුදල් අටිට් ගහමින් නාස්තිකාර ජීවිත ගත කරති.ඔවුන්ගේ ජීවිතයම සාදයකි. එහෙත් ඔවුහු අපරාධකාරයෝය. මේ ව්‍යාජ ජීවිතවල ඇතුළාන්තය දැකීමට තරමි ප්‍රබුද්ධගේ මනස පොහොසත්ය.ඔහුට සම්‍යඥානය ඇත.
පාවුණා යසෝදා උන් මැදට
දියට බසින හංස දේනුවක් විලසට
එහෙත් අමුත්තක් එවිටම දැනිණ ඔහුට
පැතිර ගියෙන් අවට කසු කුසු හඬ
හීනමානයක් හා චකිතයක්
ඔහු සිතෙහි පහළ විය
යෝධයන් අතර අඟුටු මිටිටකු සේය
නාඳුනන දුරු රටක අතර මං වූවා සේය.
සේකරයන්ගේ ප්‍රබුද්ධට මෙන්ම ලූෂන්ගේ විදුලි මිණි පහන් ගීතයේ කථකයාට තමා ගැන දැනෙනුයේ හීනමානය දැවටුණු චකිතයකි. ඔවුහු සිය පෙම්වතියන්ගේ ධනය,බලය,කීර්තිය ඉදිරියේ කුදු මිනිසුන් ලෙස පසු බසිති.මෙහිදී ප්‍රිය සමිභාෂණයට පැමිණ සිටින ආරාධිතයෝ ප්‍රබුද්ධට ගීයක් ගයන්නට ඇරියුමි කරති.සබකෝලයෙන් වටපිට බලන ප්‍රබුද්ධ ගයන්නේ කුමක් දැයි කල්පනා කරයි.
ආරංචියි ආටිස්ටි කෙනෙක් කියලා
කියන්නකෝ සින්දුවක් !
ප්‍රබුද්ධ පියානෝව වෙතට ගියේ
ඈත රටක තනිවී සිටින විටක
හිත මිතුරකු දුටුවා මෙනි.
ජගන් මෝහිනී - මධුර භාෂිණී
චාරු දේහනී - කමල වාසිනී
සරස්වතී දේවී - වන්දේ
සරස්වතී දේවී ....
නොදන්නා බසකින්
නොදන්නා කිසිවක් කියන විට මෙන්
බලා සිටියෝ ඔවුහු නොසතුටින්.
නොමිහිරිද මේ වෙණ?
ඇසූහුද මින් වැඩි වෙණ?
නැතහොත් නැත නුවණ
කියව නොසතුටු වෙන්න කාරණ?
පොප් ගීයක්
පොප් ගීයක්
සියල්ලෝම හඬ නැගුහ.
ප්‍රබුද්ධ පොප් ගීතයක් ගායනා කරනු ඇතැයි ඔවුහු කල්පනා කළහ.එහෙත් ඔහු මෙහිදී ගායනා කළේ තමා උගත් ශාස්ත්‍ර ඥානයට මෙන්ම සමිභාව්‍ය රසික හදවත් සුපෝෂණය කළ ශ්‍රී චන්දරත්න මානවසිංහයන් ලියු සරස්වතී අභිනන්දන ගීතයයි.එහෙත් ඉහළ සමාජයේ බොහෝ පිරිසක් එබඳු ශාස්ත්‍රිය ගීත ප්‍රිය නොකරති.ඔවුහු කර්ණරසායන ගීත වෙනුවට කර්ණකටුක ගීත ඇසීමට ප්‍රිය කරති.රාත්‍රි සමාජශාලාවල,ප්‍රිය සමිභාෂණවල නිතර ඇසෙනුයේ ද එබඳු ගීත පමණි.
එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ...//
පුරාගෙන පිරූ විතේ
විසුළු කෙළි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැඳුරු දොර දිහා
මේ කථකයාගේ ආදරවන්තිය සාදයට සහභාගි වූ සියලු ආරාධිතයන්ට කන්න බොන්න ප්‍රීති වෙන්න ඇරියුමි කරන්නීය. ඇතමෙක් සුරා මතින් නටති.තවත් අයෙක් නර්තනයේ යෙදෙමින් සෙල්ලම්,කවට සිනා පාති.එහෙත් සියල්ල පරයමින් ඔහුට ඇගේ කටහඬ ඇසී නොඇසී යයි.පන්ති සහිත සමාජයේ දේපළින් වියෝ කරනු ලැබ මිනිසා ජීවිත් වනුයේ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් මැදය.ඒ දුකට සන්තාපයට හේතුව ඔහුගේ කායික හෝ මානසික අවශ්‍යතා එකක්වත් සපුරා ඉටු නොවීමය.ඔහුගේ ජීවිතය නිති දුක්බරය.ඔහු අනවරතයන් මේ දුකින් ගොඩයෑමට යත්න දැරූව ද තම ජීවිතය සුපුෂ්පිත කරගැනීමට වෙර දරන සියලු ප්‍රයත්නයක්ම කඩාකප්පල් වෙයි.මේ පැදි පෙළම සේකරයෝ මෙසේ ලියති.
හා එන්න ! ප්‍රීති වෙන්න
ගී කියන්න පෙම්බරෝ
මේ වගේ සැපක් තවත් ලොවේ
තියේද සුන්දරෝ
හැම් බේකන් කන්න සල්ලි
ජින් ෂැම්පේන් බොන්න සල්ලි
බල්ලෝ මරලා හරි සල්ලි හොයාලා
ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා
නැගෙන මඳ සංගීත රාවය
පුබුදුවයි හද නිදන රාගය
උඩුමහලේ තැන තැන අහුමුලුවල
පළිඟු මිණි විත් තුළ
හිමකැට අතර සීතල
රත් නුරා නගා සුදු පෙණ බුබුළු
පණ පොවයි නො පිරිපුන් ආසා.
පොහොසතුන් කන බොන ආකාරය මෙන්ම ඔවුන් ජීවිතය විඳින විදිය පූර්වෝක්ත පැදි පෙළෙන් මොනවට පැහැදිලිවේ. බල්ලන් මරලා හරි සල්ලි හොයන සමාජයක නොවේද අද අපි ජීවිත් වෙන්නේ? සංකේත ප්‍රාග්ධනයට ලොබ බඳින සමාජයක තතු එසේ නම් ප්‍රබුද්ධලා වැනි කුදු මිනිසුන් කුමක් කරන්නද? ඔවුහු අහිංසක,දුප්පත් කලාකාරයෝය.එහෙත් මේ දුෂ්ට මරිමෝඩ මිනිසුන්ගේ නිස්සාර ජීවිතයේ හිස්කම,තනිකම ප්‍රබුද්ධලා දකිති.
ප්‍රබුද්ධ
හිස්ය මේ ජීවිතය
බොල්ය මේ ජීවිතය
බලව !
රන් දුහුල් යට
සුවඳ විලවුන් අතර
අතට අතදෙන ඇඟිලිකරු අතර
නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම
මහා රැවටිල්ලකට
හසුවුණ මෙන් හැඟිණ ඔහුට
ජීවිතය පිළිබඳ කලකිරෙන ප්‍රබුද්ධ අවසානයේදී යසෝදාගේ සත්මහල් ප්‍රාසදයේ තරප්පු පෙළ බැහැගෙන බීමතින් එළියට එයි.ඔහු නැවතත් ඔහුට හිමි දුප්පතුන්ගේ ලෝකය වෙත පලා යයි. යා දෙක නොරත රත -එකට පෑහීමක් නැත කියන ආප්තය ඔහු හිස් මුදුනින් පිළිගනී. ලූෂන් බුලත්සිංහලයන් ද ගීතයේ අවසන් අන්තරා කොටසින් පවසන්නේ මෙයම නොවේද?
දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා ...//
ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමුනොදී
හංසයා ගීත ගයන්නේ මරනාසන්න මොහොතේදීයි. හාමතේ හූල්ලන දුප්පත්තු කෑම ඉල්ලමින් මැඳුරු දොරටුවෙන් එහා හඬා වැටෙති.කුස ගින්න නිවාගන්න ඔවුනට නොඉඳුල් ආහාරම ඇවැසි නැති බව ද මරනාසන්න හංසයන් මෙන් ඔවුන් දෑත පාමින් ඇස් දෙකෙන් ඉඟිමරා ඉඳුල් බත්පිඩක් හෝ අයදින බවද කථකයා කියයි.ඔවුහු ඉඳුලින් හෝ කුස ගිනි නිවා ගනිති.දුප්පතුන්ගේ ලෝකය එසේය. අවසානයේදී කථකයා කියන්නෙ තමා මෙි ප්‍රිය සාදයේ සිටිනුයේ සිතකින් නොවන බව නොවේද ?
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමුනොදී
මේ නම් මොනතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? එපමණක් නොව මේ ගීතයෙන් ලූෂන් බුලත්සිංහලයෝ දුප්පතුන් මෙන්ම පීඩත පන්තියේ ජනතාව කෙරෙහි අප හද තුළ තීව්‍රතර අනුකම්පාවක් ද උපද්දවති. කලාව මානව බන්ධුත්වයෙන් තිරසර කරතැයි කියනු ලබන්නේ මෙවැනි ලක්ෂණ දරන නිසා නොවේ ද?
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රේමයේ සත් මහලෙන් පලා ගිය කුහුඹු මිනිසා
Samantha yahampath Monday, 19 September 2022 03:57 PM
ඇත්තෙන්ම ඒ විවරණය ඉතාම මනරම්. සේකර හා ලූෂන් ගැලපීම ඔබ අප වෙනම ලෝකයට ගෙන ගියා වගේ. ඔබගේ බස් වහර අපට බොහෝ දේ කියා දෙයි. ඇත්තෙන්ම ගීතයට ඔබේ විවරණය ඔටුන්නක් දැම්මා වගේය. ඔබට බොහොම පින්.. අපිට අලුත් අදහස් ගීතය ගැන හිතන්න ඉඩ හසර ලබාදුන්නට...
AB Thursday, 22 September 2022 03:47 AM
ප්‍රබුද්ධගේ පෙම්වතිය වන යසෝධාගේ උපන්දින සාදයට සත්මහල් ප්‍රාසාදයේ තරප්පු පෙළ නැගගෙන අවසානයේ ප්‍රිය සම්භාෂණය පැවැත්වෙන ප්‍රධාන ශාලාවේ සිදුවූ සියල්ල දැකීමෙන් පසු සාදයට සහභාගි වූ සියලු දෙනා තාවකාලික සුවයක් විඳිමින් සිටිනා බව ප්‍රබුද්ධට අවබෝධ වන්නට ඇත. ප්‍රබුද්ධට පෙම්වතිය වන යසෝධාගේ ප්‍රභූ පන්තිය සහ ඔහුගේ පන්ති සහිත සමාජයේ වෙනස තේරුම්ගෙන ප්‍රිය සම්භාෂණයෙන් පිටව ගියේද? එසේ නොමැති නම් සියලු විසූක දස්සන දැකීමෙන් පසු මේ සියල්ල තවකාලික බව තේරුම් ගෙන ලෞකික ජීවිතය සහ ලෝකෝත්තර ජීවිතය පිළිබඳ වෙනස ප්‍රබුද්ධට අවබෝධ විනිද? ශාක්‍ය වංශයේ උපන් සිදුහත් කුමරුට අවබෝධ වූ සියල්ල තවකාලික සහ අනිත්‍ය බව කුඩා පැලක දුප්පත් පවුලක ඉපදුනු ප්‍රබුද්ධටද යසෝධාගේ උපන්දින සාදයේදී අවබෝධ වන්නට ඇත. අෂ්ට ලෝක ධර්මය ධනයෙන්, බලයෙන්, කුලයෙන් කුල්මත් වූ හෝ උස් පහත් බේදයකින් හෝ පරාජය කළ නොහැකි සියල්ලන්ටම මුහුණ දීමට සිදුවන සත්‍යයක සහ යථාර්තයද වේ...