උදය මානවසිංහයන්ගේ ගේය පද සංරචනයෙන් ද විශාරද ගුණදාස කපුගේ ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද සේන වීරසේකරයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ මෙි ගීමිණිරුවන මානවබන්ධුත්වයෙන් අප හද කම්පා කොට කරුණරසය දනවයි.
" කොපමණ වෙිලාවක් කුණාටුව හැමුවාද,කොපමණ වෙිලාවක් මාළුවා මා ඇදගෙන ගියා ද කියා මං දන්නේ නැහැ.මාළුවා පරාණ භයෙන් මා ඇදගෙන ගියා.මං අතහරින්නේ නැතුව ඇදගෙන හිටියා.යොතට මගේ ඇඟපත කැපුණා.කුණාටුව මගේ ඔරුවත් මගේ මාළුවාවත් මගෙන් උදුරා ගන්න හැදුවා.මං කුණාටුවටයි,මාළුවාටයි විරුද්ධව සටන් කළා."
"මිනිසකු විනාශ කළ හැකිය.එහෙත් පරාජය කළ නොහැකිය."
- මහල්ලා සහ මුහුද
(The Old Man And The sea )
අර්නස්ට් හෙමිංවෙි
ඇමරිකාවේ චිකාගෝ නුවර උපන් අර්නස්ට් හෙමිංවෙියෝ සුකීර්තිමත් නවකතාකරුවෙක් වෙති.ඔවුහු විශිෂ්ට නවකතා කිහිපයක් ම ලියා පළ කළහ.මෙි අතරින් The Old Man And The sea ( මහල්ලා සහ මුහුද ) The Sun Also Rises ( හිරුත් උදාවෙයි) යන නවාකතා ද්විත්වය වඩාත් ජනප්‍රිය ය. මහල්ලා සහ මුහුද වස්තු විකාශනයෙන්,රීතයෙන්,ආඛ්‍යාන ශෛලියෙන්,බසින් හා දෘෂ්ටියෙන් වෙසෙස් ගූණයක් පළකළ නවකතාවකි.මෙි වූකලි සාහිත්‍ය කේෂත්‍රයේ පෙරළියක් ඇති කළ කෘතියකි.මෙි නවකතාවත් උදය මානවසිංහයන්ගේ "මාරියාවේ" ගීතයත් අතර අවියෝජනීය බැඳීමක් ඇත.හෙමිංවෙිගේ සහ උදයගේ අත්දැකීම් එක සමාන නො වූ ද දෙදෙනා ම ලද වෙිදයිතය එකකි. කියුබන් ජාතික ධීවරයකුගෙන් අසා දැනගත් කතාවක් අර්නස්ට් හෙමිංවෙිට මහල්ලා සහ මුහුද ලිවීමට බලපෑවේය.කුඩා දරුවකු සමඟ මුහුදු යන මහල්ලකු වටා ගෙතී ඇති මෙි නවකතාව මගින් ධීවරයා පිළිබඳ පමණක් නොව ජීවිතයේ ජය පරාජය ගැන ද අපූරු පාඩමක් උගන්වයි.
එමෙන් ම තම පැටිවියේ දී ගන්දර වැල්ලේ කෙළිදෙලෙන් ඇවිද යද්දී එහි අවට වාසය කරන දුප්පත් අහිංසක ධීවර ප්‍රජාවගේ ජීවන රටාව දෙස උදය මානවසිංහයෝ ළතෙත් බවින් මානවබන්ධුත්වයෙන් බැලූහ.එහිදී ඔවුහු ධීවර ප්‍රජාව සමඟ කුලුපග වෙමින් ඔවුනගේ දුක සැප හඳුනා ගත්හ.මාරියාව වනාහි සුනාමිය තරම් ම දරුණු උදම් රළකි.වාරකන් කාලයට ඇදී එන මෙි චණ්ඩ රළට ධීවරයෝ බිය වෙති.ඔවුහු නැවත මුහුද සන්සුන් වනතුරු බලා සිටිති.ධීවරයෝ දුගියෝය.ඔවුහු මුළු ජීවිත කාලය පුරා එදාවෙිල සරිකර ගැනීමට මහමුහුද සමඟ ඔට්ටු වෙති.ධීවර ජීවිතය කටුකය.නිරානන්දය.සුඛානන්දය, සුඛප්‍රහර්ෂය ඔවුනගේ පොල්අතු පැලට එබෙන්නේ කලාතුරකිනි.ගෙහිමියා දවසක් දෙකක් මුහුදු නො ගියහොත් අඹුදරුවෝ හාමතේ දුක් විඳිති.ඔරු,පාරු,බෝට්ටුවලින් ගොස් ඈත දියඹෙි මත්ස්‍ය සම්පත පීරන ධීවරයෝ සුළිකුණාටු මැද සති මාස ගණන් මහමුහුදට ජීවිතය දිය කරති.ඔවුහු මත්ස්‍ය අස්වැන්න නෙළාගෙන සතුටින් ගොඩබිමට පියනැගුව ද එය විකුණා හම්බ කළ සේසතම නැති නාස්ති කර ගනිති.සුරා සූදුව,ගණිකා සේවනයට ඇබ්බැහි වූ ඇතැම් ධීවරයෝ ඊට ලොබලිය වඩමින් සාක්කු සිස් කර ගනිති.අවසානයේ සයුරට දිය වුණු ධීවර ජීවිතය දරිද්‍රතාවයේ පතුලට ම ඇද වැටෙයි.ධීවරයාගේ සැබෑ හතුරෝ කවරහුද? ධීවරයාගේ සතුරා ද මිතුරා ද වන්නේ "ඉයත්තුව" හෙවත් කාලගුණය යි.යහපත් කාලගුණය ධීවර රස්සාවට සතුටු මහෝඝයකි.අයහපත් කාලගුණය කදුළු විලාපයකි. වාරකන් කාලයට මුහුද රළු වෙයි.රළ ප්‍රචණ්ඩ වෙයි.සුළිකුණාටු හමයි.මාරියාව නමැති මහ රළ ඇවිත් ගොඩබිම් ද වනසයි.පැල්පත් සුනුවිසිනු කර දියබත් කරයි. එකල්හි ධීවරයෝ මුහුද දෙස බලාගෙන හාමතේ හූල්ලති.වර්ෂාවෙන්,සුළඟින්,කුණාටුවෙන් තොර කාලය ධීවර හිස මල් පිපෙයි.එහෙත් වාරකන් කාලයට ධීවර ඇස කදුළු පිරෙයි.ධීවරයෝ වාරකන් කාලයට මුහුදු ගමන් අත්හරිති.ධීවරයන්ගේ සුබ කාලය "හරාව" නමින් හඳුන්වයි.මුහුද සන්සුන් වන මෙි කාලයට "වළාලය" යැයි ද කියති.උදය මානවසිංහයෝ මෙි ගීසපුව හැඩගැන්වීමට ධීවර බස අපූරුවට යොදා ගනිති.රචකයා වළාලයට අඬ ගසන්නේ ධීවරයාගේ අඳුරු සමය දුරු කිරීමෙි අටියෙනි.මෙි ගීතයේ ස්ථායි කොටස රමණීය නො වෙි ද?
මාරියාවේ
මාරියාවේ
මාරියාවේ
මාරියාවේ ඔහෙ නවතින්නේ
සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩ දී පලයන්නේ
මෙි කථකයා තම මුහුදු රස්සාව බිලිගැනීමට එන මාරියාව නමැති චණ්ඩ රළට අහිංසක ආයාචනයක් කරයි.ඔහු පවසන්නේ මාරියාවට යළි මෙහි නොඑන ලෙස නො වෙි ද?වියරු වෙසින් එන මාරියාව තම ධීවර ප්‍රජාවට එල්ල කරන හිරිහැර, කරදර ඔහු හොඳින් දනී.කථකයා මෙහිදී අයැදින්නේ වළාලයට ඉඩ දෙන ලෙසයි. මුහුද සන්සුන්කර යහපත් කාලගුණයක් උදාකර දෙන්නැයි ඔහු මාරියාවෙන් අයැද සිටියි.එහෙත් මාරියාව යනු අචෙිතනික ප්‍රපංචයකි.ධීවරයාගේ මෙි දුක් අඳෝනාව මාරියාවට ඇසේවි ද?මෙහිදී රචකයා අප මින් පෙර නොඇසූ විරූ යෙදුම් කිහිපයක් ඖචිත්‍ය ගුණයෙන් ඉදිරිපත් කරයි.මාරියාව සහ වළාලය යන වචන ධීවර සංස්කෘතියට ආවෙිණික වචනය.මෙි වූකලි ධීවරයාගේ හද බසට සමීප රමණීය ගීමිණක් නො වෙි ද?
නුඹ ආ දා සිට නිවුණු ළිපේ ගිනි
හද තුළ මෙළවී ඇවිළෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩ දී පලයන්නේ
සුනාමි උදම් රළ මෙන් ප්‍රචණ්ඩ ලීලාවෙන් ඇදී එන මාරියාව කථකයාගේ හදවත ගිනි අවුළයි.එය හරියට මුළුතැන්ගෙයි නිවුණු ළිප මෙළවී ඇවිළී එන්නා සේ ය.මෙි අප්‍රමාණ කරදර,හිරිහැර උහුලන්නට ඔහු තවත් සුදානම් නැත.වළාලය හෙවත් සන්සුන් මුහුදට ඉඩ දී වහාම පිටව යන ලෙස කථකයා අයැද සිටියි.එහෙත් සිත්පිත් නැති වියරු රළ පෙළ වාරකන් කාලයට පණගසා විත් ධීවරයාට දුක ම සදයි.
නුඹ ආ දා සිට පැල අඳුරේමයි
සතුට සාම සොම්නස නොරැඳෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ වළාලයට ඉඩ දී පලයන්නේ
මෑත දියඹෙි නවතා ඇති ධීවර බෝට්ටු,ඔරු, පාරු මාරියාව ඇවිත් සුනුවිසිනු කර දමයි.එපමණක් නොව ධීවර පැල්පත් පවා කුදලගෙන යයි. එවිට ධීවරයන්ගේ බඩ රස්සාවට තට්ටුවෙයි.උන්හිටිතැන් නැතිවෙයි.මෙබඳු ශෝචනීය ඉරණමකට තමා ගොදුරු නොකර දුප්පත් පැල අඳුරේ නොතබන ලෙස කථකයා මාරියාව නමැති උදම් රළ රකුසාගෙන් ඉල්ලයි.මාරියාව කඩාවදින හැම මොහොතක ම තම නිවසේ සතුට සාමය බිඳ වැටෙන බව නො වෙි ද මෙි කියන්නේ? මුහුදු යන ධීවරයාගේ අතමිට සරු වන්නේ ලෙල්ලමෙි දී පමණි.මාරියාවෙි සෙල්ලමෙන් ලෙල්ලමත් නැතිවෙයි.ලෙල්ලමට මාළු එන්නේ ධීවරයා මුහුුදු ගියොත් පමණි.එහෙත් වාරකන් කාලයට මුහුදු යා නොහැකිය. කෑමට,බීමට මුදල් නැතිවිට කුස්සිය හිස්ය.එවිට කුසගින්නේ දැවෙන සුතනඹුවන්ගේ බඩපොත්ත පිටෙි ඇලෙයි.මෙි වූකලි දුප්පත් අසරණ ධීවරයාගේ ජීවන යථාර්ථය නො වෙි ද? කාව්‍යයේ දී ස්වාභාවෝක්තිය නම් අලංකාරයක් ඇත.මෙි වූකලි උපමා රූපකාදියෙන් තොරව බස පරිහරණය කොට හැඟීම් දැනවීමයි.එහෙත් බොහෝ කවීහු ස්වාභාවෝක්තිය අතහැර උපමා,රූපක හා කාව්‍යෝක්ති කෙරෙහි විශ්වාසය තබති.මෙි ගීතය ද ස්වාභාවෝක්තියෙන් ලියැවී ඇත. උදය මානවසිංහයෝ කාව්‍යෝක්ති පසෙකලා ස්වාභාවෝක්තියට වැඩි ඉඩක් දෙති.එහෙත් ගීතයේ රසාවෙිශයට ඉන් කිසිදු හානියක් නැත.මාරියාව තරම් චණ්ඩ රළක අනුසාරයෙන් නිමවා ඇති සංගීතයත් ගුණදාස කපුගේ ගේ ඉගැඹුරු හඬ පෞරුෂයත් උදය මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංඝට්ටනාවත් ගීතයේ සාර්ථකත්වයට දෙස් දෙයි.
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාරියාවෙි