IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


ළඳුනේ

 

 

නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්⁣ සතුව පැවති කාව්‍ය ප්‍රතිභාව මෙි ගීතයේ ගේයපද සංකලනයට ආවිෂ්ට වී සිටී.ප්‍රේමසිරි කේමදාසයන්ගේ නාදේශරත්වය මෙි පද සංකල්පනාවට ආරූඪ වී එය විභූෂණය කරයි. අමරසිරි පීරිසුන් සතු භාවානුරාගී හඬ මාධුර්ය යට කී අංගද්වය ම සුවිභූෂණ කරයි. මෙි වුකලි මානවබන්ධුත්වයෙන් අනූන කරුණරසය දනවන අනගි ගීමිණිරුවනකි.


ලොව ඉපැරැණිම රස්සාව ගණිකා වෘත්තිය යැයි සමාජ විද්‍යාඥයෝ කියති. බුදුන් සමයෙහි විසූ අම්බපාලිය ද නගරසෝභනියක වූවාය. රහත් තෙරණියක වනතුරු ම ඇය උකුසු ඇසින් මොනර වෙසින් මිනිස් ගොදුරු සොයමින් වීදි පුරා සැරිසැරුවාය. රුසියානු මහා ලේඛක ෆියෝදෝර් දොස්තොව්යෙස්කිගේ ( Fyodor Dos Toevsky ) අපරාධය හා දඬුවම ( Crime and punishment) නමැති ප්‍රකට නවකතාවෙි ද මනුෂ්‍යත්වයෙන් අනූන අපූරු පුරඟනක් සිටින්නීය. ප්‍රබන්ධ සාහිත්‍යය වනාහි කල්පිතයකි. එහෙත්  ප්‍රබන්ධ තුළින් ගොඩනගන ඇතැම් චරිත පියවි ලෝකයේ ද සිටියි. දොස්තොව්යෙස්කිගේ නවකතාව දිගහැරෙන්නේ රොමානොවිච් රස්කොලනිකව් නමැති විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂක තරුණයකු වටාය. රස්කොලනිකව් දිනක් සල්ලි පොලියට දෙන මැහැල්ලක මරා දමයි. ක්ෂණික කෝපයත් චිත්තාවෙිගයත් නිසා ඔහුට මෙි අපරාධය කිරීමට සිදුවෙයි. එහෙත් අවසානයේදී ඔහු තම සිතෙහි නැගෙන මානසික වියවුල මඳක් හෝ තුනීකර ගන්නේ සෝන්යා නමැති පුරඟනගේ ඇසුරට වැටීමෙනි. සෝන්යා සෙම්යොනොව්නා නගරයේ අනෙකුත් පුරඟනන් මෙන් ඇඟ මස විකුණන ගැහැනියක නොවූවාය. ඇයට ශ්‍රේෂ්ඨ  මනුෂ්‍යාත්මයක් තිබිණි. ඇගේ මනුෂ්‍යත්වය රස්කොලනිකව්ගේ කඩාවැටුණු ජීවිතයට මහත් ආලෝකයක් විය. රස්කොලනිකව් ⁣පෙම්කළේ සෝන්යාගේ රූපයට හෝ සිරුරට නොව ඈ තූළ තිබූ කාරුණික හදවතටය.

වරක් ඔහු සෝන්යා පාමුල දණින් වැටී මෙසේ කීය. "සෝන්යා මං වඳින්නේ උඹට නෙවෙයි උඹෙි හදවතේ ඉන්න මනුෂ්‍යාත්මයටයි." ⁣ගණිකාවන් පිළිබඳ මෙබඳු ඉතිහාස ප්‍රබන්ධ කතා රාශියක් ඇත. ජේසුස් සමයේ ද මගදලේනා නමැති තවත් නගරසෝභනියක් සිටියාය. බයිබලයේ එන "පව්කාර ස්ත්‍රියට ගල් ගැසීම" නමැති කතාව ලියැවී ඇත්තේ එම ස්ත්‍රිය පාදකකර ගෙනය. එකල රෝමයේ සිටි පූජකයෝ, වෙළෙන්දෝ, සෙන්පතියෝ පමණක් නොව නම්බුකාර ප්‍රභූවරු පවා ඇගේ පහස පැතූහ. සමාජ පිරමිඩයේ ඉහළ සිට පහළ ස්තරය  දක්වා විවිධ කුලකයන්ට අයිති පිරිස් ඇය ඇසුරු කළහ. එහෙත් අවසානයේ ජේසුස් ඉදිරියේ ඇය වරදකාරියක, පව්කාරියක බව පවසමින් ඔවුහු ඇයට ගල් ගසන්නට වූහ. මෙි අයුක්තිය, අසාධාරණය දැක ජේසුස් වහන්සේ මගදලේනා වෙනුවෙන් පෙනී සිටියහ. ඇතැම් කාන්තාවෝ මුදල් ඉපයීමට ඇති පහසුම මග ගණිකා වෘත්තිය යැයි සිතා නාඳුනන පිරිමින් සමඟ යහන්ගත වෙති. එහෙත් මෙබඳු සමාජ විරෝධී, අනීතික රැකියාවකින් ජීවිතයේ උත්තරීතර අභිමතාර්ථ ඉටුකර ගතහැකිද?


ගණිකාව වනාහි සමාජ නිෂ්පාදනයකි. පරිභෝජනවාදී සමාජයක ස්ත්‍රී ශරීරය යනු තවදුරටත් වෙළෙඳ වටිනාකමක් ඇති කෙළිබඩුවකි. පුරුෂෝත්තමවාදී සමාජයේ තවත්  ගැහැනියක වන ගණිකාව සාරය උරාබී හපකර විසිකරන කජුපුහුලමක් වැනිය. සමාජය ඇය දෙස නිතර බලන්නේ වපරැසිනි. කිසියම් කාන්තාවක් ගණිකාවක වීමට සමාජ විද්‍යාත්මක, මනෝවිද්‍යාතමක හා ජීවවිද්‍යාත්මක සාධක ද බලපායි. මෙනයින් වෛශ්‍යාව, ගණිකාව, අභිසාරිකාව, බඩුව යන කුමන නමකින් හැඳින්වූවද ඇය ද ගැහැනියක වන්නීය. ඇයට අපහාස උපහාස කරන්නෝ නරුමයෝය. ඔවුහු මවු සෙනෙහස නොදත් පව්කාරයෝය. මෙි ගීතයෙන් රචකයා වෛශ්‍යාවකගේ ජීවිතයේ ඇතුළාන්තය විනිවිද දැකීමට යත්න දරයි. ගණිකාව පිළිබඳ  ලංකාවෙි ප්‍රකට ප්‍රවීණ කවියෝ දෙදෙනෙක් වෙසෙස් කවි දෙකක් ලියූහ.


සුකීර්තිමත් කිවිසුරු පරාක්‍රම කොඩිතුවක්කු විසින් විරචිත "වෙිසිය සහ භික්ෂුව" නමැති කවිය  මුලින්ම පහත හකුළා දක්වමි.

"වෙිසිය සහ භික්ෂුව"

ඊයේ රෑ පිටකොටුවේ
ඩොමීනියන් හෝටලයේ
නයිට් එකක් කරලා මම
ගෙදර එද්දී
කසාවතක් ඇඳගෙන ඔබ
සෙනඟ ගොඩෙි රැකලා සිට
හත්පලකට ඇයි මට
පිහියෙන් ඇන්නේ

(අකීකරු පුත්‍රයකුගේ ලෝකය - 54 පිට)

මෙකවි සපුව තරමක් ලෞකිකවාදී පාර්ශ්වය නියෝජනය කළ ද කවියා කියන්නට තනන්නේ පුරඟනක් ගැනය. කවියේ කථකයා බැලු බැල්මට ම එම භික්ෂුණියගේ කලින් පෙම්වතා හෝ ස්වාමි පුරුෂයා වීමට ද පුළුවන. එහෙත් කවියෙන් එබඳු  ඉංගිතයක් සුවිශද නොකරයි. තතු එසේ වූවද මෙයින්  ගම්‍යවනුයේ එම කාන්තාව ගොජ දමන වෛරයකින් මෙි අපරාධය කළ බවය. පරාක්‍රම කොඩිතුවක්කු කවියා ගොරහැඬි වදන් භාවිත කරමින් ගණිකාවකගේ මහිම පෙන්වීමට උත්සාහ කළ ද මහාචාර්ය සිරි ගුණසිංහයෝ  මෙම මැයම "මුඩුක්කුවෙි අඳුර" නමින්  මෙසේ සුමට කවියකට පෙරළති.

"මුඩුක්කුවෙි අඳුර "

කැමතිය උඔහට කැමතිය,කැමතිය
මහමඟ ගැටි ගැටි
මෙි බස කීවෙි
ඔබ පමණක් ම නොවෙි
සුළු මුදලක් දී
ගතහැකි සතුටට
පෙණහැල්ලට දුක්
මොකටද දෙන්නේ

( මස් ලේ නැති ඇට - 60 පිට )

මෙි කවියෝ දෙදෙනා ම ⁣සමකාලීනයෝය. ඔවුහු වෛශ්‍යා වෘත්තිය වැනි සංකීර්ණ දේහයක් සියුම් සැතකින් ව්‍යච්ඡේදනය කිරීමට යත්න දරති. එහෙත් පරාක්‍රම කොඩිතුවක්කු මෙන් මහාචාර්ය සිරි ගුණසිංහයෝ එය දේශපාලන දෘෂ්ටියෙන් විග්‍රහ කිරීමට උත්සුක නොවෙති. මෙකී නිමිත්තම හා කාව්‍යනුභුතියම ප්‍රවීණ කිවිඳියක හා ගේය පද රචිකාවියක වන යමුනා මාලනී  මෙසේ කවියට නගන්නීය.

"මානව දයාව"

රස්කොලනිකව්
මෙහි එන්න
සෝන්යා
මග බලා සටී
දණ ගසනතුරු ඔබ ඇවිත්
රස්කොලනිකව්
මෙි අහන්න
එතැන සිටියා නම්
සෝන්යා වෙනුවට
නුඹෙි භාර්යාව
දණ ගසයි ද නුඹ ?
නෑ
කෙළ ගහයි
අඩුම තරමින්
කම්මුල් පහරක්වත් ගසයි.

( ණයට ගත් සාජ්ජය - 31 පිට )

මෙි වූකලි සමාජවාදී සායම් බඳුනෙන් හොම්බ තවරාගෙන ධනේශ්වර හිවල් නාදය පතුරන කවීන්ට එල්ල කළ අතුල්පහරකි. ඇතැමුන් මහත් උජාරුවෙන් ඔජවඩන සමාජවාදය තමන්ගේ ගෙදර ඇත්දැයි යමුනා මාලනී කිවිඳිය ප්‍රශ්න කරන්නීය. එහෙත් පූර්වෝක්ත  කවි ත්‍රිත්වය ම ගණිකාව සහ සමාජය පිළිබඳ කිසියම් හරස්කඩක් පෙන්වීමට ගත් වෑයමක් නොවෙිද?

මෙි ගීතයට පාදක වී ඇත්තේ ද එහි රචකයාගේ ම ජීවනානුභූතියකි. වෘත්තියෙන් නීතිඥයකු වූ රන්බණ්ඩා සෙනෙවිරත්නයෝ දිනක් නඩුවකට පෙනීසිටීම සඳහා මහනුවර බලා පිටත්ව ගියහ. එහෙත් එම නඩුව පසුදිනට කල්ගිය හෙයින් ඔවුහු මිතුරු නීතිඥ මහතකුගේ නිවසේ නවාතැන් ගත්හ. එදින හවස දෙදෙනා ම දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට මාලිගාව බලා පිටත්වූහ. එහිදී මිතුරා අත දිගුකොට සෙනෙවිරත්නයන්⁣ට කිසියම් කාන්තාවක් පෙන්නුවෙිය. එම කාන්තාවගේ රූමත් සිරුර  දුටු මතින් සෙනෙවිරත්නයෝ ඉද්ද ගැසුවාක් මෙන් නතර වූහ. ඇය සුදුවතින් සැරැසි මල්වට්ටියක් දෝත දරා පියගැට පෙළ නගිමින් සිටියා. මෙි දෙස අවධානයෙන් බලා සිටි මිතුරා සිය හඬ අවදි කළේය.

"මචං ! රනේ..උඹට මතකද ඔය ගෑනි."


සෙනෙවිරත්නයෝ තුෂ්ණිම්භූතව උඩබිම බැලුහ.


"ඇයි? බං අද උදේ උසාවියේදී දඩ කාපු බඩුවනේ. ඒකී ඉස්සර හොඳ නම්බුකාර පවුලක පොහොසත්  කෙල්ලක්. හිතුමතේට කසාදයක් බැඳගෙන ජීවිතේ විනාශ කර ගත්තා. බැඳපු මිනිහා දරුවකුත් බඩට දීලා පැනලා ගියා. මවුපියන්ටත් දුව එපාම වුණා. ආපහු ⁣මහගෙදරට වද්ද ගත්තේ නෑ. අන්තිමට ඒකී පාරට වැටුණා. දැන් ඉතින් ඇඟ විකුණන එක තමයි රස්සාව. පොලිසිය  රේඩ් කරපුවාම දඩ කනවා.

"තුක් විතරක්! මෙහෙමත් වලත්ත ගෑනූ "

මෙි කතාව ඇසූ සැණින් සෙනෙවිරත්නයන්ගේ සිත වෙඬරුපිඩක් සේ උණුවිය. උගත් මිතුරාගේ හැසිරීම සහ ආකල්ප කෙරෙහි ද ඔහුට කිසියම් ජුගුප්සාවක් ඇතිවිය.  අවසානයේ සෙනෙවිරත්නයෝ  මිතුරාගේ නිවෙසට ගොස් කාමරයකට වැදී රැය පහන් වනතුරු ම මෙි විශිෂ්ට ගීමිණිරුවන මාලයකට අමුණන මුතුඇට මෙන් එකින්එක පෙළගස්සන්නට වූහ.

ළඳුනේ
ළඳුනේ
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියකු නැති ළඳුනේ


නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ

බුදුන් සමයේ විසූ විශාඛා සිටුදේවිය ද රූප සම්පත්තියෙන් අගතැන්පත් සුන්දර අභිරූපිකාවකි. විශාඛාව වෙළෙඳ පන්තියේ ලියකි. ඇයට කිසිදෙයකින් අඩුපාඩුවක් නොවීය. එහෙත් ඇය කිසිදු මොහොතක ලලනා සිරිත් බිඳීමට නොපෙලඹුණාය. ලලනා සිරිත් යනු කුමක්ද? හිරි ඔතප් නොබිඳ ගනිමින් පතිභක්තිය සුරකිමින් දැහැමින් සෙමෙන් ජීවත් වීමය. එබඳු  කාන්තාවෝ ලලනා සිරිත් සුරකින්නියෝය. පුරුෂෝත්මවාදය මිහිපිට පැටවුණු දා සිට ලලනාවෝ මෙි බරට කරගසා එයින් මැඬී ජීවත් වෙති. මෙි ගීතයේ කථකාව වෛශ්‍යාවකි. බුදුන් සමයේ විසූ අතිපීඩිත ලියක මෙන් ඇය සිතට නිවනක්  පතා පන්සල් එන්නීය. ජීවන බරින් මිරිකී ඇඹරී ළතැවෙන ඇගේ නිර්මල දෑස් රචකයා දකියි. ඒ ජීවිතයේ සැඳෑසමය ගතකරන අවදියේදීය. යෞවනයේ නොදුටු ඇතැම් දේවල් ජීවන යථාර්ථය  මිනිසා දකින්නේ මැදිවියේදීය. එසෙත් නැත්නම් සැඳෑසමයේදීය. නාඳුනන පිරිමින් දෙනෝදාහක් සමඟ  යහන්ගත වූව ද ඇයට කියා නීත්‍යනුකූල ස්වාමි පුරුෂයකු මෙි මිහිපිට නැත. ඇතැමි විට නෛතික විවාහයකින් පසු ඇයට මෙි සන්තෑසියට මුහුණපෑමට සිදුවූවා වන්නට ද පුළුවන. එහෙත් අද ඇය  නෑදෑ හිතමිත්‍ර ආදීන් පමණක් නොව කාත් කවුරුවත් නැති තනිකඩ කාන්තාවකි. ඇය මෙි තෙරුවන් සරණ පතා එන්නේ තම ජීවිතයේ අධ්‍යාත්මික පාළුව හිස්කම පුරවා ගන්නට නොවෙිද? රචකයා මෙලෙස අපගේ සංවෙිදනයට ගොදුරු කරන්නේ ගණිකාව නමින් හංවඩු ගැසී සිටින තවත් ගැහැනියකගේ ජීවන ඛෙිදවාචකය නොවෙිද? වත්මන් සමාජයේ ඇතැමි ගණිකාවන්ට සැමියන් ද සිටී. ඇතැමි ස්වාමි පුරුෂෝ තම බිරිය ගණිකා වෘත්තියේ යොදවමින් යහමින් වැජඹෙති. එහෙත් මෙි ගීතයේ සන්දර්භයෙන් පෙනෙන්නේ මෙි ලිය නිසැමි ලියක සේ ය. එහෙත් නිසැමි ලියෝ සියල්ලන් ම ගණිකාවෝ නොවෙති.

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියකි

බුදුන් සමයේ ද අතිපීඩිත ලියෝ සිටියෝය. මෙකී කාන්තාවෝ නිවන් මග අවබෝධ කරගැනීමෙි පරමාර්ථයෙන් තෙරුවන් සරණ ගියෝය. සැමියාගේ තිරිසන්කමින් මර්දිත බිරියෝ ද මෙි අතර සිටියහ. රචකයා දකින ආකාරයට මෙි කථකාව ද බණපොතෙහි සඳහන් අසරණ ලියකි. සැමියාත් දරු දෙදෙනාත් අහිමිවී ගිය නූතන පටාචාරවකි. තම දරුවා මැරුණු  බව නොපිළිගෙන නොමැරුණු කෙනකු ඇති නිවෙසකින් අබැටක් ඉල්ලා මුළාවෙි වැටුණු  කිසා ගෝතමියකි. එබැවින් මෙි කථකාව ගණිකාවක පමණක් නොව සකල පීඩත ලියන්ගේ සංකේතයකි.

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ

පුරුෂාධිපත්‍ය රජයන සමාජයක ස්ත්‍රියට  විඳීමට සිදුවන දුක්ගැහැට අනන්ත අප්‍රමාණය. පිරිමින්ගේ සියලු පව්වලට කරගසන්නේ ද ගැහැනිය ය. පිරිමියාට කෙතරම් යහමින්  සැලකුව ද ගරුබුහුමන් කළ ද  ඇයට අන්තිමට අසන්නට ලැබෙන්නේ නින්දා අපහාස අවමන් පමණි.
මොහාන්ධකාරයේ ගිලී රහසේ පව්කරන දෙබිඩි පිරිමි තහනම් ගහේ ගෙඩිකමින් බිරියගේ  පතිවත රකිති. ඇතමෙක් රෙද්දෙ තුත්තිරි හොයති. මෙි කථකාව සමඟ යහන් ගත වන පිරිමිහු ද අඳුරේ පව්කරමින් එළිමහනේ ඇයට රැවුම් ගෙරැවුම් කරන්නෝය. කායසංසර්ගය පතා එන පිරිමින්ට ගැහැනිය යනු ශුක්‍රාණු එකතු කරන බඳුනක් පමණි. මෙි නම් කුමන ඛෙිදවාචකයක්ද?

ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ

මෙය කෙතරම් නම් සංකල්ප රූප පොකුරක්ද? රචකයා ගොඩනගන කාව්‍යෝක්ති අතිරමණීය නොවෙිද? මුළු ගීතයම සංකල්ප රූප රස මංජරියකි. බොහෝ පිරිමින්ගේ ඇස යන්නේ කාන්තාවගේ ළැමවිල පියකරු හසුන් වෙතය. මෙි වූකලි පිරිමියාට කාමසම්භෝග සම්පර්කයට අතවනන සුන්දර දසුනකි. එහෙත් පිරිමියාට මෙකී පීන පයෝධර අබතු⁣රේ අසරණව හඬා වැටෙන ඇගේ දුක්බර හදවත නොපෙනේ. කුරා කූහුඹුවකුටවත් මෙි කථකාවගෙන් වරදක් සිදු නොවූව ද ලෝකයා ඇය දෙස නිතර බලනුයේ වරදේ බැඳුණු ගැහැනියක ලෙස නොවෙිද?

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ


 



අදහස් (1)

ළඳුනේ

RANDIL Tuesday, 07 March 2023 09:56 AM

අගයන්නට වදන් නැති විශිෂ්ඨත්වයේ මහා නිර්මාණයකි...

:       0       6

ඔබේ අදහස් එවන්න

ගී විනිස

සංහිඳේ දෙවියන්ගේ පාමුල
2024 නොවැම්බර් මස 19 503 0

සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ


පිළිම නෙළා නැති
2024 නොවැම්බර් මස 12 1026 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය


මිහිරැති වසන්ත කාලේ
2024 නොවැම්බර් මස 05 1130 0

සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද


රෑ වැඩ මුරය
2024 ඔක්තෝබර් මස 29 1296 0

බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්


අඳුරු කුටිය තුළ
2024 ඔක්තෝබර් මස 22 1278 1

ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත


මගේ සිහිනය මට දකින්න
2024 ඔක්තෝබර් මස 15 1225 0

මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 451 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1954 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site