IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


කවි - නොකවි බයිනරියක නිරාෂගේ කවි

ග්‍රන්ථ විචාරය 18

    

 මීට බොහෝ කලකට පෙර මම නිරාෂ ගුණසේකරගේ කවි ගැන ලිව්වෙමි. ඔහුගේ කවි කියවන විට මා තුළ නැගුණ එකම ප්‍රශ්නය අන් කිසිවක් නොව අප කවි ලියන්නේ මක්නිසාද? යන්නය. ඇත්තටම නම් අපි හැමෝම කෙදිනක හෝ කවියක් ලියා ඇත්තෙමු. නැත්නම් අවම තරමින් කවියක් ලිවීමට උත්සාහයක් හෝ ගෙන ඇත. කවි ලිවීමට අප තුළ මේ තරම් උනන්දුවක් සහ ආශාවක් ඇති වන්නේ කුමක් නිසාද? මේ කාලයේ වැඩි හරියක් කවි ලියවෙන්නේ මුහුණු පොතේය. මුහුණු පොත නිසා අද ඕනෑම කෙනකුට කවියකු වියහැක.පත්තරවල මෙන්  ඒවා පළ නොකර කුණු කූඩයට දැමීමට සංස්කාරකවරු කියා වර්ගයක් මුහුණු පොතේ නැත.

      අප ඇසිය යුතු ප්‍රශ්නය නම් කවි යනු කුමක්ද? යන්නය. කවි යනු භාෂාත්මක ප්‍රකාශනයක් බැව් අපි අදහන්නෙමු. එහෙත් භාෂාව යනු අපගේ අවිඥානය සකස් කරන සාධකයයි. එනම් අපගේ අවිඥානය බිහි වන්නේ අප කතා කර පුද්ගල ආත්මයක් බවට පත් වූ තැන සිටය.මේ නිසා කවිය යනු එක් අතෙකින් අපගේ අවිඥානික ප්‍රකාශනයකි. එනම් කවිය මගින් අප කරන්නේ අපගේ අවිඥානක ආශාව එළියට දැමීමය.අවිඥානය භාෂාවක් මෙන් ගොඩ නැගුණ  කිසිවක් බව ලැකාන් පවසා ඇත. (unconscious is structured like a language)

    කුමක්ද මේ භාෂාව? ලැකානියානු ප්‍රවාදවලට අනුව භාෂාව යනු ට්‍රොජන් අශ්වයෙකි. එනම් භාෂාව අපට ලැබෙන ත්‍යාගයකි. හැබැයි එය භයානක ත්‍යාගයකි. එය ඇතුළේ සතුරෝ සැඟව සිටිති. අප කරන්නේ අප ලද මේ මහඟු ත්‍යාගය වටා නටමින් එය අගයමින් සතුටු වීමය. එහෙත් එහි සැඟව සිටින සතුරන් කොයි මොහොතක හෝ අප මරා දමනු ඇත. භාෂාවේ මේ බියකරු බව එන්නේ කෙසේද?
   සංස්කෘතිය යනු භාෂාවට ඇතුළු  වීමය. කුඩා දරුවකු බහ තෝරමින් සිදු කරන්නේත් අප ඔහුට උදව් වන්නේත් භාෂාව තුළට ගැනීමටය.  භාෂාව පාලනය කිරීමට උගෙනමින් සිටිතැයි  අපි සිතන්නෙමු. එහෙත් ඇත්තටම සිදු වන්නේ භාෂාව අප පාලනය කිරීමට පටන් ගැනීමය. මේ නිසා ජීවිත කාලය පුරාම අපට සිදු වන්නේ භාෂාවේ මේ ආධිපත්‍යයට යටත්ව සිටීමටය. හැබැයි කවීන් යනු භාෂාවේ මෙම ආධිපත්‍යය මායිං නොකරන පිරිසකි. කවියක් ලියන විට අප සිදු කරන්නේ භාෂාවේ ආධිපත්‍යයට අභියෝග කිරීමය. 

   රුසියාවේ සිටි ආකෘතිකවාදීන් පිළිබඳ මතකය මෙතනදී අපට වැදගත් ය. මේ ආකෘතික වාදයේ මූලිකයින් වුණේ Roman Jakobsan, Osip Brik, Yury Fynyanov වැනි අයයි. සහිත්‍ය කෘතියක් යනු අර්ධ ආගමක්වත් මනෝ විද්‍යාවක් වත් සමාජ විද්‍යාවක්වත් නොවේ යයි ඔවුහු ඇදහූහ. එය භාෂාවේ එක් සුවිශේෂ සංවිධාන ගත වීමකි. එයට එයටම ආවේණික වූ සුවිශේෂ නියමයන් ඇත. ව්‍යුහ සහ ප්‍රයෝග(devices) ඇත. සාහිත්‍ය නිර්මාණයක් යනු අදහස්වල වාහකයකු හෝ සමාජ යථාර්ථයේ ප්‍රතිබිම්බයක් හෝ නොවේය. එය යම් උත්තරීතර සාහිත්‍යයක ප්‍රතිසන්ධිගත වීමක් නොවේ. එහි තිබෙන්නේ භෞතික කරුණකි. (material fact) එහි කාර්ය යන්ත්‍රයක් පරික්ෂා කර බැලීමකට වැඩි දෙයක් නොවේ. එය සැදී තිබෙන්නේ වචනවලින් මිස වස්තු හෝ හැඟීම්වලින් නොවේ.

    යටකී රුසියානු ආකෘතිකවාදය (formalism) සාහිත්‍ය හැදෑරීමට වාග් විද්‍යාව (linguistics) යොදා ගත්තේය. වාග් විද්‍යාව යනුම ආකෘතික වර්ගයකි.එය වද වෙන්නේ භාෂාවේ ව්‍යුහය ගැන මිස කියන දේ පිළිබඳ නොවේ. සාහිත්‍යමය අන්තර්ගතය යනු සාහිත්‍ය ආකෘතිමය විමසීමක් බවට ඔවුහු මාරු කරති. මෙහි වරද නම් ආකෘතිය යනු අන්තර්ගතයේම ප්‍රකාශනයක් බව ඔවුනට අමතක වීමය. ඔවුනට අනුව අන්තර්ගතය යනු ආකෘතිය අභිප්‍රේරණය (motivation) කරන කිසිවක් පමණකි. අප ගම්පෙරළිය ගතහොත් ඉන් කියවෙන්නේ එහි චරිත ගැන නොවේ. චරිත යනු විවිධාකාර වූ ආඛ්‍යානික ශිල්ප භාවිතාව සඳහා මග පාදන අවස්ථාවක් පමණකි. ඒ අනුව අර ජෝර්ජ් ඕවල්ගේ Animal Farm යනු ස්ටාලින් වාදය ගැන දෘෂ්ටාන්තයක් නොවේය. ස්ටාලින් වාදය දෘෂ්ටාන්තයක් ගොඩ නැගීමට අවස්ථාවක් සපයනවා පමණි. 

    ආකෘතික වාදීන්ගේ මේ මතය තරමක ආධානග්‍රාහී වුවත් ඔවුන් පවසන එක්තරා කරුණක් අපට වැදගත් වේ. එනම් සාහිත්‍යමය භාෂාව( නැත්නම් කවි බස) නම් වූ දෙයෙහි සුවිශේෂත්වයයි. එසේ නැත්නම් එය කතිකාවේ අනෙක් ආතීන්ගෙන් වෙනස් වන්නේ කෙසේද යන්නය. ඒ වූ කලී සාහිත්‍යයේදී නැත්නම් කවියේදී සාමාන්‍ය භාෂාව විවිධාකාර ලෙස “විකෘති” (deformed) වීමය.සාහිත්‍ය උපක්‍රම (devices = ශබ්ද, රූප, රිද්මය,පද ගටනය, විරිත, තාලය ආදී වූ ආඛ්‍යානික ශිල්ප) වල බල පෑමෙන් භාෂාව තීව්‍ර වෙයි. කැටිවෙයි. (condensed) ඇඹරෙයි. දික් ගැස්සෙයි. කෙටියෙන් කිවහොත් එය ඔළුවෙන් සිටවනු ලැබේ. ඉන් භාෂාව අපූර්ව දෙයක් බවට පත් කෙරේ. මෙලෙස එය අපූර්ව දෙයක් බවට පත් කිරීම නිසා අප අත් දකින එදිනෙදා ජීවිතය නුපුරුදු දෙයක් බවට පත් වෙයි. අපේ එදිනෙදා කතා වහර අනුව යථාර්ථය වටහා ගැනීම සහ එයට ප්‍රතිචාර දැක්වීම යනු පිළිනු වුණ , මොට වුණ  දෙයකි. ආකෘතිකවාදීන් එය හඳුන් වන්නේ භාෂාව ස්වයංක්‍රීය (automatized) වීමක් ලෙසය.

    සාහිත්‍ය කතිකාව එදිනෙදා කතාවෙන් වෙන් වෙයි. විරුද්ධභාෂී ලෙස එය අපට අත් දැකීම වඩාත් සහෘද ලෙස සමීප කරයි. අප සාමාන්‍යයෙන්  අවට වාතය උරන්නේ ඒ පිළිබඳ කිසිම අවධානයකින් තොරවය. එයත් හරියට අපගේ භාෂාව භාවිතයට සමානය. අපි යථාර්ථය යයි හඳුනාගන්නා දෙය තුළ ඉබාගාතේ ඔහේ සැරි සරන්නෙමු. අප එහිලා යථර්ථය යයි කියන්නේ දෘෂ්‍ය  මානයට හසුවන දේය. අප හිඟන්නකු හෝ කිසියම් මිනිසකු පාරේ වැටී සිටිනු දක්නට ලැබුණොත් අපට එය සාමාන්‍ය සිදුවීමකි. එය හරියට අර හුස්ම ගැනීමට සමානය. හැබැයි කවියකු එය විස්තර කරද්දී එසේ වන්නේ නැත. එය අමුතු දෙයක් බවට පත් වෙයි. පාරේ උස් ගොඩනැගිල්ලක් තිබෙනවා යයි සිතන්න. කවියකු භාෂාව මගින් එය පෙර නොවූ විරූ ගොඩනැගිල්ලක් බවට පත් කරයි. මා කියන මෙබස් හරිටම වටහා ගැනීමට නම් කුමාර හෙට්ටිආරච්චි නමැති කවියා ලියන කවි කියවන්න. 

   සැබවින්ම කවි බස යනු භාෂාවේ විශේෂ වර්ගයකි. එය එක්තරා විදියකින් වාග් විද්‍යා හිංසනයකි. කෙටියෙන් කිවහොත් අප පෙම් පතක් ලියන විට යොදන භාෂාවත් අර සාමාන්‍ය භාෂාවට වඩා වෙනස් නොවන්නේද? චිරන්තන සාහිත්‍යයේ එන ගද්‍ය කොටසක් වුවත් එහි ඇති පැරණි බව නිසාම අපට කාව්‍යමය බවක් දැනෙයි. ටෙරී ඊගල්ටන් අපූර්ව අදහසක් මීට අදාළව ඉදිරිපත් කරයි. ඔහුට අනුව අප මැකී ගිය ශිෂ්ටාචාරයක් පීරමින් යම් හුදකලා ලේඛනයක් සොයා ගත්තද එය ගද්‍ය ද පද්‍ය දැයි කිව නොහැක්කේ එම සමාජයේ සාමාන්‍ය කතිකාවන් කුමක් වීදැයි අප නොදන්නා නිසාය. අප තරමක් සොයා බැලුවහොත් එහි ඇති අපසරණමය බව (deviatory) හඳුනා ගැනීමට හැකි වුවත් ඒ නිසාම ඒවා  කවි වන්නේ නැත. සියලු වාග් විද්‍යාත්මක අපසරණයෝ කවි නොවෙති. කෙසේ වතුදු කවි බස යනු පාරභාෂාවකි (meta language). පාර භාෂාවක් යනු භාෂාව ගැන කතා කරන භාෂාවකි. එනම් කියන දෙයට වඩා කියන ආකාරය ගැන වද වෙන භාෂාවකි. හැබැයි කිවයුතු දේ නම් කියන දේ යනුම කියන ආකාරයමය. එය අයත් වන්නේ මනෝ විශ්ලේෂණයටය. 
   ඇත්ත. මා ලියන්නට ගත්තේ නිරාෂ ගුණසේකර ගේ කවි පිළිබඳවය. එහෙත් එය දැන් කවිය යනු කුමක්දැයි විමසන ක්ෂුද්‍ර ලියවිල්ලක් බවට වැඩෙමින් තිබේ.ඉදින් එබඳු ලිවීමකදී රත්න ශ්‍රී නමැති කවියා අත හැර දමන්නේ කෙලෙසද?මීට අවුරුදු දහ අටකට පෙර මම (රත්න ශ්‍රී නුරුස්සන සුළු යයි සිතෙන)  “රත්න ශ්‍රී ගේ රූපක මැසිවිල්ල සහ අමරසේකරගේ කවි/නොකවි භාෂා බයිනරිය” යනුවෙන් ලිපියක් ලිව්වෙමි. බාග විට මේ කාල පරාසය තුළ එහිලා මා දැක්වූ සමහර අදහසක් දැන් විපරීත වී තිබෙන්නට පිළිවන. කෙසේ වෙතත් මම නිරාෂ මදකට අමතක කර යටකී ලිපිය ද මේ කත බහට එකතු කර ගනිමින් මෙම ක්ෂුද්‍ර ලියවිල්ල දික් ගස්සමි. හැබැයි නිරාෂ මට මග හැරෙන්නේ නැත.

මතු සම්බන්ධයි



අදහස් (0)

කවි - නොකවි බයිනරියක නිරාෂගේ කවි

ඔබේ අදහස් එවන්න

ග්‍රන්ථ විචාරය

නූතන කවියේ අර්බුදය කාව්‍යාලංකාර අත්හැරීම ද?
2024 සැප්තැම්බර් මස 03 209 0

නූතන කවියේ අර්බුදය නම් කවිය අලංකාරවත් නොවීම යයි මම කල්පනා කරමි. මින් අදහස් වන්නේ කාව්‍යාලංකාර පිළිබඳ හසරක් කවීන්ට නොමැති බවය.


භාෂා වධකාගාරයක සිට කවි ලිවීම නිරාෂගේ කවි - 4
2024 අගෝස්තු මස 27 128 0

කවි පිළිබඳ මෙම කියවීම නිරාෂගේ කවි සමග මෙතැන් සිට වෙනත් දිශානතියකට හැරෙන ආකාරය දැකීමට මම ඔබට ඇරියුම් කරමි.මෙම කියවීම බොහෝ කලකට පෙර සිදු වූවක් වුවත් එය ම


කවි- නොකවි බයිනරියක නිරාෂගේ කවි - 3
2024 අගෝස්තු මස 20 214 0

ඇත්ත. මේ කතා බහේ ප්‍රස්තූතය රත්න ශ්‍රී නොවෙයි තමයි. එහෙත් දැනටමත් ඔහු මෙයට මැදිහත් වී ඇත. එබැවින් අප ඇසිය යුතු ප්‍රශ්නය නම් ඔහුගේ ගම පිළිබඳ අතීත වේදනාව අ


කවි - නොකවි බයිනරියක නිරාෂගේ කවි 2
2024 අගෝස්තු මස 13 228 0

රත්න ශ්‍රී විජෙසිංහ කවියා මීට බොහෝ කලකට පෙර ඔහුගේ “ලස්සනම අහස” නම් වූ රචනා සමුච්චයක් මා වෙත එවා තිබිණි. එම පොත පිළිබඳ මගේ කියවීම මම ඒ කාලයේම පළ කළමි.


කවි - නොකවි බයිනරියක නිරාෂගේ කවි
2024 අගෝස්තු මස 06 223 0

මීට බොහෝ කලකට පෙර මම නිරාෂ ගුණසේකරගේ කවි ගැන ලිව්වෙමි. ඔහුගේ කවි කියවන විට මා තුළ නැගුණ එකම ප්‍රශ්නය අන් කිසිවක් නොව අප කවි ලියන්නේ මක්නිසාද? යන්නය.


යථාර්ථවාදයේ ත්‍රස්තවාදය
2024 ජුලි මස 30 416 0

ලංකාවේ සෞන්දර්ය කලා විචාර ඉතිහාසයේ පළමු වතාවට සිදුවන දෙයක් දීප්තිගේ ’’සුන්දරත්වයට පසු කලාව’’ වියමන තුළ සිදුවෙයි.ඒ තමයි යථාර්ථවාදය සහ නූතනත්වය ඛණ්ඩ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site