IMG-LOGO

2025 අප්‍රේල් මස 04 වන සිකුරාදා


කවි - නොකවි බයිනරියක නිරාෂගේ කවි 2

ග්‍රන්ථ විචාරය 19

 


  
රත්න ශ්‍රී විජෙසිංහ කවියා මීට බොහෝ කලකට පෙර ඔහුගේ “ලස්සනම අහස” නම් වූ රචනා සමුච්චයක් මා වෙත එවා තිබිණි. එම පොත පිළිබඳ මගේ කියවීම මම ඒ කාලයේම පළ කළමි. රත්න ශ්‍රී ගේ ලස්සනම අහස පිළිබඳ ලියද්දී භාෂාව යථාර්ථයක් නොවන බව මා සඳහන් කළ බැව් මට මතකය. එහෙත් භාෂාවේ මිථ්‍යාව බිඳ හෙලන එහි ආධිපත්‍යය අභියෝගයට ලක් කරන එකම සෞන්දර්යවාදී කුලකය කවීන් පමණක් වන බවද මම එහිලා සඳහන් කළෙමි. ඔවුහු තමා විශ්වාසයට ගන්නා යථාර්ථය හමුවන තෙක්ම භාෂාව උඩුයටිකුරු කර පෙරළති. 

මීට අදාළව ගුණදාස අමරසේකර මහතා කවි බස සේ ඔහු අදහා ගෙන සිටි මතය යළි සලකා බැලීම වටනේ යයි මට සිතෙයි. අමරසේකර එය ලියන්නේ ඔහුගේ “අසක්දා කව” නම් කෘතියේ පෙරවදනටය.අමරසේකර මෙසේ ලියයි.
“කවියා රස ජනනය කරන්නේ වදන්වල වාගාලාපවල උපමා රූපක ආදියෙහි ගැබ් වූ ව්‍යංග්‍යාර්ථ මගිනුයි. එවැනි පැහැදිලි ව්‍යංග්‍යාර්ථ  ගැබ් වූ වදන් වාගාලාප ඇත්තේ තමාට පෙර විසූ කවීන් විසින් වහරන ලද වදන් කෝෂය තුළයි. එබැවින් රස ජනනය සඳහා කවියා ඒ වදන් කෝෂය වෙත යාම අවශ්‍ය වෙයි. කවියා විසින් ගනු ලබන මේ ක්‍රියා මාර්ග නිසයි, කවි බස වෙනස් වෙමින් නොවෙනස් වන බසක් වන්නේ”
- ගුණදාස අමරසේකර
අසක්දා කව - 65 පිටුව

   
ඇත්තටම නම් අමරසේකරගේ යටකී ප්‍රවාදය සමග මම කරුණු කීපයක් ඔස්සේ එකඟ වෙමි.අද කාලයේ ලියැවෙන බොහෝ කවිවල දුක තොරොම්බල් කෙරෙතත් කවියක තිබිය යුතු යයි අදහන (අර අමර්සේකර කියන ආකාරයේ) කාව්‍යාත්මක බවක්  නැත.වෙසෙසින්ම මුහුණු පොතේ ලියවෙන බොහෝ කවි එම අර්ථයෙන් කවි නොවේ. කෙසේ වෙතත් අමරසේකරගේ කවි බස නම් වූ ප්‍රවාදය සමග රත්න ශ්‍රී එකඟ නැත.
කවි බස පිළිබඳ ප්‍රවාදය න්‍යායික විමසුමක් වෙත එළඹෙන්නේ නම් අපට ජාකොබ්සන් නම් ව්‍යුහවාදී විචාරකයා වෙත ආපසු හැරී බැලීමට සිදුවෙයි. එවිට කවි ලිවීමේදී භාෂාවට සිදුවන දේ පිළිබඳ වෙනත් මානයක් අපට හමුවනු ඇත. ජාකොබ්සන්ට අනුව භාෂාව සමග සන්නිවේදනය  සහසම්බන්ධය. භාෂාව කාව්‍යාත්මක ලෙස යෙදීමේදී සංඥාවන්ගේ සමීපස්ථ බව ඉහළ දැමෙන බව ජාකොබ්සන් පවසයි. ඒවා හුදු සන්නිවේදනය සඳහා යොදා ගැනෙනවාට වඩා කවියේදී එම සංඥාවන්ගේ භෞතික අගයට වැඩි අවධානයක් යෙදේ. 
ඇත්තටම නම් කවියේදී සංඥාව එහි වස්තුවෙන් විසන්ධි කරණු ලැබේ. සාමාන්‍ය ලෙස සංඥාවන්ගේ භෞතික වස්තුව නැතහොත් ප්‍රඥප්තය (referent) අතර සබඳතාව බිඳී ගොස් සංඥාවට එක්තරා නිදහසක් හිමි වේ. ජාකොබ්සන්ගේ මෙම ව්‍යුහවාදී මතයේ තීව්‍රතාව සලකුණූ වන්නේ භාෂාව තුළ කාව්‍යාත්මක ක්‍රියාකාරිත්වය (poetic function) ප්‍රධාන වන විට සන්නිවේදනය එහි පණිවිඩය මත කේන්ද්‍ර ගත වීමෙනි. කවරකු විසින් කා හට කුමක් කියන්නේද යන්න නොව එතනදී පෙර සිටම අපගේ අවධානයට ලක් වන්නේ වචනම වන බැව් ටෙරී ඊගල්ටන් නම් විචාරකයා පවසයි. (ටෙරී ඊගල්ටන්ගේ Literary Theory: An Introduction).
ජාකොබ්සියානු ව්‍යුහවාදයට අනුව රූපක (metaphors) උපදින්නේ සංඥාවන්ගේ සමානතාව තුළය. රූපකයක් ගොඩනගන්නට එක් සංඥාවකට (වචනයකට) සමාන වූ සංඥාවක් සමග සම්බන්ධ විය යුතුය. රූපකය මහාචාර්ය එ.වී. සුරවීර මෙසේ අර්ථ දක්වයි:

රූපකය/ රූපලංකාරය-Metaphor
කාව්‍යාලංකාර ප්‍රභේදයකි. සැඟවුන බේදයකින් සමන්විත උපමා උපමේය යන දෙක එකක් වශයෙන් ගැනීම රූපාලංකාරය නම් වේ. එසේම එය මෙන්-සේ -වැනි-එව් ආදී උපමා ද්‍යොතක නිපාතයන්ගෙන් තොරව යෙදුන උපමා උපමේයන්ගෙන් සම්බන්ධ යයි කිව හැකිය. මුව පියුම යන්න ලක්ෂණ විසින් හා බැඳීම් විසින් එක සමානය. මෙයින් මුවය- පියුමය යනුවෙන් වස්තු දෙකක් නැති ලෙසින් මුවම පියුම ලෙස ගෙන තිබේ. එය රූපකයකි.
-සාහිත්‍ය විචාර ප්‍රදීපිකා
ඒ,වී සුරවීර

නීට්ෂේට අනුව රූපකය භාෂාව තුළ අතාර්කික සාධකයක් බව ඩෙරීඩා පවසයි.(ෂාක් ඩෙරීඩාගේ Margins of Philosophy) ඇත්තටම නම් රූපකයේ අතාර්කික බව සොයන්නට නම් ඊඩිපස් සංකීර්ණය වෙත ආපසු යා යුතුය.

ෆ්‍රොයිඩියානු ඊඩිපස් අවදිය වෙත එළැඹීමට පෙර දරුවාට තමාගේ ලිංගික වෙනස පිළිබඳ වැටහීමක් නැත. මේ ලිංගික වෙනස හැඟවුම්කරණය කරන්නේ පියාගේ ප්‍රවේශයයි. ලැකාන් නමැති මනෝ විශ්ලේෂකයා විසින් තම ප්‍රවාද තුළ වහරනු ලැබූ එක් ගුරු පදයක් (key-term) වූ පැල්ලසය (phallus) නැතහොත් ශිෂ්ණය මගින් ලිංගික වෙනස පිළිබඳ එකී සංඥාකරණය ප්‍රකාශයට පත් වෙයි. දරුවා නිසි ලෙස සමාජ ගත වන්නේ ලිංගික වෙනසෙහි අවශ්‍යතාව පිළිගැනීමෙන් සහ ස්ත්‍රී පුරුෂ ලෙස තමාගේ භූමිකාව වටහා ගැනීමෙන් පමණකි. 
දහඅට මස් වියැති දරුවකු කැඩපතක් ඉදිරියේ තමාව හඳුනා ගනිමින් සිටින අයුරු සිහියට නගා ගන්න. ලැකාන් හඳුන්වන කැඩපත් අවදිය(mirror stage) එයයි. ශාරීරික ලෙස තවමත් සම්පූර්ණ නො වූ දරුවා කැඩපතින් පෙනෙන තමාගේ රුව පරිපූර්ණ රූපයක් (unified image) ලෙස ගනී. දරුවා සහ කැඩපතින් පෙනෙන රූපය තවමත් පරිකල්පනීය වන  එක් අතෙකින් එය ඔහුගේ රූපය වන අතර අනෙක් අතට එසේ නොවේ. දරුවා තමාගේ ආත්ම  (subjectivity) ගොඩ නගන්නේ එතැන් සිටය. එම ගොඩ නැගීමේ කැඩපත් ස්වභාවය නිසා එය අත්‍යවශ්‍යයෙන්ම ආත්මරාගී නැතහොත් නාසිස්මික (narcissistic) වේ. බාහිර ලෝකයේ වන වස්තූන් මගින් “මම” යනු කවරෙකුදැයි හඳුනා ගැනීම නිරන්තරව සිදු වන්නේ මෙම නාසිස්මික ක්‍රියාවලිය තුළය.
කවියකු තමාගේ කවි තුළ රූපක (metaphors) ගොඩ නගන්නේ එබඳු කැඩපත් ක්‍රමයක් තුළය. කැඩපතක් ඉදිරියේ සිටින දරුවාට එය හැඟවුම්කාරකයකි (signifier). එම කැඩපත තුළ ඔහු දකින රූපය හැඟවුමයි(signified). දැන් මම ඊගල්ටන් උපුඉආ දක්වමි.
Here signifier and signified are as harmoniously united as they are in Saussure’s sign. Alternatively we could read the mirror situation as kind of metaphor: one item (the child) discovers a likeness of itself in another (the reflection)
Literary Theory: An Introduction – by Terry Egleton.
(මෙහිදී හැඟවුම්කාරකය සහ හැඟවුම අර සෝෂියර්ගේ සංඥාව පරිදිම සුසංගතික ලෙස එකමුතු වේ. ඊට විකල්පව කැඩපත් අවස්ථාව අපට රූපක විශේෂයක් ලෙස කියවිය හැකිය. එක් අයිතමයක(දරුවා) සමාන බව වෙනත් දෙයක (පිළිබිඹුව) තිබෙනු හමුවෙයි.
ටෙරී ඊගල්ටන් පවසන පරිදි දරුවාගේ කැඩපතාවස්ථාව රූපක විශේෂයක් ලෙස කියවිය හැකිය. එලෙසින්ම කවියා බාහිර ලෝකය තුළ තමාගේ පරිකල්පන රූපයට සමානකම් දරන වස්තූන් සොයා රූපක ගොඩ නගයි. නාසිස්මික වූ ක්‍රියාදාමය තුළ කවියා සොයන්නේ කුමක්ද?
රත්න ශ්‍රී කවියා ගොඩ නැගූ මෙබඳු රූපක පිළිබඳ නිදර්ශන කිහිපයක් පහත දක්වමි.  

“මගෙ බිසවුනේ අසාපන් 
නුඹ මන්ද්‍රි දේවි නොවුනේ
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
විෂ ඝෝර සර්ප භවනේ 
නවතින්න කුලී නිවසේ”

( වස්සානේ- කාව්‍ය සංග්‍රහය )

 

   රණවරා ගහේ මල් පිපෙන කාලෙට
   සඳ සරා කුමරිය ඇවිත් කන්දට 
   අත වනා කියයි මට ගමට එන්නට
   සකි සඳේ ඇඬුම් මිස බැරිය සී පද

( සුබ උදෑසන - කාව්‍ය සංග්‍රහය )


සොඳුර නුඹ ළිහිණියක 
රැයේ අඳුරට හඬන
මමද ළිහිණියෙක් වෙමි
නුඹේ කඳුළට හඬන

( සුබ උදෑසන- කාව්‍ය සංග්‍රහය )

මෙම රූපක හරහා කියවෙන දේ පිළිබඳ සරල ජනප්‍රිය නිගමනයක් ලෙස අවශ්‍ය නම් අතීතකාමී(ලේබලය ඇලවිය හැක.එහෙත් කවියකු ලෙස රත්න ශ්‍රී අහිමි වූ කිසිවක් පසු පස ලුහු බඳී යයි කීම ඊට වඩා විචක්ෂණශීලී වේ. කවියාගේ මේ හඹායාම) මුල් ඇදුන තැන් සොයන්නට නම් අපි තවත් ගැඹුරු මනෝ විශ්ලේෂණීය කියවීමකට මුල පිරිය යුතු වෙමු.

මතු සම්බන්ධයි



අදහස් (0)

කවි - නොකවි බයිනරියක නිරාෂගේ කවි 2

ඔබේ අදහස් එවන්න

 

 
 

ග්‍රන්ථ විචාරය

නිර්මාණ සාහිත්‍යයට විලංගුලන ස්ත්‍රීවාදය
2025 මාර්තු මස 25 53 0

රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව


සුනේත්‍රාගේ ප්‍රේමපුරාණය නිදහස් කාමිනියකගේ ආත්ම ප්‍රකාශනයක් ද?
2025 මාර්තු මස 18 106 0

මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම


ක්‍රිෂාන්තිගේ ’’ලැකානියානු ඇස’’ මනෝවිකාරයක්
2025 මාර්තු මස 11 299 0

පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්


සිරිල් බීගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ අමරණීය නවකතාවක්
2025 මාර්තු මස 04 143 0

සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ


ගෝර්කි විනාශ කළෝ ලාංකේය ජනතාවාදියෝ
2025 පෙබරවාරි මස 18 342 0

ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු


'යාය තුන' සරල - සංකීර්ණ නවකතාවක්
2025 පෙබරවාරි මස 04 163 0

චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 328 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 867 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 807 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site