ගුණදාස අමරසේකරගේ යළි උපන්නෙමි නැවත කියැවීම අදියර දෙකකට අනුව සිදුවන බව මා මුලින්ම එළිදරව් කළ යුතුව ඇත. එහි මුල් අදියර ෆ්‍රොයිඩියානු කියවීමකි. ඒ අනුව මූලික වශයෙන්ම එය පුද්ගල අධ්‍යාත්මය පිළිබඳ කියැවීමක් වේ. එවිට එය කේන්ද්‍රගත වන්නේ එක්කෝ කතුවරයාගේ සහ පාඨකයාගේ අවිඥානය විය හැකිය. නැත්නම් නවකතාවේ එන චරිතයක් වීමටත් පිළිවන. බාගවිට මේ සියල්ලේම සංකලනයක් වීමටත් බැරි නැත.
දෙවනුව මේ නවකතාව මා යළි කියවන්නේ වියමනම වැඩබිමක් කොට ගනිමිණි. එවිට වියමන අවිඥානය සේ පෙනී සිටී. මෙහිදී භාවිත වන්නේ අවිඥානය භාෂාවක් සේ ගොඩ නැගී තිබේය (unconscious is structured as a language) යන ලැකානියානු සූත්‍රයයි. ෆ්‍රොයිඩියානු හෝ වේවා ලැකානියානු හෝ වේවා මේ සියලු කියැවීම්වල අවසාන එළිදරව්ව එහි කතුවරයාම වේ. එබැවින් යළි උපන්නෙමි යළි කියවීම යනු අමරසේකර නැවත කියවීමය.කෙසේ වෙතත් මෙම කියැවීම අමරසේකර මහතා අපට සිටින විශිෂ්ටතම නිර්මාණකරුවා බවට වූ පිළිගැනීම කිසිසේත් අවලංඟු නොකරයි. ඔහුගේ දේශපාලනික මනස්ගාත කුමක් වුවත්,මගේ අදහස නම් තවමත් අමරසේකරට සමීප වීමට තරම් වූ නිර්මාණකරුවකු නැති බවය.
ගුණදාස අමරසේකර මහතා බොහෝ කලකට පෙර යළි උපන්නෙමි නවකතාව නිසරු බොරු කතාවක් සේ සලකා බැහැර කළේය. මෙම කියැවීම ආරම්භ වියයුත්තේ එකී බැහැර කිරීමේ සිටය. ඔහුගේ අනෙකුත් සියලු නවකතා සහ කෙටිකතා යළි යළිත් පළ වෙද්දී යළි උපන්නෙමි පමණක් පළ නොකිරීමට අමරසේකර මහතා අදිටන් කරගෙන සිටී. එහෙත් මේ නවකතාව තුළ පවා අද යළි යළිත් පළවන ඔහුගේ අනෙකුත් සියලු සාහිත්‍ය නිර්මාණවල කේන්ද්‍රීය ගැටලුව පුනරාවර්තනය වන බව ඔහු තවමත් මායිම් නොකරන කරුණකි.
යළි උපන්නෙමි පළ වූයේ 1960 වසරේදීය. අමරසේකර එය නිසරු කතාවක් ලෙස සලකා බැහැර කිරීම මාර්ටින් වික්‍රමසිංහ දකින්නේ ඔහුගේ පරිණත බවත් ස්වාධීනත්වයත් හඟවන ලකුණක් ලෙසය. වික්‍රමසිංහට අනුව යළි උපන්නෙමි යනු සිංහලයන්ගේ අතීත සත්තාවත් වර්තමාන සත්තාවත් විකාරයට හරවන කෘතියකි. සවිඥානක තලයක සිදුවන මේ බැහැර කිරීම් යළි උපන්නෙමි නැවත කියැවීමට බාධාවක් නොවේ.එහෙත් ෆ්‍රොයිඩ්ට අනුව අමරසේකරගේ ලිවීමත් බැහැර කිරීමත්, වික්‍රමසිංහ එය යළි පාරට්ටු කිරීමත් (මෙම වියමන යළි කියැවීමේ ව්‍යාපෘතිය තුළ) ඔවුන්ගේ අවිඥානය කියවීමක් බවට හරවා ගත හැකිය.
සිග්මන් ෆ්‍රොයිඩ් කලාව සිහිනයට සම්බන්ධ කරයි. ඒ අනුව කලා නිර්මාණ පිළිබඳ විශ්ලේෂණය කිරීම වූ කලී සිහින පිළිබඳ විමසීමක් බඳුය. කලා නිර්මාණ සිහින සේ ගෙන විමසීම අවසන් වන්නේ සිහින දකින්නා හෙවත් නිර්මාණකරුවා පිළිබඳ මනෝ විශ්ලේෂණයකි. මේ නිසා ෆ්‍රොයිඩ් කලාකරුවා නියුරෝසිකයකු ලෙස දකී.
කලාකරුවා මේ නියුරෝසික ක්‍රියාවලියේදී සාක්ෂාත් කරගන්නේ ළමා කාලයේ සිට ගෙන ආ ප්‍රර්ථනාවකි. ෆ්‍රොයිඩ්ට අනුව කලාව යනු අසංතෘප්ත වූ ආශාවක් සපුරා ගැනීමේ ව්‍යාපෘතියක් වේ. දරුවා ක්‍රීඩාව තුළත් නවකතාකරුවා තමාගේ ෆැන්ටසි ලෝකය තුළ ගොඩ නගන වීරයා හරහාත් සිහිනය සහ ප්‍රබන්ධය එක් කරමින් ආශාවක් සපුරා ගැනීමේ ඒකාබද්ධ වූ ක්‍රියාවලියයි.
මෙහිදී මම මෙම කතා බහ තරමක දික් ගැස්සෙන සුලු ප්‍රවේශයක් ගනිමි. එනම් ෆ්‍රොයිඩියානු සිහිනය සහ කලා කෘති අතර සබඳතාව මීට වඩා න්‍යයික තලයක සාකච්ඡාවට ගැනීමය. එය යළි උපන්නෙමි යළි කියැවීමේ ව්‍යාපෘතිය සඳහා වන වඩාත් ගැඹුරු න්‍යායික ප්‍රවේශයක් සපයයි.ෆ්‍රොයිඩියානු අර්ථයෙන් සිහිනවල සේම ෆැන්ටසිවලද අර්ථ ව්‍යාකූල බවක් ඇත. මනෝ විශ්ලේෂකයා ප්‍රධාන කොට ගන්නේ මෙම ව්‍යාකූල බවමය. සිහිනය හෝ ෆැන්ටසිය ඔහු ලිහා ගන්නේ මෙම ව්‍යාකූල බව සමග ගැටෙමිනි. කලා කෘතියකින් ද මෙම අර්ථ ව්‍යාකූල බව පැන නගී.
ජර්මානු නවකතාකරුවකු වූ විල්හෙල්ම් ජැන්සන් (Wilhelm Jensen) 1903 දී ලියූ ග්‍රාඩිවා (Gradiva) නමැති නවකතාව පිළිබඳ කළ ෆ්‍රොයිඩියානු කියැවීම ඉහත කී කරුණ පැහැදිලි කර ගැනීම සඳහා මහඟු අත්වැලක් සපයයි. මෙම වෘතාන්තය අධ්‍යයන කිරීමේදී ෆ්‍රොයිඩ්ට පැහැදිලි වූයේ නොදැකිය යුතු යයි අප අදහන සිහින දැකීම සාධාරණීකරණය වන බවය. කාල්පනික රචකයන් සිහින නිපදවා කතාවේ එන චරිතවලට තමාද ආරෝපණය කරන සැටි ෆ්‍රොයිඩ් මෙහිදී දකී.
ග්‍රාඩිවා නවකතාව පිළිබඳ විවරණයේදී ෆ්‍රොයිඩ් කතුවරයාගේ අභිප්‍රාය මත යැපුණේය. එහිදී ඔහු එම නවකතාව සැලකුවේ මනෝ විශ්ලේෂණය පිළිබඳ දෘෂ්ටාන්තයක් ලෙසය. එහිදී කතා නායකයා නැත්නම් කතාවේ වීරයා රෝගියා ලෙසත් කතා නායිකාව විශ්ලේෂිකාව ලෙසත් සැලකිණි. ග්‍රාඩිවා නවකතාව අනුව විශ්ලේෂණීය ක්‍රියාව සිදුවන පසුතලය පුරා විද්‍යාත්මක ගොඩනැගිලි පරිශ්‍රයකි. ෆ්‍රොයිඩ් ලියනාඩෝ ඩාවින්චි ගේ මොනාලිසා සිතුවම විග්‍රහ කරමින් ළමා කල අවරොධිත්‍යන් ගවේෂණය කළ අයුරු මම පසුව කතා බහට ගනිමි.
ෆ්‍රොයිඩ් 1907 දී Delusions and Dreams in Jensen’s Gradiva යනුවෙන් ග්‍රන්ථයක් ලියයි. ෆ්‍රොයිඩ්ගේ එකී වියමන තුළ විග්‍රහ වන්නේ ග්‍රාඩිවා නවකතාවේ ප්‍රධාන චරිතය වූ හැනෝල්ඩ්ගේ අවරෝධිත ආශාවන් එම චරිතයාගේ ක්‍රියාකාරකම් තුළින් මතුවන සැටිය. නෝබට් හැනෝල්ඩ් පුරාවිද්‍යාඥයෙකි. ඔහු වැළලුන පොම්පෙයි නගරයේ නටබුන් පිළිබඳ ගවේෂණය කරන්නෙකි. මෙම ගවේෂණය තුළ අවිඥානික ලෙස ඔහු තමාගේ ළමා කාලය ද ගවේෂණය කරයි. ග්‍රාඩිවා නවකතාව ඇසුරු කොට ගනිමින් රොබ්-ගිලට් නිර්මාණය කළ සිනමා පටයේ තිබෙන්නේ එහි නම පමණකි.
ග්‍රාඩිවා නවකතාවේ කතා නායකයා තමාගේ අධ්‍යයනයන්ට ම කැපව සිටීම නිසා ජීවිතය සහ එහි සතුට යන දෙකෙන්ම දුරස් වූවෙකි. (නවීන අර්ථයකින් නම් ඔහු විනෝදය (pleasure in pain) හඹා යන්නෙකි.) කිරි ගරුඬින් සහ ලෝහයෙන් නිමවුන ස්ත්‍රී රූප කෙරේ ලුබ්ධිමය ලෙස ඇළුණ ඔහුගේ හැඟීම් ජීවමය ස්ත්‍රීන් විෂයෙහි පිබිදුනේ නැත. තම ෆැන්ටසි එක්තරා රෝමානු කැටයමක් (Roman relief) කෙරේ කේන්ද්‍ර ගත වීම නිසා ඔහු අතිශය මායාවක සිරගතවෙයි. මෙම කැටයමෙහි දැක්වුනේ ඇයටම ආවේණික ගමනකින් ඇවිද යන යෞවනියකගේ රූපයකි. මේ නිසා ඔහු ඇය ග්‍රාඩිවා යනුවෙන් නම් කරයි. එහි අර්ථය නම් සැරි සරන්නිය(walking one) යන්නය.
මේ කැටයමින් නිරූපණය වන්නේ අන් කිසිවකු නොව තමාගේ ළමා කල මිතුරියක වූ සෝ (Zoe) නමැත්තියකි ඇගේ සම්පූර්ණ නම වූ Zoe Bertgang යන්නෙහි අර්ථය වන්නේ සාර සුබාවට පියනගා යන්නිය(one who steps along lightly) යන්නයි. හැනෝල්ඩ් පොම්පෙයි නුවර වීදියකදී දකින ග්‍රාඩිවා අනෙකකු නොව ඔහුගේ ළමා කල මිතුරිය වූ සෝය. මින් සිදු වන්නේ කුමක්දැයි පැහැදිලි වෙයි. සෝ සහ හැනෝල්ඩ් යන දෙදෙනාම කතාව ගොඩනගන සංකේතිකයන් හුවමාරු කරගනිති. ළමා කාලය සහ පොම්පෙයි අතර සමාන කම් සේම අවරෝධනය සහ වැළලීම මෙම සංකේත අතර වේ.මේ නිසා සෝට තම ග්‍රාඩිවා චරිතය රඟ පෑ හැකි අතර ඇය ක්‍රමයෙන් හැනෝල්ඩ් ඔහුගේ භ්‍රාන්තියෙන් මුදවා ගනී. මෙහි මුලදී පැවසූ පරිදි සෝ ක්‍රියා කරන්නේ විශ්ලේෂිකාවකගේ භූමිකාවකි.
සැබවින්ම යළි උපන්නෙමි නවකතාවේ ප්‍රධාන චරිතය වූ රණතුංග එක්තරා ආකරයකින් ග්‍රාඩිවාහි හැනෝල්ඩ් ගේ වෙනත් කියැවීමකි. තමාගේම ෆැන්ටසි මත යැපුන ඔහු ගේ ජීවිතය සකස් කරන්නේ මව නමැති සාධකය විසිනි. මෙහිදී කිවයුතු කරුණ නම් නිර්මාණකරුවකුගේ ආශාව තම නිර්මාණය තුළ කුළුගැන්වී ඇති ආකාරය වටහා ගැනීමය. චිරන්තන ව්‍යවහාරික මනෝ විශ්ලේෂණීය විචාරය නිර්මාණ වියමන තුළ සොයන්නේ නිර්මාණකරුවාගේ අධ්‍යාත්මයයි. බාගවිට නිර්මාණය තුළ ප්‍රකාශිත අත්දැකීම පිළිබඳ විවරණය කෙලවර වන්නේ කතුවරයාගේ ළමා කාලය මුණගැසීමෙනි.
එහෙත් සිහිනය කලා විචාරයට කැඳවන අවස්ථාව වනවිට කලා කෘතිය එහි නිර්මාපකයාගේ චරිතාපදානමය සාක්කි ලෙස සැලකීම සහ එය සෞන්දර්ය වස්තුවක් ලෙස සැලකීම අතර වෙනස ෆ්‍රොයිඩ් මනාව දැන සිටියේය. ලියනාඩෝ ඩාවින්චි සහ ඔහුගේ ළමා කල මතක (Leanardo Da Vinci and a Memory of His Childhood) නම් වියමන මගින් ෆ්‍රොයිඩ් මුල් වරට මනෝ චරිතාපදානයක් (Psychobiography) ඉදිරිපත් කරයි. සියවස් ගණනාවක් තිස්සේ ආකර්ෂණීය ප්‍රහේළිකාවක් වූ මොනාලිසාගේ ගුප්ත සිනහවේ අරුත මෙම වියමන මගින් පැහැදිලි විය. මෙම ෆ්‍රොයිඩියානු කියැවීම යළි උපන්නෙමි යළි කියවීමේදී අපට මහඟු අත්වැලක් යන බැවින් ඒ පිළිබඳ විග්‍රහයක් කිරීම මග හැර යා නොහැක. එහෙත් (අර සර්පයාගේ යෙදුමක් ණයට ගනිමින්) සෙස්ස පස්සට තබමි.
මතු සම්බන්ධයි.
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි.
දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’යළි උපන්නෙමි’’ යළි කියවමු