යළි උපන්නෙමි යළි කියැවීමේ පසු බිම උදෙසා අප කතාබහ කරමින් සිටියේ ෆ්‍රොයිඩ් ඩාවින්චිගේ මොනාලිසා යළි කියවූ ක්‍රමවේදය පිළිබඳවය. එහිදී ෆ්‍රොයිඩ් ශ්‍රේෂ්ඨ මිනිසකුගේ ළමා කල ලිංගික අත්දැකීම් ඔහුගේ වැඩිහිටි ජීවිතයට බලපාන සැටි ගවේෂණය කරයි. ලියනාඩෝ කලාවෙන් විද්‍යාවට නැඹුරු වූයේ මන්ද යන්නත් හුදු පරමාදර්ශී ආකාරයක් තුළ ඔහුගේ සමලිංගිකත්වය පිළිබඳ නැඹුරුව පෙනී යන්නේ කුමක් නිසාද යන්නත් ෆ්‍රොයිඩ් තම ප්‍රධාන චරිතයාගේ සංකීර්ණ අතීත කතාව තුළ තබා විස්තර කරයි.
මෙම පිරියෙසුම්වලදී ළදරු කල ලියනාඩෝගේ මුව තුළට ගිජු ළිහිණියෙක් තම වල්ගය දැමීමේ සිදුවීමක් ෆ්‍රොයිඩ්ට හමුවෙයි. ඔහු මෙම චරිතාපදානමය සොයා ගැනීම් ලියනාඩෝගේ මොනාලිසා සහ මැඩෝනා සහ දරුවා සමග සිටින ශාන්ත ආනා (Monalisa and Madona and Child with St Anne) යන සිතුවම සමග ගැට ගසන සැටි අපූරුය.
ෆ්‍රොයිඩ් කිසි විටෙක තම චරිතාපදානමය සාක්කි මෙම සිතුවම්වලින් උකහා නොගනී. ඔහු කරන්නේ ඒවා තුළ කාවැදී ඇති සන්දර්භගත තොරතුර ඔහු ඒ වන විටත් තහවුරු කර ගෙන සිටි සොයා ගැනීම්වල උදව්වෙන් විකේතනය කිරීමය. ෆ්‍රොයිඩ් තර්ක කරන පරිදි මොනාලිසාගේ සිනහව තුළ ලියනාඩෝගේ පළමු මවගේ ප්‍රතිරූප දෙකක් කැටි වී තිබේ. එකකින් ඇඟවුම්කරණය වන්නේ සියුමැලි බව සහ කොහොල්කමය. අනෙක කාමුක බවත් ආකර්ෂණීය බවත් අඟවයි.
අනෙක් සිතුවම තුළ ඔහුගේ ස්වභාවික මව සේම ප්‍රේමනීය වූ සුළු මවද ඉදිරිපත් කරන්නේ පිරමීඩාකාර ව්‍යුහයකිනි. මෙහිදී දෙදෙනාගේම මුවෙහි අර ගුප්ත සිනහව දක්නට පිළිවණ.සිහිනයක බඳු සම්පර්කයක් තුළ එය ද්විගුණව කැටි වී ඇත. මෙහිදී ෆ්‍රොයිඩ් පෙන්වා සිටින්නේ අරුත්වල ගැටීම එම නිර්මාණ තුළින්ම උකහා ගත හැකි බවය. මනෝවිශ්ලේෂණීය සාධක අනුව මවගේ සෙනෙහසට නැඹුරු වීමේ ප්‍රාර්ථනයත් එහි අනතුරත් යන දෙකම මෙහි එකිනෙකට සම්මුඛ වෙයි. එහෙත් කලාත්මක සාධක තුළ එය පෙනී යන්නේ නරඹන්නියට වටහා ගත නොහැකි ගුප්ත වූ ඉන්ද්‍රජාලික සිනහවක් වශයෙනි.
දැන් අප යළි උපන්නෙමි නවකතාව වෙත යොමු වන්නේ නම් එය වූකලි රණතුංග නම් පිරිමියාගේ ළමා කාලයේ සිට නන්දා නම් වූ වෙසඟන සමග අඹු සැමියන් වශයෙන් ජීවත් වීමට පටන් ගැනීම දක්වා වූ ජීවිතය පිළිබඳ කතා වස්තුවක් බව අපි දන්නෙමු. ලිංගිකත්වය පිරිමියකුගේ ජීවිතයට සම්බන්ධ වන සැටි මේ නවකතාවෙන් විවරණය වෙයි. යළි උපන්නෙමි බැහැර කිරීම මගින් එහි කතුවරයා තමාගේ අවිඥානගත ලෝකය අවරෝධනය කිරීමක යෙදෙන සැටි අපට විශ්ලේෂණය කළ හැකිය.
මෙය එතරම් අලුත් දෙයක් නොවන බව සැබෑවකි. ශාස්ත්‍රීය සම්ප්‍රදායේ මනෝ විශ්ලේෂණීය කියැවීම් බොහෝ කලකට පෙර සිටම සිදුවී ඇත. එම කියැවීම් පාදක වී ඇත්තේ කලා කෘතිය එහි නිර්මාතෘ වරයාගේ අවිඥානක අශාවන්ගේ මූර්තිමත් වීමක් ලෙස සැලකීම මතය. ඒ අනුව මේ විදිහේ කියැවීමකදී නිර්මාණය කතුවරයාගේ මනසට (ජීවිතයට) සම්බන්ධ කරයි. ඉන් ඔහුගේ දන්නා කියන ජීවිතය ඇසුරින් මුල්කාලීන ළමාවියේ අත්දැකීම් පිළිබඳ විශ්ලේෂණයක් දක්වා විහිදෙයි. කොටින්ම අප විශ්ලේෂණය කරන්නේ යළි උපන්නෙමි බැවින් මනෝ විශ්ලේෂණීය අර්ථයකින් රෝග ලක්ෂණය එම වියමන වද්දී රෝගය අමරසේකර වේ.
කලාකරුවාගේ ජීවිතය අධ්‍යයනය කිරීම හරහා ඔහුගේ නිර්මාණ පැහැදිලි කිරීම හෝ ඔහුගේ නිර්මාණ අධ්‍යයනය මගින් ඔහුගේ මනස පැහැදිලි කිරීම හෝ පැවතුණේ පූර්ව ෆ්‍රොයිඩියානු විශ්ලේෂණය තුළය. ඒ වූ කලී නිර්මාණ ප්‍රතිභාව මනෝ ව්‍යාධියකට සම්බන්ධ කිරීමට දරන ලද ප්‍රයත්න ලෙස සැලකිය හැකිය. මෙහිදී නිර්මාණය සලකනු ලබන්නේ රෝග ලක්ෂණ වශයෙන් බැවින් එම කියැවීම තුළ අවරෝධනය කර ඇති දේ මතු කර ගැනීමක් දුට හැකිය. මේ විදියේ කියවීමක දුර්වලතාව නම් කතුවරයාගේ අවිඥානයට ඔහුගේ සවිඥානික වූ ප්‍රතිභාව අභිබවා යාමේ වරප්‍රසාදයක් ලැබීමය. (කියවන්න එලිසෙබෙත් රයිට් ගේ Psychoanalytic Criticism ). අමරසේකර සහ ඔහුගේ යළි උපන්නෙමි නවකතාව වෙත සන්දර්භමය එළැඹුමක් (contextual approach) සඳහා උදව් පිණිස, වියමන තුළ කතුවරයා විශ්ලේෂණය වන අවස්ථා කීපයක් විස්තර කිරීම මැනවයි සිතමි. රෝග විනිශ්චය කලාව (Pathography) ලෙස හඳුන්වන මෙම ක්‍රමය අනුව එය කලාකරුවා පිළිබඳ අධ්‍යයනයක් වන නමුත් එය නිර්මාණය හෝ එය නිමවූ මිනිසාගේ නාමයෙන් සිදුවන්නක් නොවේ. එහි හුදු අරමුණවන්නේ එක් සුවිශේෂ රෝග විනිශ්චයක් වර්ග කිරීමය.
සිග්මන් ෆ්‍රොයිඩ් ලියනාඩෝ ඩාවින්චි නම් ඉතාලියානු චිත්‍ර ශිල්පියා පිළිබඳ මෙබඳු කියැවීමක් කර ඇත. යළි උපන්නෙමි නවකතාවේ රණතුංගගේ ජීවිතයේ සමහර සිදුවීමක් මව වෙත ආපසු යාමක් වන සැටිත් ඔහුගේ සියලු ලිංගික තේරීම් මව පිළිබඳ ආදේශකයක් වන සැටිත් අපට පසුව කතා බහ කළ හැකිය.
එපමණක් නොව අමරසේකරගේ අනෙකුත් බොහෝ නිර්මාණ සමග කියවන කල රණතුංග තම අහිමි වූ ආශාව (මව) ආපසු සොයා යාම පුනරාවර්තනය වන සැටිත් (repetition) ඉන් කියවේ. එහෙත් ඊට පෙර ලියනාඩෝ ඩාවින්චි නම් කලාකරුවා පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ කියැවීම් බලමු. එහිදී ඩාවින්චිගේ කාන්තා සිතුවම්වල පැනෙන ගුප්ත සිනහව කාගේ සිනහවක් දැයි ෆ්‍රොයිඩ් පැහැදිලි කරයි.
ලියනාඩෝ ඩාවින්චි සිනා මුසු කාන්තාවන්ගේ හිස් මැටියෙන් නිර්මාණය කළේය. එසේම ඒ කාලයේදීම කළ ළමා හිස්ද පසු කලෙක ප්‍රතිභාපූර්ණ කලාකරුවකු ලෙස නිර්මාණය කළ කන්තා හිස් තරම්ම මනරම් විය. ෆ්‍රොයිඩ් මේ සංස්ද්ධී දකින්නේ ඩාවින්චි ලිංගික වස්තූන් දෙවර්ගයක් මේ මගින් ප්‍රකාශයට පත් කළ ලෙසිණි. මනරම් ළමා හිස් වූ කලී ඔහුගේම ළමා විය ප්‍රතිනිර්මාණය කිරීමක් වන අතර සිනා නගන ස්ත්‍රීන් යනු ඔහුගේ මව වූ කැතරිනාගේ පුනරාවර්තනයයි. සිග්මන් ෆ්‍රොයිඩ් පවසන පරිදි අර ගුප්ත ස්ත්‍රී සිනහව ඔහුගේ මව සතුව තිබූ සිනහව බව අප සැක කරන්නට වන්නෙමු. ඔහුට අහිමි වූ ඒ සිනහව යළිත් ෆ්ලොරන්ටිස් ආර්යාව තුළ නැවත දැකීමෙන් ඔහු මහත් අමන්දානන්දයට පත් විය. මේ සිනහව ඔහුගේ වෙනත් ස්ත්‍රී සිතුවම්වල පුනරාවර්තනය වන බව ඇත්තකි. විවිධ ඉතලියානු සිත්තරුන්ට විෂය වූ St. Anne with Two Others නම් සිතුවම නිර්මාණයේදී ලියනාඩෝ එළිදරව් වන හැටි ෆ්‍රොයිඩ් පැහැදිලි කරයි.
ලියනාඩෝ ඩාවින්චිගේ පුනරාවර්තනීය ලෙස මතුවන්නේ ඔහුගේ මවගේ සිනහවයි. ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ, ගන්ධබ්බ අපදානය, යළි උපන්නෙමි ආදී වූ කෙටිකතා සහ නවකතා වල කියැවෙන්නේ එකම මවක පිළිබඳ නොවේදැයි නැවත කියවා බලන්න. යළි උපන්නෙමි කතුවරයාගේ ජීවිතයේ කවර සංසිද්ධී මේවායින් ප්‍රතිරාවය වන්නේදැයි කීමට තොරතුරු අප වෙත නැත. එහෙත් මෙම නවකතාවේ කියැවෙන රණතුංගගේ ජීවිතයේ සියලු සංසිද්ධීන්ට ඔහුගේ බාලවිය බලපාන ආකාරය නවකතාව ඇසුරෙන් පැහැදිලි කළ හැකිය. ඩාවින්චි පිළිබඳව ෆ්‍රොයිඩ් රෝග විනිශ්චය කලාවක් තුළ කරන විග්‍රහය යළි උපන්නෙමි කියවීමට ක්‍රම වේදයක් වන්නේ එලෙසය.
ඩාවින්චි පිළිබඳ විග්‍රහයේදී ෆ්‍රොයිඩ් පළ කරන අදහසකට අනුව මව කෙරේ වන දරුවාගේ ආදරය සවිඥානකව (යථාර්ථමය ලෙස ) පවත්වාගෙන යාමට ඔහු අසමත් ය. එය යටපත් කර ගැනීමට ඔහුට සිදුවේ. ඩාවින්චි මව කෙරේ වන තමාගේ ආදරය අවරෝධනය කර ගනිමි තමා ඇයගේ ස්ථානයේ තබා ඇයට අනන්‍ය වේ. ඇයට අනන්‍ය වීම(identifies himself with her) තුළ ඔහු තමාම මොඩලයක් බවට පත් කර ගැනීමෙන් ස්වකීය ආදරය උදෙසා තම රුචිය පරිදි නව වස්තූන් ආදේශක ලෙස සෙවීය. ඩාවින්චි සම ලිංගිකයකු වන්නේ එලෙසය. සැබවින්ම ඔහු කරන දේනම් ස්වයංරාගී ස්වභාවයකට (autoerotism) පසු බැසීමය.ඔහු ආදරය කළ කොලු ගැටයන් තමාගේම ළමා කල වෙනුවෙන් කළ ආදේශක රූප (substitutive figures) පමණක් වූ අතර ඉන් ඔහුගේම ළමාවිය පුනරාවර්තනය විය.
මෙබඳු ෆ්‍රොයිඩියානු වර්ගයේ කියැවීමක සෙවණල්ලක් අපට සිංහල සාහිත්‍ය විචාරය තුළ හමුවන්නේ මාර්ටින් වික්‍රමසිංහගේ “සිංහල නවකතාව සහ ජපන් කාම කතා සෙවණැල්ල” කෘතියේය. එම සෙවණල්ල යට හිඳිමින් මෙම යළි උපන්නෙමි කියැවීමෙහි සෙස්ස පස්සට තබමි.
මතු සම්බන්ධයි
’’යළි උපන්නෙමි’’ යළි කියවමු - 01
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි.
දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අමරසේකරගේ අහිමි වූ ආශාව - යළි උපන්නෙමි යළි කියවමු 02