පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින් තැන දක්නට ලැබෙි. ඇත්ත. ඉතිහාසය පුනරාවර්තනය (repetition) වීම අනිවාර්තාවක් තමයි. එකම දේ දෙවරක් සිදුවෙන බව හේගල් තහවුරු කළේය. එහෙත් මාක්ස්, හේගල් නිවැරදි කරමින් පැවසුවේ පළමුව එය ඛේදවාචකයක්(tragedy) ලෙස සිදු වෙතත් දෙවනුව එය විගඩමක්(farce) වන බවය.
ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ තම ආචාර්ය උපාධි නිබන්ධය ලෙස ලියූ Lacanian Eye (ලැකානියානු ඇස)නමැති වියමන කියැවීමටත් එය පොතක් ලෙස දොරට වඩින විට ඒ ගැන යම් අදහසක් පළ කිරීමටත් මට අවස්ථාව ලැබිණි. එම ග්‍රන්ථයට ප්‍රස්තූත වන්නේ යටකී පශ්චාත් යටත් විජිත කතිකාවයි. එහිදී ඇය පශ්චාත් යටත් විජිතවාදය මනෝ විශ්ලේෂණය සමග ගැටගැසීම අලුත් දෙයක් නොවේ. ෆ්‍රාන්ස් ෆැනන්,අජාස් අහමඩ්, එඩ්වඩ් සයිඩ්,හෝමි බාබා රනජිත් ගුහා සහ ගයාත්‍රි ස්පිවැක්,වැනි විද්වතුන් පශ්චාත් යටත් විජිතවාදය සමග මනෝ විශ්ලේෂණය පටලවාගත් තැන් ඇත. කෙසේ වෙතත් ක්‍රිෂාන්තිගේ ග්‍රන්ථයේ ඇති විශේෂත්වය නම් ඇය සල්මාන් රුෂ්ඩිගේ Midnight’s Children, Shame සහ Moor’s Last sigh යන නවකතා ත්‍රිත්වය ලැකානියානු ඇසකින් නැතහොත් මනෝ විශ්ලේෂණීය පර්යාවලෝකයකින් කියැවීමට ප්‍රයත්න දරා තිබීමය.
ආචාර්ය ක්‍රිෂාන්ති බරපතළ වූ යමක් කිරීමට අත ගසන බව සැබෑය.එහෙත් ඇගේ පොත සම්බන්ධයෙන් මගේ විවේචනය එල්ල වන්නේ අර පශ්චාත් යටත් විජිතවාදී පීලිපැනීමට එරෙහිවය.පශ්චාත් යටත්විජිතවාදී ප්‍රවාද සරණ යන ක්‍රිෂාන්ති සමකාලීන සමාජ ප්‍රශ්නවල මුල ලෙස දකින්නේ අප යටත් විජිතයක්ව පැවතීමය. එහෙත් මේ ප්‍රශ්න ගෝලීය ධනවාදයේ සහ නව ලිබරල් වාදයේ ගැටලුය.පශ්චාත් යටත් විජිත වාදය සහ මනෝ විශ්ලේෂණය අතර පසමිතුරු බව මම මෙහිලා යම් තරමකට විමර්ශනය කිරීමට ඉඩකඩ සොයා ගනිමි. එහෙත් මගේ වැඩි අවධානය යොමු වන්නේ සාහිත්‍ය නිර්මාණ දෘෂ්ටාන්තමය ලෙස කියැවීමට ඇය උත්සාහ ගෙන තිබීමත් එමගින් නවකතා කියැවීම සඳහා නව විචාර මගක් සොයා ගැනීමත් කෙරෙහිය.මෙහිදී ඇය සල්මන් රුෂ්ඩි පිළිබඳ කරන කියැවීම් වැදගත් ය.
සල්මාන් රුෂ්ඩිගේ Midnight’s Children (මැදියම් රැයේ දරුවෝ) නමැති නවකතාව ඇරඹෙන්නේ ඉන්දියාවට නිදහස ලැබුණ මැදියම් රැයෙනි. නවකතාවේ ආරම්භයම අපූර්ව සිදුවීමකි ඉන්දියාවට නිදහස ලැබීමට ආසන්නව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ අපූරු දැන්වීමක් පළ වෙයි. ඉන් කියවුණේ නිදසස ලැබෙන මධ්‍යම රාත්‍රී 12 ට කිසියම් ස්ත්‍රියක ට දරුවකු ලැබුණොත් ඇයට ත්‍යාගයක් හිමි වන බවය. අමිනා සිනායි නම් ස්ත්‍රිය හරියටම රෑ12 ට දරුවකු ප්‍රසූත කරන්නීය.ඇය කෑ ගසා මෙසේ කියන්නීය.
“පත්තරවලට කියාපල්ලා. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පත්තරේට පලයල්ලා මං කිව්වෙ නැද්ද උඹලට මං දිනුම්”
එහෙත් සැබවින්ම සිදුවන්නේ ඒ දරුවා ඊට පැයකට පසු උපන් වෙනත් දරුවකුට මේරි පෙරෙයිරා නම් පරදේසක්කාර ස්ත්‍රියක විසින් මාරු කරනු ලැබීමය. ඉන්පසු ජාතියේ දරුවා වන්නේ මේ මාරු කරනු ලැබූ දරුවාය සලීම් සිනායි නම් වූ මේ දරුවා මෙහි කතාව කියන්නාය. ඔහු හරිම අපූරු පුවතක් තමාගේ සීයා සම්බන්ධයෙන් එළි දරව් කරයි. සලීම් ගේ සීයා වූ අසීස් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන ජර්මනියේ සිට පැමිණි තරුණ වෛද්‍යවරයෙකි. ඔහු විවාහ වන්නේ තමාගෙන් ප්‍රතිකාර ලබාගත් තරුණියක සමගය.
තරුණියගේ පියා විශාල ධනවතෙකි. ඔහු නසීස් ගානි නම් වූ තම දියණියට ප්‍රතිකාර කිරීමට අසීස්ව කැඳවයි. අසීස් මේ විශාල මන්දිරයේ රෝගියා රඳවා සිටින කුටියට යයි. එහෙත් එහි රෝගියකු නැත ඒ වෙනුවට ඔහුට දකින්නට ලැබෙන්නේ තරමක් විශාල සිදුරක් සහිත තිරයක් කාමරය හරහා ඇද තිබෙන බවයි. රෝගියා සිටින්නේ තිරයෙන් එහා පැත්තේය. ඔහු විපිළිසරව වට පිට බලන විට නසිස් ගානිගේ පියා කියන්නේ මෙනන මෙබඳු වචනය.
“හහ් මට තේරෙනව තමුසෙගෙ පටලැවිල්ල. යුරෝපෙ ඉඳල ආපු තමුසෙල වගේ ගැටයින්ට සමහර දේවල් මතක නැහැ. ඩොක්ටර් සහීබ්, මගේ දුව හැදිච්ච කෙල්ලක්. ඇය ආගන්තුක පිරිමින්ට ඇගේ ඇඟ පෙන්නනෙ නැහැ. එයා අර එහා පැත්තෙ හැදිච්ච කෙල්ලක් වගේ හිටගෙන ඉන්නවා”
රෝගියා පරීක්ෂා කර නොබලා ප්‍රතිකාර කිරීම කළ නොහැකිය. තිරය මැද වූ විශාල සිදුර ඒසඳහා වූවකි. එදින ඇයට වැළඳී තිබුණේ උදරා බාධයකි. ඇගේ උදරය පරීක්ෂා කර බලමින් වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම අරඹයි. මින් පසුව ශරීරයේ නොයෙක් ස්ථානවල හටගත් විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා ඔහු විසි තිස් වතාවක් කැඳවනු ලබන තර ඇගේ ශරීරය සමග අංග ප්‍රත්‍යංග වශයෙන් ප්‍රේමයෙන් බැඳෙයි. වරක් ඇගේ තට්ටම්වල වූ ආබාධයක් පරීක්ෂා කර බලන අසීස් කියන්නේ ඇගේ පශ්චාත් භාගය විලියෙන් රතු වූ බවය. විවහයෙන් පසු ඇගේ සිරුර සම්පූර්ණයෙන් දකින ඔහු තුළ ඇය කෙරේ වූ තම ප්‍රේමය නැතිවී යයි.
මේ අපූර්ව සිදුවීම ක්‍රිෂාන්ති දකින්නේ දෘෂ්ටාන්තයක් ලෙසිනි.ඇය එය ඉන්දියානු නිදහස් සටනට සමාන කරයි. සම්පූර්ණත්වය පිළිබඳ ඩොක්ටර් අසීස් තුළ වූ ෆැන්ටසිය යථමය වූ මායාවක් (illusion) පමණක් වන බව ඇය පවසන්නීය ඇය මෙසේ ලියන්නීය.
“Dr. Aziz’s fantasy for the whole…. Is an illusion in the Real, for he later finds that parts do not necessarily compose of the whole it is a failure: he is not happy with Nassim later on in his life. This not only asserts Lacan’s notion that the “Big Other does not exist” (Zizek 2008a, p67) but also raises intellectual problems (allegorically) as to whether what is observed in fragments or ‘parts’ can actually retain their consistency as a universal whole: the metaphorical question extends to Indian nationalism in the aftermath of colonial rule”(ඇය උපුටා දක්වන්නේ ජිජැක්ගේ For They Know Not What They Do: Enjoyment As A Political Factor නමැති වියමනෙනි)
මෙහිදී ක්‍රිෂාන්ති නවකතා විචාරයේදී දෘෂ්ටාන්ත උපක්‍රමයක් (device) ලෙස ගැනීම අගය කළ යුතු දෙයක් බැව් සැබෑය.හැබැයි මට ඇති ගැටලුව මේ ග්‍රන්ථය පුරාම පශ්චාත් යටත් විජිතවාදය (Post- Colonialism) අධිනිශ්චය වී තිබීමය. ඒ ගැන මම පසුව කතා කරමි. දෘෂ්ටාන්ත ගැන යමක් කතා කිරීමට පෙර අර සිදුර සහ සම්පූර්ණත්වය අතර ප්‍රතිපක්ෂය ලැකානියානු ප්‍රවාද තුළ විසංයෝජනය වන සැටි විමසීම වටනේය.
ලැකානියානු ප්‍රවාදවලට අනුව මනුෂ්‍ය ආත්මීයතාව රෙජිස්තර තුනකට ගැට ගැසෙයි. එය හැදින්වෙන්නේ ලැකානියානු ත්‍රිවේධය (Lacanian triad) යනුවෙනි. ක්‍රිෂාන්තිගේ ග්‍රන්ථයේ පිට කවරයෙහි ඇඳ ඇති borrowmean knot මගින් පෙන්නුම් කරන්නේ එම රෙජිස්තර තුන අතර පවතින සම්බන්ධතාවයි. මේ රෙජිස්තර තුන නම් පරිකල්පනීය(imaginary) සංකේතික(symbolic) සහ යථ ය(Real). මින් පරිකල්පනීය අවදියේදී ලෝකය සංජානනය කරන්නේ අප දකින රූප අනුවය. සංකේතිකය යනු භාෂාවට ප්‍රවිෂ්ට වීමයි. පරිකල්පනීය අවදියේදී අප අපේ ශරීරය පවා සංජානනය කරන්නේ පාර්ශ්වීය වස්තූන් (partial objects) ලෙසය. එහෙත් කිසියම් අවස්ථවක අපට එය සම්පූර්ණ රූපයක් ලෙස දකින්නට ලැබෙයි.
මාස 18 ක දරුවෙක් කැඩපතක් ඉදිරිපිටදී තමාගේ රූපය දැකීම එබඳු අවස්ථාවක්ය. මෙතෙක් කොටස් වශයෙන් සංජානනය කළ තම ශරීරය පළමු වතාවට සම්පූර්ණ එකක් ලෙස ඔහු දකී. ඔහු වහාම තමා දකින රූපය සමග අනන්‍ය වෙයි. අනතුරුව එහි සිටින්නේ තමා නොව තම රූපය පමණක් බව වටහා ගැනීමෙන් කලකිරීමට පත් වන ඔහු තම ආත්මීයතාව ගොඩනැගීම අරඹන්නේ දෙකඩ වූ ආත්මයක් (split subject) ලෙසය. සල්මාන් රුෂ්ඩිගේ නවකතාවේ කියවෙන සිදුර රූපකමය භාවිතයකි. ක්‍රිෂාන්ති පවසන්නේ එම සිදුර දෘෂ්ටාන්තමය ලෙස එක අතෙකින් ඉන්දියානු නිදහස් සටනේ හිස් බව සේම ඩොක්ටර් අසීස්ගේ ආත්මීය හිස් බව පිළිබඳ රූපකයක් වන බවය.
ෆ්‍රෙඩ්‍රික් ජෙම්සන්ගේ Geopolitical Aesthetic සහ Political Unconscious නමැති ග්‍රන්ථ දෙක මගින් දෘෂ්ටාන්තමය කියැවීම් පිළිබඳ අපූර්ව සොයා ගැනීම් කීපයක් කරයි. එහිදී ඔහු God Father නවකතාව මෙන්ම සිනමා කෘතියද සලකන්නේ දෘෂ්ටාන්තයක් ලෙසය. ෆ්‍රෙඩ්‍රික් ජෙම්සන් (Fredric Jameson) අර යටකී දේශපාලන අවිඥානය (Political Unconscious) සහ භූ දේශපාලනික සෞන්දර්ය(Geopolitical Aesthetic) නමැති කෘති මගින් සම්ප්‍රදායික ලෙස සාහිත්‍ය හෝ සිනමා ඉතිහාසය කියවන ආකාරයට වෙනස්, ඊට වඩා වූ අර්ථ කථනයක් ඉල්ලා සිටීමට යෝජනා කරයි. අප විචාරයට ලක් කරන (නැවත කියවන) කෘතිය දේශපාලනික හෝ සංස්කෘතික සමාජයක පරාවර්තනයක් ලෙස දැකිය හැකි වන්නේ එවිටය. ජෙම්සන් ඒ විදිහට ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලාගේ God Father සිනමා නිර්මාණය (ඇත්තටම නම් සිනමා ත්‍රිත්වයේ මුල් නිර්මාණ දෙක) දෘෂ්ටාන්තයක් ලෙස ගෙන කියවයි.ජෙම්සන්ගේ එකී විචාර සත්කාරය තුළ අපි ගෝඩ් ෆාදර් සමකාලීන සමාජ හා දේශපාලන කතිකාවේ පරාවර්තනයක් ලෙස දකින්නෙමු. කොටින්ම සමාජය තුළ බහු ජාතික සමාගම්වල ආධිපත්‍ය පිළිබඳ විවරණයක් කොපෝලා දෘෂ්ටාන්තමය ලෙස මාෆියා පුරාණෝක්තියක් බවට රූපාන්තරණය කර ඇති ආකාරය ජෙම්සන් විස්තර කරයි.
මින් අදහස් වන්නේ යම් කලා නිර්මාණයක් (සිනමා කෘතියක් හෝ නවකතාවක්) නැවත කියවීම තුළ එම නිර්මාණය ඊට වඩා වූ කිසිවක් බවට පත් වන ආකාරයයි. හැබැයි ඒ සඳහා වූ විභවයක් අදාල නිර්මාණය වෙතින් පළ විය යුතු වීම නිර්මාණ කරුවාගේ නිර්මාණ හැකියාව මත පරායත්ත වන්නකි. ඉතාම මෑතකදී සමීක්ෂණ කාර්‍යයකදී මා දුටු එක්තරා කෙටි චිත්‍රපටයක කතා පුවත පා පැදියක් පැදගෙන යන අවුරුදු දහයක පමණ වයසැති දරුවකු වටා ගෙතී තිබිණි. අතරමගදී පා පැදිය ඔහු අතින් පෙරලෙයි. මහත් වෙහෙසක් දරා උපක්‍රමශීලී ලෙස එය ඔහු කෙලින් කර ගෙන නැවත පැද යයි. මෙම චිත්‍රපටය දරුවකු පා පැදියක් පැදීමෙන් ලබන හුදු අත් දැකීමක් ලෙසට සිල්ලරට ගැනීමට මෙහි කතා වින්‍යාසය (plot) ඉඩ නොදෙයි. මේ නිසා මා එය කියවූයේ මේ මොහොතේ ඇද වැටී තිබෙන අප රටට අත් වී තිබෙන ඉරණම පිළිබඳ දෘෂ්ටාන්තයක් (allegory) ලෙසිනි. එමගින් අප ලබන උපදේශය නම් ජෙම්සන් විස්තර කරණ උපාය ශීලී විස්ථාපනයක් (strategic displacement) මගින් රටක ඛේද වාචකයට තුඩු දුන් හේතු විවේචනය කිරීමේ සදාචාර භාෂාවක් අපට නිර්මාණය කර ගත හැකි බවය.
මේ පොත තුළ ඒ ආකාරයේ දෘෂ්ටාන්තමය එළඹුමක් අපට දකින්නට පිළිවන. ඒ ඇසුරෙන් ක්‍රිෂාන්ති කියන්නේ අමිනා සිනායි,ඩොක්ටර් අසීස්, සලීම්ගේ සිනායි ආදින්ගේ “අසමත්වීම” ඔවුන් අපේක්ෂා භංගත්වයට පත් කර ඇති බවත් එය අප වටහා ගත යුත්තේ යථෙහි විභවතාවය වටහා නොගැනීම ලෙසත් ය කුන්දේරා හුදු හාස්‍ය පමණක් ලෙසට ඌනනය කරණ ඉන්ද්‍රජාලික සිදුවීම් එම යථෙහි ප්‍රකාශමානවීමක් ලෙස දැක්වීමට කතුවරිය දැඩි ප්‍රයත්නයක යෙදෙයි.එහිදී ඇගේ පදනම මූලික වශයෙන් මනෝ විශ්ලේෂණයයි. හැබැයි ඇගේ එළඹුම පශ්චාත් යටත් විජිතවාදී ආස්ථානයක්. ෆ්‍රාන්ට්ස් ෆැනොන් , හෝමි බාබා, අජාස් අහමඩ්, ගයත්‍රි ස්පිවැක් වැනි පශ්චාත් යටත් විජිත වාදී ලේඛකයින් ගේ ප්‍රවාද ඇය මෙහිදී භාවිතා කරන සැටි අපට පෙනී යයි.
එහෙත් මා අර යට සඳහන් කළ පරිදි මනෝ විශ්ලේෂණය, පශ්චාත් යටත් විජිත වාදය සමග ගැට ගැසීම මට අනුව ප්‍රශ්න කාරීය. මක්නිසාද යත් මනෝ විශ්ලේෂණය සහ පශ්චාත් යටත් විජිතවාදය බොහෝ තැන්වලදි පසමිතුරු බැවිනි. අප ඇසිය යුතු ප්‍රශ්නය නම් සුවිශේෂය (PARTICULARITY) අනුදන්නා දහමක් වූ පශ්චාත් යටත්විජිත වාදය ලැකානියානු වන්නේ කෙසේද? යන්නයි. ලැකානියානු වීම (Being Lacanian) යන්නෙන් අඟවන්නේ සුවිශේෂයෙන් මිදී සාර්වත්‍රිකය (UNIVERSALITY) පැත්ත ගැනීමයි. බොහෝ කොටම පශ්චාත් යටත් විජිත වාදය සංකේතිකයට බරය. මේ නිසා කෙනෙකු යෝජනා කළ යුතු දේ තමයි ගෝලීය බවට අනුකූලව සිටිමට, පශ්චාත් යටත් විජිත හැදෑරීම් සංකේතික වෙනසට අදාල ප්‍රශ්න කිරීමෙන් මිදී අනෙකාගේ අතිරික්තිය (other’s surplus) ගවේෂණය කිරීම කළයුතු බවයි.
පශ්චාත් යටත් විජිත තත්වය (post- colonial condition) තුළ යටත් විජිතවාදීව සිටීමෙන් මිදීමට, යම් විමුක්තියක් (emancipation) ලබා ගැනීමට පශ්චාත් යටත් විජිතවාදය යෝජනා කරයි. මනෝ විශ්ලේෂණය යනු ගැලවීමක් පිළිබඳ දේශනා කරන දහමක් නොවේය. මනෝ විශ්ලේෂණය අනුව ගැලවීමක් නිවීමක් නැත.මේ නිසා මනෝ විශ්ලේෂණය, පශ්චාත් ව්‍යුහවාදය සමග ගැට ගැසීම විකාරයක් කරයි.
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ක්‍රිෂාන්තිගේ ’’ලැකානියානු ඇස’’ මනෝවිකාරයක්