ඇත්ත. මේ කතා බහේ ප්‍රස්තූතය රත්න ශ්‍රී නොවෙයි තමයි. එහෙත් දැනටමත් ඔහු මෙයට මැදිහත් වී ඇත. එබැවින් අප ඇසිය යුතු ප්‍රශ්නය නම් ඔහුගේ ගම පිළිබඳ අතීත වේදනාව අප වටහා ගත යුත්තේ කෙසේද? යන්නය. එය එක් අතෙකින් අශාව ලුහු බැඳීමක් වන අතරම අනෙක් අතට මෙම ආශාව ෆැන්ටසිකරණය කිරීමක්ද වේ. සිග්මන් ෆ්‍රොයිඩ් කලාකරුවා තුළ නියුරෝසීය ලක්ෂණ දකී. මින් අදහස් වන්නේ නියුරෝසිකයකු සේම කලාකරුවා ද අසාමාන්‍ය ලෙස ප්‍රබල නෛසර්ගික අවශ්‍යතාවන් ගෙන් (instinctual needs) මිදී ෆැන්ටසි වෙත හැරන බවය. ෆ්‍රොයිඩ්ගේ විග්‍රහය විවරණය කරන ඊගල්ටන් පවසන පරිදි කෙසේ හෝ කලාකරුවා අනෙක් නියුරෝසිකයකු ලෙස නොව තමාගේ දවල් හීන අනෙක් අයට පිළිගත හැකි ආකාරයෙන් හැඩ ගන්වා මොලොක් කොට සාර සුබාවට ඉදිරිපත් කරන සැටි දනී. රත්න ශ්‍රීගේ පරම්පරාවේ කවීන් අතීතකාමී ලෙස ගම ෆැන්ටසිකරණය කිරීම තුළ අහිමි වූ දේ ලුහු බැඳීමේ ආශාව සේම කලාකාර නියුරෝසියාවක් ද ප්‍රකට කරයි.
ගුණදාස අමරසේකර මහතා තමාට අහිමි වූ දෙය (lack) අවුරුදු දෙදහස් පන්සියයක් වූ අතීතය තුළ සොයමින් පසු වේ. ඒ අතර රත්න ශ්‍රී ඇතුළු කවීහු අමරසේකරගේ මේ අතීතකාමී කවි/නොකවි බස පිළිබඳ ප්‍රවාදය නිරතුරුව හෙළා දකිති.මේ සංසිද්ධිය අප කියවිය යුත්තේ කෙසේද?
ලැකාන්ට අනුව කැඩපත් ලෙස තමාගේම රූපය මත පරාරෝපණය වන දරුවා සංකේත රෙජිස්තරයට(symbolic register) ඇතුළු වීමට පටන් ගනී. එහෙත් මේ සඳහා යථ (real) ලෙස ඔහු දකින මවගේ සිරුරින් වෙන් විය යුතුය. මේ කප්පාදුව(castration) හරහා සංකේත විශ්වයට ඔහු ප්‍රවිෂ්ට වන්නේ පියාගේ ආධරයෙනි.ඔහු මෙහෙයවනු ලබන්නේ පියාගේ නීතියයි. එවිට ඔහුට මව නමැති යථ අහිමි වී යයි. මිනිසාගේ ජීවිතය යනු ඔහුට අහිමි වූ එම දෙය ලුහුබැඳීමේ ආශාවයි. ඉහළ රස්සාවල් සොයන්නේ, ගෙවල් තනන්නේ, ඉහළට යන්නට වැර දරන්නේ, කවි ලියන්නේ ප්‍රසිද්ධිය පතන්නේ මේ ආශාව
තෘප්තිමත් කර ගැනීමෙන් අහිමි වූ දෙය ලබා ගැනීමටය. මෙහිදී අප කරන්නේ අහිමි වූ නියම දෙය වෙනුවට ආදේශක සොයා ගැනීමය. මුළු ජීවිත කාලය පුරාම පරිකල්පන යුගයේදී අහිමි වූ යථාව හමු නොවී මේ අදේශක සහ රූපක (substitutes and metephors)අතර සැරි සැරීමට සිදුවෙයි.
දරුවකු සංකේත රෙජිස්තරයට ඇතුළු වන්නේ පියාගේ නීතියට අවනත වීමෙනි. මේ නිසා ඔහුට අහිමි වූ දෙය අහිමි කරණු ලැබුවේ පියා විසිනි. මේ නිසා ඔහුගේ ඉදිරි ජීවිතය ගොඩ නැගෙන්නේ සංකේතීය වූ පියාගේ භූමිකාව ට එරෙහිව යාමෙනි. නූතන කවියාගේ ලුහු බැඳීම (drive) තුළ සම්ප්‍රදායට පහර දීම අප හඳුනා ගත යුත්තේ එලෙසය. එතනදී සම්ප්‍රදාය යනු පියාගේ භූමිකාවකි. අමරසේකර, සරච්චන්ද්‍ර ගුරු කුලයට පහර දෙන්නේ ඇයි? සරසවි යුගයේදී නවගත්තේගම සරච්චන්ද්‍ර විවේචනය කළේ ඇයි? මේ සියල්ල අප වටහා ගතයුත්තේ පියාගේ භූමිකාවට එරෙහිවීම් ලෙසිනි. කොටින්ම ඔවුන් එරෙහි වන්නේ පැල්ලසයේ නීතියටයි. පරිකල්පන අවදිය තුළ තමා මවගෙන් අහිමි කළේ මේ පැල්ලලසය විසිනි.
හැරල්ඩ් බ්ලූම් නමැති විචාරකයා ෆ්‍රොයිඩ්ගේ ඊඩිපස් සංකීර්ණයට අදාළ රීතීන්ට අනුව සාහිත්‍ය ඉතිහාසය නැවත ලියූවකු බව ඊගල්ටන් විස්තර කරයි. බ්ලූම්ට අනුව කවීන් පියවරුන්ගේ ආධිපත්‍යට යටවූ පුතුන් සේ ඔවුන්ට පෙර විසූ කවියකුගේ සෙවණේ කාංසාබරව දවසරී. ඔවුන්ගේ යම් කවියක් මේ බලපෑමේ කාංසාවෙන් (anxiety of influence) මිදෙනු පිණිස පෙර ලියූ කවියක ක්‍රමානුකූල යළි ගොඩ නගිනු ලැබීමක් සේ කියවිය හැකිය. ඊඩිපල් ප්‍රතිවිරෝධයක් (Oedipal rivalry) නැතහොත් තමාගේ පුරෝගාමියා සමග සමානයකු වීමේ උත්සාහය තුළ සිරවන කවියා එම සවිය බිඳ දැමීමේ ක්‍රමවේදයක් ලෙස සේ පුරෝගාමී කවිය යළි ගොඩ නගයි. විස්ථාපනය කරයි. අමුතුවෙන් සකස් කරයි. මේ අනුව කවි සැම විටම අනෙක් කවිවල නැවත ලිවීමක් නැතහොත් එම කවි වරදවා කියවීමක් (mis reading) සේ කියවිය හැකිය. ඉන් තමා පෙළන පීඩාව මැඬ නව කවියා තමාගේම වූ ප්‍රතිභාවක් සඳහා ඉඩ කඩක් එළි පෙහෙලි කර ගනී. ( කියවන්න ටෙරී ඊගල්ටන්ගේ Literary Theory: An Introduction,හැරල්ඩ් බ්ලූම්ගේ The Anxiety of Influence)
රත්න ශ්‍රී නමැති නව කවියා මහගම සේකර මතින් මතු වන්නේ එලෙසය. රත්න ශ්‍රී ගේ තරු ලකුණ කාව්‍ය සංග්‍රහයට කරුණාරත්න අමරසිංහ ලියන පෙර වදන කියවන්න. රත්න ශ්‍රී මත ඇද වැටී ඇති සේකරගේ පීතෘ සෙවණැල්ලේ විශාලනය වන සැටි පසක් කර ගැනීමට එයම ප්‍රමාණවත් ය. මෙහිදී තරු ලකුණ කාව්‍ය සංග්‍රහය සහ සේකරගේ ප්‍රබුද්ධ කාව්‍ය එකට තබා කියවීම මැනවි.
මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාත වෙති
දරුවෝ දන ගානා නොදරුවෝය
උන්ට බොන්ඩ ටින් කිරි පිටි සොයා දෙන්ඩ
ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ
මා නැත්නම් කෙනෙක් නැතිය,
අනාගතය දෑතින් මිට මොලවා ගෙන
මා දිහාව බලා ඉඬිති උන් සැම දෙන
ප්‍රබුද්ධ 34 පිට- මහගම සේකර
රත්න ශ්‍රී තම කාව්‍ය පීතවරයාගේ එම කවිය නැවත ලියන්නේ මෙසේය.
බඩ ගින්නේ විලාප දෙන
කුරුල්ලකුගෙ හඬින් හඬන
අවසන් සීනුවට එක්ව
යෝවද තං පව කියමින
ළමෝ දූලි පිසදා ගෙන
සෙමෙන් නගිති කඳු මුදුනට
පෙර දිගු ලොව
ධාන්‍යාගාරයේ අටුවට
තවමත් ඇස් දෙක නෑරුන
මී පැටවුන් විලස
තරු ලකුණ 27 පිට-රත්න ශ්‍රී විජෙසිංහ
මේ උපුටා දැක්වීම තුළ මා සොයන්නේ අනුකරණය නොවේ. පියාගේ පීඩනයෙන් මිදී කවිකාර සංකේත ලොවට ඇතුළු වන නව කවි පුත්‍රයාගේ නැවත ලිවීමයි. කොටින්ම තරු ලකුණ වූ කලී සේකරගේ ප්‍රබුද්ධ නැවත ලිවීමකි. හැරල්ඩ් බ්ලූම්ට අනුව කිවහොත් ඒ වූ කලී ප්‍රබුද්ධ නැවත කියැවීමකි. වඩාත් නිවැරදිව කියන්නේ නම් මහගම සේකර රත්න ශ්‍රී විසින් වරදවා කියවනු (mis reading) ලැබීමකි.
අලගියවන්න මුකවෙටි දක්වා කවිය ආපසු ද්ක්කන අමරසේකරගේ කවි/නොකවි බස පිළිබඳ ප්‍රවාදය පැරණි කවීන් පිළිබඳ වරදවා කියවීමක් වන්නේ යම් සේද රත්න ශ්‍රී විජෙසිංහ තම නැවත කියවීම තුළ සේකර වරඩහ්ගවා කියවයි. ඇත්ත. රත්න ශ්‍රී දවල් හීන (ෆැන්ටසි) ද්කින්න ට ඉගෙන ගන්නේ සේකරගෙනි. ඔහුට සේකර පියකු වන්නේ එලෙසය. අතීත කාමී ලෙස ගම ෆැන්ටසිකරණය කිරීම යථාර්ථයෙන් පලායාමේ නියුරෝසියානු කවිකම ඔහුට පරම්පරාවෙන් හිමි වෙයි. එහෙයින් සායනික අරුතින් කියන්නේ නම් රත්න ශ්‍රී තුළ කිසිවකු දකින සේකරගේ ආභාසය රෝගයක් නොව රෝග ලක්ෂණයකි(symptom).
දැන් ඉතින් රත්න ශ්‍රී අබියස තාවර වීමෙන් මිදී නිරාශගේ කවි කියැවීමට කාලය එළැඹ ඇත. ඒ සඳහා මීළඟ සතියේ හමුවෙමු.
මතු සම්බන්ධයි
සමන් වික්‍රමාරච්චි
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි.
දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කවි- නොකවි බයිනරියක නිරාෂගේ කවි - 3