පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි. ගෝරා පිළිබඳ නැවත ලියන්නට මා පෙලඹවූයේ නන්දලාල්ගේ එම ලිපියයි. එම ලිපිය ගෝරා නවකතාව පිළිබඳ කදිම විස්තරයක් සපයන බව සැබෑය. මගේ ලිවීම එහි දිගුවක් වන අතරම වෙනත් දිශානතියක් ගනී.
චින්තා ලක්ෂමීගේ ගෝරා පරිවර්තනය පළ වූයේ ඉන්දීය මහ මැතිවරණයෙන් සෝනියා ගාන්ධි පරාජයට පත් වූ ආසන්නයේය. බොහෝ අය සිතුවේ සෝනියා ගාන්ධි ජය ගනු ඇතැයි කියාය. ඉතාලි කතක වුවත් සිතින් ගතින් දෙකෙන්ම හින්දු වී සිටි සෝනියාට ඉන්දියාවේ මිනිසුන් කැමති වූයේ නැත. හැබැයි සෝනියා පරාජය වුණ ඉන්දීය මැතිවරණයට අවුරුදු අනූවකට පෙර ගෝරා ලියද්දී සෝනියා පරදින බව තාගෝර් දැන සිටියේය. මා එසේ ලියන විට එය මාකේස්ගේ හෝ ඉසබෙල් අයියන්ඩේගේ නවකතාවල එන ඉන්ද්‍රජාලික සිදුවීමක් බඳු ප්‍රකාශයකැයි නොගන්න. හරියටම කියනවා නම් සෝනියා ගාන්ධි පරදින බව නොව පැරදුන හෙතුව තාගෝර් දැන සිටියාක් බඳුය.
ඇත්තටම නම් සෝනියා පැරදුණේ ඉන්දියාවේ වැඩියෙන් සිටින්නේ ක්‍රිෂ්ණ දයාල් බබුලා නිසාය. ඔබ ගෝරා කියවූවා නම් ක්‍රිෂ්ණ දයාල් බාබු යනු ගෞර් මොහාන් හෙවත් ගෝරා හදා වඩාගත් පියා බව මතක ඇති. බ්‍රහ්මණයකු වීමට පෙරුම් පුරන ගෝරාට ඔහු අවසානයේදී කියන්නේ කුමක්ද?
“හින්දු ධර්මයට ප්‍රවේශ වීමට පුළුවන් කියල ගෝරා හිතාගෙන හිටියට ඒක ලොකු වැරදීමක්. ඒක කරන්න බැරි දෙයක්. ගෝරාගේ හැම ලේ බින්දුවක්ම, හිසේ සිට දෙපතුල දක්වා ඒ ධර්මයට විරුද්ධයි. හදිසියේ කෙනකුට හින්දු භක්තිකයෙක් වෙන්න බැහැ. තමුන්ට කොච්චර ඕන වුණත් බෑ. ජන්ම ජන්මාන්තරයක ඉඳල එන උරුමයක් ඕන.”
ගෝරා 531 පිට
ගෝරාට තිබුණේ අයිරිෂ් ජන්මයකි. සෝනියාට තිබුණේ ඉතාලි ජන්මයකි. ඉන්දියාවේ සිටින ක්‍රිෂ්ණ දයාල් බාබුලා දෙදෙනාටම නැගී සිටීමට ඉඩ නොදුන්හ. ගෝරා යනු කල්පිත චරිතයක් ය යන කරුණ හැරුණ විට මේ දෙදෙනා අතර වෙනසක් තිබිණි. සෝනියා හින්දු බැතිමතියක ලෙස පෙනී සිටින්නේ තමා ඉතාලිකාරියක බව දැන දැනමය. එහෙත් ගෝරා තමාගේ යුරෝපීය ජන්ම්ය ගැන දැන ගන්නා තෙක් හින්දු අන්තවාදියකු විය.
අද වැනි කාලයක ගෝරා පළවීම වැදගත් ය. නන්දලාල් නිවැරදිය. හැබැයි ඒ ගෝරා ලියමින් තාගෝර් ජනවර්ග වශයෙන් බෙදීමට විරුද්ධ වූයේය යන මතය සමග ඔහු සිට ගන්නා නිසා නොවේ.ඇත්තටම නම් තාගෝර් විශ්වාසයන් මත මිනිසුන් වර්ග කිරීමට එකඟ නොවීය.සමාජය විසින් මිනිසාගේ ආත්මීයතාව (subjectivity) උදුරා ගනු ලැබීමට ඔහු එකඟ නැත. සම්ප්‍රදායික හින්දු සමාජය හෝ නවීන අදහස් සමග කවලම් වුණ බ්‍රහ්ම සමාජය හෝ එහි පැවැත්ම ගැන තාගෝර් කරදර වූයේ නැත. එහෙත් මේ සමාජවලට පුද්ගල නිදහස උරා ගැනීම නම් ඔහුට නොරිසි විය.
නූතන සාහිත්‍යකාරයන් ආත්මීයතාව ලෙස දකින්නේ තාගෝර් විස්තර කරන මනුෂ්‍යත්වය නම් ධර්මතාවමය. සංස්කෘ තික පට පිළියෙන් වසන් වී තිබෙන ආත්මීයතාව ගවේෂණයට නූතන නිර්මාණකරුවෝ යුහුසුළු වෙති. තාගෝර් ගෝරා නවකතාව පුරාම වෑයම් කරනුයේ වෙනත් අදහස් ඇති කෙනකුගේ මනුෂ්‍යත්වය සහ වෙනත් කෙනෙකුගේ විරුද්ධ අදහස් අතර පවතින පරස්පරය විමසීමටය.මෙය විමසීමෙන් සමාජය තුළ වසන් වී තිබෙන මනුෂ්‍යත්වය නිරාවරණය කරගනී.
නූතන නවකතාකරුවන් සම්ප්‍රදාය සහ සංස්කෘතිය පමණක් නොව භාෂාව වුවත් අවිශ්වාසයට ගන්නේ ඇයි?ඒවා මනුෂ්‍යත්වය (ආත්මීයතාව) වසන් කරගනිමින් සිටින්නේ යයි ඔවුන් අදහන බැවිනි.අවුරුදු අනූවකට පෙර තාගෝර් සම්ප්‍රදාය අවිශ්වාස කරන්නේ මෙසේය.
“සම්ප්‍රදාය කියන්නේ මිනිසා මිනිසෙක් ය කියන කතාව අමතක කරවන දෙයක්”
- ගෝරා 347 පිට
පරේශ් බාබු නම් වයෝවෘද්ධ මිනිසාගේ මුවින් මේ පිටවන්නේ තාගෝර්ගේම කල්පනාවකි.
එසේම මෙම සම්ප්‍රදාය පුරුෂවාදීය. එක පැත්තකින් ගෝරාගේ පිරිමි හින්දු අන්තවාදය වෙයි. අනෙක් පැත්තෙන් ඔහුගේ විරුද්ධකාරයා වූ හරාන්ගේ බ්‍රහ්ම සමාජයට අදාළ පිරිමි චින්තනයය. මේ චින්තනය සහිත පිරිමි දරන එකම කල්පනාව ඉන්දියාව පිරිමින්ගේ දේශයක් බවය. වරක් ගෝරා සහ ඔහුගේ ප්‍රාණ මිත්‍රයා වූ විනය අතර වන සංවාදයකදී විනය තන්ගේ චින්තනය තුළ කාන්තාවට තැනක් නොමැති බව චෝදනා මුඛයෙන් පිළිගනී. මේ පිරිමි චින්තකයන් තමන්ගේ මතවාද අනුන් මත පැටවීමට වෑයම් කරන්නේ රටේ ගැහැනුන් නැතැයි යන කල්පනාවෙන් මෙනි. ගැහැනුන් මෙලෙස පරිහාසයට පත්වීම තාගෝර් නොඉවසයි.
ගෝරා නවකතාවේ ඔහු නිර්මාණය කරන ලලිතා නම් යුවතිය ගැන සිතා බලන්න. මා සිතන විදිහට මේ නවකතාවේ නිරූපිත සංකීර්ණම චරිතය ලලිතා මිස ගෝරා නොවේ. ලලිතා තුළින් නිරූපණය වන්නේ තාගෝර්ගේ මනසේ ඇඳුන කාන්තාවගේ ප්‍රතිරූපයයි.තාගෝර්ට අනුව ස්ත්‍රීත්වය යනු පුරුෂ චින්තනයට යට විය යුතු කිසිවක් නොවේ. මේ නිසා ලලිතා ස්වාධීනව නැගී සිටින විප්ලවකාරියක වෙයි. ඇත්ත. තාගෝර් මේ හරිය කරන්නේ කාලයේ සීමාවන්ට යටත්වය. ඒ සීමාව යථාර්ථවාදය වුවත් තාගෝරයන්ගේ ප්‍රඥා සම්පන්න දැක්මට ඉන්දියාවේ අනාගතය හමුවෙයි.
තාගෝර් ගෝරා ලියා සියවසක් ගෙවී අවසන් ය. ඉන්දියාවේ නිර්මාණ සාහිත්‍ය පටන් ගැනෙන්නේ ශතවර්ෂයකට වඩා පැරණි මෙම නවකතාවෙන් යයි කීම නිවැරදිය. මීට පෙර මතුමහලටම සාපේක්ෂණී ගැනම ලියමින් එය සමාජය තුළ අවතැන් වූ ආත්මීයතාව සෙවීමේ අරගලය පිළිබඳ කතාවකැයි මම කීවෙමි. එම අදහස තාගෝර්ගේ ගෝරාටද වලංගුය. ගෝරා වූ කලී අවුරුදු අනූවකට පෙර අධිපතිවාදී ඉන්දියානු පිරිමි චින්ත්නය තුළ අවතැන් වූ මනුෂ්‍යත්වය ( ආත්මීයතාව) සොයා ගැනීමේ ව්‍යායාමයක් වේ. තාගෝර්ගේ චින්තනය ඔහුගේ කාලය ඉක්මවා ගිය එකකැයි මා කියන්නේ එබැවිනි. අරුන්දතී රෝයිලා දක්වා ගලා බසින්නේ එම තාගෝර් චින්න්තාවෙන් අනුබලය ලැබූ සාහිත්‍ය ප්‍රවාහමය. එනම් තාගෝර් නූතන වාදයේ මුල් බිජුවට එදා ගෝරා ලියමින් ඉන්දවූ බවය. අපේ රටේ මහා නවකතා කාරයන්ගේ චින්තනය තාගෝර්ගෙන් භාගයක්වත් වූවා නම් අද අපේ නිර්මාණ සාහිත්‍ය තුළත් අරුන්දතී රෝයිලා බිහිවන්නට ඉඩ තිබිණි.
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
’’ගෝරා’’සෝනියාගේ පරාජයේ කැඩපතක්
sena Wednesday, 23 October 2024 07:42 PM
මගේ අදහස ඉන්දියනු ජාතිවදයේ තරම වඩාත් ගැලපෙන්නේ සෝනියා මහ මැතිවරණයෙන් පරාජය වීමට නෙවෙයි, එක සැරයක් දිනලාත් අගමැති ධුරය ආචාර්ය මන් මොහන් සිං ට දීමට සිදුවීමේ අවස්ථාව... හින්දු ආගමට කෙනෙක්ට ඇතුළත් වෙන්න බැහැ. නමුත් හින්දු ආගමෙන් ඕනෑම කෙනෙක්ට යන්න පුළුවන් ඒක නිසා හින්දු ආගමිකයින්ගේ සිදුවිය හැකි අඩුවීම ගැන තාගෝර් දුක්වන අවස්ථා බොහෝමයක් මේ පොතේ සඳහන් වෙනවා. වර්තමානයේත් කිසිවෙකුට හින්දු ආගම වැළඳ ගන්න බෑ. මම මේ ගැන යාළුවෙක්ගෙන් අහලා බැලුවා, එයා කිව්වේ හින්දුවරු උපතින්ම කිසියම් කුලයකට අයත් වෙනවා ඉතින් පිටින් යන කෙනෙකුට කිසියම් කුලයකට අයත් වෙන්න බැරිවෙනවා කියන එකයි...