IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


භාෂා රාමුවෙන් පැන අජිත් තිලකසේන කියවමු

ග්‍රන්ථ විචාරය -11

 


සුන්නද්දූලි කියවීමට පෙර - 3


මේ ලිවිල්ල මා පටන් ගන්නේ සුන්නද්දූලි ගැන කියවීමකට බව ඇත්තය. එහෙත් දැන් එය අජිත් තිලකසේන පිළිබඳ කියවීමක් ලෙස වැඩෙමින් තිබේ. මගේ අරමුණ අජිත්ගේ ලියවිලි ඉදිරියේ අසරණ නොවී සිටීමේ මග හෙළි පෙහෙළි කර ගැනීමය. (කෙසේ වෙතත්, මේ වනවිට ඔබට මෙහි අන් තැනක සුන්නද්දූලි කෙටි කතාව කියවීමට අවස්ථාව සැලසී ඇත.) හැබැයි මගේ ප්‍රයත්නය අජිත්ගේ කෙටිකතා තේරුම් කර දීමකැයි වරදවා නොගන්න.
    විචාරකයා පාඨකයාගේ අත් වැලක් විය යුතුය යන ප්‍රවාදය මම නොඅදහමි. විචාරකයා, ලේඛකයාත් පාඨකයාත් යා කරන පාලමක් විය යුතුය යන පුහු ඝෝෂාව මම මායිං නොකරමි. මෙහි ලා මා විචාරය ලෙස හඳුන් වන්නේ වියමන පිළිබඳ  මගේ කියවීම නැත්නම් හැදෑරීමය. හැබැයි ඔය කියන නොතේරුම්කම ජය ගැනීමේ විද්‍යාවක් සපයා ගැනීමට අපට බැරි කමක් නැත. මම දැන් ඒ සඳහා ඔබට අත්වැලක් වෙමි.
   ගයාත්‍රි ස්පිවැක් යනු විසං‍යෝජනය (deconstruction) දේවල් විමර්ශනය කිරීමේ ක්‍රම වේදය කරගත් පශ්චාත් යටත් විජිත වාදී ලේඛිකාවකි. ඇය ෂාක් ඩෙරීඩාගේ Of Grammatology ප්‍රංශ බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. එසේම ඩෙරීඩාගේ යටකී වියමනට ඉතා දීර්ඝ පෙරවදනක් ලියමින් විසං‍යෝජනය හදාරන්නවුනට අත් වැලක් වෙයි. ගයාත්‍රිගේ In Other Worlds Essays in Cultural Politics නම් වියමනට පෙර වදනක් සපයන කොලින් මැක් කැබේ (Collin MacCabe) අජිත්ගේ කෙටිකතා තේරුම් ගැනීම සඳහා අවශ්‍ය  විද්‍යාව අපට සපයයි.ඔහුට අනුව දුෂ්කර බව  යනු දෘෂ්ටි වාදී මතිභ්‍රමයකි (“Difficulty is, as we know, an ideological notion”).ගැහැනු උදෙසා ලියවුණු  දේවල් පිරිමින්ට දුෂ්කරය. වැඩිහිටියන්ට ලියවුණු  දේවල් දරුවන්ට දුෂ්කරය. මැක් කැබේට අනුව ස්පිවැක්ගේ ලියවිලි දුෂ්කර නම් එම දුෂ්කර බව ජය ගැනීමට අප නැගිය යුතු ප්‍රශ්නය වන්නේ එම දුෂ්කරතාව ඇත්තේ වියමනෙහි කවර තැනකද යන්නය. 

   මැක් කැබේ අජිත් තිලකසේන වෙත කැඳවන්නේ නම් අප නැගිය යුතු ප්‍රශ්නය වන්නේ ඔහුගේ කෙටිකතාවල දුෂ්කරතාව ඇත්තේ කවර තැනකද යන්නය. අජිත් තිලකසේනගේ කෙටිකතා කියවීම දුෂ්කර වී ඇත්තේ ඔහුගේ භාෂාව නිසාද? එය එසේ විය නොහැක්කේ ඔහු ලියන්නේ පොදු ජනයාගේ බස වූ කට වහරින් බැවිනි. ඒ මදිවාට ඔහු පිලි සමරූපකරණය කිරීමෙන් භාෂාව ලිවීම තවත් පහසු කර ඇත. සුන්නද්දූලි කෙටිකතා පොත ගත්තත් ඔහුගේ කෙටිකතාවලට ප්‍රස්තූත වන්නේ ජීවිතයේ සරල අනුභූතීන්‍ ය. හැබැයි ඒවා අර තරිඳු ශ්‍රී ලොකු ගමගේ ගෙන් ණයට ගෙන කියනවා නම් “ජීවිතයේ ඔයිල් පැල්ලම්” බව ඇත්තය. ඒ අනුව ගත් විට මේ නොතේරුම්කම වියමනෙහි තිබෙන්නක් නොව අප විසින්ම නිර්මාණය කර ගත් දෙයක් බව ඔබට නොවැටහේද?
    සාහිත්‍ය රසාස්වාදනය වූකලී බොහෝ කාලයක් තිස්සේ පාසල්වල සහ විශ්වවිද්‍යාල තුළ පුරුදු පුහුණු කළ අධිපතිවාදී දෘෂ්ටිවාදයකට යටත් වූ කිසිවකි. කෙටිකතාවක චරිත නිරූපණය, අවස්ථා නිරූපණය,විශ්වාසනීයත්වය ආදී වූ දේ යම් කෙටිකතාවක තිබේදැයි සෙවීමට කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු කළ පාඨකයන්ට අජිත්ගේ ආකෘතිය අපභ්‍රංසයකි. ඊළඟට ජාතික චින්තනය ,ජනතා වාදය සමාජවාදය,ස්ත්‍රී වාදය ආදී වූ නන් වැදෑරුම් මතවාද අච්චුවලට හසු නොවන තරමට අජිත් දුෂ්කර ලේඛකයෙකි. 
    සාහිත්‍ය විචාරයේ මේ අධිපතිවාදී රාමුවෙන් එළියට පැන අජිත්ගේ කෙටිකතා කියවීමේ විද්‍යාවක් අප සපයා ගන්නේ කෙසේද? යම් සාහිත්‍ය නිර්මාණයක් විචාරයට ලක් කිරීමේ මිනුම් දඬු ඒ සාහිත්‍ය කෘතිය තුළම තිබෙන බව කියන්නේ අජිත් තිලකසේනමය. මෑත කාලීනව අජිත් ලියූ බොහෝ කෙකතාවල දක්නට ලැබුණේ එකම විදියේ අනුභූතියකි. එනම් මීට දසක දෙක හමාරකට පමණ පෙර ලාංකීය සමාජය උඩු යටිකුරු කළ භීෂණයයි.එදා රජ කළ තුවක්කු සංස්කෘතිය තුළ අපට අත් විඳින්නට ලැබුණ එකම යථාර්ථය නම් මිනිසුන් ඉවක් බවක් නැතිව මරා දැමුන බවය. මිනිස් ඝාතන නම් වූ මෙම නිරුවත් යථාර්ථයට සමාජ විශ්ලේෂකයන් විසින් දෙනු ලබන අර්ථ කථන විඩින් එය අද වනවිට පුරාණෝක්තියක (myth) තැනට පත් කර ඇත.මේ පුරාණෝක්තික ගොඩ නැංවීම් විනිවිදව යමින් යථාර්ථය සපර්ශ කිරීමේ ව්‍යයාමය අජිත්ගේ එම කෙටිකතා තුළ දුට හැකිය. අජිත්ගේ සාදය නමැති කෙටිකතා සංග්‍රහයේ එන තුන්වැනියා කෙටිකතාවේ එක් තැනක මෙසේ සඳහන් වෙයි. 
 

“යමක් වැටහෙන සේ කතා කිරීම දුෂ්කර හෙයින් මම අද කිව යුත්ත සටහන් කරන්න (ලියන්න) පටන් ගත්තා”

    ඩෙරිඩා ගැන හාංකවිසියක් නොදන්නා කාලයක අජිත් අවිඥානක ලෙස කතාව (speech) සහ ලිවීම(writing) අතර වෙනස (difference) තුළ සිදුවන දෙයක් ගැන නොකියන්නේද? රෝලන්ඩ් බාත් (Roland Barthes) ඔහුගේ Mythologies නමැති වියමනෙහි ලියා තිබූ සටහනක දල පරිවර්තනයක් මම පහත දක්වමි. 

    “සැබවින්ම ප්‍රඥා ගෝචර වූ දේ නම් ලේඛකයාගේ යථාර්ථවාදය දෘෂ්ටිවාදී ගැටලුවක් ලෙස නිර්වචනය කිරීමයි. යථාර්ථවාදය කෙරේ ආකෘතියේ වගකීමක් නොවේ යයි මින් කිසිසේත් අදහස් නොකෙරේ. එහෙත් මේ වගකීම මිනිය හැක්කේ සංඥාර්ථවේදී කොන්දේසි තුළ කිරා මැන බැලීමෙන් පමණකි. ආකෘතිය විනිශ්චය කළ හැක්කේ සංඥාකරණය (signification) ලෙස මිස ප්‍රකාශනය(expression) ලෙස නොවේ. ලේඛකයාගේ භාෂාව යථර්ථය නියෝජනය කරතැයි අපේක්ෂා නොකරයි. ඉන් එය ඇඟවීම (signify) පමණක් කරයි.”


  
රෝලන්ඩ් බාත් Mythologies

ඒ අනුව අජිත් තිලකසේනගේ කෙටිකතා යනු ඇඟවුම්කාරක ගොන්නකි. ඒවාහි ඇති යථාර්ථයක් නැත. යථාර්ථයක් සේ ගන්නැයි බලකරන කිසිවක් ඔහු නොලියයි. එහෙයින් ඔහුගේ කෙටිකතාවලට අර්ථ ව්‍යඛ්‍යාන සපයන්නට යන්නා අමාරුවේ වැටෙයි. අජිත් තම කෙටිකතාවලට වස්තු කර ගන්නේ ඉතිහාසයේ ක්ෂුද්‍ර කැබැලිය. කිසිවකු බෙලෙක්කයකට පයින් ගැසූ බව කීම බිම තිබූ කොල කැබැල්ලක් ඇහිඳ ගත් බව කීම ඉතිහාසකරුවාටත් එම යුගයේ සිදුවීම් වාර්තාකරණ මාධ්‍ය වේදියකුටත් වැදගත් නැත.මිලාන් කුන්දේරා ඔහුගේ Farewell Party නවකතාව අරබයා කියන පරිදි ඉතිහාසකරුවා සමාජයේ ඉතිහාසය මිසෙක මිනිසාගේ ඉතිහාසය නොලියයි. එහෙත් අජිත් තිලකසේන වැනි කෙටිකතාකරුවකු ඉතිහාසකරුවාට නොවැදගත් දේ තම වියමන තුළ වැදගත් දෙයක් බවට හරවන්නේ, ඔහු මහත් කොට සලකන්නේ මිනිසා පමණක් වන බැවිණි. 
   දැඩි ආකෘතිකවාදියකු වන අජිත් තිලකසේන භාෂාව යථාර්ථයක් සේ නොඅදහන බැවින් දෙදෙනකු අතර සිදුවිය හැකි හෝ සිදු විය යුතු කතා බහක් වාර්තා කරයි. එය කිසිසේත්ම සැබවින්ම සිදුවන විදියේ සංවිධාන ගත දෙබස් නොවන්නේය. සාමාන්‍ය ජීවිතයේදී අපේ කතාබහ අතරට වැදෙන වචනවලට අරුත් සපයා දී ඇත්තේ අපමය. එහෙත් එම දෙබස් අපට අවශ්‍ය දේ කියන්නේද? අජිත්ගේ සංවාද අප විශ්වාසයට ගෙන සිටින කල්පිත යථාර්ථයට (mythical reality) වෙනස් ය.එහෙත් අදේශපාලනික ආකෘතිකවාදියකු වූ අජිත් දැඩි ලෙස ආත්මීයතාව (subjectivity) තුළම කේන්ද්‍ර ගතවූ නව යථාර්ථවාදී ශෛලියකින් ලියන්නෙකි.(එය අයත් වන්නේ නූතන වාද්‍යට මිස පශ්චාත් නුතනවාදයට නොවේ.)එහෙයින් භාෂාව විසින් පැහැර ගත් යථාර්ථය එළිදරව් කර ගැනීමේ ව්‍යායාමයක ඔහු නියැළෙයි. ඇත්ත. භාෂාත්මක ගොඩ නැංවීමක් වූ ලෝකයක් තුළ අපට අජිත් හඳුනාගත නොහැකිය. කරුණාකර භාෂාවෙන් පිටතට පැමිණ අජිත් තිලකසේන සොයන්න එවිට ඔබට ඔහු හමුවේවි. 



අදහස් (0)

භාෂා රාමුවෙන් පැන අජිත් තිලකසේන කියවමු

ඔබේ අදහස් එවන්න

ග්‍රන්ථ විචාරය

නූතන කවියේ අර්බුදය කාව්‍යාලංකාර අත්හැරීම ද?
2024 සැප්තැම්බර් මස 03 119 0

නූතන කවියේ අර්බුදය නම් කවිය අලංකාරවත් නොවීම යයි මම කල්පනා කරමි. මින් අදහස් වන්නේ කාව්‍යාලංකාර පිළිබඳ හසරක් කවීන්ට නොමැති බවය.


භාෂා වධකාගාරයක සිට කවි ලිවීම නිරාෂගේ කවි - 4
2024 අගෝස්තු මස 27 124 0

කවි පිළිබඳ මෙම කියවීම නිරාෂගේ කවි සමග මෙතැන් සිට වෙනත් දිශානතියකට හැරෙන ආකාරය දැකීමට මම ඔබට ඇරියුම් කරමි.මෙම කියවීම බොහෝ කලකට පෙර සිදු වූවක් වුවත් එය ම


කවි- නොකවි බයිනරියක නිරාෂගේ කවි - 3
2024 අගෝස්තු මස 20 213 0

ඇත්ත. මේ කතා බහේ ප්‍රස්තූතය රත්න ශ්‍රී නොවෙයි තමයි. එහෙත් දැනටමත් ඔහු මෙයට මැදිහත් වී ඇත. එබැවින් අප ඇසිය යුතු ප්‍රශ්නය නම් ඔහුගේ ගම පිළිබඳ අතීත වේදනාව අ


කවි - නොකවි බයිනරියක නිරාෂගේ කවි 2
2024 අගෝස්තු මස 13 227 0

රත්න ශ්‍රී විජෙසිංහ කවියා මීට බොහෝ කලකට පෙර ඔහුගේ “ලස්සනම අහස” නම් වූ රචනා සමුච්චයක් මා වෙත එවා තිබිණි. එම පොත පිළිබඳ මගේ කියවීම මම ඒ කාලයේම පළ කළමි.


කවි - නොකවි බයිනරියක නිරාෂගේ කවි
2024 අගෝස්තු මස 06 220 0

මීට බොහෝ කලකට පෙර මම නිරාෂ ගුණසේකරගේ කවි ගැන ලිව්වෙමි. ඔහුගේ කවි කියවන විට මා තුළ නැගුණ එකම ප්‍රශ්නය අන් කිසිවක් නොව අප කවි ලියන්නේ මක්නිසාද? යන්නය.


යථාර්ථවාදයේ ත්‍රස්තවාදය
2024 ජුලි මස 30 415 0

ලංකාවේ සෞන්දර්ය කලා විචාර ඉතිහාසයේ පළමු වතාවට සිදුවන දෙයක් දීප්තිගේ ’’සුන්දරත්වයට පසු කලාව’’ වියමන තුළ සිදුවෙයි.ඒ තමයි යථාර්ථවාදය සහ නූතනත්වය ඛණ්ඩ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site