කවි පිළිබඳ මෙම කියවීම නිරාෂගේ කවි සමග මෙතැන් සිට වෙනත් දිශානතියකට හැරෙන ආකාරය දැකීමට මම ඔබට ඇරියුම් කරමි.මෙම කියවීම බොහෝ කලකට පෙර සිදු වූවක් වුවත් එය මෙම මොහොතටත් වලංඟු වන සැටි විමසන්න.
සම්ප්‍රදායික කලා විචාරයේදී (වෙසෙසින් කාව්‍ය විචාරයේදී) විචාරකයන් බෙහෙවින්ම වද වන්නේ කවියාගේ අභිප්‍රාය කවරක් විනිදැයි ගවේෂණය කිරීමටය. ඉන් කතුවරයාගේ පැවැත්ම අධි නිශ්චය වන බව අමුතුවෙන් කිවයුතු නැත. රොලන් බාත් කතුවරයාගේ මරණය සමග (බාත් මින් අඟවන්නේ භෞතික මරණයක් නොවේ.) පාඨකයා නිර්මාණකරුවකු බවට පත්වන සැටි පෙන්වා දීම තුළ විසංයෝජනය කළේ එම හෙජමොනික ස්වරූපයයි.
එහෙත් නිරාෂ ගුණසේකර ගේ කවිවලින් එළියට පනින “අභිප්‍රාය” තමාම චිත්‍ත වධයට පත්වීම බව ඔබට සොයා ගත හැකිනම් ඉන් අර සම්ප්‍රදායික විචාරය තමා විසින් තමාම විසංයෝජනය කර ගැනීමක් බවට පත්වේ. පොදුවේ කවි ලිවීම යනුම තමා කෙරේ වද වේදනා පමුණුවා ගැනීමකි. අප කවි යනුවෙන් කියවන්නේ කවියාගේ වේදනාවය. හරියටම කියන්නේ නම් ඔහුගේ ප්‍රමෝදය (jouisance) ඉන් අපට අල්ලා ගත හැකිය. එය අප වධයක් ලෙස නම් කරන්නේ එහි කෙළවර ඇත්තේ වේදනාව බැවිනි.
කවි ලිවීම තුළ කවියා වධ බන්ධනයට ලක් වන්නෙක් නම් ඔහුට එලෙස වධ දෙවන වධකාගාරය කුමක්ද? සැබවින්ම ඔහු වධයට ලක් කරනු ලබ්න්නේ භාෂාව විසිනි. මෙම කරුණ උදීරණය කරමින් දීප්තී බොහෝ කලකට පෙර පැවැත් වූ දේශනකදී භාෂා අධ්‍යයනය අවසානයේදී ආශා අධ්‍යයනයක් වන අයුරු පැහැදිලි කරයි. කවි ලිවීමට එළැඹීම යනුම භාෂා වධකාගාරය තුළට ප්‍රවේශ වීමකි. ලැකාන්ට අනුව භාෂාව ට්‍රොජන් අශ්වයකු බඳුය. බැලූ බැල්මට එය අපට ලැබෙන ත්‍යාගයකි. එහෙත් එය මනුෂ්‍ය වර්ගයාට ලැබෙන බියකරු තෑග්ගකි. එය නොමිලේම ලැබෙන්නක් බව ඇත්තය. එහෙත් එය පිළිගත් වහාම අප යටත් කරගනී. එහි අභ්‍යන්තරයේ සතුරෝ සැඟවී සිටිති. (කියවන්න ස්ලාවෝ ජිජැක්ගේ How to read Lacan) භාෂාව මගින් පණිවිඩයක් ගෙන නොයයි. ඉන් සිදුවන්නේ සන්නිවේදනය සිදු කරගන්නා ආත්ම අතර සංකේතික ගිවිසුමක් පැවතීම පමණය.
අප නිරාෂ ගුණසේකරගේ කවි කියවීම පිණිස එළැඹෙන විචාර සන්දර්භය එබඳුය. කලා කෘතිය හා සහෘදයා අතර ගනුදෙනුව ආත්මය (subject) සහ වස්තුව (object)අතර සබඳතාවක් ලෙස ගතහොත් නිරාෂගේ කවි පෙරළා අප දැකීම නැතහොත් බද්ධ දෘෂ්ටිය (gaze) අප ග්‍රහණය කර ගන්නේ ඔහු කවියකු ලෙස භාෂා මර උගුලක (dead lock) හසුවන සැටි විමසීමෙනි.
ඔහු තමාගේ එක් කවියක නම් කර තිබුණේ “කාලයේ ගුඩු ගුඩු - ආලයේ වේදලු” යනුවෙනි. එම කවිය ඔහුගේ අතීතයට අයිති ඔහුට ප්‍රහේළිකාවක් වී ඇති ස්ත්‍රියක ප්‍රස්තූත කොට ගනී. ඇය ඔහුගේ භාෂාත්මක අඩවිය තුළට ඇතුළුවන සම්මත රුවැත්තියක නොවේ. කවියා ඇය විස්තර කරන්නේ මෙසේය.
ඉස්සරහ පොල් දත් දෙක
මදක් ඉස්සරහට ආව
ඒ දෙක අතර පොල් හිඩසින්
අමුතු හැඩයක් ලැබුව
බැලූ බැල්මට පෙනෙන
අරුත් ගැන් වූ ජ්‍යාමිතික ලස්සන
සේයාවක්වත් නොවන
එක්තරා සුන්දර කෙල්ලක්
නිරාෂ මේ සැරසෙන්නේ අර පරණ ප්‍රශ්නයම, ස්ත්‍රිය යනු කවරෙක්ද? යන්න වර නැගීමටය. ඔහු ඇගේ ආශාව කුමක්දැයි ප්‍රශ්න කරයි.
ඊයේ පෙරේදා ඉඳන් නොව
මතක ඇති කාලෙක ඉඳන්
මගේ හිත් ඇතුළේ
ඈට හිමි රහස් අඩවියෙන්
වරින් වර එබී බලනවා
යනුවෙන් ලියන විට ඇය තුළ තමාවත් නොදන්නා රහසක් වේ යයි ඔහු අනුමාන කරයි. ඔහු ප්‍රයත්න දරන්නේ ඇගේ ආශාව නම් කිරීමටය. අතීතයට අයත් ඇය ගැන සිතීම ඔහුට වේදනාවකි. කවිය විනිවිද යමින් පෙරළා අප දෙස බල්න්නේ කවියා විඳින ඒ වේදනාවය.එවිට ඔහුට මග හැරෙන්නේ කුමක්ද? ආශාව (desire) යනු හැමවිටම අනෙකාගේ ආශාව වන බවය.
මිනිසාගේ ආශාව ගොඩ නගන්නේ විකේන්ද්‍රීය වූ මහා අනෙකා (Big Other) නැතහොත් සංකේතීය පැවැත්ම මගින් බව මනෝ විශ්ලේෂණය අපට කියා දෙයි. මා ආශා කළ යුතු දේ මහා අනෙකා නැතහොත් මා දිවි ගෙවන සංකේතික අවකාශය විසින් දැනටම තීරණය කර හමාරය.
මේ කවිය තුළ ප්‍රකාශමාන වන්නේ රහස් ආලයකි. කවියා වේදනාවට පත් වන්නේ එම රහස් ආලය යථාර්ථයක් බවට පත් කර ගැනීමට ඇති බාධාව නිසාය.ඔහු භාෂාව තුළට පිවිසෙන්නේ එම බාධාව ෆැන්ටසිමය විශ්වයක් තුළ සාක්ෂාත් කර ගැනීමේ අටියෙනි.
ඉහත සඳහන් මහා අනෙකා පිළිබඳ කතිකාව යළි සලකුණු කළහොත් ආශාව ව්‍යතික්‍රමණකාරී (transgression) වන විට, සමාජ පිළිගැනීම් (social norms) පවා උල්ලංඝනය කරන විට එය පවතින්නේ එය විසින් ව්‍යතික්‍රමණය කරන දෙය මතය. අදටත් අපගේ සමාජය භ්‍රමණය වන්නේ දස පනත (බයිබලයේ පරණ තෙස්තමේන්තුව මිනිසා මත පටවන නීතිය) මගින් බව ජිජැක් පවසයි. එහෙත් අද කාලයේ සිවිල් සමාජය තොරොම්බල් කරන සියලු මානව හිමිකම් කරන්නේ දස පනත කැඩීමය. මානව හිමිකම් යනු පරදාරයේ යෙදීමට, සතුට හඹා යාමට, බොරු කීමට (මාධ්‍ය නිදහස) අයිතිය ඉල්ලා සිටීමකි. නිරාෂගේ යටකී කවිය එබඳු ව්‍යතික්‍රමණකාරී ප්‍රවේශයක් සහිත ෆැන්ටසිමය ආස්ථානයකි. ඇය සම්මතයේ රූමතියක නොවෙතැයි කවියා තොරොම්බල කරන්නේ එබැවිනි.
නොසෙල්ලී මා දෑස අඬවන
ඒ දෑස ගැටෙන කල
මහා පිපිරුම විලස
තබා ගෙන ගිනි කබල හිස මත
පෙන්වමින් දිය උලක සිසිල
මා තනිව නිවෙමින් දැවෙනවා
මෙම කවිය තුළ කවියා විශද කරන්නේ ස්ත්‍රිය පිළිබඳ කුතුහලයයි. ඇය ප්‍රහේලිකාවක් කර ගැනීමයි. මේ නිසා ඔහු ඇගේ ආශාව පිළිබඳ පුද්ගලික වූ ෆැන්ටසි ප්‍රබන්ධයක් ගොඩ නගයි. එහෙත් ස්ත්‍රියගේ (තම බිරිඳගේ?) ආශාව කුමක්දැයි ඔහු නොදනී.තමා ලියන කවි වල කේන්ද්‍රය වන්නේ තම බිරිඳයයි කල්පනා කරන ඔහු මේ කවි තවමත් ඇයට පෙන්වා නැත.ඇගේ ආශාව කුමක්දැයි ඔහු තබා ඇයවත් නොදන්නා බව ඔහු නොදනී. එහෙත් ඒ බව ඔහු අතින් නොදැනීම ලියවෙයි. එය දන්නා බව නොදැනීමකි. (unknown known) ෆ්‍රොයිඩ් අවිඥානය ලෙස හඳුන්වන ලද්දේ එයයි.
“ඈ වත් නොදන්නේ හැමදාම ඈ කේන්ද්‍රයේ නොවෙනස්ව උන් බව පමණි”
නිරාෂ පෙරවදනක ලියා තිබූ යටකී වැකිය අපට ඉහත සූත්‍රය අනුව අපට මෙසේ නැවත ලිවිය හැකිය.
“ඇගේ ආශාව කුමක්දැයි මම නොදනිමි”
නිරාශ ලියන මේ කවි පුරා දිවෙන එක් හුයක් වන්නේ මේ නොදන්නා බවය. එහෙත් එය ලැකානියානු අර්ථයකින් දන්නා බව නොදැනීමය.
අපට මෙහිදී බැහැර කළ නොහැකි කරුණක් වන්නේ කවියා විප්‍රවාසියකුද වන බවය. එම විප්‍රවාසයේ සෙවණැල්ල මෙම කවි පොත හරහා වැටී ඇත. එය නිර්මාණය කරන්නේ මෙලන්කොලික ආත්මයකි. නිරාෂ ලියන සමහර කවියකින් විශද වන්නේ මෙම ආත්මයාගේ වේදනාවය. අප කවි ලිවීම යනු භාෂා වධකාගාරයකට පිවිසීමකැයි යනුවෙන් ගන්නා එක් අර්ථයක් එයයි.
මතු සම්බන්ධයි
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
භාෂා වධකාගාරයක සිට කවි ලිවීම නිරාෂගේ කවි - 4