IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


වරාමල් පහර කෑවෙි දෙඤ්ඤම් බැටේ විචාරයකින් නොවෙි

ග්‍රන්ථ විචාරය


    දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ. එහෙත් කිසිවකුට බැට දීමේ වුවමනාවක් මා තුළ තිබුණේ නැත. ඇත්තටම නම් මා කළේ කිසියම් පොතක් කියවා ඒ පිළිබඳව මට හිතෙන දේ නොවලහා පැවසීමය.එකල මා කරමින් සිටි රැකියාවට යා දෙන ලෙස පිටත  සමාජයෙන් වහං වී සිටි මට කිසිවකු කෙරේ කිසිදු බැඳීමක් (commitment) නොවිණි.එබැවින් අත දිග හැර ලිවීම වළක්වන සදාචාර තහංචියක්ද මට තිබුණේ නැත. අද නම් මට ඒ තරම් කෙළින් ලිවීමට හිත හදා ගත නොහැකිය.

   ශාන්ති දිසානායක ගේ “වරාමල්” නවකතාව පිළිබඳ ලිවීම සිදුවන්නේ යටකී විචාර තීරුව ලියන්නට ගත් මුල් කාලයේදීමය.එම විචාරය කියවා කිපුන සමහර ලේඛක මහත්වරු අර ආධුනික තරුණ ලේඛිකාව රැක ගැනීම සඳහා පෙරමුණ ගත්හ.එම ලේඛිකාවද නොයෙක් වර කියා තිබුණේ මගේ විචාරය නිසා තමාට ලිවීම පවා එපා වුණ බවය. මා යළීත් එළියට ඇද ගන්නේ ආධුනික ලේඛිකාවකට ලිවීම අතහැර දැමීමේ තැනට සිත් රිදවූයේ යයි කියන එම ග්‍රන්ථ විචාරයයි. අද මා වරාමල් නවකතාව ගැන විචාරයක් ලිව්ව්වොත් එය  මෙබඳු හැඩයක් නොගනු ඇත.ඔබ මෙතැන් සිට කියවන්නේ දශක තුනකට පෙර වරාමල් ගැන මා ලියූ විචාරයේ ප්‍රති නිෂ්පාදනයයි. පුවත්පතේ විශේෂාංග කතුවරයා එයට යොදා තිබූ මැය වූයේ “මේ නවකතාවට විජයවර්ධන සම්මානය දුන්නේ කවුද?” යනුවෙනි.

   යම් සාහිත්‍ය නිර්මාණයක් නිර්දය ලෙස විවේචනය කිරීම එම කෘතිය ලියූ ලේඛකයාට කරන අවමානයක්ද? මා එසේ අසන්නේ මේ තීරුවට මා ලියන සාහිත්‍ය විචාරය ලේඛකයන්ට අවමන් කිරීමක් ලෙසට වූ පටු විවේචනයද සමහර තැන් වලින් මතුවී ඇති බව සැලකිල්ලට ගනිමිනි. එහෙත් යම් කෘතියක නරක කීම, නරක කෘතියක නැති හොඳ දැකීම තරම් අවමානයක් නොවේ යයි මම කියමි. ඇත්තටම නැති හොඳ කීම (පිට කැසීම) නම් නිර්මාණය සහ ලේඛකයා පමණක් නොව විචාර කලාවත් බාල්දු කිරීමකි.

   යට කී දේවල් වරාමල් නවකතාවට සම්බධ වන සැටි ඔබ අසයි.වරාමල් නවකතාවට ඩී.ආර්.විජයවර්ධන සම්මානය ලැබී තිබේ. විජේවර්ධන සම්මාන සමීක්ෂකයන් ශාන්ති දිසානායක නම් ආධුනික ලේඛිකාවත් අර සාහිත්‍ය සම්මානයත් යන දෙකම අවමානයට පත් කර ඇතැයි මම සිතමි. වරාමල් ආධුනික නවකතාකාරියකගේ මතු වී එන නිර්මාණ හැකියාවන් සහිත නවකතාවක් සේ දැකීම වෙනම කාරණයකි. එහෙත් එය වැදගත් සාහිත්‍ය සම්මානයක් දිය යුතු මට්ටමේ නිර්මාණයක්ද? මේ නවකතාව කියවන විට එහි පිටුවක් පිටුවක් පාසා විනිශ්චයට ලක් වන්නේ 1998 වර්ෂයට ඩී.ආර්. විජයවර්ධන සම්මානය දීම සඳහා කෘතී තේරූ සමීකෂක භවතුන්ගේ විචාර බුද්ධියයි. කොටින්ම ඔවුන්ගේ රසඥතාවයි. 

   මම මෙසේ කියමි. වරාමල් සිංහල නවකතාව කරුණාසේන ජයලත් දක්වා ආපසු ඇදගෙන යන නොගැඹුරු බොළඳ නවකතාවකි. නූතන සාහිත්‍ය ගැන තිබෙන ප්‍රවාද පැත්තක තිබුණාවේ. ඒ කාලේ ජයලත් පට්ට ගැසූ කතා වට්ටෝරුවම වරාමල් නවකතාව තුළ ගෙඩිපිටින් ම රුවා ඇත. වරාමල්හී විමලාවතී ජයලත්ගේ ගැහැනු ළමයි නවකතාවේ කුසුම්ගේ අම්මාය. කල්‍යාණි සහ නිලන්ති ගැහැනු ළමයි නවකතාවේ කුසුම්ගේ  ම චරිතයේ දෙබිඩි විකෘතියකි.වරාමල්වල වත්සලා පිළිබඳ තව දැන ගැනීමට අවැසි නම් ගැහැනු ළමයි නවකතාවේ පද්මිනී සමග එකට තබා කියැවීම මැනවි. වරාමල්වල අසේලයියා සහ ගැහැනු ළමයි ලොකයියා දෙන්නෙක් නොව එක්කෙනෙකි. ශිෂ්‍යත්වය සහ නේවාසිකාගාරය, ගෙදර කෑම සහ නේවාසිකාගාරයේ කෑම භාවාතිශය වූ ප්‍රේම යාදිනි, මේවා කරුණාසේන ජයලත් ඇති පදම් ලියා ඇති දේවල් නිසා ශාන්ති දිසානායකට තවත් ලියන්නට දෙයක් ඉතිරි වී නැත. ඒ මදිවාට පසුකාලීනව කරුණාරත්න සපුතන්ත්‍රි වැනි ලේඛකයන් දරිද්‍රතාව බොළඳ විගඩමක් කිරීම වරාමල් කතුවරියට ආශ්වාදයක් වී ඇතුවා සේය. 

   මෙසේ ලිවීම තරමක් කර්කශ බව මම පිළි ගනිමි. එහෙත් මා මෙතරම් රළුපරළු වන්නේ ශාන්ති දිසානායක නම් ආධුනික ලේඛිකාවට නොවේ. ඇගේ ලේඛන ජීවිතය කාබාසිනියා කිරීමේ උගුලක් වී ඇති ඩී.ආර්. විජයවර්ධන සම්මානය තීන්දු කළ සමීක්ෂකයන්ටය. කල්පනාවට ගෙන බලන්න. දැන් මේ නවකතාව ප්‍රකාශයට පත් වී තිබෙන්නේ ඩී.ආර්.විජයවර්ධන සම්මානය හිමිවූ නවකතාව යන ලේබලයත් ගසාගෙනය. එවිට එක පැත්තකින් පාඨකයා මෙම නවකතාව හොඳ නවකතාවක ප්‍රමිතිය ලෙස වරදවා ගනිමින් තමන්ගේ රසඥතාව මොට කරගනී. අනෙක් අතට නවකතාකාරිය ආල මුළාවට පත් වී නම් තමන්ගේ ලේඛක දිවිය නීරස කර ගන්නවා නියතය. 

    සිංහල නවකතාව නොව සිංහලෙන් කියවන පාඨක ප්‍රජාවගේ රසඥතාව මොට කිරීම ආරම්භ වන්නේ කරුණාසේන ජයලත්ගෙනි. ජයලත්ගෙන් පසු වසංගතයක් වූ බොළඳ ප්‍රේම කතා රැල්ල තුළ ජනතාවාදයත් හොඳ හැටි සුරතල් විය. මේ බොළඳ නවකතා, කියැවීමේ රුචිය ඉහළ  දැමුවේ යයි සමහරු කියති. නූතන පුරවහරින් වචනයක් ණයට ගෙන කියනවා නම් මේවා තනිකරම “බයිලා” ය. ජයලත්ගේ පන්නයේ නවකතා කියවන්නන් අන්තිමට නතර වූයේ චිත්‍ර කතා පත්තර අබියස නොවේද? ඒ කාලයේ ජයලත්ගේ “ගැහැනු ළමයි” නවකතාවටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණේය. දැන් එහි අනුකරණයක් වූ වරාමල් නවකතාවට ඩී. ආර්. විජයවර්ධන සම්මානය ලැබී ඇත. එන වසරේ මෙම කෘතියට රාජ්‍ය සම්මානය හිමි වුණත් අප පුදුම විය යුතු නැත. මන්ද, සිංහල නවකතාවේ වර්තමාන ඛේදවාචකය එය වී තිබෙන බැවිනි.

   වරාමල්වලට සම්මාන දීමෙන් නවකතා කලාව පිළිබඳ පටු ආකල්ප තහවුරු කෙරෙයි. පසු පිට හරවා කියවා බලන්න. මෙම නවකතාව පාරට්ටු කරමින් සුමිත්‍රා රාහු බද්ධ මෙසේ කියන්නීය. “ශාන්ති දිසානායක ගමේ මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ දිවි පෙවෙතෙහි දුක් දොම්නස් මහත්වූ උපේක්ෂාවෙන් ඉදිරිපත් කරයි” සුමිත්‍රා රාහුබද්ධ මේ කියන්නේ නවකතාව ජීවිතය වාර්තා කිරීම පිණිස කැපවිය යුතු බවය. ඉතින් වාර්තාවක කුමන නිර්මාණශීලී බවක් වේදැයි මම ප්‍රශ්න කරමි. වරාමල් කතුවරිය යථාර්ථය සේ වරදවා ගනිමින් ජීවිතය මතු පිටින් අතගානා බවනම් ඇත්තය. මේ නිසා දුර බැහැර ගමක තෝරා ගත් පවුලක් කන බොන හැටි ඇය වාර්තා කරන්නීය. ගැහැනු ළමයින් ප්‍රේම කරන, නොකරන හැටි, කන්‍යාභාවය රැක ගන්නා හැටි, එසේම එය අහිමි කර ගන්නා හැටි ද එම වාර්තාවල අඩංගුය. එහෙත් මෙම විස්තර කිරීම් බොළඳය. නොගැඹුරුය. මනුෂ්‍යත්වය විනිවිද නොදැක වාර්තා කරන මේ විස්තර ජීවිතය මතු පිට අත ගෑමක් පමණකි. 

  වරාමල් නවකතාව යම් මට්ටමක කලාත්මක නවකතාවක් ලෙස නිර්මාණය කිරීමේ ඉඩ කඩක් නොතිබුණා නොවේ. මෙහි මහතුන්ගේ ජීවිතය වෙනම කතාවක් ලෙස විකාශනය වේ. නිලන්ති,විමලාවතී සහ කල්‍යාණි බැහැර කර මේ කතාව මහතුන්ගේ කතාව පමණක් වූවා නම් යථාර්ථවාදී සීමාවන් තුළ කලාත්මක යයි කිවහැකි නවකතාවකට අමුද්‍රව්‍ය ඇත. එහෙත් ස්වර්ණලතා නමැති ගැහැනියගේ චරිතය තුළ සැඟවුන සංකීර්ණතා මතු කර ගනිමින් නවකතාව යම් කලාත්මක පරිපූර්ණ බවක් වෙත ඔසොවා තැබීමට තිබූ අවස්ථාවක් කතුවරිය අහිමි කර ගන්නීය. ( මේ කියන්නේ යථාර්ථවාදී සීමාව තුළ කතා වස්තු පසුපස ලුහුබඳින ගතානුගතික නවකතාවක ඉහළ මට්ටමටවත් මේ නවකතාව නැති බවය.) කිසිදු අන්තර් සබඳතාවයක් නොමැතිව මහතුන් සහ නිලන්තිගේ පුවත් එකිනෙකට ස්වාධීන කතා දෙකක් ලෙස විකාශනය වීම එක පොතක නවකතා දෙකක් ලිවීමක් වී ඇත. 

  ස්ත්‍රිය පිළිබඳ ජයලත් පන්නයේ නවකතා කරුවන් මැවූ අරුමැසි සිහිනය තුළ වරාමල් අතරමං වෙයි. දැරියක්ගේ මල්වර ලේ බිඳු සහ කන්‍යාභාවය පිළිබඳ ගතානුගතික බොළඳ සිතිවිලිවලින් ඔබ්බට පය ගැසීමට තරම් නවකතා කාරිය පරිණත නොවේ. මනුෂ්‍යත්වය විනිවිද නොදැක ස්ත්‍රීත්වය දැකිය හැකිද? එය ගස් නොදැක කැලය දැකීමක් වැනිය. වස්ංගතයක් වී ඇති විච්චූර්ණ පත්තර කඩමාලුවල කොටස් වශයෙන් එළියට එන ව්‍යාජ ගැහැනු චරිතම වරාමල් නවකතාව තුළද මතු වෙයි. මකියන මෙබස අපහැදිලි නම් ස්ත්‍රීත්වය දෙස ස්ත්‍රී දෘෂ්ටි කෝණයකින් බලන සැටි ඉගෙන ගැනීමට සුනේත්‍රා රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය කියවනු මැනවි.

    එහෙත් මම මෙසේද ලියමි. මෙතෙක් මෙපමණ හරියක් මා ලියුවේ ශාන්ති දිසානායක නම් නවක නවකතාකාරිය මැඩලීමට නොවේ. ඇය තමාගේ ලේඛන හැකියා තීව්‍ර කර ගනිමින් පෙරට ආ යුතු බව ඇත්තය. එහෙත් ව්‍යාජ සම්මාන උගුලෙන් මිදී මනුෂ්‍යත්වය විනිවිද දකින ප්‍රඥාව ඇය ළඟා කර ගත යුතුය. ඒ සඳහා ජීවිතයේ මතුපිට නොව ඊට ඔබ්බෙන් තිබෙන ගැඹුර මැන බැලුව මැනවි. එය “ගමේ මිනිසුන් සහ ගැහැනුන්ගේ දිවි පෙවෙත” යයි සුමිත්‍රා රාහුබද්ධ වරදවා දකින යථාර්ථයක් නොවන බව වටහා ගත යුතුව ඇති බව මම කියමි.



අදහස් (0)

වරාමල් පහර කෑවෙි දෙඤ්ඤම් බැටේ විචාරයකින් නොවෙි

ඔබේ අදහස් එවන්න

 

 
 

ග්‍රන්ථ විචාරය

නිර්මාණ සාහිත්‍යයට විලංගුලන ස්ත්‍රීවාදය
2025 මාර්තු මස 25 53 0

රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව


සුනේත්‍රාගේ ප්‍රේමපුරාණය නිදහස් කාමිනියකගේ ආත්ම ප්‍රකාශනයක් ද?
2025 මාර්තු මස 18 106 0

මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම


ක්‍රිෂාන්තිගේ ’’ලැකානියානු ඇස’’ මනෝවිකාරයක්
2025 මාර්තු මස 11 299 0

පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්


සිරිල් බීගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ අමරණීය නවකතාවක්
2025 මාර්තු මස 04 143 0

සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ


ගෝර්කි විනාශ කළෝ ලාංකේය ජනතාවාදියෝ
2025 පෙබරවාරි මස 18 342 0

ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු


'යාය තුන' සරල - සංකීර්ණ නවකතාවක්
2025 පෙබරවාරි මස 04 163 0

චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 258 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 816 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 794 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site