සිරිල් බී පෙරෙරාගේ "මරණ තුනක් ඇති මිනිහෙක්" නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙවැනි වරට පළවූයේ ඊට අවුරුදු තිස් හත් වසරකට පසුවය. ඒ දෙවැනි වරට පළවු විට යළි එය කියවීමට අවස්ථාව ලද මම එය කියවා තිගැස්සුණෙමි. මා තිගස්සුණේ අන් කිසිවක් නිසා නොව මෙපමණ කාලයක් ගෙවී තිබියදීත් සිංහල නවකතාව කෙතරම් පසුගාමීද ගියා කල්පනාවීමෙනි. අවුරුදු හැට ගාණනකට පසුවත් එය අලුත් විදියකට පෙනෙන්නේ ඇයි? සම්ප්‍රදායික විචාරකයන් භාවිත කරන සර්වකාලීන වැනි හණමිටි වචනයක් යොදා මෙම නවකතාව බාල්දු කිරීමට මම අකමැත්තෙමි. අදත් බටහිර නූතන නවකතාකරුවෝ සංස්කෘතික පට පිළියෙන් වැසී තිබෙන මනුස්සකමේ නිරුවත විනිවිද දැකීමට වෑයම් කරති.
භාෂාව,ආගම, පක්ෂ දේශපාලනය වැනි අධිපති මතවලින් යටපත් කර තිබෙන මිනිස් නිදහස සෞන්දර්ය ලෝකය තුළ යළි ස්ථාපිත කරන වෑයමක් මේ නූතන නවකතාවල දක්නට පිළිවන. සිරිල් බී පෙරේරා දශක හයාහමාරකට පෙර ලියූ මරණ තුනක් ඇති මිනිහෙක් නවකතාවේ අසම්මතකම තිබෙන්නේ සම්මත ව්‍යාකරණයට පයින් ඇන කට බසෙහි ව්‍යාකරණය ගැනීම තුළ පමණක් නොවේ. ඔහු සම්මත මනුස්සකම ප්‍රශ්න කරන අසම්මත විලාශයම අප කම්පනය කරන සුළුය මරණ තුනක් නවකතාව යළි පළවෙන්නේ සිරිල් බී පෙරේරා මියගොස් සත් වසරකට පසුවය. මේ නවකතාවේ නව මුද්‍රණයට හැඳින්වීමක් ලියන පියසිරි නාගහවත්ත එදා මේ නවකතාවට අත් වූ ඉරණම පිළිබඳව කම්පා වන්නේ මෙසේය." එදා ආයතන බවට පත්ව සිටි කිසිම විචාරකයකුට මේ පොත ඇස ගැසුණේ නෑ. ඒ නොසලකා හැරීම නව අතුරිකිලි නමින් නැගෙමින් තිබූ සිංහල සාහිත්‍යයටම කළ ද්‍රෝහිකමක් නොවිය හැකිද? පියසිරි නාගාවත්තගේ ප්‍රශ්න කිරීම අදටත් වලංගුය. අදත් සිංහල සාහිත්‍යමත් එහි රජ කරන්නේ එම ආධිපතිවාදී අනුකාරක විචාරක ආයතන ම නොවන්නේද? අන්න ඒ නිසාම මරණ තුනක් ඇති මිනිහෙක් පිළිබඳව මරණයෙන් පසුව හෝ මෙවන් ඇගැයීමක් කිරීම පරණ පොතක් පිළිබඳ විචාරයක් ලෙස පටු කිරීම නොමැනවි. අනෙක් අතට ඔය නූතන නවකතාවේ ඉදිරි ගමන පිළිබඳ නැවත පැහැදිලි කිරීමක් ලෙසද මම දකිමි.
සම්මත විචාරකයන්ගේ මිනුම් දඬුවලට මේ නවකතාවේ රුව ගුණ හසු නොවීම තේරුම් ගත හැකිය. සම්ප්‍රදායික කොන්දේසිවලට ගැළපෙන පිරිපුන් චරිත නොවීම ගැන ඔවුන් මුසුප්පුව වීමට පිළිවන. එසේත් නැත්නම් සමාජ මෙහෙවර සමාජ දැක්ම වැනි හරසුන් බොල් මතවාද කෝදුවලට මෙහි දිග පළල හසු නොවුණාවිය යුතුය. විශ්වවිද්‍යාල තුළ ගිරා පෝතකයන් මෙන් වන පොත් කළ( කටපාඩම් කළ යනු වඩාත් නිවැරදියි) විචාර මිනුම් දඬු හැරුණු විට නවකතාව තුළින් මතුවී යන විචාරය ඔවුන් හඳුනා ගන්නේ නැත. මරණ තුනක් ඇති මිනිහෙක් පටන් ගන්නේ මිනිසකු එල්ලා මරා වළලන තැනින්. පිටර් නම් වූ මේ මිනිසාගේ සියලු හැඟීම් ආගම විසින් උරාබී තිබිණ. ආගමේ ඉගැන්නුම් බහට අවනතව තමන්ගේ සියලු ආශාවන් පයින් පාගාගෙන සිටි මේ මිනිසාගේ ඛේදවාචකය අධිපතිවාදී මතවලින් යට යන මිනිස් නිදහසේ ඛේදවාචකය නොවේද? ආගම සහ සංස්කෘතිය සමාජය මත පනවන තහංචි මායිම් නොකිරීමෙන් පරාරෝපණය වන මිනිසාගේ නිදහස පිළිබඳ බලාපොරොත්තුව අන්තිමට පීටර්ගේ මිනී වළ තුළ ව වැළලී යා යුතුද? යන ප්‍රශ්නය පමණක් අපට ඉතුරු වෙයි. යථාර්ථවාදී සිංහල නවකතාව ආරම්භ වන්නේ විරාගයෙනි. එහෙත් විරාගයේ අරවින්ද පරාරෝපිත චරිතයක් නොවන්නේද?
බෞද්ධ සන්දර්භයක් තුළ සමාජයට අනුගත නොවූ මිනිසකුගේ කතාවකි. විරාගයේ අරවින්ද වඩාත්ම සමාන වන්නේ ඇල්බයා කැමූගේ පිටස්තරයාහි මර්සෝටද නැත්නම් මරණ තුනක්හි පීටර්ටද කියා මේ පොත කියවූ සැණින් මම කල්පනා කළෙමි. මර්සෝ මුල සිටම තමන්ගේ ආශා සඟවාගෙන සිටි අයකු නොවේ. ඔහු සමාජය මායිම් නොකර ජීවිතය තමන්ට අවශ්‍ය අයුරින් වින්දනය කළේය. එහෙත් අරවින්ද සමාජයට එකඟ නොවූවාසේම සමාජයට බිය විය. අරවින්දට මියෑදෙන්නට වූයේ කුහකයෙකු ලෙසය.එහෙත් පීටර් මේ චරිත දෙකටම වෙනස් වෙයි. ජීවිතයේ එක් කාල පරිච්ඡේදයක්ම ආගම නමැති සිරගය තුළ පීඩා විඳි. ඊළඟට පීටර් මේ සිරගය කඩා බිඳගෙන එළියට විත් ජීවිතය විඳින්නට පටන් ගනී. ආගම විසින් තහංචි පනවා තිබූ ජීවිතයේ සෞන්දර්ය දිසානතීන් ඔහු ගවේෂණය කරයි. අන්තිමට ඔහු ලැගුම් ගන්නේ සංස්කෘතියට අත පෙවීමට බැරි නිර්ව්‍යාජ ලිංගික පැවතුම් දරාගත් නිරුවත් ජීවිතයක් තුළය. පීටර් නම් මිනිසා ඇලිස් නමැති ගැහැනිය සමග ගත කළ ඒ නිර්වාජ ජීවිතය අහිමි වේ යැයි ඔහු තුළ දැවෙන බිය සංස්කෘතික වනාන්තරයක අතරමං වූ පොදු මිනිසාගේ බියම නොවේද? වරක් මම ඉසාක් බෂෙවිස් සිංගර්ගේ නවකතාවක් ගැන කතා කළෙමි. සිංගර්ගේ එම පොත තුළ එන ලිංගිකත්වය පිළිබඳ සමහර විස්තර කිරීම් ජාතක පොත සමග එකට තබා කියවන ලෙසද මම යෝජනා කළෙමි. එම යෝජනාව සිරිල්. බීගේ මරණ තුනක් ඇති මිනිහෙක් පොතටත් වලංගුය. සංස්කෘතිය විසින් පිළුණු නොකරන ලද සමාජයක පවතින නිර්ව්‍යාජ පැවතුම් මේ පොතින් පළවෙයි. එහෙත් මේ චර්යාවන් තනි පුද්ගලයකුගේ ජීවිතය නිරූපණය කිරීම පිණිස සිරිල් බී වියදම් කර ගනී. තව ටිකක් ඉදිරියට ගොස් සාමූහික අවිඥානය තුළ ඒකරාශී වී තිබෙන කුණුකන්දල් අවුස්සන මහා ව්‍යායාමයක් බවට නවකතාව පත් නොවන්නේ සිරිල් බී පෙරේරා තමන්ගේ යුගයේ මෙහෙවරට අවනත වීමෙන් විය හැකිය. පුද්ගලත්වය තුළම ද්‍රවීකරණය වීමෙන් තම නිර්මාණකරණය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේම අධ්‍යාත්මය විමසීමේ ක්‍රමවේදයක් බවට හරවා ගැනීමට සිරිල් බී පෙරේරා අපොහොසත් වුණත් ඔහු අනාගතයට පාරක් පාදා දීම වැදගත්ය. තකතීරු සම්මත විචාරකයන්ගේ අත්තලක් නොමැතිව මේ පාර දිගේ නූතන සිංහල නවකතාවේ අනන්‍යතාව ගවේෂණය කරන පසුකාලීන එකම නිර්මාණකරුවන් දෙදෙනා වූයේ අජිත් තිලකසේන සහ සයිමන් නවගත්තේගමයි. මරණ තුනක් ඇති මිනිහෙක් නවකතාව එදත් අදත් වැඩියෙන්ම කැපී පෙනෙන්නේ එහි නිදහස් ආඛ්‍යාන රීතිය තුළය. සම්මත ව්‍යාකරණ තුළ මිරිකී තිබුණු මනෝභාවයන් කට බස් ව්‍යාකරණය තුළ මෝචනය වීමකි. එදා මේ නවකතාව ගැන daily news පත්තරයට එකම විචාරය ලියූ පද්මල් ද සිල්වා පවසා තිබුණේ එය ඒ කාලයේ තිබුණු නූතනයයි කිව හැකි එකම කෘතිය බවය. මරණ තුනක් නූතන වන්නේ සිරිල් බී භාෂාවට එරෙහිව ගසන කැරැල්ල නිසාවෙනි.
කටවහරේ වියරණය පමණක් නොව කටවහරේ ජීවයක් ඔහු නවකතාව තුළට උරා ගනී. මනුෂ්‍ය ආත්මය තුළ සහ මිනිස් සන්තාන ගර්භය තුළ හැකිලී ගොනුවී පවතින අද්භූත ස්වරූපය මේ නවකතාව තුළ මතුවන්නේ එකී භාෂා හරඹයෙනි. කටවහරේ ජීවමය බව නිසා භාව සංඥා සහ වචන අතර පරස්පරතාව තුනීවෙයි. සිරිල් බී පෙරේරා එලෙස එතෙක් පැවති යථාර්ථවාදී නවකතාවේ සීමාවන් මූලික වශයෙන් භාෂාව තුළ සමතික්‍රමණය කරයි. ඊළඟට චරිත නිරූපණය හේතුඵල සම්බන්ධය සහ සිද්ධීන් අතර සහ සම්බන්ධය වැනි යථාර්ථවාදයේ ගතානුගතික කොන්දේසි නොසලකා හරි. මින් සිරිල් බී පෙරේරා පෙන්වා සිටින්නට වෑයම් කරන්නේ නූතන මිනිසා මුහුණ දෙන ගැටලු හේතුවාදී ලෙස විග්‍රහ කිරීමට බැරි බව සේම භාෂාවේ සීමිත බවද එයට බාධාවක් වන බවයි. මේ අයුරින් දශක හයාහමාරකට පෙර බිහිවුණු මේ මුල්ම නවකතාව අදටත් නැවුම්ය. අද වැනි කාලයක එය නැවත පළ කිරීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නම් ඒ ප්‍රශස්ත කාර්යයක් බව කීමට මම මොහොතකුදු මැලි නොවෙමි.
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
සිරිල් බීගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ අමරණීය නවකතාවක්