සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අවුරුද්දේ සිට සිරියාවේ මෙතෙක් සිදුවූ දේ වල කිසිදු “සිරියාවක්” නැත. ඇත්තේ මරණය හා වේදනාව පමණි. දැන්වත් සිරියාවට සිරියාවක් උදාවේද? මේ එරට වැසියන් නගන ප්‍රශ්නයයි. දැන් සිරියාවට උදාවී ඇත්තේ ඉතිහාසයේ වඩාත්ම තීරණාත්මක
සංක්‍රාන්ති සමයයි.
සිරියාව නමැති රට තවදුරටත් රටක් ලෙස පවතින්නේද? නැතහොත් සන්නද්ධ කල්ලිවාදය, අන්තවාදය හා ත්‍රස්තවාදය කරපින්නාගත් කැලේ නීතිය රජවූ බිම්කඩ කිහිපයක් පමණක් වන්නේද යන්න තීරණය වෙන්නේ දැන් සිරියාවේ පාලනය භාරගන්නා පිරිස හා ඔවුන්ගේ ක්‍රමවේදය මෙන්ම අන්තර්ජාතික ක්‍රියාකලාපයද අනුවයි. පැවති පාලනයන් බිඳ වැටී, මෙවැනිම තීරණාත්මක තත්ත්වයන්ට මුහුණ දුන් රටවල් අද වෙනවිට පවතින්නේ කිසිදු සාධනීය තැනක නොවේ. 1989 දී ඇෆ්ගනිස්ථානයෙන් සෝවියට් හමුදා ඉවත්වී, පැවති කොමියුනිස්ට් ලැදි රජය බිඳ වැටීමෙන් පසු, සෝවියට්වරුන්ට එරෙහිව සටන්කළ මුජහිදීන් කල්ලි එකිනෙකා හා මරාගැනීම ආරම්භ කළ අතර, ඔවුන්ට සෝවියට්වරුන් පලවා හැරීමට උදව් කළ ඇමෙරිකාව ඉවත්ව යාමෙන් පසු ඇෆ්ගනිස්තානය අද වෙනවිට නතර වී ඇත්තේ තලෙබාන් නමැති අන්තවාදී සන්නද්ධ කල්ලියේ පාලනයට නතුවයි.
2003 ඇමෙරිකානු ආක්‍රමණයෙන් සදාම් හුසේන් පාලනය අවසන් කළ පසු, ඉරාකය කල්ලිවාදයට හා ආගමික ගෝත්‍රවාදයට ගොදුරු වූ අතර, වසර ගණනක් පුරා පැවතියේ බෝම්බ පුපුරා ජන ජීවිත වැනසෙන අවිනිශ්චිත පාලනයකි. බටහිර රටවල්, ලිබියාවේ “අරාබි වසන්තය” ට ආධාර අනුබල දුන්නේ, ඔවුන්ගේ අර්ථකථනය අනුව එරට සිටි අධිකාරිවාදී පාලක මුවම්මර් ගඩාෆි බලයෙන් ඉවත් කිරීමටයි. ගඩාෆි බලයෙන් පමණක් නොව ජීවිතයෙන් ඉවත් කළද, ලිබියාවට පැතූ නිදහස උදා වූයේ නැත.
ගඩාෆිට එරෙහිව අවි සැපයූ බටහිර ස්වාමිවරු හැලහොල්මනකින් තොරව ලිබියාව හැරගිය පසු, අද වෙනවිට ලිබියාව පවතින්නේ සන්නද්ධ මැර කල්ලි කිහිපයක පාලනය යටතේය. යුරෝපයට නීතිවිරෝධි සංක්‍රමණිකයන් යවන ජාවාරමේ ප්‍රධාන තොටුපොළ ලිබියාව බවට පත්ව තිබේ. සිදුවී ඇත්තේ ගඩාෆි ඉවත්වීම පමණි. ලිබියානු ජනතාවට පැතූ නිදහස පමණක් නොව කලින් පැවති හොඳ-සුරක්ෂිත ජීවන රටාවද අහිමි වී ගොසිනි. ලිබියාව අද සිටින්නේ කලින් ඇෆ්ගනිස්ථානය, ඉරාකය හා ලිබියාව නතරවී සිටි මං සන්ධියේය. කුමන මාවත තෝරාගැනීමට ඔවුනට හැකිවේද යන්න, අද වෙනවිට
පවතින තත්ත්වයයි.
සිරියාව වැදගත් වෙන්නේ ඇයි?
රටක් ක්‍රමෝපායික වශයෙන් පිහිටා ඇති ස්ථානය වැදගත්වීම ආශීර්වාදයකි. ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායයික වශයෙන් පිහිටි වැදගත් ස්ථානය හා එහි ඇති අගය හා වාසිදායක තත්ත්වය නිරන්තරයෙන් සාකච්ඡාවට ලක්වෙන්නකි. සිරියාව ද පිහිටා ඇත්තේ මධ්‍යධරණි කලාපය හා අරාබි ලෝකය අතර ද්වාරයක් ලෙසටයි. උතුරින් තුර්කියත්, නැගෙනහිරින් ඉරාකයත්, දකුණෙන් ජෝර්දානයත් නිරිත දිගින් ඊශ්‍රායලය හා ලෙබනනයත්, බටහිරින් මධ්‍යධරණි මුහුදත් එරට මායිම් වේ. ඇතැම් විට මේ පිහිටීම ආශීර්වාදයක් මෙන්ම ශාපයක්ද වෙන්නේය. ඒ විශේෂයෙන්ම අදාළ රටවල් ගෝලීය හා කලාපීය බල අරගලයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාව තුළයි.
අරාබි ලෝකය හා මැදපෙරදිග අතීතයේ පමණක් නොව වර්තමානයේද ගෝලීය බල අරගලයේ සන්ධිස්ථානයකි. එම කලාපයේ වැඩි බලයක් නතුව ඇත්තේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බල කඳවුරටයි. එම බලය, කලාපය තුළ පවත්වාගන්නා හා ආරක්ෂා කරනු ලබන මුර සෙබළා ඊශ්‍රායලයයි. අරාබි කලාපය තුළ ඕනෑම දෙයක් කිරීමේ අධිකාරි බලය ඊශ්‍රායලයට ලැබී ඇත්තේ සිය බටහිර ස්වාමියාගේ ආනුභාවයෙනි. අනෙක් අතට, සුන්නි මුස්ලිම් අරාබි බලවතුන් වෙන සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් හා කුවේටය වැනි රටවල් ඇමෙරිකානු බලයේ නියෝජිතයන් ලෙස කලාපය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරයි.
ඊට විකල්ප බල කේන්ද්‍රයක් නිර්මාණය වූයේ 1979 දී ඉරානයේ ඉස්ලාමීය විප්ලවයෙන් ඇමෙරිකානු ළැදි ෂා රජු පලවා හැර ෂියා මුස්ලිම් පූජක අයතොල්ලාවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නව ඉස්ලාමීය පාලනයක් බිහිවීම හා ආරම්භයේ සිටම එම පාලනය ඇමෙරිකාවට අභියෝග කිරීම නිසාය. එතැන් සිට ඉරානය මැදපෙරදිග තම බලය විවිධ රටවල්, කල්ලි-කණ්ඩායම් හරහා ස්ථාපනය කරගන්නා විකල්ප බල කේන්ද්‍රයක් ලෙස නිර්මාණය විය. පසුකාලීනව රුසියාවද, මැදපෙරදිග කලාපයේ සිය බලය පවත්වාගැනීම සඳහා ඉරාන බල කේන්ද්‍රයට සමීප විය. ඉරානයට න්‍යෂ්ටික තාක්ෂණය හා කත්යුෂා වැනි රොකට් අවි තාක්ෂණ රුසියාවෙන් ලැබිණ. සිරියාවේ අසාද් පාලනයද සමීප වූයේ ඉරාන බල කේන්ද්‍රයටයි. ඒ අසාද් සිරියාවේ සුන්නි බහුතරය පාලනය කළ සුළුතර ෂියා මුස්ලිම් - අලවයිට් ජන කොටසට අයත්වූවෙකු නිසාවෙනි. පසුකාලීනව සිරියාව රුසියාව ළංකරගත්තේය. 1971 වසරේදී සිරියානු රජය සමග ඇතිකරගත් බදු ගිවිසුමක් මත, සෝවියට් දේශය සිරියාවේ ටාටස් වරාය තම නාවික හමුදා මධ්‍යස්ථානයක් බවට පත්කරගත්තේ මධ්‍යධරණි කලාපයේ හා මැදපෙරදිග බලය පවත්වාගැනීමේ පියවරක් ලෙසිනි.
1991 වසරේ සෝවියට් දේශය බිඳවැටී නව රුසියාව බිහිවීමෙන් පසු, ටාටස් නාවික හමුදා කේන්ද්‍රය එරට යෙල්ත්සින් පාලනයට එතරම් වැදගත් නොවූ අතර එම යුගයේදී මධ්‍යධරණි කලාපය තුළ රුසියානු නාවික මෙහෙයුම් අවම විය. ටාටස් නාවික හමුදා මූලස්ථානය යළි වැදගත් වූයේ ව්ලැදිමීර් පුටින් පාලන කාලය 2000 වසරේ සිට ඇරඹීමත් සමගයි. 2005 වසරේ සිට සිරියාවේ ටාටස් නාවික මධ්‍යස්ථානය වැඩිදියුණු කොට දිගුකාලීන රුසියානු හමුදා කේන්ද්‍රයක් ලෙස වර්ධනය කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් හා සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් අතර ගිවිසුමක් ඇතිකරගනු ලැබීය. ඒ අනුව රුසියාවට මධ්‍යධරණි කලාපය හා මැදපෙරදිග-උතුරු අප්‍රිකානු කලාපය තුළ බලය පතුරුවා හැරීම සඳහා ක්‍රමෝපායයික වශයෙන් ස්ථාවර නාවික මධ්‍යස්ථානයක් හිමිවිය. ඒ සමගම රුසියාව ටාටස් වරායට කිලෝමීට 88 ක දුරින් පිහිටි ලතාකියා නගරයට ඔබ්බෙන් නවීන රුසියානු ප්‍රහාරක ගුවන්යානා සඳහා ගුවන් කදවුරක්ද ස්ථාපනය කරගැනීමට සමත් විය. මේ සමගම රුසියාව, අසාද් පාලනයේ හා සිරියාවේ ලෝක ආරක්ෂකයා බවට පත්විය.
අතින් අතට ගිය සිරියාව
සිරියාවේ මානව ජනාවාසකරණය ගැන ඓතිහාසික වාර්තා වසර දසදහසක් තරම් ඈතට දිවයයි. එය පැරණි මෙසපොතේමියානු හා සුමේරියානු ශිෂ්ටාචාර හා සමපාත වූවකි. සිරියා යන නාමයද පැරණි ග්‍රීක-ලතින් හා ඇසේරියානු භාෂා ව්‍යවහාරය අනුව නිර්මාණය වූවක් සේ සැලකේ. එහි අරමුණ සූර්යාලෝකයෙන් බබලන භූමිය යන්නයි. එය යෙදෙන්නේ මධ්‍යධරණි කලාපයේ සිට අරාබි කලාපය දක්වා දිවෙන ලෙවාන්තය නම් වූ භූමිය හඳුන්වන නාමයක් ලෙසයි. අයි.එස්. කල්ලිය 2014 පළමු සිරියානු යුද සමයේ ඉරාකය හා සිරියාව ඒකාබද්ධ කොට ‘‘කැලිෆෙට්’’ නමින් තම පාලන ප්‍රදේශයක් ප්‍රකාශයට පත්කළේ අයි.එස්. අයි.එල්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ඔෆ් සිරියා ඇන්ඩ් ලෙවාන්ත් යන නමද භාවිත කරමිනි.
ඉතිහාසයේ වරින් වර විවිධ රාජ්‍යයන්ගේ පාලනයට නතුවූ සිරියාව, රෝම අධිරාජ්‍යයේ මෙන්ම තුර්කියේ ඔටෝමන් අධිරාජ්‍යයේ ද කොටසක්ව පැවතිණ. 1920දී ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා නව රාජ්‍යයක් ලෙස ප්‍රකාශිත සිරියාව, යළි මාස කිහිපයක් තුළ ප්‍රංශයේ යටත්විජිතයක් බවට පත්විය. 1946 ඉන් නිදහස ලැබුවත්, සිරියාව දිගටම හමුදා කුමන්ත්‍රණවල තෝතැන්නක් විය. 1958 සිට 1961 දක්වා සිරියාව හා ඊජිප්තුව එක්සත් අරාබි ජනරජය නමින් ඒකාබද්ධ පාලනයට සම්බන්ධ වී තිබිණ. 1961 හමුදා කුමන්ත්‍රණයෙන් පසු එහි ආයුෂ ද අවසන් විය. දැනට සිරියානු බලය අත්පත් කරගෙන සිටින කැරලිකාර කණ්ඩායම්, තම ධජය ලෙස භාවිත කරන කොළ, සුදු , කළු හා රතු තරු සහිත ධජය එම පැරණි ජනරජයේ ධජයයි. 1961 හා 1963 හමුදා කුමන්ත්‍රණවලින් පසු, සිරියාවේ ස්ථාපනය වූයේ ප්‍රබල භාත් පක්ෂ පාලනයයි.
ඉහත කුමන්ත්‍රණවලට දායක වූ ප්‍රබල චරිතයක් වූ ගුවන් හමුදා කපිතාන් හෆෙස් අල් අසාද්, තම හමුදා පාලක - භාත් පක්ෂ සගයන්ට එරෙහිව සිදුකළ කුමණ්ත්‍රණයක් මගින් 1970දී පාලන බලය අල්ලා ගත්තේය. ඔහු භාත් පක්ෂයේ නායකත්වය මෙන්ම රට පුරා අධිකාරිවාදී පාලන රටාවක් නිර්මාණය කරගත්තේ අයෝමය හස්තයකින් රට පාලනය කිරීමටත් තම පවුල රාජ්‍ය පාලනය තුළ මුල් බස්සවා ගැනීමටත් සුක්ෂම ලෙස සමත් වූ අතර එම පාලනයට එරෙහිව 1980 දශකයේ නැගුණු ඉස්ලාමීය සටන් ව්‍යාපාරය මැඩලීමේදී 40000 ජීවිත අසාද්ගේ හමුදාව අතින් සිදුවූ බව අතීත වාර්තා පෙන්වා දෙයි. අසාද්, සිරියාවේ ආර්ථිකය යම් මට්ටමකට ශක්තිමත් කිරීමට හා ඛනිජතෙල් වෙළෙඳාමෙන් හා කෘෂි අපනයන තුළින් ආර්ථික වාසි අත්කරගැනීමටත්, අරාබි ලෝකය තුළ රාජ්‍ය නායකයෙකු ලෙස ස්ථානගතවීමටත් සමත් වූයේ බටහිර ලෝකය සමග ද සීමිත සබඳතා නංවා ගනිමිනි.
පියාගෙන් පුතාට ගිය පාලනය
2000 වසරේදී හෆෙස් අල් අසාද් මියගිය අතර ඔහුගේ පුත් වෛද්‍ය බෂර් අල් අසාද් රටේ පාලනය බාරගන්නේ 35 වැනි වියේ පසුවෙද්දීය. ඔහු පාලනය බාර ගැනීමට පැමිණෙන්නේද බ්‍රිතාන්‍යය් වාසය කරමින් සිටියදීය. ලෝකය හොඳින් දුටු තරුණ මැදහත් නායකයෙකු ලෙස සිරියානු ජනතාව එම යුගයේදී බෂර්ව තක්සේරු කළහ. ඒ නිසා සිය පියාගේ කාලයේ පනවා තිබූ අයෝමය නීති අවසන් කර ප්‍රතිසංස්කරණවාදී පාලනයක්, බටහිර අධ්‍යාපනය ලැබූ බෂර් විසින් ඇතිකරනු ඇතැයි සිරියානුවන් තුළ යම් බලාපොරොත්තුවක් විය. බෂර්ද මුල් යුගයේ යම් සාධනීය ක්‍රියාමාර්ග හඳුන්වා දුන් අතර ඔහුට ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇතිවිය. වරෙක දෙවැනි එළිසබෙත් රැජින බෂර්ට බකිංහැම් මාලිගාවට පවා ආරාධනා කළාය. එහෙත් බලාපොරොත්තු කෙටි කාලීන විය. බෂර්ද තම පියාගේ අඩිපාරේ යමින් දැඩි පාලනයකට යොමුවූ අතර, තම පවුලේ සාමාජිකයන්ටත් අලවයිට් ජනවර්ගයටත් විශේෂ සැලකිලි හිමිවිය. ඉරාන - රුසියානු සම්බන්ධතාවද වැඩිදියුණු විය. සියල්ල වෙනස් වෙන්නට ගත්තේ අරාබි වසන්තයත් සමගයි. 74%ක් වූ අරාබි ජාතික සුන්නි මුස්ලිම් ජනප්‍රජාව 13%ක් වූ ෂියා මුස්ලිම් අලවයිට් ජන කොටස විසින් පාලනය කරනු ලැබීමේ සිට ඇතිවූ විවිධ විෂමතා ජන විරෝධයට හේතු
සාධක විය.
සිරියාව නැතිකළ වසන්තය
අරාබි රටවල් පුරා පැතිරගිය උද්ඝෝෂණ රැල්ල අරාබි වසන්තය ලෙස හැඳින්වුණු අතර, 2011 වසරේදී සිරියාවේ බෂර් අල් අසාද් පාලනයට එරෙහිව ද උද්ඝෝෂණ ආරම්භ විය. මුල් අවස්ථාවේ සාමකාමි වූ උද්ඝෝෂණ, අසාද් පාලනය විසින් දැඩි බලයක් යොදා මර්දනය කරනු ලැබීය.
සිය ගණන් නිරායුධ සිවිල් විරෝධතාකරුවන් එම මර්දනයේදී මියගිය බව ප්‍රකට කරුණකි. එහිදී සිදුවූ මරණ සංඛ්‍යාව ගැන වාර්තා පරස්පර මට්ටමක පවතී. විරෝධතා හා මර්දනය කල් ඇදෙද්දි, එය අසාද් විරෝධි සිරියානු සන්නද්ධ ව්‍යාපාරයක් බවට පත්වූයේ FREE SYRIAN ARMY නම් සන්නද්ධ කල්ලිය බිහිකරමිනි. 2013 පමණ වෙන විට අයි.එස්. කල්ලිය ඉතා බලවත් වෙමින් ‘ෆ්‍රි සිරියන් ආමි’ කල්ලිය අබිබවා නැගී සිටීමක් වාර්තා විය. ඔවුන් සිරියාව හා ඉරාකය පදනම් කරමින් කැලිෆෙටයක්ද ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර, ඉතා බිහිසුණු ඝාතන ඔවුන් අතින් සිදුවූයේ එම දර්ශන පට ලෝක ජනමාධ්‍ය
වෙත මුදා හරිමිනි.
එක් අවස්ථාවක, සටන්කරුවෙකු තම ප්‍රතිවාදි පාර්ශ්වයේ සටන්කරුවෙකුගේ මළ සිරුරෙන් හදවත ඉවත් කරගෙන එය අමුවෙන්ම ආහාරයට ගන්නා දර්ශන ලොව පුරා විකාශය වූයේ සිරියානු සන්නද්ධ කල්ලි පිළිබඳව මුළු ලෝකයටම පිළිකුලක් දනවමිනි. FREE SYRIAN ARMY සන්නද්ධ කල්ලියට හා අසාද් විරෝධි කණ්ඩායම්වලට තුර්කිය, ඇතැම් අරාබි හා බටහිර රටවල් මෙන්ම විශේෂයෙන් ඇමෙරිකානු එක්සත් ජනපදයේද මූල්‍යමය, යුදමය හා මතවාදීමය සහාය පළ කෙරිණ. රුසියාව සිරියානු රජය හා ජනාධිපති අසාද්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් විය. ඉරානය හා අසල්වැසි ලෙබනනයේ සිට ක්‍රියාත්මක හිස්බුල්ලා නමැති ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම ද සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ගේ සහායට එක්වූයේ ගෝලය බළකඳවුරුවාදයේ පාර්ශ්වකරුවන් අතර බෙදීගිය ප්‍රතිවාදීන් දෙදෙනෙකු සහිත යුද්ධයක් බවට පරිවර්තනය වූයේ PROXY WAR නමැති සංකල්පය පදනම් කරගනිමිනි. කෙසේ වෙතත් රුසියාව සිරියාවේ ඇති තම භූ දේශපාලනික හා ආරක්ෂක අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා අසාද් පාලනයට උදව් කරමින් පමණක් නොව තමන් සතු නවීන අවිවල ශක්‍යතාව මැන බැලීමේ සැබෑ යුද තත්ත්වයක වාසිය ද අත්කරගනිමිනි. වසර 2018 වෙනවිට කැරලිකාර බලවේග සියල්ල අබිබවා ප්‍රධාන නගර සියල්ලම නැවතත් රජයේ පාලනයට නතු කෙරුණේ බොහෝ කැරලිකරුවන්ට මරණය අත්කර දෙමිනි.
ඇමෙරිකාව ද සිරියානු දේශසීමා කලාපවල සිටි අයි.එස්. සාමාජිකයන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර සිදු කළේ යළි අයි.එස්. තර්ජනය තම රටවල් කරා පැමිණ සාමාන්‍ය ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීමේ අපේක්ෂා ද සහිතවයි. රුසියානු, ඉරාන හා හිස්බුල්ලා කණ්ඩායම් සිරියානු රජය සමග දියත් කළ මෙහෙයුම්වලදී කැරලිකරුවන් පසුබස්සවා අසල්වැසි තුර්කියට ආසන්න දේශසීමා කලාපයේ ඉඩ්ලිබ් නගරය කේන්ද්‍රකරගනිමින් ඒ අවට ප්‍රදේශය දක්වා පසුබැස්සවීමට එම ඒකාබද්ධ ආරක්ෂක අංශවලට හැකිවිය.
අසාද් පාලනය ආරක්ෂා විය. රුසියාව මැදපෙරදිග කලාපයේ තම යුද ශක්තිය වර්ධනය කර එහි අණසක පතුරුවාලීමට ද සමත් විය. විනාශ වූ ජීවිත ගණන 500000 ඉක්මවයි. රටේ බොහෝ යටිතල පහසුකම් අඩාළ වී තිබිණ. අසාද් පාලනය යුද්ධය අවසන් කිරීමට ගත් දැඩි ක්‍රියාමාර්ග, එක්සත් ජාතින්ගේ විවිධ ආයතනවල දී සාකච්ඡාවට ලක්වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා එම චෝදනා විමර්ශන කරා යොමුවිය. අසාද් අන්තර්ජාතික වරෙන්තුකරුවෙකු ද විය. අසාද්ට එරෙහි දෙවැනි ප්‍රචණ්ඩකාරී රැල්ල නිර්මාණය වෙන්නේ මේ අතරවාරයේදීය.
අසාද් පළවා හළ විදුලිය බඳු මෙහෙයුම
දෙසැම්බර් මුල සතියේ එනම් දෙසැම්බර් 4 වෙනිදා වෙනවිට තුර්කි දේශසීමාවට ආසන්න ඉඩ්ලිබ් නගරයෙන් බැහැරව ගිය සටන්කරුවන්ට සිරියාවේ දෙවැනි ප්‍රධාන නගරය වෙන ‘අලෙප්පෝ’ නගරය අල්ලා ගැනීමට ගතවූයේ දෙදිනකි. තවත් දිනක් තුළ ඔවුන් ‘හමා’ නගරය අල්ලා ගන්නා බව පැහැදිළි විය. අලෙප්පෝ සහ හමා නගර අත්පත් කරගත් කැරලිකරුවන්ට මහජන සහායද ඉහළ ගියේය. ඔවුන් පසුගිය සතියේ සිකුරාදා වෙන විට ඩමස්කස් අගනුවර දක්වා ගමන් කරන බවක් පෙනී ගියේ එහි මුවදොරක් බඳු හෝම්ස් නගරය පහසුවෙන්ම අල්ලා ගැනීමත් සමගයි. ඊට සිව්වසරකට පෙර කැරලිකරුවන්ට දරුණු පරාජයක් ගෙනදුන් සිරියානු හමුදාව බොහෝ තැන්වලදී සටනකින් තොරවම පසුබැස යන බවක් පෙන්නුම් කළේය. රුසියානු ගුවන් ප්‍රහාර, සටනේ මුල් අවස්ථාවේදී එල්ල වුවද, පසුව එම ප්‍රතිරෝධය ද සීමා විය. ඉරිදා වෙනවිට කැරලිකරුවන් ඩමස්කස් අගනුවර අල්ලා ගත් අතර ඊට පෙරාතුව ජනාධිපති බෂර් අල් අසාද් තනතුරෙන් ඉල්ලා අස්වී තම පවුලේ සාමාජිකයන් ද සමග රුසියාවට පලායන්නේ ලතාකියා ගුවන් කඳවුරේ සිට රුසියාව බලා පියාසර කළ ඉල්යුෂින් 76 යානයකිනි. ඒ සමගම වසර 54ක් පුරා පැවති අසාද් පාලනය හා භාත් පක්ෂ පාලනය අවසන් විය. සති දෙකක් තුළ අසාද් පාලනය මුළුමහත් සිරියාවෙන්ම තුරන්ව ගියේය. අසාද් යටතේ භූගත සිරගෙවල්වල රඳවා සිටි රැඳවියන්ට නිදහස ලැබිණ. ඔවුන් විඳි වද බන්ධන ගැන මුළු මහත් ලෝකයටම තොරතුරු හෙළිවිය. වැඩිපුරම සතුටු වූයේ යුද්ධයෙන් බැටකෑ සිරියානු ජනතාවයි. ඔවුන් අසාද් හා භාත් පක්ෂ සිරියාවේ ජාතික ධජය ඉවත ලා විපක්ෂ කණ්ඩායම් භාවිත කළ පැරණි සිරියානු ජනරජයේ ත්‍රිවර්ණ කොඩිය ලෙල දෙවූහ. ලොව පුරා තානාපති කාර්යාලවලද නව ධජය ඔසවනු ලැබීය. අසාද් පාලනය, දිරාගිය ගසක් බිම පතිත වෙන ආකාරයෙන් ක්ෂණිකව අවසන් විය. එහෙත් ප්‍රශ්න සියල්ල මෙයින් අවසන්ද?
කැරලිකරුවන් බලවත් වූ හැටි
වත්මන් කැරැල්ලට නායකත්වය දුන්නේ තුර්කි දේශසීමාවට ආසන්න ඉඩ්ලිබ් ප්‍රදේශය පාලනය කළ හයාත් තරීර් අල් ශ්‍යාම් නමැති සන්නද්ධ කණ්ඩායමයි. ඔවුන් පළමු සිරියානු යුද්ධයෙන් පරාජය ලැබ ඉඩ්ලිබ් වෙත කොටුවි සිටි කණ්ඩායමකි. එහි නායක මොහොමඩ් අල් ජව්ලානි සහ මුල්පෙළේ සාමාජිකයෝ බොහෝ දෙනෙක් කලින් අල් කයිඩා සාමාජිකයෝ වූහ. ජව්ලානි, ඇමෙරිකාව විසින් නම්කරනු ලැබු ත්‍රස්තවාදී නායකයෙකි. පසුව ඔවුන් සිරියානු යුද්ධයේදී අල් නුස්රා කණ්ඩායම ලෙස සටනට දායක වී තිබිණ. කෙසේ වෙතත් 2018 රුසියානු හා සිරියානු ඒකාබද්ධ හමුදා වෙතින් පරාජය ලැබ පසුබැසීමෙන් පසු, හයාත් කල්ලිය මෙන්ම අනෙකුත් කණ්ඩායම්ද ඉඩ්ලිබ් ප්‍රදේශයට කොටුවෙමින් සිට තම යුද ශක්තිය වර්ධනය කරගත් බව පෙනේ. තුර්කිය ඔවුන්ගේ ප්‍රධාන අනුග්‍රාහකයා මෙන්ම සැපයුම්කරුද වූ බව පෙනේ. සිරියානු විරෝධි බලවේග යළිත් කැරලිකරුවන් ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දුන් බව තහවුරු වී ඇත. කැරලිකරුවන් ශක්තිමත් වීම හා සමගාමීව සිරියානු හමුදාව දුර්වල වී තිබූ බවක් පෙන්නුම කරයි.
දණින් වැටුණු හමුදාව
අසාද් පාලනයට රැකවරණ දුන් සිරියානු හමුදාව මෙතරම්ම දුර්වල වූයේ කෙසේද? ඔවුන්ට අවි හිඟයක් නොතිබූ බව පැහැදිළි වෙන්නේ තැන තැන අත්හැර දමා ගොස් තිබු යුද ටැංකි, කාලතුවක්කු, මල්ටිබැරල් රොකට් පද්ධති හා අනෙකුත් මහා පරිමාණයේ, භාවිත නොකළ එහෙත් ඉතා හොඳ ක්‍රියාකාරිත්වයක තිබූ අවි නිසාවෙනි. ඇතැම් අවි ගබඩා වෙත හමුදා පැමිණ තිබුණේ ද නැත. අලෙප්පෝ හැර අනෙක් සියලු ස්ථානවලදී සිරියානු හමුදාව සටනකින් තොරවම පසු බැස තිබිණ. ඔවුන් තම නිල ඇඳුම් ගලවා මහමග දමා පලාගොස් තිබිණ. ඇතැම් සෙබළුන් හා නිලධාරින් දේශසීමාව හරහා ඉරාකයට පලාගිය බව වාර්තා වේ. මෙසේ වූයේ ඇයි.? ප්‍රධාන වශයෙන්ම ඔවුන් යුද සූදානමක නොසිටි බව පෙනේ. එමෙන්ම ඔවුන් යුද වදින මානසිකත්වයක ද නොසිටි බව පෙන්නුම් කරයි. හමුදාවද අසාද් පාලනය ගැන කලකිරී සිටි බව තහවුරු වූ කරුණකි. සෙබළුන්ගේ චිත්ත ධෛර්යය නැංවීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ ජනාධිපති අසාද්, වත්මන් කැරැල්ල ආරම්භ වීමෙන් පසු වහා ක්‍රියාත්මක වෙන පරිදි හමුදාවට විශාල වැටුප් වැඩිවීමක් ප්‍රදානය කළේය. එහෙත් ඉන් පළක් නොවූයේ කලකිරුණු සෙබළුන් නම්මවාගැනීමට එම ලාබ උපාය ප්‍රමාණවත් නොවූ නිසාය. පසුගිය සති අන්තය වෙනවිට සියල්ල හැර යාමට අසාද් හිත හදාගත්තේ තමා රැකීමට කවුරුත් නොමැති බව අවබෝධ කරගනිමිනි.
රුසියාවේ හා තුර්කියේ භූමිකාව
රුසියාව තම මධ්‍යධරණි නාවික හා ගුවන් බලඇණි සිරියාවේ ස්ථාපනය කර තිබීම අසාද් ජනාධිපතිවරයා ලැබූ ආශීර්වාදයක් විය. පළමු සිරියානු යුද්ධයේදී රුසියාව තම සියලු ශක්තිය යොදවා කැරලිකරුවන්ට එරෙහිව සටන් කොට ඔවුන් වනසා අසාද් පාලනය හා ඒ ඔස්සේ රැකෙන රුසියානු ජාතික අභිලාෂයන් තවදුරටත් සුරක්ෂිත කරගැනීමට හැකිවිය. එහෙත් දෙසැම්බර් 4 වෙනිදා කැරැල්ල ඇරඹෙන විට රුසියාව පෙර මෙන් අසාද් සුරැකීමට සමත් වෙන බවක් පෙන්නුම් නොකළේ, සිදුවෙන නායයාම කලින් අවබෝධ කරගෙන ඊට මුහුණ දීමට සූදානම් වෙමින් සිටි බවක් පෙන්නුම් කළ නිසාය. අසාද් සුරැකීමට කැපවෙනු වෙනුවට, රුසියාව කලාපීය පාර්ශ්වයන් සමග සාකච්ඡාමය ගනුදෙනුවක නිරත වෙන බවක් පෙන්නුම් කළේය. වත්මන් සටනේ ප්‍රධාන අනුග්‍රාහකයා වූ තුර්කිය, කැරලිකරුවන් ශක්තිමත් කළේ කලින් අසාද් පාලනය සමග සාකච්ඡා කර සංහිඳියා වැඩපිළිවෙළකට අසාද් නම්මවා ගැනීමට අපොහොසත් වූ නිසාවෙන් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මෙම ක්‍රියාවලියේදී, තුර්කිය අසාද් පාලනයේ රැකවල්කරු වූ රුසියාවද යම් තුලනයකට ලක්කරගැනීමට සමත්වූයේද යන්න ප්‍රශ්නයකි. අසාද් පාලනයට තර්ජනයක් වුවද, වත්මන් වාතාවරණය මේ දක්වා සිරියාවේ රුසියානු රැඳීසිටීමට බාධාවක් වී නැත. කැරලිකරුවන්ගෙන් රුසියානු හමුදා මධ්‍යස්ථාන වෙත කිසිදු තර්ජනයක් එල්ලවී නැත. රුසියාව සඳහන් කරන්නේ, කලාපිය සාමාජිකයන් සමග සම්බන්ධ වෙමින්, සිරියානු ප්‍රශ්නයට සාධනීය විසඳුමක් ගෙනඒමට උත්සුක වෙන බවයි.
ඉරානයට අහිමි වූ සිරියාව
ඉරානය තම ප්‍රධාන ප්‍රතිවාදියා වූ ඊශ්‍රායලයට අභියෝගයක් වශයෙන් එහි එළිපත්තේ තම බලයේ නියෝජතයන් රඳවා තැබීය. සිරියානු රජය, ලෙබනනයේ හිස්බුල්ලා හා ගාසා තීරයේ හමාස්, මේ සියල්ල ඉරාන අනුග්‍රහය මත ක්‍රියාත්මක වූ බලවේග වේ. එහෙත් දැන් ඒ අනුග්‍රාහකයන් තුන් පලම අකර්මණ්‍ය වී ඇත. ලෙබනනයේ හිස්බුල්ලා නායක හසන් නස්රුල්ලා ගේ සිට ගෑවුණු ගෑවුණු නායකයන් මරා දමා දකුණු ලෙබනනය ආක්‍රමණය කර සටන හිස්බුල්ලා වෙත ගෙනයාමට ඊශ්‍රායලය සමත් විය. ගාසා තීරයේ දී හමාස් නායකත්වය මෙන්ම එහි ක්‍රියාකාරිත්වය ද අයෝමය හා අමානුෂික පහරදීමකින් වනසා ඇත. එවැනි තත්ත්වයක් යටතේ, අසාද් පාලනය බිඳ වැටීම ඉරානයට මැදපෙරදිග කලාපය තුළ විශාල බල රික්තකයකට මුහුණ පෑමට සිදුවූ අවස්ථාවකි. සිදුවූ විනාශය ගැන ඉරාන නායක අයතොල්ලා අලි කමෙයිනි, ඊශ්‍රායලයට, ඇමෙරිකාවට හා තවත් නම නොකියන රටකට දොස් පවරයි. ඒ නම නොකියන රට තුර්කිය බව කවුරුත් දන්නා රහසකි.
ඊශ්‍රායලයේ බොරදියේ මාළු බෑම
මේ සමස්ත ක්‍රියාවලියේ උපරිම ලාභය ලබාගත් පාර්ශ්වය ඊශ්‍රායලයයි. යුදෙව් රාජ්‍යය මේ වෙනවිට තම එළිපත්තේ සිටි සතුරන් සියල්ල දුබලවීමේ ප්‍රීතිය භුක්ති විඳිමින් සිටී. එමෙන්ම වෙලාවෙන් පල ප්‍රයෝජන ගෙන සිරියාවෙන් කෑල්ලක් කඩාගැනීමට ද උත්සුක වෙයි. දැනටමත් ඊශ්‍රායල් හමුදාව ඔවුන් 1967 යුද්ධයේදී සිරියාවෙන් අල්ලා ගෙන නැවතත් භාර නොදුන් ගෝලාන් කඳුකරයේ සිට සිරියානු දේශසීමාවේ යුද මුක්ත කලාපයද අල්ලා ගෙන තිබේ. එමෙන්ම තවත් වාර්තා පෙන්වා දෙන්නේ, දේශසීමාවෙන් කිලෝමීටර 10 දක්වා වූ ප්‍රදේශයක් ඊශ්‍රායල් හමුදාව මේ වෙනවිට අල්ලාගෙන ඇති බවයි. ඊශ්‍රායලය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. එහෙත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ, අසාද් පාලනය බිඳවැටීමේ වැඩි ගෞරවය තම රටට හිමිවිය යුත්තේ මැදපෙරදිග කලාපයේ තමන් නිර්මාණය කළ වාතාවරණය යටතේ එය සිදුවීමේ පසුබිම උදාවීම නිසා බවයි. එමෙන්ම සිරියාවේ අසාද් හමුදාව සතුව තිබු අවි ගබඩා විනාශ කිරීමටත්, යුදනැව් සියල්ල පහරදී ගිල්වා දැමීමටත් ඊශ්‍රායලය පසුගිය දින කිහිපය තුළ ක්‍රියාකළේ සිරියාවේ ප්‍රධාන නගර හා අවට කලාප රැසකට ගුවන් ප්‍රහාර 400කට අධික සංඛ්‍යාවක් එල්ල කරමිනි. සිරියානු හමුදාව සතුව තිබූ අවි, තවත් තර්ජනාත්මක පාර්ශ්වයක් අතට පත් වීමට ඉඩ නොතබන බවට ඊශ්‍රායලය ප්‍රතිඥා දෙයි.
භයානක චෙස් ක්‍රීඩාව අවසානයේ...
අසාද් පාලනය බිඳ වැටෙන්නේ ඉතා සූක්ෂම ලෙස සැළසුම් කරනු ලැබූ දේශපාලනික චෙස් ක්‍රීඩාවක් නිසා බව දැන් පැහැදිළිය. අසාද්ට උදව්වට සිටි රුසියාව - යුක්රේන යුද්ධයේත්, හිස්බුල්ලා සංවිධානය හමාස් යුද්ධයේත්, ඉරානය අන්තර්ජාතික සීමාවත් තුළත් කොටුවී සිටි මොහොතක, අනාරක්ෂිත අසාද්ට පහරදීමට කැරලිකරුවන් පෙලඹීම ඉතා සූක්ෂම අන්තර්ජාතික සැළසුමක ප්‍රතිඵලයක් බව ඉතා පැහැදිළිව පෙනේ. එය චෙස් ක්‍රීඩාවක රජු කොටුකිරීමට ආරක්ෂක ඉත්තන්ට සීමා පැනවීම බඳු සිද්ධියකි. දැන් ඇත්තේ ස්ථාවර හා කලාපයට මෙන්ම ලෝකයට අවදානමක් නැති පාලනයක් සිරියාවේ ස්ථාපනය කිරීමයි. ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය දින කිහිපය තුළ අයි එස් ත්‍රස්ත ඉලක්ක වෙත පහරදෙමින් කියා සිටියේ, සිරියාව ස්ථාවර කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. එහෙත් බලයට පැමිණීමට නියමිත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, මෙය ඇමෙරිකාව ඉදිරියේ දී වෙහෙසවිය යුතු ප්‍රශ්නයක් නොවන බවයි. ඒ නිසා ට්‍රම්ප් පැමිණීමට පෙර, සිරියාවේ ඇමෙරිකාවට ද වාසිදායක තත්ත්වයක් නිර්මාණය කිරීමට කඩිනමින් දායක වීම ජනාධිපති බයිඩන්ගේ ද අපේක්ෂාව බව පෙනේ. සිරියානු ප්‍රශ්නය තුළින්ද ගම්‍ය වෙන්නෙ රටක ඉරණම වෙනස් කිරීමට ඉන් පරිබාහිර ගෝලීය බලවේග වලට කොතරම් ශක්තියක් ඇද්ද යන්නයි.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ
සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික
සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම
මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා
“ඇය යන්න ගියා මැකිලා’’ - අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගීතයක්. බංග්ලාදේශයේ මේ දිනවල ගැයෙන්නේ මෙවැනි ගීතයකි. හසීනා යන්නම ගියාය.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
අසාද් යයි සිරියාව කාටද? ඊස්ශ්‍රාලයත් බොර දියේ මාළු බායි