IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඇමෙරිකානු මුත්තලාගේ ගැටුම බරපතළයි බයිඩන්ට හානි ට්‍රම්ප්ට වාසි

අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන වයස්ගතම පුද්ගලයන් දෙදෙනා අතර ඡන්ද සටන දැන් ආරම්භ වී තිබේ. 81 හැවිරිදි ජෝ බයිඩන් හා 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා (28දා) මුහුණට මුහුණ ලා පැවැත්වෙන පළමු විවාදයට සහභාගි වූහ. මෙය අමෙරිකානු ජනතාව පමණක් නොව ගෝලීය වශයෙන් අන්තර්ජාතික දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සියල්ලන්ගේ ම දැඩි අවධානය දිනාගත් කරුණකි. ඒ මන්ද යත් ලොව සුපිරි බලවතා, අංක එකේ ආර්ථිකය හිමි රාජ්‍යය හා බටහිර බලාධිකාරයේ කේන්ද්‍රය වන අමෙරිකා එක්සත් ජනපදය ඉදිරි වසර හතරෙහි පාලනය කරන්නේ කවුද? ඔහුගේ ප්‍රතිපත්ති කුමන ආකාරයක් ගනීද? ඉන් ගෝලීය වශයෙන් සිදුවන බලපෑම කවරේද? මේ ප්‍රශ්න අමෙරිකානුවන්ටත් වඩා අමෙරිකාව ගැන උනන්දුවක් දක්වන ලෝක ප්‍රජාව අතරින් 
පැන නගියි.


මෙවර අමෙරිකානු ජනාධිපතිවරණය සුවිශේෂ තත්ත්වයක් ගන්නේ වියපත් අපේක්ෂකයන් දෙපළ නිසාම පමණක් නොවේ. එය එක් මාතෘකාවක් වුවද තවත් සිද්ධි ගණනාවක් නිසා ජනාධිපතිවරණය දැඩි අවධානයක් දිනාගත් දේශපාලනික සංසිද්ධියක් බවට පත්ව තිබේ.  ඉතිහාසයේ පළමු වතාවට අපරාධ වරදකට අධිකරණය මගින් වරදකරු ලෙස නම්කරනු ලැබූ පුද්ගලයෙකු අපේක්ෂකත්වයට ඉදිරිපත් වී තිබේ. ඡන්ද ප්‍රචාරක කටයුතුවලට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩාත් පුළුල් ලෙස අවතීර්ණ වීමට සිදුවූයේ නඩු හබවලටයි. ඔහුගේ නීතිමය ප්‍රශ්න තවමත් අවසන් නැත. තවත් නඩු තුනකට මුහුණ දීමට ට්‍රම්ප්ට සිදුවනු ඇත. ඔහු වැරදිකරු වූ “හෂ් මනී ” නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරුණද එහි දඬුවම් නියම කිරීම තවම සිදුව නැත. කෙසේ වෙතත් ට්‍රම්ප් ශක්තිමත් ස්ථාවරයක පසුවෙයි. ජනමත විමසුම් අනුව තවමත් ඉදිරියෙන් සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.  බයිඩන් හා ට්‍රම්ප් අතර පරතරය අඩු වුවද ට්‍රම්ප් නඩු හබ මැද ඉඳගෙන ශක්තිමත් ඡන්ද පදනමකින් බයිඩන්ට අභියෝග කරයි. අනෙක් අතට බයිඩන් ජනාධිපතිවරයා ද සිටින්නේ අර්බුද රැසක් මැදය.  අමෙරිකානු ඡන්ද සටනට බලපෑ හැකි ප්‍රධාන ගැටලු දෙකකට ඔහු මුහුණ දී තිබේ. ඒ අතරින් පළමුවැන්න බයිඩන්ගේ මාරපුත්‍රයා හන්ටර් බයිඩන්ය.  ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයේ සිටින ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකු අධිකරණය මගින් වරදකරු ලෙස තීන්දු කරනු ලැබූ ප්‍රථම පුද්ගලයා හන්ටර් බයිඩන්ය.  එම අර්බුදය ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට අහිතකර තත්ත්වයකි. අනෙක ඊශ්‍රායල්-පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් බයිඩන් ජනාධිපතිවරයා දක්වන වැනෙනසුලු ප්‍රතිපත්තියයි. එය අමෙරිකානු යුදෙව්වරුන් අතර පමණක් නොව අරාබි සම්භවයක් සහිත ඉස්ලාමීය ප්‍රජාව අතර පවා 
ප්‍රශ්නකාරී වී තිබේ.
හොඳට ම කළේ කව්ද


බයිඩන් - ට්‍රම්ප් දෙදෙනා පළමු ජනාධිපතිවරණ විවාදයට එළැඹෙන්නේ මෙවැනි පසුබිමක් යටතේය.  අමෙරිකානු ජනාධිපතිවරණය හා බැඳුණු විවාද තුනක් සිදුකෙරේ. සමස්ත අමෙරිකානු ජනාධිපතිවරණ ව්‍යාපාරයම එක්තරා ආකාරයක  සුවිශේෂ සැකැස්මක් අනුව ක්‍රියාත්මක වන විධිමත් මැතිවරණ ක්‍රියාවලියකි. ඒ ගැන කතා කිරීමට පෙරාතුව වැඩි අවධානයක් යොමුකළ යුත්තේ සිකුරාදා පැවති විවාදයේ දී  අපේක්ෂකයන් දෙදෙනාගේ හැසිරීම් හා ඉස්මතු වූ කරුණු පිළිබඳවය. මෙරට ජනතාවද අමෙරිකානු ජනාධිපතිවරණ ක්‍රියාවලියේ දිශානතිය ගැන අවබෝධයක් ලබාගැනීමට දැඩි උනන්දුවෙන් පසුවෙති. පළමු විවාදයේදී “හොඳටම කළේ” කවුද? මේ ගැන දැන් බොහෝ වාද විවාද ඇත. කෙසේ වෙතත් රිපබ්ලිකන් මෙන්ම ඩිමොක්‍රටික් ආධාරකරුවන්ද පිළිගන්නා දෙයක් ඇත. ඒ පළමු විවාදයෙන් ට්‍රම්ප් ජය අත්කරගත් බවයි.
අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ විවාද ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරයි. අපේක්ෂකයන්ගේ භූමිකාව හා ප්‍රතිරූපය හඳුනාගැනීම, ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන ජනතාවට අවබෝධයක් ලබාගැනීම, අපේක්ෂකයන් මැතිවරණ ජය සඳහා කුමන ක්‍රමවේදයක් යොදාගන්නේ ද යන වග මේ සියල්ලම විවාද මත තීන්දු වෙයි.
අමෙරිකාවේ ජනාධිපතිවරණ ප්‍රචාරක අංගයක් ලෙස අපේක්ෂකයන් අතර විවාද පැවැත්වීම ආරම්භ වූයේ 1858 වසරේ එවකට සිටි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් හා ජනාධිපති අපේක්ෂක සෙනෙට් සභික ස්ටීවන් ඩග්ලස් අතරයි. එය රූපවාහිනී විවාද මාලාවක් බවට පරිවර්තනය වූයේ 1960 දශකයේ සිටයි. එදා සිට මේ දක්වා අපේක්ෂක විවාද අමෙරිකානු ජනාධිපතිවරණ ක්‍රියාවලියේ ඉතා වැදගත් තැනක් ගනියි. එය සෑම ජනාධිපතිවරණයකම ඉතා තීරණාත්මක සාධකයකි.
අමෙරිකාවේ පාවෙන ඡන්ද වැඩි ප්‍රමාණයක් අපේක්ෂකයන් වෙත පැමිණෙන්නේ ඔවුන් අපේක්ෂකයන් අතර විවාද නරඹා යම් 
මතයකට එළැඹීමෙනි. 


පළමු විවාදය පැවැත්වුණේ අමෙරිකාවේ දකුණු අග්නිදිග ප්‍රදේශයට බරව පිහිටි ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවරදීය. ඇට්ලැන්ටා අපේ රටේ වඩාත්ම ප්‍රසිද්ධව ඇත්තේ 1984 ඔලිම්පික් තරගාවලිය පැවති නගරය ලෙසය. එමෙන්ම එය කළුජාතික නිදහස් සටන් ව්‍යාපාරවල වැදගත් සන්ධිස්ථානයක් ද වෙයි. එහෙත් මෙවර පළමු ජනාධිපති අපේක්ෂක විවාදය ඇට්ලැන්ටාහි පැවැත්වුණේ සුප්‍රකට ගෝලීය මාධ්‍ය ජාලයක් වන සී.එන්.එන්. ආයතනයේ මූලස්ථානය එහි පිහිටා ඇති නිසාය. පළමු ජනාධිපතිවරණ විවාදයේ සත්කාරක මාධ්‍ය ආයතනය වූයේ සී.එන්.එන්. රූපවාහිනියයි. සී.එන්.එන්. යනු උග්‍ර ට්‍රම්ප් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ මාධ්‍ය ආයතනයකි. අමෙරිකාවේ මාධ්‍ය ආයතනවල විශේෂත්වයක් වන්නේ බොහෝ ප්‍රධාන මාධ්‍ය දේශපාලන පක්ෂවලට නැඹුරුවක් දැක්වීමයි. එය රහසිගතව නොව එළිපිටම සිදුවන්නකි. මැතිවරණ සමයන්හිදී මාධ්‍ය ආයතන බොහෝ විට තමන් යම් පක්ෂයකට සහාය දක්වන බව විවෘතවම නිවේදනය කිරීමේ තත්ත්වයක්ද එරට දක්නට ඇත.  උදාහරණයක් ලෙස ෆොක්ස් රූපවාහිනිය නිරන්තරයෙන් රිපබ්ලිකන් පක්ෂයට දැඩි නැඹුරුවක් දක්වයි. ඔවුන්ගේ සියලු වැඩසටහන් වලදී රිපබ්ලිකන් පක්ෂය ප්‍රවර්ධනය කරනු දක්නට හැක. සී.එන්.එන්. රූපවාහිනිය වැඩි නැඹුරුවක් දැක්වූයේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. එක් අවස්ථාවක ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පාලන සමයේදී සී.එන්.එන්. වාර්තාකරුවෙකු ධවල මන්දිරයෙන් පලවා හැර තිබීම නිසා මතබේදකාරී තත්ත්වයක්ද පැවතිණ. කෙසේ වෙතත් ට්‍රම්ප් හා බයිඩන් යන දෙදෙනාම මෙවර සී.එන්.එන්. මධ්‍යස්ථානයේ පැවති විවාදයට එක්වූයේ කිසිදු පැකිළීමකින් තොරවය. 
විවාදයේ පෙර සිරිත කඩකිරීම
ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතර විවාදය ඉකුත් සිකුරාදා අමෙරිකාවේ වේලාවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රි 11 ට එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සිකුරාදා අලුයම 6.30 ට ආරම්භ කෙරිණ. ඉතිහාසයේ අමෙරිකානු ජනාධිපති අපේක්ෂකයන් අතර දක්නට ලැබුණු සුහද, ආචාරශීලී, එහෙත් තර්කානුකූල ස්ථාවරය වෙනුවට අපට දක්නට ලැබුණේ ප්‍රතිවාදීන් දෙදෙනෙකු අතර පවතින එදිරිවාදී ස්වරූපයයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සාමාන්‍යයෙන් දක්වන්නේ දැඩි ස්වරූපයක් මෙන්ම සිනහමුසු බව ඔහු ගෙන් මෙවැනි අවස්ථාවලදී දක්නට ලැබෙන්නේ නැත.  විවාදයේදී අපේක්ෂකයන් දෙදෙනාම පෙර පැවති වැදගත් සිරිතක් වුවමනාවෙන්ම මගහැරියහ. ඒ අපේක්ෂකයන් විවාදයට පෙර අතට අත දී එකිනෙකාට සුබපතාගැනීමේ සිරිතයි. ඒ වෙනුවට අපේක්ෂකයන් දෙදෙනා තම තමන්ගේ ස්ථාන වෙත ගොස් විවාදය ඇරඹීමට උත්සුක වුණේ පෙර සිරිත කඩකරමිනි. 2016 ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන්ද ට්‍රම්ප්ට අතට අත දීම ප්‍රතික්ෂේප කර තිබිණ. එහෙත් එවැනි දැනුම්දීමකින් තොරව එම සිරිත නිකම්ම නොසලකා හරිනු ලැබුවේ මෙවර විවාදයේදීය.
විවාදයේදී ට්‍රම්ප්ගේ බැරෑරුම් මෙන්ම ආක්‍රමණශීලී ස්වරූපය කැපීපෙනිණ. සාමාන්‍යයෙන් ට්‍රම්ප් යනු ඉතා සැර දැඩි ලෙස පහර දෙන කථිකයෙකි. ඔහු උපහාසාත්මක මෙන්ම ඉතා තියුණු වාග් ප්‍රහාර එල්ල කිරීමට සමත් අයෙකි.  ඒ හා සසඳන කළ ජෝ බයිඩන් යනු එතරම් චතුර කථිකයෙකු නොවේ. ඔහුගේ කතා විලාසය මෘදුය. කතා කිරීමට වෙලා ගනී. අදහස් ප්‍රකාශ කිරීම සෙමිනි. ලොකුම ප්‍රශ්නය වන්නේ ඔහුට නම් හා වචන පැටලීමයි.  එය අද ඊයේක හෝ ඔහුගේ වයස්ගත ස්වභාවය නිසා හෝ ඇතිවන්නක් නොවේ. බයිඩන්ගේ වචන පැටලු‍ම් අමෙරිකානු දේශපාලනය හා සමාජ මාධ්‍ය අතර එක්තරා උපහාසාත්මක ප්‍රපංචයකි. උදාහරණයක් ලෙස බයිඩන් 2008 වසරේදී බරක් ඔබාමා ජනාධිපති පදවිය සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී ඔහුගේ උපජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදිණ. එම ඡන්ද ව්‍යාපාරයේදී පවා ඔබාමා ප්‍රමුඛ කථිකයා විය. බයිඩන් අඩුවෙන් අදහස් දැක්වූ ස්වරූපයක් පැහැදිළිව පෙනෙන්නට තිබිණ. ජෝ බයිඩන්ට ඔබාමා මැතිවරණ සමයේ සිදුවූ ලොකුම පැටලීමක් වූයේ ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ජෝන් මැකේන්ගේ නම වෙනුවට ඡන්ද ප්‍රචාරක වේදිකාවකදී ජෝන් මැක්ලේන් යනුවෙන් ප්‍රකාශ කිරීමයි. ජෝන් මැක්ලේන් යනු සුප්‍රකට ඩයි හාඩ් චිත්‍රපට මාලාවේ බෲස් විල්ස් රඟපෑ චරිතයයි.  මේ නිසා විවාදයට පෙර සිටම වැඩි වාසිය ට්‍රම්ප්ට ඇති බව මාධ්‍ය මෙන්ම දේශපාලන නිරීක්ෂකයන්ගේ ද තක්සේරුව විය. 
බයිඩන්ගේ අසනීපය
විවාදයට පෙර සිට බයිඩන් ජනාධිපතිවරයාට පැවති අවාසිදායක තක්සේරුවක් වූයේ ඔහුගේ වයසයි. අවුරුදු 81ක් වන පුද්ගලයෙකුට ලෝක බලවතා වන අමෙරිකාවේ නායකත්වය දැරිය හැකිද?  එරට දේශපාලනික අංශ අතර කතාබහට ලක්වූ මූලික කාරණයක් වූයේ එයයි. දෙවැන්න ඔහු ජනාධිපති පදවිය දැරීම සඳහා ශක්තිමත් මෙන්ම මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවේද යන ප්‍රශ්නයයි. බයිඩන් ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය ගැන වරින් වර අමෙරිකානු දේශපාලන ක්ෂේත්‍රයෙහි කතාබහ පැවතිණ. ඔහු කිහිප විටක් පය පැටලී වැටීම හා වාරු නැති බවක් පෙන්වූ අවස්ථා කිහිපයක් මාධ්‍ය හමුවේ, අමෙරිකානු වැසියන්ගේ ඇස් හමුවේ දිගහැරී තිබිණ. එය බයිඩන්ට අවාසිදායක තත්ත්වයකි. ජෝ බයිඩන් හා ට්‍රම්ප් අතර විවාදය ප්‍රතිපත්ති මත පදනම් වූ විද්වත් කතාබහක් වනු ඇතැයි අමෙරිකානුවෝ කිසිසේත් අපේක්ෂා නොකළහ. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ පුද්ගලික ප්‍රහාර උත්සන්න වූ වාග් යුද්ධයකි. එය බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සිදුවිය. එහෙත් මෙය ඡන්ද ව්‍යාපාරයට මහත් අවාසිසහගත තත්ත්වයක් ගෙන දෙන විවාදයක් වනු ඇතැයි බයිඩන්ගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ කිසිසේත් නොසිතූහ. ඔවුන් අපේක්ෂා කළේ ට්‍රම්ප්ගේ ආක්‍රමණශීලී බවට බයිඩන් උපායමාර්ගික ආකාරයෙන් මුහුණ දෙනු ඇතැයි යන්නයි. එහෙත් බයිඩන් විවාදයේදී පෙන්නුම් කළේ ඉතා දුර්වල ස්වරූපයකි. ට්‍රම්ප් මතු කළ කාරණාවලට උත්තර දීමේදී ඔහු ඉතා දුර්වල කතා විලාසයක් පෙන්නුම් කළේය. එක් අවස්ථාවක ට්‍රම්ප් කියා සිටියේ “මේ මනුස්සයා කියන දෙයක් මට තේරෙන්නේ නැහැ යනුවෙනි“  ඇතැම් අවස්ථාවල බයිඩන්ගේ හඬ එක්තරා ආකාරයකට වෙව්ලන බවක් පෙන්නුම් කළේය. 


ඔහුගේ උත්තර තර්කානුකූල නොවීය. ට්‍රම්ප් සුපුරුදු පරිදි මතභේදාත්මක ප්‍රකාශ කළේය. අමෙරිකානු මාධ්‍ය කියා සිටියේ ඔහු කියූ ඇතැම් දේ ෆැක්ට් චෙක් ක්‍රමවේදය ඔස්සේ යළි පරීක්ෂාවට ලක්කළ යුතු බවයි. එහෙත් එම අසත්‍ය යැයි සැලකෙන කරුණුවලට අභියෝග කිරීමට තරම් සූක්ෂම භාවයක් බයිඩන්ගෙන් විද්‍යමාන නොවීය. බරපතළම ප්‍රශ්නය වූයේ බයිඩන් තර්ක ගොඩනගද්දී ඔහුගේ තර්කය ඔහු විසින්ම විනාශ කර ගැනීමයි.
ආර්ථික කරුණු සම්බන්ධයෙන් දෙදෙනා අතර සංවාදයට ලක්වූයේ බයිඩන් පාලන සමයේ උග්‍ර වූ අමෙරිකානු උද්ධමනය හා රැකියා විරහිතභාවය ගැනයි. ට්‍රම්ප් කියා සිටියේ තමා භාරදුන් යහපත් ආර්ථිකය බයිඩන් විනාශ කළ බවයි. ට්‍රම්ප් භාර දෙන විටම අමෙරිකානු ආර්ථිකය යහපත් තත්ත්වයක නොතිබූ බව බයිඩන්ගේ තර්කය විය. ඔහු පෙන්වා දුන්නේ ට්‍රම්ප් තමන්ට රට භාර දෙන විට උද්ධමනයක් පෙන්වීමටවත් ආර්ථිකය පණ කඳ ඇති තත්ත්වයක නොතිබූ බවයි. එහෙත් සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නේ ට්‍රම්ප් යුගයේ සීයට1.4ක්ව පැවති උද්ධමනය බයිඩන්ගේ පාලන සමයේ සීයට 9.2 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවය. 
අපේක්ෂා කළ පරිදිම විවාදය ප්‍රතිපත්තිමය කරුණු වෙනුවට පුද්ගලික සිද්ධීන් ගෙන් ගහන විය. බයිඩන් ට්‍රම්ප්ගේ නඩු විභාග ගැන කතා කළ අතර ට්‍රම්ප් බයිඩන් පුත්‍ර හන්ටර් බයිඩන්ගේ නඩු ගැන කතා කළේය. 
ඩිමොක්‍රෙටික් පාක්ෂිකයන්ගේ අදහස වන්නේ ඔවුන්ගේ අපේක්ෂක ජෝ බයිඩන් පළමු විවාදය “හොඳටම නොකළා පමණක් නොව හොඳටම අනාගත්” බවයි. ජෝ බයිඩන්ගේ දුර්වල ස්වභාවය ඩිමොක්‍රටික් ඡන්ද සටනට බරපතළ අවාසියක් බව පාක්ෂිකයෝ පෙන්වා දෙති. පළමු විවාදයෙන් පසු තවත් විවාද දෙකක් ඇත. බිඳවැටුණු ප්‍රතිරූපය යළි නංවා ගැනීමට බයිඩන්ට ලැබෙන්නේ එම අවස්ථා දෙක පමණි. මැතිවරණ වේදිකා ජාතික මට්ටමට ආමන්ත්‍රණය නොකරන බැවින් විවාද ඉතා වැදගත් ඡන්ද ප්‍රචාරක සාධකයකි. කෙසේ වෙතත් පළමු විවාදයේදී බයිඩන් පෙන්නුම් කළ දුර්වල විලාසයෙන් ඇතිවූ හානිය යළි ආපසු හැරවීමට බයිඩන්ගේ ඡන්ද ව්‍යාපාරයට හැකිවේද යන්න ප්‍රශ්නයකි. විවාදයෙන් පසුව මාධ්‍යයන්ට අදහස් දැක්වූ බොහො ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ අදහස වූයේ පක්ෂයේ ඡන්ද සටන ට්‍රම්ප්ට වාසිදායක අතට දෝලනය වී ඇති බවයි.  මේ අනුව එළඹෙන නොවැම්බර් මාසයේ පස්වැනිදා පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයේදී බයිඩන් ජනාධිපතිවරයාට යළි ධුරකාලයක් හිමිවේද නැද්ද යන්න ගැන අමෙරිකානු ජනයා අතර පුළුල් සංවාදයක් ගොඩනැගී ඇත.

 



අදහස් (0)

ඇමෙරිකානු මුත්තලාගේ ගැටුම බරපතළයි බයිඩන්ට හානි ට්‍රම්ප්ට වාසි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මියන්මාරයේ පිපිරීමට ආසන්න ථෙරවාදී බලකොටුව
2024 අගෝස්තු මස 21 98 0

මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා


හසීනා ගෙදර යවා යුනුස් ගෙනා අරගලය කෙන්යාවටත් පතිරිලාද? එංගලන්තයත් උදාහරණයට ගනී ද?
2024 අගෝස්තු මස 12 111 0

“ඇය යන්න ගියා මැකිලා’’ - අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගීතයක්. බංග්ලාදේශයේ මේ දිනවල ගැයෙන්නේ මෙවැනි ගීතයකි. හසීනා යන්නම ගියාය.


හිට්ලර් සුසානයෙන් නැගිටුවන ඊශ්‍රායල් පලස්තීන වෛරය
2024 අගෝස්තු මස 05 165 0

හේල් හිට්ලර්...හේල් හිට්ලර්....හේල් හිට්ලර්....මේ හඬ - දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර්ගේ නාසි හමුදාව සිය නායකයාට ගරුකිරීමට යොදාගත් පාඨයයි. 1945 හිට්ලර්ගේ මරණයෙන්


කෝටා ක්‍රමයට එරෙහිව ගිනිගත් බංගලාදේශය
2024 අගෝස්තු මස 02 91 0

මේ අපේ අසල්වැසි දකුණු ආසියානු රටක් වන බංග්ලාදේශයෙන් ඉකුත් සතියේ අසන්නට ලැබුණු පුවත් සිරස්තල කිහිපයක්.


ලොව දියුණුතම අධ්‍යාපන ක්‍රමය සහිත ෆින්ලන්තයේ කතාව
2024 ජුලි මස 31 110 0

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු අංශ අතර අධ්‍යාපනය පසුවෙන්නේ ප්‍රමුඛ තැනකය.


වෙඩි කෑ ට්‍රම්ප් බලවත්
2024 ජුලි මස 22 98 0

“2024 අැමෙරිකානු ජනාධිපතිවරණය අපි මින් පෙර නුදුටු, හිතාගන්නටත් අපහසු මානයක් කරා යොමු වෙනවා.” මෙසේ ප්‍රකාශ කළේ මීට දින කිහිපයකට පෙර මට මැලේසියාවේදී හමුව


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site