ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා වශයෙන් අභිනවයෙන් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු මතභේදාත්මක විධායක නියෝග රැසකට සිය අස්සන යෙදූ අතර, ඇමෙරිකාව දැනට ලෝක මට්ටමින් සිදු කරන අරමුදල් සැපයීම දින 90 කට අත්හිටුවීමට ගත් තීරණය ද ඉන් එකකි. සමාලෝචනයක් කිරීමෙන් පසු එම අරමුදල් සැපයීම් නතර කරන්නේ ද, මුදල් කප්පාදු කරන්නේ ද, යන්න ගැන තීරණය වනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ තීරණය අනුව ඇමෙරිකාවේ ප්‍රධාන අන්තර්ජාතික අරමුදල් සපයන ආයතනය වෙන අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් දැනට සිදු කරනු ලබන සියලු ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවා ඇත. එම ආයතනයෙන් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයකට සංවර්ධන අරමුදල් කාලයක් තිස්සේ ලබා දෙන අතර, විශේෂයෙන් ම රාජ්‍ය නොවන සංවිධාන බහුතර ප්‍රමාණයක් එහි අරමුදල් මත ක්‍රියාත්මක වේ.
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ තීරණයත් සමග ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ද මේ වනවිට විශාල අර්බුද ගණනාවකට මුහුණ දී සිටියි. විශේෂයෙන් ම ඇමෙරිකානු ආධාර මත ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් මේ වනවිටත් ඒවායෙහි ප්‍රමුඛ ව්‍යාපෘති අත්හිටුවා ඇති බව දැනගන්නට ලැබෙන අතර, එම ආයතනවල සේවය කළ විශාල පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් ද මතුව ඇත. මෙරට විශ්වවිද්‍යාලවලින් විශේෂයෙන් ම කලා උපාධිය සම්පූර්ණ කරන අයගෙන් රාජ්‍ය සේවයට එකතු වන පිරිස හැර ඉතුරු අයගෙන් බහුතරයක් දෙනා රාජ්‍ය නොවන සංවිධානවලට එකතු වන අතර, දින 90 ක් සඳහා බලපැවැත්වෙන පරිදි ගත් මේ තීරණය දීර්ඝ කරමින් අමෙරිකාවෙන් රාජ්‍ය නොවන සංවිධානවලට ලබා දෙන අරමුදල් අත්හිටුවුව හොත් - විශ්වවිද්‍යාලවලින් පිටවෙන අයට රැකියා ලබාගැනීමට ඇති හැකියාව ද අහිමි වන බව රාජ්‍ය නොවන සංවිධාන දෙකක විධායක අධ්‍යක්ෂවරු “ඉරිදා ලංකාදීප”යට පැවසූහ.
මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණය සඳහා ආයතනයක් ද ඇති අතර, එය හඳුන්වන්නේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යනුවෙනි. ඒ අනුව සියලුම රාජ්‍ය නොවන සංවිධාන මෙම ලේකම් කාර්යාලයෙහි ලියාපදිංචි විය යුතු අතර ඒවා අධීක්ෂණය කිරීම මෙම ආයතනයට පැවරී ඇති ප්‍රමුඛ කාර්යයකි. රජයේ ප්‍රකාශකයෙකු අප පුවත්පතට පැවසුවේ ලංකාවේ දැනට ක්‍රියාකාරී රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි වූ ඒවා) 625 ක් පවතින බවය. ඔහු පෙන්වා දෙන්නේ ඇමෙරිකාවේ මේ තීරණයත් සමග ඍජුවම ඇමෙරිකානු ආධාර මත ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන 1500 ත් 2000 ත් අතර පිරිසකගේ රැකියා අවදානමකට ලක් විය
හැකි බව ය.
“ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන 1800 ගණනක් තියෙනවා. එවායෙන් 625 ක් ක්‍රියාකාරී මට්ටමේ තියෙන ඒවා. ආසන්න වශයෙන් මේ සංවිධානවල 8000 ක පමණ සේවක පිරිසක් වැඩ කරනවා. ඇමෙරිකානු ආධාර මත ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධාන 16 ක් විතර තියෙනවා. ලංකාවට වාර්ෂිකව ඇමෙරිකාවෙන් ලැබෙන මුදල්වලින් සියයට 50 ක් පමණ ඒ සංවිධාන 16 අතර බෙදෙනවා. ඒ නිසා ඒවාට මෙයින් විශාල බලපෑමක් සිදු වෙනවා. 2024 දී විතරක් ඒ සංවිධානවලට රුපියල් බිලියන 21 ක මුදලක් ලැබිලා තියෙනවා. 2023 දී රුපියල් බිලියන 15 ක් පමණ ලැබිලා තියෙනවා. ඒ සංවිධාන බොහොමයක් දැනුම් දීලා තියෙනවා ඔවුන්ගේ ව්‍යාපෘති නතර කරලා තියෙන්නෙ කියලා. ඇමෙරිකාවේ මේ තීරණයෙන් රාජ්‍ය නොවන සංවිධානවල රැකියා 1500 ත් 2000 ත් අතර ප්‍රමාණයක් අවදානමට ලක් විය හැකි බව අපේ ගණන් හැදීමයි.” හෙතෙම ප්‍රකාශ කළේ ය.
USAID ආයතනයේ ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ මෙහෙයුම් භාරව කටයුතු කරන ප්‍රධානියා ගෙන් මේ ගැන සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස තමන් ඉල්ලීමක් කර ඇති බවත්, මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාරයක් නොලැබුණු බවත් අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අල්ලපනල්ලේ ඇමෙරිකානු අරමුදල් මත ඍජුව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන වෙත මේ වනවිටත් ඒ ඒ ව්‍යාපෘති නතර කරන ලෙස ලිඛිතව දැනුම් දී ඇතැයි දැනගන්නට ලැබෙන අතර, ඒ අනුව බොහොමයක් ව්‍යාපෘති අතරමග නතර කර තිබේ. ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා “ඉරිදා ලංකාදීප”යට හෙළි කළේ එම ආයතනය මගින් ඇමෙරිකානු අරමුදල් මත සිදු කරමින් සිටි ප්‍රධාන ව්‍යාපෘති දෙකක කටයුතු නතර
කළ බවය.
“ඇමෙරිකානු ජනාධිපතිවරයා ගත් මේ තීන්දුවෙන් එරටින් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට අසාධාරණයක් වෙනවා. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව තමයි මේ අරමුදල් ලබා දෙන එක නතර කරලා තියෙන්නෙ. මෙහෙම තීරණයක් ක්‍රියාත්මක කරද්දි අපිට ඒ සඳහා සූදානම් වෙන්න සාධාරණ කාලයක් දෙන්න ඕනැ. මොකද ඇමෙරිකාවෙන් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන සේවකයන්ට වැටුප් ගෙවිය යුතුයි. ඒ වගේම ආරම්භ කරපු ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම අපේ ආයතනයේ සේවය කරන සේවකයන්ව නිකන් අතහරින්න බෑ. මේ තීරණයත් එක්ක අපේ සියලු ව්‍යාපෘති ඇනහිටලා තියෙන්නෙ. ජාතික සාම මණ්ඩලය හවුල්කාරී ආයතන සමග ඇමෙරිකානු ආධාර යටතේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කරනවා. එක ව්‍යාපෘතියක් හවුල් සංවිධාන 14 ක් සමගත් අනික හවුල් සංවිධාන 4 ක් සමගත් ක්‍රියාත්මක කරනවා. ඒ ඔක්කොම දැන් නැවතිලා තියෙනවා. ජාතික සාම මණ්ඩලයේ සේවය කරන දොළොස් දෙනෙකුගේ විතර රැකියා අවදාමකට ලක් වෙනවා. කසළ කළමනාකරණය අධ්‍යාපනය ආදී අංශ රැසක ව්‍යාපෘති මෙයින් අවදානමට ලක් වෙනවා.
මේ දින 90 ක කාලයෙන් පසු මොන වගේ තීරණයක් ගනියි ද කියන්න අපි දන්නෙ නෑ. ආධාර මුදල් සම්පූර්ණයෙන් ම නතර කරයි ද නැතිනම් අඩු කරයි ද මේ කිසි දෙයක් ගැන අපි දන්නෙ නෑ. විශේෂයෙන්ම USAID ආයතනයෙන් අරමුදල් පමණක්ම නොවෙයි විවිධ ක්ෂේත්‍රවලට අදාළ විශේෂඥ දැනුමත් ශ්‍රී ලංකා රජයට හිමි වුණා. මේ තීරණයත් සමග මේ දේවලුත් අහිමි වෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරයා ගේ මේ තීරණයෙන් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව පොදුවේ සිවිල් සමාජයට විතරක් නොවෙයි රජයටත් බරපතළ පඩුවක් සිදු වෙනවා” ඔහුගේ පැහැදිලි කිරීම
එබඳු විය.
ඇමෙරිකානු අරමුදල් මත ක්‍රියාත්මක වන මෙරට ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු “ඉරිදා ලංකාදීප”යට පෙන්වා දුන්නේ මෙය ඛේදවාචකයක් ලෙස සැලකිය හැකි තීරණයක් බවය.
“මේක ඛේදවාචකයක්. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ තීරණයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට විශාල බලපෑමක් වෙනවා. මේ අරමුදල් නැති වුණහම කරගෙන ආපු ව්‍යාපෘති කරන්නත් සේවකයන්ගෙ වැටුප් ගෙවා ගන්නත් බෑ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පසුගිය කාලයේ දී ඇමෙරිකානු ආධාර මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අයිතිවාසිකම්, සංක්‍රාන්ති යුක්තිය මේ ආදී අංශ විශාල ප්‍රමාණයකට අදාළ ව්‍යාපෘති සිදු කළා. අපේ ආයතනයට විදේශ රටවලින් ලැබෙන අරමුදල්වලින් සියයට 35 ක් පමණ ලැබුණෙ ඇමෙරිකාවෙන්. මින් ඉදිරියට අපිට විශ්වවිද්‍යාලවලින් පිට වෙන ළමයින්ට රැකියා ලබා දෙන්න බෑ. දැන් අපිට ඇමෙරිකානු මුදල් එක්ක කිසි දෙයක් කරන්න බෑ. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ අලුත් තීරණයෙන් ඉලක්ක කරලා තියෙන්නෙ විවිධත්වය, සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය වගේ ක්ෂේත්‍රවලට සම්බන්ධ ව්‍යාපෘති. අපේ ආයතනය ගොඩක් කරන්නෙත් ඒ තේමාවලට අදාළ ව්‍යාපෘති. මේ දින 90 තීරණය තව දීර්ඝ වුණොත් එයින් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වයටත් ලංකාවේ ආර්ථිකයටත් විශාල බලපෑමක් වෙනවා. මේ තීන්දුව ගැන ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට මොනවත් කරන්න බෑ”.
කෙසේවෙතත් අයිපෙන් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ජීවරත්නම් සුරේෂ් පවසන්නේ ට්‍රම්ප් පරිපාලනයෙන් කුමන තීරණ ගත්තත් සිය ආයතන කරගෙන ආ වැඩකටයුතු අඛණ්ඩව කරගෙන යන බවය. “පුරවැසි හා ඡන්ද අධ්‍යාපනය ගැන ජනතාව දැනුවත් කරන වැඩසටහන් අපි ලංකාව පුරාම කරගෙන යනවා. ඊට අදාළ එක ව්‍යාපෘතියකට ඇමෙරිකානු ආධාර ලබා ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කළත් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ තීරණයත් එක්ක ඒක අවලංගු වුණා. එහෙම වුණා කියලා අපි කරන් යන වැඩ නතර කරන්නෙ නෑ” හෙතෙම පැහැදිලි කළේ ය.
ඇමෙරිකාව ඉකුත් කාලයේ දී වෙනත් රටවල මානව හිමිකම් උල්ලංඝනය වීම් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතවලට එරෙහිව ජගත් තලයේ දී දිගටම හඬ නැගූ අතර, ඒ හේතුවෙන් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයකුගේ භූමිකාවක් නිරූපණය කළේ ය. එයින් නොනැවතී වෙනත් රටවල මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ ආණ්ඩුකරණය ප්‍රවර්ධනය කිරීම පිණිස USAID ආදී සංවිධාන ඔස්සේ අරමුදල් ද සැපයීය. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ තීරණයත් සමග ඇමෙරිකාවේ එම භූමිකාවට කුමක් සිදුවනු ඇති ද යන්න විමසුමට ලක් කළ යුතු තේමාවකි. මේ ඒ සම්බන්ධයෙන් රුසියානු ෆෙඩරේෂණයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක “ඉරිදා ලංකාදීප”ය වෙත කළ පැහැදිලි කිරීමයි.
“මෙතනදී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයේ තියෙන අති සුවිශේෂභාවය තේරුම් ගැනීම වැදගත්. පළමු ධුර කාලයේ දී ඔහු යම් පෙරළියක් කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වූයේ ඇමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා නිලධර තන්ත්‍රයෙන් පැනනැගි බාධා නිසා. නමුත් මෙවර ඔහුගේ පත්වීම වෙනස්. මෙවර ට්‍රම්ප් ජනාධිපතිවරයාත් ඔහුගේ මතය දරන කණ්ඩායමත් උත්සාහ කරන්නෙ, ඇමෙරිකාව ඇතුළතින් උඩු යටිකුරු කරන්නත් ඇමෙරිකාව ලෝකයේ සිටින විදිය උඩු යටිකුරු කරන්නත්. ඒක තමයි ඔහු දැන් පටන් ගෙන තියෙන්නෙ. ට්‍රම්ප් හිතන්නෙ ලෝකය තමන්ගෙ ආරක්ෂාව සඳහා ඇමෙරිකාව පාවිච්චි කරලා තියෙන නිසා බාහිර ලෝකය සම්බන්ධයෙන් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවයි. USAID සංවිධානය සම්බන්ධයෙන් ඇමෙරිකානු ඉතිහාසයේ සිටි කිසිදු ජනාධිපතිවරයෙක් නොකියූ මතයක් ට්‍රම්ප් හා ඔහුගේ හිතවතුන් ඉදිරිපත් කරනවා. ඊලෝන් මස්ක් එක්ස් පණිවුඩයකින් කියා තිබෙන්නෙ එම සංවිධානය අපරාධ සංවිධානයක් කියලා. මේ වෙද්දි USAID හි වැඩකටයුතු මාස තුනකට අත්හිටුවලා තියෙන්නෙ. මේ තහනම තව දිගු වෙන්නත් පුළුවන්. ලංකාවත් සෙසු ලෝකයත් තේරුම් ගන්න ඕන ට්‍රම්ප්ගෙ න්‍යාය පත්‍රය හා ඔහුගෙ දේශපාලන චර්යාව අමුතු එකක් සහ ඉතිහාසයේ පළමු වතාවට සිද්ධ වුණු දෙයක් කියලා. මෙවැනි තත්ත්වයක USAID සංවිධානයෙහි හෝ වෙනත් එවැනි ඇමෙරිකානු සංවිධාන මත යැපෙමින් කටයුතු කරන ආයතන හෝ ව්‍යාපෘති තියෙනවා නම් ඔවුන් තේරුම් ගන්න ඕන ලෝකය වෙනස් වෙමින් යන්නෙ කියලා. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබෙන්නේ චීනය පරාජය කිරීම සහ ඇමෙරිකාවේ තනි සුපිරි බලවතා ගේ තත්ත්වය කෙසේ හෝ නැවත ඇති කිරීම. නමුත් එය කළ හැකි
දෙයක් නොවෙයි.
මානව හිමිකම් බලපෑම් කිරීම ඔස්සේ ඇමෙරිකාවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප්ගේ මූලෝපාය නොවේ. ඒ ක්‍රමවේදය හඳුන්වන්නෙ මෘදු බලය ලෙස. ඒ කියන්නෙ මතවාදීමය වශයෙන් අදහස් පද්ධතියක් ඉස්සරහට තල්ලු කිරීම. ඒ වෙනුවට ඔහු විශ්වාස කරන්නෙ දෘඪ බලය ගැන. එයින් අදහස් කරන්නෙ එක පැත්තකින් යුද ශක්තිය. අනිත් පැත්තෙන් තීරු බදු. අපි මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. මානව හිමිකම් න්‍යාය පත්‍රය ඇමෙරිකාව තල්ලු නොකළට ඒ කාර්යය බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර යුරෝපය සිදු කරයි. මානව හිමිකම් සම්බන්ධයෙන් බලපෑම් එල්ල නොකළත් චීනය සමග තියෙන සබඳතා කේන්ද්‍ර කරගෙන ට්‍රම්ප් පරිපාලනයෙන් ලංකාවට බලපෑම් එල්ල වෙන්න පුළුවන්”.
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන එක්සත් ජනපද නියෝජිතායතනය මෙරටේ රාජ්‍ය නොවන සංවිධානවලට මෙන්ම නොයෙක් අවස්ථාවල ශ්‍රී ලංකා රජයට ද සංවර්ධන ආධාර ලබා දී ඇති අතර ඒ සඳහා දැක්විය හැකි ආසන්නතම උදාහරණය නම්, 2022 වසරේ දී ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ දී ලබා දුන් මූල්‍ය සහාය යි. ඒ යටතේ වසර 5 ක කාලයක් සඳහා ඩොලර් මිලියන 65 ක අතිරේක සංවර්ධන ආධාර ශ්‍රී ලංකාවට ලබාදීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන හා USAID හි ශ්‍රී ලංකාව හා මාලදිවයින මෙහෙයුම් ප්‍රධානි ග්‍රේබියල් ග්රූ පස් අවුරුදු සැලැස්මකට අස්සන් තැබූහ. ඒ සම්බන්ධයෙන් 2022 වසරේ සැප්තැම්බර් 16 වැනි දින එක්සත් ජනපදයේ කොළඹ තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයෙහි දැක්වුණේ 1956 සිට මේ දක්වා (2022 දක්වා) ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලර් බිලියන දෙකකට (රුපියල් බිලියන 720 ඉක්ම වන මුදලක්) වැඩි සංවර්ධන ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවය. USAID ආදී ආයතන මගින් ලෝකයේ රටවලට ලබා දෙන සංවර්ධන ආධාර දිගුකාලීනව නතර කිරීමට හෝ කප්පාදු කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කළ හොත් එයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් දැඩි බලපෑම් එල්ල වනු ඇත. එබැවින් මෙය එන්ජීඕවලට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවන අතර එයින් සමස්ත ආර්ථිකයටම ප්‍රශ්න මතු කරනු ඇත.
උපුල් වික්‍රමසිංහ
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා වශයෙන් අභිනවයෙන් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු මතභේදාත්මක විධායක නියෝග රැසකට සිය අස්සන යෙදූ අතර, ඇ
කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ
සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික
සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ට්‍රම්ප් නිසා ලංකාවේ NGO රස්සා නැති වෙයි ද?