සිංහල නිදහස් කවියට මෙතෙක් අවිෂය විණැ යි හැඟෙන වස්තුවිෂයයක් සහිත ව මවිසින් නිමැවුණු කවියක් පිළිබඳ සටහනක් මෙවර ඉදිරිපත් කරනු රිසියෙමි . ඒ, එකී නිමැවුම ඔසවා තැබීමට නො ව,ඊට පිටුදුන් චින්තාව කවරේදැ යි පවසනු පිණිස ය.කවියක් යනු අදහසක් හෝ යම් දෘෂ්ටිවාදයක් නො වේ.ඒවා පිළිබඳ ව කවියා තුළ හටගන්නා සංවේදනාවන්හි ප්‍රතිඵලයකි.ඒ වනාහි කිසියම් දර්ශනවාදයක් හෝ ආගමක් ගැන මත ප්‍රකාශ කිරීමක් නො වේ ය යන්න ස්ටීවන් ස්පෙන්ඩර් නම් විචාරකයා ගේ අදහසයි.කවියකු සිය කවියට අදහස් ප්‍රවේශ කරන්නේ නම්,එ සේ කරනුයේ සිය නිමැවුමේ යම් යම් අදහස් බහා තැබීමට නො වේ.ඒ අදහස් සම්බන්ධයෙන් වූ ස්වකීය විඳීම සනිටුහන් කිරීම සඳහා ය.
තිච් නහ්ත් හාන්හ් නම් අග්‍රගණ්‍ය බෞද්ධාචාර්‍යයන් වහන්සේ ගේ ග්‍රන්ථයක් මීට වසර අටකට පමණ පෙර කියවන්නට ලැබිණි .එය You are here නම් වෙයි.ඒ හිමියන් ශබ්දකෝෂයට එක් විය යුතු යැ යි හඟින යෙදුම වන Interbeing නොහොත් අන්තර් ප්‍රවර්තනය ( පැවැත්ම ) නම් ඉගැන්වීම මා තුළ කලක් බලපැවැත්වී ය. ඒ ඇසුරින් මා තුළ ඇති වූ සංවේදනය කවියක වෙසින් කෙසේ ඉදිරිපත් කරම් දැ යි සිතමින් ගතකරන අතර මම,හිතවතකු ලෙස හුන් කෙනකුන් ගේ ආදාහන කටයුතු සිදු වන එක්තරා සොහොන් බිමකට ගියෙමි.මරණයේ නිශ්ශබ්දතාව වැනි යමක් හාත්පස පැතිර පැවැති උද්‍යානයක් බඳු ඒ සීතල සුසානයෙහි දී මට ,මා අතීතයේ විසූ ඉඩ අවකාශ සහිත ඉඩමෙහි වූ පවුලේ සොහොන් බිම සිහි විය.ඒ ස්මරණය සමඟ කවියේ ස්වරූපය නිතැතින් ගොඩනැඟිණි.
නහ්ත් හාන්හ් හිමියන් ගේ Inter being යන්න,මණ්ඩාවල පඤ්ඤාවාස හිමි, අන්තර් වීම හා අන්තර් පැවැත්ම ලෙස භාවිත කළ ද, එය අන්තර් ප්‍රවර්තනය ලෙස වැහැරීමට කැමැත්තෙමි .තිච් නහ්ත් හාන්හ් යතිවරයා පවසන්නේ," මා මගේ අතින් ගෙන සිටින මේ කඩදාසියට , උපන් ස්ථානයක් හා වේලාවක් කිව හැකි බවයි.එහෙත් එය සත්‍යය නො වේ.එය උපන්නේ කවරදා දැ යි කිව නොහැකි ය.මන්ද එය කඩදාසි කැබැල්ලක් ලෙස පෙනෙන්නට පෙර,දැනටමත් මෙහි ගසක ස්වරූපයෙන්, වලාකුළක ස්වරූපයෙන් පැවැතී ඇත.හිරු හා වැසි නොමැති ව ගස නො වැඩේ.කඩදාසි නොතිබෙනු ඇත.මම මේ කඩදාසි කැබැල්ල ස්පර්ශ කරන විට හිරු ද ස්පර්ශ කරමි .එව්ට මම වලාකුළු ද අතගාන්නේ වෙමි.මේ කඩදාසි කැබැල්ලේ වලාකුළු ද පා වෙමින් තිබේ.එය දැකීම පිණිස ඔබ කවියකු වීම අවශ්‍ය නො වේ.කඩදාසි කැබැල්ලෙන් වලාකුළ වෙන් කිරීමට මට හැකි වූයේ නම්,කඩදාසි තව දුරටත් නොපවතිනු ඇත .
මේ කඩදාසි කැබැල්ලේ ස්වභාවය අන්තර් ප්‍රවර්තනය යි.( අන්තර් සම්බන්ධය -interconnectකඩදාසි ස්වභාවය ගැනීමට පෙර එය හිරු,වලාකුළු ,වැස්ස හා ගස් ආකාරයෙන් පැවැත විත් ඇත්තේ ය.එපරිද්දෙන් මිනිසා ද කිසි දෙයකින් උපත නො ලබයි.උපත යනු අඛණ්ඩතාවයේ මොහොතක් පමණි.(A moment of continuation ) එය සංකල්පයක් මිස යථාර්ථයක් නො වේ.
නහ්ත් හාන්හ් හිමි පෙන්නා දෙන්නේ "ඔබේ මිත්තණිය ගේ උපතට පෙර ඔබේ මුහුණ කෙසේ වී ද" යන්න ගැඹුරින් අවලෝකනය කිරීමේ ගමනක් ආරම්භ කළ හොත් ඔබට,තම උපතට පෙර මෙන් ම, මිත්තණිය ගේ උපතට පෙර පවා ඔබ දැකගත හැකි බව වටහාගනු ඇත.ඔබ කිසිත් නැති බවකින් පැමිණියේ නැත.මේ කඩදාසි කැබැල්ල වර්තමාන මොහොතේ එලෙස පෙනී සිටිය ද,අතීතයේ එය වෙනත් ආකාරයන් ගෙන් ප්‍රකාශමාන විය.
ප්‍රංශ විද්‍යාධරයකු වූ Antoine Laurent Lavoisier ( ප්‍රංශ වහරට අනුව ඔංතුවාන් ලෝරොං ලව්වාසියේ ) පවසා ඇත්තේ කිසිවක් නිර්මාණය වී නැති අතර , කිසිවක් නැති නො වේ (Nothing is created and nothing is lost ) යනුවෙනි.ලැවොයිසියර් නම් මේ රසායන විද්‍යාඥයා (1743 - 1794) පැවැසූ කරුණ,ප්‍රඥා පාරමිතා හෘදය සූත්‍රය උගන්වන කරුණ හා සමාන වන බව නහ්ත් හාන්හ් හිමියන් ගේ අදහසයි.
අප කඩදාසි කැබැල්ල පුලුස්සා දැමු ව ද, අපට එය සහමුලින් විනාශ කළ නොහැකි වේ.කඩදාසිය නියතයෙන් ම තාපය බවට පත් වන අතර ,එය විශ්වයට එක් වී දුමාරයක් බවට ද,පත් වෙයි.අනතුරු ව එය අහසේ වලාකුළු හා සම්බන්ධ වෙයි .හෙට වැසි බිඳක් ඔබේ නළල මත වැටෙනු ඇති අතර,ඔබ කඩදාසි කැබැල්ල සමඟ නව සබඳකමක් ඇති කරගනු ඇත.දහනය කිරීමෙන් නිපැයුණු අළු,යළි පොළොවට එකතු වන අතර , යම් දිනෙක රෝසමල් ලෙස පෙනෙනු ඇත.ඒ මල්වල ඇති කඩදාසි කැබැල්ල හඳුනාගැනීමට ඔබට ප්‍රමාණවත් සිහියක් තිබේ දැ යි නහ්ත් හාන් ප්‍රාඥයා අසයි.
අන්තර් ප්‍රවර්තනය නොහොත් Inter -Existence යන්නෙහි ස්වභාවය ස්පර්ශ කිරීම යනු ,මරණය හා උපත නොමැති ස්වභාවය ස්පර්ශ කිරීම ය. ක්ෂණ නියාම නම් කාව්‍ය සංග්‍රහයේ එන,මවිසින් රචිත "ප්‍රවාහ" නම් කවි නිමැවුම මෙබඳු කරුණු සමඟ ගතකිරීමේ ඵලයකි.එහෙත් මේ ධර්මතාව අදහස් වශයෙන් නො ව කවිතාවකින් යුතු ව ප්‍රකාශ වී ඇත් දැ යි විමසා බලන්නැ යි ඔබට ඇරියුම් කරමි.
ප්‍රවාහ
මහගෙදර වත්ත කෙළවර
ගස්ගොම්මනෙහි සැඟැවුණු
පවුලේ සුසානයෙ
නිම් නො වන තුටු රැවු ය
කොවුලන් ගෙ
ඒ සිහිල් ගැබ තුළ
මෑණියන් හොවින තැන
දැදුරු සිහිවටන කුලුන'ස
නව ජන්මයක් විලසින්
පැතිරෙයි වනමලෙක සුද
මපියාණන්ට හිමි වුණ
වදුලෙහි නා වියන යට
පොද බිඳු වෙසින් මොහොතක්
ඔහු රුව ද මේ
මා නුදුරෙහි ම
ඒ පොද වැගිර මුව මත
පුත අප නුඹ සමඟ මැ යි
කියන යම් බසක් එයි සවනට
මේ ළැහැබට පැමිණ
නැවැතුණ පුංචි ම නැඟණි
පලුපත් සසල ලියමඬු තුළ
තව ම ඇත් දැ යි
බලත නිකමට,
සිඟිති වත මඬලක මොළොකින්
ගෑවෙයි ළපත් ගත්
අතු ඉති
දූවිල්ලට එළැඹ
එහි ම නො රැඳී
ඉන් නැඟී
තුරුපත් කුසුම් පවනැලි
වලා වැසි පිනි ඈ
භව ගෙන
මා සමඟ ම ද
තවමත්
මෑණියන් ඔබ හැම දෙන .....
පිළිවදන් සපයන මෙන්
ගුල්මයෙහි මුදුන් කිළියක
රෑ කොවුලකු සෙමෙන්
කුල්නා නද .....
මේ කව පිළිබඳ ව කළ විමැසුමක දී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් පළ කළ අදහස්වලින් බිඳක් සමඟ, මේ සටහන අවසන් කරමි.
" කවියා අප සමඟ බෙදා හදාගන්නේ සුහදයන් ගේ අහිමි වීමක් ගැන කම්පාවක් නො වේ.ජීවිතයේ අරුමය ගැන අකම්පිත ආනන්දයකි.කම්පා වනු කිම!නෙක් අයුරින් ප්‍රවාහය ඇසුරේ නැවත නැවත ඔවුන් මිතු වන සැටි දකින්නට කවියා අපට සුහද ඇරියුම් කරයි.."
සිංහල නිදහස් කවියට මෙතෙක් අවිෂය විණැ යි හැඟෙන වස්තුවිෂයයක් සහිත ව මවිසින් නිමැවුණු කවියක් පිළිබඳ සටහනක් මෙවර ඉදිරිපත් කරනු රිසියෙමි . ඒ, එකී නිමැවුම ඔ
කාව්‍යයේ දී චිත්තරූප ( imagery ) යනු කවියා ගේ පෞද්ගලික අදහස් ,අර්ථකථන,නිගමන,ප්‍රකාශ යනආදි සියල්ල මැඬ නැගෙන සංඥා සමූහයකි.කවියන් මෙකී චිත්තරූප හෙවත් ඉන්ද්‍රී
අතිශය ඌන සමාජ සම්බන්ධතා සහිත නොදියුණු ලෝකයක් කරා ආපසු යෑම සුදුසු යැ යි ප්‍රමුඛ දේශපාලන දාර්ශනිකයකු වූ රූසෝ නිර්දේශ කෙළේ ය.ඒ 18 වැනි සියවසේ ප්‍රංශයේ පැවැ
ලොව උස ම භූමිභාගය වන කත්මණ්ඩු මිටියාවතේ සංචාරයක නියැළී, මීටර පන් දහස ඉක්ම වූ තැන පැතිර පැවැති අනන්තාපරිමාණ නිශ්ශබ්දතාව හා අබිරහස අත්විඳි නිරෝධ නම් හිම
ජපානයේ මූල කාව්‍ය මාර්ගය වූ වකා හෙවත් ටන්කා සම්ප්‍රදායයෙන් අනතුරු ව, 13 වැනි සියවසේ දී එක් වෙසෙස් කාව්‍ය විලාසයක් පෙරමුණට පැමිණියේ ය.හෙයිඅන් යුගය ( 794 - 1191)
අවරදිග ලෝකයේ පවා මහත් අවධානයට පාත්‍ර වූ ජපන් කිවියර ’’ර්යෝකන් තයිගු’’ (1758 - 1837 ) ස්වභාව ලෝකයේ නිසග සුන්දරත්වය හා මුසු ව විසූ හුදෙකලා සෙන් තපස්වී කෙනෙක් වි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අඛණ්ඩතාවයේ මොහොතක් - A movement of continuation