අවරදිග ලෝකයේ පවා මහත් අවධානයට පාත්‍ර වූ ජපන් කිවියර "ර්යෝකන් තයිගු" (1758 - 1837 ) ස්වභාව ලෝකයේ නිසග සුන්දරත්වය හා මුසු ව විසූ හුදෙකලා සෙන් තපස්වී කෙනෙක් විය. සිඟා යමින් එදිනෙදා භෝජනය සරි කරගත් හෙතෙම කවියකු මතු නො ව,කෘතහස්ත විචිත්‍ර අක්ෂර නිර්මාපකයෙක් (calligrapher) ද වූයේ ය.භාවනාවෙහි යෙදෙමින් වනපෙතෙහි තුරුපතර ඇසුරෙහි සැරිසැරීම ද,සහලින් කළ වයින් පානය කිරීම ද,දරුවන් සමඟ කෙළිදෙලෙන් ගතකිරීම ද හේ ප්‍රිය කෙළේ ය.සැබැවින් ම ඔහු ගේ නිර්මාණාත්මක වර්ධනය සිදු වූයේ අත්‍යන්ත හුදෙකලාවෙහි ය.
ආචාර්‍ය ඩී.ටී.සුසුකි සිය Zen and Japanese Culture නම් කෘතියෙහි ලා පවසන්නේ ,සාමාන්‍ය ලෞකික දෘෂ්ටිකෝණයෙන් බලන කල ර්යෝකන් පෙනෙනුයේ මහ මෝඩයකු හා එක්තරා උමතු ස්වභාවයක පසු වූවකු බව යි. උස් සිරුරකින් හා උදාර අධ්‍යාත්මයකින් හෙබියේ වුව ද,ඔහුට වරෙක සාමාන්‍ය බුද්ධිය (common sense ) පවා නො තිබිණි."මහ මෝඩයා" (great fool ) යනුවෙන් නාමකරණයට ලක් වුව ද ඔහු සතු ව මනුෂ්‍යත්වය හා ස්වභාව ලෝකය පිළිබඳ සූක්ෂ්ම සංවින්දක හෘදයක් විය.ර්යෝකන් වනාහි ප්‍රේමය මූර්තිමත් කරන ක්වන්නොන් හෙවත් අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් ගේ ප්‍රකාශනයක් බඳු යැ යි ඇතැම්හු පවසති.දිගු නැහැයකින් හා දෑසකින් යුත් ඔහු ගේ උස් සිරුර තාඕ මායාකාරයකු සිහිපත් කෙළේ යැ යි කෙරා යොෂිෂිගේ නම් සමකාලීන මිතුරා ප්‍රකාශ කොට ඇත.
ජපානයේ ඉචිගෝ පළාතේ ඉසුzමෝzසකි නගරයෙහි උපන් ර්යෝකන් ,පවුලේ වැඩිමහල් පුත්‍රයා විය.ගම් ප්‍රධානයකු වූ පියා සිය පුතුට යමමොතෝ එයිzසෝ යනුවෙන් නම් තැබී ය.1771-1777 දක්වා එයිzසෝ, ප්‍රාදේශික කොන්ෆියුසීය විද්වතකු වූ "ඕමොරි ෂියෝ" ගෙන් චීන සාහිත්‍යය හදාළේ ය.අනතුරු ව 16 වැනි වියේ දී තචිබනා වංශයේ උරුමකරු ලෙස ගම් ප්‍රධානයා ගේ තනතුර භාරගත්තේ ය.එහෙත් හේ වසරක් ඉක්ම ගිය ඉක්බිති තනතුර අතහැර කෝෂෝජි ආරාමයේ සෙන් අධ්‍යයනය සඳහා යොමු ව,හිසකේ බූගා , ගුණවත් හා ඉවසිලිවන්ත යන අරුත් සහිත තයිගු ර්යෝකන් යන නාමය ලැබි ය.
21 වැනි වියෙහි දී ර්යෝකන් හට කෝකුසෙන් නම් පූජකතුමා හමු විය.ඔහු ගේ එන්ත් සු ජි නම් පන්සලෙහි සෙන් භික්ෂුවක ලෙස ආරාමික ශික්ෂණය ලද මේ සිසුවාට ගුරුදේවයා ගෙන් පසු එකී පන්සලේ උරුමය ද ලැබිණි.එහෙත් දැඩි ආරාමික බන්ධනයන් ගෙන් තොර ව ජීවත්වීම ඇගැයූ ර්යෝකන් ,පන්සල අතැර මහමඟට බැස සිඟමනින් තම අහර සපයාගන්නට විය.ඔහු ගේ "No Luck Today On My Mendicant Rounds " නම් නිමැවුම, තමා තෝරාගත් මඟෙහි වෙහෙසින් හා දිරියෙන් පිහිටා සිටින්නකු ගේ ජීවිතය විදාරණය කරයි.
"අද මගේ සිඟමන් වටගමන
ලැබීමෙන් තොර විය,
ගමින් ගමට ම
ඇදගෙන ගියෙමි මම, මා ම
අවරපත් වන විට හිරු
මට ම නිසැක ව වැටැහෙයි
සැතැපුම් ගණන් දිගු කඳු බව
මගෙ පැල්පත හා මා අතර
සුළඟ කඳුළැලි සලයි
මගෙ දුබල සිරුරට
කුඩා තලියෙහි පවා අත ඇති
පැතුම් සුන් වූ මුහුණකි
කලකිරුම වේදනා කුසගිනි
නියමුවන් සේ මා හසුරුවන
ඔවු , මෙය ය
මා තෝරාගත් මඟ
Great Fool ,zen master Ryokan නම් ග්‍රන්ථයෙහි කියැවෙන පරිදි , වරක් එක් සැඳෑවක සොරෙක් ර්යෝකන් ගේ පැල්පතට ඇතුළු ව ගෙන යෑමට යමක් ඇත් දැ යි විපරම් කෙළේ ය.පරණ ඇඳුම් කඩමාලු කීපයක් එහි විය.ර්යෝකන් සතු ව පවා වූයේ එක ම එක කළු පැහැති සිවුරක් පමණි.මේ අතර පැලට ගොඩ වූ ඔහුට සොරා මුහුණට ම මුණගැසිණි.ඒ සමඟ ම නොකැලැඹී සොරා ඇමැතූ හේ මෙ සේ කී ය.
" ඔහේ එන්න ඇත්තෙ බොහොම දුර ඉඳල.ඉතින් හිස් අතින් යන්න බැහැනෙ...කරුණාකර මගේ මේ රෙදි තියාගන්න තෑග්ගක් විදියට ! "
මේ ප්‍රතිචාරයෙන් විමතියට පත් සොරා ,රෙදි ද රැගෙන නික්ම ගියේ ය.අනතුරු ව නිරුවත් සිරුරින් බිම හිඳගත් සෙන් කවියා ,පායා තිබූ සඳ නරඹමින් මෙ සේ කියා ඇත්තේල. "පව් දුප්පත් මිනිහ,මට හිතෙනව මිනිහට මේ ලස්සන හඳ දෙන්න ඇත්නම් කියල..!"
තවත් වරෙක කඳු පාදයෙහි පිහිටි සිය කුඩා පැල වෙත වනපෙත මැදින් ළඟාවන ර්යෝකන් දුටුවේ සිය නිවහන කඩාදමා තිබෙන අයුර ය.මෙවර ඔහු සන්තකයේ තිබූ සියල්ල සොරා විසින් ගෙන යනු ලැබ තිබිණි.ඒ අතර විචිත්‍රාක්ෂර ලිවීමට භාවිත කරන පෑන, පාත්‍රය හා පරිහරණය කළ එක ම පොරෝනය ද විය .ර්යෝකන් බිම වාඩිගෙන ජනේලය දෙස නෙත් හෙළි ය.සඳ ඔහු අබිමුව කැලුම් දෙනු දුටු හේ වහා මේ හයිකුව නිමැවී ය.
සොරා හැර දමා ගිය
සඳ
මගේ කවුළුව ළඟ
බුදුන් දිවමන් සමයෙහි විසූ තෙරවරුන් ගේ උදානයන් බඳු ව, ර්යෝකන් සිය කවි කෙරෙන් තම දිවි සැටිය නො සඟවා පළ කෙළේ ය.තම කවි කිසි විටෙක කවි යැ යි හැඳින්වීමට පවා හේ නොරිසි විය.එහෙත් කවිය යනු පැවැත්මේ ජීවමාන භාවය එහි ම අභින්න අංගයක් ව පැවැතීම යැ යි හේ විශ්වාස කෙළේ ය.
ඔව්,මම මෝඩයෙක්මි සැබැවින් ම
ගස් හා පැළ අතර දිවි ගෙවන,
මායාව හා බුද්ධත්වය
කරුණාකර මගෙන්
ඒ හා බැඳුණු පැන නොඅසන්න
මේ මහලු මිනිසා
සිනා සෙන්නට කැමැති ය
තමා සමඟ ම,
ඇළ දොළ හරහා ඇවිද යන්නෙමි
ඇට ගැහුණු දෙකකුලින්,
පැසක් උසුලාගෙන
අගේට ඇදී යමි
වසන්ත කාලගුණයේ
එය ය මා දිවි සැටිය
ලොව ම මට කිසිවකින් ණය නැත.
(මේ ඔහු ගේ Yes , I 'm Truly A Dunce නම් කවියේ අනුවාදය යි )
කුගමි කන්දේ පැලක, පැවිද්දකු ලෙස ජීවත් වෙමින්,තමා හාත්පස පිරිතිරෙන සොබා සොඳුරු සිරි වෙත බැඳුණු හෙතෙම ,වන විහරණ සුව විඳිමින් සියලු වස්තු කාමයන් හළ දුරාතීත මුනිවරයකු වැන්න.මලකට තණපතකට හෝ ඔහු ගෙන් අවැඩක් නො විණි.ඔහු ගේ Down in the Village නම් කව මෙහි දී ගෙනහැර පාමි.
ගම පහළ බෙර නළා ගොස
මෙතැන මේ කඳු අගාධයෙ
හැම අත පැතිර යන
දෙව්දුරු තුරු නාද
මුළුමනින් වන පියනි මල් පිපී ගොස්
ඔවුනට හිමි මුදුන් දැන් පැහැදුල් ය
නෙළා ගන්නට ඉතා අනගියි
නෙළා නොගැනුම වඩා කදිමයි
විචිත්‍ර අක්ෂර කරණය ( calligraphy ) ර්යෝකන් ගේ දෛනික ජීවිතයේ අංගයක් විය.ගැමියන් මෙන් ම නාගරිකයෝ ද ඔහු ගේ රමණීය අක්ෂර සහිත ලියැවිලි ලබාගැනීමට බොහෝ උපක්‍රම යෙදූහ.හෙතෙම ඔවුන් ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙළේ තමා තවමත් ආධුනිකයකු බව පවසමිනි.එවක කොන්ෆියුසියස් ධර්මයෙහි විශාරදයකු වූ 'බොසායි කමේදා' පැවැසුවේ ර්යෝකන් ගේ අක්ෂර මාලාවට දිව්‍යමය ආත්මයක් ඇති බවයි.කෙසේ වුව,එකී කෞශල්‍යයෙහි ඵලය භුක්ති විඳීමට පවා හේ ඉදිරිපත් නො වී ය.තව ද ර්යෝකන් සතු ව පුළුල් තුඩ සහිත පින්සලක් හෝ ලියන කඩදාසි පවා නො තිබිණි. මේ පූජක කවියා දිවමන් සමයේ පවා ඔහු ගේ විචිත්‍රාක්ෂර සටහන් ව්‍යාජ ලෙස සකසා අලෙවි කළ අය වූහ. ඒවා ඔහු ගේ රමණීය අකුරුවල වංචාකාරී අනුකරණයෝ වූහ.එහෙත් ළමයින් හට විසිතුරු අකුරු ලියා දීමට හේ රිසි විය.වරක් ඔහු ත්සුබේම් නම් දුම්රිය පොළේ සිඟමින් සිටිය දී ,එහි ආ දරුවෙක් හිස් කඩදාසියක් පෙන්නා මෙ සේ කී ය.
"පූජකතුමනි , කරුණාකර මේ කඩදාසියේ යමක් ලියා දෙන්න..."
"ඔබ එය මොනවට ද පාවිච්චි කරන්න යන්නෙ ?"
පූජක තෙමේ ඇසි ය.
"මම සරුංගලයක් හදනව අහසට යවන්න , ඒ සරුංගලයෙ අලවන්න මේ කඩදාසියෙ සුළඟ අමතන යමක් ලියන්න."
එකෙණෙහි ම ර්යෝකන් අක්ෂර හතරකින් මෙ සේ ලිවී ය.
"අහස ඉහළ
තද සුළඟ "
සෝතෝ සෙන් නිකායයේ පුරෝගාමී යතිවරයා වූ කිගෙන් දෝගෙන් (1200 -1253 ) ප්‍රකාශ කෙළේ ලෞකිකත්වය ඇසුරෙහි ම බුද්ධ භාවය සාක්ෂාත් කළ හැකි බවයි . මේ භෞතික වූ ශරීරයෙන් ම බුද්ධ භාවය ලද හැකි ය.ලෞකික ජීවිතය එපා වී යමකු ඉන් බැහැර වීමට දරන උත්සාහය බුද්ධ ජීවිතයෙන් ඉකුත් වීමෙකැ යි යන්න දෝගෙන්තුමා ගේ විවරණය විය.ර්යෝකන් ගත් මඟ ද මෙය ය.හේ වරෙක දෛනික ජීවිතය වින්දනය කෙළේ ය.ගිම්හානයේ මැද නමින් වූ ඔහු ගේ කව ඊට සාක්ෂ්‍ය සපයයි.
ඇවිද යන විට සැරයටිය අතැති ව
පැරැණි ගොවි දන
හඳුනාගනිති මා,
පානයක් පිණිස මා කැඳවති
කෙත්වල වාඩිගෙන අපි
යොදා ගන්නෙමු පිඟන් වෙනුවට තුරු පත්
පහන් මත් බවින් බොහෝ සතුටු ව
සාමකාමී ව පාව ගොස්
අතපය දිගැර වැතිරෙමි
කුඹුරු ගැටියෙහි
සියල්ලෙහි ශුන්‍යතාව ,අස්ථිර භාවය දනවන අනගි නිමැවුම් ඔහු ගේ කාව්‍යාවලියෙහි වෙයි.ඒවා වඩාත් සැහැල්ලු,අනතිමාන ගුණසපුවකින් යුතුයි.සෙන් චින්තාවේ මහිමය ඒ කවිවල යටිතලයෙහි නින්නාද දෙයි.
මෙලොව අප දිවිය
සැසඳිය යුතු ද මා
කවරකට එය...?
අනුනාදයක් වැන්න
කඳු අතරෙහි පැතිර
හිස් අහසේ ඇඳෙන
ර්යෝකන් කවියාට මිහිපිට කිසිදු දේපළක් නො වී ය;සැපවත් දිවිය කරා ආපසු ගමනක් නො වී ය; එක් පැන්සයක තරමේ වත්කමක් ද නො වී ය.එහෙයින් ඔහු ගේ සැබෑ උරුමය කිමැ යි පැවැසෙන My Legacy නම් කවියෙන් මේ කෙටි සටහන නිමා කරමි.
" මගේ උරුමය
මගේ උරුමය
කවරක් වනු ඇද්ද එය ?
වසත් කුසුම්
ගිමත් කල කොවුලිඳු
සරත් කල මොමිජි පත්
මේ කවි අනුවාද කෙළේ John Stevens ගේ සුප්‍රකට ඉංග්‍රීසි පරිවර්තන ඇසුරිනි .
සිංහල නිදහස් කවියට මෙතෙක් අවිෂය විණැ යි හැඟෙන වස්තුවිෂයයක් සහිත ව මවිසින් නිමැවුණු කවියක් පිළිබඳ සටහනක් මෙවර ඉදිරිපත් කරනු රිසියෙමි . ඒ, එකී නිමැවුම ඔ
කාව්‍යයේ දී චිත්තරූප ( imagery ) යනු කවියා ගේ පෞද්ගලික අදහස් ,අර්ථකථන,නිගමන,ප්‍රකාශ යනආදි සියල්ල මැඬ නැගෙන සංඥා සමූහයකි.කවියන් මෙකී චිත්තරූප හෙවත් ඉන්ද්‍රී
අතිශය ඌන සමාජ සම්බන්ධතා සහිත නොදියුණු ලෝකයක් කරා ආපසු යෑම සුදුසු යැ යි ප්‍රමුඛ දේශපාලන දාර්ශනිකයකු වූ රූසෝ නිර්දේශ කෙළේ ය.ඒ 18 වැනි සියවසේ ප්‍රංශයේ පැවැ
ලොව උස ම භූමිභාගය වන කත්මණ්ඩු මිටියාවතේ සංචාරයක නියැළී, මීටර පන් දහස ඉක්ම වූ තැන පැතිර පැවැති අනන්තාපරිමාණ නිශ්ශබ්දතාව හා අබිරහස අත්විඳි නිරෝධ නම් හිම
ජපානයේ මූල කාව්‍ය මාර්ගය වූ වකා හෙවත් ටන්කා සම්ප්‍රදායයෙන් අනතුරු ව, 13 වැනි සියවසේ දී එක් වෙසෙස් කාව්‍ය විලාසයක් පෙරමුණට පැමිණියේ ය.හෙයිඅන් යුගය ( 794 - 1191)
අවරදිග ලෝකයේ පවා මහත් අවධානයට පාත්‍ර වූ ජපන් කිවියර ’’ර්යෝකන් තයිගු’’ (1758 - 1837 ) ස්වභාව ලෝකයේ නිසග සුන්දරත්වය හා මුසු ව විසූ හුදෙකලා සෙන් තපස්වී කෙනෙක් වි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මහමඟ සිඟාකෑ සෙන් කවියා - ර්යෝකන්