ජපන් සංස්කෘතිය හා කාව්‍ය පිළිබඳ අතිශය පුළුල් ගවේෂණයකට කැප වූ ආර්.එච්.බ්ලයිත් නම් බ්‍රිතාන්‍ය විද්වතා පවසනුයේ,හයිකු යනු තාවකාලික ඥානාලෝකයේ ප්‍රකාශනයක් (A haiku is the expression of a temporary enlightenment ) බව ය. සැබෑ හයිකුවක් නිමැවීමේ දී සිදු වනුයේ කවියා සම්පූර්ණ සෙන් මිනිසකු බවට පත් වීමක් ලෙස හඳුන්වන ආචාර්ය ඩී.ට්. සුසුzකි ගේ විග්‍රහයට අනුව ,හයිකු කවිය මමායනයේ බන්ධනයෙන් පරිපූර්ණ වශයෙන් නිදහස් පුද්ගලයකු ගේආභ්‍යන්තරික සංවේදනයේ ප්‍රකාශනයකි.සෙන් දහමේ මූලික චින්තාවක් වන මමායනය පිළිකෙව් කිරීම හයිකු කවියේ ද ආත්ම ස්වභාවයකි.
විශ්වය නිරන්තර විපර්යාසයක ,විපරිණාමයක පවත්නා හෙයින් "මම" යැ යි කිය හැකි කිසිවක් ද නො වේ.එය අප උපකල්පනය කරන යමක් පමණි.මමායනය අමතක කිරීම සෙන් දහමට අනුව සියල්ලෙන් අවදි වීමයි.දෝගෙන් නම් සෙන් පූර්වාචාර්යවරයා පැවැසූ පරිදි සෙන් අධ්‍යයනය යනු තමා අධ්‍යයනය කිරීම යි.තමා අධ්‍යයනය කිරීම යනු මමායනය අමතක කිරීම යි.මනැසේ මූලික නොකිලිටි ප්‍රභාස්වරය ඇත්තේ භාෂාවෙන් ඔබ්බෙහි ය යන්න ද සෙන් ධර්මානුකූල සංකල්පයකි.
හයිකු යනු ලොව පුරා කාව්‍ය නිර්මාපක - රසික දෙපාර්ශ්වයේ ම ආකර්ෂණයට භාජන ව ඇති එක්තරා ව්‍යවහාරික කාව්‍ය මාර්ගයකි.එහි උපත හා වැඩුම සිදු වූයේ සෙන් තාඕ චින්තා මාර්ග ඇසුරෙහි ය.ඇලන් වොට්ස් The way of zen නම් කෘතියෙහි ලා පවසනුයේ සෙන් දහම ,නූතන බටහිර චින්තාවේ කිසිදු විධිමත් ප්‍රභේදයකට අයත් නො වන ජීවන මාර්ගයක් හා දැක්මක් ලෙසිනි.එහෙත් සෙන් කලාව හා බැඳුණු හයිකු ස්වරූපය සංක්ෂිප්ත කාව්‍ය මාර්ගයක් ලෙස ඔවුන් ගේ ආකර්ෂණයට හේතු විය .එස්රා පවුන්ඩ්,වොලස් ස්ටීවන්ස්,විලියම් කාලෝස් විලියම්ස් ,ජෝන් ගෝල්ඩ් ෆ්ලෙචර්,හිල්ඩා ඩූලිට්ල්,ඇමි ලොවෙල්,රිච්ඩ් ඇල්ඩින්ටන් වැනි කවි කිවිඳියෝ1913 වසරේ දී පමණ හයිකු හා චීන කාව්‍ය කෙරෙහි ආසක්ත වූහ.ඒවායේ සූක්ෂ්ම කාව්‍යෝචිත ක්‍රමෝපායයන් ගෙන් ආලෝකය ලැබූහ.අනතුරු ව ගැරී ස්නයිඩර් ,ජැක් කෙරෝක්,රිච්ඩ් රයිට්,ඇලන් ගින්ස්බර්ග් වැනි කවීහු තමා හාත්පස සාමාන්‍ය දෛනික සංසිද්ධීන් චිත්තරූපික ලෙස ග්‍රහණය කරමින් හයිකු හා සමාන කවි ලියූ අතර ,ඒවා ඇමරිකන් හයිකු ලෙස හැඳින්වීමට ඔවුහු පෙලැඹුණහ.
සෙන් හා හයිකු පිළිබඳ පුළුල් අවබෝධයක් සහිත විද්වතකු වූ ඇලන් වොට්ස් ,ඇමරිකා හා ජපන් නො වන කවියනට ඇත්ත වශයෙන් ම සම්භාව්‍ය හයිකු නිර්මාණය කළ නොහැකි බව පැවැසී ය.සම්භාව්‍ය හයිකු කවියේ ඉංග්‍රීසි පරිවර්තන ඇසුරු කොට එහි ප්‍රකාශන විධීන් ද,චිත්තරූප හා මූලික ආකෘතික ස්වභාවය ද සකසාගනිමින් ඒවා හයිකු ලෙස හැඳින්වූ ඔවුහු,සෙන් අධ්‍යාත්මයෙන් රිසි පරිදි හයිකු හැඩය තම තමා හට පවරාගත්හ.පැරැණි ජපන් හයිකු නිමැවුම්වල බාහිර හා ආභ්‍යන්තරික රචනා ස්වභාවය මනා ව හසු කරගත හැකි කෞශල්‍යයක් හා ප්‍රතිභානයක් ඇමරිකා හා කැනඩා කවියන් සතු විය.නිදසුනක් ලෙස මිෂෙල් ශෙෆර් කිවිඳිය ගේ මේ කව ගත හැකි ය.
Summer passing
The yard flemingo's
Rusty legs
( ගෙවී යන ගිමත් කල
අංගණයෙ රනහසු ගෙ
මල බැඳුණු ගාත්)
හංසයා ස්වර්ණ වුව ද,විපරිණාමයට යටත් බව කිවිඳිය එ සේ පළ කොට ඇත.
භාවිතයෙන් පසු බැහැර කළ උපත් පාලන කොපු අයිනක දිරා යන බව ලිරෝයි ගෝමන් නම් කවියා මෙ සේ පවසයි .
Used condoms
Crumble on a ledge
Fall leaves
යමකු ආස්වාදපූර්ණ ක්ෂණයකට ගෙන ගිය දෑ ය මේ දිරා යන්නේ.පත් පතිත වන්නේ සරත් සමයෙහි ය.මෙකී ඍතුව සියලු සුඛ දුක්ඛයන් අවසනට ළඟා වන බව අඟවන ඉන්ද්‍රීය රූපයකි.
එහෙත් සම්භාව්‍ය හයිකුවේ "ආකාරය" හසු කරගත් පමණින් යම් ජපන් නො වන කවියකුට එහි අධ්‍යාත්මය සතු කරගත හැකි යැ යි පවසන විචාරකයෝ අපට හමු නො වෙති.
හයිකු කවියා සම්පූර්ණ සෙන් මිනිසකු වීම පිළිබඳ විග්‍රහය අනුව,මේ කාව්‍ය උත්පාද වනුයේ අවිඥානය ඇසුරු කොටගෙන ය.සම්භාව්‍ය හයිකු කවියේ උපත,සිතේ සහභාගිත්වය නැති තත්ත්වයක දී සිදු වූ බවත්,සිතේ ප්‍රවේශ වීමක් නොමැති වූ ඒක්ෂණ අවස්ථාවක් හයිකුවක පහළ වීමට පාදක වු බවත් ආචාර්‍ය සුසුzකි Zen and Japanese Culture නම් ග්‍රන්ථයෙහි එන Zen and haiku නම් දීර්ඝ නිබන්ධනයෙහි( පිටු 224 -226 )ලා පහදයි.
ඇමරිකාව ,කැනඩාව ආදි රටවල හයිකු යනුවෙන් නාමකරණය වූ නිර්මාණ සියල්ල ,හයිකු කවියෙන් ලද උපායමාර්ගික අවබෝධයේ ඵල ලෙස හැඳින්විය හැකි ය.ඒවා ජපන් හයිකු විධික්‍රම අනුයමින් කළ නිමැවුම් වේ.සැඳෑ නිසලතාවෙහි ගිලී යන පර්වත හා රෑහි නද ගැන පැවැසූ ජපන් හයිකු කිවියර බෂෝට,ඒ විෂය ලෝකය හා තමා අතර වූයේ අන්‍යෝන්‍ය සහසම්බන්ධයකි.තමාට විෂය වන ස්වභාව වස්තූන් ,තමා ගෙන් බැහැර දෑ ලෙස හැඟියෑමක් ඔවුනට නො වී ය.ඔවුහු ෂින්තෝ , තාඕ,සෙන් චින්‍තා මාර්ග හා බැඳුණු අධ්‍යාත්මයක් සහිත වූහ.ජපන් හයිකු කවියේ සොබාදහම හා ඈඳෙන චිත්තරූපය උපදිනුයේ සැබෑ,නිර්ව්‍යාජ අත්විඳීමකිනි.(real lived experience )එය එදවස, බාහිර පැවැත්මේ තාරුණ්‍යය ස්පර්ශ කිරීමෙන් ජනිත වූ නිමේෂගත ඵලයක් විය.
ආචාර්‍ය සුසුzකි , යම් අවිඥානගත මොහොතක උත්පාද වූ හයිකු කවියක් හා එදෝ යුගයේ විසූ කිවිඳියක අප හමුවට ගෙන එයි. "චියෝ " චියෝ - නි ,චියෝ -ජෝ (1703 -1775)යනුවෙන් හැඳින්වුණු මේ කිවිඳිය සත් හැවිරිදි වියේ සිට හයිකු ලිවීමෙහි කුසලතා පළ කළ අතර ,17 වැනි වියෙහි දී වඩාත් ප්‍රකට කිවිඳියක් වූවා ය.එහෙත් ඇය තුළ තම හයිකු නිමැවුම් ගැන යම් සැකයක් පැවැතිණි .තමා ලියන්නේ හයිකු දැ යි නිසැක ව අවබෝධ කරගැනීමට ඇයට සිත් විණ.අනතුරු ව ඕ "කගමි ෂිකෝ" නම් ගුරුතුමා හමුවට ගියා ය.හෙතෙම බෂෝ කවියා ගේ සිසුවෙක් විය.තමා හමුවට පැමිණි චියෝට යම් මාතෘකාවක් මේ ගුරුතුමා විසින් ලබා දෙන ලදි.ඒ මාතෘකාව "කොහා" (hototo -gisu)නම් විය.හයිකු මතු නො ව පැරැණි වකා කවියන් ගේ ද නොමඳ අවධානයට පාත්‍ර වූ කොවුලා ගේ මූලික ලක්ෂණ කිහිපයක් විය.ජපන් කවියනට විෂය වූ කොවුලා ගයන්නේ පියාසැරියෙහි දී ය.බොහෝ විට කොවුල් නාදය නික්මෙනුයේ කවර දෙසින් දැ යි සෙවීම ද,රුව දැකගැනීම ද දුෂ්කර ය.ක්‍රි.ව.1100 පමණ දිවි ගෙවූ සනෙසදා ෆුජිවරා නම් ප්‍රමුඛ වකා කවියා ගේ නිමැවුමක් මෙහි දී චියෝට සිහිපත් විය.
අහසෙහි මට ඇසෙයි
කොවුලිඳුගෙ පිළිරැව්,
පිරික්සන කල එහඬ එන- දෙස
අලුයම් සඳ පමණි ඉහළ- අහසෙහි
කිසි විහඟ ලකුණකුදු නො- පෙනෙයි
එහෙත් හයිකු මාර්ගයෙහි දී කවියා හෝ කිවිඳිය ඉදිරිපත් ව නංවන "මට ඇසෙයි" ,"පිරික්සන කල" ,"සඳ පමණි" වැනි උක්තීන්ට අවකාශ නැත.අනතුරු ව ඇය උක්ත මාතෘකාව යටතේ නොඑක් හයිකු කවි නිමවා ගුරුතුමා හට ඉදිරිපත් කළ ද ඔහු ඒවා සියල්ල බැහැර කෙළේ ඒ සියල්ල සංකල්පිතයන් පමණක් ම වූ හෙයිනි .සැබෑ විඳීම ප්‍රකාශ වීමේ දී ඒවායේ හයිකු ස්වභාවයට සරිලන ස්පර්ශය හේ නො දුටුවේ ය.වඩාත් අව්‍යාජ ව ප්‍රකාශ කරනුයේ කෙසේ ද යන්න චියෝ - හට වටහාගත නොහැකි විය.
ඉක්බිති එක් රැයෙක චියෝ සිය විෂය කෙරේ ම සාවධාන ව කොහා ගැන මෙනෙහි කරමින් ගෙවාලන්නට වූවා ය.මෙ සේ කොවුලා පිළිබඳ අවදි බවකින් වෙසෙද්දී කෙමෙන් අරුණාලෝකය උදා විය.ඒ හා සමඟ ම කිවිඳිය ගේ අවිඥානය ඒක්ෂණයෙන් විවෘත වු බව සුසුzකි පවසයි .හිතාමතා සැලැසුම් කළ බුද්ධි විෂයක අභිප්‍රායයකින් තොර ව කිවිඳිය ගේ අභ්‍යන්තර නිරාකුල විඥානය පහළ විය.ඒ වනාහි කිසිදු මැදිහත් වීමක් ඇසුරේ පහළ නොවූවකි.අවිඥානයේ ඒක්ෂණ විවෘත වීමකි.
ඇය ලියූ ජපන් කව සිංහල බසින් මෙ සේ ය.
"හොතොතොගිෂු
හොතොතොගිෂු තොතෙ
අකෙනිකෙරි"
එහි ඉංග්‍රීසි අනුවාදය මෙබඳු ය.
Calling "cuckoo" "cuckoo"
All night long
Dawn at last !
(කුහු කුහූ හඬගෑම
මුළු රැය පුරා ,
අවසන හිමිදිරිය !)
මේ කව දුටු සැණින් ආචාර්‍ය තෙමේ එය මේ තාක් කොහා විෂය කොට ලියැවුණු හයිකු අතර අනගිතම නිමැවුමකැ යි ප්‍රශංසා කෙළේ ය.මේ හයිකුව මඟින් කිවිඳිය ගේ නිරාකුල ඇතුළු සංවේදනය පිළිබිඹු වීම ඊට හේතු විය .එහි කෘත්‍රිම හෝ හිතාමතා සැලැසුම් කළ බුද්ධිවාදී අභිප්‍රායයක් ද නො විණි.කිවිඳිය ගේ මමත්වයේ උත්කර්ෂයක් ද එහි නො වි ය.හයිකු පිළිබඳ සෙන් ආකල්පය වනුයේ ද කවරාකාරයෙන් හෝ මමත්වයේ ප්‍රකාශ වීමට අනුබල නොදිය යුතු ය යන්නයි.කලාකරුවකු ගේ ජීවිතයේ උත්තරීතර මොහොත සෙන් බෞද්ධ චින්තාවට අනුව සතොරි අත්දැකීම යි.සතොරි යනු මනෝවිද්‍යාත්මක ව කිවහොත් අවිඥානය (මුෂින් = no mind )කෙරෙහි සවිඥානක වීමයි.
චියෝ ඒ තාක් වටහාගෙන සිටියේ හයිකු යනු කෙනකු ගේ කාව්‍ය නිර්මාණ කෞශල්‍යයේ ම ප්‍රතිඵලයක් බව යි.එහෙත් එය කෙනකු ගේ මමායනයෙන් තොර ආභ්‍යන්තරික වින්දනය ප්‍රකාශ කිරීමක් බව ඇයට මෙමඟින් ප්‍රත්‍යක්ෂ විය.මේ අත්දැකීම ලැබීමට පෙර ඇය කෙළේ හයිකු රචනයට අදාළ විෂය ගැන මෙනෙහි කිරීමයි.චියෝ රැයෙහි සිය විෂය ගැන සාවධාන ව,එහෙත් භාවනාත්මක සිතින් ගෙවාලද්දී කොවුලා ඇය ගේ අවිඥානයේ හෙවත් අසංඥයේ (unconscious )විවෘත වීමට උපකාර වූයේ ය යන්න පෙර කී Zen and haiku නම් නිබන්ධනයෙන් හෙළි වෙයි.(open up her unconscious )මේ වනාහි ඍජු ව ම කොහා නම් පක්ෂියා තුළට ඇතුළු ව,ඔහු පවත්නා පරිදි දැකීමකි;කොහා බවට ම පත් වීමකි.කොහා පවත්නා ලෙසින් ම ග්‍රහණය කරගැනීම සෙන් මාර්ගය යි.
අප මහත් ළැදිකමින් හයිකු ලෙස නාමකරණය කොට එළිදක්වන කුඩා කවිවල විෂය ලෝකය සමඟ වන පැටලුම අධික ය . කවියා ගේ මමංකාරය (ego) ද ඒවායේ රැවු දෙනු හමු වේ.කවියා ගේ චිත්තවේග හා හැඟීම්වලින්,අරමුණුගතික බවින් අපේ නාමමාත්‍රික හයිකු පිරී සිටියි.අවිඥානයේ විවෘත වීමෙන් උදා වන "හයිකු මොහොත ,යමකු තමාට රිසි ලෙස ලියන ඕනෑ පේළි තුනකින් සාක්ෂාත් කළ හැකි යැ යි සිතන තැනට හයිකු ,ලොව පුරා ලඝු වී ඇති සැටියක් ඒවා මනා ව විමැසීමේ දී වැටැහෙයි .මේ තාක් මෙරට හයිකු විෂය පිළිබඳ ව ලියූ කිසිවකු ,එහි දී මිනිස් අවිඥානය හා බැඳුණු ක්ෂේත්‍රය හසු කොටගෙන නොමැති බව ද මෙහි ලා සඳහන් කළ යුතු ය.
සිංහල නිදහස් කවියට මෙතෙක් අවිෂය විණැ යි හැඟෙන වස්තුවිෂයයක් සහිත ව මවිසින් නිමැවුණු කවියක් පිළිබඳ සටහනක් මෙවර ඉදිරිපත් කරනු රිසියෙමි . ඒ, එකී නිමැවුම ඔ
කාව්‍යයේ දී චිත්තරූප ( imagery ) යනු කවියා ගේ පෞද්ගලික අදහස් ,අර්ථකථන,නිගමන,ප්‍රකාශ යනආදි සියල්ල මැඬ නැගෙන සංඥා සමූහයකි.කවියන් මෙකී චිත්තරූප හෙවත් ඉන්ද්‍රී
අතිශය ඌන සමාජ සම්බන්ධතා සහිත නොදියුණු ලෝකයක් කරා ආපසු යෑම සුදුසු යැ යි ප්‍රමුඛ දේශපාලන දාර්ශනිකයකු වූ රූසෝ නිර්දේශ කෙළේ ය.ඒ 18 වැනි සියවසේ ප්‍රංශයේ පැවැ
ලොව උස ම භූමිභාගය වන කත්මණ්ඩු මිටියාවතේ සංචාරයක නියැළී, මීටර පන් දහස ඉක්ම වූ තැන පැතිර පැවැති අනන්තාපරිමාණ නිශ්ශබ්දතාව හා අබිරහස අත්විඳි නිරෝධ නම් හිම
ජපානයේ මූල කාව්‍ය මාර්ගය වූ වකා හෙවත් ටන්කා සම්ප්‍රදායයෙන් අනතුරු ව, 13 වැනි සියවසේ දී එක් වෙසෙස් කාව්‍ය විලාසයක් පෙරමුණට පැමිණියේ ය.හෙයිඅන් යුගය ( 794 - 1191)
අවරදිග ලෝකයේ පවා මහත් අවධානයට පාත්‍ර වූ ජපන් කිවියර ’’ර්යෝකන් තයිගු’’ (1758 - 1837 ) ස්වභාව ලෝකයේ නිසග සුන්දරත්වය හා මුසු ව විසූ හුදෙකලා සෙන් තපස්වී කෙනෙක් වි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සෙන් හදවතින් ගිලිහුණු කවිය ’’හයිකු’’