මහනුවර නගරයෙන් මදක් ඈතට වන්නට නිස්කලංක පරිසරයක පිහිටා ඇති සාත්තු නිකේතනයේ සේවයට පැමිණ මේ ගෙවී යන්නේ තෙවැනි වසරයි.හෙදියක ලෙස වසර ගණනාවක් එතෙරදී ලබා තිබූ පුහුණුව මෙම රැකියාව ලබාගැනීමට මෙන්ම එහි නිරතවීමටද මට මහත් පිටිවහලක් විය.දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් ජාලයකට අනුබද්ධව පවත්වාගෙන යනු ලබන මෙම සාත්තු නිකේතනයේ නේවාසිකයන් වන්නේ රැක බලාගතයුතු තත්වයේ සිටින වයස්ගත පුද්ගලයන්ය.කාන්තා පිරිමි දෙපාර්ශ්වයම මෙහි සිටින අතර ඇඳටම සීමා වී ජීවිතයේ ඉතිරි කොටස ගෙවා දැමීමට නියමිත කිහිපදෙනෙක්ද ඔවුන් අතර සිටිති.
වෙන් වෙන් වශයෙන් මෙන්ම යුවළ වශයෙන්ද සියලු දෙනාටම අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත කාමර ලබාදී ඇති අතර ඔවුන් සඳහාම වෙන්වුණු වෛද්‍ය මඬුල්ලක් මෙන්ම හෙද සහ උපස්ථායක මඬුල්ලක්ද මෙහි සිටී.පවතින පහසුකම් හා මාසික ගාස්තුව අනුව සාමාන්‍ය පවුල්වල පුද්ගලයන්ට මෙහි විසීමට අපහසු අතර ඉහළ රැකියාවල යෙදී විශ්‍රාම ගිය ව්‍යාපාරික හෝ දරුවන් පිට රට ජීවත්වන පවුල්වලට අයත් නේවාසිකයෝ මෙහි වෙසෙති මා මෙම රැකියාව තෝරාගැනීමට බෙහෙවින්ම හේතු වූයේ සාත්තු නිකේතනය පිහිටි වට පිටාවයි.මහවැලි ගඟට මායිම්ව උස් බිමක පිහිටි මෙය මැනවින් නඩත්තු කරනු ලබන උද්‍යනයකින් හා ලියගොමුවලින් අලංකාරවී ඇත.මල් පිරුණු අතු කිනිති හා ඔබ මොබ සැරිසරන කුරුල්ලන් ලේනුන් මීට එක්කර ඇත්තේ වෙනස්ම ආකෘතියකි.සාත්තු නිකේතනයක නොව තමන්ගේම නිවසේ ජීවත් වන බවක් නේවාසිකයින්ට දැනෙන ලෙස සියල්ල සකසා ඇත.
මෙහි සේවය ආරම්භ කළ දිනට පසු දින සිටම ඔවුන් දෙදෙනා මගේ අවධානය දිනාගැනීමට සමත් විය.රෝස මලින් ගැවසි ආරුක්කුමය ලිය ගොමුවක් යට යකඩ බංකුවක එකිනෙකාට ආසන්නයෙන් වාඩිවී තොරතෝංචියක් නැතිව කතාබහේ යෙදී සිටිනා ඔවුන් දෙදෙනා ගතවූ අවුරුදු තුනේදී දෛනික පැවැත්මක් වූයේ එසේය.
විටෙක ඇය වූල් ගෙතුමක නිරතවී සිටින අතර ඔහු ඉංග්‍රීසි පොතක් කියවයි.නැතිනම් ඔවුහු දෙදෙනාම නිහඬව පහල මිටියාවතේ මීදුම කෙමෙන් අතුරුදන් වන අයුරු බලා සිටිති.ඔවුන් පළමු වරට දුටු දින මා සිතුවේ මෙසේ මහලු විය කරා ගමන්කළ හැකි නම් කිසිවෙකුත් විවාහ වීම පිළිබඳව පසුතැවිලි වීය යුතු නැති බවයි.
ප්‍රධාන හෙද පාලිකාව ලෙස පසුව එක් එක් නේවාසිකයා ගේ තොරතුරු විමසීමේදී මට වැටහුණේ ඔවුන් දෙදෙනා යුවළක් නොව වෙන වෙනම කාමරවල වාසය කරන වෙනස් වටපිටාවවලින් පැමිණි දෙදෙනෙකු බවයි .නමුත් මොවුන් දෙදෙනාම අඩු වැඩි වශයෙන් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙලීම ද විශේෂත්වයකි.නමුත් දකින හෝ කතාබහ කරන කිසිවකුටත් ඔවුන් පිළිබඳව හරිහැටි නොදන්නේ නම් ඔවුන් රෝගීන් බව නොවැටහේ.
ඔහු අමරවංශ මහතාය.ඇය ප්‍රිම්රෝස් මහත්මියයි.අමරවංශ මහතා අසූ වැනි වියෙහි පසුවූ අතර ප්‍රිම්රෝස් මහත්මිය හැත්තෑ ගණන්වල මැද භාගයේ පසුවූවාය.විශ්‍රාමික බැංකු කළමනාකරුවකු වූ අමරවංශ මහතා ගේ බිරිඳ මින් බොහෝ කලකට ඉහත මියගොස් සිටි අතර දරු මුනුපුරන් එතෙර වෙසෙන බවක් සඳහන් විය.
ප්‍රිම්රෝස් මහත්මිය ගේ සැමියා මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි .ඇයටද දරුවන් සිටි අතර ඔවුන්ද බොහෝ විට වාසය කළේ එතෙරය.මහලුවියේදී වැළඳෙන කායික පීඩාවනුත් ඔවුන් පෙලූ ඩිමෙන්ෂියා රෝගයත් හැර වෙනත් කිවයුතු රෝගී තත්වයක් හෝ දුබලතාවක් ඔවුන්ට නොවීය.එමෙන්ම දෙදෙනාම ඉතා ප්‍රියමනාප පුද්ගලයෝය.
උදෑසන ,මගේ මුල්ම රාජකාරිය එක් එක් නේවාසිකයා හමුවී සුව දුක් විමසමින් කතා බහේ නිරතවීමය.ගෙවී ගිය රාත්‍රියේ නින්ද පිළිබඳව ඔවුන් ගේ මානසික හෝ කායික පීඩා පිළිබඳව සුහද කතාබහ සෑම නේවාසිකයකුම මගෙන් අපේක්ෂා කළ දෙයකි.අමරවංශ මහතා හා ප්‍රිම්රෝස් මහත්මිය හැම විටකම මට මුණගැසුණේ එකටමය.එකම ලිය ගොමුව යටදීය.ප්‍රිම්රෝස් මහත්මිය අමරවංශ මහතාට " තාත්තා " කියා ඇමතූ අතර අමරවංශ මහතා ප්‍රිම්රෝස් මහත්මිය ඇමතුවේ " නෝනා " කියාය.
හමුවන සෑම අවස්ථාවකදීම ඔවුන් වෙත මා හට පැවසීමට අලුත් තොරතුරක් තිබිණි.ඒ ඔවුන් ගේ පාසල් යන වයසේ දරු දැරියන් පිළිබඳවය.ලොකු දුවගේ අසනීපය පිළිබඳව ප්‍රිම්රෝස් මහත්මිය පවසයි නම් ඇයට බෙහෙත් ගෙන ඒමට වෛද්‍යවරයා ළඟට ගෙන ගිය හැටි පවසන්නේ අමරවංශ මහතාය.පොඩි පුතා ගේ පාසලේ ඊයේ පැවති රගර් තරගයක් පිළිබඳව අමරවංශ මහතා පවසයි නම් ඊයේ රාත්‍රියේ පොඩි පුතා නිවසට රැගෙන ආ කුසලානය පිළිබඳව පවසන්න ප්‍රිම්රෝස් මහත්මිය ය. දරුවන් කන්නට කැමති කෑම හා යන්නට කැමති ස්ථාන පිළිබඳව දෙදෙනාම එක්ව පවසති.
දිනක් මා ඔවුන් හමුවට යන විට ඔවුන් දෙදෙනා කතාකරමින් සිටියේ ඔවුන් යෙදුණු ඊජිප්තු සංචාරය පිළිබඳවය.නයිල් නදියේ නැවක ගතකළ රාත්‍රියක් ඔටුවකු ගේ පිට නැගී පිරමිඩ බැලීමට ගිය ආකාරය ඔවුන් කොටස් වශයෙන් මට විස්තර කළේ එකට එක්ව එකම සංචාරයක යෙදුණු අඹුසැමි යුවළක් පරිද්දෙනි. ඉතාමත් කීකරු කාන්තාවක් වූ ප්‍රිම්රෝස් මහත්මිය හැම විටකම හැසිරුණේ අමරවංශ මහතාට මුල් තැන දීගෙනය.යමක් පවසා අවසානයේ
"නේද තාත්තේ"
කියා ඇසීම ඇයගේ සිරිතය.ඔවුන් පිළිබඳව නොදන්නා ඕනෑම අයකු සිතන්නේ ඔවුන් දෙදෙනා පුදුමාකාර ආදරණීය අඹුසැමි යුවළක් ලෙසටය.
මෙහි සේවයට පැමිණ ගතවූ අවුරුදු තුනක පමණ කාලය තුළ අමරවංශ මහතා බැලීමට දරුවෙකු හෝ වෙනත් කිසිදු නෑයෙකු නොපැමිණි අතර ඔහුගේ තැන්පතු මුදලකින් මාසික වාරික ගෙවෙන ලෙස කටයුතු යොදා තිබිණි.නමුත් නත්තල් හා නව වසර එළැඹිමෙිදී ලොව විවිධ දෙසින් පැමිණෙන සුබපැතුම් පත් ඔහුගේ කාමරයේ රාක්කය මත පිළිවෙළකට සකසා ඇත්තේ ද ඔහු විසින්මය.
ප්‍රිම්රෝස් මහත්මිය ගේ සැමියා වන ජෑන්ස් මහතා මසකට වරක් ඇය බැලීමට අනිවාර්යයෙන්ම පැමිණේ.ඒ එන විට ඇයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සපත්තු සෙරෙප්පු පමණක් නොව අත් බෑග් පවා රැගෙන එයි.කෙදිනක වත් පාවිච්චියට නොගත් භාණ්ඩවලින් ඇගේ අල්මාරිය පිරී ඉතිරී යන බව මා සමඟ පැවසූවේ ඇගේ පෞද්ගලික උපස්ථායිකාව නන්දනීය.ජෑන්ස් මහතා පැමිණෙන විට සාත්තු නිකේතනයේ අනෙකුත් නේවාසිකයන්ට හා කාර්ය මණ්ඩලයට රස කැවිල්ලක් හෝ ගෙන ඒමට කිසි දිනක අමතක කරන්නේ නැත.
ජෑන්ස් මහතා පැමිණි අවස්ථාවලදී ද අමරවංශ මහතා හා ප්‍රිම්රෝස් මහත්මිය සුපුරුදු බංකුවේම වාඩි වී සුපුරුදු කතාබහේම යෙදී සිටින අතර ජෑන්ස් මහතා ද ඔවුන් අසලින් පුටුවක් තබාගෙන ඔවුන් ගේ කතාවට එක් වෙමින් පැය දෙක තුනක් ගත කරයි.එහිදී ඔහු අමුත්තකු වන අතර ඔහුට තම විස්තර පවසන අඹු සැමි යුවළ වන්නේ අමරවංශ මහතා හා ප්‍රිම්රෝස් මහත්මියයි.සැබවින්ම මෙය අපූරු දසුනකි.විටෙක ජෑන්ස් මහතාටද ප්‍රිම්රෝස් මහත්මිය තම බිරිඳ නොව අමරවංශ මහතා ගේ බිරිඳ ලෙස සිතෙන පරිදි මෙම කතා බහ ඇදී යයි.
මාස කිහිපයකට වරක් ප්‍රිම්රෝස් මහත්මිය බැලීමට පැමිණෙන දියණියක් ද සිටියාය.ඇය පැමිණෙන්නේ අවුරුදු දහය දොළහ පමණ වයසේ පසුවන දියණියක හා පුතෙකු ද සමගය.එහිදී ප්‍රිම්රෝස් මහත්මිය හා අමරවංශ මහතා කුඩා දරුවන් තම දරුවන් බවට පත්කරගන්නා අතර දියණිය අමතන්නේ තම දරුවන් ගේ ගුරුවරිය ලෙස සලකමින්ය.මේ නාටකීය අවස්ථාවට සියලුදෙනාම හැඩගැසී සිටි අතර පියවි ලොව ජීවත්වන අපටද යම් මායාමය හැඟීමක් දැනවීය.
මෙම නිකේතනයේ නේවාසිකයන් සඳහා උදෑසන හා රාත්‍රී ආහාර ඔවුන් වෙසෙන කාමර වෙතම සැපයූ අතර කාමරවලින් පිටතට පැමිණිය හැකි නේවාසිකයන් ඔවුන් කැමති නම් දිවා ආහාරය පොදු කෑම කාමරයේදී ගන්නට හැකි ආකාරයට සකසා ඇත.මෙසේ පැමිණෙන පිරිස අතර අමරවංශ මහතා හා ප්‍රිම්රෝස් මහත්මියද අනිවාර්යයෙන්ම විය.ඔවුන් දෙදෙනා යාබද අසුන්වල අසුන්ගත් අතර එය ගෙවුයන දෙසට විවර වූ ප්‍රංශ ජනේලයක් අසල තිබූ නිශ්චිත ස්ථානයක් විය.අනෙක් නේවාසිකයන් ද එම අසුන් දෙක ඔවුන්ටම වෙන්කර තිබූ අතර වෙනත් කිසිවෙකුත් වැරදීමකින් වත්
එම ස්ථානයේ අසුන් ගත්තේ නැත.බොහෝ වේලාවක් නිහඬව ආහාර ගන්නා ඔවුන් දෙදෙනා නැවත හමුවන්නේ පසුදා උදෑසන උයනේදීය.
යම් නේවාසිකයෙකු ගේ උපන්දිනයක් හෝ වෙනත් විශේෂ අවස්ථාවකදී පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයකදී ප්‍රිම්රෝස් මහත්මිය අනර්ඝ ඇඳුමකින් සැරසී පැමිණෙන අතර අමරවංශ මහතා හැමදාමත් උත්සව සඳහා අඳින කළු පැහැති ඇඳුම් කට්ටලයෙන් සැරසී පැමිණ ප්‍රිම්රෝස් මහත්මිය අසලින්ම ගැවසෙමින් සිටී.
සාදය සදාකාලික වන්නේ නැත.පසුගිය දෙසැම්බර් විසි පස්වැනිදා රාත්‍රී සාත්තු නිකේතනයේ නත්තල් රාත්‍රී භෝජන සංග්‍රහය පැවති අතර එහිදී අමරවංශ මහතා දැඩි ලෙස අසනීප විය.නිකේතනය භාරව සිටි වෛද්‍ය වරයාට අනුව එය හෘදයාබාධයක් වූයෙන් වහාම ඔහුව නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළු කෙරිණි.
පසුදා උදෑසන මා සුපුරුදු සංචාරයේ යෙදෙන අවස්ථාවේදී ප්‍රිම්රෝස් මහත්මිය තනිව බංකුව මත වාඩිවී සිටියාය.ඇය වූල් ගෙතුමද අතෙහි තබාගෙන ඈත කඳු පෙළ දෙස හිස් බැල්මෙන් බලා සිටියේ තමන්ටම යමක් මුමුණා ගනිමිණි.ඇය අසලින් වාඩිවූ මා පිළිසඳරේ යෙදෙද්දී එක් විටම ඇය පැවසුවේ
" තාත්තා රට ගියා "
යනුවෙනි.
" මොන රටට ද ගියේ "
මා ඇසූ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් නොදුන් ඇය යමක් මුමුණා නැවතත් දුක්මුසු බැල්මෙන් කඳු පෙළ දෙස බලා සිටින්නට වූවාය.මේ අයුරින්ම සතියක් ගතවූවද ඇය එකම එල්ලයක් දෙස බලා සිටිමින් උදේ වරුව බංකුව මතට වී ගෙවා දැමූවාය.
සතියකට පමණ පසු අමරවංශ මහතා රෝහලේ සිට පැමිණියේ පිරිහුණු සෞඛ්‍යයෙන් යුතුවය.කොතෙක් කාමරයේ ඇඳටම සීමාකර තැබීමට උත්සාහ දැරුවද ඔහුට අවශ්‍ය වූයේ උයනට යාමටය.ඒ අනුව පසුදා උදෑසන ඔහු රෝද පුටුවක තබාගෙන සුපුරුදු බංකුව වෙත රැගෙන යාමේදී ඒ වන විටත් ප්‍රිම්රෝස් මහත්මිය එහි පැමිණ සිටියාය.අමරවංශ මහතා දකිද්දී ඇගේ මුවෙහි ඇඳුණු සිනහව මෙන්ම දෙනෙතේ කාන්තියද මට කිසිදා අමතක නොවේ.දිගු කලක් ඈත්ව සිටි තම පෙම්වතා නැවත හමුවූ තරුණියක මෙන් ඇය ගේ මුහුණ ආලෝකමත් විය.එදින සිට නැවතත් ඔවුන් දෙදෙනා ගේ දින චරියාව සුපුරුදු පරිදිම ගලාගිය නමුත් වෙනසකට තිබුණේ අමරවංශ මහතා ගේ පිරිහුණු සෞඛ්‍ය තත්වයි.
දිනක් උදෑසන මා ඔවුන් හමුවූ අවස්ථාවේ ප්‍රිම්රෝස් මහත්මිය අලංකාර වළල්ලක් අතක පැළඳ සිටි අතර
" ඔය වලල්ල හරිම ලස්සනයි මිසිස් ප්‍රිම්රෝස් "
යැයි මා පැවසූ විට
" තාත්තා ඉන්ග්ලන්ඩ් ගිහින් එනකොට ගෙනාවේ "
යෑයි පැවසුවේ අමරවංශ මහතා දෙස සිනා මුසු මුහුණින් බලමිණි.එහිදී අමරවංශ මහතාද හිස වනමින් එය අනුමත කළ හැටිද මට මතකය.
මින් සති දෙකකට පමණ පෙර රාත්‍රී යහපත් සෞඛ්‍ය තත්වයෙන් නින්දට ගිය ප්‍රිම්රෝස් මහත්මිය පසුදා උදෑසන යළිත් එම නින්දෙන් පිබිදුනේ නැත.ඇය නින්දෙන්ම ජීවිතෙන් නික්ම ගොස් තිබුණේ ජීවිත කාලය තුළදී කාටවත් හිරිහැරයක් නොවන ලෙස ජීවත් වූවා මෙන්ම තම මරණෙදී ද කිසිවකුට වත් හිරිහැරයක් නොවන පරිදිය.
ප්‍රිම්රෝස් මහත්මිය ගේ පවුලේ අය ගේ කැමැත්ත පරිදි අවසන් කටයුතු ද සෞඛ්‍ය නිකේතනයේ දීම සිදු කරනට තීරණය විය.නමුත් ඇගේ අවසන් කටයුතු සඳහා ජෑන්සි මහතා මහත් වෙහෙසක් හා වියදමක් දරණු ලැබීය. ඇත් දත් පැහැ අලංකාර ගවුමක් අන්දනවා අනර්ඝ දෙනක බහා සුදු සහ රෝස පැහැති රෝස මල් මැද ප්‍රිම්රෝස් මහත්මිය නිදා උන්නේ නිදි කමරිය ගේ කතාවේ නිදි කුමරිය සිහිගන්වමිනි.
අමරවංශ මහතා සුපුරුදු කළු ඇඳුම් කට්ටලයෙන් සැරසී දෙන අසලම පුටුවක වාඩිවී සිටියේය.තමන් සමගම මුමුණාගන්නා ස්වභාවයක් පළකළ ඔහු වෙනත් කිසිදු හැඟීමක් පළ නොකළාය.
සවස දේව මෙහෙයෙන් පසුව ප්‍රිම්රෝස් මහත්මිය ගේ දේහය සෞඛ්‍ය නිකේතනයටම අයත් සුසාන භූමිය තුළ භූමදානය කිරීමට කටයුතු යොදා තිබිණි.මහවැලි ගඟ අසබඩ රොබරෝසියා ගස් සෙවණක මලින් සරසා සූදානම් කර තිබූ ස්ථානය වෙත අවමඟුල් පෙරහර ගමන් ගත් අතර අමරවංශ මහතාටද සාත්තු සේවකයකු ගේ උදව් ඇතිව ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.භූමදාන කටයුතු අවසානයේ සොහොන මත ඉටිපන්දම් දැල්වීමට අමරවංශ මහතා අතින් අල්ලගෙන කැඳවාගෙන ගියේ ප්‍රිම්රෝස් මහත්මිය ගේ සැමියා වීම හැම දෙනාගෙම ඇසට කඳුළක් ගෙනා දසුනක් විය.
දිනක් පසුපස දිනක් පැමිණීම අපට වළක්වා ගත නොහැකිය.අමරවංශ මහතා සුපුරුදු පරිදි තම උදය කාලය උයනේ බංකුව මත ගෙවා දැම්මේය.කිසිවකු හා නොදෙඩූ ඔහු ඈත කඳුවැටිය දෙස එකම හිස් බැල්මෙන් බලා සිටියේය.අව්ව සැර වෙන විට තම කාමරයට ගිය අතර පොදු කෑම කාමරයට කෑම ගැනීම සඳහා නොපැමිණියේය.ඔවුන්ගෙන් හිස්වූ ආසන දෙක පමණක් තව දුරටත් ඔවුන්ටම වෙන්වී තිබිණි.කටුව තුළට වූ ගොළුබෙල්ලෙක් පරිද්දෙන් අමරවංශ මහතා ද නිහඬ දිවියකට හුරු විය.
ඊයේ උදෑසන දහයට පමණ ගෙවුයන දෙසින් මහත් කලබලයක් ඇසුණු අතර කාර්යාලයෙන් පිටතට පැමිණි මා හට දක්නට ලැබුණේ සාත්තු සේවකයන් කිසිවකු සොයන ආකාරයයි.අමරවංශ මහතා අතුරුදන්ව සිටියේය.ගෙවුයනේ නිවස්න තුළ කාමර තුළ මෙන්ම පොකුණේ ද සොයා බැලූ මුත් ඔහු පෙනෙන්නට හිටියේ නැත.එදින උදෑසන මා නේවාසිකයන් හමුවීමට යද්දී ද අමරවංශ මහතා සුපුරුදු බංකුවේ හිඳගෙන සිටියේය.නමුත් ඉන් පසුව ඔහු දුටු කිසිවකු නො සිටියේය.
හැම තැනම සොයා හෙම්බත්වූ සේවකයන් අවසන තීරණය කළේ විය නොහැකි දෙයක් මුත් මහවැලි ගඟ අසබඩ සෙවීමටය.
අවසන අමරවංශ මහතා අපට හමුවිය.
ඒ ප්‍රිම්රෝස් මහත්මිය ගේ සොහොන අසලදීය.
ප්‍රාණය නිරුද්ධ සිරුර බිම වැතිරී තිබුණු අතර එක් අතක තැළී පොඩිවුණු රෝස මලක් ගුලි වී තිබිණි.
මහනුවර නගරයෙන් මදක් ඈතට වන්නට නිස්කලංක පරිසරයක පිහිටා ඇති සාත්තු නිකේතනයේ සේවයට පැමිණ මේ ගෙවී යන්නේ තෙවැනි වසරයි.
ශ්‍රියානි අදත් උදේම පරල වෙලා.හැමදාම උදේට ඔහොමයි .ඉදල අරගෙන එළියට බහින්නෙම කොස් ගහ දිහා බලාගෙන.අතුගාන්න තව ඕනෑ තරම් තැන් තිබුණත් මුලින්ම යන්නේ කොස් ගහ ය
සිල්වා රාගම දුම්රියපොළෙන් කෝච්චියට ගොඩ වී මැදිරියක හිස්ව තිබුණු ආසනයක වාඩි විය. මහත් සේ කලකිරුණු වේදනාත්මක ඉරියව්වකින් සිටි ඔහු ඉක්මනින්ම බර කල්පනාව
තම ගාස්තුව කෝට්කමිස සාක්කුවේ දමාගත් නොතාරිස්වරයා “යන්නං” යැයි කීවේ ය. පිළිතුරක් දෙනු වෙනුවට මුදලිමාන කළේ ඔහු දෙස රවා බැලීම පමණකි. මහල්ලාගෙන් ඉඩම මිලය
ෂිද්දා ද ඇගේ පුත් කුෂිබා ද පර්වත ප්‍රාන්තර දෙකක් පැන නැංගාවූ ස්ථානයක, පෘථිවි මස්තකයේ සිට යාර නවයක් පොළෝ ගැබ තුළ දිය දහරක් ගලා යන තැනෙක හිඳ සිටියෝ ය.
යහපත් සුරඟන සිය පැස සමඟ පැමිණ හිමිදිරියේ ම මෙසේ කීවා ය: ‘මෙතැන තිබෙනවා තෑගි. එකක් ගන්න. හැබැයි පරෙස්සමින්. නුවණක්කාර විධියට තෝරා ගන්න. ඒවා අතර වටිනා දෙයක
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අඹුසැමියෝ
lionel Tuesday, 18 March 2025 01:44 PM
දුක්බර අවසානයක්