එය, එහි නැත !
ලිහිණි පත්තරය දෙසම බලා සිටියාය. ඇගේ ඇසිපිය නොසෙල්විණ. අඩක් විවර වූ මුව තුළින් ඇදී ආවේ හීතල හුස්ම රළ කීපයකි. දෙඅත වෙව්ලයි. උමතු වෙසින් පත්තර පිටු පුරා සැරිසරන දෙනෙතට නිවනක් නැත.
නමුත් එය, එහි නැත !
ලිහිණි අසිහියෙන් මෙන් පුටුවක ඉඳ ගත්තාය. නැවත පත්තරය මුල සිට අගට පිරික්සුවාය. නැත, නැත, නැත ! නොකඩවා සත් වසරක් එක දිගට එහි පළ වූ එය අද නැත. සුදුමැලි වතින්ද, ගල් ගැසුණු ගතින්ද යුතුව ලිහිණි බොහෝ වේලාවක් බලාගත් අතම බලා සිටියාය. ඇගේ සුරත දැඩි විය. ඊළඟ මොහොතේ ඈ අතින් වියරුවෙන් මෙන් වීසි වූ පත්තර පිටු හිස් අවකාශයේ එහෙට මෙහෙට පාවී ගොස් ගෙයි සාලය පුරා තැනින් තැන විසිරී පතිත විණ.
********
විශාක වැඩ ඇරී තරමක් කලින් ගෙදර පැමිණියේය. අද බිරිඳගේ උපන් දිනය නිසා රාත්‍රී ආහාරය සඳහා ඇය පිටතට කැඳවාගෙන යන්නට ඔහු පොරොන්දු වී සිටියේය. සාමාන්‍යයෙන් පෙර මගට පැමිණ තමා පිළිගන්නා බිරිඳ අද නැත්තේ මන්දැයි සිතමින් ඔහු දොර ඇරගෙන ගෙදරට ඇතුළු විය. ඇය පෙනෙන්නට නැත.
"ලිහිණී..." ඔහු තරමක් උස් හඬින් කතා කළේය.
පිළිතුරක් නැත. සාලය පුරා විසිරී ඇති පත්තර පිටු පමණක් විවර කරන ලද දොරෙන් ඇතුළු වූ සුළං පහරක ග්‍රහණයට නතුව 'සර සර' හඬක් නංවයි. එය තරමක් අමුතු දර්ශනයකි. ඉතා පිළිවෙල ගැහැනියක් වූ ලිහිණි ගෙයි සාලය පමණක් නොව නාන කාමරය, කුස්සිය, නිදන කාමරය පවා මෙසේ හැඩි වීම නොඉවසන්නියකි.
විශාක කුහුලින් යුතුව පඩි පෙළ නැග උඩු මහලට පිවිසියේය. නිදන කාමරයෙහි දොර අඩක් විවෘතව තිබේ. ඔහු එය සම්පූර්ණයෙන්ම ඇරගෙන කාමරයට ඇතුළු විය. ලිහිණි සයනය මත මුණින් තලාව වැතිර සිටියාය.
"ලිහිණි..." විශාක එවර කතා කළේ මෘදු හඬකිනි.
නමුත් ඇගෙන් පිළිතුරක් නැත. ඇඳේ පසෙකින් වාඩි වූ ඔහු ඇගේ පිට මතට සීරුවෙන් අත තබා යළිත් කතා කළේය.
"ලිහිණි, ඇයි මේ? ඔයා අසනීපෙන්ද?"
"මගේ ඔළුව ටිකක් කකියනව." ලිහිණි හිස නොඋස්සාම කතා කළාය. ඈ කෙරෙන් මතුව ආවේ දුබල ස්වරයකි.
"එහෙමද? කෝ, බලමු." විශාක ඇගේ ගෙල පසුපසට අත තැබුවේය. "රස්නෙ ගතියක් නම් නෑ. කෝකටත් අපි බෙහෙත් ටිකක් ගමුද?"
"නෑ, ඕන්නෑ. ටිකක් මෙහෙම හිටියම හරි යයි." බිරිඳගේ කටහඬ උදාසීන ය.
"එහෙම කියල බෑනෙ ළමයො." සැමියා කීවේය. "දැන් අපි ඩිනර් ගන්න එළියට යනවනෙ කොහොමත්. ඒ ගමන් ඩොක්ටර් ළඟටත් ගිහින් යමු."
"මට දැන් කොහෙවත් යන්න බෑ විශාක." එවර ලිහිණිගේ කටහඬ තරමක් දැඩි වී තිබිණ. "මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්න. ප්ලීස් !"
විශාක විස්මයෙන් ඈ දෙස බැලුවේය. අද ඇගේ හැසිරීම පමණක් නොව ආමන්ත්‍රණය පවා වෙනස් ය. ඈ නිතර ඔහු අමතන්නේ 'විශ්' යන කෙටි, හුරතල් නාමයෙන් මිස විශාක නමින් නොවේ.
"මං අද ටිකක් කලින් ආවෙත් ඔයාව එළියට එක්කගෙන යන්න." එවර ඔහුගේ කටහඬ දුබල ස්වරයක් ගෙන තිබිණ.
"මට බෑ දැන් කොහෙවත් යන්න." ඈ යළිත් දැඩිව කීවාය. "ඔයාට ඕනෙ නම් පුතා එක්ක එළියට ගිහින් එන්න."
කිසිවක් නොකී විශාක ඇඳෙන් නැගී සිටියේය. ඇඳුම් රාක්කය මත වූ තුවාය අතට ගත් ඔහු යළිත් ඈ දෙස නොබලා ම නාන කාමරයට ඇතුළු විය.
********
"ආච්චා, අනේ බලන්නකෝ. අපේ අම්මි දැන් හරි වෙනස්. ඉස්සර වගේ නෙවෙයි."
"අනේ ඇයි පැටියො එහෙම කියන්නෙ? අම්මා ඔයාට මොකද කළේ?"
"අම්මිට දැන් පොඩ්ඩ ඇත්නම් තරහ යනවනෙ. මාත් එක්ක විතරක් නෙවෙයි. තාත්ති එක්කත් එහෙමයි."
"ඇහ්..."
"ඔව් ආච්චා, ළඟදි දවසකත් අම්මි, තාත්තිට හොඳටම බැන්නා. හැබැයි තාත්ති මොකුත් නොකියා අහගෙන හිටියා. හෙලෝ, ආච්චා ! ඔයාට ඇහෙනවා නේද මං කියන එක?"
"ඔව් පැටියො ඔව්. කියන්නකො."
"කවදාවත් නැතුව ඊයෙ අම්මි මට ගැහුවත් එක්ක."
"ඒ මොකද ඒ?"
"මං ටීවී බල බල ඉන්නකොට අම්මි ඇවිත් දැන් ගොඩක් වෙලා බැලුව නේද, ඔය ඇති, ටීවී එක ඕෆ් කරන්න කිව්වා. මං කාටූන් එකක් බල බල හිටියෙ. ඒක ඉවර වුණාම ඕෆ් කරන්නං කිව්වම, කියන දේ අහන්නෙ නෑ, එකට එක කියන්න එනවා කියල මගේ පිට මැදට හයියෙන් එකක් ගැහුවා. මට හරියට රිදුණත් එක්ක ආච්චා."
"අනේ..."
"ආච්චා සීයාත් එක්ක ඉක්මනට අපේ ගෙදර එන්න. අපි සීයාට කියල අම්මිට හොඳ ගුටියක් දෙමු. සීයාට හොඳටම තරහ යයි අම්මි මට ගැහුවා කිව්වම."
"සීයා මේ දවස්වල ලෙඩ වෙලානෙ ඉන්නෙ පැටියො. ඒක නිසා අපි සීයාට ඒක කියන්නෙ නැතුව ඉමු, හොඳේ? ආච්චා එන්නංකො ඉක්මනට මගේ පැටියව බලල යන්න."
"එහෙනම් ආච්චා ඇවිල්ලා අපේ අම්මිට හොඳ ගුටියක් දෙන්න ඕනෙ."
"හා, පැටියො හා !"
"යේ... යේ... යේ..."
********
"මචං විශාක, උඹට මාළු කෑල්ලක් දාන්නද?"
"හා !"
"ආ, මේ කොළ මැල්ලුම් ටිකකුත් ගනිං. ඕක අපේ වයිෆ්ගෙ ස්පෙෂල් රෙසිපියක්."
"හ්ම් !"
"මොකද මචං බකමූණෙක් වගේ හා, හ්ම් ගාන්නෙ? මං දැන් දවස් ගාණක් බලන් හිටියෙ. උඹ ඉන්නෙ එච්චර හොඳ මූඩ් එකක නෙවෙයි. ඔය බලපන්, කෑම එක වුණත් හරියට කන්නෙ නෑ. බොරුවට අත ගගා ඉන්නව විතරයි."
"අනේ මන්ද මචං. මට උඹත් එක්ක විතරයි ඔෆිස් එකේ මේ වගේ දෙයක් ගැන ඕපන් කතා කරන්න පුළුවන්. මං ප්‍රශ්නෙක තමයි ඉන්නෙ. මගේ හිතට හරි නෑ."
"මට තේරුණා. මං කොහොමත් උඹෙන් ඒක අහන්න හොඳ වෙලාවක් එනකං බලන් හිටියෙ. ඕනෙම අවුලක් කියපන්. මගේ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්නම්."
"උඹට කරන්න පුළුවන් දෙයක් ඇති කියල මං හිතන්නෙ නෑ. පුළුවන් නම් මට කරන්න ඕනෙ මොකද්ද කියල උපදෙසක් දීපං. ප්‍රශ්නෙ තමයි ලිහිණි !"
"ලිහිණි?"
"ඔව් මචං, මෑතක ඉඳල ලිහිණි හරි වෙනස්. මාත් එක්ක හරියට මූණ බලල කතා කරන්නෙත් නෑ. ඒ මදිවට හරියට තරහ යනවා. මාත් එක්ක විතරක් නෙවෙයි පුතා එක්කත් එහෙමයි."
"මොකක්? මට නම් හිතා ගන්නත් බෑ. සාමාන්‍යයෙන් ලිහිණි හරි සන්සුන් චරිතයක්නෙ."
"ඒක තමයි මචං මටත් තියෙන ප්‍රශ්නෙ. හේතුවක් ඇහුවට කියන්නෙත් නෑ. ඒ වෙලාවටත් ඇඟට කඩන් පාත් වෙනවා. මගේ වුණත් මචං ඉවසීමෙ සීමාවක් තියෙනවනෙ."
"ඔව්, ඒක හරි. උඹට හේතුවක් හිතාගන්නත් බැරිද? මං මේ අහන්නෙ උඹේ පැත්තෙන්..."
"පිස්සුද මචං? උඹ දන්නවනෙ මං ගැන. මගේ අතින් දැනුවත්ව නම් මේ අවුරුදු පහ, හයටම ලිහිණිට කිසිම වරදක් වෙලා නෑ."
"ඒකනෙ ඉතිං. එහෙනම් මොකද මේ?"
"උඹට කියන්න මේ ළඟදි මං වැඩකට එයාගෙ ඔෆිස් එකේ යාළුවකුට කතා කළා. ඒ ගෑනිත් මගෙන් අහනවා ලිහිණි මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ කියල. බලද්දි මෙයා ඔෆිස් එකෙත් කීප දෙනෙක් එක්ක ප්‍රශ්න ඇති කරගෙන. දවසක් ලොක්ක එයාව ගෙන්නල අවවාදත් කළාලු. උඹ දන්නවනෙ, එයා සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් නෙවෙයි."
"ඒකනෙ බං මාත් කියන්නෙ. මටත් හිතාගන්න බෑ. මේක ෆුල් සීරියස් සීන් එකක්නෙ."
"පොඩි එකත් ගෙදර ඉන්නෙ තුෂ්ණිම්භූත වෙලා වගේ. ඒක කොල්ලට හොඳත් නෑ ඉස්සරහට."
"ඒක තමයි. උඹ දැන් මගෙන් උපදෙසක්නෙ ඉල්ලුවෙ. මගේ උපදෙස තමයි උඹ ලිහිණිව එක්කගෙන පලයං ඩොක්ටර් කෙනෙක් ළඟට. හොඳ මනෝ වෛද්‍යවරයෙක් ළඟට. හැමෝටම ඔය වගේ අමාරු කාල එනව මචං. විශේෂයෙන්ම ගෑනු අයට. උන් අපිට වඩා කොච්චර බරක් අදිනවද? ගෙවල්වල, ඔෆිස්වල, ළමයින්ගෙ වැඩ, තව කොච්චරක් කියල දේවල්ද? ඒක නිසා ඕක මොකුත් අමුතු දෙයක් නෙවෙයි."
"මාත් කල්පනා කළේ ඒක තමයි මචං."
"මාත් හොයල බලන්නම් හොඳ ඩොක්ටර් කෙනෙක් ගැන. අපි වැඩේ ගොඩ දාගමු. උඹ වැඩිය හිතන්න එපා. ඕව ඔහොම තමයි. දැන් ඔය කෑම එක කාල ඉවර කරපන් කෝ. දෙකට නේද මීටිං එක කිව්වෙ? අපි ටිකක් කලින් ඒ පැත්තට යං."
********
ලිහිණි අතීතය ගැන පසුතැවෙන්නියක් නොවේ. නමුත් ඒ අතීතය ඇගේ වර්තමානය හා සම්බන්ධ කරන එක් සියුම් මුද්‍රිත හුයක් ඇත. ඒ දිනපතා 'දිවිසයුර' පුවත්පතයි. දන්නා කියන අවදියේ සිට දිවිසයුර පුවත්පතේ අඛණ්ඩ පාඨකයෙක් වූ ලිහිණිට දැන් එය සමඟ ඊට එහා ගිය අතීත මතක මුසු ආත්මීය බැඳීමක් ගොඩ නැගී තිබේ.
ඇගේ අතීතය ශාක්‍ය ය. ශාක්‍ය ඇගේ පළමු පෙම්වතා ය. නමුත් බොහෝ ප්‍රේම කතා මෙන් ඒ කතාවද කෙළවර වූයේ ඛේදවාචකයකිනි. කුලය, නම්බුව, මවුපිය විරෝධය, අනවබෝධය, සැකය, ඉරිසියාව, නැවත නැවතත් මවුපිය විරෝධය ආදී කාරණා බොහොමයක් අවසානයේ වසර ගණනක ඔවුන්ගේ සබඳතාව දෙපසට බෙදී, බිඳී අවසන් විය.
ශාක්‍යගෙන් වියෝ වී ගෙවුණු පළමු වසර ලිහිණි ගත කළේ ඉතා අපහසුවෙනි. ඇය විටෙක තම මවුපියන්ට ශාප කළාය. දින ගණනක් නොනවත්වා හඬා වැලපුණාය. කෙළවර ඒ කිසිවකින් ප්‍රයෝජනයක් නැති බව දැනී නිශ්ශබ්ද වූවාය.
එම වියෝගයෙන් පසුව එළඹුණු ඇගේ පළමු උපන් දිනය දා, කියැවීම සඳහා දිවිසයුර පුවත්පත අතට ගත් ලිහිණි විස්මයෙන් ඇළලී ගියාය. එහි උපන් දින සුබ පැතුම් තීරුව මත ඇගේ දෙනෙතට කැපී පෙනෙමින්, දිදුලමින් තිබූ එක් වෙසෙස් සුබ පැතුමක් විය. එය ශාක්‍ය ඇගේ උපන් දිනයට සුබ පතා පළ කර තිබූ පැතුම් පතකි. 'මගේ ලිහිණි කිරිල්ලියට ශාක්‍යගෙන් ඈත සිට උණුහුම් සුබ පැතුම්' යනුවෙන් ලියා තිබුණු එහි අලංකාර කවියක් සහ රොමෑන්තික සිත්තමක්ද ඇතුළත් විය. එය ඇස ගැටුණු පළමු මොහොතේ ලිහිණි මහා විස්මයෙන් එදෙසම බලා සිටියාය. එතෙක් කල් තමා වෙළාගෙන තිබූ උදාසීන, ඔතෑනි, නොරුස්සනා බව පහ කරමින් හිතට සහ ගතට උණුසුම් රුධිර ධාරා ගලා එන ආකාරය ඇයටම දැනිණ. එතැන් පටන් වසර හතක් දක්වා නොකඩවා ඒ සුබ පැතුම දිවිසයුර පුවත්පතේ පිටු අතර පළ විය.
ඒ අතරතුර ලිහිණි සෙමෙන් සෙමෙන් සිය සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වූවාය. ඇය විශාක හා විවාහ වූයේ මවුපියන්ගෙන් පැමිණි යෝජනාවක ප්‍රතිඵලයක් ලෙසිනි. ප්‍රියමනාප, කඩවසම් පෙනුමෙන් යුතු වූ විශාකට අකැමැති වීමට ඇයට හේතුවක් තිබුණේ නැත. විවාහ වී වසරකට පමණ පසු ඇය සිය කුළුඳුල් දරුවා ලොවට බිහි කළාය.
ශාක්‍ය විදෙස්ගත වූ බව පසු කලක ලිහිණි දැනගත්තේ සිය මිතුරියකගේ මාර්ගයෙනි. නමුත් එය ඈ තුළ කිසිදු විශේෂ හැඟීමක් ජනිත කළ ආරංචියක් නොවීය. දැන් ඇයට අලුත් ලෝකයක් තිබේ. එහි සතුට ඇත. සැමියාත්, දරුවාත් සමඟ ඈ එහි හොඳින් වාසය කළාය.
කෙසේ වුව හැම වසරකම ඇගේ උපන් දිනය දා ඇය දිවිසයුර පුවත්පත අතට ගන්නේ අමුතුම හැඟීමකිනි. එය සතුටක්ද, තිගැස්මක්ද, නමක් දිය නොහැකි ගුප්ත හැඟීමක්ද කියා ඇයටම නොතේරෙයි. විදෙස් ගත වූ පසුව වුව ශාක්‍යගේ සුබ පැතුම සුපුරුදු පරිදි නොකඩවා පුවත්පතේ පළ විය. ඈ ඒ පිළිබඳ ව සිය සමීපතම මිතුරියටවත් නොකීවාය. සිය අමුතු හැඟීම තමා තුළම පමණක් තබා ගනිමින් එය රහසේ වින්ඳාය. ඉන්පසු සුපුරුදු පරිදි සිය වැඩ කටයුතුවල නිරත වූවාය. අඩුම තරමින් ශාක්‍ය සිටින්නේ කුමන රටේදැයි කියාවත් ඇය දැන සිටියේ නැත. එය ඇයට අදාළ ආරංචියක් නොවීය.
මෙවර උපන් දිනය දාද ඈ දිවිසයුර පත්තරය සිය දෝතට ගත්තේ අර සුපුරුදු හැඟීමෙන් ම ය. නමුත් එදා පුවත්පතේ, අටවැනි වරටත් පළවන්නට නියමිත ව තිබූ ඒ සුබ පැතුම් පත පළ වී තිබුණේ නැත !
********
"විශාක පුතා, දැන් මොකද තත්වෙ? බෙහෙත්වලටවත් අඩුවක් තියෙනවද?"
"එහෙමටම කියල අඩුවකුත් නෑ අම්මෙ. අර විදියම තමයි. තව ටික දවසක් බලමුකො. කොහොමත් ඩොක්ටර් කිව්වෙත් එකපාර වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ කියල. කොච්චර අමාරුවෙන්ද ඔය ඩොක්ටර් ළඟටත් එක්කගෙන ගියෙ."
"ඒක නේන්නං. මේ පුතා, මං දෙයක් කියන්නද? ඇත්තම කිව්වොත් ඒක කියන්නම තමයි මං මේ කතා කළේ."
"ඔව් අම්මෙ, කියන්න."
"ඔයා අහල තියෙනවද ගලේගෙදර කපු මහත්තයා ගැන?"
"අපොයි ඔව්. මං අහල තියෙනව. ඔය ටීවී එකේ, පත්තරවල ඇඩ් එහෙමත් යන්නෙ."
"අන්න හරි. නරකද අපි ලිහිණිව ඒ කපු මහත්තයා ළඟට එක්කගෙන ගියොත්? හොඳ පූජාවක් එහෙම තියල, තෙල් ටිකක් මැතිරුවා නම් ඔය ගතිය ඇරිල යයි කියල මට හිතෙනවා."
"අනේ, මං ඕව විශ්වාස කරන්නෙ නෑ අම්මෙ. ලිහිණි වුණත් එහෙම ගමනක් යන්න එයි කියල මං හිතන්නෙ නෑ."
"දැන් එහෙම කියල බෑනෙ. බෙහෙත්වලටත් අඩුවක් නැත්නම් මේකත් කරල බලමු. ඔයාල ගැන කෙසේවෙතත් අර පොඩි කොල්ල ගැනවත් පොඩ්ඩක් හිතන්න."
"අනේ මන්ද අම්මෙ."
"අනේ මන්ද නෙවෙයි. ඔයා කොහොම හරි ලිහිණිව අපේ ගෙදර එක්කගෙන එන්නකො. ඉතුරු ටික මං බලාගන්නම්."
********
පරණ පුරුද්දට දිවිසයුර මිල දී ගත්තත් ලිහිණි දැන් එය උනන්දුවෙන් කියවන්නේ නැත. නිකං උඩින් පල්ලෙන් පිටු පෙරළා බලනවා පමණ ය. ගෙදර කිසිවෙකු නොසිටි එදිනද ඇය දිවා ආහාරය සකසා හමාර කර සාලයට විත් සෝෆාවෙන් වාඩි වී ටීපෝව මත තිබූ දිවිසයුර අතට ගත්තේ කියවා බලන අදහසින්ම නොවේ. කම්මැලිකම යන්නට පිටු ටිකක් පෙරළා බලන්නට ය. හරියටම මැද පිටුවේ වූ උපන් දින සුබ පැතුම් තීරය අස ඇගේ ඇස නතර විය.
දෙයියෝ සාක්කි, එය එහි ඇත !
'මගේ ලිහිණි කිරිල්ලියට ශාක්‍යගෙන් ඈත සිට උණුහුම් සුබ පැතුම්' යන වැකිය යටින් කවියක්ද, රොමෑන්තික සිත්තමක්ද ඈ සමඟ සිනාසෙමින් සිටියි. ශාක්‍යගේ සුබ පැතුම මුල් වරට දුටු දා මෙන් ලිහිණි විස්මයෙන් සජ්ජිතව ඒ දෙසම බලා සිටියාය. යළිත්, එතෙක් කල් තමා වෙලාගෙන තිබූ උදාසීන, ඔතෑනි, නොරුස්සනා බව පහ කරමින් හිතට සහ ගතට උණුසුම් රුධිර ධාරා ගලා එන ආකාරය ඇයටම දැනිණ. සුබ පැතුමට පහළින් පුවත්පතේ සංස්කාරකවරයා පළ කර ඇති කෙටි සටහන ඈ දුටුවේ ඉන් පසු ව ය.
"මේ සුබ පැතුම මෙයට ටික කලකට පෙර අපට ලැබුණකි. නමුත් අප අතින් සිදු වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එය පළ වීම මෙතෙක් පමා විය. ඒ පිළිබඳ ව අපි ලිහිණි සහ ශාක්‍ය යන අප හිතවත් පාඨකයන් දෙදෙනාටම දැඩි කනගාටුව ප්‍රකාශ කර සිටිමු."
********
"දැන් කොහොමද පුතා ලිහිණිට?"
"දැන් හොඳටම හොඳයි අම්මෙ. ඉස්සර වගේම ඉන්නවා."
"අනේ, කොච්චර දෙයක්ද? මාත් හරි හිතේ ගින්දරින් හිටියෙ. පොඩි එකාටත් දැන් සතුටු ඇති."
"අනේ ඔව් අම්මෙ. කොහොමත් ඩොක්ටර් කිව්වෙ වෙනසක් වෙන්න ටික දවසක් යයි කියලනෙ."
"ඒ වුණාට පුතා මං නම් හිතන්නෙ ඒක නෙවෙයි. අපේ ගලේගෙදර කපු මහත්තයා නිසයි වැඩේ හරි ගියෙ. කපු මහත්තයා වැඩක් කළොත් ඉතිං අර කියන්නෙ, ආයෙ මොනවද කිරි ගහට ඇන්නා වගේ තමයි. බොරු නම් ඔතෙන්ට යන ඕනෙ කෙනෙකුගෙන් අහල බලන්නකො."
"අම්මට හිතෙන්නෙ එහෙමද?"
"නැතුව ඉතිං. මට ඒක හොඳටම විශ්වාසයි. දැන් ඉතිං තුන්දෙනා එක්කම ළඟදි දවසක මෙහෙ එන්නකො. අපි හොඳ පූජා වට්ටියකුත් අරන් කපු මහත්තයා බලන්න යමු. අර භාරෙ ඔප්පු කරන්නත් එපැයි."
"හොඳයි අම්මෙ, අපි එන්නං !"
ලිහිණි පත්තරය දෙසම බලා සිටියාය. ඇගේ ඇසිපිය නොසෙල්විණ. අඩක් විවර වූ මුව තුළින් ඇදී ආවේ හීතල හුස්ම රළ කීපයකි. දෙඅත වෙව්ලයි. උමතු වෙසින් පත්තර පිටු පුරා සැර
පෙබරවාරිය කොහොමත් උණුසුම් ය. හැන්දෑව වුවත් එහි වෙනසක් නැත. හිරු විසින් ඇති කළ අධික තාපයෙන් මුළු පරිසරය ම පීඩාවට පත්ව ඇත. චෝදිගාන් ජනපදයේ උතුරු මායිම ලෙස
වනයේ ගස් සෙලවෙමින් තිබුණි. රූස්ස ගහක් සෙලවෙද්දී එහි විසල් අතු මුළු පළාතක්ම සසල කරවීය. වැනී ගිය අතු වැදුණු තවත් පහළ ගසක් වඩාත් වේගයෙන් සෙලවී ගියේය.
කිලිනොච්චි ඉරණමඩු වැව අවට පදිංචි යුද්ධයෙන් විපතට පත් ගොවින්ගේ ගොවිතැන ඇතුළු ජීවනෝපායන් නංවාලීමේ වැඩ මුළුවේ ආරම්භක සැසිය මෙහෙය වූ සෙනරත් තොසපාල තේ ව
කෙසේ වෙතත් මංගල්‍යයට දෙපාර්ශවයෙන් ම කැමැත්ත ලැබිණ. ඊ ළඟ සති අන්තයේ ම සුරංගත්, වත්සලාත් නැකැත් බැලීම සඳහා පිටත්ව ගියේ එවැනි කටයුත්තක් පවා මවුපියන් වෙති
ඔඩවාරා සහ අතමි අතර කුඩා දුම්රිය මාර්ගයේ වැඩ පටන් ගන්නා විට ර්යෝහෙයි ගේ වයස අවුරුදු අටකි.ර්යෝහෙයි සෑම දිනකම කම්කරුවන් වැඩ කරනු බැලීමට නගරාන්තයට ගියේය.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
උපන් දිනය