සීනුව නාද විය. නිවසේ ස්වාමි දුව වන පෙට්රොව්නා ඇල වී සිටි සෝපාවෙන් වහා නැගිට, ඒ තම සැමියා වන්නට ඇතැයි සිතමින් දොර විවෘත කිරීමට දිව ගියාය.
දොර විවෘත කළ ඈ එහි අමුත්තෙක් සිටිනු දුටුවාය. රන් අලේප කළ රාමුවකින් යුත් උපැස් යුගලක් පැළඳ, වටිනා කබායක් හැඳි උස කඩවසම් තැනැත්තෙක් ඇය ඉදිරියේ සිටගෙන සිටියේය. ඔහුගේ මුහුණේ කිසියම් නොරුස්නා ස්වරූපයක් විය. නිදිබර දෑස්වලින් ඔහු අවට ලෝකය දෙස බැලුවේ උපේක්ෂාසහගතවය.
“මහත්තය කාව හම්බවෙන්නද ? “ පෙට්රොච්නා ඇසුවාය
“නෝනා මං දොස්තර කෙනෙක් . මට මෙහාට එන්ඩ කියල... කව්ද ...මේ...චෙලොබිටෙෆ් කියල කෙනෙක් ලියුමක් එවල තිබුණා. එයා ඉන්නෙ මෙහෙද ? “
“ආ ඔව්. මෙහෙ තමයි දොස්තර මහත්තයා. චෙලොබිටෙෆ් කියන්නෙ මගෙ මහත්තය. එයාගේ විදුරුමහේ ගෙඩියක් හැදිලා තිබුණා. ඒකයි එයා දොස්තර මහත්තයට එන්ඩයි කියල ලියුමක් දැම්මෙ. ඒත් අද එයා දත් දොස්තර මහත්තය හම්බවෙන්න ගියා.”
“ඒකත් එහෙමද ?
ඉතින් මට කරදර නොකර එයාට කෙළින්ම දත් දොස්තර ළඟට යන්න තිබුණනේ” යි ඇය වෙත නොරිස්සුම් බැලිමක් හෙළමින් වෛද්‍යවරයා පැවසුවේය. අනතුරුව මොහොතක නිහැඬියාවක් පැවතුණි.
“දොස්තර මහත්තයට අපෙන් කරදරයක් වුණා නම් ඒ ගැන සමාවෙන්ඩ ඕනෑ. දොස්තර මහත්තය එනවගක් දන්නව නම් අපේ මහත්තය කොහොමටවත් දත් දොස්තර මහත්තය හම්බවෙන්ඩ යන එකක් නෑ. ඒක මට ස්ථීර කරල කියන්ඩ පුළුවන්. මහත්තයා අපිට සමාවෙන්ඩ ඕනෑ.”
තවත් විනාඩි කිහිපයක නිහඬතාවක් පැවතිණි. පෙට්රොව්නා සිය හිස කැසුවාය.
“මේ මනුස්සයා නොගිහින් තවත් මෙතන ඉන්නවද මන්ද ?” දොර දෙසට දෑස් යොමු කරමින් ඈ සිතුවාය.
“නෝනා මට දැන් ආපහු යන්ඩ ඕනෑ. මට මෙතන පරක්කු වෙන්ඩ බෑ. කාලය බොහොම වටිනවා. කාලය කියන්නේ සල්ලි.”වෛද්‍යවරයා පැවසුවේ සිහින් හඬිනි.
“ඔව් දොස්තර මහත්තයා ඒත් මං මහත්තයට ඉන්ඩ කිව්වේ නෑනෙ.”
“ඒ කියන්නේ නෝන. මං වෙච්ච මහන්සියට කිසියම් ගාස්තුවක් ගෙවන්ඩ අදහසක් නැද්ද?”
“මහත්තය වෙච්ච මහන්සියට...? ආ...හරි මට තේරෙනවා.”රතු පැහැ ගැන්වුණු මුහුණින් යුත් පෙට්රොව්නා පැවසුවාය.
“හරි. මහත්තය කියන එක ඇත්ත. මහත්තයගේ වැඩ කටයුතු පාළු කරගෙන මෙච්චර දුරක් ආව එකට මහත්තයට ගාස්තුවක් ගෙවන්ඩ ඕනෑ එක හැබෑව. ඒත් මහත්තයා. මෙහෙම කියනවට මට සමාවෙන්න ඕනෑ. මහත්තයට දෙන්න මා ළඟ දැන් තඹ දොයිතුවක්වත් නෑ.ගෙදර ඉතුරු වෙලා තිබිච්ච සල්ලි ඔක්කොම ටික අපේ මහත්තය එකතු කරගෙන ගියා.”
“ඔහේ පුදුම කතාවක්නෙ කියන්නේ. ඔහේගෙ මහත්තය එනකන් මට මෙතන රස්තියාදු වෙන්ඩ කියල ද ඔහේ මට කියන්නේ? ඈහ්! ඒත් ගේ ඇතුළේ පොඩ්ඩක් සෝදිසි කරල බැලුවොත් සල්ලි කීයක් හරි හොයාගන්ඩ බැරිවෙන එකක් නෑ.මට එච්චර මුදලක් ඕනෑ කරන්නේ නෑ.”
ඒත් දොස්තර මහත්තයා! මං මේ ඇත්තමයි කියන්නේ.අපේ මහත්තය ගෙදර තිබිච්ච ඔක්කොම සල්ලි ටික අරගෙන ගියා. මං මෙහෙම කියනවට මට සමාවෙන්න ඕනෑ. මං හොඳටම දන්නව ගේ අනිත් පැත්ත පෙරළලා බැලුවත් තඹ දොයිතුවක් හොයාගන්ඩ බැරි විත්තිය , මං හරිම අවාසනාවන්ත තත්වෙකටයි අද පත්වුණේ.”
“ඇත්තටම මේ මිනිසුන්ට දොස්තර කෙනකුගේ අගේ නොතේරෙන හැටි. හරියටම අපි මනුස්සයො නෙමේ වගේ. අපි කරන්නෙත් රස්සාවක් කියල ඒ ගොල්ලො හිතන්නේ නෑ. මං මෙච්චර දුරක් ගෙවාගෙන, මගේ වැඩත් පාළු කරගෙන ඔහේලගෙ ගෙදෙට්ට ආවා. ඒත් ඔහේලට මං වෙච්ච කරදරේ, මහන්සිය තේරෙන්නෙ නෑ. “
“නෑ දොස්තර මහත්තය, මහත්තය කියන දේ මට හොඳට තේරෙනව, ඒත් මහත්තය තේරුම් ගන්ඩ ඕනෑ ගේ හරියෙ තඹ දොයිතුවක්වත් නැතුව මං කොහොම සල්ලි දෙන්ඩද කියලා.”
“වෙන්ඩ පුළුවන්. වෙන්ඩ පුළුවන්. ඒත් නෝනා ඔහේගේ කතාව කොයිතරමි සාධාරණ ද කියල පොඩ්ඩක් හිතල බලන්ඩ. මිනිහෙක් වෙච්ච මහන්සිය වෙනුවෙන් ඒ මනුස්සයට සාධාරණ ගාස්තුවක් නොගෙවන එක කොයිතරම් අසාධාරණද ? ඔහේලට විරුද්ධව නඩු පවරන්ඩ බැරි එකේ වාසියෙන් ඔහේ ප්‍රයෝජන ගන්නව වගෙයි මට පේන්නෙ. මේක නම් හරි පුදුම ලෝකයක්.”
වෛද්‍යවරයා නිහඬ විය. මුළු මනුෂ්‍ය වර්ගයා කෙරෙහිම ඔහු තුළ ඇති වුයේ බලවත් කලකිරීමකි.ලැජ්ජාවෙන් මිරිකෙමින් සිටි පෙට්රොව්නාගේ මුහුණ තවත් රතුවිය.
“ආ...හරි” මඳක් කල්පනා කරමින් සිටි ඇය පැවසුවාය.
“පොඩ්ඩක් ඔහොම ඉන්ඩ. මං ඉස්ටෝරුවට පණිවුඩයක් යවලා බලන්නම් කීයක් හරි ඉල්ලගන්ඩ පුළුවන්ද කියලා. පුළුවන් වුණොත් මං මහත්තයගෙ ගාස්තුව ගෙවන්නම්.”
සාලයට ගිය පෙට්රොව්නා ගබඩා භාරකරුට යැවීම සදහා තුණ්ඩු කැබැල්ලක් ලිවීමට මේසය අසල පුටුවක වාඩි වූවාය. කබාය ගැලවූ වෛද්‍යවරයා ද සාලයට ගොස් අසුනක වාඩිවිය. ගබඩා භාරකරුගේ ප්‍රතිචාරයක් ලැබෙන තෙක්, ඔවුහු මඳ වේලාවක් නිහඬව බලා සිටියහ. විනාඩි පහකට පමණ පසු පිළිතුරක් ලැබුණි. පෙට්රොව්නා කවරය තුළින් රූබලයක් ගෙන එය වෛද්‍යවරයා අත තැබුවාය. ඔහු දෑස් විවර කර ඇය දෙස හෙළුවේ නොරුස්සනා බැල්මකි.
“නෝන මට විහිළු කරනවද හැබෑටම ඈහ්!.”
ඔහු පැවසුවේ රූබලය ආපසු මේසය මත තබමිනි.
“මගෙ වැඩකාර කොලුවට රූබලයක් දුන්න නම් ඌ ඒක ගන්ඩ පුළුවන්. ඒත් මං වගේ කෙනෙක්....බොහොම කනගාටුයි.”
“මගෙ මහන්සියෙ හැටියට රූබල් දහයක්වත් ගන්ඩ ඕනෑ. ඒත් මට ඔහෙගෙන් එච්චර ගාණක් ඕනෑ නැහැ. රූබල් පහක්වත් දෙන්ඩකො.”
“රූබල් පහක් ගන්ඩ නම් අපේ මහත්තය එනකන් ඉන්ඩ වෙයි. එයා කීයට එයිද මන්ද. මං මුලදිම මහත්තයට කිව්වනෙ මා ළග කීයක්වත් නෑ කියල.”
“ඉස්ටෝකීපර්ට තව තුණ්ඩු කෑල්ලක් අරින්ඩ. එයාට රූබල් එකක් එවන්ඩ පුළුවන්නම් ඇයි පහක් එවන්ඩ බැරි ? එහෙම නේද නෝන. ඒත් කරුණාකරල එකක් හිතේ තියාගන්ඩ. මාව ඕනෑවට වැඩිය රස්තියාදු කරන්ඩ විතරක් එපා. මං බොහොම වැඩ රාජකාරි තියෙන කෙනෙක්. දැනටමත් ලෙඩ්ඩු හත්අට දෙනෙක් මං එනකන් බලාගෙන ඇති.”
“දොස්තර මහත්තය. මහත්තය නම් හරිම අකරුණාවන්ත, හිතක් පපුවක් නැති දරදඬු මිනිහෙක්.”
ජනේලය දෙසට හැරුණු පෙට්රොව්නා ඇගේ තොල් විකාගත්තාය. ඇගේ දෑසින් කඳුළු කැට ගලා හැලෙන්නට විය.
“කපටියා!තිරිසනා!” ඇය සිතන්නට වූවාය.
“හැබෑටම මේ යක්ෂයට මං ඉන්න අසරණ තත්වේ නොතේරෙණ හැටි. උඹ ඔහොම හිටපන්කො. ඌරා. “
මොහොතක් කල්පනාවේ නිමග්න වී සිටි ඕ හදිසියේ කිසියම් තීරණයකට එළැඹියාය. වෛද්‍යවරයාට මුහුණ දීමට ඈ ඉටාගත්තාය. මෙවිට ඇගේ මුහුණේ දිස්වුයේ කිසියම් පීඩාවකට පත්වූවකුගේ විලාසයය.
“…දොස්තර මහත්තය...” බැගෑපත් හඬින් ඈ පැවසුවාය.
“දොස්තර මහත්තයට හිතක් පපුවක් කියල එකක් තියෙනව නම්, මං ඉන්න අසරණ තත්වෙ තේරුම් ගන්ඩ පොඩ්ඩක් උත්සාහ ගත්තානම්, සල්ලි ඉල්ලල මට මෙහෙම කරදර කරන එකක් නෑ. ඇත්තම කියනවනම් මහත්තය, මං හරිම කරදර හිරිහැර ගොන්නකට මැදිවෙච්ච, අවාසනාවන්ත ජීවිතයක් ගත කරන ගෑනියෙක්...”
පෙට්රොව්නා දෑතේ ඇඟිලිවලින් කම්මුල් මිරිකාගත්තාය. ඇගේ කොණ්ඩය ලිහී උරහිස් මත පතිත විය.
“..නිවටයෙක් වනචරයෙක්, සල්ලාලයෙක් ඒක්ක දීග ගිය ගෑනියෙක් හැටියට මං මෙතන දහදුක් විඳිනවා. මේ අමානුෂික වධහිංසා විඳ දරාගෙන ඉන්නව මදිවට, දැන් මට පළාතෙම ඉන්න එකම දැන උගත් මනුස්සයගෙ අවලාද අහන්ඩත් සිද්ධවෙලා. අනේ දෙයියනේ මං මේක කොහොම විඳදරා ගන්ඩද ?”
“ඒත් නෝන මං ගැනත් පොඩ්ඩක් කල්පනා කරල බලන්ඩ. අපේ රස්සාව අනිත් රස්සාවල් වාගෙ නෙමේ, ඒකෙ විශේෂත්වයක් තියෙනව.අන්න ඒක පොඩ්ඩක්.....”
එහෙත්, වෛද්‍යවරයාට සිය වාක්‍ය නිම කිරීමට නොහැකි විය. පෙට්රොව්නා අමාරුවෙන් මෙන් ඇවිදගෙන විත්, දිගුකරගෙන සිටි ඔහුගේ දෑත් මත ක්ලාන්තව ඇද වැටුණාය. ඇගේ හිස ඔහුගේ උරහිස මත පතිත විය.
“ඔව්.ඔව්. අපි පොඩ්ඩකට උදුන ළගට යං....” මොහොතකට පසු හිස එසැවූ ඕ කොදුළාය.
“...මහත්තය මට ටිකක් ළං වෙන්ඩ. මං හැම දෙයක්ම ඔයාට කියන්නම්. ඔව් හැම දෙයක්ම...”
පැයකට පමණ පසු වෛද්‍යවරයා පෙට්රොව්නාගේ නිවෙසින් පිටතට පැමිණියේය. සිත් වේදනාවක් ද, ලැජ්ජාවක් ද, කිසියම් ආකාරයක ප්‍රීතිය මුසු හැඟීමක් ද ඔහු තුළ එකවර ඇතිවිය.
“නොදකින් විතරක්....” හිමයානය මත වාඩිවෙමින් ඔහු සිතුවේය. “ගෙදරින් පිට යනකොට කවදාවත් ඕනෑවට වැඩිය සල්ලි අරන් යන්ඩ හොඳ නෑ. කවුද දන්නෙ මොන මරාලයක් පාත්වෙයිද කියල.”
පරිවර්තනය : කේ.එන්.ඕ අමරදාස
ඔයා තාම එක්ටැම් කල්පනා ලෝකයක ජීවත් වෙන බවයි මට ඔයා ගෙ ලියුමෙන් පෙනෙන්නෙ. නැති වී ගිය පෙම් සබඳකම්. ගත කළ සුන්දර අතීතය. ඕව මතක් කර කර වර්තමානයේ ඇති දුක් කම්
මෙය සරත් සමයේ එක් රාත්‍රියක් විය. විශ්‍රාමික බැංකුකරුවකු තම මතකයන් අතරින්, වසර පහළොවකට පෙර, ඔහු තවත් එක් සරත් සමයේ දිනෙක, එක්තරා සාදයක් ලබා දුන්නේ කෙසේද
සීනුව නාද විය. නිවසේ ස්වාමි දුව වන පෙට්රොව්නා ඇල වී සිටි සෝපාවෙන් වහා නැගිට, ඒ තම සැමියා වන්නට ඇතැයි සිතමින් දොර විවෘත කිරීමට දිව ගියාය.
ඒ හාවා ආවෙි දකුණු පැත්තෙන්. බී හාවා ආවෙි වම් පැත්තෙන්. නුගේගොඩ හන්දියේදි දෙන්නා එකට හම්බ වුණා. ගුවන් පාලම යට, වෙහිකල් පාර්ක් එකේ, විටක් හප හප හිටිය ටිකට්
ඇඳිරි යාමයයි. නොබෝ වේලාවකට පෙර වීදියේ දැල්වුණු පහන් සිසාරා ඝන හිමකැට වැටෙමින් ගෙවල්වල පියසිත්, අශ්වයන්ගේ පිටවලුත්, මිනිසුන්ගේ උරහිස් හා හිස් වැසුමුත
මගේ පස් හැවිරිදි දියණිය මිනිට විනාඩියක්වත් කතා නොකර ඉන්නට නම් නොහැකිය. ලෝකයට පැමිණීමෙන් පසු ඇයට කතා කිරීමට ඉගෙන ගැනීමට වසරක් ගත වූ අතර, ඉන් පසු ඇය අවදි
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
පළිගැනීම