IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


මත්වීම

කෙටිකතා

"ඇයි පිරිමින්ට බොන්නැතුව මත්වෙන්ඩ බැරි?..... අපට වාගෙ.''

"ඒක හොඳ ප්‍රශ්නයක්. ටිකක් කල්පනා කරල බුද්ධිමත් උත්තරයක් දෙන්න ඕනැ. ඔයා මට ඊ - මේල් එකකින්වත් දැන්නුව නම් අන්තර්ජාලයට ගිහින් හරි අධ්‍යයනක් කරල හොඳ උත්තරයක් හදල තියන්න තිබුණ..... එක පාරටම අහන්ඩ එපා ඔය වගේ අමාරු ප්‍රශ්න. කලින් දැනුම් දීමක් කරන්ඩ, ඔයා අමාරු ප්‍රශ්නයක් අහන්ඩ බලාපොරොත්තු වෙනව නම්."

"මේක මේ පෙරහුරුවකින් පස්සෙ තියන සජිවී සංවාදයක් නෙවේ.... මම කියන්ඩද? මත්වෙන්ඩ බැරි, ඒ පිරිමින්ගෙ තියෙන ප්‍රාථමිකකම. අඩුකම. ඒ කියන්නෙ ජීව විද්‍යාත්මක අඩුකම. 'වයි - ක්‍රෝමසෝමයේ අසම්පුර්ණ කම. ''

'' වයි - ක්‍රෝමසෝම්? අඩුව ඔයාලගේ නේ. වයි - ක්‍රෝමසෝම් නැති එක."

" මම අනුකම්පා කරනව මැත්ස් කරපු සහ කරන සහ කරන්ඩ බලාපොරොත්තු වෙන සියලුම සත්වයන්ට. ඔයා දන්නවද වයි - ක්‍රෝමසෝ එක එක්ස් - ක්‍රෝමසෝම්ඵකට වඩා හුඟක් බාලයි කියල. ඒ කියන්නෙ එකේ කෑලි අඩුයි කියල. එක්ස් - ක්‍රෝමසෝම එසේ ව හතරෙන් පංගුවක් තරම්වත් නෑ කියල.''

" හරි... ක්‍රෝමසෝම් නෙවේ නෙ ප්‍රශ්නේ. මත් නොවෙන එක නෙ ප්‍රශ්න. එතන තාක්ෂණික හේතුවක් තියෙනව. නිකම් ඔයාගෙ කුඩා මොළෙන් කල්පනා කරල බලන්ඩ, කොහොම ද මත් වෙන්නෙ සර්ව අසුබ දර්ශන දැකල.... ඒ කියන්නේ ස්ත්‍රියාවන් දැකල. ස්ත්‍රියාවක් නම් ඔන්න පිරිමියෙක් දැක්කම අනිවාර්යයෙන්ම මත් වෙනව. සුබ දර්ශනයක්. ස්ත්‍රී නෙතට පුරුෂයා හා සමාන දර්ශනයක් නැත... බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ. මත්විම පිළිබඳව ඉතින් අපට කරන්න තියෙන්නෙ රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරල හරි. මත්වෙන්ඩ වුවමනා වෙලාවට මත් වෙන්ඩ. මත්වෙන්නැතුව කිසි දෙයක් කරන්ඩ බෑනෙ.''

"ඔයා හිතන්ඩ එපා මම මේ ඔයාට මත්වෙලා ඉන්නෙ කියල. තනියෙන් කලිසමක් හෝද ගන්ඩවත් බැරි හින්ද අනුකම්පාවට මම ඇවිත් ඉන්නෙ. බුදු හාමුදුරුවො ගාව ගන්න එපා ඔයාගේ සම්පප්‍රලාප වලට. "

'' බුදු හාමුදුරුවො ඔයගොල්ලො ගැන කියල තියෙන දේ දන්නවද? ඔයා දන්නව නම් බුදුන් වඳින එක නවත්තයි. බුදු හාමුදුරුවො කියල තියෙනව ගෑනු නොදකින් කියල ''

(මේ කතාවේ කර්තෘ වන මා මේ කතාවට මැදිහත් විය යුතුය. මෙම කතාවේ කතානායකයා බුද්ධ දේශනාවේ තිබෙන වගන්ති හරි හැටි දන්නා බවක් පෙනෙන්නට නැත. නැතහොත් හිතාමතාම වැරදියට කියවන්නේය. නිවැරිදි වගන්ති පහත දක්වා ඇත.

ස්වාමීනි, මාගමුන් කෙරෙහි කෙසේ පිළිපදිමුද?

ආනන්දය, නො දැක්ම යි හොඳ.

ස්වාමීනි. දැක්ම ඇති කල්හි කෙසේ පිළිපැදිය යුතු ද?

ආනන්ද, කතා නො කිරීම යි හොඳ.

ස්වාමීනි. කතා කරන්නාහු විසින් කෙසේ පිළිපැදිය යුතු ද?

ආනන්ද, සිහිය පිහිටුවා ගත යුතු ය.

- බඹරැන්දේ සිරිසීවලී, මහා පරිනිර්වාන ධර්මය)

"අවිද්‍යාව තිබුණට කමක් නෑ. අවිද්‍යාවෙන් සංස්කාර/ කර්ම රැස් කරල අකුසල් බැර කරගන්ඩ එපා ඔයාගෙ ගිණුමට අකුසල් වලට තියෙන්නෙ ඍණ අගයක්. ඒකෙන් ඔයාගේ සමස්ත වටිනාකම පහළ යනව."

''ඒ කතාව හොඳයි. ඒක ටිකක් ගණිතයට සහ අවිද්‍යාවට සම්බන්ධයි. අවිද්‍යාව කියන්නෙ ආර්ථික විද්‍යාවට නේද? මගේ අකුසල් ගිණුමේ ශේෂය බලා ගන්න බැරිද? බෑ නේ. මේක හරි අසාධාරණයි. ගිණුම් හිමියාටවත් ගිණුම් ප්‍රකාශයක් ගන්න බැරි එක."

" ඔයා කොහොමද ඔච්චර අසමජ්ජාති වුණේ? ඔයාගෙ මවුපියෝ වැදගත් අය නේද?''

" මට පිහිටල තියෙන්නෙ අම්ම තාත්තගේ ගුණම තමයි. අම්ම තාත්තගෙ යහමින් තිබුණ යහගුණ අවමට සහ අවමින් තිබුණ අවගුණ යහමට... එහෙම වෙනව ජාන කොපි කිරීමේ වැරදීම්වලින්... මටයි දැන් උගන්නන්න වෙලා තියෙන්නෙ ජීව විද්‍යා ගෞරව/ විශේෂ උපාධිය - යට සිටින්නියට / ශිෂ්‍යාවට... පුද්ගලයා වනාහි එම පුද්ගලයාගේ ඒ අවස්ථාවේ හැසිරීම නොව, ඔහුගේ සියලුම අතීත හැසිරීම්වල ඵෛක්‍යයේ එකතුවයි. -ෆෙයින්මාන් "

(කර්තෘගේ සටහන. මෙහි කතා නායකයාගේ කතාව නැවතත් නිවැරිදි කළ යුතුය. ෆෙයින්මාන් භෞතික විද්‍යාඥයෙක්ය. ඔහු කියා ඇත්තේ අංශුවක් යනු එම අංශුවට තිබිය හැකි සියලුම අතීත හැසිරීම්වල ඵෛක්‍යයේ එකතුවයි යනුවෙන්ය.)

" ඉස්සර කාලේ හිටියා අදින්න සච්චක කියල බ්‍රාහ්මණයෙක්. මැත්ස් කරපු එක් කෙනෙක්. එයාගෙ ජාන තමයි ඔයාට ඇවිල්ල සියෙන්නෙ "

" ඔයා දන්නවද, මම පොඩි කාලෙ මට එක්ස් - ක්‍රෝමසෝමුයි වයි - ක්‍රෝමසෝමුයි දෙකම තිබුණ. නංගිට තිබුණෙ එක්ස් - ක්‍රෝමසෝම් විතරයි. ඉතින් මම නංගිට හරියට අනුකම්පා කළා . පවු නෙ. නංගි අම්මගෙන් අහනව ඇයි අම්මෙ..... කියල. අම්ම උත්තර දෙනව දුව ඒ අය පිරිමි තෙ... කියල.''

" අපේ අම්ම නම් මට කියල දීල තියෙන්නෙ. දුව ගෑනු කියන්නෙ නියම පිරිමින්ට කියල. 'සත්‍ය වශයෙන්ම ප්‍රේම කරන්න දන්නේ. ලෝකෙ පවත්වාගෙන යන්නෙ ගෑනු කියල.''

" ඉතුරු කර ගත්තු සත්‍ය ප්‍රේමය ටිකක් මා ළඟ තියෙනව. ඔයා ළඟ නැද්ද රුපියල්. මම කෙළින්ම ඇහුව කියල තරහ වෙන්න එපා. සත්‍ය ප්‍රේමයෙන් දුවන්න පුළුවන් වෙන්නේ ටික දුරක් විතරයි කියල දන්න නිසයි අහන්නේ. ඉතුරු හැතැම්ම සිය ගණනම දුවන්න වෙන්නෙ රුපියල්වලින්. සත්‍ය ප්‍රේමය කියන්නෙ පෙට්‍රල්, පෙට්‍රල් ටිකකින් තමයි බාල ඇන්ජින් ස්ටාට් කර ගන්නෙ. ටිකක් තිබුණාම ඇති. ඊට පස්සෙ දුවන්නේ භූමිතෙල්වලින්. රත්වුණාම දුවනව. නවත්ත ගන්නෙ නැතිව දුවන්න ඕනෑ.'"

ඉතින් මොකටද ?... දුවන්නෙ නැතිවම හිටියාම ඉවරයිනෙ. ''

එහෙම බෑ නෙ. දුවන්න ඕනෑ. ඒක සම්ප්‍රදාය. අපි ඉන්නෙ සම්ප්‍රදාය ආරක්ෂා කරන්න. වෙනස් දෙයක් කරන්න ගියොත් නැතිවෙන්නෙ සම්ප්‍රදාය නෙවේ. අපි. ඕන නම් කරල බලන්න. කරල බලපු අය ඉස්සරත් හිටිය. මතුවටත් ඉඳිවි. ඒ ගොල්ලො මහා ප්‍රවාහයේ අය නෙවේ. ස්පෙන්ඩ බල්ස්. ඉවර විය හැකි අය. කැමති නම් ඒ අයගෙන් ඉගෙන ගන්න. නැත්තන් ගින්දරට අත පුච්චගෙනම අත පිච්චෙන බව ඉගෙන ගන්න පුළුවන්. "

" මම නම් දුවන සම්ප්‍රදායෙ නෙවේ ද කොහෙද "

" ළඟට එන්ඩකො ඔයාව ටිකක් දැනුවත් කරන්ඩ. මම කැමතියි ඔයා කට ළඟටම දැනුවත් වෙලා ඉන්නව නම්.''

"නෑ. මම හරි කැමතියි මගේ ‍නොදැනුවත්කම මේ ගණනටම තියාගන්ඩ. මේ නොදැනුවත්කම ප්‍රමෝද ජනකයි. මගෙ අතේ සබන්. ''

කලිසම හෝදා ගැනීමේ ප්‍රශ්නයට ආපහු ආවොත්, කලිසම හෝදා ගැනීම එච්චර ලොකු දෙයක් නෙවේ. නමුත් කලිසම හෝදා ගැනීමට වියදම් කරන මගේ කාලය හා ශ්‍රමය වඩා වටිනා වඩා වැදගත් දෙයක් සඳහා පාවිච්චි කරන්ඩ පුළුවන්. නමුත් ඔයාගේ කාලය හා ශ්‍රමය කලිසම හෝදන්ඩ පාවිච්චි කරන එක වඩා පලදායකයි. ''

'' මේ අන්තිම කලිසම... කරුණා කරල මට පෙන්නන්ඩ ඔයා කරල තියෙන වටිනා හා වැදගත් එක දෙයක්. නම් කරල කියන්ඩ... සර්වනාම පදවලින් නැතුව. නිශ්චිතව, නිර්දිෂ්ටව ''

" ඇයි මම කල්පනා කරන එක. ඔයාට අර්ථයෙන් ධර්මයෙන් අවවාදානුශාසනා කරන එක. මම කියල දුන්නැත්තන් ඔයා ලෝකෙ ගැන. අවකාශය ගැන දැනගන්නෙ කොහොමද ජීව විද්‍යාව ඉගෙන ගෙන? අහගන්ඩ මගේ අලුත්ම චින්තනය. අපි කරන සෑම ක්‍රියාවකින්ම ලෝකයේ අපිළිවෙල වැඩි වෙනව. අපි දැනුම එකතු කරන්ඩ කරන සෑම ක්‍රියාවකින්ම දැනුම තව තවත් කෑලිවලට කැඩිල විසිරෙනව. පටන් ගැන්මේදී දැනුම ඉතා විශිෂ්ටව ඝනීභවනය වෙලා තිබුණා. මිනිස්සු ඒකට ඇඟිලි ගහන්න ගිහිල්ල දැන් කෑලි කෑලි තියෙන්නෙ. විසිරිලා. හොලවපු ජිග් - සෝ - පසල් එකක්. අපි තවත් හෙලෙව්වොත් තවත් අපිළිවෙල වෙනව. කාලය ගලන්නෙ විසිරීම වැඩි වන දිසාවට, අපිළිවෙල වැඩි දිසාවට. ''

(කර්තෘගේ....... මෙය තාප ගතිකයේ දෙවන නියමය වැරදියට අර්ථ කතනය කිරීමකි. තාප ගතිකයේ දෙවන නියමයා එන්ට්‍රොපි/ අපිළිවෙල - ආවෘත පද්ධතියක් තුළ ක්‍රියාකාරකමක් සිදුවෙන සෑමවිටකම පද්ධතියේ එන්ට්‍රොපිය/අපිළිවෙල වැඩි වෙයි.)

"නැගිටින්ඩ, බෙඩ්ෂීට් එකත් හෝදන්න ඕනෑ. මේ වැඩේ හරියට කළොත් අපට බෙඩ්ෂීට් එකේ මුල් වර්ණය මොකක්ද කියලත් හොයා ගන්න පුළුවන් වෙයි."

" මේ ද්විතීයික වර්ණ ඔක්කොම මගෙ නෙවේ. මේ පැල්ලම ඔයාගෙ."

"නැගිටින්ඩ."

" මට නිකං මෙට්ටෙ උඩ ඉන්නද කියන්නෙ?''

'' හිටගෙන ඉන්ඩ. මාසෙකට පැය දෙකක් කකුල් දෙකෙන් හිටගෙන ඉන්න එකෙන් නරකක් වෙයි කියල කියන්න බෑ. ''

" උඩ පැත්තට ලෝකෙ දිහා බලාගෙන ඉන්නවට වඩා හරස් අතට බලනකොට වෙනස් නේද? .... මම තීරණය කළා ආලාර කාලාමයි උදුකයි දෙන්න අත් අරින්න. ඒ අය එක්ක යන්න පුළුවන් දුර ගිහින් ඉවරයි. පාර දිගේ කරත්තෙන් ගිහිල්ල ගඟ දිගේ යන්ඩ වුවමනා වුණාම ඔරුවක් ඕනෑ. එතනදි අපි කරත්තෙ අතාරිනව. අකාරුණිකයි තමයි. නමුත් ඩාවින් කියල තියෙනවනෙ එහෙම කරන්ඩ කියල. එහෙම කරේ නැත්තන් පැවැත්ම ඉවර වෙනව. තව දුරටත් යන්න වුවමනා නැති කෙනකුට නම් කරත්තෙත් එක්ක නවතින්ඩ පුළුවන්. එයාගෙ ගමන එතනින් ඉවරයි. ඒක එයාගෙ ගමනාන්තය. මහා මුහුදට ආවාම ඔරුව අතෑරල නැවක නගින්ඩ වෙනව.''

" මම කරත්තෙ ද ඔරුවද?"

 

" මෙතෙක් අසන ලද අමාරුම ප්‍රශ්නය ! "

'' ඔයා පිළිතුරු දීම මග හැර සිටීමට හරිම දක්ෂයි. මම කල් දෙන්නම්, අධ්‍යයනයක් කරල හොඳ උත්තරයක් බඳින්න. මම අංකයක් දෙන්නම්. ඒක උත්තර පත්‍රයේ උඩපස වම් කෙළවරේ පැහැදිලිව සඳහන් කරන්න.

'' ඔයාගේ අංක නොම්බරේ මම දන්නව නෙ."

" දන්නව?....කීයද? ''

'' හතර. ''

'' වැරදියි. තුන. සියයට විසිපහක් වැරදියි. නෑ නිවැරිදි උත්තරේට සාපේක්ෂව සියයට තිස්තුනයි දශම තුනයි තුනකින්.... දශමස්ථාන දෙකක් දක්වා, අන්තිම දශමස්ථානය ආසන්නතම පූර්ණ සංඛ්‍යාවට රවුම් කරලා. ''

කොහොමද හැදුවේ?... ලියල හදන්න ඇති."

" මනෝමෙන්.''

" ඔයා නම් ගරු කටයුතු ස්ත්‍රියක්. තව ටිකක් පැත්තකට හැරෙන්න. ඔයා ඉන්න විදියෙන් මට පෙනෙන්නෙ ඔයාගේ අවුට - ප්‍රොෆයිල් එක විතරයි. මම කැමතියි ඒ කවි එකේ පොයින්ට් ඔෆ් ඉන්සෙක්ෂන් එකට. පොයින්ට් ඔෆ් ඉෆ්ලෙක්ෂන් කියන්නෙ වක්‍රය අවතලයෙන් උත්තලයට මාරුවෙන තැනට වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ශීඝ්‍රතාව ධන සිට රිනවලට මාරුවෙන තැනට... තේරෙනව නේද ? ''

"බෙල්ලයි පපුවයි අතර. ''

" ඔයා දන්නවද මම කැමති තැන් තව දෙක තුනක් තියෙනව.

පොයින්ට ඔෆ්....... බිංදුව.... ඔයා දන්නවද බිංදුව හොයාගත්තේ මේ ළඟදී. මම හිතන්නේ රෝදය හොයාගත්තටත් පස්සෙ. ඉස්සර බිංදුව තිබුණෙ නෑ. ක්‍රිස්තු වර්ෂය පටන් ගත්තෙත් එකෙන්. බිංදුව නොයාගත්තට පස්සෙ මිනිස්සුන්ගෙ ජිවිතය හරි පහසු වුණා. ධන එකයි රින එකයි අතරෙ තිබිල තමයි කවුද නොවැදගත් කෙනෙකුට හම්බවෙලා තියෙන්නෙ. එයා ඒකට පයින් ගගහ පාරෙ පෙරළගෙන යනකොට ගණිතඥයෙක් දැකල පිහදාල අරගෙන තියෙන්නෙ."

'' ඔයාට මොනවද වෙලා තියෙන්නෙ ? "

'' මම කියන්නෙ වෙන්න ඇති කියල හිතන්න පුළුවන් සිද්ධිය... ඇත්තටම මම කියන්නද මම බිංදුවට කැමති ඇයි කියල ගණිතඥයො කියන්නෙ ඒක තමයි ඉතාමත් පුංචි සංඛ්‍යාව කියල. ඇත්තටම ඒක එහෙම නෙවේ. බිංදුව ඉතාමත් පුංචි සංඛ්‍යාවටත් වඩා පුංචියි. ඒකතෙ බිංදුව බිංදුවෙන් බෙදන්න බැරි. බෙදුවොත් කණපිට ඊ අකුරක් වැටෙනව. කැල්කියුලේටර් එක නවතිනව.''

" එතකොට කැල්කියුලේටර් එකෙන්ද ඔයාගෙ ඔය දාර්ශනික මත එන්නෙ.''

" ඒකෙනුත් එනව. වැඩි පුරම එන්නේ ඔයාගේ ඇගේ වැදිල එන පවනෙන්.''

*
ඇය අසා සිටින තාක් කල් මම බුද්ධිමත් දාර්ශනිකයෙක් වී සිටියෙමි. නොබීම මත්වී සිටියෙමි.

මම කරත්තය වුණෙමි. ඇය ඔරුවට නැගුණාය. ඉන්පසුව නැවට නැගුණාය. මම දිරාපත් වෙමින් ගං ඉවුරේ සිටින්නෙමි. නැව් නැගීම පහසුවෙන් සිදු වූයේ නැත. දෙදෙනෙක් ගං ඉවුරේ දිරාපත් වෙනවාට වඩා එක්කෙනෙක් දිරාපත් වීම හොඳ බව මම ඇයට බලහත්කාරයෙන් අවබෝධ කොට දුනිමි.
ඇය ළඟට මා මත් කළේ මා කියවූ විෂයයි. එනම් ගණිතමය විශ්ව විද්‍යාවයි. ගණිතයට සිත මිස කය නැත. නොහොත් එය සිත මිස කය නැත්තවුන්ගේය. එයට පෘතග්ජන ලෝකයේ මුල් නැත. මුල් අනවශ්‍යය. එය මුල්වලින් උරාගන්නා පෝෂණයන් මත යැපෙන්නේ නැත. මක්නිසා ද යත් එයට ශරීරයක් නැති නිසාය. එය බ්‍රහ්මන්ය. සියලු බාල විද්‍යාවන් පරම ගණිතය ආශ්වාසයෙන් ජීවත් වන්නේය. ගණිතයේ එක්කුස උපන් සහෝදරයා විශ්ව විද්‍යාවය. එය ගණිතය තරම් කෙලෙස් ප්‍රහීන කර නැතත් එයද ගණිතයය. එය ද්‍රව්‍යයේද අද්‍රව්‍යයේද ශක්තියේද අශක්තියේ ද විද්‍යාවයි. එය අවකාශයය. එය කාලයය. මගේ විෂයය පොළොව මත වූ ගගෙන් මා එගොඩ කරන්නේ නැත. එය යහමින් ජිවත් විය හැකි අයගේ ප්‍රමෝදයේ විෂයයි. සිටුවරුන්ගේ සහ බ්‍රාහ්මණයන්ගේ විෂයයි. බ්‍රාහ්මණ කුලයේ නොඉපිද වේදය උගෙන කුමක් කරන්නද?

සටහන් පොත් දිග හැරගෙන ශබ්ද විකාශනයෙන් විභාග ප්‍රශ්න පත්තරයට උත්තර බඳින හැටි මගෙන් ඉගෙන ගන්නා දහසක් ශිෂ්‍යයන් අතර සිටු කුමරුවන් කිහිප දෙනෙකු සිටිනු ඇති. උන් කිහිපදෙනා අතරින් වේදය ඉගෙනීමට සුදුසු වූ කිහිප දෙනෙකු සිටිනු ඇති. ඔවුන් දිනිය යුතුය. ඔවුන් දිනනු ඇත.

- සමර විජේසිංහ



අදහස් (0)

මත්වීම

ඔබේ අදහස් එවන්න

කෙටිකතා

මත්වීම
2024 ඔක්තෝබර් මස 15 274 0

’’ඒක හොඳ ප්‍රශ්නයක්. ටිකක් කල්පනා කරල බුද්ධිමත් උත්තරයක් දෙන්න ඕනැ. ඔයා මට ඊ - මේල් එකකින්වත් දැන්නුව නම් අන්තර්ජාලයට ගිහින් හරි අධ්‍යයනක් කරල හොඳ උත්ත


නුගගස
2024 ඔක්තෝබර් මස 08 536 0

සේගු අහවල් කාරියක් ද උඹ ඔතන කරන්නේ?” යි ගඟේ දිය නාමින් සිටි ඔස්මන් කෑගසා ඇසුවේ ය. කළු ගඟත්, ප්‍රධාන මාර්ගයත් අතර අඩි විසිපහකට ආසන්න යැයි සිතිය හැකි පටු බි


කවටයා
2024 ඔක්තෝබර් මස 01 558 0

ඒ ශිත සෘතුවේදී අත්හදා නොබැලූ කුමන ආකාරයක හෝ රැකියාවක් නොමැත යන අදහස ඇතිව ගීත ගායනා කළ මගේ මිතුරකු සමග ගිටාරය වයමින් ආපන ශාලාවල ඇවිදීමට පටන් ගත්තෙමි.


සූදුරු අබා
2024 සැප්තැම්බර් මස 24 571 0

මං වැඩට යන්නෙ කළුතරින් හතට පිටත් වෙන කෝච්චියෙ. කොවිඩ්වලට කලින් කාලේ කෝච්චියට කිව්වෙ මීගමුව කියලා. දැන් ඒක යන්නෙ මරදානට විතරයි. ඒ නිසා ඒක නිකම්ම හතේ කෝච


මෝනාලීසාට රැවුලක්
2024 සැප්තැම්බර් මස 17 622 0

’’ මගේ හබියා ස්වර්ණ පුස්තක අවසන් වටයේ පොත් දහයම මට ගෙනත් දුන්නා. අපේ ඇඳ ගාව මේ බලන්ඩකො.’’


එක්ටැමෙන් පොළොවට
2024 සැප්තැම්බර් මස 10 532 0

ඔයා තාම එක්ටැම් කල්පනා ලෝකයක ජීවත් වෙන බවයි මට ඔයා ගෙ ලියුමෙන් පෙනෙන්නෙ. නැති වී ගිය පෙම් සබඳකම්. ගත කළ සුන්දර අතීතය. ඕව මතක් කර කර වර්තමානයේ ඇති දුක් කම්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 622 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site