මං වැඩට යන්නෙ කළුතරින් හතට පිටත් වෙන කෝච්චියෙ. කොවිඩ්වලට කලින් කාලේ කෝච්චියට කිව්වෙ මීගමුව කියලා. දැන් ඒක යන්නෙ මරදානට විතරයි. ඒ නිසා ඒක නිකම්ම හතේ කෝච්චිය.
කැම්පස් කාලෙන් පස්සෙ මට නැවත සුබා හමුවුණේ මේ කෝච්චියෙ. ඒකිට අමාත්‍යාංශෙක සංවර්ධන නිලධාරි තනතුරක් ලැබිලා. මතුගමටත් එහා වැලිපැන්න හරියෙනෙ එයාගෙ ගේ තියෙන්නෙ. එහේ ඉඳන් බස්සෙකේ ඇවිත් කෝච්චියේ සීසන් එකෙන් වැඩට යනවා. මං වැඩ කළේ බොරැල්ලෙ එන්ජීඕ එකක.
අපරාදෙනේ අනූ ඇයි ඔයා විභාගෙ
ලිව්වෙ නැත්තෙ?” සුබා ඇහුවා. සුබා කිව්වට එයා සුභා. සුභාෂිණී. අපි අතරෙ මොන මහප්‍රාණද?
“මං රජයෙ රස්සාවලට ආස නැහැ සුබා.”
“මාත් ආස නැහැ. මහ කම්මැලි රස්සාවල්. කරන්න වැඩකුත් නැහැ.”
“ඉතින් එහෙනං යන්නෙ?”
“වෙන රස්සාවකුත් නැහැනෙ. ගෙදරිනුත් කැමති රජයෙ රස්සාවලට තමයි. ඔහොම ඉඳලා පරිපාලන විභාගෙ ලියන්නලු.”
සුබාලගෙ අම්මයි, තාත්තයි දෙන්නම ගුරුවරු. ඒ වගේ සම්ප්‍රදායික මිනිසුන්ට කොහොමත් රස්සා නම් රජය තමයි. මං ඉතින් එච්චර පිළිවෙලක් තියෙන පවුලක හැදුණු අයකු නෙමෙයි. මට මේ අයිතිවාසිකම් ක්ෂේත්‍රය ගැළපෙනවා. මං නීති විද්‍යාලෙට ඇතුළත් වෙලා නීතිය ඉගෙන ගනිමින් ඉන්න නිසා, පුංචි වුණත්, මේ රස්සාව මට හොඳයි.
මගේ ගෙදර කටුකුරුන්දෙ. මං බස්සෙකක නැගිලා උදෙන් ඇවිත්, බඩු ගබඩා පැත්තෙ යාඩ් එකේ පාක් කර තිබෙන කෝච්චිය හොයාගෙන ගිහින් නැගලා සුබාටත් සීට් එකක් අල්ලගෙන බලා ඉන්නවා. කෝච්චිය වේදිකාවට ආවාම තමයි සුබා නගින්නෙ. එයා කළුතර බෝධිය ළඟ බස් හෝල්ටෙකෙන් බැහැලා, පිට්ටනිය පැත්තෙන් වේදිකාවට ගොඩවෙලා, සාරි කඩාගෙන, හතිදාගෙන දුවගෙන එන පරක්කු වෙච්ච දවසට මං එයාට සීට් අල්ලගෙන ඉඳලා මගීන්ගෙන් බැනුම් අහලාත් තියෙනවා.
සුබාගෙ කාර්යාලය තියෙන්නෙ බම්බලපිටියෙ. එයා හතරට ඕෆ්. හතරයි විසිපහට බම්බලපිටියෙන් යන කන්තෝරු කෝච්චියෙ සුබා ගෙදර යනවා. මට හැමදාම ඒකට එන්න බැහැ. ඒත්, සුබා එක්ක ගෙදර එන්න මං සමහර හවස්වල ඒ කෝච්චියෙ එනවා. සුබා බලාගෙන ඉන්නෙ ගෙදර දුවන්නමයි. කළුතර උතුරේ ස්ටේෂම ගාව බස්සෙකක් තියෙනවා මතුගම පැත්තට යන. මතුගම යන පිරිමි පිස්සු බල්ලන් වගේ කෝච්චියෙන් පැනලා දුවනවා සීට් අල්ලන්න. ගෑනු නගිනකොට පිරිමි නිදි.
“මේක හරි වැඩක්නෙ යකෝ. හිටපන්, මං හෙට උඹට සීට් එකක් අල්ලනවා,” මං දවසක් හැටට නැගලා කිව්වා.
“ඔයා මොකටද මේකෙ යන්නෙ? අපි මතුගමිනුත් එහාට යන නිසා මේකෙ නගින්නෙ.”
ඇත්තෙන්ම මට ඒකෙ ගිහින් කටුකුරුන්දෙන් බහින එක තේරුමක් නැහැ. තුනේ දෙකේ සීට් තියෙන බස්සෙකේ මැද තීරුවෙ සෙනඟ පිරෙනවා. ඒ අතරින් රිංගගෙන එනකොට සමහරු කුටු කුටු ගානවා, “වෙන බස් නැතුවද මන්දා” කියමින්. ඒකෙන් බහින්න අමාරු මදිවට ඕනෑවට වඩා කලින් ගෙදර යන්නත් වෙනවා.
ඒ වුණාට මං පොරොන්දු වෙච්ච විදියටම වාද්දුවෙදි පිරිමි මැඩගෙන කෝච්චියේ දොරටුව ගාවට ඇවිත් ඉඳලා, නවත්තන්නත් කලින් වේදිකාවට පැනලා දුවල ගිහින් පිටිපස්සෙ දොර පැත්තෙ කොනේ සීට් එකේ වාඩි වෙලා සුබාටත් සීට් එකක් අල්ලගෙන හිටියා.
“ඔයාට පිස්සු අනේ,” සුබා මා ළඟ වාඩි වෙන ගමන් කිව්වා. “දොඩංගොඩ පහු වෙනකොට සීට් හම්බ වෙනවා.”
“ඇයි උඹ රතු වෙලා?”
“ලැජ්ජ නැද්ද අනේ පිරිමි එක්ක හරි හරියට ඔට්ටු වෙලා සීට් අල්ලන්න?”
“උන්ට ලැජ්ජ නැද්ද එහෙම ඇඟේ හයියෙන් සීට් අල්ලන්න?”
“කෑ නොගහ ඉන්න අනූ. අර පිරිමි අපි දිහා බලනවා.”
ඇත්ත, ජැන්ඩි පහට ඇඳගෙන, පිස්සු බල්ලො වගේ පොරකාලා සීට් අල්ලගත්ත මහත්තුරු අපි දිහා බැලුවෙ අවඥාවෙන්.
“ඒ වුණාට බස් එකට නගින්නෙ ඇඟේ හයිය එකම නීතිය වගේනෙ,” මං ටිකක් හයියෙන් කිව්වෙ “ගොඩේ හැත්ත” කියලා හිතින් හිතන ගමන්. කටින් කිව්වා නම්, සුබා ඒක එයාට පෞද්ගලිකව කරපු අපහාසයක් විදියට අරන් රවනවා.
මං සුබාට උඹ කිව්වට එයා මට කියන්නෙ ඔයා කියල මෙයා. එයා හරි ළාමක ටිං ටිං. කතා කරන්නෙත් නළවලා. මං සුබාගෙ ඒ ලක්ෂණවලට කැමතියි.
අපේ බැච් එකේ කොල්ලන් අපට හිනා වුණේ අපි දෙන්නා අතරේ සමලිංගික සම්බන්ධයක් තියෙනවාය කියලයි. කොටින්ම සුබාට ‘සූප්පු අබා’ කියල කාඩ් එකකුත් ගහල තිබුණා. ඒක කියනකොට සුබා රතු වෙලා “අනේ නිකම් ඉන්න” කියනවා. සූප්පු අබා කියන්නෙ ආප්ප සුබා කියන එක පද පෙරළලා.
මං සුබාට කැමති ඒකිගෙ අහිංසක, සෝමාරි, ගෑනු ලක්ෂණ නිසා. මං ටිකක් ටොම්බෝයි පෙනුම තියෙන කෙල්ලෙක්. මං ගියෙ කොන්වන්ට්. සුබා කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලෙ.
සූදුරු අබා කියන නම අපි හදාගත්තෙත් කොල්ලන් දාපු අර නම විදියටමයි. ඇත්තම කියනවා නම්, ඒක අපි ගත්තෙ ශ්‍රීමතී තිලකරත්න කියල ටිකක් පැරණි ගායිකාවක් කියන ආදර සුබා කියන ගීතයේ පදවලින්.
ආදර සුබා
වාසනා වේවා
ආදර සුබා පද පෙරළුවාම සූදර අබා. මං ඒක සූදුරු කළා. ඒ කාලෙ මං ඒකිට සමහර වෙලාවට ආදරේට සූදුරු කියල කතා කරනවා. එයා මට මාදුරු කියනවා.
ඒ ගීතය ලියල තියෙන්නෙ ප්‍රේමකීර්ති ද අල්විස්.
“ඒක ගැහැනියකු ගැහැනියකට කියන ආදර ගීයක්,” මං තර්ක කරනවා.
ඒකෙ තියෙන මේ කොටස මට ටිකක් ගුප්තයි.
බාලවියේ සිහින ලොවේ මේ ගුරු පාරේ
දෑත බැඳන් පිය මැන ආ එකට පාසලේ
අකුරු කියවලා
අතුරු මිතුරු වී
මා හා ආ…
“මොකක්ද බං ඒ මා හා ආ කියන්නෙ?”
“පිස්සු,” සුබා විරුද්ධව තර්ක කරනවා. “ඒ යාළුවො දෙන්නෙක්. අපි වගේ.”
සුබා ඒ අන්තිම වචන දෙක කියන්නෙ පොඩි විරාමයකට පස්සෙ හෙමිහිට.
ඉතින් අපි ඔහොම කෝච්චියේ ගියා. සුබාගෙ මාස්ක් එක ගැලවුණේ කොවිඩ් ඉවර වෙලා සෑහෙන කාලෙකින්.
“මොකක්ද බං උඹේ ඔය ලස්සන මූණ මටවත් බලන්න නැහැනෙ ඔය උලව්ව හින්දා. ගලවහන්කො ඕක.”
“මගෙ කට කැතයිනෙ අනූ. ඒ නිසා මං කැමතියි මාස්ක් එක දිගටම වුණත් දාන්න.” සුබා කිව්වා.
“උඹට නම් පිස්සු සුබා. කෝ පෙන්නපන් උඹේ කට. සෑහෙන කාලෙකින් දැක්කෙවත් නැහැනෙ.”
සුබාගෙ උඩු දත් ඇන්ද බොහොම පොඩ්ඩක් ඉස්සරහට ඇවිත්. එයා කම්බිත් දාලා ඉන්නෙ. ඒ නිසා සුබාගෙ තොල්වල තියෙන්නෙ කතාකරන්න බලා ඉන්න පොපියන පෙනුමක්. මට අනුව නම්, ඒකෙන් සුබාගෙ සුන්දරත්වයෙ කිසිම අඩුවක් වෙන්නෙ නැහැ.
අපි දෙන්නටම කැම්පස් එකේදි හරි හමන් විදියට කොල්ලන් සෙට් වුණේ නැහැ. ඇත්තෙන්ම ඉතින් ආර්ට් ෆැකල්ටිවල එක කොල්ලට කෙල්ලන් තුන් හතර දෙනෙකු විතර අනුපාතයක්නෙ තියෙන්නෙ. මට නම්, කොල්ලන්, කෙල්ලන් කියලා වෙනසක් නැතුව යාළුවන් හිටියා. සුබා කොල්ලන් ඇසුරු කළේ සබකෝලෙන්. නියම ස්ත්‍රී පරාණෙ. කොල්ලන්ට ආසයි, බයයි.
අමිලයා ගැන සුබාගෙ කැමැත්තක් තිබුණා. ඌත් කැමැත්තෙන් හිටියෙ. ඒ වුණාට ඌ දාර පෙරෙට්ටා. ඒ නිසා සුබා අදිමදි කළා. කොහොමත් ගෙදරින් කැමති වෙන එකක් නැහැ කියලායි කිව්වෙ. අමිලයා ශිෂ්‍ය සංගම් කර කර බැච් මිස් වෙවී ඉඳලා පක්ෂෙ ෆුල්ටයිම් වැඩට ගියාය කියලා ආරංචියි. අරගලය කාලේ වීඩියෝවල ගෝඨාභයට බැන බැන ඉස්සරහින්ම හිටියා, මූණ පුරා රැවුල වවාගෙන, මූණවත් හෝදන්නෙ නැතුව.
අමිලයා දවසක් අපේ කෙල්ලෙකුට කියල තියෙනවා, ඌ සුබාට කැමති වුණේ නැත්තෙ මායි සුබායි අතර තියෙන සම්බන්ධය නිසාය කියලා. මං ඇහුවා මොන සම්බන්ධයද කියලා. යාළුවා හිනා වුණා. සුබා රතුම රතු වුණා.
“යකෝ අපි හොඳ යාළුවො. මේක මාර වැඩක්නෙ,” මං ඒකිට බැන්නා. සුබා මගෙ අත මිරිකලා එපා කිව්වා. ඒකිගෙ අත හීතල වෙලා. හීනියට දාඩියත් දාලා.
කැම්පස් එකෙන් අවුට් වුණාත් එක්කම සුබා මගෙන් ඈත් වුණා. මට ඒක තේරුණා. එයාගෙ පරණ ෆෝන් නම්බර් එක භාවිතයේ නොමැති වුණා. එයා කොහොමත් වැඩිය සෝෂල් මීඩියාවල ඇක්ටිව් නැහැ. ඒ වුණාට හැම තිස්සෙම බලනවා. “අලුත් නම්බරේ එවපන්,” කියලා මං දාපු වට්ස්ඇප් මැසේජ් එක සීන් කරලා තිබුණා. ඒත්, නම්බරේ ආවෙ නැහැ.
මට පුදුම දුකක් හිතුණෙ. අපි ඒ තරම් සමීප යාළුවො. ඇයි එහෙම වෙන්නෙ?
කෝච්චියේදී නැවත හමු වුණාට පස්සෙ මං දවසක් මගේ දුක සුබාට කිව්වා. “ඇයි බං මට එහෙම කළේ?” මං ඇහුවා.
සුබාට මාව බදාගෙන අඬන්න ඕනැ වෙලායි තිබුණෙ. ඒ වුණාට අපි හිටියෙ කෝච්චියෙ. මං හිතින් සුබාව උරහිසේ හොවාගෙන හිස අතගෑවා. කැම්පස් කාලේ එක බෝඩිමේ ඉන්නකොට අපි ඒ විදියට කොයි තරම් අපේ රිදිච්ච හිත් සනසා ගත්තද?
ඒ වුණාට, ඒ කාලෙත්, සුබා මට ගෙදරට ආරාධනා කරලා තිබුණෙ එක දවසයි.
“අයියා ඇහුවා අර ගෑනු පිරිමි ළමයා කවුද කියලා?” ඊට පස්සෙ කැම්පස් ආවාම සුබා හිනා වෙවී කිව්වා. “තාත්තාත් හිනා වුණා.”
“ඒ කියන්නෙ උඹල මට හිනා වුණා.” මං ඇහුවා.
මං සුබා එක්කත් එදා වරුවක් විතර තරහ වුණා. හවස ලෙක්චර්ස් ඇරුණු හැටියෙ මං ගිනි කසය වගේ සුබාව දාලා බෝඩිමට ආවා. සුබාට මං තරම් වේගෙන් ඇවිදින්න බැහැ. නාරිලතා ගමනෙන් පස්සෙන් එන ගමන් මට මැසේජ් කළා.
“Eei mawa dala duwanne mokada?”
මං මැසේජ් එක සීන් කරලා නිකම් හිටියා.
“Sorry Anu! Forgive me!” සුබා මැසේජ් කළා.
එදා හවස අපි නැවත යාළු වුණා. “අපේ පවුලේ අය හරි සම්ප්‍රදායකයි සුබා.”
“ඉතින් යකෝ, මං මෙහෙම වුණ එකට මං මැරෙන්නද?” මං ඇහුවා. “මේක මාර අසාධාරණයක්නෙ. මේවට කියන්නෙ බොඩි ෂේමිං කියලා. ඇයි ඔය වගේ මහ ලොකු උගත්තු එහෙම කරන්නෙ?”
සුබා මුව නොසෑහෙන්න මගෙන් සමාව ගත්තා. ඒ වුණාට කැම්පස් එකෙන් පිට වෙලා ඒ සම්ප්‍රදායික සමාජයට ආපසු ගිය හැටියෙ මාව කටෝෆ් කළා.
“මාව බලන්න එක්කෙනෙක් එනවා,” දවසක් සුබා කෝච්චියේදී කිව්වා. එදා අපි දෙන්නටම තිබුණෙ එක ඉයර්ෆෝන් එකයි. අපි ඒකෙන් යොහානිගෙ කෙල්ල සින්දුව අහමින් හිටියෙ. මට සුබා කියපු දේ ඇහුණා. මං සින්දුව අහගෙන වගේ නෑහිච්ච විදියට හිටියෙ. ආයෙන් සුබා ඉක්මනින්ම මගෙන් වෙන් වෙන බව මං ඒ වෙනකොට අවබෝධ කරගෙන හිටියෙ. ජීවිතේ එහෙම තමයි. හැරයාම් විතරයි.
සුබා මගෙ ඉයර්ෆෝන් කෑල්ල ගැලෙව්වා. “ඔයාට ඇහුණද?”
මං “හ්ම්” කිව්වා. .
ඔහු ඒවි ඔබ යාවි පතිනිය වී
ඔබෙ යෙහෙළි තනි වේවි මුකුලිත වී
ආදර සුබා සින්දුවෙත් එහෙම තිබුණා.
සුබාට කතා කළ මනමාලයා ඉඳුරුවෙ. සුබාට වඩා අවුරුදු හත අටක් වැඩිමල් බුවෙක්. බලන්නට ආපු ඉරිදාට පහුවෙනිදා සුබා උදය සුපිපුණු මලක් වගේ ලස්සනට හිනා වෙවී හිටියා.
“ආව්, ආව්! වැඩේ නැගල ගිහින් වගේ,” මං කිව්වා.
සුබා මගෙ අත කෙනිත්තුවා. “ලොකු අයියා!”
“මොකා?”
“ලොකුසූරිය අනේ නම. අපේ අයියටත් වඩා වැඩිමල්. ඒ නිසා මං ලොකු අයියා කියන්න තීරණය කළා.”
මට බකස් ගාලා හිනා ගියා.
“හිනාවෙන්න එපා අනූ. ඒ අයියා ඇත්තටම මගේ ලොකු අයියා වගේ. මාව ආදරෙන් බලාගනියි, ඔයා වගේ.”
සුබා එදාත් අන්තිම වචන දෙක කිව්වෙ මඳ විරාමයකට පසුව, රහසින් වගේ. මම නිහඬ වුණා. බර සුසුමක් පිට වුණේ නොදැනම වගේ.
“හූල්ලන්න එපා අනූ. ඔයාත් දැන් කා එක්ක හරි යාළු වෙන්න.”
මං සුබා දිහා ආදරෙන් බලලා හිනා වුණා. කවුරුවත් බලා ඉන්නවාද බලලා කම්මුලට හීනි තොත්තුවකුත් දුන්නා. සුබා ලැජ්ජාවෙන් වටපිට බැලුවා. මං සුබාගෙ අතින් අල්ල ගත්තා. සුබා ඉඩ දීලා නිකම් හිටියා. කෝච්චිය හූ කියලා ගස්සලා ඇද්දා.
ලොකුසූරිය වැඩට ගියේ සමුද්‍රෙ. එයා සමුද්‍රදේවියෙ මිතුරු සංගමේක නායකයා. අපටත් ඒ කෝච්චියට ආරාධනා කළා. යාළුවන්ටත් හඳුන්වා දුන්නා.
“මේ අනුරංගි නංගි. සුබාගෙ හොඳම යාළුවා.”
ලොකු අයියා ඇත්තටම සුන්දර මිනිහෙක් කියලා මට හිතුණා.
“පාටිවලදි බොනවා.” සුබා කිව්වෙ සතුටෙන්. “නටන්න මාවත් ඇදල ගන්නවා.”
ලොකුසූරියගෙයි සුබාගෙයි වෙඩිං එකේදි මනාල යුවලත් නැටුවා. ලොකුසූරියගෙවත්, සුබාගෙවත් ඇඟේ නැටුම් නැහැ. ඒ වුණාට අවුලක් නැහැ. මං නම් හාඩ් ලිකර් ෂොට් තුන හතරක් විතර බීල හිටියෙ. අපි කෙල්ලො කොල්ලො සෙට්ටෙක පිස්සුවෙන් වගේ නැටුවා.
මඟුල් ගෙදරින් පස්සෙ සුබා වැඩට යන දවසෙ මං සුබාව දැක්කෙ කාම ධේනුවක් වගේ. සුබාගෙ කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම බැබළුණා. මට ඉරිසියාත් හිතුණා.
ඊට පස්සෙ මං නැවතත් හතේ කෝච්චියෙ යන්න පටන් ගත්තා. සුබා ආවෙ ඉඳුරුවෙ ඉඳන් සමුද්‍රෙ. මං කෝච්චියෙ නැගල ඉන්නකොට ඒ කෝච්චිය අනෙක් වේදිකාවට ඇවිත් අපට කලින් පිටත් වුණා. මං මුල් දවස්වල කවුළුවෙන් එබිලා පහුවෙන කවුළු රාමු තුළින් සුබාගෙ මුහුණ අල්ලගන්නට බලාගෙන හිටියා. සුබාත් බලා ඉඳලා අත වැනුවා.
එක දවසක් සුබා පෙනෙන්නට හිටියෙ නැහැ.
“Ada niwaduda?” මං වට්ස්ඇප් මැසේජ් එකක් යවලා බලා හිටියා. ඒක ටක් ගාලා සීන් වුණා. උත්තරයක් ටයිප් වුණා.
“Na. Loku Aiya kiwwa podi lamayek wage hasirenna epa kiyala.”
මං කවුළුවෙන් හිස පිටතට දාලා දෙපැත්ත බැලුවා. සුබා පේන්න හිටියෙ නැහැ.
“Poddak muna pennapan.” මං මැසේජ් කළා. කෝච්චිය හූ කිව්වා.
සුබා ඔළුව එළියට දැම්මෙවත්, අත වැනුවෙවත් නැහැ. සමුද්‍රෙ ගියා. අපි නැවතත් දුරස් වෙන බව මං දැනගෙන හිටියා. ඊට පස්සෙ මං සමුද්‍රෙ වේදිකාවට එනකොට ඒ දිහා බැලුවෙ නැහැ.
“Anu, me paththa balananko.” දවසක් සමුද්‍රෙ නවත්තපු හැටියෙ මගෙ වට්සැප් එකට ටිං ගාලා මැසේජ් එකක් ආවා. මං හිටියෙ ෆේස්බුක් බල බලා. මං බලනකොට සුබාගෙ කෝච්චි පෙට්ටිය මං ඉන්න තැන නවත්තලා. සුබා කට පුරා හිනා වෙලා දිලිසෙන ඇස්වලින් මා දිහාම බලා ඉන්නවා. මගෙ පපුවෙ සියුම් කම්පනයක් ඇති වුණා. ඒක මිහිරි වේදනාවක්. අපි දෙන්නා ටික වෙලාවක් හිනා වෙවී එකිනෙකා දිහා බලාගෙන ඇස්වලින් කතා කළා.
“Ko ban Loku Aiya?” මං සුබා දිහා බල බලම මැසේජ් එකක් ටයිප් කළා.
සුබා ෆෝන් එක බලලා හිටගෙන හිටිය කෙනෙකුට තට්ටු කරනවා පෙනුණා. ලොකුසූරිය. එයා වහා නැමිලා කවුළුවෙන් එබිලා කෑගැහුවා. “අනුරංගි නංගී. දැන් අපිත් එක්ක යන්න එන්නෙ නැහැ නේ?”
මං හිනා වුණා. ඒ කෑගැහිල්ල ටිකක් ඔඩ් කියලා මට හිතුණා. සුබාත් එහෙම හිතන බව මං දන්නවා. ඒකිටත් ලැජ්ජ ඇති. ලොකුසූරිය ඒවා ගණන් ගන්න කෙනෙකු නෙමෙයි.
සුබා හාර්ට් ඉමෝජියක් මැසේජ් කළා. මං පත හාර්ට් ස්ටිකර් එකක් යැව්වා. සුබා ස්මයිලියක් දැම්මා. සමුද්‍රෙ හූ කිව්වා.
කිලිනොච්චි ඉරණමඩු වැව අවට පදිංචි යුද්ධයෙන් විපතට පත් ගොවින්ගේ ගොවිතැන ඇතුළු ජීවනෝපායන් නංවාලීමේ වැඩ මුළුවේ ආරම්භක සැසිය මෙහෙය වූ සෙනරත් තොසපාල තේ ව
කෙසේ වෙතත් මංගල්‍යයට දෙපාර්ශවයෙන් ම කැමැත්ත ලැබිණ. ඊ ළඟ සති අන්තයේ ම සුරංගත්, වත්සලාත් නැකැත් බැලීම සඳහා පිටත්ව ගියේ එවැනි කටයුත්තක් පවා මවුපියන් වෙති
ඔඩවාරා සහ අතමි අතර කුඩා දුම්රිය මාර්ගයේ වැඩ පටන් ගන්නා විට ර්යෝහෙයි ගේ වයස අවුරුදු අටකි.ර්යෝහෙයි සෑම දිනකම කම්කරුවන් වැඩ කරනු බැලීමට නගරාන්තයට ගියේය.
යාබද නිවෙසේ සිටින නීතීඥ වර්මා මහතා අද විවාහ වෙයි. මම දොම්නසට පත්වී සිටිමි. ඔහු සමග රණ්ඩුවක් ඇද ගැනීමට මට වුවමනාය. ඇතැම්විට එය මට සහනයක් ගෙන දෙනු ඇත. කාරණා
ජනවාරි මාසයේ එක්තරා සැඳෑවක, මෝල් මාවත දෙසට දිවෙන ඩේවිස් පාර දිගේ ඇවිදගෙන ආ ජේත්තුකාර තරුණයෙක් චාරිං ක්‍රොස් වීදියට හැරුණේය. ඔහුගේ සිනිඳු හිසකේ දිලිසු
එය සිදු වූයේ මෙන්න මේ විදියටය. ෆිලොමෙනා නින්දේ සිටියදී උදේ පාන්දර අවදි වූ මම මගේ ආයුධ මල්ලත් රැගෙන හඬක් නොනගාම නිවෙසෙන් පිටවීමි. මොන්තෙ පරියෝලිවල ග්‍ර
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සූදුරු අබා