කිලිනොච්චි ඉරණමඩු වැව අවට පදිංචි යුද්ධයෙන් විපතට පත් ගොවින්ගේ ගොවිතැන ඇතුළු ජීවනෝපායන් නංවාලීමේ වැඩ මුළුවේ ආරම්භක සැසිය මෙහෙය වූ සෙනරත් තොසපාල තේ විවේකයේ දී හංස ලංකා පදනමේ පහත මාලයට පිවිසියේ මිතුරු සමාජ විද්‍යාඥ නන්දන ඩේවිඩ් මුණගැසෙන අදහසිනි. තම හිතමිතුරා පිළිබඳව සෙනරත් සැම විටම කල්පනා කළේ අනුන්ගේ ප්‍රශ්න විසඳීමට උදව් කරන ගුණෝපිත චරිතයක් ලෙස ය.
රාජ්‍ය නොවන සංවිධානයක කලාපීය අධ්‍යක්ෂ ධුරය ගැනීම සඳහා වසර දෙකකට පෙර ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විද්‍යාලයේ මහාචාර්ය ධූරය අත්හළ තම සරසවි මිතුරා දෙස නන්දන ඩේවිඩ් බලා සිටියේ නූතන බුද්ධිමතුන්ගේ නියැදියක් පරීක්ෂා කරන දෙඇසිනි. සමාජ විද්‍යාඥයන් ලෙස එකම ගුරුකුලයක සාමාජිකයන් වූ ඔවුහු එකිනෙකාගේ හද ගැහෙන රාවය දැන සිටියහ. කවර වෙනස්කම් තිබුණ ද ඔවුන් දෙදෙනාගේ මහපොදු සාධකය සමාජ විද්‍යාව විය.
තමා බඳු කෙනකු නොව පාංශුදේහධාරී කඩවසම් පුද්ගලයකු වූ සෙනරත් පේරාදෙණියේ දී සරච්චන්ද්‍රගේ නාට්‍යවල රඟපෑ අයුරු නන්දන ඩේවිඩ්ට මෙවේලෙහි මතක් විය. ඔහුට අනුව දෙදෙනාම තම සිහින සැබෑ කර නොගත් ප්‍රේමවන්තයෝ සහ අසාර්ථක ලේඛකයෝ වෙති. සමාජ විද්‍යාව සහ ජනවංශ සාහිත්‍යය පටලවා ගත්තෝ වෙති.
පහත මාලයට බසින සෙනරත් දෙස බලමින් නැගිට සිටි නන්දන ඩේවිඩ් කොළඹ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මගින් හාඩ් කවර මුද්‍රණයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණු කර්මදෝෂ පිළිබඳ ගැමි විශ්වාස විග්‍රහ කරන අධ්‍යයනයේ පිටපතක් ඔහු වෙත තිළිණ කළේ තම දිග අත්සන තබමිනි.
මං බලාගෙන හිටියෙ ඩේවිඩ්ගෙ අනික් පොත කියවන්න. සෙනරත් තමාට තිළිණ කළ කෘතියේ පසුපිට විස්තරය කියවමින් පැවසුවේ ය.
"මොකක්ද ඒ?
ඇයි සිංහල ඩයස්පෝරා එකයි කතරගමයි ගැන කරපු රිසර්ච් එක. ඒ වගේ පොතක් මං ඇෆ්රිකන් රිසර්ච් පබ්ලිකේෂන් ලිස්ට් එකක දක්කා. සෙනරත් පැවසුවේ විදේශගත තම ඥාති පරපුරේ පැතිකඩක් සමාජ විද්‍යාඥයකු අතින් විමර්ශනය වනු දකින බලාපොරොත්තුවෙනි.
සෙනේ අපි සමාජ විද්‍යාඥයෝ වුණාට අපේ ගැනු සමාජ විද්‍යාඥයෝ නෙමෙයිනේ. ලලිතා කැමැති නැහැ මං ඒ රිසර්ච් එක කරනවට. එයාගේ අක්කලා මල්ලිලා ඔක්කොම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එගොල්ලොත් ලංකාවට එන්නෙ කතරගම දුවන්න බලාගෙන. කැතලික් කට්ටියත් එහෙමයි. උන් මඩු යන්න ලංකාවට එනවා . මාර්ටින් වික්‍රමසිංහ කළුවර ගෙදර ලියන්න ඇත්තෙ ඔය නිසා වෙන්නැති... මටත් හිතුණා ඒ රිසර්ච් එක පර්සනල් වැඩියි කියලා, ඩේවිඩ් පැවසුවේ කවර විද්‍යාවක් අනුව වුව ලෝකය විවරණය කිරීමට සීමාවක් ඇති බව හඟවන ස්වරයෙනි.
යාපනයේ සිට හංස ලංකා පදනමට ගෙන්වා තිබුණු ද්‍රවිඩ ගොවින් පිරිස අඳුරු මුහුණින් යුතුව බලා සිටියේ බිත්තියට සවි කර තිබෙන පැතලි රූපවාහිනී තිරය දෙස ය. ජර්මානු රූපවාහිනී වැඩ සටහනක් එහි විකාශනය විය. එය බෘන්ඩස්ටාග් නම් වූ ජර්මානු පාර්ලිමේන්තුවේ සැසි වාරයකි. ජර්මානු අරමුදල්වලින් ගොඩ නැගුණු හංස ලංකා පදනමේ බිත්ති සැරසී තිබුණේ අනේක විධ ආර්ථික සහ සමාජ අභියෝග මැද නොමැරී ජීවත්වීමේ අධිෂ්ඨානය පළ කරන ශ්‍රී ලංකාව, නේපාලය, කොලොම්බියාව. බොලිවියාව වැනි රටවල ඡායාරූප වලිනි.
සෙනේ ඊයේ ටීවී එකේ හිටියයි කියල මට ලලිතා කිව්වා. ඒත් මං කිව්වා ඒ සෙනේ වගේ වෙන කෙනෙක් වෙන් නැති තියලා. මට බලන්න වෙලාවක් තියෙනවැ . නන්දන ඩේවිඩ් පැවසුවේ මෙි යුගයේ සමාජ විද්‍යාඥයකුට නොගැළපෙන තරමේ දුරස්ථ හැඟීමකිනි.
ලැජ්ජාවෙන් බිම බලා ගත් සෙනරත් ප්‍රකාශ කළ නොහැකි වෙිදනාවකින් තම පපුව පිරිදින්නට විය එය බලාපොරොත්තු
නොවුණු ප්‍රතිචාරයක් වූ නිසා ඩේවිඩ් එකවරම තම මිතුරාගේ අතින් අල්ලා ගත්තේය.
"ඩේවිඩ් දන්නවද මං මොකටද එතන හිටියෙ කියලා? පුළුවන්කමක් තියෙනවා නං මේ දවස්වල මං වෙස් මුහුණක් පාවිච්චි කරනවා."
බොහෝ වේලාවක් කල්පනා කළ යුතු ගැටලුවකට මුහුණ දී සිටින අයුරින් සෙනරත් නෙත් දෙක වසා ගෙන සිටියේ ය. ඔහුගේ මුහුණෙහි දැඩි වේදනාවක් පළ විය.
" ඩේවිඩ්ට මතක නේද අපේ පොඩි පුතා ලක්මාල්. ඩේවිව් ලන්ඩන් ඉද්දි අපි වඩා ගෙන ආපු දරුවා. මිනිහා දැන් සුපර් ස්ටාර් වෙන්න ළඟයි. අන්තිම හයදෙනා අතරෙ ඉන්නවා."
"මං දන්නෙ නෑ සෙනේගෙ පවුලේ මියුසියන් කෙනෙක් ඉන්නවයි කියල... ආ හැබෑ නේන්නං ඒ කාලේ සෙනරත් වෙස්ටර්න් සිම්ෆනීස් අහනවා මට මතකයි."
මේ අපේ මනුස්සයට එහෙම ටේස්ට් එකක්වත්, ටැලන්ට් එකක්වත් තිබුණේ නැහැ. එහෙම එකක් පෙනුණා නම් මං මිනිහාව ලන්ඩන් කන්සවේටොයා එකකට අරිනවා."
ලංකාවේ ජෙනරේෂන් ගැප් එක හුඟාක් විශාල වුණා..දැන් තමයි අපිට ඩොක්ටර් සරච්චන්දුගෙ සිංහබාහු ඩ්‍රාමා එක ගැළපෙන්නේ.
මේ මිනිහා සුපර් ස්ටාර් වෙත්දි මගේ ඉමේජ් එක ඉවර වෙයි. මට හිතෙනවා ආයෙ අවුරුද්දක් විතර ඇමෙරිකාවට වෙලා ඉන්න.
" ඕක මග ඇරලා ඉන්න බලන්න. දරුවෝ කරන සෑම දෙයක් වෙනුවෙන්ම පියවරු පෙනී හිටින්න ඕනය කියල තියරියක් හදාගෙන තියෙන්නෙ අපිමයි... ඔය නිසා වෙන්නැති බටහිර මවුපියන්ට වුවමනා වෙන්නේ අඩු වයසෙදීම ළමයි ස්වාධීන කරවල මහ ගෙදරින් පිට කරවන්න. ඔය මහ ගෙදර සංකල්පය දන් අපිට වුණත් ගැළපෙන්නෙ නැහැ." ඩේවිඩ් තම මිතුරාගේ වෙිදනාව හවුලේ බෙදා ගන්නට උනන්දු විය.
කොහොමද මඟ ඇරලා ඉන්නෙ ඩේවිඩ්? හැම ඉරිදාම මමත් යන්න ඔක ස්ටුඩියෝ එකට පුතා සිංදු කියත් දී පෙන්නන්නේ තාත්තයි අම්මගෙයි මුණ. මේ මොන විදිහෙ සංගීතයක් ද ඩෙවිඩ්? තව ටික දවසකින් මමත් සුපර් ස්ටාර් කෙනෙක් ? " සෙනරත් පැවසුවේ තමාගේ ඉරණම තමාටම විශ්වාස කළ නොහැකි අයුරිනි.
රට පුරා විසිරුණු සරණාගතයන් වෙනුවෙන් සිත් පීඩාවෙන් කටයුතු කරන සංවිධානයක් තුළ දී ම තමාට මෙවැනි සිත් පීඩාවකින් කටයුතු කරන්නට සිදු වීම ඇදහිය නොහැකි ඉරණමක් සේ ඔහුට හැඟිණ. සම්මන්ත්‍රණයට සහභාගි වන්නන්ගේ දිවා ආහාරය වෙනුවෙන් කුස්සියේ පිළියෙළ වන ස්පෙගෙටි සුවඳ දනෙත් ම මහුට හැඟුණේ කොළඹ නොව ඇස්ටර්ඩෑමයේ හෝ බර්ලිනයේ හෝ සිටින බවකි.
මගේ ඉරණමත් ඔය වගේ තමයි සෙනේ. දුවයි බෑතයි මෙහෙ තියෙන සේරම් දාලා මෙල්බන් ගියා. අවුරුද්දට තුන් හතර වතාවක් මමයි ලලිතයි මෙල්බන් යනවා මුණුපුරා බලන්න. මට සිතෙන්නේ ග්ලෝබලයිසේෂන් එකෙන් වුණේ අපේ සාම්ප්‍රදායික ජීවිතේ තවත් විශාල වුණු එකයි. අපේ ගෙදර ඉස්සරහ දොර තියෙන්නෙ බත්තරමුල්ලෙ වුණාට පස්සෙ දොර තියෙන්නෙ මෙල්බන්වල, ඩේවිඞ් තම ජීවිතය ද මිතුරා වෙනුවෙන් විවෘත කළේ එලෙසිනි.
අපේ පවුල්වල හිටපු ඩොක්ටර්ස්ලා, ඉංජිනියරිස්ලා, බ්‍රිගේඩියර්ලා බිස්නස්මන්ලා ඔය ඔක්කොම දැන් මිනිහට පරාදයි.
සාලයේ වාඩි වී සිටි ගොවි පිරිස වෙත පැමිණි ජර්මානු කාන්තාවක් භාෂා පරිවර්තකයෙකු සමඟ ඔවුන් අසල වාඩි වූවා ය. අවි රශ්මියෙන් සහ යුද තාපයෙන් ඇද වී සිය ඔවුන්ගේ මුහුණු දෙස බලා සිටි සෙනරත්ට කිසියම් හේතුවක් නිසා තම උපන් ගම වූ මැදවච්චිය සිංහල කොට්ඨාසය මතක් විය. යාපනේ ගොවි පිරිස සහ තමා අතර බැඳුණු ඥාතීත්වයක් ඇතැයි ඔහුට සිතිණ. ඉන්දියාවේ සංචාරය කරන විට දැනෙන මේ හැඟීම මෙදින සෙනරත්ගේ සිත වෙළා ගත් සෝබර හැඟීමක් විය. ගොවීන් සමඟ සතුටු සාමිචියේ යෙදී සිටින ඇවලින්ඩා ද ජර්මන් ගොවි මූලයන් සහිත ගැහැනියකැයි ඔහුට සිතිණ.
සර්වෝදය මුලස්ථානයට යා යුතු බව පවසා ඩෙිවිඩ් සමුගෙන ගිය පසු සෙනරත් හදවත වෙළා ගත් හුදකලාවකින් යුතුව මාණ්ඩලික පුස්තකාලයට ඇතුළු විය. රාජ්‍ය විරෝධියකු ලෙස හංවඩු ගැසී අවදනම් සහගත ජිවිතයක් ගත කරන බද්දේගම ආනන්ද සරණාගතයන් පිළිබඳ සඟරාවක පිටු පෙරළමින් සිටිනු ඔහු දුටුවේ ය.බිරිඳ සහ දරුවන් සමඟ දේශපාලන රැකවරණ බලාපොරොත්තුවෙන් ජර්මනියට සංක්‍රමණය වීමේ අදහසින් සැඟවී සිටින ආනන්ද වෙත ගිය සෙනරත්, පුස්තකාලය තුළ කිසිවතු නැති බව දැක රුපියල් දෙදහේ නෝට්ටුවක් ඔහු අත තැබීය.
"සර්ගේ ලක්මාල් පුතාට සපෝට් කරන්නෙ ජජ්බෝඩ් එකේ දේවිකා සඳමාලි චිතරයි. ස සර්ගේ ලක්මාල් පුතාට තියෙන්නේ වෙල්වට් වොයිස් එකක්. ඊයෙ දේවිකා කිව්ව කතාව හරි පුස්තකාලය තුළ පැවති නිහඬතාව බිඳිමින් ආනන්ද පැවසුවේය.
තැන්ක් යූ ආනන්ද.''
යාපනයේ ගොවි පිරිස කැඳවා ගෙන පුස්තකාලය මැදින් පිය නැඟු ඇඩලින්ඩා භෝජනාගාරය වෙත යන අතරේ සෙනරත් දෙස බලා කිසියම් ඉඟියක් කළා ය. ගොවියන්ගෙන් බහුතරය නිර්මාංශකයින් බව කල්පනා කළ සෙනරත් ඔවුන්ගේ කෑම ගැන සොයා බැලීම සඳහා ඉක්මන් ගමනින් කුස්සියට ගියේ ය.
ප්‍රධාන කෝකියා සහ ඊශ්වරී අතරට ගිය සෙනරත් උද්ගත විය හැකි ආහාර අර්බුදය ගැන දැනුම් දුන්නේ ය.
ඊශ්වරි අන්න නෑයෝ ඇවිත්. එළවළු කෑම දහය දොළහක් සදන්න වෙයි. ඇඩලින්ඩා නෝනත් අද වෙජිටේරියන් වෙයි.
සෙනරත් පැවසුවේ ජර්මන් ගැහැනියගේ ආහාරය ඇය සමග කන බොන අමුත්තන් අනුව වෙනස්වන බව මතක් කර දෙමිනි.
ස්පෙගෙටිවලට දාන වෙජිටබල් ටික විතරයි තියෙන්නෙ ද්‍රවිඩ තරුණිය තම ඒප්‍රණය සකස් කරමින් කීවාය.
දනට වෙජිටබල් සුප් එකක් යවන්න. මාලබේ වීමෙන්ස් සොසයිටියෙන් එවන මෂ්රූම් නැද්ද?" සෙනරත් ඇසුවේ ය.
ඒ සමඟම ඔහු දුටුවේ පැන්ට්‍රි කබඩයක අලවා ඇති තම පුත්‍රයාගේ පින්තූරයකි. එළවළු, සැමන්, මස්, නුඩ්ල්ස්, ස්පෙගෙටි, ලුණු දෙහි අාදිය අතරින් තම පුත්‍රයාගේ රුව මතු වීම අරුමයක් සේ ඔහුට හැඟිණි. ඒ අසල අලවා තිබුණේ සායි බාබාගේ පින්තූරයකි. තමා සුපිරි තරුවක පියෙකු විය හැකි දිනය අත ළඟට පැමිණ තිබෙන බව ඔහුට සිතිණ. සමාජ විද්‍යාඥයකුගේ සහ සමාජ ක්‍රියාකාරිකයකුගේ ප්‍රතිරූපය මෙලෙස බිඳ වැටීම ගාබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් වැනි ලේඛකයෙකුගේ නවකතාවකට සුදුසු තේමාවත් බව සිතමින් ඔහු තව ටික වේලාවක් කුස්සියේ ආහාර සුවඳ මැද රැඳී සිටියේ ය.
කෑම මේසය සූදානම් වුණු පසු සෙනරත් ද ගොවියන් සමඟ කෑමට වාඩි විය. කෑම කන අතරේ ගොවියෝ ඉරණමඩු වැවේ ඉවුරු සහ ඇළවල් ගැනත්, බිම් බෝම්බ නිසා විනාශ වී ගිය ගව සම්පත ගැනත් කතා කළහ. ඒ සාකච්ඡාව සිදු වන අතරේ ඉක්මනින් කෑම අවසන් කළ ගොවියෙක් ට්‍රාන්සිස්ටර් රේඩියෝවක් කන තබාගෙන සිටියේ ය. එයින් නිකුත් වුයේ ද්‍රවිඩ ගීත රාවයකි. කටට ගත් සුරා විත්තෙන් හිතට දැනෙන මිහිර ගොවියා සංගීතයෙන් අත්විඳිනු සෙනරත් බලා සිටියේ ය. කෑමට පසුව. නිකට අග තිස් වුරුද්දක් තිස්සේ රැඳී තිබුණු රැවුල පිරිමදිමින් ටික වේලාවක් කාර්යාලයේ රැඳී සිටි ඔහු හදිසියේම නැගිට ගොස් තම සුදු ජිප් රියට නැඟුණේ ය.
ගාලු පාරේ බාබර් සාප්පුවකට ගිය ඔහු තම රැවුල නිකටෙන් ඉවත් කරවීය. කැටපත දෙස බලා සිටි ඔහුට හැඟුණේ රැවුල නැති මුහුණට ළමා පෙනුමක් ඇතුළු වූ බවකි. තම උපැස් යුවළ ද මුහුණින් ගලවා දමා සිවිකාච දෙකක් දමා ගැනීමේ අදහසින් ඔහු ඇස් වාට්ටුව හන්දිය දෙසට රිය පැදවිය.
මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.
’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.
සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්රචාරක ආයතනයේ
සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව
“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව
මහනුවර නගරයෙන් මදක් ඈතට වන්නට නිස්කලංක පරිසරයක පිහිටා ඇති සාත්තු නිකේතනයේ සේවයට පැමිණ මේ ගෙවී යන්නේ තෙවැනි වසරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උලලේනෝ