මං මගේ ජීවිතේ මෙතෙක් විඳපු ආස්වාදජනකම දෙතොල් හාදුව මට දුන්නෙ භාග්‍යා. එතකොට අපි දෙන්නම කැලණි කැම්පස් එකේ. තර්ඩ් ඉයර්. මං කළේ මාස් කොම්. භාග්‍යා කළේ බීකොම්. කොම් - කොම් දෙතොල් පටලැවිල්ලක්.
අපි ෆස්ට් ඉයර් එකේ ඉඳල හොඳ යාළුවො. ඒ යාළුකම ඇති කළේ සෙකන්ඩ් ඉයර් අයියල අක්කල ටිකක්. රැග් සීසන් එකේදි. සඳුදා දවසක උදේ මං තෙල් බැම්ම හරහා ලෙක්චර් එකකට යන්න ඇවිදගෙන ගියා, ගොනා සේ. එහෙම ගියොත් තමයි කාටවත් අහුනොවී ඉක්මනට එතැනින් පැනගන්න ලැබෙන්නෙ. ඒත් වැඩේ හරි ගියේ නෑ.
"ඒයි, මෙහෙ වරෙන් !" කියල අණ ලැබුණා.
සෙකන්ඩ් ඉයර් අයියල අක්කල කීප දෙනෙක් තෙල් බැම්මෙ වාඩිවෙලා හිටිය. ඒගොල්ලො ඉස්සරහ දිග මල් මල් ගවුමක් ඇඳගත්ත ෆස්ට් ඉයර් ගෑනු ළමයෙක්. මට අණ ලැබුණෙ එතැනට එන්න කියල. මං ගියා බිම බලාගෙනම. ගොනා සේ. ගොනා සේ. අන්දරේගෙ තාත්තත් අන්දරේට කිව්වෙ 'ගොනා වගේ ඉඳපන්' කියලනෙ. ඒ උපදේශය මට රැග් සීසන් එක කාලෙ සෑහෙන්න ප්‍රයෝජනවත් වුණා.
"අඳුරනවද මෙයාව?" එක අයිය කෙනෙක් ඇහුවෙ අර ගෑනු ළමය පෙන්නල.
"නෑ !" මගේ කෙටි උත්තරය.
"මොනාද යකෝ? තමන්ගෙ බැච් එකේ කෙල්ලො තාම අඳුරන්නෙ නැද්ද? දැන් කැම්පස් ඇවිල්ල කොච්චර කල්ද?" ඒ පාර මෙන්න මූ තග් සීන් එකට එන්ටර් වෙනව.
"කොච්චර වුණත් තොට මොකද බොල?" මං ඒක ඇහුවෙ කටින් නෙවෙයි. හිතින්. අනින්න හිතෙනව හොම්බට හැට අටක්. නිකං චීත්ත ඉස්සරහ පොර වෙන්න දඟලනව.
"උඹ අඳුරනවද මෙයාව?" ඒ පාර ප්‍රශ්නෙ ෆීමේල් පැත්තට කැරකුණා.
"නෑ !" එයාගෙත් උත්තරේ කෙටියි.
"නැහ් ! හ්ම්... හ්ම්... එහෙනම් දැන්වත් අඳුරගනිල්ලා. යකෝ තොපි තව අවුරුදු තුන හතරක් මේකෙ එකට ඉන්න එපැයි." අයිය දිගටම තග දානව.
උගෙ මුල් ළමා විය හරියට සංවර්ධනය වෙලා නැද්ද මන්ද ! මම කෙල්ල දිහාට හැරුණා. එතකොට තමයි මං එයාගෙ මූණ හරියට දැක්කෙ. සුදු දිගටි මූණ. පිරිච්ච කම්මුල්. කැරලි කොණ්ඩෙ. හොඳ උස. ගඟක මුහුදක පැනල වුණත් අඳුරගන්න වටින කෙල්ලක් වගේ. බල්ලො බුරයි. සඳ බබළයි.
"මොකද්ද ඔයාගෙ කාඩ් එක?"
"මැගී !"
බකස් ගාල පනින්න ගිය හිනාව මං අමාරුවෙන් තද කරගත්ත. මැගී ආච්චි කියල අපේ ගමේ නාකි ගෑනියෙකුත් ඉන්නවා. හැබැයි මෙයාට ඒ කාඩ් එක වැටුණෙ ඇයි කියල එයාගෙ කොණ්ඩෙ දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන්.
"මොනවද කරන්නෙ?"
"බීකොම්."
"ගම කොහෙද?"
"කුරුණෑගල."
"හරි, දැන් ඇති." අයිය මැදින් කඩා පාත් වුණා. "දැන් උඹත් මූව අඳුර ගනිං."
ඒකත් හොඳ යෝජනාවක්. තෑන්ක්ස් අයියා ! දැන් එයා මගෙන් ප්‍රශ්න අහන අවස්ථාව.
"ඔයාගෙ කාඩ් එක මොකද්ද?"
"ජොන්ටි."
මැගීගෙ තොල් අස්සෙ නූඩ්ල්ස් කෑල්ලක් වගේ හීං හිනාවක් මැවිල, මැකිල ගියා. මට එහෙම කාඩ් එකක් දැම්මෙ මොකක් නිසා කියල මේකි හිතුවද දන්නෑ.
"කොහෙද ගම?"
"මාතර."
"මොනවද කරන්නෙ?"
"ආර්ට්. මාස් කොම්යුනිකේෂන් ස්පෙෂල් එකක් කරන්න හිතං ඉන්නෙ."
"ආව්, ආව් ! බීකොම් - මාස් කොම්. එළ කිරි ඩොට් කොම් වගේ මුං දෙන්නා සෙට් නේද?" අක්ක කෙනෙක් කින්ඩිය දාන්න ගත්ත.
"මෙතැනම බන්දලා දාමුද?" අර අයිය ආපහු කටහඬ අවදි කළා.
ඇත්තට ඌට තියෙන්නෙ මඟුල් කපුවෙකුගෙ පෙනුම තමයි. කෝට් එකක් දාල කුඩයක් අතට දුන්නා නම් නියම මංගල ජය ! සෙට් එකම හිනාවුණා. මං හිතින් කියපුවට නෙවෙයි. අරුන් දෙන්නා කටින් කියපුවට.
"හරි, දැන් පලයල්ලා. දැන් දෙන්නා අඳුරනවානෙ. ඔය යාළුකම කැම්පස් එකේ ඉන්නකං හැමදාම තියා ගනිල්ලා." අයියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෙක් වගේ අවවාද කරල අපිව මුදා හැරියා.
ඒක තමයි භාග්‍යාගෙයි මගෙයි පළවෙනි හමුවීම. අපේ රැග් සීසන් එක ඉවර වෙලා ටික කාලෙකට පස්සෙ භාග්‍යා ඒ කාලෙ තර්ඩ් ඉයර් එකේ හිටපු අයියා කෙනෙක් එක්ක කොක්ක ගැහුවා හෙවත් ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා. මට ඒ වෙද්දිත් ගමේ කෙල්ලෙක් හිටියා. ඒලෙවල් කාලෙ ලව් එකක්. කොහොම වුණත් එදා අර අයියා කියපු විදියටම අපි අපේ යාළුකම දිගටම පවත්ව ගත්ත. හම්බ වෙනවා. කතා බහ කරනවා. කනවා - බොනවා. සෝෂල්වල එකට ඩාන්ස් කරනවා. බැච් ට්‍රිප් යනවා. පාඩම් කරනවා. ඔහොම අවුරුදු දෙකක් ගෙවිල ගියා.
තර්ඩ් ඉයර් එකේදි අපි දෙන්නාටම කෙළවුණා. මගේ අවුරුදු පහක පාරිශුද්ධ ප්‍රේමය මුලින් යටි හුළඟට අහුවෙලා, පස්සෙ උඩු හුළඟේ ගහගෙන ගිහින්, අභ්‍යවකාශගත වෙලා, කළු කුහරයක් අස්සෙ නොපෙනී ගියා. භාග්‍යා යාළුවෙලා හිටපු අයියා නම් බැඳල ඕස්ට්‍රේලියා ගියාලු. මෙයාව නෙවෙයි. වෙන කෙනෙක්. අපි දෙන්නාම මානසිකව වැටිලා දණහිස් තුවාල කරගෙන ඉද්දි දෙන්නට දෙන්නාම මාරුවෙන් මාරුවට තුවාලවලට බෙහෙත් දාගත්තා. ඔහොම ටික දවසක් යද්දි අපිට අපේ දුක බෙදාගන්න කැම්පස් එකෙන්ම විශේෂ අවස්ථාවක් සලසලා දුන්නා.
තර්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එකේදි අපි දෙන්නාටම බොරැල්ලෙ ට්‍රේනිං වැටුණා. එයා ඔඩිට් ෆර්ම් එකකට. මං ඇඩ්වර්ටයිසිං ෆර්ම් එකකට. ඉතිං අපි හැමදාම උදේ 154 බස් එකෙ එකට වැඩට ගියා. හවස වැඩ ඇරිල 154ම ආපහු එකට කැම්පස් එකට ආවා. උදේට බස් එක පටං ගන්නෙ කිරිබත්ගොඩින් නිසා කැම්පස් එක ළඟින් නැග්ගම හුඟක් වෙලාවට එකට වාඩිවෙලා යන්න සීට් එකක් හම්බ වෙනවා. හවස නම් එකට තියා වෙන වෙනම වාඩි වෙන්නවත් සීට් නෑ. හිටගෙන තමයි එන්නෙ. හිටගෙන ආවත්, වාඩිවෙලා ගියත් අපිට ඒකෙ කිසි වෙනසක් දැනුණෙ නෑ. මොකද අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබුණා.
"මට නම් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ." උදේ යන ගමන් මං භාග්‍යාට කියනවා.
"ගණන් ගන්න එපා හලෝ. ඕනෙ දේකට අපි ඉන්නවනෙ." භාග්‍යා එහෙම උත්තර දෙනවා.
"මට නම් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ." හවස එන ගමන් භාග්‍යා මට කියනවා.
"ගණන් ගන්න එපා ඕයි. ඕනෙ දේකට අපි ඉන්නවනෙ." මං එහෙම උත්තර දෙනවා.
වාඩිවෙලා සුව පහසුව යද්දි වගේම සෙනඟ අස්සෙ මිරිකිලා තෙරපිලා එද්දිත් 154 ඇතුළෙ අපි ජීවිතේ බෙදා ගත්තා. අපිව දාල ගිය අය, විභාග පීඩනය, වැඩ කරන තැන්වල සහ ගෙවල්වල ප්‍රශ්න, අපේ අනාගත සිහින - මේ කිසිදේකට නිශ්චිත උත්තර තිබුණෙ නැතත් අපි කතා කළා. අඩුම ගාණෙ වචන විදියට හරි ඒ දේවල් කටින් පිට වුණාට පස්සෙ හිතට ලොකු සහනයක් දැනුණා. ඔය අතරෙ අපි දෙන්නා අතරෙ මිත්‍රත්වයට එහා ගිය බැඳීමක් ගොඩ නැගෙමින් තිබුණා. මට ටක්කෙටම කියන්න පුළුවන් ඒක ආදරයක් නම් නෙවෙයි. හැබැයි මිත්‍රත්වයක් විතරකුත් නෙවෙයි. ඒ දෙක අතර මැද මොකක් හරි දෙයක්.
නිවාඩු දවස්වල ඉඩක් ලැබෙන විදියට වෙලාව හදාගෙන චිත්‍රපට බලන්න යන්න අපි පුරුදු වුණා. ඒකෙන් අපි දෙන්නාගෙම මානසික විඩාව සෑහෙන්න තරම් දුරට නිවුණා. කිරිබත්ගොඩ, කඩවත, බොරැල්ල, වැල්ලවත්ත, කොටුව ඔය හැම තැනකම ෆිල්ම් හෝල්ස් අපිට ගෙදර වගේ වෙන්න වැඩි දවසක් ගියේ නෑ. අලුත් ෆිල්ම් එකක් ආවෙ කොතැනටද? අපි එතැන !
"රීගල් එකට සූර්යාගෙ අලුත් ෆිල්ම් එක ඇවිත්. හෙට යමුද බලන්න? කාජල් අගර්වාල්නුත් ඉන්නවා." සිකුරාදා හැන්දෑවක වැඩ ඇරිල එන ගමන් භාග්‍යා ඔත්තුවකුත් දීල යෝජනාවකුත් ඉදිරිපත් කළා.
"මං කැමති නම් කාජල් මුකර්ජීට. හැබැයි මේ වෙලාවෙ හැටියට අගර්වාල් වුණත් නරක නෑ. යමු !" සතියක ඇඩ්වර්ටයිසිං බරෙන් හෙම්බත් වෙලා හිටපු මං දෙවරක් නොහිත එක හිතින් යෝජනාව ස්ථිර කළා.
සෙනසුරාදා උදේ අපි 138ක නැගල කොටුවට ආව. එතැනින් රීගල් එකට. බැල්කනියෙ කොණේම පුටු දෙකක් අපිට හම්බ වුණා. සාමාන්‍යයෙන් අපි ෆිල්ම් බලන්නෙ බැල්කනියෙ තමයි. නිදහස්. චිත්‍රපටය පටන් ගත්ත. පැය බාගයක් විතර ගියා. මට හෙණ නිදිමතයි. කතාව හිතපු තරම් ගැම්මක් නෑ වගේ. සාමාන්‍යයෙන් මං සූර්යාට කැමතියි. පොඩ්ඩක් කොට වුණාට මොකද මිනිහ රඟපානවා බලං ඉන්න පුළුවන්. හැබැයි මේකෙ නම් සූර්යා තනිකරම රන්ජන් රාමනායකට ඇඳල හිටියෙ. පටන් ගත්ත වෙලාවෙ ඉඳල 'යූ යූ' සද්දයක් එක්ක මිනිස්සුන්ට තඩි බානවා විතරයි. මොකට ගහනවද කියල තේරෙන්නෙ නෑ. සමහර විට ණයක් අරගෙන නොදී ඉඳලද දන්නෑ. කොහෙද ඉතින් කියන දෙයක් තේරෙනවයැ. මට අර මිනිස්සු පව් කියලත් හිතුණා. සල්ලිවලට වුණත් ඔහොම නම් ගුටි කන්න මට බෑ. මෙලෝ රහක් නෑ. මට මාර කම්මැලියි.
මං භාග්‍යා දිහා බැලුවා. එයා නම් උනන්දුවෙන් ෆිල්ම් එක බලනවා. තිරයෙ එළිය එයාගෙ මූණට වැටිල මූණෙ අමුතු ලස්සනක් මැවිල. තොල් දෙක ලා රතු පාටින් දිලිසෙනවා. භාග්‍යාට තියෙන්නෙ හරි ලස්සන තොල් දෙකක් නේද කියල මට එක පාරටම හිතුණා. ඇයි මට මෙච්චර දවස් ඒක පෙණුනෙ නැත්තෙ? කමක් නෑ, දැක්ක වෙලාවෙ කියනවා. නැත්නම් අමතක වෙන්න පුළුවන්.
"මේ ඕයි !"
"ම්ම්ම්...?" භාග්‍යාගෙ ඇස් තිරෙන් මිදෙන්නෙ නෑ.
"තමුසෙගෙ තොල් දෙක මාර ලස්සනයිනෙ."
අන්න ඒ පාර නම් ඔළුව හරවල මං දිහා බැලුවා. ඕනෙම ගෑනියෙක් කැමතියිනෙ තමන්ගෙ මොකක් හරි කමක් නෑ අවයවයක් වර්ණනා කරනවට.
"ආ... ඇත්තද? දැන්ද දැක්කෙ?" එයා ඇහුවෙ නෝන්ඩියට වගේ.
ඒ වුණාට මං ෆුල් සීරියස්.
"සිරාවට ඕයි ! මං දැන් දැක්කෙ. ඒ ලා රත මාර ලස්සනයි. මට ලිප් කිස් එකක් දෙනවකො." මං ඔහේ කියල දැම්ම.
ඇත්තටම කිස් එකක් බලාපොරොත්තුවෙන් නෙවෙයි එහෙම කිව්වෙ. මම එච්චර කාලෙකට එහෙම අදහසකින් භාග්‍යාගෙ අතකින් තියා කකුලකින්වත් අල්ලල නෑ. ඒත් ඉතිං කම්මැලිකම යන්න මොනවා හරි කරන්නත් එපැයි. ඔහොම නෙවෙයි 'මාත් එක්ක බුදියගන්න වරෙන්' කිව්වත් භාග්‍යා මාත් එක්ක තරහ වෙන්නෙ නැති බව මං හොඳටම දන්නවා.
"අනේ මේ, පිස්සු නැතුව ෆිල්ම් එක බලනවා." භාග්‍යා අත මිටි මොලොවලා මගේ උරහිසට පාරක් ඇනලා ආපහු ඉස්සරහ බලාගත්තා.
මේක බලන්න පුළුවන් ෆිල්ම් එකක් නෙවෙයි. ඉන්ටර්වල් එක වෙනකං යන්තං කොහොම හරි ඇද ගත්ත. ඉන්ටර්වල් එකෙන් පස්සෙ ටික නම් මෙලෝම රහක් නෑ. ඉන්ටර්වල් එකේදි කාපු අයිස් චොක් එක ඊට වඩා රහයි. කාජල් අගර්වාල් නටන්නෙ හරියට චෙරියෝ කැප්ටන් ෆිල්ම් එකේ සබීතා පෙරේරා නටනවා වගේ. මේ ගෑනිට මොනව වෙලාද මන්ද ! මෙහෙම හිටියොත් නින්ද යනවා. මං ආපහු භාග්‍යාට වදේ ගහන්න සෙට් වුණා.
"ඕයි ! තමුසෙ අන්තිම වතාවට ලිප් කිස් කළේ අර ඕස්ට්‍රේලියාවෙ පැනපු හාදයා එක්කනේ. ඒ දැන් කොච්චර කාලෙකට කලින්ද?"
භාග්‍යා ඇහෙන්නෙ නෑ වගේ අගර්වාල්ගෙ වඳුරු නැටුම දිහා බලං ඉන්නවා. ඒව කොහෙද මාත් එක්ක?
"කියනවකො, කියනවකො !"
මං අතින් ඇද්දා. එයා අත තල්ලු කරල ආපහු මගේ දිහාට හැරුණා.
"දැන් අවුරුද්දකටත් වැඩියි මං හිතන්නෙ. එයා ගිහිල්ලත් දැන් කොච්චර කාලයක් වෙනවද?" උත්තරේ දුන්නෙ ඕනෙවට එපාවට වගේ. හැබැයි ටිකක් සීරියස්.
"ඒකනෙ හලෝ කියන්නෙ ! පව් ඔය තොල් දෙක. කෝ දෙනවකො මට ලිප් කිස් එකක්. මෙතැන කාටවත් පේන්නෙත් නෑ." දැන් නම් මං ඇත්තටම පොඩ්ඩක් කැළඹිලද මන්දා.
"අනේ යනව යන්න !" භාග්‍යා ආපහු ඉස්සරහට හැරුණා.
ඊට ටික වෙලාවකට පස්සෙ යන්තම් සූර්යාගෙ රන්ජන් සටනුයි අගර්වාල්ගෙ සබීතා නැටුමයි ඉවර වුණා. මෙච්චර වෙලා මේක බලන් හිටියට මුන් දෙන්නා හරි නම් අපිට දාහ දාහ විතර දෙන්න ඕනෙ. අපි රීගල් එකෙන් එළියට ඇවිත් කොටුව පැත්තට ඇවිදගෙන ගියා.
"කොහෙන් හරි දවල්ට කාලම යමු නේද? කැන්ටිමේ කෑම නම් කන්න බෑ." භාග්‍යා කිව්ව.
අපි කොටුවෙ හොටෙල් එකකට ගිහින් හොඳ රයිස් පාරක් දැම්ම. කන ගමන් මං ආපහු අර කතාව ඇදල ගත්ත.
"මේ ඕයි, ඇත්තටම එක පාරක් මගේ ලිප් කිස් කරනවකෝ. මං අද තමයි තමුසෙගෙ තොල් දෙකේ ලස්සන හරියටම දැක්කෙ."
භාග්‍යාගෙ මූණ රතු වුණා. තොල්වල පාටට චුට්ටක් අඩුවෙන්. රයිස් එකේ මිරිස් වැඩිද කොහෙද?
"පිස්සුද හලෝ, මේ ප්‍රසිද්ධ ස්ථානවල ඕවා කරන්න. බත් කාල ඩෙසට් එකට ගුටිද කන්න කැමති !"
හ්ම්, ඒ ප්‍රතිචාරෙ නම් ටිකක් හොඳ එකක්. තැන අවුල් කිව්වට කිස් කරන්න බෑ කිව්වෙ නෑ.
"එහෙනම් කැම්පස් එකට ගිහින් කරමු." මං කිව්ව.
භාග්‍යා මොකුත් නොකිය හිනාවුණා. මගේ හිතින් අමුතු සංඥා නිකුත් වුණා. අපි බිල ගෙවල හෝටලෙන් එළියට බැස්ස. කොටුව ස්ටේෂන් එක ඉස්සරහට ඇවිත් 138කට ගොඩ වුණා. පිටිපස්සෙම සීට් එකෙන් වාඩිවුණා. විනාඩි පහකින් විතර බස් එක පිටත් වුණා.
එදා සෙනසුරාදා නිවාඩු දවස. දවල් වරුව නිසා බස් එකේ වැඩි සෙනඟක් හිටියෙ නෑ. ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි ඇරුණම අපි ඔක්කොම පස් දෙනයි. අපි දෙන්නා ඇර ඉතුරු තුන්දෙනාම ඉස්සරහ සීට්වල. කොන්දයියත් ඩ්‍රයිවර් අංකල් එක්ක බර කතාවක. හරියට බස් එකේ පිටිපස්ස අපි දෙන්නාට ලියල දීල වගේ. බස් එක හෙමින් හෙමින් ඉස්සරහට යන අතරෙ මං ආපහු වැඩේ පටන් ගත්ත.
"මේ, දැන් වැඩේ ෂුවර් නේද? කැම්පස් එකට ගිහින් මට කිස් එක දෙනව නේද?"
තත්පර කීපයක් මොකුත් නොකිය හිටපු භාග්‍යා මුලින් හිනාවුණා. පස්සෙ රැව්වා. ඊට පස්සෙ හෝල්ට් කීපයක් යනකං මම ඒ ප්‍රශ්නෙම කීප සැරයක් ඇහුව. ම්හු, මොකුත් කියන්නෙ නෑ. මුලින් හිනාවෙනවා. පස්සෙ රවනවා. එච්චරයි ! ටිකක් දුර යද්දි මටත් වැඩේ බෝරිං වුණා. හරියට නිකං එකම පේපරේ රිපීට් වෙනව වගේනෙ. බස් එක ඒ වෙද්දි පහු කරමින් හිටියෙ පෑලියගොඩ හරිය. තව එක පාරක් විතරක් ප්‍රශ්නෙ අහල වැඩේ අතෑරල දාන්න මම තීරණය කළා. ඒත් හිත යට නම් අර අමුතු සංඥාව දිගටම නිකුත් වුණා.
"මට ලිප් කිස් එකක් දෙනවද, නැද්ද?"
මට ප්‍රශ්නෙ හරියට අහල ඉවර කරන්න වුණෙත් නෑ. භාග්‍යා ෂර්ට් එකෙන් අල්ලල මාව එයාගෙ දිහාට ඇදල ගත්ත. ඒත් එක්කම එයාගෙ මූණ මගේ මූණට සමීප වුණා. ඊළඟ මොහොතෙ ඒ ලා රතු පාට දෙතොල් මගේ තද කළු පාට තොල් එක්ක දැවටුණා. වික්ෂිප්ත තත්පරයකට හරි දෙකකට හරි පස්සෙ මම හෙමින් ඇස් දෙක පියා ගත්ත. එකිනෙකට වෙනස් පාට සහිත දෙතොල් ජෝඩුවක් පිස්සුවෙන් වගේ එකිනෙකා ආක්‍රමණය කරගන්න අනපේක්ෂිත මොහොත එළැඹුණා. අපි විනාඩි බාගයක් විතර එහෙම ඉන්න ඇති. භාග්‍යා හෙමින් සීරුවෙ එයාගෙ මූණ පස්සට ගත්ත. මම ඇස් ඇරල බැලුව. අපේ ඇස් එකිනෙක ගැටුණා. දෙන්නටම එක පාරට හිනා ගියා.
"හොස්ටල් එකට ගියාම යාළුවො එක්ක කියනවා එහෙම නෙවෙයි. හරිද?" භාග්‍යා වම් අතින් එයාගෙ දෙතොල පිරිමදින ගමන් දකුණු අතේ දබරැඟිල්ල උරුක් කරල සුන්දර තර්ජනයක් කළා.
මම උත්තරයක් නොදී ආපහු එයාගෙ තොල් මතට පාත්වුණා. සීරුවෙන්. ඒක අපේක්ෂිත ආක්‍රමණයක්. අපි කලින් පාරටත් වඩා වැඩි වෙලාවක් ගත කරන්න ඇති.
"ඇති !" භාග්‍යාගෙ කටහඬ ගලාගෙන ආවෙ කෙඳිරිලි ස්වරයෙන්.
අපි හීං සැරේ තොල් පැටලුම් ලිහාගත්ත. පස්සට වෙලා සීට් එකේ හරිබරි ගැහෙන ගමන් මම ඉස්සරහ බැලුව. අවුලක් නෑ. කොන්දයිය තාමත් ඩ්‍රයිවර් අංකල් එක්ක බර කතාවෙ. ඉතුරු මගියො තුන්දෙනත් ඉස්සරහ බලාගෙන තම තමන්ගෙ ලෝකවල. බස් එක හෙමින් ඉස්සරහට යනව.
"කාත් එක්ක හරි කියල මට අහුවෙනව නෙවෙයි, හොඳද?" භාග්‍යාගෙන් ආපහු අර තර්ජනය මතුවුණා. මේ පාර ටිකක් තදට.
"හරි !" මම ඔලුව වනල එකඟ වුණා.
ඊළඟට නවත්තපු හෝල්ට් එකෙන් කීප දෙනෙක් බස් එකට නැග්ග. එතැන ඉඳල ඉස්සරහට බස් එක ටිකෙන් ටික පිරුණා. ඉතිං අපි සංවර මගියො විදියට ගමනෙ ඉතුරු ටික ඇවිත් කැම්පස් එක ළඟින් බැස්ස.
ඊට පස්සෙත් අපි ෆිල්ම්ස් බලන්න ගියා. බැල්කනියෙ විතරක් නෙවෙයි ඊට පිටිපස්සෙ තියෙන වට කරපු ආසනවල ඉඳගෙනත් අපි ෆිල්ම්ස් බැලුව. කැම්පස් ඒකෙත් අපි අපිටම වෙන්කර ගත්ත තැන් කීපයක නිදහසේ හම්බ වුණා. එහෙම වෙලාවට අපි ලිප් කිස් විතරක් නෙවෙයි කළේ. කැම්පස් එකෙන් අවුට් වෙනකං අපේ ඒ නමක් නැති බැඳීම ඒ විදියටම තිබුණා. අපි අතරෙ ගොඩක් දේවල් සිද්ධ වුණා. හුවමාරු වුණා. භෞතිකව වගේම ආධ්‍යාත්මිකවත්.
හැබැයි ඒ මොන දේ මැද්දෙ වුණත් අදටත් මාව කළඹන්නෙ සහ මතක් කරද්දි වඩා වැඩි ආස්වාදයක් ඇති කරන්නෙ අර 138 හාදුව. ඒ අනපේක්‍ෂිත සහ අපේක්‍ෂිත ආක්‍රමණය. මැගී - ජොන්ටි දෙතොල් හරඹය ! දැන් අපි අවුට් වෙලා අවුරුදු දහයක්. භාග්‍යා එක්ක සියලු සම්බන්ධකම් ඇන හිටියෙ මීට අවුරුදු අටකට කලින්. දැන් එයා කොහෙද ඉන්නෙ, මොනවද කරන්නෙ කියල මං දන්නෙ නෑ. දැනගන්න වුමනාවකුත් නෑ. සමහර විට කුරුණෑගලටම වෙලා ඇති. මං දැන් මාතර ඉන්නවා වගේ. කොහේ හිටියත් එයාටත් දැන් මං ගැන කිසිම දෙයක් දැනගන්න වුමනාවක් නැති බව විතරක් මට හොඳටම විශ්වාසයි.
එය සිදු වූයේ මෙන්න මේ විදියටය. ෆිලොමෙනා නින්දේ සිටියදී උදේ පාන්දර අවදි වූ මම මගේ ආයුධ මල්ලත් රැගෙන හඬක් නොනගාම නිවෙසෙන් පිටවීමි. මොන්තෙ පරියෝලිවල ග්‍ර
අප්සරා එක විටම ත්‍රි රෝද රථයෙන් බහින්නේ නැතිව හොඳින් වට පිට බැලුවා.පොලිසිය මිදුලේ කිහිපදෙනෙක් ගැවසෙනව පෙනුණත් අඳුරන මුහුණක් නම් ඒ අතර පෙනෙන්න තිබුණේ
මං මගේ ජීවිතේ මෙතෙක් විඳපු ආස්වාදජනකම දෙතොල් හාදුව මට දුන්නෙ භාග්‍යා. එතකොට අපි දෙන්නම කැලණි කැම්පස් එකේ. තර්ඩ් ඉයර්. මං කළේ මාස් කොම්. භාග්‍යා කළේ බීකො
ඈ මා සමග නැටුමට එන බව කීවේ, ඇයට රතු රෝස මලක් ගෙනාවොත් විතරයි ’’ තරුණ ශිෂ්‍යයා හඬ ගා තමාම ඇමතීය. ’’ නමුත් මගේ ගෙඋයනෙ රතු රෝස මල් නැහැ ’’ අසල ඕක් ගසෙහි වූ කෙව
ක්ෂේමභූමිය බලා යාත්‍රා කරන අවසන් නෞකාව වරායෙහි නැංගුරම්ලා තිබිණි. ධවල පැහැගත් නෞකාව මෙවෙලෙහි සංඛයක පැහැගත්තේ මනාව සංවිධානය කරන ලද නගරෙක ඒසිකා ටැඹක්
’’ඒක හොඳ ප්‍රශ්නයක්. ටිකක් කල්පනා කරල බුද්ධිමත් උත්තරයක් දෙන්න ඕනැ. ඔයා මට ඊ - මේල් එකකින්වත් දැන්නුව නම් අන්තර්ජාලයට ගිහින් හරි අධ්‍යයනක් කරල හොඳ උත්ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස් සීට් එක