IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


මාරියෝ

කෙටිකතා

එය සිදු වූයේ මෙන්න මේ විදියටය. ෆිලොමෙනා නින්දේ සිටියදී උදේ පාන්දර අවදි වූ මම මගේ ආයුධ මල්ලත් රැගෙන හඬක් නොනගාම නිවෙසෙන් පිටවීමි. මොන්තෙ පරියෝලිවල ග්‍රාම්ස්කි පාරේ තිබූ කාන්දු වන බොයිලේරුවක් අලුත්වැඩියා කිරීමට මට සිදුවී තිබුණේය. අලුත්වැඩියාව කරන්නට මට කොපමණ කාලයක් ගත වූයේද ? නිසැකවම ඊට පැය දෙකක් පමණ ගත වන්නට ඇත. මන්ද යත් බොයිලේරුවේ බටය ගලවා ආපසු සවි කරන්නට වූ බැවිනි. වැඩ අවසන් කළ මම බසයේ හා ට්‍රෑම් කාරයේ නැගී මගේ නිවෙස සහ වැඩපොළ පිහිටා තිබූ කොරොනරි පාරට පැමිණියෙමි.  දැන් මේවාට ගත වූ කාලය සලකා බලන්න: මොන්තෙ පරියෝලිවල පැය දෙකක්, එහි යන්නට සහ ආපසු එන්නට පැය බාගය බැගින් පැයක්- සම්පූර්ණයෙන් පැය තුනක්. පැය තුනක් යනු කුමක්ද ? මා හිතන හැටියට කරන්නට තිබෙන වැඩය අනුව එක්කෝ එය මහ කාලයකි නැත්නම් සුළු වේලාවකි. ඊයම් බට කෑල්ලක් අලුත්වැඩියා කරන්නට මා පැය තුනක් ගත කොට ඇත. වෙන කෙනෙකු නම් මේ කාලය ඇතුළත.......

එහෙත් අපි දේවල් සිදු වූ ආකාරය ඒවායේ නියම අනුපිළිවෙළ අනුව සලකා බලමු. කොරොනරි පාරට හැරී තාප්පය දිගේ වේගයෙන් ඇවිද ගෙන එන විට කවුරුන් හෝ මට මගේ නම කියා කතා කරන සැටි ඇසිණි. ආපසු හැරුණු මා දුටුවේ අපේ ගෙදර ඉදිරිපිට නිවෙසේ වෙසෙන තානායම්පොළ බලාකියා ගන්නා මහලු ෆේදේ ය. මේ ෆේදේ ගේ කකුල් රක්තවාතය නිසා කෙතරම් ඉදිමී තිබුණේද කියතහොත් ඒවා අලි කකුල් මෙන් පෙනිණි.  ඈ අමාරුවෙන් හති හලමින් කතා කළාය: ‘හප්පේ අද හරි වැඩ නොවැ! කොහෙද පාරේ උඩහටද යන්නේ ? මේ කූඩෙ ගෙනියන්න පොඩ්ඩක් උදව් කරනවද?’

ඉතා කැමැත්තෙන් උදව් කරන බව කී මම මගේ ආයුධ බෑගය අනෙක් උරහිසට මාරු කොට ඇගේ අතින් කූඩය ගත්තෙමි. සිය දිග බුරුල් කබාය ඇතුළත වූ කොට්ට බඳු දෙපා අද්දමින් ඇය මා පසෙකින් ඇවිද ආවාය. ටික වේලාවකට පසු ඇය මගෙන් මෙසේ ප්‍රශ්න කළාය: ‘එතකොට කෝ ෆිලොමෙනා?’

‘ගෙදර,’ මම පිළිතුරු දිනිමි.‘නැතුව කොහෙ යන්නද?’

‘ගෙදර නේන්නම්.’ ඇය කීවේ හිස පහත් කරගෙනය.‘එහෙනං, එහෙනං.’

‘මොකද “එහෙනං, එහෙනං’’ කියන්නේ ?’මා ඇසුවේ යමක් කිව යුතු බැවිනි.

‘එහෙනං..... අනේ අසරණ කොල්ලා,’ඇය කීවාය.

මගේ සිතේ සැකයක් පැලපදියම් වෙන්නට පටන් ගත්තේය. ටික වේලාවක් ගත වන්නට ඉඩහැර මම ප්‍රශ්න කළෙමි: ‘ මොකද “අසරණ කොල්ලා’’ කියන්නේ ?’

‘මට උඹ ගැන කනගාටු නිසා’ යැයි අවලස්සන මැහැල්ල මා දෙස නොබලාම කීවාය.

‘මොකක්ද ඒකෙ තේරුම ?’

‘මං කියන්නේ දැන් කාලෙ ඉස්සර කාලෙ වගේ නෙවෙයි....දැන් කාලෙ ගෑනු අපේ කාලෙ ගෑනු වගේ නෙවෙයි.’

‘ඇයි?’

‘මගේ කාලේ මිනිහෙකුට තමුන්ගෙ ගෑනිව හිතේ කරදරයක් නැතුව ගෙදර තියලා යන්න පුළුවන්.... ඒ තියලා යන විදියටම ගෑනි ඉන්නවා මිනිහා ගෙදර එනකොටත්.... ඒ වුණාට මේ කාලේ....’

‘මේ කාලේ මොකද?’

‘මේ කාලේ ඒ වගේ නෙවෙයි.... හොඳයි, හොඳයි.... මගේ කූඩෙ දෙන්න. බොහොම ස්තූතියි.’

ඒ සුන්දර උදෑසන වූ සෑම සතුටක්ම දැන් මගේ ඇතුළාන්තයේ විෂ බවට හැරී තිබුණේය. කූඩය ආපසු අදිමින් මම කතා කළෙමි.

‘ඔය කියන කතාව පැහැදිලි කරලා දෙනකම් මං මේක දෙන්නෙ නෑ.... මොකක්ද මේකට ෆිලොමෙනාගේ තියෙන සම්බන්ධය?’

‘මේ ගැන මම මොනවත් දන්නෙ නෑ. ඒ වුණාට කලින් අනතුරු අඟවලා තියෙන එක හොඳයි නොවැ.’

‘ෆිලොමෙනා මක් කරලද? කියනවා හොඳයි,’ මම කෑ ගෑවෙමි.

‘අදල්ගිසාගෙන් අහපන්,’ ඕ පිළිතුරු දුන්නාය. මෙවර ඇය මගේ අතින් කූඩය උදුරාගෙන ඇය තුළ ඇතැයි මා කිසිදිනෙක දැන නොසිටි තරමේ කඩිසරකමකින්, දුවමින් මෙන් එතැනින් පිටවී ගියාය.

මේ මොහොතේ නැවතත් වැඩපොළ වෙත යෑමේ තේරුමක් නැතැයි තීරණය කළ මම අදල්ගිසා සොයාගෙන ගියෙමි. වාසනාවකට මෙන් ඇයද ජීවත් වූයේ කොරොනරි පාරේමය. මට ෆිලොමෙනා හමුවන්නට පෙර මාත් අදල්ගිසාත් විවාහ ගිවිසගෙන සිටියෙමු. ඈ දිගටම අවිවාහකව විසූ අතර ෆිලොමෙනා ගැන මේ කතාව ගොතන්නට ඇත්තේ ඇය බවට මම සැක කළෙමි. මම තට්ටු හතරක් උඩට නැග ඇගේ ගෙයි දොරට තඩි බෑවෙමි. ඇය කෙතරම් ඉක්මනින් දොර විවර කළේද යත් තව පොඩ්ඩෙන් මා දොරට ගැසූ පහර වදින්නේ ඇගේ මුහුණටය. ඇගේ ඇඳුමේ අත් උඩට නවා තිබූ අතර අතෙහි කොස්සක් විය. ‘ජිනෝ, මොනවද ඔයාට ඕනෑ’ යැයි ඕ තියුණු ලෙස ප්‍රශ්න කළාය.

අදල්ගිසා කුඩා තරුණියකි. ඈ සිත්ගන්නාසුලු යුවතියකි. එහෙත් ඇයට වූයේ සිරුරට වඩා මඳක් විශාල හිසක් සහ ඕනෑවට වඩා ටිකක් ඉදිරියට නෙරූ නිකටකි. මේ නිකට නිසා ඔවුහු  ඇයට ඉස්කෝප්ප රැජින යැයි කීහ. එසේවූවද, ඇගේ මුහුණට එසේ පැවසීම කිසිදා නොකළ යුතු දෙයකි. එහෙත් මා ඈ කෙරේ කෙතරම් නුරුස්නා බවකින් කටයුතු කළේද යත් මෙසේ කීමි.

‘ඒයි ඉස්කෝප්ප රැජින තමුසෙ තමයි මම වැඩට ගිය අතරෙ ගෙදර ඉඳන් ෆිලොමෙනා ඕනෑ නැති දේවල් කරනවා කියලා කතා හදලා තියෙන්නේ.’

ඈ කෝපයෙන් පිරුණු දෙනෙතක් මා වෙත යොමු කළාය. ‘තමුසෙට ඕනෑ කළේ ෆිලොමෙනානේ....ඉතින් දැන් තමුසෙට එයාව හම්බ වෙලා ඉන්නේ.’

ඇතුළට ගිය මම ඇගේ බාහුවෙන් අල්ලා ගතිමි. එහෙත් ඇය මා වෙත අපේක්ෂාසහගත බවකින් යුතුව මෙන් බැලූ නිසා එසැණෙන්ම ඇගේ බාහුව අත හැරියෙමි. ‘එහෙනම් ඒ තමුසෙ තමයි ?’ මම ඇසීමි.

‘මම නෙවෙයි කතා හැදුවේ.... මට ඇහුණු කතාවක් ආපහු කිව්වා විතරයි.’

‘කාගෙන්ද ඇහුණේ ?’

‘ජන්නිනාගෙන්.’

කිසිවක් නොකී මම ආපසු යන්නට හැරුණෙමි. එහෙත් මා නතර කළ ඇය මා වෙත හැඟීම් කුපිත කරවන බැල්මක් හෙලමින් ‘හැමතැනම මට ඉස්කෝප්ප රැජින කිය කියා යන්න එපා’යැයි කීවාය.

‘ඇයි තමුසෙට තියෙන්නෙ ඉස්කෝප්පයක් වගේ නිකටක් නෙවෙයිද?’ මා ඇසුවේ ඇගෙන් මිදී තරප්පු පෙළ දිගේ පහළට බසිමිනි.

‘ඉස්කෝප්පයක් වගේ නිකටක් තියෙන එක හොඳා අං දෙකක් තියෙනවට වඩා,’ ඇය අත්වැටට උඩින් නැඹුරු වෙමින් මා වෙත කෑ ගැසුවාය.

මගේ හිතට දැඩි කනස්සල්ලක් දැනෙන්නට පටන්ගෙන තිබුණේය. ෆිලොමෙනා මා රවටතැයි යන්න විය නොහැක්කක් සේ පෙනුණේ අප විවාහ වී ගෙවුණු පසුගිය වසර තුන පුරාවටම ඇය සෑම ආකාරයකම ආදර සත්කාරවලින් මා සැනසවූ බැවිනි. එහෙත් ඊර්ෂ්‍යාව යනු පුදුම දෙයකි ! ෆේදේ සහ අදල්ගිසා කියූ දේවල් ශ්‍රවණය කිරීමෙන් පසු, මේ ආදරයේ සෑම සලකුණක්ම ද්‍රෝහීකමේ සාක්ෂි ලෙස මට පෙනෙන්නට විය. හොඳයි බලමු....

ජන්නිනා ඒ පාරේම කිට්ටුව තිබූ අවන්හලක අයකැමිවරිය ලෙස වැඩ කළාය. ඇය රන්වන් හිසකෙසින් යුත් දුබල තරුණියකි. ඇගේ හිසකේ සිනිඳුය, දෑස තද නිල් පාටය. ඇය වැඩි කලබලයක් නැති, සෙමෙන් වැඩ කරන, කල්පනාවෙන් බර කෙනෙකි. අයකැමි මේසය වෙත ගිය මම ඇගේ කනට කෙඳිරුවෙමි: ‘මම නැති වෙලාවට ෆිලොමෙනා ගෙදරට මිනිස්සු ගෙන්න ගන්නවා කියලා කියන කතාව හැදුවෙ තමුසෙද ?’

ඇය සිටියේ ගනුදෙනුකරුවකු සමගිනි. ඇය මුදල් රෙජිස්ටරයේ යතුරු ඔබා ඉන් පිටතට ආ බිල්පත ඇද සිය කටහඬ උස් නොකොටම ‘කෝපි දෙකයි....’ යැයි කීවාය. ඉන් අනතුරුව බොහෝ සන්සුන්ව ‘ඔයා මට මොකක්ද කිව්වේ ජිනෝ ?’ යැයි ඇසුවාය.

මම ප්‍රශ්නය පුනරුච්චාරණය කළෙමි. ගනුදෙනුකරුවාට ඉතිරි මුදල් දුන් ඇය පිළිතුරු දුන්නාය: ‘ ඇත්තටම ජිනෝ.... මම මගේ හොඳම යාළුවට ....ෆිලොමෙනාට ඒ වගේ කතාවක් හදයි කියලා ඔයා හිතනවද ?’

‘එහෙනං අදල්ගිසා ඒක හිතේ මවාගත්ත එකක් වෙන්න ඇති.’

‘නෑ,’ ඇය මා නිවැරදි කළාය. ‘නෑ.... එයා ඒක හිතේ මවාගත්ත එකක් නෙවෙයි.... මම ඒ කතාව හැදුවේ නෑ; මං මට ඇහුණු දෙයක් ආපහු කිව්වා විතරයි.’

‘අපූරු යාළුවෙක්නේ !’මට හඬ පාලනය කරගැනීමට නොහැකි විය.

‘මං කිව්වා ඔය කතාව මම විශ්වාස කරන්නේ නෑ කියලා....අදල්ගිසා ඒ ටික ඔයාට කිව්වේ නෑ නේ ?’

‘හොඳයි, එහෙනම් ඒක කවුද ඔයාට කිව්වේ ?’

‘වින්චෙන්සිනා....ඔය කතාව මට කියන්නම එයා ලොන්ඩරියෙ ඉඳන් මෙහෙ ආවා.’

යනවා යැයි වත් නොකියා එතැනින් පිටවූ මම කෙළින්ම ගියේ ලොන්ඩරියටය. සිය දෑතින්ම ඉස්තිරික්කය තද කරමින් වින්චෙන්සිනා රෙදි මදින සැටි මට පාරේ සිටම පෙනිණි.  බළලෙකුගේ බඳු තදබද වූ මුහුණක් ඇති වින්චෙන්සිනා, තලෙළු සමක් ඇති ජීවයෙන් පිරුණු කුඩා යුවතියකි. ඈ මා කෙරේ පිළිබඳ සිතකින් පසුවන බව මා දැන සිටි අතර, මා වෙත එන ලෙසට මා ඇයට ඇඟිල්ලකින් සන් කළ වහා ඉස්තිරික්කය අතහැර ඇය එළියට දිව ආවාය. ‘ඔයා දකින්න ලැබිච්ච එක කොච්චර දෙයක්ද !’ ඇය අපේක්ෂා සහගතව කීවාය.

‘මං ගෙදර නැති අතරෙ ෆිලොමෙනා මිනිස්සු එක්ක නටනවා කියලා තමුසෙ හැම තැනම කිය කියා ඇවිදිනවා කියන්නෙ ඇත්තද?’

ඒප්‍රනයේ සාක්කුවල දෑත ඔබාගෙන දෙපසට පැද්දුණු ඇය උත්තර දුන්නේ යම් තරමක අපේක්ෂාභංගත්වයෙනි: ‘ඉතින් එයා එහෙම කරනවා නම් ඔයා ඒක ගණන් ගන්නවද ?’

‘උත්තර දෙනවා,’ මම කියා සිටියෙමි. ‘මේ දුෂ්ට කතාව හැදුවෙ තමුසෙද?’

‘බලන්න ඔයාගෙ ඉරිසියාව!’ඇය සිය උරහිස් හකුළුවමින් කීවාය. ‘දෙයියන්ටම පෙනිච්චාවෙ. මේ යන විදියට ගෑනියෙකුට තමුන්ගෙ යාළුවෙක් එකක් කතා කරන්නවත් බෑනෙ....?’

‘එහෙනම් තමුසෙයි ඒ....’

‘ඇත්තටම මට ඔයා ගැන කනගාටුයි,’ මේ කපටි කෙල්ල එක්වරම කීවාය. ‘ඇයි ඔයා හිතන්නේ මං ඔයාගේ නෝනා ගැන කරදර වෙනවා කියලා ? මං කතා හැදුවේ නෑ....ඇග්නේසෙ තමයි මට කිව්වෙ; එයා නම් ඒ මනුස්සයගෙ නමත් දන්නවා.’

‘මොකක්ද උගේ නම ?’

‘ඇග්නේසෙගෙන්ම අහගත්තා නම් තමයි හොඳ.’

මේ අවස්ථාව වන විට, ෆිලෝමෙනා මා රවටන බවට මා තුළ සැකයක් නොවීය. වෙනකක් තබා ගෙදරට එන මිනිහාගේ නමත් මිනිස්සු දනිති. නිරායාසයෙන්ම මගේ සිතට නැගුණු සිතිවිල්ල වූයේ ‘හොඳ වෙලාවට මගේ මල්ලේ මොකුත් බර ආයුධයක් නැත්තේ. නැත්නම් මගෙ ඔළුව අවුල්වෙලා ගිහින් ඔය ගෑනිව මරනවා,’යන්නයි. මගේ බිරිය ෆිලොමෙනා වෙන මිනිහෙකුත් සමග ඉන්නවා යන්න මට විශ්වාස කරන්නටත් අමාරු විය. අග්නේසෙ දුම්වැටි විකුණන, ඇගේ පියාගේ කඩයට මම ගියෙමි. කවුන්ටරය උඩට මුදල් දමා නසියොනාලි දුම්වැටි දෙකක් ඉල්ලුවෙමි.

වේලුණු ඉත්තෑකූරු කැලයක් බඳු කෙලින් හිටගත් කොණ්ඩයකින් යුත් අග්නේසෙ වයස දහහතක කෙල්ලකි. ලෙයින් තොර, සුදුමැලි, පිම්බුණු ඇගේ මුහුණ රෝස පුයරවලින් වැසී තිබිණි. ඇගේ දෑස කළුම කළුය. කොරොනරි පාරේ විසූ හැම කෙනෙකුම මෙන් මමද ඇය දැන සිටියෙමි. එමෙන්ම ඇය මුදල් වෙනුවෙන් සිය ආත්මය වුවද විකිණීමට සූදානම් කෙල්ලක බව සෑමදෙනා මෙන් මමද දත්තෙමි. මා අතට දුම්වැටි දෙක දෙන විට ඇය වෙත නැඹුරු වූ මම, ‘මොකක්ද මිනිහගෙ නම ?’යැයි ඇසීමි.

‘කාගෙ නමද?’ ඇය විස්මයට පත්ව විමසුවාය.

‘මගේ ගෑනිගෙ හොර මිනිහගෙ.’

ඇය ත්‍රස්ත වූවාක් මෙන් මා දෙස බැලුවාය. මගේ මුහුණේ තිබූ පෙනුම දරුණු එකක් වූවා විය යුතුය. ‘මං දන්නෙ නෑ. මං කිසිදෙයක් දන්නෙ නෑ.’ඇය වහා කීවාය.

මම සිනාසෙන්නට වෑයම් කළෙමි. ‘ඔන්න ඔහෙ කියන්න. මේ වෙනකොට ඒක හැමෝම දන්නවා. නොදන්න එකම කෙනා තමයි මම.’

සිය හිස දෙපසට වනමින් ඇය මා දෙස බලා සිටියාය. ‘කිව්වොත් මේක දෙනවා,’ එදා උදෑසන කළ අලුත්වැඩියාව වෙනුවෙන් මට ලැබුණු ලීරා දහසේ නෝට්ටුව සාක්කුවෙන් ගනිමින් මම කීමි.

මුදල් නෝට්ටුව දැකීමෙන් ඇය දැඩි ලෙස කලබලයට පත්වූයේ මා ඇය සමග ආදරය ගැන කතා කළාක් මෙනි. ඇගේ දෙතොල සැලිණි. ඉන්පසු වටපිට බැලූ ඇය මුදල් නෝට්ටුව මත අත තබා සෙමෙන් හඬ අවදි කළාය: ‘මාරියෝ.’

‘ඔයා කොහොමද දැන ගත්තේ මේ ගැන?’

‘ඔයගොල්ලන්ගෙ ගොඩනැගිල්ල මුර කරන ගෑනු කෙනාගෙන්.’

ඉතින් මෙය ඇත්තෙන්ම ඇත්තකි. මේ ‘ගිනි ගිනි- වතුර වතුර’ සෙල්ලම වගේ එකකි. දැන් අපි අපේ නිවෙස ඇති ගොඩනැගිල්ල ඇතුළටම පැමිණ සිටිමු. ඉතා ඉක්මනින් අප මගේ තට්ටු නිවෙස තුළටම ඇතුළු වනු ඇත. සිගරැට් කඩයෙන් පිටවූ මම වහ වහා නිවෙස බලා පිය නගන්නට වීමි. නිවෙසට තිබුණේ තව ටික දුරක් පමණි. මේ මුළු කාලය තුළම මා කළේ ‘මාරියෝ’ යන නම මතුරන එකය. මා එසේ කරත්ම මාරියෝ යන නම ඇති මා දන්නා සියලු දෙනා මගේ දෑස ඉදිරිපිට ප්‍රාදූර්භූත වූහ: එළවලු කඩේ මාරියෝ, හමුදාවේ සිට පැමිණ රස්සාවක් නැතිව සිටින මාරියෝ, ඌරුමස් කඩේ මුදලාලිගේ පුතා මාරියෝ, මාරියෝ, මාරියෝ, මාරියෝ.... රෝම නගරයේ මාරියෝලා ලක්ෂ ගණනක් සිටින අතර එයින් සිය දෙනෙක්වත් මේ කොරොනරි පාරේම සිටිනවා ඇත. නිවෙස පිහිටා ඇති ගොඩනැගිල්ලේ දොරෙන් ඇතුළු වූ මම කෙලින්ම මුරකාරිය සිටින කුටිය වෙත ගියෙමි. ෆේදේ බඳුම මහලු, ඝන උඩුරැවුලකින් යුත් මුරකාරිය සිය දෙපා දෙපසට කරගෙන හිඳගෙන සිටියාය. දෙපා උණුසුම් කරන කුඩා උඳුනක් ඇයගේ දෙපා අසල වූ අතර ආහාරයට සූදානම් කරන චිකෝරි මුල් රැසක් ඇයගේ ඔඩොක්කුවේ විය. ඔළුව ඇතුළට දැමූ මම ඇයට කතා කළෙමි: ‘මේ ඇහුණද. ඔහේද මේ මම ගෙදර නැති වෙලාවට ෆිලොමෙනා මාරියෝ කියලා එකෙක්ව ගෙදරට ගෙන්න ගන්නවා කියලා කතාවක් හදලා තියෙන්නේ?’

ඇය කෝපයට පත්වූවාය. ‘කවුරුවත් කතා හදලා නෑ.... ඔහේගෙ පවුලම තමයි මට කිව්වේ.’ ඕ එසැණින්ම පිළිතුරු දුන්නාය.

‘ෆිලොමෙනා?’

‘ඔව් එයා තමයි කිව්වේ මෙන්ම මේ වගේ ඉලන්දාරියෙක් මා බලන්න එනවා. එයාගෙ නම මාරියෝ. ජිනෝ ගෙදර ඉන්නවා නම් එයාට උඩට එන්න දෙන්න එපා. ජිනෝ ගෙදර නැත්නම් එයාව උඩට එවන්න කියලා.... මිනිහා මේ දැනුත් උඩ ඉන්නවා.’

‘මේ දැනුත් උඩ ඉන්නවා?’

‘ඔව්, ඔව්.... දැන් පැයකට විතර ඉස්සරවෙලා උඩට ගියේ.’

ඉදින් මාරියෝ කියා එකෙකු සිටිනවා පමණක් නොව, ඌ දැන් ෆිලොමෙනා සමග පැයක වේලේ සිට මගේ ගෙදරම සිටියි.  දනිපනි ගා තරප්පු පෙළ නැග තුන්වැනි මහලට ගිය මම දොරට ගැසුවෙමි. ෆිලොමෙනා පැමිණ දොර හැරියාය. සාමාන්‍යයෙන් තැන්පත් ගතියෙන් යුත් ඇය කෙරේ දැන් තැතිගත් පෙනුමක් තිබෙන බව මම දුටුවෙමි. ‘හොඳයි, එහෙනම් මං නැති වෙලාවට තමුසෙ බලන්න මාරියෝ එනවා ?’ මම කීවෙමි.

‘ඒත් ඇයි මේ....?’ ඇය තැතනුවාය.

‘මං ඔක්කොම දන්නවා,’ යැයි කෑ ගැසූ මම ඇතුළට යන්නට තැත් කළෙමි. එහෙත් ඈ මග ඇවුරුවාය. ‘ගණන් ගන්න එපා....ඔයාට මොකටද ඒක? තව ටිකක් වෙලා ඉඳලා ගෙදර එන්න.’

මේ මොහොතේදී තවදුරටත් මට මා පාලනය කරගත නොහැකි විය. ඇයගේ කම්මුලට පහරක් ගැසූ මම කෑ ගැසුවෙමි: ‘ ආ, එහෙමද? මට ඒකෙන් වැඩක් නැද්ද ?’ ඇය පසෙකට තල්ලු කර දැමූ මම කුස්සියට දිව ගියෙමි.

ගෑනුන්ගේ ඕපාදූපත්, ගෑනුත් යකාට ගියාවේ ! ඇත්තටම මේසය ළඟ වාඩි වී මාරියෝ කෝපි බොමින් සිටියේය. ඒත් ඒ වඩුමඩුවේ මාරියෝවත්, එළවලු කඩේ මාරියෝවත්, ඌරුමස් කඩේ මුදලාලිගේ පුතා මාරියෝවත්, මා ගෙදර එන ගමන් හිතූ එකම මාරියෝ කෙනෙකුවත් නොවීය. ඒ හොරකමකට අසුවී අවුරුදු දෙකකට හිරේ ගොස් සිටි, ෆිලෝමෙනාගේ සොහොයුරු මාරියෝ විය. ඔහු හිරෙන් නිදහස් වී එන බව දන්නා මා ඇයට මීට කලින් මෙසේ කියා තිබිණි: ‘ඇහුණ නේද ? මිනිහ මේ ගෙදරට වැද්ද ගන්නව එහෙම නෙවෙයි ඔන්න....මිනිහගෙ නම කියනව වත් අහන්න මට ඕනෑ නෑ.’

එහෙත් ඔහු සොරෙකු බව නොසලකමින් සිය සොහොයුරාට ආදරය කළ අසරණ තරුණිය මා ගෙදර නැති වේලාවට ඔහු බලන්නට තීරණය කොට තිබිණි. කෝපයෙන් ඇවිළෙන මා දුටු මාරියෝ නැගී සිටියේය. මම හුස්ම අල්ලාගෙනම , ‘හා , කොහොමද මාරියෝ ?’ යැයි ඇසුවෙමි.

‘මං යනවා,’ ඔහු දුර්වල ලෙස කීවේය. ‘වද වෙන්න එපා.... මම යනවා.... මොකක්ද      ප්‍රශ්නෙ ? කවුරුහරි හිතාවි මට මහාමාරිය හැදිලා කියලා.’

ෆිලොමෙනා කොරිඩෝරයේ ඉකිබිඳින හඬ ඇසිණි. මා කළ දේ ගැන මට ලජ්ජා සිතිණ. ‘නෑ, නෑ, ඉන්න,’ මම ව්‍යාකූල ලෙසින් කිව්වෙමි. ‘අද ඉන්න....රෑට කාලා යන්න ඉන්න....ඔක්කොම හරි, නේද ෆිලොමෙනා?’ ඇස් පිස දමමින් දොර වෙතට එන ෆිලොමෙනා දෙසට හැරුණු මම ‘මාරියෝ රෑ කෑමට හිටියට කමක් නෑ නේද ?’ යි ඇයගෙන් ඇසීමි.

වැරැද්ද නිවැරදි කරන්නට අවශ්‍ය සියලු දේ මට හැකි පමණින් මම කළෙමි. නිදන කාමරයට ගිය මම ෆිලොමෙනාට කතා කොට හාද්දක් දුන්නෙමි. අපි සමාදාන වීමු. කෙසේවූවද, ඕපාදූපවල ප්‍රශ්නය තවමත් තිබිණි. ටික වේලාවක් එකල මෙකල වෙමින් සිටි මම මාරියෝට කතා කළෙමි: ‘එනවා යන්න, මාරියෝ....යමු වැඩපොළට. තමුසෙට ලොක්කාගෙන් මොනවා හරි වැඩක් ඉල්ලා ගනිමු.’ ඔහු මා පසුපසින් එළියට ආවේය. අප දෙදෙනා තරප්පු පෙළ බසින අතර මම මෙසේ කීවෙමි: ‘තමුසෙව මෙහෙ කවුරුවත් දන්නේ නෑ....ඇහුවොත් කියනවා පහුගිය අවුරුදු කීපයේ තමුසෙ මිලානෝවල රස්සාවක් කළා කියලා-තේරුණාද?’

‘හරි.’

අපි පහත මාලයට ගියෙමු. මුරකාරියගේ කුටිය අසලට පැමිණි විට මාරියෝගේ අතින් අල්ලා ගත් මම ඔහු හඳුන්වා දුනිමි. ‘මේ මාරියෝ.... මගේ මස්සිනා....එයා ආවේ මිලානෝවල ඉඳලා....අද ඉඳලා මෙහෙ ඉන්නවා අපිත් එක්ක.’

‘බොහොම සන්තෝසයි අඳුනා ගන්න ලැබීම ගැන....’

‘සන්තෝසය සම්පූර්ණයෙන්ම මගෙයි,’ වීදියට බසින අතර මම සිතුවෙමි. මේ ගෑනුන්ගේ කචකචය නිසා මට ලීරා දහසක් අහිමි විය; දැන් ඒ මදිවාට හොරෙකුත් මගේ ගෙට වැදී සිටියි.

අල්බර්ටෝ මොරාවියා 

‘මාරියෝ’ නම් වූ මේ කෙටිකතාව ඇල්බටෝ මොරාවියාගේ රක්කොන්ති රොමානි (රෝම කතා) නම් කෙටිකතා සංග්‍රහයේ එන්නකි. මෙය ඇන්ගස් ඩේවිඩ්සන්ගේ ඉංගිරිසි පරිවර්තනයෙන් සිංහලට නැගිණි.

පරිවර්තනය: නිලූක කදුරුගමුව



අදහස් (0)

මාරියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

කෙටිකතා

රතු රෝස මල
2025 අප්‍රේල් මස 22 432 1

මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.


මගක් වසා මගක්
2025 අප්‍රේල් මස 15 466 0

’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.


මල් මිටිය
2025 අප්‍රේල් මස 08 157 0

සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ


ඩේවිඩ්ගේ උයන
2025 අප්‍රේල් මස 01 490 2

සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව


සියල්ල අහම්බයන්ය
2025 මාර්තු මස 25 686 2

“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව


අඹුසැමියෝ
2025 මාර්තු මස 18 911 2

මහනුවර නගරයෙන් මදක් ඈතට වන්නට නිස්කලංක පරිසරයක පිහිටා ඇති සාත්තු නිකේතනයේ සේවයට පැමිණ මේ ගෙවී යන්නේ තෙවැනි වසරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 881 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site