සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ විවිධාකාර මල් සැරසිලි තිබුණත් ඒ එකක්වත් තමන් ගේ මේසයට ගන්න සමන්ගිට හිතෙන්නේ නැහැ.කුඩා කාලයේ ඉඳලම සමන්ගී මල්වලට ආසයි.ඒත් ඒ මල්වලත් සැඟවිච්ච කඳුළු කතා මොනතරම් තියෙනවද කියලා සමන්ගිට දැනෙන්නේ දැන් .මල් බඳුන ළඟට ඇදලා අරගෙන ඒ පැත්ත මේ පැත්ත හරවා හරවා බලපු සමන්ගී තීරණය කළේ නැවත ඒ බඳුනට මලක් නොදමන්න.එතකොට සමන්ගිට පුළුවන් අතීත මල්වල සුවඳ මතක්කරමින් විඳින්න.
සමන්ගී සේවය කළේ සුප්‍රසිද්ධ ප්‍රචාරක ආයතනයක විධායක නිලධාරිනියක් හැටියට.තවමත් අවිවාහක සමන්ගී දිනපතා කළුතර නිවසේ සිට කොළඹ රැකියාවට ආවේ තමන් ගේ මව පමණක් නිවසේ තනිකර කොළඹ නැවතී සිටීමට අකමැති නිසයි.නැතිනම් කොළඹ හොඳ ඇනෙක්ස් එකක නැවතී පහසුවෙන් වැඩට යාමට තරම් ලොකු වැටුපක් සමන්ගිට ලැබුණා.සමන්ගි ගේ මව කැමති වුණෙත් නැහැ නිවෙස් කඩක නැවතීමට යාමට.මේ නිසාම කළුතර කොළඹ අතර කිලෝමීටර් ගණනාවක් උදේ සවස රථය පදවාගෙන යන්න සමන්ගිට සිදු වුණා.
සමන්ගී තමන් ගේ ගමනාගමනය සඳහා තෝරාගත්තේ ගාළු පාරේ වාඩියමංකඩින් ඇරඹි බණ්ඩාරගම හරහා කැස්බෑවට ගොස් එතනින් එකසිය විස්ස පාරට වැටී කොළඹ දක්වා යන මාර්ගයයි .පාර දුර වුණත් මොකක්දෝ නිසංසල සුන්දර ගම්බද ගතියක් ඒ පාරෙදී සමන්ගිට දැනුණා.ඒ වගේම අලුතෙන් හදපු එකසිය විස්ස පාරත් ගාළු පාරේ වාහන තදබදය මගහැර යාමට පහසු මගක් වුණා.
එදා වැස්ස දවසක් .පෙරදා රාත්‍රියේ ඇරඹුණු වැස්ස පසුදා උදෑසනත් එකසේ ඇදහැලුණා.අම්මත් කිව්වේ නිවාඩු ඕන තරම් ඉතුරු වෙලා තියෙන නිසා එදා ගෙදර නවතින්න කියලයි.ඒත් එදිනම වැඩ නිම කළ යුතු රූපවාහිනී වෙළඳ දැන්වීමක් පිළිබඳ ගැටලුවක් පැණනැගී තිබුණු බැවින් සමන්ගිට කාර්යාලයට යෑමේ වුවමණාව තදින්ම තිබුණා.වැස්ස ටිකක් අඩුවෙයි කියලා බලන් හිටියත් එහෙම වෙන පාටක් තිබුණේ නැහැ.වෙනදා පිටත්වන වෙලාවට මදක් පමාවී සමන්ගි රථයට ගොඩවුණේ මව ගේ දැඩි අකමැත්ත පිටයි.
පාරේ වෙනදා තරම් වාහන තදබදයක් නොතිබුණත් වාහන ගමන් කළේ හිමින් සීරුවේ.උදෑසන හතට ආසන්නව තිබුණත් හාත්පස තිබූණේ අඳුරු ස්වභාවයක්.වාහන ගමන්කළේ ඉදිරිපස පහන් දල්වාගෙන.වාඩියමංකඩින් හැරුණට පස්සේ නම් වාහනයක් හම්බවුණේ ඉඳහිට.වෙනදා මුණගැසෙන පාසැල් ළමුන් හෝ රැකියාවලට යන අය එදා දකින්න හිටියේ නැහැ.හරියට නිවාඩු දවසක් වගේ.
මොරොන්තුඩුව නගරය පසු කී වහාම හමුවන්නේ වගුරු බිම් ප්‍රදේශයක්.මේ ප්‍රදේශයේ නිවාස නැහැ.හොඳින් වැඩුණු කෙටල ගාල් මානා පඳුරු සහ තැනින් තැන ඇති සිඟිති ජලාශ ප්‍රදේශයට එක් කරන්නේ අමුතුම සුන්දරත්වයක්.
සමන්ගී මේ ප්‍රදේශයට පැමිණෙත්ම විශාල කුඹුක් ගහක් යට සිටි අයෙක් හිටි හැටියේ පාරට පැන රථයට අත දැම්මේ අනපේක්ෂිතවයි.වැස්ස නිසා රථය ධාවනය වුණෙත් බොහොමත්ම හිමියන්.එක්වරම ගැස්සුණු සමන්ගී ගේ අතින් රථය නැවතුනේ ඉබේටමයි.
ඒ වන විට වැස්ස මදක් අඩුකර තිබූ අතර මහ වැස්ස පොද වැස්සක් බවට පරිවර්තනය වී තිබුණා.රථය නැවතෙනවත් සමගම පිටුපසින් ඉක්මන් ගමනින් පැමිණි අයෙක් රියදුරු අසුන පැත්තේ වීදුරුව අසල හිටගත්තා.ඒ වයසක පිරිමි පුද්ගලයෙක්.වයස අසූවක් හෝ එයට මදක් වැඩියැයි සිතෙන කළු මිටි පුද්ගලයෙක් .ඔහු සරමක් හා සුදු කමිසයක් ඇඳ සිටියා.වැස්සට තෙමුණු කමිසය ඇඟටම ඇලී තිබුණා.ඒ තුලින් කෙසඟ සිරුරේ ඉරනම් ඇට පවා කැපී පෙනෙන ස්වභාවයක් පෙන්නුම් කළා .ඔහු සිනහ මුසු මුහුණින් සමන්ගී දෙස බලා සිටියා.
මද චකිතයක් ඇති වූවත් සමන්ගී පැති වීදුරුව පහත් කළා.එවිටම ඒ පුද්ගලයා රතු කහ මිශ්‍ර දිග නටුවක් ඇති මල් දෙකක් සමන්ගී දෙසට දිගු කළා.ඒ අරත්ත මල් බව ක්ෂණිකව ම සමන්ගී ගේ මනසට ආවා.
" නෝනා, මේ මල් දෙක අරගෙන කීයක් හරි දෙන්න "
ඔහු ගේ හඬේ තිබුණේ බැගෑපත් බවක්.
කිසිවක්ම නොපැවසූ සමන්ගී පර්ස් එක ඇර රුපියල් පන්සීයේ කොළයක් ගෙන ඔහු දෙසට දිගු කළා.
" මෙච්චර එපා නෝනා
පනහක් හරි සීයක් හරි දෙන්න "
ඔහු පැවසුවා
" කමක් නැහැ
ඕක තියාගන්න "
වීදුරුව වසා ගැනීමට සැරසෙන විටම නැවතත් ඔහු පැවසුවේ
" නෝනා ,මේ මල් දෙකත් අරගෙන යන්න "
ඔහු ගේ ස්වරයේ තිබූ සංවේදී බව හමුවේ නැවත වීදුරුව පහත් කළ සමන්ගී අරත්ත මල් දෙක අතට ගත්තා.
සමන්ගී එදා කාර්යාලය ට යන විට පැයක් පමණ ප්‍රමාදයි.වෙනදානම් මෙහෙම ප්‍රමාදවූ දින වලදී සමන්ගී ට දැනෙන්නේ තමන් ගැනම නොරුස්නා හැඟීමක්.උදෑසන ලැබෙන සුභ පැතුමකටවත් නැවත සුභ පතන්න එවිට ඇයට හිතන්නේ නැහැ.ඒත් එදා සමන්ගී ගේ හිත පිරිලා තිබුණේ නුහුරු සතුටකින්.අරත්ත මල් දෙකකුත් අරගෙන ආයතනය මැදින් තම තම කාමරය වෙත යන සමන්ගී දෙස හැමෝම බලාගෙන හිටියේ පුදුමයෙන්.
කාමරයට ගිය හැටියෙම සමන්ගී කලේ සහයිකාවක් කැඳවා මල් දෙක දැමීමට සුදුසු බඳුනක් ගෙන ඒමට පැවසීමයි.කාර්යාලයේ විවිධ හැඩයේ විවිධ තරාතිරමේ මල් බඳුන් තිබුණත් සමන්ගී ගේ හිත ගත්තේ එහා මෙහා විනිවිද පෙනෙන මදක් උස ක්‍රිස්ටල් මල් බඳුනක්.දිග කූරක සමනලයෙක් වසා සිටින අයුරු සිහිගන්වන අරත්ත මල් මීට පෙර දුරින් මිස මෙතරම් ළඟින් සමන්ගී දැක තිබුණේ නැහැ.සැබවින්ම එය සියුම් ජපන් ඔරිගාමී කලා කෘතියක් හා සමාන නොවේදැයි සමන්ගීට හිතුණා.
එදා සිකුරාදා දවසක්.සති අන්තයේ නිවසේ අපමණක් කටයුතු අතර සමන්ගිට අරත්ත මල් දෙක අමතකවී ගියා.එහෙත් සඳුදා උදෑසන මොරොන්තුඩුව පසුකරන විටම සමන්ගි ගේ සිහියට නැගුණේ අරත්ත මල් දෙක.නමුත් කලින් දින හමුවූ ස්ථානයේ එම පුද්ගලයා හිටියේ නැහැ.
" අද මම කලින් "
සමන්ගී හිතුවා.
ඒත් එදා කාර්යාලයට යන විටත් අරත්ත මල් දෙක අඩක් ජලය පිරවූ බඳුන තුළ ජීවී ගතියෙන්ම තිබුණා.
පසුවදා අඟහරුවාදා .එදත් සමන්ගිට ඒ මහළු පුද්ගලයා හමුවුණේ නැහැ.නමුත් බදාදා උදෑසන ඈත තියාම සමන්ගී දැක්කා ඔහු මල් මිටියත් දිගු කරගෙන කුඹුක් ගහ යට ඉන්න හැටි.එදා නම් සමන්ගී රථය නැවැත්තුවේ තමන්ගෙම කැමැත්තෙන්.රථය නවතිනවාත් සමගම ඔහු පැති වීදුරුව අසලට දුව ආවා.එදා තිබුණේ කහ පාට වල් සූරියකාන්ත මල් පොකුරක්.කොළ දෙක තුනකුත් එයට එක්කර තිබුණා.
" කීයද ? "
සමන්ගි ඇහුවා
" සීයක් හරි පනහක් හරි දෙන්න නෝනා "
ඔහු බයාදු ලෙස කීවා
" ඊයේ පෙරෙයිදා හිටියේ නැත්තේ මොකද "
" එදා තෙමිලා සෙම ඇවිස්සුනා නෝනා
ඒත් නෝනා දුන්න සල්ලි වලින් හාල් තුනපහ ටිකක් ගත්තා "
" එහෙනම් මේ සල්ලි තියාගෙන බෙහෙත් ටිකක් ගන්න"
සමන්ගී රුපියල් දාහක් දිගුකළා.
" එපා නෝනා
බෙහෙත් ගත්තා ගෝනදුව ඉස්පිරිතාලෙන් "
" කමක් නැහැ
අදට මේක තියාගන්න
හැබැයි අනිත් දවසේ ඉඳලා දෙන්නේ සීයයි "
සමන්ගී පැවසුවේ සිනාසෙමින්.
එදා සිට විටින් විට සමන්ගිගේ මේසය සැරසුණේ වණ මලින්.සුපිරි ප්‍රචාරක ආයතනයක විධායක නිලධාරිණියක ගේ මේසය මතට වණ මල් පැමිණීම කා හටත් සුවිශේෂී මාතෘකාවක් වුණා.ඒත් කවුරුවත් ඒ ගැන සමන්ගිගෙන් විමසන්න ගියේ නැහැ.ඒත් සමහර දවස් වලට සඟරා ආදිය සඳහා ඡායාරූප ගන්නා ඡායාරූප ශිල්පීන් සමන්ගි ගේ මල් බඳුන ඉල්ලාගෙන ගියා.විටින් විට සඟරා පිට කවර සරසන්නත් රූපවාහිනි වෙළඳ දැන්වීම් සඳහාත් පෙනී සිටින්න සමන්ගි ගේ මල් බඳුනට අවස්ථාව ලැබුණා.
හැමදාම නොවුණත් සතියකට දින දෙක තුනක් සමන්ගී මල් මිටියක් මිලදී ගත්තා.එම මල් මිටි සකසා තිබුණේ අපූරු විවිධත්වයකින්.සමහර මල් වර්ග සමන්ගි මින් පෙර දැකලවත් තිබුණේ නැහැ.ඒවායේ නම් හොයන්න අන්තර්ජාලය පීරන්නත් සමන්ගිට සිදුවුණා.කහ පාට දියපර මල් දෙකකට දියපර කොළයක් එක් කරලා සකසා තිබුණු සැරසිල්ලට තමයි සමන්ගි කැමතිම.දම් පාට මිදෙල්ල මල් පොකුරක් රැගෙන ආව දිනයේ සමන්ගි ඇඳගෙන හිටියෙත් ඒ පාටම සාරියක්.හම්බු පන් මල් වලින් නම් දැනුණේ මඩ සුවඳක්.ඒත් ඒ සුවඳට සමන්ගී කැමතී.ඉලුක් මල් මිටියකට කොළ දෙක තුනක් එක්කරලා හදලා තිබුණු මල් සැරසිල්ල දැකලා සමන්ගි බලන්න ආපු සමන්ගි ගේ පෙම්වතා තිසර හිනා වුණේ,
" අද නම් වණ මෝහිනී වගේ "
කියමිනුයි.
විශේෂ සිදුවීමක් සිදු නොවී මාස කිහිපයක් ගතවුණා.ඒ අතරේ විටින් විට ඒ මහළු පුද්ගලයා ගේ තොරතුරු විමසන්නත් සමන්ගිට අවස්ථාව ලැබුණා.
" සීයා මේ ළඟම ද "
" නෑ නෝනා
වෙලෙන් එගොඩ ගම පැත්තට වෙන්න "
" ගෙදර තව කවුද ඉන්නේ "
" අපේ ගෙදර එක්කෙනයි මායි විතරයි නෝනා "
" සීයට ඇද්ද මේ රුපියල් සීය "
ඔහු හිනැහුණේ අහිංසක විදියට.
" ආණ්ඩුවේ ආධාර මුදලකුත් හම්බ වෙනවා නෝනා
වත්තේ ඔය මොනවා හරි වවාගෙනත් තියෙනවා
අපි දෙන්නට වේලක් ඇර වේලක් කන්න ඒ ඇති "
එදයින් පස්සේ සමන්ගී විටින් විට රුපියල් පන්සීයේ දාහේ ඒවා කීපයක්ම ඔහු අත තිබ්බා .ඒ අතරම ඔහු ගේ පෙනුම සීග්‍රයෙන් දුර්වල වෙන ගතියකුයි සමන්ගිට පෙනුනේ .
වෙනදා රථය නැවැත්වූ විට කඩිසරව කවුළුව අසලට පැමිණෙන ඔහු ගේ ගමනේ වේගය බාල වුණා.කකුලක් කොර ගහන ගතියකුත් තිබුණා.
දිනක් උදෑසන සමන්ගී දුටුවා ඔහු ගේ පෙනුමේ ලොකු වෙනසක්.
" සීය ගේ කකුල මොකද "
" කකුල හරියට රිදෙනවා නෝනා
වාතෙද කොහෙද
ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තා
තවම අඩුවක් නැහැ "
කාලය වෙනදා මෙන්ම ගෙවී ගියා.දැනට සති තුන හතරකට කලින් සිකුරාදා දවසක තමයි අවසාන වතාවට සමන්ගිට ඔහුව හමුවුණේ.එදා ඔහු ගෙනැවිත් තිබුණේ අරත්ත මල් දෙකක්.වෙනදා වගේම හිනාවෙන්න උත්සාහ කළත් ඔහු ගේ හිනහවේ තිබුණේ මහා වේදනාවක් නේද කියලා දැන් තමයි සමන්ගිට දැනෙන්නේ.
" සීයේ, බල බල ඉන්න එපා
ප්‍රයිවට් තැනකින් වත් බෙහෙත් ටිකක් ගන්න"
එදා එහෙම කියන ගමන්ම රුපියල් දාහක් අතට ගත්ත සමන්ගී නැවතත් අත් බෑගය ඇරලා රුපියල් දාහ එතුළට දමලා රුපියල් පන්දාහේ කොළයක් අරගෙන මහළු පුද්ගලයා ගේ අතේ තිබ්බා.
" අත දිගුකල ඔහු එය පන්දාහේ කෙළයක් බව දැනගෙන නැවත අත ආපස්සට ගත්තා.
" අනේ එපා නෝනා
මම ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නම් "
" නෑ, නෑ සීයේ
මම කැමැත්තෙන් දෙන එකනේ.
මේක අරගෙන අදම බෙහෙත් ගන්න
නැත්නම් තව අමාරු වේවි "
රථය පණගන්වාගෙන ඉදිරියට යන අතර සමන්ගී පැති කණ්නාඩියෙන් දුටුවේ පන්දාහේ කොළය අතේ තබාගෙන රථය නොපෙනී යන තුරුම ඒ දෙස බලා ඉන්නා ඔහුව.
එළඹි සතියේ සඳුදා සමන්ගිට ඔහුව මුණගැසුණේ නැහැ.ඒ අයුරින්ම ඒ මුළු සතියේම ඔහු කුඹුක් ගහ යට හිටියේ නැහැ.
" කකුල් අමාරුව වැඩි වෙලා ඇති "
සමන්ගී හිතුවා.
එයට පසු සතියේත් ඔහුව මුණගැසුණේ නැහැ.එය සමන්ගීටත් කාර්ය බහුල සතියක් වුණා.හුඟ දවසකට වැඩ ඇරී ආපසු ආවේ රෑ බෝවූ පසුවයි.නමුත් සිකුරාදා වන විට කාර්ය බහුලත්ය මදක් පහව ගියා.එදා සමන්ගී වේලාසනින් කාර්යාලයෙන් පිටවුණේ මහළු පුද්ගලයා පිළිබඳව තොරතුරක් කිසිවකුගෙන් විමසා සොයා බලන අපේක්ෂාවෙන්.සමන්ගී කුඹුක් ගස ආසන්නයට එන විට කළුවර වැටෙන්නට පටන් අරගෙන.වට පිට සෝදිසි කරණ විට සමන්ගී දුටුවේ එයට මීටර් සීයක් පමණ එපිටින් පාරේ අනෙක් පස ඇති කුඩා තේ කඩයක්.එහි සිටින්නන් මහළු පුද්ගලයා පිළිබඳව යමක් දන්නවා ඇතැයි සිතූ සමන්ගී එම කඩය වෙත රථය පදවාගෙන ගියා.
එහි සිටියේ වයස අවුරුදු හැටක පමණ පුද්ගලයෙක්.එයට අමතරව තේ බීමට පැමිණි ඒ ප්‍රදේශයේම යැයි සිතිය හැකි අයෙක් ද සිටියා.
" මම ආවේ තොරතුරක් දැනගන්න "
" මොකක්ද නෝනා "
" අර පේන කුඹුක් ගහ යට මල් විකුණන සීයව අඳුනනවද"
" ඔව් නෝනා "
" ඒ සීයා දැන් සති දෙකක විතර ඉඳලා එතන නැහැනේ
අසනීප වෙලාද "
" අනේ
නෝනා දන්නේ නැද්ද
ඒ සීයා සතියකට විතර උඩදී නැතිවුණානේ
ඊයේ හවස හත් දවසේ බණ කිව්වා
අද උදේ පන්සලට දන් කදක් උයාගෙන ගියා "
සමන්ගිට තම සවන් අදහාගනු නොහැකි වූණා.ඇයට දැනුණේ විශ්වාස කළ නොහැකි යමක් සිදුවී ඇති ආකාරයක්.
" මොනවා වෙලාද "
" ඔළුවේ නහරයක් පුපුරලා "
" ඔය මනුස්සයා ඔය තරම් කාලයක් ඔරොත්තු දුන්න එකත් පුදුමයි
අපේ නම් ඔයිට කලින් නහර පුපුරන්නේ "
තේ බිබී හිටපු පුද්ගලයා පැවසුවේ කම්පාවෙන්
" එතකොට ඒ සීයගේ ගෙදර තව කවුද ඉන්නේ"
" ඒ මනුස්සය ගේ පවුල ඉන්නවා
ඒ ගෑණුකෙනත් ලෙඩගානේ "
" මට කියන්න පුලුවන්ද ඒ ගෙදරට යන පාර "
" කියන්න නම් පුළුවන් නෝනා
ඒත් මේ රෑ යන්න අමාරුයි
පාරත් හොඳ නැහැ "
" හෙට සෙනසුරාදා නේ
මම හෙට උදේ එන්නම් "
" හොඳයි නෝනා
කාර් එක මෙතන දාලා ත්‍රී වීලරයක යන්න
මම එකක් හෙට උදේ කතා කරලා දෙන්නම් "
" සමන්ගී රථයට ගොඩ වුණේ අඳුරත් සමගමයි.
ඇයට දැනුනේ ඒ අඳුර තම හදවතත් සීතල කරන බවකුයි "
පසුවදා සෙනසුරාදා දිනයක් වූ නමූත් සමන්ගී උදෑසනම නැගිට සූදානම් වී මවටත් කාරණය පවසා නිවසින් පිටවන විට හතහමාරට පමණ ඇති.ඇය තේ කඩය අසලට පැමිණෙන විට අටට කිට්ටුයි.ඇය පැමිණෙන විටත් රතු පාට ත්‍රී රෝද රථයක් ඒ අසල නවතා තිබුණා
" මම අපේ පුතාට කිව්වා නෝනව අප්පුහාමි මාම ගේ ගෙදරට එක්කගෙන යන්න කියලා "
සමන්ගී දකින විටම මුදලාලි පැවසුවා
එන අතරමගදී සුපිරි වෙළඳ සැලකින් රැගෙන ආ බඩු මලු කිහිපයද ත්‍රී රෝද රියට පටවාගත් සමන්ගීද එයටම ගොඩවුණා.දෙවට පාරක් ඔස්සේ අපහසු මගක ගැස්සෙමින් ගමන්කරන අතර සමන්ගී දුටුවේ කහ මල් පිපුණු දියපර යායක්.තැනින් තැන ඇති වල් සූරියකාන්ත ගස්.දිය පාරවල් වලට රේණු හලන දම් පාට මිදෙල්ලා ගස්.ඒ අතර පාට පාට වයිරම් වැටුණු හබරල ගාලවල්.තමන් ගේ මේසය මතට පැමිණි මල් සැරසිලි ආවේ කොහෙන්ද කියලා සමන්ගිට හිතාගන්න පුළුවන් වුණා.
කිලෝ මීටර් දෙකක් පමණ ගමන් ගත් ත්‍රී රෝද රථය ගෙවත්තකට ඇතුළු වුණා.ඉතා පිරිසිදුව අතුගා තිබුණු ගෙමිදුල මැදට වෙන්නට කාලයකට ඉහත සුදු හුණු පිරියම් කළ උළු සෙවිලි කළ කඩා නිවසක් අසල ත්‍රීරෝද රිය නැවතුණා.රථයෙන් බැසගත් එය පදවාගෙන පැමිණි තරුණයා
" ආච්චියේ....ආච්චියේ "
යැයි කිහිප විටක් කතාකල විට පාට වියැකුණු චීත්තයකින් සහ සුදු හැට්ටයකින් සැරසුණු කාන්තාවක් නිවස වටෙන් ඉදිරිපසට පැමිණියා.වයස හැත්තෑවක් හෝ එයට මදක් වැඩියැයි සිතිය හැකි වයසක පසුවූ ඇය කුඩා ශරීරයකින් හෙබි පැහැපති කාන්තාවක්.
" ආච්චියේ....මේ නෝනා ආවේ ආච්චිව බලන්න "
තරුණයා ගේ කතාවෙන් ත්‍රීරෝද රිය තුළට එබුණු කාන්තාව ගේ මුහුණේ එක් වරම සිනහවක සේයාවක් ඇඳී ගියා.
" මම හිතුවා නෝනා එයි කියලා "
ඇය පැවසුවේ සමන්ගිව පුදුම කරවමින්.
රියෙන් බැස්ස සමන්ගී නිවස දෙසට ගමන් කල අතර රියදුරු බඩු මලු ගෙනැවිත් පිලෙහි තැබුවා.
" ආච්චී කොහොමද මම ඒවි කියලා දන්නේ "
" අපේ එක්කෙනා මාත් එක්ක නිතරම නෝනා ගැන කියනවා
හැඩ හුරුකමින් මම හිතුවා මේ නෝනා තමයි කියලා "
පිලෙහි ප්ලාස්ටික් පුටු දෙකක් තිබුණු අතර සමන්ගී ඉන් එකක ඉඳගත්තා. හොඳින් අතුගා පිරිසිදු කර තිබුණු ගේ තුළට එබුණු සමන්ගී දුටුවේ එහි එක් කාමරයක් සහ සාලයක් ඇති බවයි.කුඩා සාලයේ තව ප්ලාස්ටික් පුටු දෙකක් සහ කුඩා මේසයක් හැර වෙනත් කිසිදු බඩුවක් Iමුට්ටුවක් තිබුණේ නැහැ.පිලේ කොණක ඇඳක් තබා තිබුණා. ගෙට පිටතින් ඇති කුඩා ටකරං හෙවිල්ලපු කොටස කුස්සිය වෙන්නට ඇතැයි සමන්ගී හිතුවා.
" අනේ නෝනා, ඉස්සර අපි බොහොම හොඳට හිටපු මිනිස්සු.ඒත් සංසාරේ එකට එකතු වෙලා බොහොම කරුම කරලා තියෙන්න ඇති.මුළු පවුලම වැනසුණේ ඒකයි "
කාන්තාව රෙදි පොටින් කඳුළු පිසිමින් පැවසුවා.
" අපේ එක්කෙනා ඕන දෙයකට දස්සයි .මේ ගේ පොඩ්ඩ හදාගත්තෙත් එයාගෙම වීරියෙන්.කවදාවත් කාටවත් නිකං අතපාන කෙනෙක් නෙවෙයි.මම අපේ එක්කෙනත් එක්ක එන කාලේ එයා වැඩ කළේ මිනී පෙට්ටි සාප්පුවක.මගේ දෙමව්පියෝ විරුද්ධ වුණු නිසා අපි දෙන්නා අපේ මනාපෙන් ඇවිත් මෙතන පැලක් අටවගෙන හිටියා.පුතා ලැබුණට පස්සෙදියි මේ ගේ පොඩ්ඩ හදාගත්තේ.දෙවනියට ලැබුණේ දුවෙක්.එයා දිගටම පෙට්ටි සාප්පුවේ වැඩ කළා.මල් වඩම් හදන එක තමයි වැඩිපුරම කළේ.ඒකට හරිම දස්සයි.
පුතා විභාගෙ ලියල ගෙදර ඉන්න දවස්වල යුද්දේ හොඳටම දරුණුයි.යන්නම ඕනෙයි කියල අපේ අකමැත්තෙන්ම යුද්දෙට බැඳුණා.ඇත්තටම අපිට අඩුපාඩුවකට එහෙම ගියා නෙවෙයි.ඒත් පුතා ආපහු ආවේ සීල් කරපු පෙට්ටියක.අපිට මූණ බලාගන්න වත් බැරි වුණා"
ඇය නැවතත් රෙදි පොට ඔසවා කඳුලක් පිස්සා.
" එදා ඉඳලා අපේ එක්කෙනා පෙට්ටි සාප්පුවේ වැඩට ගියේ නැහැ.කතාබහත් අඩු වුණා
මෙච්චර මිනී අන්දවපු මට මගේ දරුව ගේ මූණ බලාගන්න පින නැතිවුණානේ
එහෙමයි නිතරම කිව්වේ .ඊට පස්සේ පොඩි පොඩි කුලී වැඩ කළා .පහල ඕවිටේ අපි දෙන්නම එකතුවෙලා පලා වැවුවා
දුව වැඩ කළේ රෙදි වියන තැනක.අපිම කතා කරලා දුන්න ළමයෙක්ව කසාද බැන්දා.ඒත් නෝනා දැනට අවුරුදු හත අටකට උඩදි කෙල්ල ලෙඩ වුණා.
පිළිකාවක්
හොඳ කරන්න බැරි වුණා.කෙල්ල මැරුණා.
දරුවෝ දෙන්නා උන්ගේ තාත්තයි ආච්චී ළඟ හැදෙනවා.
අපේ එක්කෙනා දුවට හරි ආදරෙයි.දුව නැතිවුණාට පස්සේ අංසබාගෙට වගේ ආවා.සිංහල බෙහෙත් කරලා සනීප කරගත්තා.ඒත් වැඩක් පලක් කරන්න අමාරු වූණා.මට පුළුවන් විදිහට ඕවිට කරගෙන ගියා.අණ්ඩුවෙන් ආදාරත් හම්බ වෙනවා නේ
මල් වලට තියෙන ආසාව නම් අතහැරුණේ නැහැ.නෝනට පේනවානේ මේ මිදුලේ හැදිලා තියෙන සීනියාස් මල් ගාලයි දාස් පෙතියා ගාලයි.
පස්සෙන් පහු උදේට මල් දෙකක් අරගෙන පාර පැත්තට යන්න පුරුදු වුණා.කීයක් හරි හම්බ වුණොත් මට ගෙනත් දෙනවා.නෝනා නිතරම මල් අරගෙන වැඩිපුරත් සල්ලි දෙනවා කියලා මට කියලා තියෙනවා
නෝනා හරියට අපේ දුව වගෙයි කියලත් කියනවා."
" අන්තිම දවසේ නෝනා දුන්නු සල්ලිත් අරගෙන හවසට බෙහෙත් ගේන්න යන්න වීලරේටත් කියලයි තිබුණේ.දවල්ට කාලා ඇඳේ ඇලවුණා .මම තුනට විතර කතාකලා.එතකොට නැගිටින්න බැහැ.කටත් පැත්තකට ගිහිං.අහල පහල අය එකතුවෙලා ඉස්පිරිතාලෙට ගෙනිච්චා.ඉස්පිරිතාලේ යන එන ඒවට ඕන කරන දේවල් වලට වියදම් කළේ නෝන දුන්ණු සල්ලි. දවස් තුනක් අව සිහියෙන් ඉස්පිරිතාලේ ඉඳලා එහෙම්මම නැතිවුණා.හාමුදුරුවෝ මුල් වෙලා ගමේ අය මරණෙ කටයුතු චාමෙට කළා.බණ කියවලා හත් දවසේ දානෙත් දුන්නා.
දැන් මම තනිවුණා නෝනා"
ඇගේ ස්වරයේ තිබුණේ දරාගත නොහැකි තනිකමක්.
එවර කඳුළු පිහදාගත්තේ සමන්ගී
පුටුවෙන් නැගිට්ට සමන්ගී රුපියල් පන්දහසක මුදලක් කාන්තාව අත තබා මිදුලට බැස්සා.
" මම ආයේ එන්නම් ආච්චියේ "
මිදුලේ පිපිලා තිබුණු සීනියාස් මල් සුළඟේ නැලවෙමින් තිබුණා.දාස් පෙතියා මල්වල සුවඳ සමන්ගී ගේ නහයට දැනුණා .වැට දිගට වැවිලා තිබුණු අරත්ත පඳුරුවල හීනි උස නටුවල තිබුණු මල් සමනල රෑනක් වගෙයි.ත්‍රී රෝද රථයට නැගුණු සමන්ගී ආපසු හැරී බැලුවා.තනිවූ ගැහැනියක් ඒ කුඩා නිවෙස ඉදිරිපිට හිටගෙන හිටියා.
මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.
’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.
සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ
සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව
“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව
මහනුවර නගරයෙන් මදක් ඈතට වන්නට නිස්කලංක පරිසරයක පිහිටා ඇති සාත්තු නිකේතනයේ සේවයට පැමිණ මේ ගෙවී යන්නේ තෙවැනි වසරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මල් මිටිය