IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


විමානය ගිනි අරන්

කෙටිකතා


අප්සරා එක විටම ත්‍රි රෝද රථයෙන් බහින්නේ නැතිව හොඳින් වට පිට බැලුවා.පොලිසිය මිදුලේ කිහිපදෙනෙක් ගැවසෙනව පෙනුණත් අඳුරන මුහුණක් නම් ඒ අතර පෙනෙන්න තිබුණේ නැහැ.මුදල් ගෙවලා ඉක්මනින් ත්‍රි රෝද රථයෙන් බැහැ ගත්ත අප්සරා අඩියට දෙකට ගේට්ටුවෙන් ඇතුළු වුණා.දන්න කියන කෙනකුට වුණත් දැන් නම් අප්සරාව අඳුනගන්න අමාරුයි.ස්කාෆ් එකක් හොඳට තද වෙන්න හිස වටේ බැඳගෙන හිටපු අප්සරා එළියට බැස්සේ ලොකු කළු අව් කණ්නාඩි දෙකකුත් දමාගෙන.
කවදාවත්ම මොනම දෙයකටවත් පොලිසියකට පය නොතියපු අප්සරා ගේ පපුව ගැහෙන සද්දය ඇයටම ඇහුණා
.

" කමක් නැහැ
  අදත් එන්නේ නැත්නම් කවද්ද එන්නෙ ?
      
    මීට හුඟ කාලෙකට ඉස්සරයි මට මේ ගමන එන්න තිබුණේ.
    එහෙම කළා නම් අද මෙහෙම වෙන්නේ නැහැ"

අප්සරා තමන්ටම මුමුණා ගත්තා.

              හොරෙක් වගේ ඉක්මන් ගමනින් පොලිසියට ඇතුළු වුණු අප්සරා අසරණව වට පිට බැලුවේ කරන්න ඕන දෙය හිතාගන්න බැරිව.බෝඩ් ගහල තියෙන ස්ථාන අනුව තමන් යන්න ඕන සුළු පැමිණිලි අංශයටද ළමා හා කාන්තා කාර්යාංශයටද කියලා එක පාරටම හිතාගන්න අප්සරා ට බැරිවුණා.ළමා හා කාන්තා කාර්යාංශය කියලා ගහල තියෙන තැන කාන්තා නිලධාරිනියක් පැමිණිල්ලක් විභාග කරමින් ඉන්නවා දුටුව අප්සරා එතනට ගිහින් පුටු පේලියේ කොනක වාඩිවුණා.
           එහෙම ඉන්න අතරෙත් අප්සරා කළේ වට පිට බලන එක.කවුරු හරි තමන් අඳුනන කෙනෙක් මෙතන ඉඳීවි කියන බය අප්සරාට තිබුණා.

" එහෙම වුණොත් මොන ලැජ්ජාවක්ද ?

ඒත් දැන් වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි.
තවත් මොනවට ලැජ්ජා වෙන්නද

තව ඉවසන් හිටියොත් ඔය මිනිහා  කපන්නේ මගෙ බෙල්ල 

එහෙම වුණොත් අසරණ කෙල්ලෝ දෙන්නට මොකද වෙන්නෙ"

         අප්සරාගේ ඇස්වල කඳුළු පිරුණා.

                "මේ වගේ ගමනක් එන්න වත් මට කාත් කවුරුවත්ම ඉතුරු කළේ නැහැනේ ඔය මිනිහා"

         කිසිම නෑදෑයෙක් යාළුවෙක් ආශ්‍රයට පියල් ඉඩ නොදුන් හැටි අප්සරා ගේ මතකයට ආවා.
              අම්මටයි තාත්තටයි පුළුවන් කාලේ තමුන්ව බලන්න ආ හැටිත් දැන් වයස්ගතව ඉන්න අම්මා තාත්තා බලන්න තමන්ට මහ ගෙදරට යන්න එන්න ඉඩ නොදෙන හැටිත් සිහිවෙන කොට නම් අප්සරාට දැනුණේ දරාගන්න බැරි වේදනාවක්.

" හිමිජ්ජා වගේ හිටියට මහ නරුම මිනිහෙක්"

ඇත්තටම ඔය මිනිහගේ උගත්කම මොකටද
මහ ලොකු බෑන්ක් මැනේජර්"

           අප්සරා සිතුවිල්ලෙන් මිදුණේ මහා කලබැගෑනියක් එක්ක. තමන් එදිරියේ විසඳෙමින් තිබුණු පැමිණිල්ලේ පිරිමියා ඉදිරියට පැන කාන්තාව ගේ කොණ්ඩෙන් ඇද තදින් පහරක් එල්ල කළේ ඇහි පිහ ගහන වේගයෙන්.කාන්තාව   විලාප නැගුවා.රාලහාමිලා දෙදෙනෙකු පැමිණ එම පුද්ගලයා ගේ කොලරයෙන් අල්ලාගෙන ඇදගෙන ගියේ කූඩුවට දමන්නට වෙන්නට ඇතැයි අප්සරාට හිතුණා.
                 
" මට විතරක් නෙවෙයි.
ගෑනුඅපි කාටත් එක වගේ" 

              අප්සරා හිත හදාගන්න හැදුවා.

            සිද්ධ වෙච්ව කලබලය අස්සෙම පෙර පැමිණිල්ල විභාග කිරීම අතරමග නැවතුණා.නිලධාරීන් එහෙ මෙහෙ දුවල නැවත තැන්පත් වෙනකල් අප්සරා බලාගෙන හිටියා.

" දොළහ වෙනකොට චූටි දුව ගෙදර එනවා.
    ඊට කලින් ගෙදර යන්නත් ඕනෙ "

      අප්සරා බිත්තියේ හයිකරලා තියෙන මූණ රවුම් ඔරලෝසුව දිහා බැලුවා.

          ඊළඟට ආවේ අප්සරාගෙ වාරය.      කතාකලහම නැගිටලා ගිහින් නිලධාරිනියගේ මේසය ඉදිරිපස පුටුවේ වාඩිවුණු අප්සරා තමන් දාගෙන ඉන්න ලොකු අව් කණ්ණාඩිය ගලවලා අතට ගත්තා.එතකොටයි නිලධාරිනිය අප්සරා ගේ මූණ හරියටම දැක්කේ.
              ඇස් වටේ කළු වෙලා ඇස් රතු වෙලා නළලේ පැත්තක් නිල් වෙලා තඩිස්සි වෙලා තිබුණට මොකද වලාවකින් මෑත් වුණු සඳක් වගේ අප්සරාගේ මුහුණ බැබළුණා.පොලිස් නිලධාරිනිය පුදුම වෙලා වගේ තත්පරයක් දෙකක් අප්සරාගේ මුහුණ දෙස බලාගෙන හිටියා.

" ඔව් කියන්න
  කාට විරුද්ධව ද පැමිණිල්ල "

නිලධාරිනිය විමසුවේ කරුණාවෙන්.

" මගේ මහත්තයට විරුද්ධව"

පොලිස් නිලධාරිනිය නැවතත් අප්සරාගේ මුහුණ දෙස පරීක්ෂාවෙන් බැලුවා.

" මොකද වුණේ ?
මට පැහැදිලිව ඔක්කොම විස්තර කියන්න "

 " ඔයාගේ නම කියන්න "

          අප්සරා සිද්ධිය ගොනුකරගන්න මදක් පමාවුණා.ඉන් පස්සේ සෙමෙන් පටන්ගත් විස්තරය නැවතිල්ලේ කියාගෙන ගියා.
                   මම අප්සරා සමරකෝන්.මගෙ මහත්තයා පියල් සමරකෝන්.මම ඉස්සර ගුරුවරියක් විදියටයි වැඩ කළේ.මගේ මහත්තයා බැංකු කළමනාකාරවරයෙක්.මට එයා මුණගැහුණේ ඉස්කෝලේ තිබුණු උත්සවයකදී.ඒ උත්සවයට අනුග්‍රහය දැක්වූවේ එයා වැඩ කරන බැංකුවෙන්.ඒ කාලේ එයා සහකාර බැංකු කළමණාකාරවරයෙක් .පියල්ට තමයි බැංකුව පැත්තෙන් උත්සවයේ සංවිධාන කටයුතු බාරදීලා තිබුණේ.මමත් විශ්වවිද්‍යාලයෙන් පිට වුණු ගමන්ම නැටුම් ගුරුවරියක් විදියටලැබුණු අලුත්ම පත්වීමක් විදියටයි ඒ ඉස්කෝලේට පත්වෙලා ආවේ.
               උත්සවය සංවිධානය කරන කාලේ අපි අතර සාමාන්‍ය කතාබහක් මිසක් වෙනත් ඇසුරක් තිබුණේ නැහැ.උත්සවය ඉවරවෙලා සතියකින් විතර විදුහල්පති  මට කාර්යාලයට කතාකළා කිව්වා, මට මංගල යෝජනාවක් ඇවිත් තියන බව.මට පුදුම හිතුණා.විදුහල්පතිගෙන් තමයි දැනගත්තේ ඒ පියල් සමරකෝන් කියන බැංකු නිලධාරියාගෙන් බව.
                   අපි හරිම සාමාන්‍ය මිනිස්සු.මට ඉන්නවා මල්ලි කෙනෙක්.අම්මා රැකියාවක් කළේ නැහැ.තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ සුළු රැකියාවක් කළා.අපි බොහොම අමාරුවෙන් අරපිරිමැස්මෙන් ජීවත්වුණු අය.අපේ තාත්තා හරිම හොඳ තාත්තා කෙනෙක්.අපිට හොඳට උගන්නලා හොඳ රැකියාවලට යොමුකරන එක තමයි තාත්තාගේ එකම හීනය වුණේ.මම විශ්වවිද්‍යාලයෙන් පිට වුණු ගමන්ම මල්ලී විශ්වවිද්‍යලයට ඇතුළු  වුණා.
               පියල් විදුහල්පතිවරයා මාර්ගයෙන් අපේ ගෙදරට එන්න දවසක් අහලා එවලා තිබුණා.මම විශ්වවිද්‍යාලයේදී වත් සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණේ නැහැ.මට වුවමනා වෙලා තිබුණේ මල්ලිටත් උගන්වන ගමන් තවත් ඉදිරියට ඉගෙනගන්න.ඉහළට ගිහින් අම්මටයි තාත්තටයි හොඳට සලකන්න.ඒත් ඔය කාලේ වෙනකොට අම්මයි තාත්තයි නිතර මතක්කළා මට විවාහ වෙන්න කාලේ හරී කියලා.
                  පියල්ට අකමැති වෙන්න තරම් විශේෂ හේතුවක් නැති නිසා ගෙදරටත් දන්වලා පියල්ලට අපේ ගෙදර එන්න දිනයක් දන්වලා යැව්වා.පියල් අපේ ගෙදර ආවේ එයාගේ අම්මයි , නංගී, නංගිගේ මහත්තයයි එක්ක.එදා තමයි අපිට වැටහුණේ අපි අතර මොන තරම් පරතරයක් තියනවද කියන එක.
              පියල්ගේ තාත්තත් බැංකු කළමණාකාරවරයෙක්.ඒ වෙනකොට නැතිවෙලා අවුරුදු දෙක තුනක් වුණා.අම්මා විශ්‍රාමික ගුරුවරියක් .එකම නංගී වෛද්‍යවරියක්. එයා විවාහවෙලා හිටියෙත් වෛද්‍යවරයෙක් එක්ක.ඒ දෙන්නා අම්මත් එක්කම මහ ගෙදර පදිංචි වෙලා හිටියා.පියල් අල්ලපු වත්තේ අලුත් ගෙයක් හදලා පදිංචි වෙන්න බලාගෙන හිටියේ විවාහය සිද්ධ වෙනකම්.
               අපේ ගෙවල් දොරවල් දැකලා පියල්ගේ අම්මගෙ මූණේ නම් වැඩි සතුටක් තිබුණේ නැහැ.ඒ ගමන පියල්ගේ බලකිරීමටම ආපු ගමනක් කියලා පේන්නම තිබුණා.අපේ ගෙදරිනුත් ටිකක් පස්ස ගැහැව්වේ අපි දෙගොල්ල අතර තිබුණු කැපී පෙනෙන පරතරය නිසා.අනෙත් එක පියල් මට වඩා අවුරුදු එකොළහක් වැඩිමල්.
               එදයින් පස්සේ පියල් කීපවරක්ම අපේ ගෙදර ආවා.මට වටිනා තෑගි බෝග අරගෙන ආවා.කොහොම හරි මගේ හිතත් පියල්ට ඇදිලා ගියා.පියල්ගේ අම්මා අපේ කේන්දර බැලෙව්වහම කියලා තිබුණා මගේ කේන්දරයෙන් පියල්ට වාසනාව ගේනවා එයා ලොකු ඉහළ තැනකට යනවා කියලා.ඒ නිසාමද කොහෙද පියල්ගේ අම්මගෙ කැමැත්තත් අපිට ලැබුණා.කතාකරලා මාස පහ හයක් ඇතුළත අපි විවාහ වෙලා පියල් හදල තිබුණු ගෙදර පදිංචියට ආවා .
                ජීවිතය සම්පූර්ණයි කියල මට හිතුණා .පියල් මට ආදරයෙන් සැලකුවා.හොයල බැලුවා.ගෙදර හිටපු කාලේ මම ඒතරම් රට තොට ඇවිදපු කෙනෙක් නෙවෙයි.පියල් මාව කවදාවත් නොගිය තැන්වල එක්ක ගියා.හොඳට විනෝද වුණා.යාළුවන්ගේ ගෙවල්වල ගියා.මගේ අම්මා තාත්තා බලන්නත් අපි නිතර ගියා.එක පාරක් පියල් මාව සිංගප්පූරුවේ සංචාරයකටත් එක්කගෙන ගියා.

අප්සරා මදක් නැවතී වටපිට බැලුවේ තමන්ගේ කතාව තව කවුරුවත් අහගෙන ඉන්නවද බලන්න වගේ

පොලිස් නිලධාරිනියත් සාවධානව අහගෙන හිටියා මිසක් හරස් ප්‍රශ්න ඇහුවේ නැහැ.

                 මට තිබුණා ලස්සන දිග කොණ්ඩයක්.ඒක තනි කරලට ගෙතුවහම එක මිටකට අල්ලන්න බැරි තරම් මහතයි.කඩලා දැම්මහම ඉත්තැකූරු මිටියක් වගේ ඝනට දනහිසෙන් පහලටම කඩා හැලෙනවා.පියල් ඒ දවස්වල කිව්වේ එයා වැඩියම ආස වුණේ මගේ කොණ්ඩෙට කියලා.ඇත්තටම මමත් පණ වගේ මගේ කොණ්ඩය ආරක්ෂා කළේ.
            
          කාන්තා පොලිස් නිලධාරිනිය පෑන පසෙකින් තියලා අප්සරාගේ හිස දිහා වුවමනාවෙන් බැලුවා.එහෙත් ඇයට දකින්නට ලැබුණේ හොඳට තදවෙන්න හිස වටා ඔතලා තියෙන ස්කාෆ් එක විතරයි.

" ඇත්තටම මෙයාට එහෙම කොණ්ඩයක් තියනවද ? "
  
     වගේ හැඟීමක් ඒ බැල්මේ ලියවිලා තිබුණා.

" ඉතිං "

පොලිස් නිලධාරිනිය කතාවේ ඉතිරි කොටස කියන්න අප්සරාව දිරිමත් කළා.

                මම ලස්සනයි කියලා ඉස්කෝලේ යන කාලේ ඉඳලම හැමෝම කිව්වා.ඒ ලස්සනට ප්‍රධානම හේතුව කොණ්ඩය කියලයි මම හිතුවේ.ඒ නිසාම මම වෙන කිසිම දෙයකටත් වඩා කොණ්ඩය ගැන සැලකිලිමත් වුණා.
            මට ඇහිලා තියනවා පියල්ගේ අම්මත් නංගිත් එක්ක කියනවා

" අපට මොනම අතකින්වත් ගැලපෙන්නේ නැති ගෑනියෙක්ව අයියා ලස්සන නිසා කරගහගත්තා කියලා.කවුරු මොනවා කිව්වත් පියල් මට ආදරෙන් හිටියා.මට හොඳට සැලකුවා. කිසිම දෙයක අඩුපාඩුවක් තිබ්බේ නැහැ.
                අපි බැන්දට පස්සේ පියල්ගේ නෑයින්ගේ ,යාළුවන්ගේ ගෙවල්වල යනකොට හැමෝම පියල්ට කිව්වේ

" ඔයාගේ නෝනා හරි ලස්සනයි " 
                 කියලා.

ඒකට ගැහැනු පිරිමි බේදයක් තිබුණේ නැහැ .හැමෝම මගේ ලස්සන වර්ණනා කරනකොට ඒගැන පියල් ආඩම්බර වුණා.

                අපේ   පළවෙනි දරුවා දුවෙක්.දරුවා ලැබිලා ටික දවසක් යනකොට පියල් ටික ටික වෙනස්වෙන්න ගත්තා.ඉස්සර අපි පාටිවලට ට්‍රිප්වලට නිතරම එළියට ගියත් හිටපු ගමන්ම පියල් ඒ ගමන් අඩුකරන්න ගත්තා.අත්‍යවශ්‍යම දෙයකට ඇරෙන්න අපි මගේ අම්මා තාත්තා බලන්නවත් ගියේ නැහැ.
                     වෙනදා නිතරම යාළුවන්ට ගෙදරට ආරාධනා කළත් පස්සේ ඒකත් අතහැරලා දැම්මා. මට ටික ටික තේරුම් යන්න පටන්ගත්තා ඒ මම නිසයි කියන එක.එයා කැමති වුණේ නැහැ මගේ ලස්සන පිට අය වර්ණනා කරනවට.
                      දුවට අවුරුද්දක් විතර වෙනකොට පියල් මට කිව්වා රස්සාවෙන් අයින් වෙන්න කියලා.මට පුදුම හිතුණා.මම ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.මගේ තාත්තා අමාරුවෙන් උගන්වලා ඒ උගත්කමින් ලබාගත් රැකියාව නැතිකරගන්න එක මහ අපරාධයක් කියලයි මට හිතුණේ.
                    ඒත් පියල් කිව්වේ වැඩකරන කෙනෙක් ළඟ දරුවා දමලා වැඩට යනවට එයා කැමති නැහැ කියලයි.මට ගෙදර ඉඳගෙන දරුවා බලාගන්න කියලා කිව්වා.මම අකමැති වුණහම එයා මාත් එක්ක කතාකරන එක අත්හැරියා.මට ඒක දරාගන්න බැරි වුණා.පවුලේ සමගිය ගැන හිතලා මම රැකියාවෙන් අයින් වුණා.ඒ ගැන තාත්තට කිව්වහම තාත්තාගේ ඇස් වල කඳුළු පිරුණා.මට දරාගන්නම බැරි වුණේ ඒක.
                ඔය සිද්ධියෙන් පස්සෙ ආයෙත් අපි හොඳින් හිටියා.ටික දවසකින් අපිට තවත් දුවෙක් ලැබුණා.පියල් මට කඩයකට වත් යන්න දුන්නේ නැහැ.මටයි දරුවො දෙන්නටයි ඕන කරන ඇඳුම් පවා ගෙනාවෙ එයා.ඇත්තටම ගෙනත්දෙන ඇඳුමක්වත් ඇඳගෙන යන්න තැනක් මට තිබුණේ නැහැ.ඒ ගැන කිව්වහම පියල් කිව්වේ.

" ඕවා ගෙනත් දෙන්නේ ගෙදරට අඳින්න .
මට බලන්න
වෙන කාටවත් පෙන්නන්න නෙවෙයි"
                      කියලා.

   මගේ යාළුවෝ ඔක්කොම ඈත් වුණා.යන්නේ එන්නේ නැති නිසා නෑදෑයෝ තරහ වුණා.මගේ නෑයෝ හිතුවේ මම අහංකාර වෙලා කියලා.පියල්ගේ නෑයෝ හිතුවේ ඒගොල්ලෝ එක්ක පෑහෙන්න මට බැරි නිසා එන්නේ නැහැ කියලා.කොහොම හරි මම බිත්ති හතරටම කොටු වුණා.
                   ඔය අතරේ ලොකු දුවව පෙර පාසලට ඇතුළත් කළා.ඊට පස්සේ ඉස්කෝලෙට ඇතුළත් කළා.පළවෙනි දවසේ විතරමයි මාව එක්කගෙන ගියේ.දරුවන්ගේ හැම දෙයටම ගියේ පියල්.දුවගේ කොන්සට් එකට මාව එක්කගෙන ගියත් පියල් හිටියේ හරිම අපහසුවකින්.මම ආවට කැමති නැහැ වගේ.ඒක මටත් හරිම හිත් වේදනාවක් වුණා.

" ඔයා ගතකරලා තියෙන්නේ මහ පුදුම ජීවිතයක්

හරියට රත්තරං කූඩුවක හිර කරපු කිරිල්ලියෙක් වගේ"
    
           පොලිස් නිලධාරිනිය පැවසුවේ සුසුමක් හෙලා ළය තසැහැල්ලු කරගන්නා ගමන්.
                ඇසට නැගුණු කඳුළක් පිසදාගත් අප්සරා නැවත කතාව ඇරඹුවා.

               ෆේස් බුක් එක වත් බලන්න මට ඉඩ දුන්නේ නැහැ.ට්‍රිප් එකක්වත් රෑ කෑමකට එළියටවත් අපිව එක්කගෙන ගියේ නැහැ.මගේ ලෝකය පියල්ටත් දරු දෙන්නටත් සීමා වුණා.එහෙම ඉන්නකොට පියල් හිටියේ සතුටින්.එයාගෙත් ලෝකය ගෙදර විතරමයි.
                     වැඩ ඇරුණු ගමන්ම ගෙදර දුවගෙන එනවා.යාළුවෙක් හම්බවෙන්න වත් යන්නේ නැහැ.ඒත් නැටුම් ගුරුවරියක් විදියට කලාව ජීවිතය කරගෙන හිටපු මට මේ ජීවිතය හරිම නීරස අමාරු එකක් වුණා.ඒත් මම ඉවසගෙන හිටියා.

" පියල් මට ආදරෙයි
ඒ වෙනුවෙන් ඉවසනවා"
           මම හිතුවා

ඉඳලා හිටලා යන්නම ඕන මගුල් ගෙදරක ගියා.ඒ යනකොට අනිවාර්යයෙන්ම මට  කියලා තිබුණේ කොණ්ඩය ගෙඩියක් වෙන්න බැඳගෙන යන්ව ඕන කියලා.ඉතින් මම මගේ ලස්සන කොණ්ඩය හංගගෙන ගෙඩියක් වෙන්න බැඳගෙනයි ගියේ.එහෙම බැන්දත් ඒ කොණ්ඩේ ලස්සන හංගන්න බැරි වුණා.
          කවුරු හරි

" ඔයා තවත් ලස්සන වෙලා" 

              කියලා කිව්වොත් සතියක් විතර මූණ එල්ලගෙන ඉන්නවා. මට මේ හැසිරීම ලොකු මානසික අසහනයක් වුණා.
             මාස කිහිපයකට උඩදී දවසක් පියල් කිව්වා එයා ගෙනියපු දවල් කෑම එකේ කෙස් ගහක් තිබුණා කියලා .ඉස්සර කවදාවත්ම එහෙම කතාවක් කියලා තිබූණේ නැහැ.පස්සේ නිතර නිතරම ඔය කතාව කියන්න පටන්ගත්තා.පස්සේ එයාම යෝජනා කළා මගේ කොණ්ඩය කොටට කපන්න කියලා.මම ඒකට කොහොමටවත් කැමති වූණේ නැහැ.
                 සමහර දවස් වලට කෑම එක ඉතිරි කරගෙන ආවා.ඒකේ කෙස් ගහක් තිබුණා කියලා.පස්සෙ කිව්වා දවල්ට කෑම එපා.මම කඩෙන් කන්නම් කියලා.නැති වැරදි හොය හොය මට බනින්න දොස් කියන්න පටන් ගත්තා.

පොලිස් නිලධාරිනිය මොහොතක් අප්සරා දෙස බලාගෙන හිටියා.

" ඉතින් ඔයා කොණ්ඩෙ කැපුවද"

           මට වෙලාවකට හිතුණා කොණ්ඩෙ කපලා දාලා මේ වදෙන් නිදහස් වෙන්න.තවත් වෙලාවකට හිතුණා ඕන දෙයක් වෙන්න කියලා දරුවො දෙන්නවත් අරගෙන තාත්තා ළඟට යන්න.ඒත් තාත්තා දුක්වෙන හැටි මට බලන්න බහැ .මුළු ජීවිත කාලයම දුක් විඳලා තරමක සැනසිල්ලක් ලැබුවා විතරයි ආයෙමත් තාත්තට බරක් වෙන්න මට හිතුණේ නැහැ.කොහොමටත් මම මගේ ප්‍රශ්න මගේ ගෙදරට දැනෙන්න තිබ්බේ නැහැ.ඒත් මම ගෙදර එන වාර ගණන අඩු වුණහම ඒගොල්ලන්ටත් මොකක් හරි දෙයක් දැනිලයි තිබුණේ.
                 ඔය අතරෙම තමයි මගේ මල්ලී ගේ මංගල උත්සවය ළංවුණේ.එයා උප දිසාපතිවරයෙක් .මංගල්ලේ වැඩවල උදව්වට දවස් කීපයක්ම ගෙදර ගිහින් ආවා. ගිහින් ආවා කිව්වට පියල් උදේට ගිහින් ඇරලවලා හවසට එක්ක යන්න ආවා.මම ගෙදර ගිහින් ඒ යන එන අයත් එක්ක හිනාවෙලා කතාකරලා සතුටෙන් ඉන්න එකත් පියල්ට දරාගන්න අමාරු වූණා.වචනයෙන් නොකීවත් බුම්මගෙන ඉඳිල්ලෙන් එයා ඒ බව මට ඇඟෙව්වා.
              මල්ලිගේ හෝම් කමින් එක තිබුණේ ඊයේ දවල්.ඊයේ උදේ මම අන්දවන නංගි ළඟට ගියහම එයා කිව්වා මගේ කොණ්ඩය කඩාදාලා මල් ගහලා ලස්සනට හදමු කියලා.මුලදි අකමැති වුණත් පස්සේ මටත් ආස හිතුණා.අන්දලා ඉවර වුණහම මටම හිතුණා මම කොච්චර ලස්සනද කියලා.ඒත් මාව දැක්ක ගමන්ම පියල්ගේ මූණ කළු වුණා.තරහෙන් පුපුරන්න පටන් ගත්තා.ඒත් මම ඒක ගනන් නොගෙන මගේ වැඩ කොටස කළා.
                   උත්සවය වෙලාවෙදි කීප දෙනෙක්ම පියල් ඉස්සරහම මම හරි ලස්සනයි කියලා කිව්වා.සමහරු කොණ්ඩය අතගාලා බැලුවා.මට පියල් දිහා බලන්නවත් බය හිතුණා.කොහොම හරි උත්සවය ඉවර වෙලා අපි ගෙදර එනකොට හවස හතට විතර ඇති.ඉක්මනට නාගෙන රෑට මොනව හරි හදන්නයි මම ලෑස්ති වුණේ.
               එක පාරටම පැන්ට්‍රියට ආපු පියල් මගේ තෙත කොණ්ඩෙන් ඇදල අරගෙන බිත්තියට තදකරගෙන මූණට පාරක් ගැහුවා 
 
" උඹට මම කියන දෙයක් තේරුම් ගන්නෙම නැද්ද
හිටපන් අද මම හොඳ වැඩක් කරන්න"

එහෙම කියලා එතනම මේස උඩ තිබුණ කතුර අරගෙන මගේ බෙල්ල ළඟින්ම ඒ දිග කොණ්ඩය කපලා බිමට දැම්මා.ඊට පස්සේ ඉතුරු කොණ්ඩ ටික තැනින් තැන කපල විනාශ කරලා දැම්මා.

" මේ බලන්න"
   
             කියමින් අප්සරා හිසේ දවටාගෙන හිටිය ස්කාෆ් එක ගලවා ඉවත්කරා.
            පොලිස් නිලධාරිනිය හිඳ සිටි පුටුවෙන් නැගිට්ටේ ඇයටත් නොදැනීමයි.

" හපොයි.....
  මේ මොන අපරාධයක්ද?"

              මේසය වටෙන් අප්සරා ළඟට ආව ඇය අප්සරාගේ ඔළුව ඒ අතටත් මේ අතටත් හරවමින් බැලුවේ සිදුකර ඇති අපරාධය දෙසයි.
        අපිළිවෙළට කොටට කපා දමා ඇති කොණ්ඩය තැනින් තැන අඩු වැඩි ලෙසින් කපා දමා තිබුණේ දක්ෂ කොණ්ඩ කපන්නෙකුට වත් නැවත පිළිසකර කළ නොහැකි ආකාරයටයි.
                     තම බෑගයට අත දැමූ අප්සරා පිංතූරයක් එළියට ගෙන පොලිස් නිලධාරිනියට පෙන්නුවා.ඒ තමන්ගේ කලින් තිබූ කෙස් කලඹ පිළිබඳව ඇයට අදහසක් ලබාගන්නටයි.
             
  " මොන හිතකින්ද මේ වැඩේ කළේ?"

නැවත නැවතත් පිංතූරයත් අප්සරාගේ හිසත් සසඳමින් ඇය තමන්ටම පවසාගත්තා.

" එතකොට ඔය නළල ගෙඩි ගැහිලා තියෙන්නේ"

" ඒ මම දඟලනකොට කබඩ් එකක දාරේ මගේ ඔළුව හැපුණා

ඊයේ රෑ මම නිදාගත්තේ නැහැ එළිවෙනකම්ම ඇඬුවා

අනේ! මිස්

මම කොහොමද එළියට බහින්නේ

මගේ අම්මට තාත්තට මූණ දෙන්නේ

ඔක්කොටම වැඩිය දරුවෝ දෙන්නා හොඳටම බයවෙලා
එයාල ගොළුවෙලා වගේ

අද උදේ ඉස්කෝලෙ ගියෙත් ඇස්වල කඳුළු පුරෝගෙන

" අනේ මිස් 
දැන් මම මොකක්ද කරන්න ඕන කියල කියන්න
මට තවත් ඒ ගෙදර ඉන්නත් බැහැ
යන්නත් බැහැ
ගිහින් දරුවො දෙන්නව ජීවත් කරවන්න මට රස්සාවකුත් නැහැ
ඒ වගේම පියල් දරුවෝ දෙන්නව මට දෙන එකකුත් නැහැ "

අප්සරා හඬාවැටුණා.

        අප්සරාට හිතේ හැටියට අඬන්න දුන්න පොලිස් නිලධාරිනිය ඇගේ කට උත්තරය සටහන් කර අවසන් කළා.
          
" ඔයා දැන් යන ගමන්ම ඔය කොණ්ඩය සැලුන් එකකින් හදවගෙන යන්න.නැත්නම් දරුවො දෙන්නා බයවෙයි

අපි ඔයාගෙ මහත්තයට දන්වන්නම් හෙට උදේ නවයට පොලිසියට එන්න කියලා

දරුවො දෙන්නා ඉස්කෝලෙ යවලා ඔයත් ඒ වෙලාවටම එන්න

අපි බලමු මේක විසඳගන්න පිළිවෙලක්

පවුලක් කැඩෙනවා කියන්නේ මහා අපරාධයක් 

ඒ තැනට නොගිහින් මේක බේරගන්න අපි උත්සාහ කරමු

මට පේන්නේ ඔයාගේ මහත්තයට තියෙන්නේ රෝගී තත්ත්වයක්.
එයාට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි කියලයි මට පේන්නේ

අපි ඒක එයාට පහදලා දීලා ඔයාට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ ගන්නවා

එහෙම බැරි වුණොත් ඊළඟ පියවරට යමු"

               නැවතත් ස්කාෆ් එක හිස වටා බැඳගෙන අව් කණ්නාඩිය පැලඳගත්ත අප්සරා පොලිස් ස්ථානයෙන් පිටවී ත්‍රිරෝද රියක නැගී කෙළින්ම ගියේ සැලෝන් එකකට.තමන්ව නොදන්නාම තැනකට ගොස් කිසිවක් නොපවසාම කොණ්ඩය සකසා ගත්තත් එහි අඩුපාඩු සම්පූර්ණයෙන්ම මකාගන්න හැකි වුණේ නැහැ.
                සැලෝන් එකේ කණ්ණාඩියෙන් දකින මේ මුහුණ තමන්ගෙමද කියලා අප්සරාට හිතාගන්න බැහැ.කොල්ලෙක්ගේ වගේ කොටටම කපපු කොණ්ඩය ,ඉදිමී රතු වුණු ඇස්,මුහුණේ තියෙන කැළැල් කියා පෑවේ මහා අසරණ බවක්.

                සැලෝන් එකෙන් පිටවුණු අප්සරා නැවත ත්‍රිරෝද රථයකට නැග්ගේ ගෙදර යන්න හිතාගෙන.

" මම ආපහු ඒ ගෙදරට යනවද"

අප්සරා හදවතෙන් විමසුව.


" වෙන කොහේ කියල යන්නද"

හදවත අප්සරාගෙන් විමසුවා.

  " කොණ්ඩෙ කැපුව මිනිහට බෙල්ල කපලා දාන එකත් මහ දෙයක් නෙවෙයිනේ

ඒත් එහෙම මිනිහෙක් එක්ක දරු පැටව් දෙන්නෙක් දමලා යන්නේ කොහොමද"

ඒ එක්කම අප්සරාට මහ බයක් දැනුණා.

" මම පොලිසි ගියා කියලා දැනගත්තොත් පියල් මොනවා කරයිද"

             ත්‍රිරෝද රථයෙන් බැහැලා ඔළුව හැරුණු අතේ ඉබාගාතේ ඇවිදගෙන යන්න අප්සරාට හිතුණා.නිවෙසට ළංවෙන්න ළංවෙන්න හිතේ බය තවත් වැඩි වූණා.

" ගෙදර නොගිහින් කොහොමද
තව ටිකකින් ළමයි දෙන්නා එනවා
එතකොට මම ඉන්නම ඕන
නැත්නම් ඒගොල්ලෝ බයවෙයි "

          අප්සරා හිතට ධෛර්යය අරගෙන ත්‍රි රෝද රියෙන් බිමට බැස්සා.
            වත්තට ඇතුළු වෙනකොටම දුටුව දර්ශනයත් එක්ක අප්සරා ගැස්සිලා නැවතුනා.මිදුලේ නවත්වලා තිබුණේ පියල්ගේ කාරෙක.

" පියල් අවේලාවේ ගෙදර ආවේ පොලිසියෙන් වත් විස්තරය කියලද"

           අප්සරාට හිතුණේ ගේට්ටුව ඇරගෙන පාරට දුවන්න.

                එතකොටමයි ගේ ඇතුළේ ඉඳලා පියල් එළියට බැස්සේ.
                කවදාවත්ම නැතිව පියල් කැප් එකක් දාගෙන.
               හිනා වෙවී අප්සරා දිහා බලාගෙන ඉන්නවා.වෙනදා වගේ

" කොහෙද ගියේ
  මොනවටද ගියේ
   කොහොමද ගියේ
   කා එක්කද ගියේ "

              ඒ මොනවත්ම අහන්නේ නැහැ.

          අප්සරාගේ කකුල් අප්සරාටම වලංගු නැහැ.ඒ කකුල් අප්සරාටත් හොරෙනුයි අප්සරාව ගේ දෙසට ඇදගෙන ගියේ.
           අප්සරා ළංවෙනකොට පියල් කැප් එක ගැලෙව්වා.

" දෙයියනේ" 
           අප්සරාට කියවුණා

පියල් මුළු කොණ්ඩයම බූ ගාලා.තට්ටය විතරයි.

" ඇයි.....
   ලස්සන නැද්ද? "
   
         ඇස් උඩ ඉන්දගෙන කටත් ඇරගෙන තමන් දිහා බලාගෙන ඉන්න අප්සරාගෙන් පියල් ඇහුවා.

                අප්සරාට කතාකරන්න වචන ගොනු කරගන්න බැරි වුණා.ඇස් දෙකෙන් කඳුළු කැට කඩා වැටුණේ හරියට වැහි පොද වගේ.
              ඉදිරියට ආව පියල් අප්සරාව දෑතින්ම අල්ලගෙන තමන්ගේ පපුවට තුරුලුකර ගත්තා.
 
පියල් කිව්වේ වචන දෙකයි.

" මට සමාවෙන්න"

        ඒත්.....
ඒ එක්කම අප්සරාට දැනුණේ නිවසේ බිත්ති දිව ඇවිත් හතර අතින්ම තමාව සිරකර ගන්නවා වැනි හැඟීමක්.



අදහස් (2)

විමානය ගිනි අරන්

pakeer Saturday, 16 November 2024 06:03 PM

ඒක හොඳ කතාවක් නොවේ.

:       0       0

Venura Dias Sunday, 17 November 2024 01:03 AM

ඉතාම ලස්සනට ගෙතුණු අනර්ඝ කෙටිකතාවක්... ලංකාවේ අයගේ මානසිකත්වය ඉතාම පහත් තත්වයට ඇදවැටෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ඒක සම්පූර්ණ ඇත්ත. මේ ලේඛිකාවට මගේ ස්තුතිය...

:       0       0

ඔබේ අදහස් එවන්න

කෙටිකතා

මාරියෝ
2024 නොවැම්බර් මස 19 223 0

එය සිදු වූයේ මෙන්න මේ විදියටය. ෆිලොමෙනා නින්දේ සිටියදී උදේ පාන්දර අවදි වූ මම මගේ ආයුධ මල්ලත් රැගෙන හඬක් නොනගාම නිවෙසෙන් පිටවීමි. මොන්තෙ පරියෝලිවල ග්‍ර


විමානය ගිනි අරන්
2024 නොවැම්බර් මස 12 526 2

අප්සරා එක විටම ත්‍රි රෝද රථයෙන් බහින්නේ නැතිව හොඳින් වට පිට බැලුවා.පොලිසිය මිදුලේ කිහිපදෙනෙක් ගැවසෙනව පෙනුණත් අඳුරන මුහුණක් නම් ඒ අතර පෙනෙන්න තිබුණේ


බස් සීට් එක
2024 නොවැම්බර් මස 05 1048 0

මං මගේ ජීවිතේ මෙතෙක් විඳපු ආස්වාදජනකම දෙතොල් හාදුව මට දුන්නෙ භාග්‍යා. එතකොට අපි දෙන්නම කැලණි කැම්පස් එකේ. තර්ඩ් ඉයර්. මං කළේ මාස් කොම්. භාග්‍යා කළේ බීකො


කෙවිලිය සහ රෝස මල
2024 ඔක්තෝබර් මස 29 623 0

ඈ මා සමග නැටුමට එන බව කීවේ, ඇයට රතු රෝස මලක් ගෙනාවොත් විතරයි ’’ තරුණ ශිෂ්‍යයා හඬ ගා තමාම ඇමතීය. ’’ නමුත් මගේ ගෙඋයනෙ රතු රෝස මල් නැහැ ’’ අසල ඕක් ගසෙහි වූ කෙව


අවසන් නෞකාව
2024 ඔක්තෝබර් මස 22 649 0

ක්ෂේමභූමිය බලා යාත්‍රා කරන අවසන් නෞකාව වරායෙහි නැංගුරම්ලා තිබිණි. ධවල පැහැගත් නෞකාව මෙවෙලෙහි සංඛයක පැහැගත්තේ මනාව සංවිධානය කරන ලද නගරෙක ඒසිකා ටැඹක්


මත්වීම
2024 ඔක්තෝබර් මස 15 631 0

’’ඒක හොඳ ප්‍රශ්නයක්. ටිකක් කල්පනා කරල බුද්ධිමත් උත්තරයක් දෙන්න ඕනැ. ඔයා මට ඊ - මේල් එකකින්වත් දැන්නුව නම් අන්තර්ජාලයට ගිහින් හරි අධ්‍යයනක් කරල හොඳ උත්ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 445 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1951 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site