ෂිද්දා ද ඇගේ පුත් කුෂිබා ද පර්වත ප්‍රාන්තර දෙකක් පැන නැංගාවූ ස්ථානයක, පෘථිවි මස්තකයේ සිට යාර නවයක් පොළෝ ගැබ තුළ දිය දහරක් ගලා යන තැනෙක හිඳ සිටියෝ ය.
ෂිද්දාගේ සිරුර සියුම් මකුළුදැලින් නිමැවී තිබූ අතර ඇගේ වරලස පත දක්වා දික් වූයේ ය. ඇගේ දෙපා කුකුළකුගේ මෙන් වූ අතර වවුල් තටු තිබිණි. කුෂිබා ද ස්වරූපයෙන් මව මෙන් වූ අතර ඊට අමතර වශයෙන් බූරු කන් දෙකක් ද ඉටි අං යුවළක් ද දැරී ය.
කුෂිබා දැඩි උණෙන් පෙළෙමින් රෝගාතුර ව හුන්නේ ය. සෑම අඩ පැයකට ම වරක් ඔහුගේ මව ඔහුට යක් මළ ද, තඹ යුෂ ද, ඝන අඳුර ද, රතු කපුටාගේ බෙටි ද එක් කොට තැනූ බෙහෙතක් බොන්නට දුන්නා ය. ඒ අතර ඕ, වරින්වර ඔහු වෙත නැමී ඔහුගේ නැබ සිය දිගු දිවෙන් ලෙව කෑවා ය. අසනීපය නිසා දරුවා ලැබුයේ අවිවේකි නින්දකි.
එක්වර ම ඌ නින්දෙන් ඇහැරුණේ ය.
‘මට බයයි අම්මා’ හේ කී ය.
‘මොකටද පුතා?’
‘එළියට, මිනිස්සුන්ට’
ෂිද්දා කම්පාවට පත් වූවා, දුෂ්ට ආත්ම පලවා හරිණු පිණිස සිය පුතුගේ සිරුර මත කෙළ ගැසුවා ය.
‘මොනවද දරුවො මේ කියන්නෙ? අපි මෙතැන බොහොම ආරක්‍ෂා සහිතවයි ඉන්නෙ, මිනිසුන්ගෙනුයි එළියෙනුයි බොහොම දුරින්. මෙතන ඊජිප්තුව වගේ කළුවරයි. ඒ වාගේම දෙයියන්ට පිංසිද්ද වෙන්න අමු සොහොනක් වාගේ නිශ්ශබ්දයි. අපි යාර නමේක තද කළුගල් තට්ටුවකින් ආරක්‍ෂාවෙලයි ඉන්නේ’
‘ඒත් අම්මා ඒ අය කියනවා මිනිසුන්ට ඇහැකිලු ගල බිඳින්න’
‘ඕවා ඔය නාකි ගෑනුන්ගේ කතා’
‘මිනිසුන්ගේ හයිය තියෙන්නේ මහ පොළොව මතුපිට දී විතරයි. අවකාශය සුර දූතයන්ට. පාතාලය අපිට. මිනිස්සු පොළොව මතුපිට කාගෙන ඉන්නවා. හරියට ඔළුවල ඉන්න උකුණො වාගේ’
‘මොකකුද අම්මා මේ මනුස්සයො කියන්නෙ. කියා දෙන්නකො මට’
‘මොක්කද උන්? මේ අපතයො. මැවීමේ දී විසි කරපු කුණු කන්දල්. අපායේ කල්දේරමේ පාපය පැහෙනකොට ඒකෙන් නගින පෙණ තමා මිනිස්සු කියන්නෙ. දෙවින්වහන්සේට වෙච්චි අතවැරැද්දකින් බිහිවෙච්චි එවුන්’
‘මහා බලසම්පන්න දෙවියන් වහන්සෙට වරදින්නේ කොහොමද අම්මා?’
‘ඒක රහසක් මයෙ පුතා’ ෂිද්දා කීවා ය. ‘දෙවියන්වහන්සේ ලෝකය මවලා අන්තිමටයි මේ අපේ පොළොව මැව්වේ. උන්නාන්සේගේ ආදරයක් තිබුණා අපේ ස්වාමි දූ ලිලිත්ට. ලිලිත් තමා හැමෝටම වඩා බලවත්. මේ නිසා එක මොහොතක දී දෙවියන් වහන්සේගේ සිත චංචල වුණා. ඒ දෙවියන් වහන්සේ මිනිසා නිර්මාණය කරමින් සිටි අවස්ථාව. ඒ වෙලාවේ උන්වහන්සේ අතින් මාංසය, ආදරය, මළ මුත්‍ර සහ කාම තෘෂ්ණාව මිශ්‍ර වුණු දුෂ්ටකම - ඒ කියන්නේ මිනිහා - මැවුණේ’
ෂිද්දා තූ තූ හඬින් කෙළ ගැසුවා ය. ‘ඌට තියෙනවා සුදු හමක්. ඒත් ඇතුළතින් ඌ රතුයි. ඌ කෑ ගාන්නේ ඉතාම බලසම්පන්නයි වාගේ. ඒත් හරිම දුබලයි. වෙව්ලනව. ඌ පහර දී ගල් බිඳිනවා, කස පහර දී ලේ හළනවා, රත් වෙන කොට ද්‍රව වෙනවා, සීතල වෙනකොට ඝන වෙනවා. දිග ඇරෙනවා.’
‘පොඩි මල්ලක් තිබෙනවා, ඇකිළෙන පොපියන, උගේ පපුවෙ වම් පැත්තෙ.’
‘උන් මඩේ හරි වැල්ලෙ හරි වැවෙන දේකින් සුදු ජූස් ජාතියක් හදනවා. මේ ජූස් ජාතිය උන් හැම තිස්සෙම ගිලිනවා. ඒවා උන්ගෙ ශරීරය තුළින් ගිහිල්ලා පිට වෙනවා. උන් රැකෙන්නෙ දහස් ගණන් හදිසි සිදුවීම්වලින්. ඒ නිසා තමා උන් ඒ තරම් නපුරු. ක්‍රෝධ සහගත, පිළිකුල්’
‘ඉතිං මේ මනුස්ස පරාණ කාරයෝ මොනවද කරන්නේ අම්මේ?’
‘නපුරුකම්. නපුරුකම් ම විතරයි. ඒ හේතුව නිසාම උන්ට හරියට වැඩ. කලබලකාරීයි. ඒ නිසා අපට නිවීහැනහිල්ලෙ ඉන්න පුළුවන්වෙලා තියෙනවා තාම. උන්ගෙන සමහරු අපි කියලා කට්ටියක් ඉන්නවා කියන කාරණේ ප්‍රතික්‍ෂෙප කරනවත් එක්ක. උන් කියන්නේ ජීවිතය පවතින්න පුළුවන් පොළොව මතුපිට පමණක් ය කියලයි. තමුන් විතරයි දක්‍ෂ, අනෙක් එවුන් හැමෝම මැට්ටෝ කියලා උන් හැම එකාම හිතනවා. ඒ වාගේ තමා ඒ අදහසත්...’
‘හිතා ගන්න උන් ලී පල්ප් තෙරපලා හදාගත්තු දේක තීන්ත තවරලා ඒවායේ ප්‍රඥාව හොයනවා. උන්ගෙ බෙල්ලෙන් උඩ තියන ඝන කබොල්ලකින් වැහිලා තියෙන දේකින් උන්ට අදහස් ගලාගෙන එනවා. උන්ට සත්තු දුවන පාරක දුවන්නවත් බෑ. උන්ගෙ කකුල් හරිම දුර්වලයි. ඒත් උන් බලපුළුවන්කාරකම මහා පරිමාණෙන්ම පවත්වා ගෙන යනවා. ඒ අහංකාරකම. සර්ව බලධාරී දෙවියන් වහන්සේ ගේ ඉවසීම නිසා නොවෙයි නම්, මේ නොහික්මුණු පහත් එවුන් විනාශ කරලා දාලා ගොඩ කල්’
මවගේ වදන් අසා සිටි නමුත් කුඩා කුෂිබා සැනසිල්ලක් නොලද්දේ ය. උණ විකාරයෙන් ම ඌ මව දෙස දෑස් දල්වා වැද හොත්තේ ය.
‘මට බයයි අම්මා. මට බයයි. මං නිදා ඉන්න කොට හීනෙන් දැක්කා ඒ අය’
‘ඹච්චර කෑ ගාන්න එපා මයෙ පුංචි යක් පැටියෝ.’ ෂිද්දා ඔහු වැලඳ සැනසුවා ය. ‘හීන කියන්නේ මෝඩ දේවල්. ඒවා එන්නේ පොළොව පැටලිලි බව රජ කරන පොළොව මතු පිටින්ම තමා’
කුෂිබා නින්දට වන්නේ නොබෝ වේලාවකින් ම ගැඹුරු නින්දට පිළි පන්නේ ය. ඒහෙත් බොහෝ වේලාවකට නොවේ. හේ නින්දෙන් ම මහ හඬින් හැඬී ය. ඔහුගේ මව ඔහු කීද්දුවා ය.‘මොකද පුතා? මොකද වුණේ?’
‘මාව බය කළා’
‘ආයෙමත්?’
‘මං මිනිහෙක් ගැන හීනයක් දැක්කා’
‘ඌ මොකෙක් වාගේ ද මයෙ පුතේ?’
‘හරිම බයංකාරයි. එයා සද්දයක් ඇති කළා මාව බීරි වෙන තරමේ. එළියක් තිබුණා මාව අන්ද වෙන තරමේ. මං නින්දෙදිම මැරෙන්න තිබුණා බයටම අම්ම මාව කීද්දුවෙ නැත්නම්’
‘හෙල්ලෙන්නැතිව ඉඳිං මයෙ පුතා. මං නැළවිල්ලක් කියන්නංකෝ පුතාට ඇහෙන්න’
‘අඳුරට අධිපති දෙවියෝ
මිහි මත්තට සාප කළෝ
නිසල බවේ මහ දෙවියෝ
සැම දෙස ගෝසා නැසුවෝ
රකිනු මැනව අප මහා පියාණෙනි,
එලිය ද වචන ද යන මේවායින්
මිනිසාගෙන් හා උගෙ මායාගෙන්
රකිනු මැනව අප, අප මහ දෙවිඳුනි’
ඇසිල්ලකට සියල්ල නිහඬ විය. කුෂිබා කිරා වැටෙන්නට වූවා ය. ෂිද්දා ඔහුගේ හිසට ඉහළින් නැළැවිලි ගී ගයමින් සිය එකම පුතු නිදි ගැන්වීමට උත්සාහ කළා ය.
ඇය සිය සැමියා වන එහෙත් මෙහි නොවසන හර්මිස් ගැන සිතුවා ය. ඔහු යාර දහස් ගණනක් පෘථිවි අභ්‍යන්තරයේ පිහිටි චිටිම් හි සෙනිවා සහ ටැඩිම් වෙත ගියේ ය. එහි ඔහු නිහඬ බවේ රහස් අධ්‍යයනය කළේ ය. මන්දයත් නිහඬබවට බොහෝ ආකාර ඇති බැවිනි. ෂිද්දා දන්නා පරිදි පවත්නා ස්වභාවය කෙතරම් නිහඬ වුව ද ඊට තවදුරටත් නිහඬ විය හැකි ය. නිහඬතාව යනු බීජාවරණයක් තුළ තවත් බීජාවරණයකි. බීජයක් තුළ තවත් බීජයකි. නිහඬ බවේ අවසාන අවස්ථාව කෙතරම් ක්ෂුද්‍ර ද’යි කිවහොත් එය ශුන්‍ය ය. මේ අවසාන ලක්‍ෂ්‍යය සියලු සාරයන්ගේ අවසානාත්මක සාරයයි.
හේ තෙමේ ම මේ නිහඬ බවේ උග්‍ර අවස්ථාව වන අවසාන ලක්‍ෂ්‍යයට ළඟා වී සිටින්නේ, කාලය හා අවකාශය ද මරණය හා තෘෂ්ණාව ද ගැන කිසිත් නොදනී. ස්ත්‍රීහු සහ පුරුෂයෝ සදාකාලික ප්‍රෙමයෙන් බැඳුණාහු වෙති. එහි කැමැත්ත ද ක්‍රියාව ද එකක් ම වෙයි.
මේ අවසාන නිහඬතාව වනාහි අන් කවරක් නොව දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ තෙමේ ම ගැඹුරට වඩාත් විනිවිද යාමක් අනවරතව පවත්වා ගනිති. උන් වහන්සේ තමාගේ ම ගැඹරුබව තුළට පතිත වෙති. උන්වහන්සේගේ ස්වභාවය පතුළක් නැති පතහක් වැන්න. එසේ ම උන්වහන්සේ ඉමක් නොදකින තමන් වහන්සේගේ ම ආගාධයේ විමසුම අනවරත ව පවත්වා ගනිති.
කුෂිබා නින්දට වැටුණේ ය. ෂිද්දා ද සිය හිස ගල් කොට්ටයේ තබා මඳක් විවේක ගන්නට වන්නා ය. සිය දරුවා වැඩී ලොකු මහත් වූ පසු කවරාකාර යකෙකු වනු ඇත් ද? ඕ සිහින මැව්වා ය. ඔහු විවාහ වී පියකු බවට පත් වන්නේ කෙසේ ද? තමා ලේලියට හා මුණුබුරු මිණිබිරියන්ට සලකන්නේ කෙසේද? ඇය දිගට ම සිතුවා ය. බබාලා ලොකු මහත් වී ඇයට අත්තම්මා’යි අමතනු ඇත. ඇය ඔවුන්ට කවා පොවා සතපවනු ඇත. ඔවුන්ගේ හිස්වල උකුණන් ඉවත් කරනවා ඇත. මිණිබිරියන්ගේ කෙස් පීරා ගැට ගසනු ඇත. මුණුබුරන්ගේ නාසා සූරනු ඇත. ඔවුන් කෙමෙන් වැඩී ලොකු මහත් වූ පසු කාල වර්ණ විතාන යට වත් පොහොසත්කම් ඇති ප්‍රධාන පෙළේ යකුන්ගේ දූ දරුවන් හා සරණ බන්ධනවලට එළැඹෙනු ඇත.
හර්මීස් පාතාලයේ රබ්බි වනු ඇත. ඔහු සාමණේර යකුන්ට ඊබෙල් කන්දේ ශාපය ගැන කියා දෙනු ඇත. ඊස්‍රායෙලුන්ට ඛලාම් විසින් කරන ලද ශාපය ගැන කියා දෙනු ඇත. ව්‍යාජ ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් ගැන කියා දෙනු ඇත. ඊඩ්න් උද්‍යානයේ දී සර්පයා විසින් භාවිත කරන ලද, වරදට පෙළැඹවීමේ වදන් කියා දෙනු ඇත. කාමුක සුරඟනන්ගේ කෛරාටිකකම් ගැන කියා දෙනු ඇත. මාබෙල් කුලුන ඉදි කළවුන්ගේ දිව පටලැවීම ගැන කියා දෙනු ඇත. ගංවතුර කාලවල මිනිසුන්ගේ දුෂ්ටකම්වල දී ඔහු ඔවුන්ට උපදෙස් දෙනු ඇත. මේ අනුව හර්මීස් යකුන්ගේ රජු වනු ඇත. පොළොව මතුපිට සිට සැතපුම් දහසක් අභ්‍යන්තරයේ පිහිටි, පුරුෂයන්ගේ අහංකාරකම් ගැන කිසිදා අසන්නට නොලැබෙන මහා ස්ත්‍රී පාතාලයේ කිරුළ එවිට ඔහුට පළඳවනු ලබනවා ඇත.
එක්වර ම ෂිද්දාගේ දවල් සිහිනයට බාධා ඇති විය. මහා භයානක අකුණු හඬක් ඇසිණි. ඕ ඍජුව සිට ගත්තා ය. මිටි පහර දහස් ගණනක් එකවර වැදෙන්නාක් වැනි ව මහා ඝෝෂාකාරී හඬවලින් ගුහාව පිරී යන්නට විය. සියල්ල සෙලැවිණි. කුෂිබා කෑ ගසා ගෙන අවදි වූයේ ය.
‘අම්මා... අම්මා...’ ඌ මොර දුන්නේ ය. ‘දුවන්න ... දුවන්න..’
ඕ කුෂිබා දෝතට තුරුල් කැර ගනිමින් පලා යන්නට තැත් කළා ය. එහෙත් කොහාට ද? හැම දෙසින් ම අසෙනි හඬ හා ගුරුගුරුව බිරුසන් දෙමින් පැවැතිණි. කඳු පුපුරා ගල් පෙරැළී පියාඹා ගියේ ය.පාතාලයේ වඩා ඈතින් පිහිටි පොහොසත් යකුන්ගේ වාසභවනවලට යන පටු ඇලිය මේ වනවිටත් අවහිර කරන ලද්දේ ය. ධූලි වර්ෂාවක් ද, ගල් පිපිරීමෙන් විසි වූ කැබැලි ද, ගිනි පුළිඟු ද මවට හා පුතාට පහර දුන්නෝ ය. ඉන්පසු අනාමික, ඝෝර, දීප්තිමත් දෙයක් සිය ආගමනයත් සමග ඔවුන් අන්ධ කැර ලී ය. අති භයානක සර්පිලාකාර යන්ත්‍රයක් කඳු දෙක අතරින් විදගෙන අවුත් ඔවුන් අබියස ඇතුළට කඩා වැදුණේ ය. ෂිද්දා අනෙක් බිත්තිය දෙසට විසි වී වැටුණා ය. ඒ මොහොතේ ඒ පැත්තෙන් ද වෙව්ලුම් සහිත විශාල ගල් කැබලි රැසක් කඩා වැටිණි. බලගතු යෝධ ඉස්කුරුප්පුවක් රවුමට රවුමට කැරකෙමින් අයහපත හා දුෂ්ටකමට එපිටින් වූ කෲරබවින් යුතු ව සියල්ල කලතන්නට හා අඹරන්නට සූදානම් ව ඔවුන්ගේ නිවෙස තුළට කඩා වැදුණේ ය.
කුෂිබා බියකරු ලෙස හූල්ලා ක්ලාන්ත වූයේ ය. ඔහු සිය මවගේ අත්දඬු මත වැතිර සිටියේ මළාක් මෙනි. ෂිද්දා පර්වත බිත්තියේ වූ පැළුම් කිහිපයක් දුටුවා එතුළට බඩගා ගියා ය. ඕ එහි බියෙන් ගුලි ගැසී උන්නා ය. ඇය දුටු දේ අත්තම්මලාගෙන් හා මුත්තලාගෙන් ඇය අසා තිබූ සියලු කතන්දරවලට වඩා භයංකර විය. විදින කටු අවසන් වතාවටත් කැරකීි නිශ්චල විය. ගල් වැටීම නතර වූ ඉක්බිති දුමාරය හා දූවිල්ල අතරින් තාර අතුල්ලා කළු කළ මුහුණුවල සුදු දත් සහිත, ආඩම්බරකාර, හඩු ගඳ ගසන, අධම, ද්විපාද සත්ත්වයන් වන මිනිස්සු පෙනීි සිටියෝ ය. ඔවුහු කැත නොසණ්ඩාල බස් බිණූහ. අනවශ්‍ය ලෙස සිනාසුනහ. නැටූුහ. නිය පසුරු එකිනෙකා වෙත උරුක් කැර ගත්හ. ඒ අතර ඔහු පෙරන ලද විසැති ද්‍රවයක් පීහ. එහි සැර ගඳ ඇය ක්ලාන්ත කරවන්නට තරම් ප්‍රබල විය. ඇයට සිය පුතා නැගිටුවන්නට වුවමනා වු නමුත් ඔහු ඇහැරුණොත් මේ මුරුගයන් දැක එක්කෝ මර හඬ නගනු ඇත’යි හෝ නැත්නම් බියපත් ව මිය යනු ඇත’යි සිතා පසු බෑවා ය. මේ අවස්ථාවේ ෂිද්දාට කළ හැකි ව තිබූු එකම දෙය නම් යාච්ඥා කිරීම පමණක්ම ය. ඕ සාතන්ට, ඇස්ටොඩ්සන්ට, ලිලිත්ට සහ අනෙකුත් මැවුම්කාර බලවේගවලට යාඥා කළා ය.
‘අපට උදව් කරනු මැනව! මා ගැන නොව මාගේ අහිංසක දරුවාගේ යහපත ගැන සලකනු මැනව! මාගේ උගත් සැමියාගේ යහපත ගැන සලකනු මැනව! අපගේ මුතුන් මිත්තන් ගැන සලකනු මැනව!’
ෂිද්දා මෙසේ දණින් වැටී දිගට ම යාච්ඥාවේ යෙදුණා ය. නැවත ඇය ඇස් හැර බලන විට කැත පිළි රූ ඉවත්ව ගොස් තිබූ අතර ශබ්ද මැකී ගොස් තිබිණි. ශේෂ වැ තිබුණේ කැළි කසළත්, කුණු ගඳකුත් ගෙහානාගෙන් නික්මෙන ගිනිදැල් බඳු එල්ලෙමින් පැවැති ගිනි ගෙඩියකුත් ය.
එවිට ඕ දරුවා අඅවදි කළා ය.
‘කුෂිබා, කුෂිබා, නැගිටින්න පුතේ අපි හරි අනතුරකයි ඉන්නේ’ ඕ ඔහු දෙවුරෙන් සොලවමින් කිවා ය. දරුවා සිය දෑස් විවර කළේ ය.
‘මොකද අම්මේ මේ එළියක්?’
ළමයා වෙව්ලමින් කෑ ගාන්නට වන්නේ ය. ෂිද්දා දිගු වේලාවක් ඔහු වැළඳ ගෙන සනසමින් ඔහුට පහසුවක් ඇති කරන්නට උත්සාහ කළා ය. එහෙත් ඔවුන්ට මෙතැන රැඳී සිටින්නට තව වේලා නැත. ඔවුන් වහාම රක්‍ෂා ස්ථානයක් සොයා යා යුතු ය. ඇග් සැමියා වන හර්මීස් ජීවත් ව සිටියත් ඔවුන්ගෙන් වෙන්ව වෙසෙන හෙයින් තමා වැන්දඹුවකි. මේ අනත් දරුවෙකි.
යා යුත්තේ කොතැනට ද යී ඕ නොදත්තා ය. හර්මීස් සිටිනා ඉසව්වට යන මාර්ගය අවහිර කෙරී ඇත. යන්නට ඇත්තේ එකම දිසාවකටයි. ඔබට පහළට යා නොහැකි නම් ඉහළට යන්න’යි කාගෙදෝ කියමනක් ඇති බව අම්මා කියා දුන්නා ඇයට මතක ය. ඒ අනුව මව සහ පුතා පොළොව මතුපිටට ඊම සඳහා නගින්නට වන්හ.
ඔවුහු පොළොව මතුපිටට ආහ. ඔවුන් මතු වූ තැන ගල්, සුසාන සහ කඳු අතර විවර තිබිණි. කොතරම් කෑදර වුවත් මිනිසාට සකල පොළෝතලයම සිය අණසකට යටත් කොට ගත නොහැකි වී තිබිණි. ඝන වනාන්තර හා පාඵ කාන්තාර ද ඇති බව ඇය අසා තිබිණි. ඒවායේ යක්ෂයෝ මෙන් ම පිසාචයෝ, ප්‍රෙතයෝ සහ කුම්භාණ්ඩයෝ ද විසූහ. සත්‍ය වශයෙන් ම ඔවුහු සරණාගතයෝ වූහ. රැකවරණ පතා සිය දේශයෙන් පලා ගියවුන් ය. සරණාගත බව වහල්කමට වඩා අගනේ ය.
කොතරම් කෑදර වුවත් මිනිසාට සකල පොළෝතලය ම සිය අණසකට යටත් කොට ගත නොහැකි වී තිබිණි.
ෂිද්දා දැන සිටි පරිදි අවසාන ජයග්‍රහණය ලැබිය යුතු්තේ අඳුරට යාමෙනි. එතැන් දක්වා ඉවත්ව ගිය හෝ නෙරපා හරින ලද්දා වූ යකුන් ඉවසිලිවත් බවින් සිටිය යුතු විය. විශ්වය පුරා අඳුර පැතිර පවත්නා දවසක් උදාවනු ඇත. සියලු තාරකා මැරී යනු ඇත. සියලු හඬ නිහඬ වනු ඇත. සියලු මතුපිට අනෙක් තැන්වලින් අසම්බන්ධ කෙරෙනු ඇත. දෙවියන් වහන්සේ ද සාතන් ද එකම කෙනෙකු වනු ඇත. මිනිසා ද ඔහුගේ පිළිකුල් සහගත ක්‍රියා ද පිළිබඳ මතකය ද දෙවියන් විසින් ස්වීය අනන්ත රාත්‍රියේ දී කෙටි ඉඩ හසරක් තුළ දික් ගස්සවනු ලබන සිහිනයක් විනා අන් කවරක් හෝ නොවනු ඇත.
( ඉසාක් බෂෙවිස් සිංගර්ගේ Shidda and Kushiba කෙටිකතාවෙන් උපුටා ගන්නා ලදී.)
පරිවර්තනය : එස්.නන්දලාල්
මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.
’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.
සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ
සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව
“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව
මහනුවර නගරයෙන් මදක් ඈතට වන්නට නිස්කලංක පරිසරයක පිහිටා ඇති සාත්තු නිකේතනයේ සේවයට පැමිණ මේ ගෙවී යන්නේ තෙවැනි වසරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ෂිද්දා සහ කුෂිබා