IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අනතුරකදී ගැළවුණු දතක් බද්ධ කළ හැකිද ?

කුරුණෑගල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප‍්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ


අනතුරකදී ගැළවුණු දතක් බද්ධ කළ හැකිද ?

තරුණ වියේ හෝ ළමාවියේ පසුවන දරුවන්ගේ නොයෙකුත් ක‍්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු වලදී, උඩු ඇන්දේ ඉදිරිපස දත් බුරුල් වීම හෝ ගැලවී බිමට වැටීම සිදුවිය හැක. අනතුර ගැන කලබල වීම නිසා සමහර විට ගැලවී වැටුණ දත් නැවත සවිකර ගැනීම ගැන උනන්දු වන්නේ නැත. නමුත්, වර්තමානයේ දී මේ පිළිබඳව දෙමාපියන්ගේ හෝ ගුරුවරුන්ගේ ඇති දැනුවත්කම නිසා, ගැලවුණු දත සමඟ දරුවා රැගෙන ඒමට පෙළඹී සිටීම යහපත් ප‍්‍රවණතාවයකි.


දතක් ගැලවී වැටුණ විට සිදුවන්නේ කුමක්ද ?

දතක් අස්ථියට සවි වී ඇත්තේ පරිදන්ත පටලය මගිනි. අනතුරක දී දත ගැලවී යන විට මෙම පරිදන්ත පටලය ඇදීමකට හෝ ඉරීමකට භාජනය වන අතර, සමහර විට පටලයේ කොටසක් කැඩී දන්ත මූලය වටා ඉතිරි වනසේ දත ගැලවී යනු ඇත. මෙවැනි දතක් නැවත සවි කිරීමේදී, මෙම දන්ත මූලය වටා ඇති පරිදන්ත පටලයේ ජීව කාලය උපරිමව රඳවා ගැනීම ඉතා වැදගත් කරුණකි. දතක් ගැලවුණු මොහොතේදීම, දතට රුධිර සැපයුම ඇණ හිටින අතර , එනිසාම දතට හා පරිදන්ත පටලයට ලැබෙන කැල්සියම් , පොස්පේට් , පොටෑසියම් වැනි පෝෂක ද්‍රව්‍ය සැපයීමද අත් හිටවෙයි. එවිට, දන්ත මූලය වටා ඉතිරිව ඇති පරිදන්ත පටලයේ සෛල මිය යාම ආරම්භ වන අතර, ගැලවී පැයක් පමණ ගත වන විට පරිදන්ත පටලය බොහෝ විට මිය ගොස් ඇත. එ් නිසා, පරිදන්ත පටලයේ ජීව කාලය රඳවාගෙන හැකි ඉක්මනින් දත රැගෙන යාම වැදගත්ය.


ඉදිරිපස දත් ගැලවී යාමට හේතුවන අනතුරු මොනවා විය හැකිද ?

බොහෝ විට මෙම අනතුරු සිදු වන්නේ පාසලේදී, නිවසේදී , ක‍්‍රිඩා පිට්ටනියේදී හෝ සමහර විට මහ මඟදී විය හැක. ක‍්‍රීඩා කිරීමේදී වැටීම, ක‍්‍රීඩා පිති මුහුණේ වැදීම, දරුවන් දෙදෙනෙක් මුහුණට මුහුණ හැප්පීම, ටයිල් පොළොවේ ලිස්සා වැටීම, උඩකින් බිමට වැටීම වැනි අනතුරු නිසා ඉදිරි දත් ගැලවී යා හැක. සමහර විට පාපැදිය හෝ මෝටර් බයිසිකලය අනතුරකට ලක් වීම නිසාද දත් ගැලවී යා හැක. අත් ට‍්‍රැක්ටර් පණ ගැන්වීමට උත්සාහ කරන විට හැඬලයේ වැදීම නිසාද මේ අනතුර සිදුවිය හැක. සමහර අවස්ථාවලදී, හරකුන් බඳින්න යන විට ලණුවේ පය පැටලීම නිසා දත් ගැලවී රැගෙන එන අවස්ථාද දැකිය හැක.මේ කුමන අවස්ථාවකදී වුණත්, මූලිකවම සිදුවිය යුත්තේ අනතුරට භාජනය වූ තැනැත්තාට ප‍්‍රථමාධාර ලබා දීමයි.


දත් වලට අනතුරු සිදුවන අවස්ථා වලදී ලබා දිය හැකි ප‍්‍රථමාධාර මොනවාද?

හදිසි අනතරක් නිසා දත් ගැලවී යන විට , දතට පමණක් නොව තොල, දිව , හණුව හා මුහුණ ආශ‍්‍රිතව ද තුවාල හා ඉරීයාම් සිදුවීම් නිසා රුධිරය වහනය වීම සිදුවිය හැක. මේ නිසා දත ගැන ඇති අවධානය බොහෝ විට ගිලිහි යයි. කෙසේ වුවද, රෝගියා කලබල වීම වළක්වා හැකි තරම් කායිකව හා මානසිකව සන්සුන් කළ යුතුය. ඉන්පසු, පිරිසිදු රෙදි හෝ ගෝස් හෝ පුළුන් තබා ලේ වහනය නතර කර ගැනීම සඳහා ක‍්‍රියා කළ යුතුය. ඒ අතරතුර ගැලවී වැටුණ දත හෝ දත් අහුලා ගත යුතු අතර, දත ඇල්ලීමේදී ඉතා ප‍්‍රවේශම් සහගත විය යුතුය. මෙහිදී දතේ මුල පැත්තෙන් ඇල්ලීමේදී පරිදන්ත පටලයට හානි විය හැකි බැවින්, දතේ හපන කොටසේ එනැමලය ඇති ප‍්‍රදේශයෙන් දත අල්ලා ගත යුතුය. දත ගැලවී වැටෙන්නේ බොහෝ විට ඝන මතු පිටකට හෝ පොළොවට බැවින් දන්ත මූලය වටා ඇති පරිදන්ත පටලයට තව දුරටත් හානි වීමට ඉඩ තිබේ. එසේම, බිමට වැටුණ දතේ දුවිලි හෝ වෙනත් අපිරිසිදු ද්‍රව්‍ය තැවරී තිබිය හැකි බැවින් මුලින් සඳහන් කළ අයුරින් දතින් අල්ලාගෙන ප‍්‍රවේශමෙන් දත පිරිසිදු කරාම වතුරින් හෝ සේලයින් වතුරින් සෝදා ගත යුතුය. තත්පර 10 ක් පමණ මෙසේ සේදීම ප‍්‍රමාණවත් වන අතර, සේදීමේදී දන්ත මූලය ඇතිල්ලීමෙන් වැළකිය යුතුය.


ගැලවුණු දතක් නැවත සවි කිරීමේදී එහි සාර්ථකත්වය රඳා පවතින සාධක මොනවාද?

අනතුරකදී ඉදිරි වැටුණ දතක් නැවත සවි කිරීමේදී , එහි සාර්ථකත්වය රඳා පවතින්නේ විශේෂ කරුණු දෙකක් මතය. පළමු කරුණ වන්නේ දත කොපමණ වේලාවක් තුළදී දන්ත සායනය වෙත රැගෙන යන්නේ ද යන්නයි. දෙවන කරුණ වන්නේ රැගෙන යන දත බහලන්නේ කුමන මාධ්‍යයක ද යන්නයි.

පරීක්‍ෂණ වලින් තහවුරු වී ඇත්තේ දන්ත මූලය වටා ඉතිරි වන පරිදන්ත පටලයේ ජීව කාලය පවත්වා ගැනීමට නම්, ගැලවුණූ දත විනාඩි 15 ක පමණ කාලයක් තුළදී දන්ත ශල්‍යාගාරය වෙතට රැගෙන යා යුතු බවයි. කෙසේ වුවද කාලය විනාඩි 60 දක්වා දීර්ඝ වුවද දත සවි කිරීම සාර්ථක වන බව සොයා ගෙන ඇත. ගැලවුණු දත ඉතාම කෙටි කාලයක් තුළ රැගෙන යා හැකි නම් සේලයින් වතුරේ හෝ තැඹිලි වතුරේ දමා පහසුවෙන් ගෙන යා හැක. සේලයින් වතුර හදිසියේ සොයා ගත නොහැකි නම් කපා ගත් තැඹිලි ගෙඩියක් තුළට දමා හෝ දත ගෙන යාමේ වරදක් නැත. දත රැගෙන යාම ප‍්‍රමාද වන්නේ නම් සේලයින් වතුර දත රැගෙන යාමට සුදුසු මාධ්‍යයක් නොවේ. කෙසේ වුවද, දත් වලට අනතුරු බහුලව සිදු විය හැකි පාසලක, ක‍්‍රීඩා ගාරයක හෝ නිවසක ප‍්‍රථමාධාර පෙට්ටියට සේලයින් වතුර, සිරින්ජරයක්, පිරිසිදු පුළුන් හෝ ගෝස්, දත රැගෙන යාමට පියනක් සහිත කුඩා ප්ලාස්ටික් බඳුනක් ඇතුළත් කිරීම නුවණට හුරුය.


අනතුරකදී ගැලවුනු දත් රැගෙන යාම සඳහා මාධ්‍යයක් තෝරා ගැනීමේදී සැළකිය යුතු කරුණු මොනවාද?

අතීතයේදී, සළකන ලද්දේ මෙවැනි දතක් හැකි තරම් තෙතමනය ආරක්‍ෂාවන සේ දන්ත සායනය වෙත රැගෙන යාමයි. නමුත්, වර්තමානයේදී සළකනු ලබන්නේ දත සවි වී තිබූ කුහරයේ තිබුන පරිසරයට සමාන පරිසර තත්ත්වයක් දත බහාලන මාධ්‍යයට තිබිය යුතු බවයි. පරිදන්ත පටලයේ සෛල තුළ යම් ආස‍්‍රැතික පීඩනයක් සහ පි.එච් අගයක් (7.2 ක් පමණ) ඇත. එම නිසා , තෝරා ගන්නා මාධ්‍යය කරුණු 4 කින් සමන්විත විය යුතුය. එනම්, පරිදන්ත පටල සෛල වල ආස‍්‍රැති පීඩනයට  හා පි.එච් අගයට ආසන්න, එසේම කැල්සියම්, පොස්පේට් හා පොටෑසියම් අයන වලින් යුක්ත, ග්ලූකෝස් අඩංගු තරලයක් මේ සඳහා තෝරා ගත යුතුය. එසේම, බැක්ටීරියා රහිත හෝ ඉතා අවම වශයෙන් අඩංගු විය යුතුයි.  මීට අමතරව, මෙම මාධ්‍යයේ බැක්ටීරියා වලට එරෙහිව ක‍්‍රියා කිරීමේ හැකියාවක් තිබීමද වැදගත් කරුණකි. දත රැගෙන යාමේදීත් ප‍්‍රවේශම් සහගත විය යුත්තේ ඝන වීදුරු භාජනයක් වැනි දෙයක බහා රැගෙන යන විට ගැස්සීම නිසා භාජනයේ පෘෂ්ටයේ ගැටීමෙන් පරිදන්ත පටලයට තව දුරටත් හානි විය හැකි බැවිනි.


අනතුරකදී ගැලවුණු දත් රැගෙන යාම සඳහා මාධ්‍යයක් ලෙස යොද ගත හැකි තරල මොනවාද?

දැනුවත්ව හො නොදැනුවත්ව වැඩි දෙනෙක් ගැලවුණු දත් රැගෙන යන්නේ ජලය, අයිස් හෝ අයිස් වතුර , සේලයින් වතුර , ඛේඨය මාධ්‍යය ලෙස යොදා ගනිමිනි .  මීට අමතරව පහසුවෙන් සපයා ගත හැකි නැවුම් දියර කිරි හෝ මව් කිරි, තැඹිලි හෝ පොල් වතුර ,බිත්තර සුදු මදය,කොළ තේ, කෝමාරිකා යුෂ, දෙළුම් යුෂ, රතු මල්බෙරි යුෂ යොදා ගන්නා අවස්ථාද ඇත. මෙහිදී දියර කිරි, තැඹිලි වතුර හා සේලයින් වතුර සකස් කිරීමකින් තොරව යොදා ගත හැකි වුවත්, අනෙක් තරල වර්ග සකස් කර ගැනීමට අවශ්‍ය වේ. මේ සෑම තරලයකම වාසි අවාසි ඇති බැවින් අවස්ථානුකූලව වඩා සුදුසු මාධ්‍යය තෝරා ගැනීමට උත්සුක විය යුතුයි.

ගැලවුන දත මුඛයේ ඛේඨය අතර හෝ අනතුරට පත් වූ පුද්ගලයාගේ ඛේඨය භාජනයකට දමා එතුල දත බහා රැගෙන යාම ප‍්‍රායෝගිකව සුදුසු නොවන්නේ, ඛේඨයේ ජීවත්වන බැක්ටීරියා මගින් පරිදන්ත පටලය ආසාදනය විය හැකි බැවිනුත්, අනතුරට පත් වූ පුද්ගලයා මානසිකව ඊට සූදානම් නොවීමත් නිසාය. ජලය හෝ අයිස් වල ආස‍්‍රැති පීඩනය හා ච්‍ය අගය , පරිදන්ත පටල සෛල තුළ එම අගයට වඩා අඩු බැවින් ගැලවුණු දත එහි බහා තබන විට සෛල වලින් තරල ඉවතට ගමන් කිරීම නිසා පරිදන්ත පටල සෛල වල ජීව කාලය අඩු විය හැක. එමෙන්ම බැක්ටීරියා අඩංගු වීමට ඉඩ ඇති බැවිනුත් , ජලය හෝ අයිස් හෝ අයිස් වතුර හෝ දත් රැගෙන යාමට සුදුසු තරලයක් නොවේ.


දත් රැගෙන යාම සඳහා මාධ්‍යයක් ලෙස තැඹිලි වතුර හෝ සේලයින් වතුර යොද ගැනීම සුදුසු නැතිද?

තැඹිලි හෝ පොල් වතුර ඉතා පිරිසිදු මෙන්ම බැක්ටීරියා වලින් තොර තරලයකි. එමෙන්ම එහි යහමින් පෝෂක ද්‍රව්‍යද අඩංගුය. එසේම,එහි ප‍්‍රති ඔක්සිකාරක ගුණයක් ඇති නිසා පරිදන්ත පටලයේ ජීව කාලය දිගු කර ගැනීමට ප‍්‍රයෝජනවත් වෙයි. එසේම, බිම වැටුන දත පිරිසිදු කර ගැනීම සඳහා පිරිසිදු ජලය සොයා ගත නොහැකි වූ විට, ඒ සඳහා තැඹිලි වතුර හෝ සේලයින් වතුර යොදා ගත හැකිය. කෙසේ වුවද, දත රැගෙන යා හැකි මාධ්‍යයක් ලෙස තැඹිලි වතුර හෝ සේලයින් වතුර යොදා ගත යුත්තේ ඒ සඳහා වෙනත් සුදුසු විකල්ප මාධ්‍යයක් සොයා ගත නොහැකි නම් හා දත ඉතා ඉක්මනින් දන්ත සායනය වෙත රැගෙන යා හැකි නම් පමණකි.


දත් රැගෙන යාම සඳහා මාධ්‍යයක් ලෙස කලින් නිෂ්පාදනය කර ඇති තරලයක් යොදා ගැනීමට අවස්ථාවක් තිබේද?

ශ‍්‍රී ලංකාවේදී මිලදී ගැනීමට නොහැකි වුවත්,  සමහර රටවල මේ සඳහාම තරලමය මාධ්‍ය නිශ්පාදනය කර ඇත. මේ සඳහා නිපදවා ඇත්තේ එච්බීඑස්එස් ද්‍රාවණයයි. එම ද්‍රාවණයේ අවශ්‍ය තරම් කැල්සියම්, පොස්පේට්, පොස්පරස් යන පෝෂක ද්‍රව්‍යද, ග්ලූකෝස් ද අඩංගුය. මෙම ද්‍රාවණය තුළ පරිදන්ත පටලයේ සෛල වලට හානි නොවී පැය 24 ක් පමණ තබා ගත හැක. දත ගැලවුණ අවස්ථාවේදී රුධිර සැපයුම ඇණ හිටියත් ,නැති වූ පෝෂක ද්‍රව්‍ය ලබා දිය හැකි වීමත්, බැක්ටීරියා රහිත වීමත්, පරිදන්ත සෛල වල ආස‍්‍රැති පීඩනයට බොහෝ දුරට සමාන වීමත් මෙම ද්‍රාවණය සුදුසු මාධ්‍යයක් ලෙස එම රටවල යොදා ගනී.


නැවුම් කිරි හෝ මව් කිරි හෝ බිත්තර සුදු මදය ගැලවුණු දතක් ගෙන යා හැකි මාධ්‍යයක් ලෙස යොදා ගැනීමේ විශේෂ වාසියක් තිබේද?

බිත්තර සුදු මදය යොදා ගෙන කරන ලද පර්යේෂණ වලදී පරිදන්ත පටලයේ සෛල වල ජීව කාලය රඳවා ගැනීමේ හැකියාව පැය 12 ක් පමණ තෙක් බිත්තර සුදු මදයට හැකි බවත් , එය එච්බීඑස්එස් ද්‍රාවණය ට බොහෝ දුරට සමාන බවත්,  එම හැකියාව නැවුම් දියර කිරි වලට වඩා වැඩි බවත් සොයා ගෙන ඇත. බිත්තර පහසුවෙන් සොයා ගත හැකි වීමත් විශේෂ වාසියකි. කෙසේ වුවද, දැනට සිදුකර ඇති බොහෝ පර්යේෂණ වලදී විශේෂඥයන් විසින් තහවුරු කර ඇත්තේ ඉතා පහසුවෙන් වෙළඳ පොළෙන් සපයා ගත හැකි පාස්චරීකරණය කරන ලද නැවුම් දියර එළකිරි ගැලවුණු දත් රැගෙන යන මාධ්‍යය ලෙස යොදාගත හැකි බවයි. එහි ආස‍්‍රැති පීඩනය හා ච්‍ය අගය පරිදන්ත පටල සෛල සමඟ සමපාත වීමත්,පෝෂක ද්‍රව්‍ය හා වර්ධක සාධක තිබීමත්, පරිදන්ත පටල ආශ‍්‍රිතව ඇති සෛල වල වර්ධනය පවත්වා ගන්නා බැවිනුත්, එම සෛල වල ජීව කාලය පැය 3 ක් පමණ දක්වා පවත්වන බැවිනුත්, බැක්ටීරියා ඉතා අවම ලෙස පවතින බැවිනුත් වෙළඳපොළේ ඇති නැවුම් දියර කිරි ගැලවුණු දත් රැගෙන යා හැකි වඩා පහසු හා වඩා සුදුසු තරලමය මාධයයක් බවයි. කෙසේ වුවද, පහසුවෙන් සපයා ගත හැකි නම් ,මව් කිරි මෙම කාර්යය සඳහා ඉතා සුදුසු මාධ්‍යයකි.


දත දන්ත ශල්‍යාගාරය වෙත රැගෙන යාමෙන් පසු සිදුවන කාර්යාවලිය කුමක්ද?

දතක් ගැලවුණු රෝගියකුගේ වෙනත් තුවාල , ඉරීම් නැතිනම් දත් සවි කිරීම කෙරෙහි ක්‍ෂණික අවධානය යොමු කළ හැක. නමුත්, වෙනත් තුවාල ඇති නම්, දත තව දුරටත් දියර කිරි වල තබා ගනිමින් අනෙක් ගැටළු මුලින් විසඳා ගත යුතුය. රෝගියාට මුහුණ ප‍්‍රදේශයේ හැර වෙනත් අවයව වල තුවාල හෝ බිඳීම් ඇත්නම්,දන්ත වෛද්‍යවරයා හමුවීම මදකට ප‍්‍රමාද කර අදාළ වෛද්‍යවරයා මුණ ගැසී අවශ්‍ය ප‍්‍රතිකාර ලබා ගත යුතුය. සමහර විට පිටගැස්ම සඳහා එන්නත් ලබා ගැනීමට සිදුවිය හැක . තුවාල සිදුවී ඇත්තේ මුඛය ආශ‍්‍රිතව නම් දන්ත වෛද්‍යවරයා විසින්ම තොලේ, කම්මුලේ, දිවේ හෝ හණුවේ තුවාල හා වෙනත් ආබාධ සඳහා මූලික ප‍්‍රතිකාර ලබා දෙනු ඇත. සමහර විට විදුරුමස ඉරී ඇත්නම් මැහුම් යොදා සකස් කිරීමට සිදුවේ.

දත පමණක් ගැලවී ඇත්නම්, කෙලින්ම දත සවි කිරීමේ කාර්යය ඇරඹිය හැක. දතේ කල්ක කුහරය හරහා පිපිරීමක් ඇත්නම් , බැක්ටීරියා ආසාදනය වැළැක්වීම සඳහා අවශ්‍ය පූර්වෝපායන් යෙදීමට සිදුවේ. දත  පිපිරී නැතිනම්, විනාඩි 20 ක් වැනි කෙටි කාලයකදී රැගෙන විත් ඇත්නම් දත විගසින් සවි කළ හැකි වේ. දත හා දත සවි වී තිබූ කුහරය සේලයින් යොදා ප‍්‍රවේශමේන් සෝදා හැරීමෙන් පසු , දත නියමිත පරිදි කුහරය තුලට ස්ථානගත කරනු ලැබේ.

ස්ථාන ගත කළ දත ස්ථාවරව තබා ගැනීම සඳහා කම්බි  සහ කොම්පොසිට් පිරවුම් ද්‍රව්‍යය යොදා ගනී. දත සවිකිරීමෙන් පසු සති දෙකක් පමණ වන තෙක් මෘදු ආහාර ලබා ගත යුතු අතර,මෘදු  කෙඳි  සහිත දත් බුරුසුවකින් සවි කළ දත් ඇතුළුව මුව උදේ සහ රාත‍්‍රියේදී පිරිසිදු කළ යුතුය. අවශ්‍ය නම් මුව සෝදන දියරයකින් දිනකට දෙවරක් දත් මැදීමෙන් පසු සේදිය හැක.

දින 10 ක් වැනි කාලයක් තුලදී දතේ ස්නායු පිරවීමේ ප‍්‍රතිකාරය ආරම්භ කරනු ලබන්නේ දන්ත මූලය දියවීම  වළක්වා ගැනිම සඳහාය. මේ සඳහා කැල්සියම් හයිඩ්‍රොක්සයිඞ් යොදා ගනු ඇත. ඒ වෙනුවට විශේෂයෙන් යොදන දන්ත ඖෂධ ද ඇත. සති දෙකකට පසුව කම්බි ඉවත් කළ හැකි වන අතර, ස්නායු පිරවුමේ ඉතිරි ප‍්‍රතිකාරය සම්පූර්ණ කෙරෙනු ඇත.


දත සවි කිරීම ප‍්‍රමාද වූ විට කුමක් සිදුවේද?

ගැලවුණු දතක් නැවත සවි කිරීමේදී කරනු ලබන ප‍්‍රතිකාරය දත රැගෙන ආ වේලාව, දත බහා තැබූ මාධ්‍යය , දන්ත මූලයේ අග කෙළවර පෑහී  හෝ නොපෑහී  තිබීම වැනි කාරණා මත විවිධ ස්වරූපයක් ගනී. සමහර අවස්ථා වලදී පැය ගණන් ප‍්‍රමාද වී දත් රැගෙන එන අවස්ථාද ඇත. දත රැගෙන ආවේ බොහෝ ප්‍රමාද වී නම් හෝ වියළි ස්වභාවයෙන් හෝ නුසුදුසු ද්‍රාවණයක බහා නම්, දන්ත මූලයේ පරිදන්ත පටල සෛල බොහෝ දුරට විනාශ වී පවතිනු ඇත. එවිට, කළ හැකි දෙය වන්නේ දන්තමූලය වටා ඇති එම අජීවී සෛල ප‍්‍රවේශමෙන් පිරිසිදු කර ඉවත් කර, දතට එළියේදීම ස්නායු ප‍්‍රතිකාරය කර නැවත සවි කිරීමයි. නමුත්, මෙහිදි පෙර පරිදි පරිදන්ත පටලය් නැවත වැඩෙන්නේ නැති අතර, දත අස්ථියට ඒකාබද්ධ වී  සවි වීම වන අතර කලක් ගත වන තුරු වේදනාවක් හෝ වෙනත් අතුරු ආබාධයක් නැත. නමුත්, කලක් ගත වන විට දන්ත මූලයේ දියවීමක්ද දැකිය හැක. එසේම දන්ත මූලය ඇති ස්ථානයේ දතේ හා අස්ථි වර්ධනය ඇණ හිටිනු ඇත. කෙසේ වුවද, දතේ කලින් තිබූ පෙනුම සුරක්‍ෂිත වන අතර, දත නැවත සවි කර ගැනීමේ සතුට දරුවාට අත් විඳිය හැක.

මෙම සියළු කරුණු ඔබට මතක තබා ගැනීම අසීරු විය හැක. වැදගත් කරුණු වන්නේ දත ප‍්‍රවේශමෙන් අහුලා පිරිසිදුව පැයක් යාමට ප‍්‍රථම හැකි ඉක්මනින් නැවුම් එළකිරි හෝ මව් කිරි සහිතව පිරිසිදු පියන සහිත භාජනයක බහා ප‍්‍රවේශමෙන් දන්ත ශල්‍යාගාරය වෙත රැගෙන යාමයි.


         

 



අදහස් (0)

අනතුරකදී ගැළවුණු දතක් බද්ධ කළ හැකිද ?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 375 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 465 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 99 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 663 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 165 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 944 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14555 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 139 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site