IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘අලි‘ ඇමැති මණ්ඩලයක්

පසුගිය සඳුදා පැවැත්වුනු පාර්ලිමෙන්තු මැතිවරණයේ ජයග්‍රාහකයා හා පරාජිතයා ඔවුනොවුන් හා එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ගෙවුනු සිකුරාදා දිනයේ එකඟවූහ.එම එකඟතාවය ඇතිවූයේ ශ්‍රීලංකාවේ 21 වැනි අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දුන් අවස්ථාවේදීමය.මේ සියල්ල රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනයද කෙරිණ.

නව කැබිනට් මණ්ඩලය හෙට (25) දිනයේදී ජනපති සිරිසේන ඉදිරියේ දිවුරුම්දීමට නියමිතය.ඇමතිධූර බෙදී යායුත්තේ කෙසේදැයි සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය මේ වන විටත් සාකච්ඡා කරමින් සිටී.ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට යන බැවින් නියත වශයෙන්ම ඇමතිධූර සංඛ්‍යාව සම්මත අගය වන 30 ට වඩා ඉහළ දැමීමට සිදුවනු ඇත.19 ඒ ව්‍යවස්ථා සංශෝධනයට අනුව එම තීරණය ගැනීමේ බලය හිමි පාර්ලිමෙන්තුවටය.

දැනට වාර්තාවී තිබෙන අන්දමට මෙම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර සංඛ්‍යාව 51 කි.ඒ එක්සත් ජාතික පක්ෂයට 33 ක් හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයට 18 ක් වශයෙනි.ඇතිකිරීමට යන නියෝජ්‍ය අමාත්‍යධූර සංඛයාව 40 කි.එයින් 22 ක් එක්සත් ජාතික පක්ෂයටද 18 ක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයටද හිමිවීමට නියමිතය.පළමු කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ බදාදාය (27).දිස්ත්‍රික්ක නියෝජනය කරමින් වෙන වෙනම අමාත්‍යවරුන් පත්කිරීමටද තීරණයක් ගෙන ඇතැයි සඳහන්ය.සංවර්ධන ක්‍රියාවලිය වඩා සක්‍රීය ලෙස ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.මෙම සංකල්පය ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ ඉදිරිපත්වූවකි.

රජය පිහිටුවීම සම්බන්ධයෙන් ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ සාකච්ඡා පවත්වා ඇත.එහිදී අගමැතිවරයා යෝජනාකර තිබෙන්නේ මුලින්ම අමාත්‍යවරුන් 30 දෙනෙක් දිව්රුම්දීම සුදුසු බවයි.බොහෝ විට මෙම අමාත්‍යවරුන් 30 දෙනාම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ඇත.පාර්ලිමෙන්තුව රැස්වීමට නියමිත සැප්තැම්බර් 1 වැනිදා නිසා අමාත්‍යවරුන් සියලුදෙනා පත්කරගන්නාතෙක් සිටීමෙන් කැබිනට් මණ්ඩලය පිහිටුවීමට කල්ගතවීම අගමැතිවරයා ඊට හේතුව ලෙස ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය අතර ඇතිව තිබෙන අවබෝධතා ගිවිසුම ප්‍රධාන කරුණු 10 කින් සමන්විතය.එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් හා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක ඊට අත්සන් තැබූහ.නව රජයේ අපේක්ෂාවන් හා ව්‍යවස්ථාවට සිදුකිරීමට යන සංශෝධනයන් සම්බන්ධයෙන්ද එහි කරුණු අන්තර්ගතය.

ජාතික රජයක් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි සිකුරාදා සවස ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී සාකච්ඡාවට බඳුන්විය.කබීර් හෂීම්,මලික් සමරවික්‍රම,කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්ද, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,දුමින්ද දිසානායක,නිමල් සිරිපාල ද සිල්වා,අනුර ප්‍රියදර්ශන යාපා,හා ජොන් සෙනෙවිරත්න ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින්ද ඊට සහභාගීව සිටියහ.මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තවත් හමුවක් ඊයේ (23) පැවැත්වීමට නියමිතව තිබුණි.

එක්සත් ජාතික පක්ෂය - ශ්‍රීලංකා නිදහස් පක්ෂය අතර ඇතිව තිබෙන අවබෝධතා ගිවිසුමට එරෙහිව කැරලි ගැසීමට නිදහස් පක්ෂයේම ඇතැම් සාමාජිකයින් සූදානමින් සිටින බව නොරහසකි.මෙය ජනපති සිරිසේනද හොඳින්ම දනී.මෙනිසාම එක් එක් දිස්ත්‍රික්ක නියෝජනය කරන නිදහස් පක්ෂ සාමාජිකයින් කැඳවා රැස්වීම් පැවැත්වීමට ඔහු තීරණය කර ඇත.එවන් එක් රැස්වීමක් ඊයේ (23) පැවැත්වීමට නියමිතව තිබූ අතර පක්ෂයේ පාර්ලිමෙන්තු කණ්ඩායම හා මධ්‍යම කාරකසභාව දැනටමත් මෙම අවබෝධතා  ගිවිසුමට අනුමැතිය ලබාදී ඇති හෙයින් සහයෝගයෙන් කටයුතු කරන ලෙසද,නොඑසේනම් පක්ෂයෙන් නෙරපා හරින බවද ජනපති සිරිසේන ඔවුන් හමුවේ අවධාරණය කරනු ඇතැයි සිතිය හැකිය.

 

දිව්රුම්දීමේ උත්සවයට රාජපක්ෂ පැමිණීම

සිකුරාදා පැවැති දිව්රුම්දීමේ උත්සවයට කිසිවෙකුත් නොසිතූ පරිදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගීව සිටියේය.ශාලාවට ඇතුල්වූ විගස සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත් ඔහු තමන් වෙනුවෙන් වෙන්කර තිබූ ආසනයේ අසුන් ගත්තේය.අගමැතිවරයා දිවුරුම්දී,මහලේකම්වරුන් දෙදෙන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පැමිණ සිටි අමුත්තන් පිළිගැනීමට ඔවුන් හමුවට ගිය ජනපති සිරිසේන, රාජපක්ෂවද උණුසුම් අයුරින් අතට අතදී පිළිගත්තේය.ජාතික රජයක් ඇතිකිරීමට විශාල දාකයත්වයක් ලබාදුන් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ අවස්ථාවට සහභාගීව නොසිටීම කැපී පෙනිණි.

නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට හිටපු ජනපතිනිය සිටින්නේ ජාතික රජයකින් පාර්ලිමෙන්තුවේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය වියයුතුයැයි දැඩි මතයකය.නව රජයේ දෙමළ ජාතීන්ගේ නියෝජනයක් නොතිබීම නිසාද,යෝජනා කළ පුද්ගලයෙකුට නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවේ තැනක් නොලැබීම නිසාද ඇය අමනාපයෙන් සිටින බව එම වාර්තාවල සඳහන්ය.

දිව්රුම්දීමේ උත්සවයට රාජපක්ෂ පැමිණ සිටියේ එසේ නොයන්නයැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සාමාජිකයින් ඔහුගෙන් කළ ඉල්ලීම් නොසළකා හැරය.මැතිවරණ දින රැයේ ඔහු කුරුණෑගල සිට මිරිහානේ තමන් තාවකාලිකව නවාතැන්ගෙන සිටි නිවසට පැමිණියේය.රූපවාහිනියේ විකාශනයවුනු මැතිවරණ ප්‍රතිඵල ඔහු නැරඹූයේ එහි සිටය.බදාදා උදෑසනින්ම ජනපති සිරිසේන ඇමතූ හෙතෙම සන්ධානය පරාජය වූයේ ජනපතිවරයා එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතී ලෙස හැසිරීම නිසා යැයි චෝදනා කළේය.තමන් වෙත පිටු පහකින් යුත් ලිපියක් එවමින් එහි තමන් අගමැති නොවන බව සඳහන් කිරීමෙන්ද සන්ධානයට ලැබීමට තිබුණු ඡන්ද රැසක් නොලැබී ගිය බවද ඔහු පැවසුවේය.

රාජපක්ෂ නැගූ චෝදනා වලට ජනපති සිරිසේන තදින් පිළිතුරු දුන්නේය.මැතිවරණ වේදිකාවේදී ඇතැම් දේශපාලඥයින් මහින්ද රාජපක්ෂ ඉදිරියේදීම තමන්ට ඉතා නිගරු වන අයුරින් අදහස් පළකළ අන්දම ඔහු සිහිපත් කළේය.මැතිවණ ජයෙන් පසු තමන්ව නිරුවත් කර මහපාරේ ඇදන් යනවා යැයි කී දේශපාලඥයෙක්ද ඔවුන් අතර සිටි බව ජනපති සිරිසේන පැවසූයේ මහත් ආවේගයෙනි.මෙවන් අදහස් පළකළ හිටපු අමාත්‍යවරුන් තිදෙනෙක්,හිටපු පළාත් මහඇමතිවරයෙක්,හිටපු නගරාධිපතිවරයෙක්, ආදී පුද්ගලයින් කිහිපදෙනෙක්වද ඔහු නම් කළේය.මේ සියලුදෙනා මෙවර මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමෙන්තු වරම්දිනාගෙන සිටින්නවුන් වීමද විශේෂයකි.ජනපති සිරිසේනට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ කීවේ විපක්ෂ නායකධූරය භාරගැනීමේ අදහසක් තමන්ට නොමැති බවය.

රාජපක්ෂගේ මෙම තීරණය සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායම අපේක්ෂා නොකළක් විය.බදාදා රැයේ ඔවුන් හමුවූ රාජපක්ෂ තමන් හා ජනපති සිරිසේන අතර පැවති දුරකථන සංවාදය පිළිඹදව ඔවුන් දැනුම්වත් කළේය.වික්‍රමසිංහ රජයේ ඉදිරි කටයුතු වලට සහය දියයුතුයැයිද ඔහු අවධාරණය කළේය.

තිරය පසුපස සිට ක්‍රියාත්මක වෙමින් සිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂ නායකත්වය හා සාකච්ඡා පවත්වමින් සිටියහ.ජාතික රජයක් පිහිටුවීමට විරෝධය පළකළ ඔවුහු තමන් අතරින් සාමාජිකයින් 10 - 12 ක් එක්සත් ජාතික පක්ෂයට සහයදීමේ සූදානමින් පසුවන බවත් කිසිඳු අමාත්‍යධූරයක් අවශ්‍ය නොවන බවත් කියාසිටියහ.ඔවුන් උත්සාහ කළේ සම්පූර්ණ එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට ආධාර කිරීමය.නමුත් ජනවාරි මස 8 වැනිදා නව රජය පොරොන්දුවූයේ මැතිවරණයෙන් පසු ජාතික රජයක් පිහිටුවීමට බව කී වික්‍රමසිංහ ඔවුන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

මහින්ද රාජපක්ෂට මැතිවරණයට පෙර ජනපති සිරිසේන යැවූ ලිපිය දේශපාලන ලෝකය උඩුයටිකුරු කිරීමට සමත්වූ බව බොහෝදෙනා නොදන්නා කාරණයකි.‘එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 113 ක් හෝ ඒ ආසන්නයට පැමිණීමට සමත්වෙතොත් මම මා සතු බලතල භාවිතාකර සන්ධානය ප්‍රමුඛ රජයක් පිහිටුවීමට කටයුතු කරමි‘ යැයි ජනපති සිරිසේන එහි සඳහන් කර තිබීම එක්සත් ජාතික පක්ෂය පවා කලබලයට පත්කිරීමට සමත්විය.එවැනි තත්ත්වයක් උද්ගතවුවහොත් තම පක්ෂයේ සහය එක්සත් ජාතික පක්ෂයට ලබාදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයක් පිහිටුවීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානය එම අවස්ථාවේදී කියාසිටියේය.‘ඒක එවැනි තත්ත්වයක් ඇතිවුනොත් ගන්න හිටිය පියවරක් විතරයි.දැන් එහෙම දෙයක් කරන්න වුවමනාවක් නැහැ‘ දෙමළ ජාතික සන්ධානයේ වගකිවයුතු නිළධරයෙක් පැවසීය.

අවසන් ඡන්ද ප්‍රතිඵල නිකුත්වූ බදාදා දිනයේදීම ජනපති සිරිසේන ක්‍රියාත්මක විය.බ්‍රහස්පතින්දා උදෑසනම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහු පක්ෂයේ මධ්‍යම කාරකසභාව රැස්කළේය.ඊට දශකයකට ආසන්න කාලයක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කිසිදු රැස්වීමකට ආරාධනා නොලද හිටපු ජනපතිනියද සහභාගීව සිටියාය.එක්සත් ජාතික පක්ෂය යටතේ තරග වැද ජයග්‍රහණය කළ නිදහස් පක්ෂ භාණ්ඩාගාරික එස්.බී නාවින්නගේ තනතුර හා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට මෙහිදී තීරණය විය.ඉවත් කෙරුණු මධ්‍යම කාරකසභිකයින් 13 දෙනා ගැන හෝ සේවය අත්හිටුවා ඇති පක්ෂ මහලේකම්වරුන් ගැන කිසිදු සාකච්ඡාවක් මෙම හමුවේදී සිදුවූයේ නැත.මධ්‍යම කාරකසභා රැස්වීමෙන් පසුව ජනපති සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු කණ්ඩායම සමගද හමුවක් පැවැත්වීය.මින්පසුව පක්ෂයේ කිසිදු රැස්වීමක් තම සහභාගීත්වය නොමැතිව පැවැත්විය නොහැකියැයි ඔහු දැනුම් දුන්නේය.

එදින රැයේ ජනපතිවරයා හමුවට පැමිණි අගමැති වික්‍රමසිංහ ජාතික රජයක් පිහිටුවීම සඳහා සකස්කළ අවබෝධතා ගිවිසුමේ දළ සටහනක් ඔහුට භාරදුන්නේය.එහි අන්තර්ගත කරුණු විමර්ෂණය කිරීම සඳහා කාලය අවැසි බව ජනපති සිරිසේන එහිදී කීය.

සිකුරාදා සුසිල් ප්‍රේම්ජයන්ත මහතා හමුවූ ජනපති සිරිසේන ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කළේය.සිරිසේනට සමීප ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මුලින් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුව සංශෝධනය කිරීමට ප්‍රේම්ජයන්ත මෙහිදී එකඟවී ඇත.පැරණි ලැයිස්තුවේ සාමාජිකයින් කිහිපදෙනෙක් හා ජනපති සිරිසේන යෝජනා කළ නව සාමාජිකයින් කිහිපදෙනෙක් ඇතුලත් කර අවසානයේ නව නාමයෝජනා ලැයිස්තුව සකස් කෙරිණ.එය පක්ෂයේ වැඩබලන මහලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා හා සේවය අත්හිටුවා ඇති මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත දෙදෙනාම අත්සන් කර සහතික කළහ.ප්‍රේම්ජයන්තගේ සේවය අත්හිටුවීමට නියෝග කරමින් දිස්ත්‍රික් අධිකරණය ලබාදී ඇති තීන්දුව කිසිවෙක් හෝ අභියෝගයට ලක්කර එහි තීන්දුව වෙනස් කළහොත් ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වය සළකා මෙසේ දෙදෙනාගේම අත්සනින් ජාතික ලැයිස්තුව සහතික කිරීමට පියවර ගැනිණ.මහලේකම්වරුන්ගේ සේවය අත්හිටුවා ඇති බව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම්දීමට ජනපති සිරිසේන කටයුතු කර ඇත.නමුත් නාමයෝජනා භාරදිමේ සිට මැතිවරණයේ අවසානය දක්වා ගෙවෙන කාලයේදී සිදුකෙරෙන එවැනි වෙනස්කම් පිළිගැනීමේ හැකියාවක් තමන්ට නැතැයි මැතිවරණ කොමසාරිස්වරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

 

ජාතික ලැයිස්තුවේ තැනක්

නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවේ තැනක් දිනාගැනීමට තිබූයේ මහත් තරගයකි.හිටපු විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා පවා ජනපති සිරිසේන අමතා තමන්ගේ නම ජාතික ලැයිස්තුවට ඇතුල් කරන ලෙස ඉල්ලා සිටියේය.නමුත් ඔහුට අවස්ථාවක් හිමුවූයේ නැත.ජාතික ලැයිස්තුව සකස් කිරීමේදී ඊට සන්ධානයේ නොව නිදහස් පක්ෂයේ සාමාජිකයින් ඇතුලත් කිරීමට ජනපති සිරිසේන වගබලා ගත්තේය.ඔහුගේ නියමයෙන් ජාතික ලැයිස්තුවට ඇතුළත් කෙරුණු සියලුදෙනා මැතිවරණයෙන් පරාජයට පත්වූවන් වීම විශේෂය.මෙය යහපාලනයේ ප්‍රතිපත්තීන් හා කිසිසේත්ම නොගැලපෙන්නකි.ජනපතිවරයාගේ තෝරාගැනීම් වලට ඉඩදී ලැයිස්තුවෙන් ඉවත්වීමට සිදුවූයේ ටිරාන් අලස්,ජී.ඇල්.පීරිස්,රෙජිනෝල්ඩ් කුරේ,ජීවන් කුමාරතුංග,ජේ.ශ්‍රී රංගා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වූ හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක යන අයටය.

මැතිවරණයේ පරාජිතයින්ට එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවේ ඉඩ ලබානොදීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගෙන ඇති තීරණය එක්සත් ජාතික පක්ෂය ප්‍රබලව විවේචනය කරන විවේචකයින් අතර පවා පැසසුමට ලක්ව තිබෙන්නකි.ඉදිරි කටයුතු වලදීද ඔහු එසේ සෘජුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවද ඔවුහු කියති.කෙසේවුවද එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන්ද පරාජිතයෙකුට පාර්ලිමෙන්තු වරම් ලබාදී ඇත.ඒ පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරගවැද පරාජයට පත්වුනු එච්.එම් නවී මහතාටය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායමේ පළමු රැස්වීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.මන්ත්‍රීවරුන්ගේ විනය පිළිඹදව තමා මෙවර ඉතාම දැඩිව විමසිලිමත්වන බව ඔහු කීය.නිල උත්සව අවස්ථාවන්ට හා පාර්ලිමෙන්තු විවාද වලට ප්‍රමාදයක් නොමැතිව නියම වෙලාවට සහභාගීවීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය.මංගල උත්සව,අවමංගල්‍ය අවස්ථා ගැන කියමින් විවාද මගහැරීමට නිදහසට කරුණු ඉදිරිපත් නොකරන්නැයිද ඔහු අවවාද කළේය.

 

‘මේ කියන විදිහට ඉන්න බැරිනම් පාර්ලිමෙන්තුවට ඇවිල්ලා දිව්රුම් දෙන්න එපා‘ ඔහු කීය.පාර්ලිමෙන්තුවේ කතානායක ලෙස කරූ ජයසූරිය මහතාගේ නම යෝජනා කිරීමට අපේක්ෂාවෙන් සිටින බවද වික්‍රමසිංහ පැවසීය.

 

ජාතික ලැයිස්තුව පිළිඹද අවධානය යොමුකර සිටීම නිසා පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුම අධ්‍යනය කිරීමේ වගකීම ජනපති සිරිසේන පවරා තිබුණේ හිටපු ජනපතිනී කුමාරතුංගටය.බ්‍රහස්පතින්දා පැවැත්වුනු මධ්‍යම කාරකසභා හමුවේදී මේ සඳහා ඇයව විශේෂ කමිටුවක ප්‍රධානීත්වයට පත්කෙරිණ.කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කර පරාජයට පත්වුනු හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ අදහස් දක්වමින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ජාතිවාදී ලේබලයක් ඇලවීමේ උත්සාහයක මහින්ද රාජපක්ෂ නිරතව සිටින්නේයැයි චෝදනා කළේය.මහින්ද රාජපක්ෂවත්,රනිල් වික්‍රමසිංහවත් ජනතාව අතරින් ප්‍රතික්ෂේපව ඇති නිසා ජනවාරි මස 8 වැනිදා පොරොන්දුවූ ආකාරයට ජාතික රජයක් පිහිටුවීමට ජනපති සිරිසේන කටයුතු කළයුතුව ඇතැයි ඩිලාන් පෙරේරා කීය.කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කර මෙවර පාර්ලිමෙන්තුවට පත්ව සිටින කුමාර් වෙල්ගම එම අවස්ථාවේදී අදහස් දක්වමින් ජාතික රජයක් පිහිටුවීමට තමන් විරුද්ධ බව ප්‍රකාශ කළේය.එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.ජනපති සිරිසේනගේ නියමයෙන් වෙල්ගමගේ මධ්‍යම කාරකසභා සාමාජිකත්වය සිකුරාදා සවස්වරුවේ පටන් තිබෙනුයේ අහෝසි කරය.හිටපු අමාත්‍ය ටී.බී.ඒකනායකගේද මධ්‍යම කාරකසභා සාමාජිකත්වය අහෝසි කර තිබේ.

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමෙන්තුවට පත්ව සිටින ඩලස් අලහපෙරුමද,රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමෙන්තුවට පත්ව සිටින පවිත්‍රා වන්නිආරච්චිද ජාතික රජයක් පිහිටුවීමට විරෝධය පළකළහ.ඔවුන්ගේ විරෝධය හමුවේවුවද ජාතික රජයක් පිහිටුවීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභාවේ අනුමැතිය හිමිවිය.

පක්ෂ දෙක අතර ඇතිවන අවබෝධතා ගිවිසුමක් පිළිඹදව ජනපති සිරි‍සේන අදහස් දැක්වූයේ මේ අවස්ථාවේදීය.වසර 2 ක කාලයකට මෙම ගිවිසුම බලපැවැත්වෙන බව ඔහු පැවසීය.මෙහිදී ඩලස් අලහප්පෙරුම අදහස් දක්වමින් මූල්‍ය අපරාධ විමර්ෂන ඒකකය විසුරුවා හරින ලෙස ඉල්ලා සිටියේය.ඒ සමගම අදහස් දැක්වූ එස්.බී දිසානායක ආර්ථිකය හා අධ්‍යාපනය සම්බන්ධ අමාත්‍යධූරයන් නිදහස් පක්ෂයට හිමිවිය යුතුබව කීය.ජනපති සිරිසේන මේ දෙදෙනාටම ප්‍රතිචාර දැක්වූයේ නැත.

 

අවබෝධතා ගිවිසුම කුමාරතුංගගේ විමර්ෂණයට

අවබෝධතා ගිවිසුම විමර්ෂණය කිරීමට හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් පත්කෙරුණු කමිටුව පසුගිය බ්‍රහස්පතින්දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී රැස්විය.ගිවිසුමෙන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට ඉඩසළසා ඇත්දැයි විශේෂයෙන් විමසිලිමත්විය යුතු බව කමිටුවේ ඇතැම් සාමාජිකයින්ගේ අදහස විය.නමුත් බණ්ඩාරනායක ඔවුන්ට විරුද්ධව අදහස් දක්වමින් මනා කළමණාකාරීත්වයකින් යුතුව රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කෙරෙන්නේනම් ඊට තමන්ගේ විරෝධයක් නොමැති බව කියා සිටියාය.ඊට උදාහරණයක් ලෙස ඇය පෙන්වා දුන්නේ ඇයගේ පාලන සමයේ එමිරේට්ස් ගුවන්සේවයේ කළමනාකාරීත්වය යටතේ තිබූ ශ්‍රීලන්කන් ගුවන්සේවය සම්පූර්ණයෙන් රජය සතුකිරීමෙන් පසු එයට අත්වී තිබෙන ඉරණමයි.ගිවිසුමෙන් දේශපාලන පළිගැනීම් වලට ඉඩසළසා ඇතිදැයි යන්නද සොයාබැලුනු අතර එවන් කරුණු කිසිවක් ගිවිසුමේ නොතිබුණි.

මෙවර මැතිවරණයෙන් පාර්ලිමෙන්තුවේ ආසන 225 න් 106 ක් දිනාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්විය.එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 96 ක් දිනාගත්තේය.‘ඉලංගෙයි තමිල් අරසු කච්චි‘ නාමය යටතේ තරග වැදුණු දෙමළ ජනතා සන්ධානයට ආසන 16 ක් හිමිවිය.ජනතා විමුක්ති පෙරමුණට හිමිවූ ආසන සංඛ්‍යාව 6 ක් විය.නැගෙනහිර පළාතට පමණක් තනි පක්ෂයක් ලෙස තරග වැදුණු ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය එක් ආසනයක් දිනාගත්තේය.එම පක්ෂය දිවයිනේ අනෙක් පෙදෙස්වලට තරග කළේ එක්සත් ජාතික පක්ෂය යටතේය.ඊපීඩීපී සංවිධානයටද යාපනය දිස්ත්‍රික්කයෙන් එක් පාර්ලිමෙන්තු අසුනක් හිමිවිය.පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශතයක් වශයෙන් සැළකුවහොත් එක්සත් ජාතික පක්ෂය ලද ඡන්ද ප්‍රතිශතය සියයට 45.66 කි.සන්ධානය හිමිකරගත් ඡන්ද ප්‍රතිශතය සියයට 42.38 කි.දෙමළ ජාතික සන්ධානයට හිමිවූ ඡන්ද ප්‍රතිශතය සියයට 4.62 කි.

මෙවර මැතිවරණයේදී සන්ධානයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව හා ගියවර ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව අතර ඡන්ද ලක්ෂ 10 ක පමණ වෙනසක් ඇත.

මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය කුමක්වන්නට යන්නේදැයි පැහැදිලිවූ විගස අගමැති වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

 

‘යහපාලනය ස්ථාපිත කරන්න එකතුවෙන්න කියලා සියලු දේශපාලන පක්ෂ වලට මම ආරාධනා කරන්න කැමතියි.අපි එකම අවබෝධතාවයකට පැමිණිලා වැඩකරමු.ඉස්සර වගේ පක්ෂ - පාට මුල්කරගෙන බෙදිලා ඉන්න වුවමනාවක් නැහැ.‘ ඔහු කීය.

 

මේ අතරවාරයේදීම මැතිවරණයෙන් පාර්ලිමෙන්තුවට පත්වුනු සන්ධාන සාමාජිකයින් 50 දෙනෙක් පමණ හිටපු බස්නාහිර පළාත් සභා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට රැස්වූහ.පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හා ගැටුම් ඇතිකරන්නක් වනු ඇති බැවින් මෙම හමුවට අනුර ප්‍රියදර්ශන යාපා විරෝධය පළකර ඇතැයිද සඳහන්ය.

 

පරීක්ෂණ කටයුතු දිගටම

පොලිසියේ විවිධ අංශ යටතේ ක්‍රියාත්මක වන පරීක්ෂණ කටයුතු දිගටම ක්‍රියාත්මක කරන ලෙස ජනපති සිරිසේන උපදෙස් දී තිබේ.මෙම පරීක්ෂණ බොහෝමයක් සිදුවන්නේ නියෝජ්‍ය පොලිස් අධිකාරී රවී විද්‍යාලංකාර මහතා යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය යටතේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේද ඇතැම් පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මකය.19 ඒ ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථා කවුන්සිලය පිහිටැවුනු පසු අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමද මෙම කටයුතු වලට එක්වනු ඇත.

පොලිස් ආරංචි මාර්ග වලට අනුව ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම සිදුකිරීමට නියමිතය.

මෙවර මැතිවරණයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ හා පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගේ සේවයේ විශේෂයෙන් ඇගයීමට ලක්විය යුතුය.නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට ඔවුන් දෙදෙන ලබාදුන්නේ මහත් දායකත්වයකි.මැතිවරණ නීති තවදුරටත් ශක්තිමත් කිරීමටත්,මැතිවරණ රාජකාරි වල නිරත වෙල පොලිස් නිළධාරීන්ට රුපියල් සියයකින්,දෙසියයකින් සීමා නොවන දීමනා ලබාදීමටත් රජය කටයුතු කළ යුතුය.අද ශ්‍රීලංකාව භුක්ති විදින්නේ එවන් නිළධාරීන්ගේ කැපවීමේ ප්‍රතිඵලයන් බව අමතක නොකළ යුතුය.

 

එක්සත් ජාතික පක්ෂයේ නැගීම

කොළඹ දිස්ත්‍රික්කය -

2010 පාර්ලිමෙන්තු මැතිවණය හා සැසඳීමේදී එක්සත් ජාතික පක්ෂය පැහැදිලි ජයක් ලබාගැනීමට සමත්ව ඇත.2010 වසරේදී හිමිවූ 36.1 ක ඡන්ද ප්‍රතිශතය මෙවර මැතිවරණය වන විට සියයට 53 ක් දක්වා ඉහළ දමාගැනීමට ඔවුන් සමත්ව ඇත.සන්ධානය බොහෝසේ පසුබැස ඇති අතර 2010 වසරේදී සියයට 53 ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කීවද මෙවර සන්ධානයට හිමිව ඇත්තේ සියයට 39.2 ක ඡන්ද ප්‍රතිශතයකි.

මෙවර මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය කොළඹින් දිනාගැනීමට සමත්ව සිටින ආසන සංඛ්‍යාව 11 කි.සන්ධානයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 07 කි.

ජනතා විමුක්ති පෙරමුණටද සිතා සිටි තරම් ඡන්ද ප්‍රමාණයක් ලබාගත නොහැකිව තිබේ.2010 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ තරගවැදි විට හිමිවූ 11.78 ක ඡන්ද ප්‍රතිශතය මෙවර මැතිවරණයේදී සියයට 6.73 ක් දක්වා පහත වැටී ඇත.පක්ෂයට හිමිව ඇත්තේ එක් ආසනයක් පමණි.

ෂීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට දේශපාලනයෙන් ඉවත් වන ලෙස කෙරන දැන්වීමක් ලෙස මෙවර මැතිවරණයෙන් ඔහු තරග වැදුණු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කොළඹ දිස්ක්‍රික්කයෙන් ලැබූ 5238 ක ඡන්ද ප්‍රමාණය සැළකිය හැකිය.එය කොළඹ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 0.43 ක තරම් ඉතාම සුළු ප්‍රමාණයකි.

එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු රෝසි සේනානායක මහත්මියටද පාර්ලිමෙන්තු අසුනක් දිනාගැනීමට නොහැකිව ඇත.ඇයට යුරෝපා රටක රාජ්‍යතාන්ත්‍රික නිලයක් ලැබෙන්නට යන බව පැවසේ.

කොළඹ වැඩිම මනාප හිමිකරගත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහය.ලක්ෂ 5 කට අධික මනාප ප්‍රමාණයක් ඔහු හිමිකරගත්තේය.

 

ගම්පහ දිස්ත්‍රික්කය -

පසුගිය ජනාධිපතිවරණ සමයේ ලබාගත නොහැකිවූ ඡන්ද ප්‍රතිශතයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාගැනීමට තනිව තරග කළද එක්සත් ජාතික පක්ෂයට හැකිව තිබේ.

2010 වසරේ ලබාගත් සියයට 28.65 ක ඡන්ද ප්‍රතිශතයට සාපේක්ෂව මෙවර එක්සත් ජාතික පක්ෂයට සියයට 47.13 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබේ.සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය 2010 වසර හා සැළකීමේදී සියයට 20 කින් පමණ පහළට ගොස් ඇත.මෙවර ඔවුන්ට ලබාගත හැකිව තිබෙන්නේ සියයට 44.92 ක ඡන්ද ප්‍රතිශතයකි.

ජනතා විමුක්ති පෙරමුණ 2010 වසර හා සමානවම තම ඡන්ද ප්‍රතිශතය පවත්වාගැනීමට සමත්ව ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හිමිව ඇත්තේ සියයට 0.38 තරම් ඡන්ද ප්‍රතිශතයකි.පක්ෂයේ ප්‍රධාන අපේක්ෂිකාවවූ අනෝමා ෆොන්සේකා මහත්මිය පරාජය වූවාය.

දිවුලපිටිය,මීරිගම,අත්තනගල්ල,මිනුවන්ගොඩ,ගම්පහ,මහර,දොම්පේ,බියගම හැර අනෙක් සියලු ආසන වල බලය හිමිවූයේ එක්සත් ජාතික පක්ෂයටය.

 

කළුතර දිස්ත්‍රික්කය -

ලැබුණු ඡන්ද ප්‍රතිශතය 2010 හා සැසදීමේදී සියයට 15 කින් පමණ අඩුවී තිබුණද වැඩි ඡන්ද 28 567 කින් දිස්ත්‍රික්කයේ ජය හිමිකරගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්විය.මෙවර හිමිව ඇති ආසන සංඛ්‍යාව 5 කි.

එක්සත් ජාතික පක්ෂය තම ඡන්ද ප්‍රතිශතය සියයට 20 කින් පමණ ඉහළ දමාගැනීමට සමත්ව ඇත.එම පක්ෂය මෙවර හිමිකරගෙන ඇති ආසන සංඛ්‍යාව 4 කි.

ජනතා විමුක්ති පෙරමුණ 2010 වසරේ ලෙසම මෙවරද එක් ආසනයක් දිනාගෙන ඇත.

 

නුවර දිස්ත්‍රික්කය -

නුවරින් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සමත්ව තිබේ.එය හමුවේ මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයට නුවර දිස්ත්‍රික්කයෙන් හිමිකරගැනීමට හැකිව ඇත්තේ ආසන 5 ක් පමණි.2010 වසරේදී සන්ධානය ආසන 8 ක් දිනාගත්තේය.

උඩුදුම්බර ආසනය හැරෙන්නට නුවර ඉතිරි සියලු පෙදෙවල ජය තහවුරු කරගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවිය.

 

ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය 2010 හා සැසදීමේදී පහත ගොස් ඇත.

 

මාතලේ දිස්ත්‍රික්කය -

සන්ධානය ආසන 2ක් දිනාගත්තේය.එක්සත් ජාතික පක්ෂය ආසන 3 ක් දිනාගැනීමට සමත්විය.

 

නුවරඑළිය දිස්ත්‍රික්කය -

එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් හිමිකරගත්තේය.ආසන සංඛ්‍යාව දෙකක සිට පහ දක්වාම වැඩිකරගැනීමටද සමත්විය.

 

ගාල්ල දිස්ත්‍රික්කය -

ආසන 10 න් 9 කම ජය හිමිකරගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකිවිය.නමුත් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සියයට 16 කින් පමණ පහත බැස තිබිණ.

 

මාතර දිස්ත්‍රික්කය -

සමස්ත ජය හිමිවූයේ සන්ධානයටය.

ජනතා විමුක්ති පෙරමුණ යටතේ තරග වැදුණු සුනිල් හඳන්නෙත්තිට තම පාර්ලිමෙන්තු අසුන අහිමි විය.නමුත් ඔහුට ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමෙන්තු වරම් හිමිව තිබේ.පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 2010 වසර හා සැසදීමේදී සුළු වැඩිවීමක්ද පෙන්නුම් කරයි.

 

හම්බන්තොට දිස්ත්‍රික්කය -

සියයට 81 ක තරම් ඉහළ ඡන්ද ප්‍රකාශිතයක් වාර්තා වූ දිස්ත්‍රික්කයකි.ජය හිමිවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය.නමුත් නිරූපමා රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ  හිතවාදීන් කිහිපදෙනෙකුම පරාජය විය.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා තම පාර්ලිමෙන්තු අසුන රැකගැනීමට සමත්වූවද පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සැළකිය යුතු අගයකින් ඉහළ දමාගැනීමට ඔහුට නොහැකිවී ඇති බව ප්‍රතිඵල දෙස බැලීමෙන් පෙනේ.

 

කුරුණෑගල දිස්ත්‍රික්කය -

මහින්ද රාජපක්ෂ තරග වැදුනද සැළකිය යුතු තරමේ ජයග්‍රහණයක් හිමිකරගැනීමට සන්ධානයට හැකියාවක් ලැබුනේ නැත.එක්සත් ජාතික පක්ෂයට මෙවර ආසන 7 ක් දිනාගැනීමට හැකිවිය.සන්ධානයට හිමිවූයේ ආසන 8 කි.

 

පුත්තලම දිස්ත්‍රික්කය -

ජය තහවුරු කරගැනීමට සමත්වූයේ එක්සත් ජාතික පක්ෂයයි.එම පක්ෂයට හිමිවූ ආසන සංඛ්‍යාව 5 කි.සන්ධානය 2010 දී ආසන 6 ක් දිනාගැනීමට සමත්වුවද මෙවර ඔවුන්ට හිමිවූයේ ආසන 3 කි.

 

බදුල්ල දිස්ත්‍රික්කය -

හරීන් ප්‍රනාන්දුගේ නායකත්වය නිසා සියලු ආසන වල ජය හිමිකරගැනීමට සමත්වූයේ එක්සත් ජාතික පක්ෂයයි.දිනාගත් ආසන සංඛ්‍යාව 5 කි.

 

මොණරාගල දිස්ත්‍රික්කය -

එක්සත් ජාතික පක්ෂය ඉහළ ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගැනීමට සමත්විය.ඊට සාපේක්ෂව සන්ධාන ඡන්ද ප්‍රතිශතය සැළකිය යුතු අගයකින් පහළ ගොස් ඇත.

 

අනුරාධපුර දිස්ත්‍රික්කය -

තියුණු තරගයකින් පසු ජය ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.එක්සත් ජාතික පක්ෂයට ආසන 4 ක් හිමිවෙද්දී සන්ධානය ආසන 5 ක් දිනාගත්තේය.ජයග්‍රාහකයා හා පරාජිතයා අතර වෙනස ඡන්ද 16784 ක් තරම් විය.

 

පොළොන්නරුව දිස්ත්‍රික්කය -

ජය හිමිවූයේ එක්සත් ජාතික පක්ෂයටය.ජනතා විමුක්ති පෙරමුණද තම ඡන්ද ප්‍රතිශතය ඉහළ දමාගැනීමට සමත්ව ඇත.

 

රත්නපුර දිස්ත්‍රික්කය -

දිස්ත්‍රික්කයේ ජය හිමිවූයේ සන්ධානයටය.නමුත් එක්සත් ජාතික පක්ෂය 2010 මැතිවරණයට සාපේක්ෂව ඉහළ ඡන්ද ප්‍රතිශතයක් දිනාගැනීමට සමත්විය.ඔවුන්ට හිමිවූ ආසන සංඛ්‍යාව 5 කි.මිනීමැරුම් චෝදනාවක් මත බන්ධනාගාරගතව සිටින සන්ධාන අපේක්ෂකයෙකු දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ තැනැත්තා විය.

 

කෑගල්ල දිස්ත්‍රික්කය -

ජය හිමිවූයේ එක්සත් ජාතික පක්ෂයටය.බෝනස් ආසනයක්ද සහිතව පක්ෂයට දිනාගත හැකිවූ ආසන සංඛ්‍යාව 5 කි.සන්ධානයට හිමිවූයේ ආසන 4 කි.

ජනතා විමුක්ති පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 2010 වසර හා සැසදීමේදී වැඩි වෙනසක් සිදුව නොතිබුණි.

 

උතුරු හා නැගෙනහිර පළාත් සැළකීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2010 වසරේ හිමිවූ ඡන්ද ප්‍රතිශතය ඉතා දරුණු ලෙස සෝදාපාළුව ඇති අයුරු හඳුනාගත හැකිය.සමස්ථයක් වශයෙන් උතුරු හා නැගෙනහිර පළාත් වල ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්ව තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයයි.සෑම දිස්ත්‍රික්කයකින්ම එක් ආසනයක් හෝ ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයටද  හැකියාව ලැබී තිබේ.එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන දිනාගත හැකිව තිබෙන්නේ වන්නි,දිගාමඩුල්ල හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වලින් පමණකි.

 



අදහස් (0)

‘අලි‘ ඇමැති මණ්ඩලයක්

අමාරිස් Sunday, 23 August 2015 03:27 PM

පින්නවලටද ? (නදී)

:       0       0

ගුණදාස Sunday, 23 August 2015 06:52 PM

චන්ද්‍රිකා නිසා පක්ෂය දෙකට වෙන්වෙනවා සහතිකයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 22 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 637 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 70 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 373 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1477 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 576 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14588 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 144 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site