IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඇවන්ගාඩ් ඒකාධිකාරිය ගිළිහේ

ගාලු වරායේ නැංගුරම් ලා තිබූ ඇවන්ගාඩ් සමාගමට අයත් නෞකා දෙකෙහි තිබූ අවි පසුගිය සිකුරාදා නාවික හමුදා භාරයට ගැනිණ.

 

එම්.වී.මහනුවර හා එම්.වී.ඇවන්ගාඩ් නම් වූ මෙම නෞකා වල තිබූ අවි ඇතුළු ආරක්ෂක කටයුතු වලට යොදාගැනෙන උපාංගයන් සියල්ල මේ අනුව නාවික හමුදා භාරයට පත්ව තිබේ.මෙම නෞකා පුරා මාස දෙකක් රතු මුහුද කලාපයේ සිට ශ්‍රීලංකාව බලා යාත්‍රා කර ඇති බවටද තොරතුරු අනාවරණයව තිබේ.මෙම කටයුතු සිදුව ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමයෙනි.

 

‘‘ මුහුදු ආරක්ෂක සේවා සපයන පෞද්ගලික ආයතන වලට මෙතන ඉදන් අවි සපයන්නේ නාවික හමුදාව.එහෙම අවි සපයනකොට යම් මුදලක් අය කරගන්නත් අපි කටයුතු කරනවා.නමුත් මාර්ෂල්වරුන් සැපයීම අපි සිදුකරන්නේ නැහැ.ඒ කටයුතු අදාළ ආරක්ෂක සේවා සමාගම් වලටයි පැවරෙන්නේ.මේක නාවික හමුදාවට අලුත් දෙයක් නොවෙයි.2009 - 2012 අතර කාලයේ අපි කටයුතු කළේ මේ විදිහට.‘‘  නාවික හමුදා ප්‍රකාශක අක්රම් අල්වි සන්ඩේ ටයිම්ස් හා අදහස් දක්වමින් පැවසීය.

 

මේ අනුව ඇවන්ගාඩ් සමාගමටද නාවික හමුදාවෙන් අවි ලබාගනිමින් සුපුරුදු පරිදි මුහුදු ආරක්ෂක සේවා සැපයීමේ හැකියාව ඇත.නමුත් වෙනස වන්නේ පෙර මෙන් ආරක්ෂක අංශ භාවිතා කරන උපකරණ , ස්වයංක්‍රීය ගිනි අවි හා උණ්ඩ ආදිය කෙලින්ම ලබාගැනීමට ඔවුන්ට අවකාශ නොමැති වීමයි.අවි ලබාගැනීමට අවශ්‍ය නම් එය සිදුවිය යුත්තේ නාවික හමුදාවේ අනුදැනුම යටතේය.ඒ සඳහා වෙනම මුදලක්ද නායක හමුදාව අයකර ගනු ඇත.කරුණු මෙසේ හෙයින් සමාගමේ සේවා නවතා දැමීමට හෝ සේවකයින් ඉවත් කිරීමට හෝ ඇවන්ගාඩ් පාළනාධිකාරියට අවශ්‍ය නොවේ.නමුත් එම සමාගමට අයත් එම්.වී.ඇවන්ගාඩ් නෞකාවේ තිබී හමුවූ අවි තොගය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණද,අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් නැගී තිබෙන චෝදනාද සමාගම් නමට කැළලක් එක් කරනු නොවැළැක්විය හැක්කකි.අවි ලබාදීමේ කටයුතු නාවික හමුදාව යටතට  පත්කිරීමත් සමග වෙනත් සමාගම් වලටත් මුහුදු ආරක්ෂක සේවා සැපයීමට අවස්ථාව ලැබී තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ ආරංචි මාර්ගයකින් කියැවිණ.පසුගිය සතිය වන තෙක්ම රක්නා ආරක්ෂක ලංකා නම් සම්පූර්ණයෙන්ම රජයට හිමි සමාගමක් සමග ඇතිකරගත් ගිවිසුමක් ප්‍රකාරව මුහුදු ආරක්ෂණ සේවා සැපයීමේ සම්පූර්ණ ඒකාධිකාරිය හිමිව තිබූයේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමටය.ජනපතිවරයා ගෙන ඇති තීරණය අනුව රක්නා ලංකා සමාගමට මින් ඉදිරියට මුහුදු ආරක්ෂණ සේවා සැපයීමේ කටයුතු වලට දායකත්වය ලබාදෙන්නට අවස්ථාවක් නොමැත.

 

ආන්දෝලනයක නිමාව

ඇවන්ගාඩ් සමාගම මුල් කරගෙන ඇතිව තිබූ ආන්දෝලනාත්මක තත්ත්වය මේ අනුව යම් තාක් දුරට සමනය වනු ඇත.කෙසේවුවත් අයථා මුදල් ගනුදෙනු හා මුදල් විශුද්ධිකිරීමේ යෙදුණේයැයි එම සමාගමට එල්ලවී තිබෙන චෝදනා සම්බන්ධ පරීක්ෂණ කටයුතු දිගටම ක්‍රියාත්මකය.ඇවන්ගාඩ් ආන්දෝලනය ආරම්භ වූයේ පසුගිය ජනවාරි මස පොලිසිය එම්.වී.මහනුවර නෞකාවේ පාවෙන අවි ගබඩාව වැටළීමත් සමගය.අවි ගබඩාව පවත්වාගෙන යන ආකාරය සැක සහිත බව සඳහන් පොලිස් වාර්තාවක් නීතිපති ජෙනරාල් යුවාන්ජන් විජේතිලක මහතාට ඉදිරිපත් කෙරුණු නමුත් එහි සඳහන් සාක්ෂි ඇවන්ගාඩ් සමාගමට විරුද්ධව පියවරක් ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බව ඔහුගේ අදහස විය.මේ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් එච්.එම්.යූ.ඩී බස්නායක මහතාද දැක්වූයේ පරස්පර විරෝධී අදහස්ය.පසුව නීතිපති ජෙනරාල්වරයා ඒ වන විට ලැබී තිබූ තවත් සාක්ෂි අධ්‍යනය කර ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නැගී තිබෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාවක් තිබෙන බවට නිගමනය කළේය.මේ අනුව දැන් එම පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මකය.

 

ඇවන්ගාඩ් නම නැවත වරක් කරළියට පැමිණියේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ගාලු වරායේදී නාවික හමුදා භාරයට ගැනුණු එම්.වී.ඇවන්ගාඩ් නම් එම සමාගමට අයත් නෞකාවේ තිබී ගිනි අවි හා උණ්ඩ තොගයක් සොයාගැනීමට හැකිවීමත් සමගය.එවක දක්ෂිණ නාවික හමුදා කලාපය භාරව සිටි කොමදෝරු එන්.හීනටිගල මහතා මේ සම්බන්ධයෙන් වරාය පොලිසිය දැනුම්වත් කළ අතර නෞකාව ශ්‍රීලංකාවට බලා පැමිණි ගමන ගැන තොරතුරු සියල්ල අනතුරුව සිදුකෙරුණු පරීක්ෂණ කටයුතු වලින් සොයාගැනිණ.මේ සියල්ල පසුගිය සතියේ දේශපාලන තීරුවේ සවිස්තරව පැහැදිලි කර තිබුණි.

 

දැනට සිදුකෙරී තිබෙන පරීක්ෂණ කටයුතු වලින් මෙම නෞකාවට ගාලු වරායට ඇතුල්වීමට අවසරය ලබාදෙමින් ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කර තිබෙන ලිපියේ සඳහන් කරුණු හා නෞකාවේ තිබී හමුවූ අවි හා උණ්ඩ අතර පැහැදිලි වෙනසක් තිබෙන බව අනාවරණයව තිබේ.

‘ වගකිවයුත්තෙකුගේ අවධානයට‘ යැයි සඳහන් සැප්තැම්බර් මස 23 වැනිදා දාතමින් යුතු මේ ලිපිය නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශ ජේ්‍්‍යෂ්ඨ අතිරේක ලේකම් සමන් දිසානායක මහතාය.සන්ඩේ ටයිම්ස් හටද දැකගැනීමට හැකිවුනු මෙම ලිපියේ සඳහන්ව තිබූයේ චීනයේ නිශ්පාදිත සැහැල්ලු මෙෂින් තුවක්කු දෙකක් (අනු අංකද ඇත),උණ්ඩ පිරවූ ඩ්‍රම් 8 ක්,චීනයේ නිශ්පාදිත ටී.56 ස්වයංක්‍රීය ගිනි අවියක්( අනු අංකය ඇත),සහ මිලිමීටර 7.6239 ප්‍රමාණයේ උණ්ඩ 2000 ක් මෙම නෞකාවෙන් ගෙන එන බවයි.නමුත් එය පැමිණෙන්නේ රතු මුහුදේ සිට බව එහි සඳහන්ව තිබූයේ නැත.එහි සිටි මාර්ෂල්වරුන් තිදෙනගේ නම්ද,ඔවුන්ගේ හැඳුනුම්පත් අංකයන්ද  එහි තිබුණි.මෙම ලිපියේ පිටපතක් නාවික හමුදාව වෙත යවා තිබෙන බවද එහි සඳහන්වූ මුත් එවැන්නක් ලැබුණු බව නාවික හමුදාව ප්‍රතික්ෂේප කළේය.පසුව නැවට ගොඩවී විමර්ෂණය කිරීමේදී මෙම ලිපියේම පිටපතක් සොයාගැනීමට නාවික හමුදාවට හැකිවින.ඇවන්ගාඩ් සමාගමේ ප්‍රධාන කලමණාකාර විශ්‍රාමික ඒයාර් චීෆ් මාර්ෂල් ජී.එම් ප්‍රේමචන්ද්‍ර මහතාද ආරක්ෂක අමාත්‍යංශයේ ඉහත ලිපිය හා සමානවම අවි හා උණ්ඩ වල ප්‍රමාණයන් සඳහන් කර එම අවි ශ්‍රීලංකාවට ගෙන ඒමට අවසරය ඉල්ලා ආරක්ෂක අමාත්‍යංශය වෙත ලිපියක් යවා ඇත.මෙම ලිපිය සහතික කර තිබෙන්නේද දිසානායක මහතාය.නමුත් නාවික හමුදා විමර්ෂණයේදී මෙම ලිපිවල කියැවුණු අවි වලට වඩා අවි ප්‍රමාණයක් නෞකාවේ තිබෙන බව සොයාගැනීමට හැකිවුනි.විවිධ වර්ගයන්ට අයත් රයිෆල වර්ග 816 ක්ද,202,674 ප්‍රමාණයක උණ්ඩද නැවේ තිබී සොයාගැනිණ.

 

දිසානායක මහතා සහතික කර තිබෙන ලිපියේ ඇවන්ගාඩ් සමාගමේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දක්වා ඇත.

 

‘‘ රක්නා ආරක්ෂක ලංකා සමාගම ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පිළිගත් සමාගම් නීති ප්‍රකාරව ලියාපදිංචි කර තිබෙන සමාගමයකි.මෙය ආරක්ෂක අමාත්‍යංශය යටතට අයත් වන්නකි.අංක 613,බංගලාව හන්දිය,කෝට්ටේ පාර,කෝට්ටේ ලිපිනයේ පිහිටා තිබෙන ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම හා, රක්නා ලංකා සමාගම අතර ගිවිසුමක් ඇත.නෞකා වලට මුහුදේදී අවශ්‍ය ආරක්ෂාව සපයනු වස් අවිගත් ආරක්ෂකයින් ලබාදීම මෙම සමාගම සිදුකරයි.‘‘

 

‘‘මෙම ආරක්ෂකයින් හා ඔවුන්ගේ අවි වල භාරකාරීත්වය ඇත්තේ සම්පූර්ණයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රක්නා ලංකා සමාගමටය.ගිනි අවි,උණ්ඩ හා වෙනත් උපකරණ ප්‍රවාහනය කිරීමට ඇවන්ගාඩ් සමාගමට අපි මෙයින් අවසර ලබාදෙන්නෙමු.‘‘ යැයි එහි දැක්වේ.

 

ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා නොව අතිරේක ලේකම්වරයෙක් ඔහුගේ නියමයෙන් මෙවන් අවසරයක් ලාබදීම ගැටලු සහගතය.එහෙයින්ම මේ සම්බන්ධයෙන් ජනපති නියමයෙන් පරීක්ෂණයක් දියත් කර තිබේ.

 

පසුගිය බදාදා (4) පැවැති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හා රාජිත සේනාරත්න මහතා ඇවන්ගාඩ් සමාගමේ පරීක්ෂණ කටයුතු පිළිඹඳව චෝදනා මුඛයෙන් අදහස් දැක්වූහ.එම සාකච්ඡාවේ තොරතුරු පසුගිය සතියේ දේශපාලන තීරුවේ සඳහන් වුනි.විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී අදහස් දක්වමින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රීලංකාව නියෝජනය කරමින් නයිජීරියා රජය සමග ගිවිසුමක් ඇතිකරගෙන තිබෙන බවත් ඇවන්ගාඩ් පරීක්ෂණ කටයුතු කුමන අතකට යොමුවූවත් රජයයන් දෙකක් අතර ඇතිව තිබෙන ගිවිසුමක් බැවින් ඊට අදාළව කටයුතු කළ යුතුව තිබෙන බවත් අවධාරණය කළේය.සේනාධිපති එවක ආරක්ෂක අංශ වල සේවයේ නියුතුව සිටි ඉහළම පෙලේ සාමාජිකයින් කිහිපදෙනෙක් සමග නයිජීරියා අගනුවර වන අජුබා බලා ගොස් එරට බලධරයින් හමුවී මෙම ගිවිසුමට එළැඹ ඇත.සමරවීරගේ අදහසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එකඟවුනි.මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී අදහස් දක්වමින් ඇවන්ගාඩ් සමාගම මාලදිවයිනේ හිටපු ආරක්ෂක හා ජාතික ආරක්ෂාව පිළිඹඳ අමාත්‍ය විශ්‍රාමික කර්නල් මොහොමඩ් නසීම් මහතාට මාස්පතා ඩොලර් 150,000 බැගින් ගෙවීම් කර ඇතැයි චෝදනා කළේය.මාලදිවයිනේ ජනපතිවරයා බලයෙන් පහකිරීමට කුමන්ත්‍රණය කළේ යැයි මොහොමඩ් නසීම් මේ වන විට එරට සිරගත කර සිටී.ඔහු ආරක්ෂක අමාත්‍යවරයාව කටයුතු කළ සමයේ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මුහුදු ආරක්ෂක කටයුතු පිළිඹද  උපදේශකවරයෙක් ලෙස මාලදිවයිනේ රජය හා සම්බන්ධව සිටියේය.මේ බව ඇවන්ගාඩ් වෙබ් අඩවියේද සඳහන්ව තිබිණ.නමුත් මෑතක සිට එම සඳහන තිබෙනුයේ ඉවත් කරය.මෙම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර පරීක්ෂණ පැවැත්විය යුතු බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය.

 

අමාත්‍යවරුන්ගේ වචන හුවමාරුව

කැබිනට් මණ්ඩලයේ තත්ත්වය උණුසුම්වීමත් සමග ජනපතිවරයා තීරණය කළේ ඇවන්ගාඩ් සමාගම ගැන සාකච්ඡා කිරීමට සඳුදා (9) විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමටය.නියමිත පරිදි රැස්වීම පැවැත්විණ.

 

රැස්වීම අවසානයේ රාජිත සේනාරත්න හා විජයදාස රාජපක්ෂ අමාත්‍යවරුන් දෙදෙන වාග් සංග්‍රාමයක පැටළී සිටිනු දැකගත හැකිවුනි.අමාත්‍ය දිව්රුම්දීමට නිගා දෙමින්,ඉතාම පහත් මට්ටමින් දෙදෙන එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කරගත්හ.අමාත්‍යවරුන් දිව්රුම්දීමේදී ජනපති සිරිසේන කියා සිටියේ කැබිනට් අමාත්‍යවරුන් යනු එකට එක්ව වගකීම් දැරිය යුත්තන් විය යුතු බවයි.අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමටත්,එසේ ඇතිකිරීමට රජයේ ඇති කැපවීම පෙන්වා දීමටත් මෙම අමාත්‍ය මණ්ඩලය උදාහරණයක් වියයුතු බව ජනපතිවරයා එහිදී පැවසීය.අමාත්‍යවරුන්ට ආචාර ධර්ම පද්දතියක් හඳුන්වාදීමට ජනපති සිරිසේන සැළසුම් කර තිබුණද ඊට පෙරම මෙසේ ගැටුම් ඇතිවීම යහපාලන රජය ඉරිතලමින් තිබෙන බව පෙන්වා දෙන්නකි.

 

ගැටුම ආරම්භ වූයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් සමගය.පහත දැක්වෙන්නේ එම හමුවේ සංක්ෂිප්තයකි.

 

ප්‍රශ්නය - අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියනවා ඇවන්ගාඩ් සමාගමත් එක්ක තියෙන ගිවිසුම අහෝසි කරන්න තීරණයක් අරගෙන නැහැ කියලා.ඒත් ඔබ කියනවා ජනපතිවරයා තීරණය කරලා තියෙනවාලු ගිවිසුම අවලංගු කරන්න.

පිළිතුර - රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේදී කිසිම දෙයක් කිව්වේ නැහැ.එයා කතාකරන්නේ පත්තර වලට විතරයි.

 

ප්‍රශ්නය - ඔහු කියනවා නාවික හමුදාවට මේ කටයුතු භාරගන්න පුලුවන්ද කියලා බලන්න විතරක් වාර්තාවක් කැදවලා තියෙනවා කියලා?

පිළිතුර - නැහැ.නැහැ.නාවික හමුදාපතිවරයා කියලා තියෙන්නේ මේ කටයුතු භාරගන්න ඔවුන්ට පුලුවන් කියලා.මීට කලිනුත් නාවික හමුදාව මේ වගේ කටයුතු වල යෙදිලා තියෙන බවත් ඔහු පවසා තිබෙනවා.

 

ප්‍රශ්නය -  මේ ගිවිසුම එක සැරේට අවලංගු කරන්න බැහැ කියලා ආරක්ෂක ලේකම්වරයා කියනවා?

පිළිතුර - නැහැ.ඔහු එහෙම දෙයක් කියලා නැහැ.සොලිසිටර් ජනරාල්වරයා වන සුහද ගම්ලත් මහතාත් කියන්නේ ගිවිසුම අවලංගු කරලා කටයුතු නාවික හමුදාවට භාරදෙන එක සුදුසුයි කියලා.

 

ප්‍රශ්නය - ඔබ කැබිනට් මණ්ඩලයේ දක්වපු අදහස් තවත් අමාත්‍යවරයෙක් පටිගත කර තිබෙන බවට වාර්තා තිබෙනවා

පිළිතුර - ඔව්.මටත් ඒ ගැන දැනගන්න ලැබිලා තියෙනවා.

 

ප්‍රශ්නය - ඇවන්ගාඩ් සිදුවීම ගැන හෙළි නොකර සිටින්නට ඇතැම් මාධ්‍ය ආයතන අතයට ගනුදෙනු වල යෙදිලා කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා චෝදනා කරනවා

පිළිතුර - ඒක ඉතින් පේනවනේ.

 

ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබත් එකඟයි?

පිළිතුර - ඔව් මම එකඟයි.මුදල් වියදම් කරලා තියෙන ආකාරයයි,මෙච්චර කට්ටියක් කොහොමද නිදහසේ ඉන්නේ කියලා බැලුවහමයි ඒක පේනවා.මාධ්‍ය වාර්තා බලලා ඔයාලටම තේරුම්ගන්න පුලුවන් මොකක්ද තත්ත්වේ කියලා.

 

ප්‍රශ්නය - මාලදිවයිනේ මේ දවස්වල තත්ත්වයයි මේ නැවයි අතර සම්බන්ධයක් තියෙනවාද?

පිළිතුර - ඔව්.නාවික හමුදාපතිවරයා මේ ගැන වාර්තාවක් ලබාදීලා තිබෙනවා.නැව ගමන අවසන් කරන්න ඉදලා තියෙන්නේ කොළඹින්.ඒත් මතුවුනේ ගාල්ලෙන්.අන්තිම කාලයේ ඉඳලා තියෙන්නේ මාලදිවයින ආසන්න මුහුදු කලාපයේ.නැවේ අවි තියෙනවාද කියලා අහනකොට ඔවුන් කියලා තියෙන්නේ නැහැ කියලා.ඒ වගේම ඔවුන් කිව්වේ නැවේ කපිතන් තැන ලංකාවේ කෙනෙක්ය කියලා.පස්සේ බලනකොට ඔහු විදේශිකයෙක්.

 

සේනාරත්නගේ අදහස් දැක්වීම හමුවේ උරණ වුනු විජයදාස රාජපක්ෂ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ගොඩ පෙරකදෝරුවන් නීතිය උගන්වමින් සිටින බවත් ඔවුන් එසේ කටයුතු කරමින් සිටින්නේ ඇවන්ගාඩ් සමාගම ඔවුන්ට කප්පම් ලබානොදීම නිසා ඇතිවූ කෝපය හා කළකිරීම පිරිමසා ගැනීමට බවත් කීවේය.මේ අතර සිටින ඇතැමුන් 1988 - 89 සමයේ රජය පෙරළීමට කැරළිගැසූ අය බවද ඔහු පැවසීය.

 

සේනාරත්න පිළිතුරු දුන්නේය.පක්ෂ මාරුකරමින් අනාථ දේශපාලනයක නියැළෙමින් ආත්මාර්ථය තකා අදහස් ප්‍රකාශ කිරීමේ යෙදෙන පුද්ගලයින් රජයේ සිටින බව ඔහු කීවේය.මහින්ද රාජපක්ෂ පාලන සමයේ කෙතරම් ගැටලු තිබියත් මෙවැනි පුද්ගලයින් එකල පවා නොසිටි බව ඔහු පැවසීය.නමුත් ඔවුන් කවුරුන්දැයි ඔහු පැවසූයේ නැත.

 

විජයදාස, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගද වාග් සංග්‍රාමයක පැටලී සිටියි.ෆොන්සේකාව වෙල් විදානේ කෙනෙක් ලෙස වරක් ඔහු හඳුන්වාදුන්නේය.පුරාණ රජ සමයේ වෙල් විදානේ යනු කුඹුරු බලාගැනීමේ යෙදුණු තැනැත්තාය.කොටි ත්‍රස්තයින්ට එරෙහිව හමුදාව මෙහෙයවා ජය අත්කර දුන් පුද්ගලයාට විජයදාස ඇමතූයේ එළෙසය.එතැනිනි නොනැවතුණු ඔහු 2010 ජනපතිවරණයේදී තමන් සරත් ෆොන්සේකා මහතාට ජාතික ඇඳුම් 26 ක් මස්සවා දුන් බවද කීවේය.

 

ෆොන්සේකා මහතාගේ සහයකයෙක් සන්ඩේ ටයිම්ස් හා පැවසූයේ විජයදාස මෙසේ ඇඳුම් ලබාදීමේ යටි අරමුණ වුයේ ෆොන්සේකා ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළේ නම් නව රජයේ අමාත්‍යධූරයක් ලබාගැනීම බවයි.මාධ්‍ය සාකච්ඡාවකදී මෙයට පිළිතුරු දුන් ෆොන්සේකා, එසේ ලබාදුන් ඇඳුම් ඉතාම බාල තත්ත්වයෙන් යුතුවූ බවත් එනිසා මෝටර් රථය පිසදන්නට යොදාගන්නා ලෙස තම රියදුරාට ලබාදීම හැරෙන්නට ඒවායින් ගතහැකිව තිබූ ප්‍රයෝජනයක් නොතිබූ බවත් කීය.

 

මින් පෙර අවස්ථාවකදී මෙලෙසම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග වාදයක පැටලී සිටියදී විජයදාස කීවේ මැතිවරණ සමයේදී තමන් ජනතා විමුක්ති පෙරමුණට ආධාර ලෙස විශාල මුදලක් ලබාදුන් බවයි.මේ ඇසූ අනුර කුමාර ඔහුගේ සගයෙක් හා පවසා තිබුණේ ඉදිරියේදී ඉදිරියේදී විජයදාස හමුවීමට යන කිසිවෙක්වත් ඔහු දෙන තේ කෝප්පයක් හෝ භාරගත නොගත යුතු බවයි.එසේ නොවුණහොත් මාධ්‍ය හමුවක් පවත්වා එයද ප්‍රචාරය කිරීමට ඔහු කටයුතු කරනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා තිබිණ.

 

ආන්දෝලනාත්මක,ඇතැම් විට නොමග යවන සුළු ප්‍රකාශයන් සිදුකළත් කැබිනට් තීරණ දැනුම්දීමේ වගකීම දරන්නේ රාජිත සේනාරත්නය.එම රාජකාරිය හිමි ඔහුට මිස අන්කිසිවෙකුට නොවේ.එම නිසාම විජයදාසගේ හැසිරීම ජනපතිවරයා ඇතිකිරීමට පොරොන්දු දුන් යහපාලනය මෙයදැයි ප්‍රශ්න කිරීමට ජනතාව පොළඹවන්නකි.ඔහු කටයුතු කරමින් සිටින්නේ තවත් කැබිනට් ප්‍රකාශකයෙක් ලෙසටය.ජනතා විමුක්ති පෙරමුණෙන්,ෆොන්සේකාගෙන් හා ඔහුගේම කැබිනට් සගයෙක්ගෙන් ඔහු පහර ලබමින් සිටී.නමුත් ඔහුගේම පක්ෂයේ කිසිවෙක්වත් ඔහු වෙනුවෙන් හඬ නගන බවක් පෙනෙන්නට නැත.

 

සඳුදා පැවැති විශේෂ කැබිනට් අමාත්‍ය හමුවේදී අමාත්‍ය තිලක් මාරපන මහතා ඉල්ලා අස්වන බවට දන්වා ඇතැයි ජනපතිවරයා කීය.මෙයින් කැබිනට් මණ්ඩලයේ සාමකාමී තත්ත්වයක් ඇති වෙතියි ඔහු සිතන්නට ඇතත් එය එසේ නොවුනි.රණවක හා සේනාරත්න අමාත්‍යවරුන් මීට එරෙහිව දැඩිව අදහස් දැක්වූහ.ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන්ද අදහස් පලකළ රණවක අමාත්‍යවරයා නැවේ තිබූ අවි වලට වෙන් වෙන්ව බලපත්‍ර ලබාදී ඇත්දැයි විමසීය.එසේ වෙන්වෙන්ව බලපත් ලබාදී නොමැති බවත්,නමුත් සියලු අවි වලට අවසරය ලැබෙන පරිදි තනි ලිපියක් නිකුත් කිරීමට ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා කටයුතු කර ඇති බවත් ඊට පිළිතුරු දුන් ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම් සමන් දිසානායක කියා සිටියේය.රණවක මහතා නැවත අදහස් පළකරමින් ඇවන්ගාඩ් නැවේ තිබූ අවි රජයට අයත් ඒවා බවත් එවා ශ්‍රීලංකා ආරක්ෂක අංශ වල භාවිතයට නිකුත් කර තිබෙන ඒවා බවත් පැවසීය.බරපතලම කාරණය වන්නේ මෙම ඇතැම් අවි වල අනු අංක මකා දැමීමට හා වෙනස් කිරීමට උත්සාහ කර තිබීම බව ඔහු පෙන්වා දුන්නේය.මෙනිසා මේ සියල්ල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇතැයි රණවක අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

අදහස් දැක්වීමේදී ඇවන්ගාඩ් සිද්ධිය හා සම්බන්ධ ඇතැමුන් මුදල් හා කාන්තා පහසින් මත්ව ඒ පිළිඹද මුනිවත රකිමින් සිටින බවටද රණවක අමාත්‍යවරයා චෝදනා කළේය.සෘජුව එල්ල කෙරුණක් නොවුනද පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා ඒ අසා කම්පනයට පත්ව සිටිනු දැකගත හැකිවුනි.තම රාජකාරි දිවියේ කිසිඳු දිනෙක මුදල් හා කාන්තා පහස හමුවේ තමන් නොනැමුණු බව ඔහු කීය.මේ අතර නාවික හමුදාපති ආර්.සී.විජේගුණරත්න මහතා මුහුදු ආරක්ෂණ සේවා සැපයීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක විග්‍රහයක් සිදුකළ අතර ඇවන්ගාඩ් නැවේ සිදුකෙරුණු නාවික හමුදා විමර්ෂණයෙන් අනාවරණයවූ කරුණු ඇතුළත් පිටු 8 ක වාර්තාවක්ද හමුවට සහභාගීව සිටියවුන්ට ලබාදුනි.

 

නාවික හමුදාවේ අවධානය

ඇවන්ගාඩ් නැවේ අරමුණු යහපත් ඒවා වූයේ නම් එහි ප්‍රවාහනය කළ අවි ගැන කිසිවක් ඔවුන් හෙළි නොකළේ මන්දැයි නාවික හමුදා වාර්තාවෙන් විමසා තිබේ.ලංකා මුහුදුසීමාව මගහැර යාත්‍රා කිරීමට තැත් කිරීමත්,නාවික හමුදාවේ ආරක්ෂාව නොඉල්ලා අවදානම් සහගත ලෙස මෙවන් අවි තොගයක් ප්‍රවාහනයේ යෙදීමත් අතිශයින් සැක උපුදවන බන නාවික හමුදාවේ මතයයි.මෙම අදහස් විස්තර කළ නාවික හමුදාපතිවරයා නැවේ ශ්‍රීලංකාවට පැමිණෙන තෙක් නැවේ ගමන් මාර්ගය හඳුනාගැනීමට නාවික හමුදාව සමත්වූ බවද කියා සිටියේය.එය මාලදිවයින හා ඉන්දියාව ආසන්න මුහුදු කලාපවල යාත්‍රා කර තිබෙන බවට එහි පැහැදිලිව දැක්වේ.

 

නාවික හමුදාපතිවරයා මතුකළ වැදගත් කරුණු කිහිපයක් මෙසේය,

 

  • අත්අඩංගුවට පත්වන අවස්ථාවේ නැව තිබූයේ අන්තර්ජාතික මුහුදු සීමාවේ බවට ඉදිරිපත්ව ඇති තර්කයේ කිසිඳු පදනමක් නොමැත.නැවක ශ්‍රීලංකා ධජය නංවා තිබේනම් කුමන මුහුදු සීමාවේ තිබුණද එවන් නැවක් පරීක්ෂා කිරීමට නාවික හමුදාවට අයිතිය ඇත.
  • අවි ප්‍රවාහනය කරන නැවකට මුහුදේ යාත්‍රා කිරීමට විශේෂ අවසරයක් අවැසිය.අවි 3 කට හා මාර්ෂල්වරුන් තිදෙනෙක්ට එසේ අවසරය ලබාගැනීමට සමාගමේ පාලනාධිකාරියට කටයුතු කරන්නට හැකිනම් නැවේ තිබුණු ඉතිරි අවි වලටත් ඒ අයුරින්ම අවසරය ලබාගැනීමට ඔවුන් කටයුතු කළ යුතුව තිබිණ.
  • ඇවන්ගාඩ් නැව පැමිණියේ අවසරයක් ලබාගැනීමෙන් තොරවය.එයින්ම එහි ගමන නීති විරෝධීව සිදුවුණක් බව පැහැදිලි වේ.නැව ශ්‍රීලංකාවට පැමිණි විට ඒ සඳහා අවසර ලිපියක් නිකුත් කිරීමේ නීතිමය පදනමක් නොමැති බව නාවික හමුදාවේ මතයයි.මන්ද හදිසියේවත් නැව අන්තර්ජාතික මුහුදේ යාත්‍රා කරන වෙනත් රටක විමර්ෂක යාත්‍රාවකට හසුවිනි නම් පසුව ලබාදෙන ලිපියකින් ප්‍රයෝජනයක් නැති බැවින්ය.ඇවන්ගාඩ් නැව යාත්‍රා කර තිබෙන්නේද රටවල් කිහිපයක් එක්ව ඒකාබද්ධ විමර්ෂණ මෙහෙයුම් දියත් කරනා මුහුදු කලාපයකය.
  • ඇවන්ගාඩ් හෝ රක්නා ලංකා සමාගම් එවා ඇති බව කියන ලිපිවල එකඳු පිටපතක් හෝ නාවික හමුදාවට ලැබී නැත.මෙනිසා මෙම ලිපි සකස් කරන්නට ඇත්තේ නැවේ තිබූ අවි තොගය ගැන තොරතුරු අනාවරණය වීමත් සමග යැයි පැහැදිලි සැකයක් නැගේ.අවිත් රැගෙන මුහුදු ගමනක නියැළුනු බැවින් නැව සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුම්වත් කිරීමට රක්නා ලංකා හා ඇවන්ගාඩ් සමාගම් කටයුතු කළ යුතුව තිබිණ.නමුත් එවැන්නක් සිදුව නොමැත.

 

2008 වසරේ මුම්බායි නුවරට එල්ලවූ ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක් එල්ල වීමේ තැතක් ඇති බවට ඉන්දියා ආරක්ෂක අංශ අවධානයෙන් සිටින බවද නාවික හමුදාපතිවරයා මෙහිදී පැවසීය.

 

සාකච්ඡාව නිමා කරමින් ජනපති සිරිසේන ඇවන්ගාඩ් සමාගමේ නෞකා දෙකෙහි අවි නාවික හමුදාව භාරයට ගන්නා ලෙස නියෝග කළේය.ඇවන්ගාඩ් සමාගම මෙම කටයුතු භාරගත් දිනයේ සිට නාවික හමුදාවට සිදුව ඇති අලාභය ගණන් බලා ඉදිරිපත් කරන ලෙසද ඔහු නියම කළේය.2012 ඔක්තෝබර් මස රක්නා ලංකා සමාගම මුහුදු ආරක්ෂණ සේවා සැපයීමට ඇවන්ගාඩ් සමාගම සමග ගිවිසුම් ඇතිකරගත් දිනයේ පටන් මේ දක්වා කාලයේ නාවික හමුදාවට සිදුව ඇති අලාභය වසරකට රුපියල් බිලියන 1.2 ක් පමණ බව බව කියැවේ.

 

එයින් නොනැවතුණු ජනපතිවරයා අවි සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද උපදෙස් දුන්නේය.පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හා සම්බන්ධව ඇවන්ගාඩ් නැවේ ගමන හා එහි ගනුදෙනු ගැනත්, නීති විරෝධී දෙයක් සිදුවී ඇත්නම් ඒවාට හවුල් පුද්ගලයින් හඳුනාගන්නා ලෙසත් නියම කළේය.ජනපති නියමය අනුව මින් පෙර වාර්තාවකින් අනාවරණය කෙරුණු, නීතිපති දෙපාර්තමෙන්තුවේ එක්තරා පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණද ක්‍රියාත්මකය.මේ පුද්ගලයා ඇවන්ගාඩ් සිදුවීම යටගසන්නැයි බල කර තිබෙන බව සඳහන්ය.

 

මෙම විශේෂ හමුවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ,ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි,ජේ්‍්‍යෂ්ඨ නියෝ්‍ජ්‍ය පොලිස්පතිවරුන් වන රවී විද්‍යාලංකාර හා රවී සෙනෙවිරත්න ආදීහු සහභාගීව සිටියහ.ආර්ථික කටයුතු පිළිඹද කමිටුවේ රැස්වීමට සහභාගීව සිටි නිසා අගමැතිවරයාට මෙයට එක්වීමට නොහැකි විය.

 

සිකුරාදා ඇවන්ගාඩ් සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති තලවතුගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණ.එය ආරම්භ වීමට නියමිතව තිබුණේ පෙරවරු 10.00 ටය.නමුත් ඊට පැය දෙකකට පෙර එය අවලංගු කර ඇති බව දැනගන්නට හැකිවුනි.සාකච්ඡාව පැවැත්වීමට තරම් සුදුසු තත්ත්වයක සේනාධිපති නොසිටින බව කියැවුනි.

 

නමුත් සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ පරිදි මාධ්‍ය හමුව අත්හිටුවා තිබෙන්නේ නිශ්ශංක එහිදී එක්තරා කැබිනට් අමාත්‍යවරයෙක් ගැන සිදුකිරීමට සිටි හෙළිදරව්වක් නිසාවෙන්ය.කෙසේනමුත් මෙය තහවුරු කරගැනීමට අවස්ථාවක් නොලැබුණි.

 

යුධ අපරාධ චෝදනා පිළිඹඳ පරීක්ෂණය

ඇවන්ගාඩ් පරීක්ෂණ වලට අමතරව ශ්‍රීලංකා රජයේ අවධානය යොමුව තිබෙන අනෙක් කාරණය වන්නේ නැගී තිබෙන යුධ අපරාධ චෝදනා විමර්ෂණය කිරීමට සකස් කෙරෙන දේශීය යාන්ත්‍රණය සම්බන්ධ කටයුතු වලටය.ඉදිරි සතියේදී එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපතිනිය සමන්තා පවර් දිවයිනට පැමිණීමට නියමිත හෙයින් මෙම කටයුතු කඩිනම්ව ඇතිබවක් දැකගන්නට ඇත.

 

එක් පියවරක් ලෙස නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැඩසටහන් අත්හිටුවීමට ජනපති සිරිසේන තීරණයක් ගෙන තිබේ.මෙම කටයුතු විශේෂ අමාත්‍ය මණ්ඩල කමිටුවක් යටතට පත්කිරීමට නියමිතය.අමාත්‍යවරුන්ට අමතරව උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන්ද , දිස්ත්‍රික් ලේකම්වරුන් ආදී රාජ්‍ය නිලධරයින්ද මෙම කමිටුවට එක්වනු ඇත.

 

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රීලංකාවට නැගී ඇති යුධ අපරාධ චෝදනා විමර්ෂණය කිරීමට ගෙන ආ යෝජනාවලිය ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමර්ෂණය කිරීමට අගමැතිවරයාගේ නියමයෙන් විශේෂ බියුරෝවක් අගමැති කාර්යාලයේ පිහිටුවීමට නියමිතය.යෝජනාවලියේ සඳහන් ඇතැම් කරුණු සම්බන්ධයෙන් නීතිපති මතය විමසීමටද පියවර ගෙන තිබේ.මෙසේ නීතිපති මතය විමසෙන්නේ එම කරුණු වල නීතිමය ස්වභාවය අනුව ඒවා ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගැන සොයාබැලීමට බව රජයේ ආරංචි මාර්ගයක් කීය.

 

සිකුරාදා දින පැවැත්වෙන විශේෂ කැබිනට් හමුවකදී රවී කරුණානායක අමාත්‍යවරයා ඉදිරිපත් කිරීමට යන අයවැය යෝජනා සම්බන්ධයෙන් සෙසු අමාත්‍යවරුන් දැනුම්වත් කිරීමට නියමිතය.ඉහළ ගොස් ඇති ජීවන වියදම හමුවේ ජනතාව තමන් ප්‍රතික්ෂේප කරමින් සිටින තත්ත්වයක් ඇතිව තිබෙන බැවින් රජය පාර්ශවයේ අමාත්‍යවරුන් හා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සිටින්නේ මෙවර අයවැයෙන් ජනතාවට සැළකිය යුතු සහන ලැබේයැයි අපේක්ෂාවෙනි.නමුත් මහා පරිමාණ ව්‍යාපෘති කිහිපයක්ද ආරම්භ කිරීමට නියමිතව සිටින රජයට එසේ ජනතාවට සහන ලබාදීමට තරම් මුදලක් වෙන්කිරීමට හැකියාවක් ඇත්දැයි යන්න ගැටලුවකි.



අදහස් (0)

ඇවන්ගාඩ් ඒකාධිකාරිය ගිළිහේ

දිනුෂි Sunday, 15 November 2015 04:49 PM

මේ ඇරඹුම පමණයි (නි)

:       0       0

සීමන් Sunday, 15 November 2015 08:01 PM

නිශ්ශබ්දව බලාඉන්න එක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ (නි)

:       0       0

අමා Sunday, 15 November 2015 12:29 PM

එ්කෙන් කියවෙන්නේ, මෙම ව්‍යාපාරයට කවුරු හරි ආණ්ඩුවේ ලොකු තැනක් ඇහැ ගහගෙන ඉඳල තියෙනවා කියන එකයි. දැන් එයාටත් පුළුවන් ව්‍යාපාරය පටන්ගන්ට. (බ)

:       0       0

විජිත් Sunday, 15 November 2015 12:32 PM

මහත්වරුනි, ඔන්න දැන් අවන්ට් ගාඩ් නැවේ නාටකයේ..තිරය පිටුපස සිටි " බළලා.." මල්ලෙන් පැනලා..දැන් ඉතින් කාගේ කාගේත් හොද්ද බොරවේවි. (බ)

:       0       0

ඇසළ Sunday, 15 November 2015 01:46 PM

80% වැඩි විදේශ නැව් ලංකාවෙන් ලබාගත් සේවය නැවත දැමීමට තීරණය කරලා අවසන්. විදෙස් වෙබ් පිටු වල බලන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 799 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1193 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5462 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1246 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5315 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4732 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17353 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 85 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 270 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site