IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


එදා මෙදා කුමන්ත්‍රණ

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත වශයෙන් නිදහස් ලැබුයේ මෙයට වසර 67 කට පෙරය. එතැන් සිට මේ දක්වා ශ්‍රී ලංකාව පාලනය වුණේ සෝල්බරි ජනරජ සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගිනි.

මේ සෑම ආණ්ඩු ක්‍රමයකම මූලික පදනම වුයේ ජනතා පරමාධිපත්‍යයයි. ඒ සඳහා යොදා ගනු ලැබුයේ මැතිවරණයක් මගින් තෝරා පත් කරගනු ලබන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයයි.

මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට මේ වසර 67 පුරා විවිධ අවස්ථා වලදී බරලතල අභියෝග එල්ල වූ අවස්ථාවන් අපේ දේශපාලන ඉතිහාසය පෙන්වා දෙයි.

බොහෝ විට මේ අභියෝග එල්ල වුනේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැතිවරණ වලින් මහජනයා තෝරාගත් ආණ්ඩු විවිධ උපක්‍රම මගින් පෙරලා දමා බලය පැහැර ගැනීමය.

ඒවා සිදුකළ පිරිස් ඒ සඳහා උපයෝගි කර ගන්නේ කුමන්ත්‍රණ, ඝාතනයන් සහ සන්නද්ධ අරගලයන්ය.

මෙවැනි දෑ සිදුවුයේ බොහෝ විට ආණ්ඩු පිහිටුවීමත් සමඟය. එසේ නැතහොත් එවැනි ආණ්ඩුවකට ටික දුරක් යන්නට ඉඩ දී පසුව පෙරලා දැමීමය.

මහීමා නසේන් එවැනි කුමන්ත්‍රණ කථා බහක් නිර්මාණය වෙමින් පවතියි.

පසුගිය ජනාවරී 8 වැනි දින පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී පසුදින (09) අලුයම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ සොහොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු හමුදා ප්‍රධානීන් යොදවා හදිසි නීතිය උපයෝගි කරගෙන මැතිවරණ ප්‍රතිඵල අත්හිටුවා තවදුරටත් බලයේ රැදී සිටීමට කරන ලද උත්සහයක් පිළිබඳව වාර්තා වේ.

මේ සිද්ධිය පිළිබඳව විදේශ ඇමැති මංගල සමරවීර මහතා අපරාධ පරික්ෂක දෙපාර්තුමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය විසින් විමර්ෂණයක් සිදුකර එම වාර්තාව දැනට නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයාට ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙම කුමන්ත්‍රණ කතාව තරයේම ප්‍රතික්ෂේප කරන අතර මැතිවරණ ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම නිකුත් වීමටත් පෙර රාජ්‍ය බලය සිය අනුප්‍රාප්තිකයාට සාමකාමීව භාරදුන් බවත් පවසයි.

මෙවැනි දේවල් ශ්‍රී ලංකාවට අරුම පුදුම දේවල් නොවේ. පසුගිය වසර 67 පුරාම මේවා විවිධ ස්වරූප වලින් අපට හමුවී ඇති අතර ඒ සෑම එකකම මුඛ්‍ය පරමාර්ථය වී තිබුණේ ආණ්ඩු පෙරලා දැමීමය.

1959 දී සිදුවූ අගමැති බණ්ඩාරනායක ඝාතනය මේ දම්වැලේ මුල්ම පුරුක වෙයි. එතැන් සිට මේ දක්වා ඒ දම්වැලට ගැට ගැසී ඇති පුරුක් අපට දක්නට ලැබේ.

1956 දී බණ්ඩාරනායක මහතා බලයට පත් වූයේ ඔහු විසින් ගොඩ නගනු ලැබූ සඟ, වෙඳ, ගුරු, ගොවි, කම්කරු නමැති පංච මහා බලවේගයක් තුළිනි. බොහෝ දෙනා මේ යුගය හඳුන්වන්නේ 56 පෙරලිය ලෙසිනි.

නමුත් ඔහුගේ රාජ්‍ය පාලනයෙන් වසර තුන හමාරක් ගත වෙද්දි අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනය වුයේ ඔහු බලයට පත් කළ පංච මහා බලවේගයෙන් දෙකක් වූ සඟ, වෙද බලවේග විසින් සිදුකළ කුමන්ත්‍රණයක් මඟිනි.

මේ සඟ බලවේගය නියෝජනය කළේ අගමැති බණ්ඩාරනායක බලයට පත් කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ කැලණිය රජමහා විහාරාධිපතිව සිටි මාපිටිගම බුද්ධරක්ඛිත නමැති භික්ෂුවකි. වෙද බලවේග නියෝජනය කළේ දේශිය වෛද්‍යවරයකුව සිටි කරෝලිස් අමරසිංහය.

මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට යොදා ගත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිටි තල්දුවේ සෝමාරාම නමැති භික්ෂුවකි. ඔහු තම සිවුර අස්සේ සඟවා සිටි රිවෝල්වරය, රොස්මිඩ් පෙදෙසේ පිහිටි බණ්ඩාරනායක මහතාගේ පෞද්ගලික නිවසේදී පණගැන්වූයේ බණ්ඩාරනායක මහතා භික්ෂුවට වැඳ නමස්කාර කළ මොහොතේය.

මේ කුමන්ත්‍රණ සිද්ධියට තවත් පුද්ගලයින් කීප දෙනෙකු සම්බන්ධ විය. මරදාන පොලිසියේ පොලිස් පරික්ෂකවරයකුව සිටි නිව්ටන් පෙරේරා, එච්.පී.ජයවර්ධන නමැති අයකු සහ බණ්ඩාරනායක මහතාගේ රජයේ කැබිනට් අමාත්‍යවරියකවූ සෞඛ්‍ය ඇමැතිනි විමලා විජයවර්ධන යන අයද ඊට සම්බන්ධ වූහ.

මේ අගමැති බණ්ඩාරනායක මහතාට තල්දූවේ සෝමාරාම විසින් වෙඩි තබා පලා යෑමට සැරසෙද්දි රොස්මීඩ් පෙදෙසේ අගමැති නිවසේ රැකවලා සිටි පොලිස් භටයකු විසින් වෙඩි තබනු ලැබීය. එම වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ සෝමාරාම පසුව සුවපත් විය.

මේ පිළිබඳව පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී මාපිටිගම බුද්ධරක්ඛිත හා එම්.පී.ජයවර්ධනට, බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට වරදකරුවන් වී මරණිය දඩුවම නියම කළ අතර අගමැති ඝාතනයට වරදකරු වූ තල්දූවේ සෝමාරාමටද මරණිය දඩුවම නියම විය.

බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට මුලසිට සම්බන්ධ වී සිටි වෛද්‍යචාර්ය කරෝලිස් අමරසිංහ නීතිපතිගේ කොන්දේසී සහිත සමාවන් ලැබ කුමන්ත්‍රණ සිද්ධිය මුළුමනින්ම අධිකරණයට ඉදිරිපත් කළ නිසා අධිකරණය විසින් ඔහු නිදහස් කරනු ලැබීය.

මරණ දඩුවමට එරෙහිව එංගලන්තයේ රාජාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයේදී මාපිටිගම බුද්ධරක්ඛිත හා එච්.පී.ජයවර්ධනට නියම කළ මරණ දඩුවම තහවුරු කරනු ලැබීය.

පසුව සෝමාරාම වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මරා දමනු ලැබීය.

ජයවර්ධන සහ බුද්ධරක්ඛිත සිරදඩුවම් විදිමින් සිටියදී බන්ධනාගාරය තුළදීම මිය ගියහ.

මේ ඝාතනයෙන් පසුව 1959 සැප්තැම්බර් සිට 1966 ජුලි දක්වා ආණ්ඩු තුනක් පිහිටුවීමට සිදුවිය.

බණ්ඩාරනායක අභාවයෙන් පසු අගමැති වුයේ එවකට අධ්‍යාපන ඇමතිව සිටි ආචාර්ය ඩබ්ලිව්.දහනායකය.

ඔහු 1960 මාර්තු මාසයේ පැවැත්වූ පරාජයට පත්වූ අතර එම මැතිවරණයේදී බලයට පත්වුයේ අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයයි.

එම ආණ්ඩුවද බහුතරය අහිමි වීම නිසා විසුරුවා හැර 1960 ජුලි මස පැවැත්වූ මැතිවරණයෙන් බලයට එන්නේ යලිත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි. එම ආණ්ඩුවේ අගමැති වන්නේ එතෙක් කලක් ගෘහණියක්ව සිටි බණ්ඩාරනායක මහතාගේ වැන්දඹු බිරිඳ වන සිරිමා බණ්ඩාරනායක මහත්මියයි.

ඇයගේ පාලන කාලය 1965 දක්වා වසර 5ක් වූ අතර 1962 දී නොසිතු විරු බලසම්පන්න රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක අභියෝගයට මුහුණ දීමට ඇයට සිදුවිය.

මේ කුමන්ත්‍රණය සිදුකළේ ඇගේ රජයේ සිටි ඉහළම පෙළේ හමුදා සහ පොලිස් නිලධාරින්ය. සිවිල් සේවාවේ නිලධාරින්ද ඊට සම්බන්ධ විය.

මේ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයට සහභාගී වූවන් අතර නාවික හමුදාපති ළඟට සිටි කර්නල් එම්.සී.ද සේරම්, නියෝජ්‍ය පොලිස්පති සී.සී.දිසානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ස්ටැන්ලි සේනානායක, එම්.ඩී.තම්බයියා, සිවිල් සේවයේ නිලධාරී ඉඩම් අමාත්‍යංශයේ ස්ථිර ලේකම්ව සිටි ඩග්ලස් ලියනගේ යන අයය.

රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය සිදු කිරීමට නියමිතව තිබුණේ අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මිය කතරගම පුජා නගරයට පැමිණෙන දිනයේදී එහිදි අත්අඩංගුවට ගැනීමටත් ඇමැතිවරුන් පිරිස ඊට පසුව කොළඹදී අත්අඩංගුවට ගෙන රාජ්‍ය බලය පැහැර ගැනීමටය.

කුමන්ත්‍රණයේ අදියර දෙකක් තිබුණි. එක් අදියරක් වුයේ අගමැතිනිය කතරගමදී අත්අඩංගුවට ගැනීමටත් ඊට පෙරදින රාත්‍රීයේ දකුණු පළාතේ දේශපාලඥයින්ගේ අත්අඩංගුවට ගැනීමටත්ය.

එවකට රජයට අයත් එකම සන්නිවේදන අංශය වූ ශ්‍රි ලංකා ගුවන් විදුලි සේවය ඇතුළු රජයේ වැදගත් මර්මස්ථාන සියල්ලම තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීම කුමන්ත්‍රණයේ අරමුණ විය.

ඉතාම රහසිගත ලෙස සූක්ෂමව ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කළ මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිත හදුන්වා දී තිබුනේ රහසිගත නම් වලිනි. නියෝජ්‍ය පොලිස්පති සී.සී.දිසානායක හැදින්වූ රහසිගත නාමය වූයේ ‘ජන්ගල්‘ රණසිංහ නාමය වූයේ ‘හැන්ඩ්සම්‘ යනුවෙනි.

යොදාගත් පරිදි කුමන්ත්‍රණය දියත් වන පෙරදිනයේ එයට සම්බන්ධ වූවන් පිරිස සාදයක් පවත්වා විසිරී ගියහ. එදින රාත්‍රියේ කුමන්ත්‍රණයේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට භාරවුයේ දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී එම්.ඩී.තම්බයියාටය.

මේ සාදයට සහභාගී වී අධික මධුවිතින් සප්පායම් වී සිටි පොලිස් අධිකාරී ස්ටැන්ලි සේනානායක එදින නිවසට ගොස් බීමතින් දොඩවමින් සිටියදී මේ කුමන්ත්‍රණයේ කථාව පිළිබඳ කොටස් කීපයක් ඔහුගේ කටින් එළියට ආවේය.

එම කතාව හොදින් අසාගත් ඔහුගේ බිරිඳවූ මායා සේනානායක මහත්මිය ඇය ලබාගත් සියලු තොරතුරු ඇගේ පියාට දුරකතනයෙන් දැක්වූවාය. ඇයගේ පියා වුයේ පී.ද.එස්.කුලරත්න මහතාය. ඔහු ආනන්ද විදුහලේ හිටපු විදුහල්පතිවරයෙකි. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට සම්බන්ධව සිටි ඔහු අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද විය.

මේ දුරකතන පණිවිඩය ලැබෙන විට ඔහු සිටියේ තද නින්දේය. ඒ වන විට මධ්‍යම රාත්‍රිය එළඹෙමින් තිබිණි. ලැබුණු පණිවිඩය අනුව තත්ත්වය බරපතල බව තේරුම් ගත් කුලරත්න මහතා ඇඳිවත පිටින්ම අරලියගහ මන්දිරයට ගොස් බණ්ඩාරනායක මැතිනියට සිද්ධිය කීවේය.

බණ්ඩාරනායක මහත්මියට මේ තොරතුරු දැන්වීමට පොලිස්පතිවරයා සොයා ගැනීමට කාලය ගත විය. ඇය වහාම එවකට හමුදාපතිව සිටි මේජර් ජනරාල් විජේකෝන් මහතාට කතා කොට අරලියගහ මන්දිරියේ ආරක්ෂාව තරකර ගත්තාය.

පොලිස්පතිවරයා සොයා ගත හැකි වූයේ කොළඹ හත පිහිටි ප්‍රසිද්ධ සමාජ ශාලාවක දීය. මේ තොරතුරු ඔහුට ලැබෙන විට පොලිස්පතිවරයා සිටියේ සමාජ ශාලාවේ බිලියඩ් ක්‍රීඩාවේ යෙදෙමින්ය. එම්. ඩබ්ලිව්. එස්. අබේකෝන් නමැති පොලිස්පතිවරයා බණ්ඩාරනායක මැතිණියගේ හිතවතෙක් විය. ඔහු පොලිස් සේවයට කිසිම සම්බන්ධයක් නැති ඒ පිළිබඳ ප්‍රාථමික පුහුණුවක්වත් නොලැබූ මුළුමනින්ම පිටස්තර පුද්ගලයෙක් විය. ඔහු මේ කුමන්ත්‍රණය පිළිබඳව කිසිම දෙයක් දැන නොසිටි බව පසුව හෙලි විය.

බණ්ඩාරනායක මැතිණියගේ රජයේ සිටි ප්‍රබලම ඇමැතිවරයකු වූ සහ ඇගේ ඥාතියකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ද වහාම අරලියගහ මන්දිරයට පැමිණ කුමන්ත්‍රණයේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කරමින් සිටියේය.

ඒ වන විට කුමන්ත්‍රණයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ බරපතල ප්‍රශ්න මතුවී තිබිණි. ඉන් එකක් වූයේ කුමන්ත්‍රණයේ පළමු අදියර ක්‍රියාත්මක වී තිබීමය. ඒ අනුව දකුණු පළාතේ ප්‍රකට දේශපාලනඥයකු වූ ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කළ බද්දේගම පාර්ලිමේන්තු මන්ත්‍රී නීල් ද අල්විස් මහතා කුමන්ත්‍රණකරුවන් විසින් සිර භාරයට ගනු ලැබ තිබිණි.

අනිත් කරුණ වූයේ අත්අඩංගුවට ගැනීමට නියමිත ඉහළ හමුදා සහ පොලිස් නිලධාරීන් අත්අඩගුවට ගැනීමට පහළ හමුදා හා පොලිස් නිලධාරීන්ගෙන් තිබූ පසුබෑමය.

මෙහිදී කඩිනමින් ක්‍රියාත්මක වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වහාම ගුවන් හමුදාවට භාර කළේය. ඊට හේතුව වූයේ මේ හමුදා කුමන්ත්‍රණයට ගුවන් හමුදාවේ කිසිවෙකුත් සම්බන්ධ නොවී තිබීමය. යම් ලෙසකින් පෙර ගුවන් හමුදාවත් මෙයට සම්බන්ධ වී සිටියා නම් මේ කතාව මෙයට වඩා භයානක මුහුණුවරක් ගනු නොඅනුමානය.

කුමන්ත්‍රණකරුවන් මේ කුමන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කොපමණ විශ්වාසයක් තබා තිබුණාදැයි කිවහොත් නාවික හමුදාපති රියර් අද්මිරාල් රොසිස් ද මෙල් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ගුවන් හමුදා නිලධාරීන් වෙත ඔහුගේ රිවෝල්වරය එල්ල කළ බව කියැවුණි.

එහිදී ගුවන් හමුදා නිලධාරීන් ඔහුට පවසා ඇත්තේ කුමන්ත්‍රණය මුළුමනින්ම අසාර්ථක වී ඇති හෙයින් යටත් වන ලෙසය.

පසුදිනම එළිය වැටෙද්දී කුමන්ත්‍රණ සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රජයට හැකි විය.

ඔවුන්ට විරුද්ධව මහරැජිනගේ ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ විශේෂ උසාවියක් පිහිටුවා නඩු විභාගය පැවැත්වීය.

එම නඩු විභාගය පැවැත්වූයේ නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොඩිගහ අසල විශේෂ ගොඩනැගිල්ලකය. එහි දී ඔවුන්ට සිරදඩුවම් නියම විය. නමුත් ඔවුන් එංගලන්තයේ රාජාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයකින් නඩුවෙන් මුළුමනින්ම නිදහස් වූහ.

ඔවුන්ගේ නිදහසට මුල්වූයේ පවතින නීතිය අනුව විශේෂ උසාවියක් පිහිටුවීමට රජයට නොහැකි බව ප්‍රකාශ කරමිනි.

නිදහස ලැබුවත් බ්‍රිතාන්‍ය කිරීටයට අප තවමත් යටත් වේ යන අදහස සමාජග ගත වූයේ මේ රාජාධිකරණ තීන්දුව හේතුවෙන්ය. ශ්‍රී ලංකාව ජනරජයක් විය යුතු යන මූලික පදනම දේශපාලනයට ආවේත් මේ මගින්ය.

මේ නඩු විභාගයේ දී කුමන්ත්‍රණයේ සුල මුල සියල්ල හෙළිවුවත් එක් කරුණක් හෙළි නොවීය.

කුමන්ත්‍රණයෙන් බලය ලබා ගත් පසු පාලනය භාරගන්නා පුද්ගලයා ලෙස හදුන්වා දී තිබුණේ ‘ෂෙලී‘ යනුවෙන් ආරූඪ නාමයකින් යුතු පුද්ගලයකුවය.

ඔහු කවුදැයි අදටත් නොදනිති.

මේ ෂෙලි යනු කවුද? කටකතාවලට අනුව පැතිර ගිය ප්‍රවෘත්තිය වූයේ ඒ ඩඩ්ලි සේනානායක හෝ ජේ. ආර්. ජයවර්ධන විය යුතු බවය. නමුත් එය අදටත් රහසක්ව පවතියි.

මැතිණියගේ රජය 1965 දී පරාජයට පත් වීමෙන් පසුව 1965 දී ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීය.

ඔහුගේ ආණ්ඩුව සමයේදීත් කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිදරව් විය. මේ කුමන්ත්‍රණයට කලින් මෙන් සන්නද්ධ හමුදා කෙලින්ම සම්බන්ධ නොවූවත් බණ්ඩාරනායක මැතිණිය විසින් කුමන්ත්‍රණයෙන් පසු පත් කළ හමුදාපති මේජර් ජනරාල් රිචඩ් උඩුගම කුමන්ත්‍රණ සිද්ධියට අත්අඩංගුවට ගත්තේය.

ඔහු සමග අත්අඩංගුවට ගත් ඉහළ හමුදා නිලධාරීයෙක් වූයේ කපිතාන් සිංග්රාය. ඒ ඇරෙන්නට අනිත් පිරිස යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් කෝප්‍රල් හා ලාන්ස් කෝප්‍රල් යන පහළ ශ්‍රේණිවල පිරිස්ය. මේ කුමන්ත්‍රණයට තවත් සුවිශේෂී චරිතයක් එක්වී තිබිණි. ඒ ලංකාවේ ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් නමක් වූ හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ය. මේ සියලු දෙනාම අත්අඩංගුවට ගත්තේ සේනානායක මහතාගේ රජය පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතය.

එවකට අගවිනිසුරුව සිටි ජී. පී. ඒ. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරුවරුන් පස් දෙනකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ වසර දෙකක් තිස්සේ මෙම නඩුව විභාග විය.

මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ දක්ෂ ප්‍රකට නීතීඥයකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාය.

එකල ජනප්‍රිය පුවත්පතක් වූ ‘ඇත්ත‘ පුවත්පත මේ කුමන්ත්‍රණ නඩුව හැඳින්වීමට යොදා ගත් සිරස්තලය වූයේ ‘වැසිකිළි කුමන්ත්‍රණය‘ ලෙසය.

නඩු විභාගය අවසානයේ දී විත්තිකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

මෙයින් පසු කුමන්ත්‍රණ පිළිබඳ සිදුවීම් වාර්තා නොවූ අතර රජය පෙරලීම සඳහා දියත් කළ සන්නද්ධ අරගලයක් ගැන වාර්තා විය. 1971 අප්‍රේල් දෙවැනි දින මේ සන්නද්ධ අරගලය දියත් විය.

මෙය හැදින්වූයේ ‘අප්‍රේල් කැරැල්ල‘ නමිනි. මේ අප්‍රේල් කැරැල්ලට මුහුණ දීමට සිදුවූයේ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණු ආණ්ඩුවටය.

කැරැල්ලේ අරමුණ වූයේ නියමිත දිනයක දී දිවයිනේ පොලිස් ස්ථානවලට පහර දී ඒවායේ ගිනි අවි වලින් රජයේ මර්මස්ථානවලට පහර දී රාජ්‍ය බලය උදුරා ගැනීමටය.

අගමැතිණිය අත්අඩංගුවට ගැනීමටත් ඒ අතර සැලසුම් කර තිබිණි. ඔවුන් සැලැසුම් කර තිබුණේ 1971 අප්‍රේල් 5 වැනි දින දිවයිනේ පොලිස් ස්ථානවලට පහර දීමට ය.  ඒ අනුව මුල්ම ප්‍රහාරය එල්ල වූයේ වැල්ලවාය පොලිසියටය. එම ප්‍රහාරයෙන් පොලිස් භටයින් දෙදෙනකු මරු මුවට පත් වූහ. එහෙත් සිතු පරිදි සියලුම පොලිස් ස්ථානවලට පහර දීම අසාර්ථක වූයේ පොලිසිවලින් ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නිසාය.

මෙම ප්‍රහාරයට කලින් ප්‍රහාරය දියත් කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ රෝහණ විජේවීර අත්අඩංගුවට ගෙන යාපනය බන්ධනාගාරයේ රඳවා තිබුණි. එම න්ධනාගාරයටත් කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරය අසාර්ථක විය.

පොලිස් ස්ථානවලට එල්ල කළ ප්‍රහාරවලට පොලිස් ස්ථානවලින් එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් කැරැල්ල මෙහෙයවූ මුල් පෙළේ ප්‍රහාරකයන් සෑහෙන ප්‍රමාණයක් මරු මුවට පත් වූ අතර කැරැල්ල මර්දනය කරනු ලැබුයේ දින ගණනාවක් එකදිගටම ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය මගිනි.

පසුව කැරැලිකරුවන් වන ගත වූ අතර ඔවුන් සොයමින් හමුදා පොලිස් බලඇණි වනාන්තර පීරූහ.

පසුව රජයේ නියෝගයක් මගින් යටත් වන ලෙස කළ දැනුම් දීම අනුව කැරැල්ලට සම්බන්ධ වූ දහස් ගණන් තරුණයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාර වූහ.

මෙම පිරිස් පුනරුත්ථාපනය කර සමාජ ගත කළ අතර මුල් පෙළේ නායකයන්ට විරුද්ධව නඩු පවරනු ලැබීය.

ඒ වන විට සිරිමා බණ්ඩාරනායක රජයට තුනෙන් දෙකක බලයක් තිබූ නිසා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් විය. ඒ 1972 දීය.

මේ නිසා කැරැලිකරුවන්ට විරුද්ධව නඩු විභාග කිරීම සඳහා විශේෂ නීතියක් පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබීය.

ඒ  අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව නමිනි. ඒ සඳහා පත්කරනු ලැබුයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ය. මෙලෙස පත් කරනු ලැබූ අපරාධ යුක්ති විනිශ්චය කොමිසමට අධිකරණයකට හිමහි දඩුවම් නියම කිරීමේ බලතලද හිමිවූ අතර නඩු විභාගයේ අවසානයේ දී කැරැල්ලේ මුල් නායකයන්ට සිර දඩුවම් නියම විය.

එම කැරැල්ලට සහභාගීවූ සමහරු රජයේ සාක්ෂිකරුවන් වූ අතර ඔවුන් නිදහස් කරනු ලැබූහ.

1977 දී බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන රජය විසින් මෙම අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව අහෝසි කරනු ලැබූ අතර 71 කැරැල්ලේ සිරදඩුවම් විදිමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, ලයනල් බෝපගේ කෙලී සේනානායක ඇතුළු පිරිස නිදහස් කෙරිණි.

ඉන් පසු මෙවැනි සන්නද්ධ අරගලයක් මතුවන්නේ 88-89 කාලයේ දීය. එය හැඳින්වූයේ 88 භීෂණය ලෙසිනි.

මේ අවධිය වන විට ජේ. ආර් රජය විසින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබිණි.

මෙවර අරගලය කලින් මෙන් පොලිස් ස්ථානවලට පහරදීම වෙනුවට වෙනත් ස්වරූපයකින් මතු විය.

කීර්ති විජයබාහු නම් ආරූඪ නමකින් නිකුත් කරන නිවේදනයකින් එකම දිනයක මුළු රටම අකර්මන්‍ය කර දැමීමේ හැකියාව ඇති රහසිගත සංවිධානයක් මේ අරගලයට පණ පෙවීය.

එම නිවේදනය මගින් නිකුත් කරන ඇඳිරිනීතිය පැවැත්වීමේ ප්‍රකාශයට රජයේ කාර්යාල, ගමනාගමනය, අත්‍යවශ්‍ය සේවා පමණක් නොව රෝහල් ද ඇතුළත් විය.

එයට අමතරව මහ රෑ නිවෙස්වලට පැමිණෙන එම සංවිධානයේ සාමාජිකයන් විසින් නිකුත් කරනු ලැබූ හැඳුනුම්පත් මහජනයා වෙතින් ඔවුන්ගේ භාරයට ගත් අතර ඔවුන්ගේ නියෝග වලට අවනත නොවූ කලාකරුවන්, දේශපාලනඥයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, විවිධ වෘත්තිකයන් පමණක් නොව භික්ෂූන් වහන්සේලා ද ඝාතනය කළහ.

මෙම අරගලය පසුව අසාර්ථක වූ අතර අවසානයේ දී සිදුවූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ගමනායක ඇතුළු සාමාජිකයන් සියල්ලම සමූල ඝාතනය වීමය. සමහරු පිටරටට පලා ගොස් දිවි ගලවා ගත්හ.

මේ වන විට උතුරේ වෙනම රාජ්‍යයක් අවශ්‍යයයි කියමින් එල්ටීටීඊ සංවිධානයත් යුද්ධයක් දියත් කර තිබුණි. නමුත් එය සමස්ත රාජ්‍ය බලය පැහැර ගැනීමට ඉලක්ක කර ගත් අරගලයක් නොවීය.

ඊළඟට මෙවැනි බලහත්කාරයෙන් ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයක් ගැන තොරතුරු වාර්තා වන්නේ 1994 දීය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් වූ 1994 මහ මැතිවරණයට සමගාමීව මෙම කුමන්ත්‍රණ තොරතුරු හෙළි විය.

හිටපු යුද හමුදාපතිවරයකු වූ ලුතිනන් ජනරාල් සිසිල් වෛද්‍යරත්න මහතා මැතිවරණ සමයේ දී ආපසු ලංකාවට කැඳවූයේ පොදු ආණ්ඩු බලය ඩැහැගැනීමට යයි රජයට තොරතුරු වාර්තා වී තිබුණි. එයට අමතරව මැතිවරණයේ දී පලාලි යුද හමුදා කඳවුරේ පිහිටුවා තිබූ පොකුරු ඡන්ද මධ්‍යස්ථානවල දී එක්සත් ජාතික පක්ෂයට වාසි වන අන්දමින් බලෙන් ඡන්ද පෙට්ටිවලට ඡන්ද පත්‍රිකා ඇතුළු කළ බවට ද චෝදනා එල්ල වී තිබුණි. එහි දී ඇගිල්ල දික් වී තිබුනේ එවකට පලාලි හමුදා කඳවුරේ සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වූ බ්‍රිගේඩියර් සරත් ෆොන්සේකා මහතාටය.

මේ පිළිබඳව රහස් පොලිසිය විසින් ද පරීක්ෂණ පැවැත්වූ අතර පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව මේ පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා ගැනීම සඳහා කොමිසමක් පත් කරනු ලැබීය.

මෙම ජනාධිපති කොමිසම ඒක පුද්ගල වූ අතර අනුරාධපුර මහාධිකරණ විනිසුරුව සිටි ජි. එම්. සමරවීර මහතා කොමිසමේ සභාපති විය.

කොමිසමට සහාය වූයේ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී සිසිර මෙන්ඩිස් මහතාය. කොමිසමට පැමිණිල්ලෙන් සහාය වූයේ එවකට අධිනීතීඥ දැන් ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්නය. ඔහුගේ සහායට නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥ නිහාල් ජයසිංහ මහතා එක් විය.

මෙම කොමිසම හමුවට ජනරාල් වෛද්‍යරත්න හා බ්‍රිගේඩියර් සරත් ෆොන්සේකා ද කැඳවිණි. නමුත් එහි නිර්දේශ මොනවාදැයි අදටත් නොදනී.

මෙයින් පසු එළඹෙන්නේ වර්තමානයටය. 2015 ජනවාරි අට වැනි දා පැවැත්වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් සිටිය දී තමන්ගෙන් ගිලිහෙන බලය හමුදා බලය යොදවා තවදුරටත් තබා ගැනීමේ කුමන්ත්‍රණ කථාවක් මෙයට පසුබිම් වී තිබේ.

 



අදහස් (0)

එදා මෙදා කුමන්ත්‍රණ

චන්න Sunday, 15 February 2015 06:16 PM

බොහොම හොඳ ලිපියක්. සියලු කරුණු සහිතයි (නි)

:       0       0

විජයබාහු Monday, 16 February 2015 09:47 AM

මේකේ බාගයක් විතර කුමන්ත්‍රණ අඩු වගේ (අ)

:       0       0

සුමනදාස Sunday, 15 February 2015 08:48 AM

අතිශය වැදගත් ලිපියක්. ලංකාවේ දේශපාලනය ඊයේ ,අද , හෙට ගැන අදහසක් ගැනීමට අතීතය තුළින් පෙන්වාදෙන, වාර්තාමය අධ්‍යාපනික ලිපියක් ලෙස හැඳින්විය හැකියි (නි)

:       0       0

මීනු Sunday, 15 February 2015 09:26 AM

ලස්සන ඉතිහාසයක්. කියවන්නත් ආසයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 135 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 82 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 624 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1416 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 190 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 93 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site