IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘කදිරගාමර් ඝාතනයට හිටපු රජය සම්බන්ධයි‘ - අගමැති

මේ දිනවල කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදය සාමාන්‍ය ජනතාවට සේම දේශපාලඥයින්ටත් එකසේ පීඩාකාරී විය.

අගමැතිවරයා ඇතුලු රජයේ ප්‍රබල දේශපාලඥයින් කිහිපදෙනෙක් පසුගිය සතියේ දිනක කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රධානත්වයෙන් පාර්ලිමෙන්තු සංකීර්ණයේ පැවති හමුවකට සහභාගීව සිටියහ.හමුව අවසානයේ ජනපතිවරයාගේ නියමයෙන් සංවිධානය කර තිබූ සර්ව පාක්ෂික සමුළුවට එක්වීමට ඔවුහු ජනපති ලේකම් කාර්යාලය බලා යෑමට සූදානම් වූහ.නමුත් ඒ වන විට කොළඹ අධික රථවාහන තදබදය හමුවේ නියමිත වේලාවට එහි ළගාවීම කිසිසේත්ම කළ නොහැක්කක් වුනි.වහාම ගුවන් හමුදා මූලස්ථානය හා සම්බන්ධවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රුසියාවේ නිශ්පාදිත එම්.අයි 17 වර්ගයේ ප්‍රවාහන හෙලිකොප්ටරයක් ගෙන්වා ගැනීමට කටයුතු කළේය. පාඨලී චම්පික රණවක,විජයදාස රාජපක්ෂ, කබීර් හෂීම් සහ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුද එම අවස්ථාවේ අගමැතිවරයා සමග සිටියහ.ඔවුහු සියල්ලෝම හෙලිකොප්ටරයේ නැගීගොස් ජනපති ලේකම් කාර්යාලය අසල යුධ හමුදා ක්‍රීඩාංගනයෙන් බැස ගමන අවසාන කළහ.

රථවාහන තදබදයට විසදුම් සොයයි

රථවාහන තදබදයට පිළියමක් ලෙස පොලිසිය එක අතකට දිවෙන රථවාහන ධාවන සැළැස්මක් හදුන්වාදුනි.එය අතිශයින් සාර්ථක විනි යැයි පොලිස් රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස් පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පවසා සිටියද දින කිහිපයක ඇවෑමෙන් සැළැස්ම ඉවත් කර ගැනීමට සිදුවූයේ අපේක්ෂා කළ පරිදි රථවාහන තදබදය පාලනය වීමක් ඉන් සිදුනොවූ නිසාවෙනි.පැය ගණනාවක් දිගු රථවාහන පෝලිම් වලට වී සිටීමට සිදුවූයේ යැයි රියැදුරෝ චෝදනා කළහ.බස් වල ගමන් ගත් මගීන්ට පෙර පුරුදු නැවතුම් වල නොව වෙනත් නැවතුම් වලින් බසයෙන් බැසීමට සිදුවිය.එනිසාම ඇතැම්හු කාර්යාලයට ළඟාවීමට සැළකිය යුතු දුරක් ඇවිද ගියහ.මේ තත්ත්වය හමුවේ රජයේ උපදේශකයෝ යෝජනා කළේ මොනෝරේල් ප්‍රවාහන ක්‍රමයක් ශ්‍රීලංකාවට හඳුන්වාදීමට සුදුසු බවයි.එය ජපානයේ ආධාර ඇතිව ක්‍රියාත්මක කළ හැකියැයිද ඔවුහු කීහ.නමුත් ඊට විරෝධය පලකළ රජයේම සාමාජිකයින්ගේ අදහසවූයේ පොළවට ඉහළ තැනෙන විශේෂ මගක් මොනෝරේල් ක්‍රමයේදී භාවිතා වන බැවින් ආරක්ෂාව තකා ප්‍රවාහනය කෙරෙන මගීන් සංඛ්‍යාව සීමාකළ යුතු වන බවයි.මෙය කිසිසේත්ම රථවාහන තදබදයට පිළියමක් නොවනු ඇතැයිද ඔවුහු පවසා සිටියහ.ඔවුන් පෙන්වා දෙන දෙයහි පදනමක් නැතුවා නොවේ.උදාහරණයකින්ම පැහැදිලි කළහොත් දිනපතා උදෑසන මාලබේ සිට කොළඹට පැමිණෙන ජන සංඛ්‍යාව පමණක් 174000 ඉක්මවන්නකි.තවත් අය යෝජනා කළේ ජනපති ලේකම් කාර්යාලය පාර්ලිමෙන්තුව අසල පෙදෙසෙකට රැගෙන යාම සුදුසු බවය.

රථවාහන ගැටලුව ඇතුලු රටේ තවත් ගැටලු සම්බන්ධයෙන් ඇමැතිවරුන්ට තිබෙන විසඳුම් විමසා සිටීමට අගමැතිවරයා අපේක්ෂාවෙන් සිටී.මේ සඳහා අර්ධ කාලීන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් හඳුන්වාදීමේ සැළැස්මක් ඔහුට ඇත.මෙම සැළැස්ම ලබන මස 5 වැනිදා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.එයට එක් කළ යුතු යෝජනා වේ නම් ඒවා ලබාදෙන ලෙස අගමැතිවරයා ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනු ඇත.වැඩපිළිවෙල සකස් කළ පසු එය ජනපතිවරයා යටතේ ක්‍රියාත්මක වන ආර්ථික කලමණාකරණ කොමිසමේ අධීක්ෂණයට යොමුකෙරෙනු ඇත.මෙම කොමිසම රැස්වන්නේ මසකට වරකි.කොමිසමේ අනුමැතිය ලැබුණු පසු එම යෝජනා ලබන මස 20 වැනිදා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය වාර්තාවටද එකතු කෙරෙනු ඇත.

මෙම වැඩසහටන සම්බන්ධයෙන් දැනට දක්වා ඇති අදහස් වලට අනුව එහි අන්තර්ගත කෙරෙන එක් වැදගත් යෝජනාවක් වන්නේ ශ්‍රීලංකා ශ්‍රමිකයින් විදේශයන්හි සිට උපයන මුදල් මෙරටට එවීමේදී එම මුදල් වලට අයකෙරන බදු මුදල් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ යෝජනාවයි.මෙවන් වැඩපිළිවෙලක් සිංගප්පූරුවේ ක්‍රියාත්මක අතර ඒ අනුව මෙම යෝජනාව සකස් කෙරෙන බව සඳහන්ය.විදෙස් රටවල ගිණුම් හිමි, නමුත් එම රටවල පදිංචිකරුවන් නොවන ශ්‍රීලංකා ජාතිකයින්ට කිසිදු ගැටලුවකින් තොරව වෙනත් රටවලටද එම ගිණුම් වල මුදල් යැවිය හැකි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දැනටමත් පවසා ඇත.එවන් ගිණුම් වල මුදල් ශ්‍රීලංකාවේ ගිණුම් වලටද සෘජුවම එවිය හැකි බවද ඔහු කියා තිබේ.

මෙතෙක් ක්‍රියාත්මකවූ විදෙස් ප්‍රතිපත්තීන් ලිහිල් කරමින් සිටින අතරම විදෙස් රටවල පවත්වාගෙන යන අති විශාල මුදල් තැන්පතු ඇති බැංකු ගිණුම් සම්බන්ධ පරීක්ෂණ කටයුතුද රජය දිගටම ක්‍රියාත්මක කරමින් සිටී.විමර්ෂණ කටයුතු සිදුකෙරෙන බංකු ගිණුම් අතර පසුගිය රජයේ ප්‍රබලයින්ගේ නමින් ස්ථාපිත කර ඇති බැංකු ගිණුම් ප්‍රධානය.හිටපු රජයේ අති සුවිශේෂී පුද්ගලයෙකුගේ මෙවන් ගිණුමක් හිමි දේශපාලනයේ නියුතු පුත්‍රයෙක් ගැනත් එම ගිණුම අත්හිටුවීමට වත්මන් රජය ගනිමින් සිටිනා පියවර ගැනත් පසුගිය දෙසතියෙහි සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවලින් පැහැදිලිව විස්තර කෙරිණ.එමිරේට්ස් නැෂනල් බෑන්ක් ඔෆ් ඩුබායි බැංකුවෙහි ඇති මෙම ගිණුමේ දැනට ඩොලර් ලක්ෂ 5000 ක මුදලක් ඇතැයි පැවසේ.ගිණුම අත්හිටුවීමට ඩුබායි බලධරයින් හා කටයුතු කිරීමට ශ්‍රීලංකා රජයේ නියෝජනය ලෙස පත්කර සිටින්නේ නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතාය.වැලිඅමුණ හා සම්බන්ධවීමට සන්ඩේ ටයිම්ස් අප ගත් උත්හාසයන් ගැන පසුගිය සතියේ දේශපාලන තීරුවේ සඳහන් කෙරිණ.නමුත් මේ දක්වාම ඔහු ඒ කිසිවකටත් ප්‍රතිචාරයක් දක්වා නැත.එසේ වුවත් ඔහු පසුගිය ඉරිදා ප්‍රකට සිංහල පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ඩුබායි ගිණුම අත්හිටුවීමට එරට බලධරයින් විරෝධතාව පලකර ඇතැයි ඇතැම් ශ්‍රීලංකා මාධ්‍යයන් පලකර තිබෙන වාර්තා අසත්‍ය බවයි.නමුත් ඩුබායි නීතිපතිවරයා එම ගිණුම අත්හිටුවීමට විරෝධය පලකළ බවත් එ සඳහා හේතුව ලෙස ගිණුම් හිමිකරු බව කියන දේශපාලන පුත්‍රයාට එරෙහිව ශ්‍රීලංකාවේ කිසිදු පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවන්නේයැයි පෙන්වා දුන් බවත් ශ්‍රීලංකා රජයට දන්වා සිටියේ වැලිඅමුණම මිස අන් කිසිවෙක් නොවේ.එය එසේ නොවන්නේදැයි විමසීමට අපි කැමැත්තෙමු.මෙය වැලිඅමුණ වෙත අප ඉදිරිපත් කරන අභියෝගයකි.

ඩුබායි ගිණුම් ගැන රාජිතගේ අදහස්

මෙම ගිණුම ගැන වැඩිදුර තොරතුරු ජනතාවටද දැනගත හැකිවන සේ ප්‍රසිද්ධ කරන ලෙස ජනපතිවරයා වැලිඅමුණගෙන් ඉල්ලා සිටි බවද පසුගිය සතියේ දේශපාලන තීරුවේ සඳහන් විය.වැලිඅමුණ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණේ එසේ තොරතුරු හෙළිකළහොත් මේ දක්වා සිදුකර ඇති සියලු කටයුතු නිශ්ඵල වනු ඇතැයි කියමින්ය.සන්ඩේ ටයිම්ස් වෙත දැනගැනීමට හැකිවුනු පරිදි ඔහු ගෙවුනු සතියේ සිට ඇත්තේ රජයේ අති විශේෂ පුද්ගලයින් හා සම්බන්ධ වෙමින් තමන්ගේ පරීක්ෂණ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඉදිරි සති කිහිපයේදී සාර්ථක අවසානයක් දැකගත හැකිවනු ඇති බවත් කියමින්ය.ඒ අතරම බැංකු ගිණුම අත්හිටුවීමට ඩුබායි බලධරයින් විරෝධය දැක්වූ බව කියන මාධ්‍ය වාර්තා වල කිසිදු සත්‍යතාවක් නැතැයි ප්‍රචාරයක් ඔහු එළිපිටම ගෙන ගියේය.ඉදිරි විමර්ෂණ කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි දැනගැනීමට රජය මේ සම්බන්ධ වගකිවයුතු රාජ්‍ය ආයතනයන්ගෙන් විමසීමටත් එම ආයතනයන් මෙම විමර්ෂණ කටයුතු සඳහා එක්කර ගැනීමටත් රජය කටයුතු කරමින් සිටින බවද සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය.එය අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. ප්‍රමාද වුවත් එවන් ක්‍රියාමාර්ගයකට එළැඹීමට රජය කටයුතු කර ඇත්තේ පසුගිය සතිවල දේශපාලන තීරුවලින් අනාවරණය කෙරුණු තොරතුරු වලට අනුව බව පැහැදිලිය.

රජයේ කටයුතු සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ කාරයභාරය සුපුරුදු පරිදිම භාරගෙන සිටියේ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්නය.පසුගිය බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවේදී ඔහු සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවේ සඳහන්ව තිබූ කරුණු සත්‍ය බව

සනාථ කෙරෙන අදහස් පලකළේය.පහත දැක්වෙන්නේ එම මාධ්‍ය හමුවේදී මාධ්‍යකරුවන් කිහිපදෙනක් නැගූ පැනයන් හා ඔහු ඒවාට ලබාදුන් පිළිතුරුය.

පැනය - කළු සල්ලි තියෙනවා කියලා කියන ඩුබායි බැංකු ගිණුම අත්හිටුවන්න බැරි වෙලා නේද?

පිළිතුර - ඒක වැරදියි.එහෙම තියෙන්නේ පුවත්පත් වාර්තාවක.ආර්ථික පැත්තෙන් බැලුවොත් ඔතන තියෙන්නේ වෙනම කතාවක්.

පැනය - ඔබ ඉස්සෙල්ලා අවස්ථාවක කිව්වා මෙවන් බැංකු ගිණුම් 8 මේ වන විට හඳුනාගන්න හැකිවෙලා තිබෙන බව?

පිළිතුර - ඔව් ඒක හරි.විමර්ෂණ කටයුතු දිගටම සිදුවෙනවා.ඔවුන් අපට කියලා තියෙන්නේ දැනට තියෙන තත්ත්වයේ හැටියට ගිණුම අත්හිටුවන්න පුලුවන්කමක් නැහැ කියලා.අපිට ඒක අත්හිටුවන්න වුවමනා නැහැ.නමුත් අපට වුවමනායි විස්තර හොයාගන්න.ඒ විස්තර රටට වැදගත්.

පැනය - ඒත්,කෙරිලා තියෙන හරිය මදි වගේ නැද්ද?

පිළිතුර - ඒක එච්චර සැළකිය යුතු දෙයක් නොවෙයි.ඔවුන් කියලා තියෙන්නේ විමර්ෂණ කටයුතු අවසාන වෙනකන් ගිණුම අත්හිටුවන්න පුලුවන්කමක් නැහැ කියලා.ඒක හරි ඔවුන්ගේ නීති වල හැටියට.

පැනය - මේ විමර්ෂණ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ඔබ තෘප්තිමත්ද?

පිළිතුර - ඔව්.අප පිටත ඉදන් විමර්ෂණ කටයුතු සිදුකරමින් සිටින්නේ.අපේ නීතිඥවරුන් තමයි එම කටයුතු භාරව ඉන්නේ.

පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවේද සඳහන්ව තිබූයේ සේනාරත්න පවසන ආකාරයටම පවතින තත්ත්වය හමුවේ බැංකු ගිණුම අත්හිටුවීමට ඩුබායි බලධරයින් කටයුතු කරනු නැත යන්නයි.නමුත් වැලිඅමුණ අනෙක් පසින් සිංහල ටැබ්ලොයිඩ් පුවත්පතකට ප්‍රකාශයක් සිදුකරමින් පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ ඉල්ලීම ඩුබායි බලධරයින් ප්‍රතික්ෂේප කර නැතැයි යන්නයි.දෙදෙන සිදුකර තිබෙන ප්‍රකාශයන් එකිනෙකට පරස්පරය.

එක් පසෙකින් මෙම කටයුතු සිදුවෙමින් පැවතියදී අනෙක් පසින් අගමැතිවරයා ජගත් මානව හිමිකම් කවුන්සිල වාර්තාව විවාදයට ගැනුණු පසුගිය සිකුරාදා පාර්ලිමෙන්තුව අමතමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේය.2005 වසරේදී ඝාතනයට ලක්වූ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා සම්බන්ධ සිදුවීමේ කරුණු රැසක් ඔහු හෙළිකළේය.කදිරගාමර් ඝාතනයෙන් මාස 4 කට පසු එල්.ටී.ටී.ඊ යට මුදල් ලබාදීමක් සිදුව ඇති බවත්,එම කාලය ආසන්නයේදීම පැවැත්වුනු ජනාධිපතිවරණයේදී එල්.ටී.ටී.ඊ ය උතුරේ ජීවත්වූ ජනතාව බලහත්කාරයෙන් ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැක්වීම නිසා මහින්ද රාජපක්ෂ මහතා ජය ලැබ තමන් පරාජය වූ බවත් ඔහු කියා සිටියේය.මෙම සිදුවීම් සහ එල්.ටී.ටී.ඊ යට මුදල් ලබාදීම අතර සම්බන්ධයක් ඇත්දැයි විමසා සිටි අගමැතිවරයා ගනුදෙනුව සිදුව ඇත්තේ පසුගිය රජය සමයේ හිටපු ජනපතිවරයාගේ කාර්යාලය ලෙස භාවිතයට ගැනුනු අරලියගහ මන්දිරයේදී යැයිද චෝදනා කළේය.තමන්ගේ චෝදනා වලට හිටපු ජනපතිවරයා පිළිතුරු දිය යුතුව ඇතැයිද ඔහු කීවේය.සිකුරාදා සවස්වරුවේ පාර්ලිමෙන්තුව ඇමතීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට විනාඩි 15 ක කාලයක් වෙන්කර තිබුණද ඔහු පාර්ලිමෙන්තුවට පැමිණියේ නැත.එම කාලය ලබාගත්තේ මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාය.

පාර්ලිමෙන්තුව අමතමින් අගමැතිවරයා කළ ප්‍රකාශයේ වැදගත් කරුණු කිහිපයක් මෙසේය.

‘‘ ජිනීවා යෝජනාවලින් අපට ලැබිලා තියෙන්නේ ඉස්සරහට යන්න අවස්ථාවක්.මේ උදව්වෙන් රට සංවර්ධනය කරගන්න අප සියලුදෙනාම එක්විය යුතුයි.බිදුණු හදවත් සුවපත් කරගන්නත්,ප්‍රජාතන්ත්‍රවාදය නැවත වරක් ස්ථාපිත කරගන්නත් මීට වඩා හොද කාලයක් අපට නැහැ.ජනතාව අතර විශ්වාසයක් තිබෙනවා අප දේශපාලනමය වශයෙන් නොබෙදී එකට එක්වී වැඩකරාවිය කියලා.රට ඉස්සරහට ගෙනයාමට හැකි ප්‍රතිප්තිතයක් ක්‍රියාවට නැංවේවි කියලා ඔවුන් අතර බලාපොරොත්තුවක් තිබෙනවා.‘‘

‘‘අද අපි වැඩකරන්නේ ව්‍යවස්ථාවට අනුව.කවුද මොටූ නොගුචිට ශ්‍රීලංකාවට එන්නය කියලා ආරාධනා කළේ? මම ගාව සම්පූර්ණ වාර්තාව තියෙනවා.ආරාධනාව කරලා තියෙන්නේ අපේ හිටපු විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස් ඇමැතිවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පිට.ඔහුට මෙහෙ එන්න කියලා තියෙන්නේ ජනවාරි 10 වැනිදාට.මේ අය ජනපති මෛත්‍රීපාල සිරිසේනව,චන්ද්‍රිකා බණ්ඩාරනායකව,රනිල් වික්‍රමසිංහව හංවඩු ගහනවා ද්‍රෝහියෝ කියලා.නමුත්  එහෙම කිය කියම ඔවුන් සූදානම් වෙලා පරීක්ෂණ කටයුතු ඡන්දයෙන් පස්සෙ පටන්ගන්න.කවුද කිව්වේ නගුචිට එන්න කියලා? එයා ඩෙස්මන්ඩ් සිල්වා වගේ නීතිඥයෙක්ද? නැහැ.ඔහු තමයි අන්තර්ජාතික අපරාධ අධිකරණයේ තිබෙන දුගතියට පත්වූවන්ගේ අරමුදලේ ප්‍රධානියා.ඔහු ජපානයේ නීති කටයුතු පිළිඹද ප්‍රධාන කාර්යාලයේ සේවය කරන විශේෂ නීතිඥයෙක්.මහාචාර්ය පීරිස් මොහුට ආරාධනාව සිදුකරලා තියෙන්නේ 2014 අප්‍රේල් 14 වැනිදා.‘‘

‘‘මොකක්ද විසඳාගන්න තියෙන ගැටලුව? 2005 අගෝස්තු මාසයේ එවක හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය වුනා.මාස 4 කට පස්සේ එල්.ටී.ටී.ඊ යට සල්ලි වගයක් දුන්නා.එයින් පස්සේ උතුරේ ඡන්ද දායකයින් ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් ජයගත්තා.කදිරගාමර්ගේ ඝාතනයයි මේකයි අතර සම්බන්ධයක් තියෙනවාද.? අපට එක සැරේට නැහැ කියන්න හැකියාවක් නැහැ.අපි දන්නවා ඝාතනයට වගකියන්න ඕනේ එල්.ටී.ටී.ඊ ය කියලා.අපි දන්නවා මේ ගැන සාකච්ඡා පවත්වලා තියෙන්නේ අරලියගහ මන්දිරයේදී කියලා.ඝාතකයින්ට මුදල් ලබාදීමක් සිදුවුනාද? දැන් මේ අය මෙහෙම දගලන්නේ ඔය ඔක්කොම තොරතුරු කොමිසමේදී එළිවේවි කියලා බයටද? ඒකයි අපිට තියෙන ගැටලුව.‘‘

‘‘එයින් පස්සේ එල්.ටී.ටී.ඊ ය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනුනේ නැහැ.ඇයි මාලවි ආරු සොරොව්ව අල්ලා ගත්තේ ඔවුන්? මේ කාලයේ රජයේ සාමාජිකයින් අතර ගැටුමක් සිදුවෙමිනුයි තිබුණේ.ජාතික හෙළ උරුමයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක්,තවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඇතුලුව ආරක්ෂක අංශත් මේකට විරෝධය පලකළා.ගරු අතුරලියේ රතන හාමුදුරුවෝ  එතැනටම ගිහිල්ලා  රජයට විරෝධය දැක්වුවා එල්.ටී.ටී.ඊ යට එරෙහිව පියවර ගත්තේ නැහැ කියලා.එක සැරේට යුද්ධය පටන්ගත්තා.‘‘

‘‘එයින් පස්සේ මොකද වුනේ? එල්.ටී.ටී.ඊ ය ලක්ෂ 3 ක් විතර සිවිල් වැසියන් ප්‍රාණ ඇපයට ගත්තා.මේ කාලයේ ඔවුන් සිටියේ වන්නියේ.පස්සේ ඔවුන් මුලතිව් වලට ගියා.ඊළගට කිලිනොච්චිය අල්ලා ගත්තා.එල්.ටී.ටී.ඊ ය සිවිල් වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ නැතිනම් තත්ත්වය මෙච්චර දුරදිග යන්නේ නැහැ.කොහොම වුනත් මේක එක හේතුවක් විතරයි.අනෙක් හේතුව වුනේ ඉන්දියාවේ මැතිවරණය.ඔවුන් සිතුවා භාරතීය ජනතා පක්ෂය තමිල්නාඩුවේ ජයලලිතාගේ සහය ඇතිව රජයක් පිහිටුවාවි කියලා.ඉතින් රජය හමුදාවට අණ දුන්නේ ඉන්දියා මැතිවරණ වලට ඉස්සෙල්ලා යුද්ධය ඉවරයක් කරන හැටියට.‘‘

‘‘හමුදාව ඒ විදිහට කටයුතු කළා.සුදු කොඩි සිද්ධිය ආවේ පස්සේ.එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සුදු කොඩි අරගෙන එනකොට එම අවස්ථාවේ හමුදාවේ අණ දෙන්නා තමයි තීරණය කළ යුත්තේ මේ අය පැමිණෙන්නේ ඇත්තටම යටත්වෙන්නද,එහෙමත් නැතිනම් යටත් වෙනවා වගේ ඇවිල්ලා පහර දෙන්නද කියලා.නමුත් මේ අවස්ථාවේ හමුදාවට අණ ලැබුණේ කොළඹින්.ඒ අණ යුද පිටියේදී ගත්තු අණක් නෙවෙයි.ඇයි මේක මෙහෙම වුනේ? කවුරුන්ද ඔවුන්ට ගලවා ගැනීමට වුවමනා වුනේ? ඒ අයට වුවමනා වුනේ පුලිදේවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න.මේ පුද්ගලයා තමයි උතුරේ ජනතාවට කිව්වේ ජනපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින්නය කියලා.අපි මේ කතා කරන්නේ ඇත්ත.මෙතන ඉල්ලවා කට්ටිය මේ ගැන හොදට දන්න.දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයින් එහෙම මේ ගැන හොඳට දන්නවා.ඔවුන් මෙතන කතාකරන්නේ අහිංසක මිනිසුන් ආරක්ෂා කිරීමක් ගැන.නමුත් මොකක්ද ඇත්ත කතාව.ඇයි පුලිදේවන්ව ආරක්ෂා කරගන්න ඔවුන්ට වුවමනා වුනේ? මම කැමති නැහැ මොන මිනිහා වුනත් මැරෙනවට.නමුත් දෙමළ ජනතාවගේ විනාශයට මග පාදපු මිනිහෙක් තමයි පුලිදේවන් කියන්නේ.‘‘

‘‘පුලිදේවන් උතුරේ වැඩ ටික කරලා දුන්නේ නැත්නම් හිටපු රජයට බලයට එන්න බැහැ.සුදු කොඩි රැගෙන ආපු අය බේරාගන්නවාද නැද්ද කියන තීරණය ගන්න අයිතිය හරිනම් තියෙන්න තිබුණේ හමුදාවට.මේ ඔක්කොටම පස්සේ ශ්‍රීලංකාවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා ආවා.ඔහු හා රජය අතර එකගතාවක් ඇතිවුනා.ඒ එකගතාවයේදී හිටපු රජය එකගවුනේ මානව හිමිකම් කඩවීමේ සහ අන්තර්ජාතික මානවවාදී නීතිය උල්ලංඝණය කිරීම් ගැන නැගිලා තිබෙන චෝදනා විමර්ෂණය කරන්න.මේකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුනා.මෙයින් පස්සෙත් හිටපු රජය එක්සත් ජාතීන්ගේ ත්‍රිපුද්ගල කමිටුවක්,දරුස්මාන් කමිටුව ඉදිරියට ගිහිල්ලා කිව්වා අපේ රටේ හමුදාව නීති කඩකර තිබෙනවානම් සිවිල් හෝ හමුදා නීතිය යටතේ වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙනවා කියලා.මේ ඔක්කොම කරලා දැන් ඔවුන් මෙතන කිඹුල් කදුළු හෙලනවා ආරක්ෂක අංශ ගැන කිය කිය.‘‘

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ්‍රීලංකාවට පැමිණි 2009 මැයි මස 23 වැනිදා ඒ සම්බන්ධයෙන් පලවූ වාර්තාවල අගමැතිවරයා පාර්ලිමෙන්තුවේ කළ ප්‍රකාශය සනාථ කෙරෙන කරුණු අන්තර්ගතය.චෝදනා විමර්ෂණය කිරීමට ඉතාම වගකීමෙන් කැපවන බවටත්,මානව හිමිකම් නගා සිටුවීමට කටයුතු කරන බවටත් ශ්‍රීලංකාව පොරොන්දුවූ බව එම වාර්තා වල සඳහන්ව ඇත.

‘‘ අපි දන්නවා ෂීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාව හිරේට දැම්මේ කොහොමද කියලා.ජනපතිවරණයට පස්සේ ෆොන්සේකා මහතාට ආරක්ෂාව සැපයිය යුතුයැයි මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කරලා තිබියදී ඔහුගේ ආරක්ෂාවට සිටි භටයින්ව බලහත්කාරයෙන් ඉවත් කරලා ඔවුන්ව සිනමන් හෝටලය ඉස්සරහා දණගස්වපු හැටි ගැන අපි දන්නවා.මොකක්ද ඔවුන් කළ වරද? ඔවුන් තමයි අපි වෙනුවෙන් සටන් වැදුණේ.හමුදාව ගැන කතාකරන්න කලින් ඒ අයගෙන් සමාව අරන් ඉන්න.අද කවුද ඉන්නේ මේ යෝජනාකරලා තියෙන යාන්ත්‍රණයට විරුද්ධ? එල්.ටී.ටී.ඊ යට ආධාර කරන ඩයස්පෝරා කණ්ඩායම්,තමිල්නාඩුවේ සහ ශ්‍රීලංකාවේ ඉන්න දැඩි මතධාරී දෙමළ සංවිධානයන්  ඒ එක්කම මේ අලුතින් කොළඹ හැදිලා ඉන්න දේශප්‍රේමී කණ්ඩායම තමයි මේ යාන්ත්‍රණයට විරුද්ධව ඉන්නේ.‘‘

‘‘මේ කණ්ඩායම තමයි කදිරගාමර්ගේ ඝාතනයෙන් පස්සේ එකට එකතුවුනේ.මේ අය තමයි යෝජනාවලියට විරුද්ධ වුනේ.කට්ටියට තියෙන්නේ පොදු අරමුණක්.රට බෙදිලා හරි කමක් නැහැ තමන්ට තියෙන වරප්‍රසාද ටික ආරක්ෂා කරගන්න විතරයි මේ අයට වුවමනා.අපට ජනවාරි මාසයේ ජනවරමක් ලැබුණේ ඇත්ත හෙළිකරපු හින්දා.අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතිකරන්නයි අපට මේ වරම ලැබුණේ.අපේ ගමනට බාධා කරන්න කාටවත් බැහැ.ජනපති සිරිසේනගේ නායකත්වය යටතේ අපි ඉදිරියටම යනවා.මේ යාන්ත්‍රණය සකස් කරන්නේ අපිමයි.ඔබේ වටිනා අදහස් වලටත් අපි විවෘතයි.ආගමික නායකයින්ගේ නායකත්වයෙන් පිහිටුවලා තියෙන කවුන්සිලය අලුත් අදහසක්.මේ ගැටලුව විසදාගන්න අපි ඔවුන්ගේ උපදෙසුත් ලබාගත යුතුමයි.‘‘

කොමිසම් වාර්තා පාර්ලිමෙන්තුවට

විවාදයට දිනකට පෙරාතුව අගමැති වික්‍රමසිංහ කොමිසම් වාර්තා දෙකක් පාර්ලිමෙන්තුවේ සභාගත කළේය.ඉන් එකක් වූයේ හිටපු මහාධිකරණ විනිසුරුවරයෙක් වන මැක්ස්වෙල් පරණගම මහතා සකස් කළ වාර්තාවයි.අනෙක වූයේ විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු නිස්සංක උදලාගම මහතා ප්‍රධානත්වයෙන් සකස් කෙරුණු වාර්තාවයි.පරණගමගේ වාර්තාවෙන් නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට අන්තර්ජාතික සහය ඇතිව ක්‍රියාත්මක වන දේශීය යාන්ත්‍රණයක් භාවිතයට ගතයුතුව ඇතැයි නිර්දේශ කර ඇත. කදිරගාමර් ඝාතනය,එල්.ටී.ටී.ඊ යට මුදල් ලබාදීම,සහ බලහත්කාරයෙන් උතුරේ ජනතාව ඡන්දය භාවිතා කිරීමෙන් වැළැක්වීම යන චෝදනාවන් මෙම යාන්ත්‍රණය යටතේ විශේෂයෙන් විමර්ෂණය කිරීමට නියමිතය.මෙම ගනුදෙනුව හවුල්වී ඇතැයි චෝදනා ලැබ සිටින රාජපක්ෂ පවුලේ සාමාජිකයින්වද ප්‍රශ්න කිරීමට කැඳවෙනු ඇත.මේ හා සම්බන්ධවූ තවත් අයද ප්‍රශ්න කිරීම් වලට ලක්වනු ඇති අතර ඔවුන් අතරින් ප්‍රධාන තැනක් දිවයිනේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන ටිරාන් අලස් මහතාට හිමිවනු ඇති ලකුණු තිබේ.මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී තමන් එතැන සිටි බව ඔහු වරක් ප්‍රසිද්ධියේම කීවේය.මේ හමුවේ ඉදිරි සමය මහින්ද රාජපක්ෂට පීඩාකාරී කාලයක් වනු ඇතැයි අමුතුවෙන් කිව යුතු නැත.බොහොමයක් පරීක්ෂණ සිදුවන්නේ හෝ සිදුවීමට නියමිතව තිබෙන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ කටයුතු අරබයාය.මේ හමුවේ ඔහු තමන්ගේම පක්ෂයෙන්ද කොන්වී සිටී.සියල්ලන්ගෙන්ම වසන්වී සිටීමටද ඔහු උත්සාහ දරන බව සිකුරාදා දිනයේ ඔහුට පාර්ලිමෙන්තුවේ අදහස් දැක්වීමට අවස්ථාව වෙන්කර තිබියදී එය මගහැරීමෙන්ම පැහැදිලි වන්නකි.

අවන්ගාඩ් පරීක්ෂණ

මේ දිනවල රජයේ අවධානය යොමුව තිබෙන තවත් කටයුත්තක් වන්නේ අවන්ගාඩ් අවි නැව සම්බන්ධ පරීක්ෂණයන්ය.සැප්තැම්බර් 15 වැනිදා රතු මුහුදේ වරායකින් පිටත්ව තිබෙන මෙම නෞකාව ඔක්තෝබර් 13 වැනිදා ගාලු වරායට ළඟාවිය.පොලිස්පතිගේ නියමයෙන් නැව සම්බන්ධ පරීක්ෂණ කටයුතු දැන් භාරකෙරී තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවටය.

නැවේ තිබුණු අවි සම්බන්ධයෙන් අවන්ගාඩ් හිමිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් මත කිහිපයක්ම මේ වන විට ඉදිරිපත්ව තිබේ.කොටසක් කියනුයේ නෞකාව නාවික හමුදා අත්අඩංගුවට පත්ව තිබෙන්නේ අන්තර්ජාතික මුහුදු සීමාවේදී බවත් එය නීති විරෝධී බවත්ය.නමුත් අනෙක් කොටස කියනුයේ එම අවස්ථාවේදී නැව ශ්‍රීලංකා ධජය පිහිටුවාගෙන යාත්‍රා කරමින් තිබූ නිසා අන්තර්ජාතික මුහුදු සීමාවේ තිබුණද එය අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට අයිතියක් තිබෙන බවයි.රේගු තොරතුරු වලට අනුව නෞකාවේ හිමිකරු ලෙස සඳහන් වන්නේ අවන්ගාඩ් සමාගමයි.එහි කපිතන් ලෙස කටයුතු කර තිබෙන්නේ ගෙනඩි ගැරිලොව් නම් යුක්රේන ජාතිකයෙකි.ප්‍රවාහන භාණ්ඩ ලෙස ටී 56 ගිනි අවි 549 ක් (550 ක් සොයාගැනිණ) අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි 264 ක්,උණ්ඩ 173693 ක් (175694 ක්  සොයාගැනිණ) සහ තවත් උණ්ඩ වර්ග ඇති බව එම වාර්තාවන්ගේ සඳහන්ය.නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග වලට අනුව රක්නා ආරක්ෂක ලංකා සමාගමට අයත් ගිනි අවි 400 ක් සහ වෙනත් විදේශ ආයතනයන් කිහිපයකට අයිත් බව අනාවරණයවූ ගිනි අවි 600 ක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇත.මෙම ගිනි අවි අතරින් 59 ක් ලියාපදිංචි කර නොමැති බවද සඳහන්ය.

‘‘මේ අවි කාට අයිතිද කියලා අපි දැන් සොයාබලමින් ඉන්නේ‘‘.

එවන් එක් ආරංචි මාර්ගයක් පැවසීය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට සොයාගැනීමට හැකිව ඇති ආකාරයට ආරක්ෂක අමාත්‍යංශය නෞකාවට අවසරදී ඇත්තේ ගිනි අවි 100 ක් සහ 60000 කට නොඅඩු උණ්ඩ තොගයක් පමණක් දිවයිනට ගෙන ඒමටය.නමුත් පොලිස් හා රේගු වාර්තාවන්ගේ සඳහන්ව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තොරතුරුය.

පසුගිය සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේ ජනපති සිරිසේනද අවන්ගාඩ් පරීක්ෂණ සම්බන්ධයෙන් විශේෂ සඳහනක් සිදුකළේය.අවි රටට ගෙන ඒමට අවසරය ලබාදුන් බව කියන ආරක්ෂක අමාත්‍යංශයේ මධ්‍යම ශ්‍රේණියේ එක්තරා නිලධරයෙක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ කටයුතු තමන්ගේ නියමයෙන් සිදුවෙමින් පවතින බව ඔහු කීය.

ඉදිරි සති කිහිපය රජයට තීරණාත්මක කාලයකි.පෙරලිකාරී යැයි කියන අයවැය වාර්තාවක් නොවැම්බර් 20 වැනිදා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.නමුත් එයින් සාමාන්‍ය සහ වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවන් සපුරා ඇත්දැයි යන්න ගැටලුවකි.ඩොලරයේ අවප්‍රමාණය වීමත් සමග පහත ගොස් ඇති රුපියලේ වටිනාකම නිසා දෛනික බඩු බාහිරාදියෙහි සිට ඖෂධ දක්වා සියල්ලකම මිල ඉහළ ගොස් ඇත.වංචා කරුවන් හා දූෂකයින් නීතියේ රැහැනට හසුකරගන්නා බව කියමින් බලයට පත්වූවද තවමත් දැනෙන යමක් කිරීමට රජය අපොහොසත්වීම ජනතාව තවත් කලකිරවීමට පත්කර ඇත.වෘත්තීය නොවන මට්ටමින් කටයුතු කරන්නට යාමෙන් ජනතාව අතර මහත් ප්‍රසාදයක් අත්කරගත හැකිව තිබූ ඩුබායි බැංකු ගිණුම් අත්හිටුවීමේ උත්සාහය ව්‍යාර්ථවීමද රටේ වත්මන් තත්ත්වය සැළකූ විට රජයට මහත් පාඩුවකි.

ශ්‍රීලංකාවේ ජර්මන් තානාපතිවරයා පසුගිය දිනෙක කොළඹදී විශිෂ්ට දේශනයක් සිදුකළේය.විදෙස් සෘජු ආයෝජනය ගෙන්වා ගැනීමට අවශ්‍ය වන විධිමත් ආර්ථික ප්‍රතිපත්ති රජය තවමත් ක්‍රියාවට නංවා නොමැති බව ඔහු කීවේය.කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 48 දෙනෙක් (දැන් 49) සිටියත් ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් සැළකිය යුතු කිසිවක් ක්‍රියාවට නැංවී නැතැයි ඔහු කීවේය.ඔහු ආර්ථික කටයුතු පිළිඹඳ යම් දැනුමක් ඇති අයෙක් ලෙස සැළකෙන හෙයින් ඔහුගේ අදහස් සුළුකොට තැකිය නොහැක.

ජනතාව බලාපොරොත්තු වන්නේ එදිනෙදා වියහියදම් වල අඩුවකි,ජීවත්වීමට සහනයකි.එය කෙතරම් දුරට ඔවුන් වෙනුවෙන් ඉටුකළ හැකිදැයි යන්න රජය හමුවේ ඇති අභියෝගයයි.

 

 

 



අදහස් (0)

‘කදිරගාමර් ඝාතනයට හිටපු රජය සම්බන්ධයි‘ - අගමැති

සදුන් Monday, 26 October 2015 02:13 AM

නොදන්නාකමට අහන්නේ. එතකොට දැන් ඉන්න ගොඩක් අය පහුගිය රජයේ හිටියේ නැද්ද? (නි)

:       0       0

මංගල Monday, 26 October 2015 02:21 AM

අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

සමන් - ඕස්ට්‍රේලියා Monday, 26 October 2015 02:21 AM

කදිරගාමර් මියගියේ අගෝස්තු 2005 දී. මහින්ද පත්වුණේ නොවැම්බර් 2005 දී. එහෙම නේද? (නි)

:       0       0

යෙනුර Monday, 26 October 2015 03:32 AM

මම නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)

:       0       0

සෙනරත් ඒ. Monday, 26 October 2015 03:33 AM

1983 ඉඳලා 1994 වෙනතුරු හරියට යුද්ධයට පිළියමක් දුන්නේ නැති නිසා තමයි එල්ටීටීඊ එක මේ තරම් ප්‍රබල වෙලා වටිනා මිනිස්සු රටට අහිමිකරලා, රටත් පරිහානියට ලක් කළේ. යුද්ධය අවසන් නොකළාට චන්ද්‍රිකාලත් වගකියන්න ඕනෑ. (නි)

:       0       0

රණසිංහ Monday, 26 October 2015 03:43 AM

ප්‍රභාකරන්ගේ ඝාතනයටත් හිටපු රජය සම්බන්දයි වහාම ඔවුන්ට දඬුවම් කරන්න ඕනේ. අනේ මොකට කියනවද එතකොට බටලන්දටත් මහින්දද වග කියන්න ඕනේ. ...(රේ)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 26 October 2015 03:51 AM

" අන්තෝ ජටා - බහි ජටා" අපි අසා සිටින්නම් අවසන් වෙන තුරු ඔබේ කතාබහ.අනෙකා ගොලුවී සිටින තුරා.....(රේ)

:       0       0

පියුමි Monday, 26 October 2015 05:34 AM

රනිල් හිතා ගන්න කියන බොරුවට එතරම් අායුෂ නැහැ කියලා. තමන්ටත් ඔය පුටුව දීල යන්න වෙනවා කියලා. ඒ නිසා හදවතට එකගව වචන පිට කලොත් හොදා. ජනතාව ගොන්නු නෙවේ කියලත් මතක තිය ගත්තොත් හොදා. (රේ)

:       0       0

දිමන්ත Monday, 26 October 2015 01:23 PM

කෙළවරක් නැති ප්‍රශ්න. (ර)

:       0       0

අමල් Monday, 26 October 2015 05:46 AM

අනේ මන්දා... (ර)

:       0       0

මහින්ද Sunday, 25 October 2015 12:46 PM

බොරු කියවනවා කෙරෙන වැඩක් නැත (බ)

:       0       0

අසංග Sunday, 25 October 2015 01:48 PM

එතකොට කොටි නිර්දෝෂි. අනේ මෙහෙමත් වැඩ. කොටි නිදොස් හමුදාව වැරදි. යහපාලනේ කියන්නේ මේකද. (බ)

:       0       0

ද සිල්ව බර්ලින් Sunday, 25 October 2015 01:58 PM

එමිරේට්ස් වල නීතිපති කියන කතාව සාධාරණය මේ ගොල්ල මොකටද බළලුන්ට කියල කොස් ඇට බාවන්න හදන්නේ ඇත්තටම එහෙම ගිණුමක් තිබෙනවා නම් මේවා පත්තර වල දමන්න කලින් රහස් පොලිසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කරලා මේ තොරතුරු එමිරේට්ස් නීති පති දෙපාර්තමේන්තුවට ඉන්ටෙර්පොල් හරහා බාරදීලා ප්‍රභූ දේශපාලක පුතා සැක පිට අත්අඩංගුවට අරගෙන නඩු දමන්න පුළුවන්කම තිබෙනවා නේද ? කොටින්ට සල්ලි දුන්නනම් ටිරාන් අලස් එක දන්නවනම් මෙයට සම්බන්ධ පුද්ගලයන්ට විරුධව පරීක්ෂණ ආරම්භ කරන්න බැරි මොකද ? මේදක්ව සැලකිය යුතු හොරෙක් අල්ල ගන්න බැරි මොකද ? එක්කෝ මේගොල්ල කියන කතා බොරු එහෙම නැත්නම් හොරු අල්ලන්න මෙගොල්ලට උවමනාවක් නැත . (රේ)

:       0       0

සරත් Monday, 26 October 2015 06:57 AM

මේවට කියන්නේ කයිවාරු දේශපාලනය කියල. (ම)

:       0       0

සෙනරත් Sunday, 25 October 2015 03:06 PM

බොරු කීපයක් ගොතා නිතර නිතර එයම ජනතාවට කියවමින් සිටින විට එය ඇත්තක් විය යුතුයයි ජනතාවට සිතේ. මෙම ක්‍රමය 1945 දී ජර්මනියේ හිට්ලර් විසින්ද ජනතාව පෙළගැස්වීමට යොදාගත් බව පැවසේ. (බ)

:       0       0

නාමල් Sunday, 25 October 2015 03:20 PM

සිල්වා පෙර රෙජිමයේ ගිනුම් තියෙන බව ඇත්ත... ඩුබායි වල පමනක් නොවේ බහාමාස්, ශීෂෙල්ස් හා සැන්මැරීනෝ යන රාජ්‍යවල මේ අයට අයිති ගිනුම් තියෙනවා... නමුත් ඒ රටවල ලන්කාව කී පලියට තම රටවල නීත්‍යානුකූලව අරභා ඇති ගිනුම් තහනම් කරන්නේ නෑ.. ඒවායේ අයිතිකරුවන් තැන්පත් කර ඇත්තේ අයතා ලෙස උපයා ගත් ධනය බව ඒ රටේ අධිකරනයට ඔප්පුකර පෙන්විය යුතුයි... ඒකට අවශ්‍ය ශාක්ෂි ගොනුකිරීම තමා එෆ්.සීඅයිඩීය දැන් කරන්නේ... තව මාස කිහිපයක් ඉවසල ඉන්න..,..(රේ)

:       0       0

සුපුන් Monday, 26 October 2015 07:42 AM

ඔහොම කතා කියන්න එපා මහත්තයෝ. අපි දන්නවා ඇත්ත (නි)

:       0       0

දුමින්ද Monday, 26 October 2015 07:47 AM

අතීතයට දොස්කීම පමණක් අනාගතයට ප්‍රමාණවත්ද? (නි)

:       0       0

නිහාල් Monday, 26 October 2015 07:53 AM

කවුද මේ . (අ)

:       0       0

ඒ.ජේ. තිලකරත්න Monday, 26 October 2015 08:01 AM

කොළඹ ඇති වාහන තදබදය සහ වෙනත් යල්පැනගිය භෞමික ගැටළු සඳහා ස්ථිර විසඳුමක් ලෙස යාපනය හෝ ඒ ආසන්නය අගනුවර කරමුද අපි? (නි)

:       0       0

කවින්ද Monday, 26 October 2015 07:58 AM

දැන්නම් අපි දීපු ඡන්ද ගැන නැවත සළකා බලන්න වෙනවා (නි)

:       0       0

අසංක Monday, 26 October 2015 08:04 AM

හොද ලිපියක්. (ර)

:       0       0

ප්‍රසන්න Sunday, 25 October 2015 04:23 PM

මෙයාගේ වෑයම තමා විපක්ෂයේ ප්‍රධාන දේශපලකයන් දඩයම් කරලා විපක්ෂය විනාශ කරලා බලයේ රැදී ඉන්න එක.මෙයා හොඳටම දන්නවා ඊලග චන්දෙදි ගෙදර යන්න වෙන බව...(රේ).

:       0       0

අමාලි Monday, 26 October 2015 08:13 AM

කදිරගාමර්, හොද මහත්මයෙක්. (ර)

:       0       0

ගාමිනි Sunday, 25 October 2015 05:11 PM

නාමල් ඔයා මංගලගේ අරය නේද අනේ මට ඔයා ගැන දුකයි (රේ)

:       0       0

කරු පෙරේරා Sunday, 25 October 2015 05:15 PM

මගේ මතකයේ හැටියට කදිරගාමර් මහත්තයගෙ මරණය සිද්ද වුනේ චන්ද්‍රිකා ගෙ කාලයේ.ඒක හරිනම් ඒවාට මහින්ද මහත්තයා වග කියන්න ඕනද? (රේ)

:       0       0

නිර්මල Sunday, 25 October 2015 07:26 PM

ලංකාවේ ඉන්නේ කොහොම අය කියලද හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

පුලාරා Sunday, 25 October 2015 07:37 PM

නාමල් වගේ අය බයිලා කියනවා. රටේ ආර්ථිකය දවසින් දවස යටයනවා. ඒවා වහගන්න පරණ වංචා ගැන කියමින් දවස් ගෙවනවා. (නි)

:       0       0

ඒකනායක Sunday, 25 October 2015 08:30 PM

ඉතා හොඳ විශ්ලේෂණාත්මක ලිපියක් (නි)

:       0       0

ලියෝන් ගුනවර්දන Sunday, 25 October 2015 08:30 PM

ඉහත සටහනේ දැනට රජය සහ ජනතාව ඉදිරියේ ඇති විවිධ ප්‍රශ්න ගැන මත දක්වා ඇති බව පෙනේ. රටේ සම්පත් සුරාකන්නන්ට නිසි දඩුවම් දියයුතුය (නි)

:       0       0

විජිත Sunday, 25 October 2015 08:30 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

කුමාර Sunday, 25 October 2015 10:03 PM

අද කවුද ඉන්නේ මේ යෝජනා කර තිබෙන යාන්ත්‍රණයට විරුද්ධ? (නි)

:       0       0

නඩරාජා Sunday, 25 October 2015 10:03 PM

කදිරගාමර් මියගියේ චන්ද්‍රිකාගේ කාලේ වගෙයි මටත් මතක (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 25 October 2015 10:53 PM

කරු පෙරේරා, මේ යන විදිහට කාටහරි අසනීපයක් හැදුනත් ඒකටත් වගකියන්න ඕනෑ මහින්ද මහත්තයා. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 25 October 2015 10:58 PM

කතාන්දර කියවනවා හැර කෙරෙන වැඩක් නැත. අපේ මිනිසුන්ට ඕනෑත් බොරුවනේ ඉතින් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2574 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 1 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 19 0


අදත් තැනින් තැනට වැස්ස
2024 සැප්තැම්බර් මස 22 8 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රත්ගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 301 0


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 749 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14650 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 49 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 223 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site