IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජනපති ජර්මනියේ Deutsche Welle සමග කතා කරයි

 

(අංජුල මහික වීරරත්න)

මානව හිමිකම් සම්බන්ධයෙන් හොඳම වාර්තාව තියෙන්නේ තමාට යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

මෙරට මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන එම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙසේය. ප්‍රශ්නය:- ජනාධිපතිතුමනි Deutsche Welle වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අප සමඟ එක්වීම පිළිබඳ ඔබට ස්තූතියි. බර්ලින් සංවාදයෙන් දින දෙකකට පසු ඔබේ රටට යන විට රැගෙන යන්න හොඳ ආරංචියක් තිබෙනවාද?

පිළිතුර:- මට මෙහි සිට ආපසු රැගෙන යාමට තිබෙන දෙය නම් අප අතර ඇති පරතරය අවම වීම තුළ ඉහළ යන අවබෝධයයි, විශේෂයෙන් යුරෝපීය පාර්ශවයත් සමග. මට පැරිස් දේශගුණ සමුළුවට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මම බර්ලින් නුවරට පැමිණ සිටින්නේ යුරෝපා සංගමය තුළ සිටින ප්‍රංශය සහ ජර්මනිය යන රාජ්‍යයන් දෙකම අපගේ චින්තනය දන්නා බවත්, අපගේ චින්තනයට අනුගත වන බවත් ඔවුන් සමග එක්ව මෙම පවතින ගැටළු කිහිපයක් විසඳීම සඳහා මගක් සෙවීමට උත්සාහ කරන බවත් පැවසීමටයි.

ප්‍රශ්නය:- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඔබේ චින්තනය සමඟ සම්පූර්ණයෙන්ම අනුගත වී නැති බව පෙනෙනවා නේද? පසුගිය දින කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත්තේ අදාළ ඉලක්කයන්ගෙන් 15% ක් පමණ සපුරාලීමට අසමත්වීම හේතුවෙන් වැඩිදුරටත් සාකච්ඡා පවත්වන තුරු දෙවන වාරිකය අත්හිටුවා ඇති බවයි. එයින් අදහස් කරන්නේ ඔබට බදු අයකිරීම පිළිබඳ තවදුරටත් ගැටළුවක් පවතින බවයි. මෙම ගැටලුව ඉතා ප්‍රභල බව පෙනෙන්නට තිබෙනවා. එබැවින් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමට සඳහා ඔබට විශේෂ සැලැස්මක් තිබෙනවාද?

පිළිතුර:- අප එකඟතාවට පැමිණ තිබෙන්නේ දෙවැනි පැකේජය නවත්වනවා කියා නොවෙයි. අප විශ්වාස කරනවා අප මෙම වසර තුළ සිදු කර ඇති ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලබන වසරේ දැකගන්න ලැබෙන බව. ඉලක්ක පිළිබඳ කතා කිරීමේ දී ඇතැම් ඉලක්ක ළඟා කර ගැනීම අසීරු බව අප පිළිගත යුතුයි. අප මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කර තිබෙනවා. අප දැන් සාකච්ඡා කරමින් සිටින්නේ එම පරතරය පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අප එකඟ නොවූ යෝජනා කිහිපයක් තිබෙනවා. මොකද එම යෝජනා සාමාන්‍ය ජනතාවට බරක් වන නිසා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කියා තිබෙනවා විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න කියලා.

ප්‍රශ්නය:- නමුත් ඔබේ රටට බදු පිළිබඳ ඓතිහාසික ගැටලු තිබෙනවා. ඒ වගේම හය වතාවක් බලයේ සිටි ඔබට මේවා අලුත් දේවල් වන්නේ නැහැ නේද? පිළිතුර:- එය මුලින්ම පිළිගත්ත පුද්ගලයාත් මමයි. ඒ වගේම අපි කියනවා අපිට අලුත් ආදායම් පිළිබඳ අධිකාරියක් අවශ්‍ය බව. මම එය 2003 දීත් යෝජනා කළා. 2004 මැතිවරණයෙන් මම පරාජය වීමට එයත් හේතුවක් වුණා. නමුත් මෙතන පවතින්නේ ආදායම් පැහැර හැරීම පිළිබඳ ප්‍රශ්නය පමණක් නොවෙයි. ආදායම් මගහැරීම පිළිබඳව ගැටලුව වසරකින් විසඳිය හැකි දෙයක් නොවෙයි. අප මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඔවුන් අපට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අප ඉන් බොහොමයක් සමග එකඟවී තිබෙනවා. නමුත් දැන් තිබෙන ප්‍රශ්නය අප මේ මොහොතේ මුදල් හොයා ගන්නේ කොහෙන්ද යන්නයි. ඒ සමඟ මේ ප්‍රශ්නයත් විසඳේවි. ප්‍රශ්නය:- ඔබ හිතන ආකාරයට කොපමණ කාලයක් ඒ සඳහා ගතවෙයි ද?

පිළිතුර:- මම හිතන්නේ ලබන සතිය වන විට විසඳේවි.

ප්‍රශ්නය:- දරිද්‍රතාවය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් පිළිබඳව දරුවන් සුරකිමේ ජාත්‍යන්තර සංවිධානය අනතුරු අගවා තිබෙනවා.

පිළිතුර:- අපට පසුගිය වසරේදී උග්‍ර ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වුණා. නමුත් අප එය බොහෝ දුරට අඩු කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන පැකේජයෙන් පසු අප ඊළග පියවර පිළිබඳව සිතා බලනවා. රටේ ආර්ථිකය කඩා වැටුණු විට මෙවැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදු වෙනවා. මා රට භාරගන්නා අවස්ථාව වන විට ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන තිබුණේ නැහැ. රැකියා නැති වුණා.කර්මාන්ත කඩා වැටුණා. නමුත් අප දැන් එයින් මිදෙමින් සිටිනවා. උදාහරණයක් ලෙස සංචාරක කර්මාන්තය ගත් විට අද එය ක්‍රමයෙන් දියුණු වෙමින් තිබෙනවා.

ප්‍රශ්නය:- ළමයින් සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානයේ වාර්තාව නිකුත් කර සති කිහිපයයි ගතව තිබෙන්නේ.

පිළිතුර:- ඔව්. මම එම වාර්තාව කියෙව්වා. මම එහෙම නැහැ කියන්නේ නැහැ. නමුත් අපට එහි ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යා, දත්ත සහ ප්‍රතිශත සම්බන්ධයෙන් එකඟ විය නොහැකියි. කුසගින්න පිළිබඳ අර්බුදයක් තිබෙනවා. මම ඒක නැහැ කියන්නේ නැහැ. පැහැදිලිවම, ආර්ථිකය කඩා වැටෙන විට, එසේ සිදුවෙනවා. නමුත් අප එයින් ගොඩඒමට උත්සාහ දරමින් සිටිනවා. අප ළමයින්ගේ සුරක්ෂිතතාව පිළිබඳව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. එය කුසගින්නට පමණක් සීමා කර නැහැ. නිසි ආරක්ෂාවක් නොලැබෙන දරුවන් විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ පිළිබඳ වාර්තාව ඉදිරි සතියේ මට ලැබීමට නියමිතව තිබෙනවා.

ප්‍රශ්නය:- අධ්‍යාපන ක්ෂේත්‍රයේත් අර්බුද තිබෙනවා.

පිළිතුර:- අධ්‍යාපනය යම් දුරටකට පසුබෑමකට ලක්ව තිබෙනවා. 2024, 2025 වසර වන විට එය සාමාන්‍ය තත්ත්වයට ගැනීමටයි අප උත්සාහ කරමින් සිටින්නේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන ප්‍රතිසංස්කරණ පිළිබඳ තීරණ ගත යුතුව තිබෙනවා. එවිට මේ චෝදනාව එල්ල වන්නේ නැහැ.

ප්‍රශ්නය:- මෙය චෝදනාවක් නොවයි, මෙහි වෙනසක් තිබෙනවා. රාජ්‍යයක් තම ප්‍රශ්න විසඳා ගත යුතු කාලය සහ දෙමාපියන්ට දරුවෙකු පෝෂණය කිරීමට ඇති කාලය පිළිබඳව වෙනසක් තිබෙනවා.

පිළිතුර:- ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමකට ලක් වුණා. මේ වසරේ තමයි ආර්ථිකයේ යම් වර්ධනයක් සිදුවීමට පටන්ගෙන තිබෙන්නේ. තවම වසරක්වත් ගත වී නැහැ. මේ කාලය තුළ රටේ කුසගින්න පිළිබඳ ගැටලුව විසඳමින් සිටිනවා. ඒ වගේම දිළිදුකම අඩු වෙමින් පවතිනවා. ඒ වගේම වැඩි පිරිසකට රැකියා ලැබෙමින් තිබෙනවා. මෙය රට තුළ පරිවර්තනයක් සිදු වෙමින් පවතින සමයක්. රටේ කුසගිනි අර්බුදයක් නැහැ කියලා අපි කියන්නේ නැහැ. කුසගිනි අර්බුදයක් තිබූ නිසයි එය විසඳීමේ වගකීම මම භාරගත්තේ. මම කුසගිනි අර්බුදය නිමා කරන බව ප්‍රකාශ කරනවා.

ප්‍රශ්නය:- පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකාව තුල විශාල වශයෙන් අවධානයට ලක්වූ මාතෘකාවක් ගැන අප දැන් කතා කරමු. රජයට සම්බන්ධ පිරිස් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ කරන ලද කුමන්ත්‍රණයක් බවට අනුමාන කර ඇති, ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ සිදුවූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාවේ වාර්තාමය චිත්‍රපට කථාංගය පිළිබද අවධානය යොමු කළහොත් ?

පිළිතුරු:- ඇයි ඔබ චැනල් 4 නාලිකාව ඔය තරම් පූජනීය ලෙස සලකන්නේ? මම එහෙම කරන්නේ නැහැ.

ප්‍රශ්නය :- නැහැ. මම එලෙස හිතන්නේ නැහැ. පිළිතුර:- බ්‍රිතාන්‍යයේ ද විශාල පිරිසක් ඒ විදිහට සළකන්නේ නැහැ කියා මම විශ්වාස කරනවා. ප්‍රශ්නය:- ඔබ එය එකහෙළා ප්‍රතික්ෂේප කිරිම සාධාරණද ?.

පිළිතුර:- ඇයි ඔබ චැනල් 4 ගැන පමණක් ප්‍රශ්න කරන්නේ?‍

ප්‍රශ්නය :- මම චැනල් 4 ගැන අහන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙනවා.‍

පිළිතුර:- මාධ්‍ය විසින් එල්ල කරන චෝදනාව නිසාම ඇයි මම එහෙම කරන්නේ? හොඳයි, මම කියන්නේ... හිටපු නීතිපතිවරයා චෝදනාවක් එල්ල කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා චෝදනාවක් කර තිබෙනවා. ඇයි ඔබ එකක් ගැන විතරක් අහන්නේ. අනිත් ඒවා ගැනත් අහන්න.

ප්‍රශ්නය :- ඇත්තටම චැනල් 4 නාලිකාව පමණක් නොවෙයි, කතෝලික පල්ලිය තමයි පරීක්ෂණයක් ඉල්ලන්නේ. ඇත්තටම ඔබතුමා සේවය කළ හිටපු ජනාධිපතිවරයෙකුත් පරික්ෂණයක් ඉල්ලා තිබෙනවා ?

පිළිතුර:- මමත් අහන්නේ එයයි. ඔබ මගෙන් එහෙම ඇහුවේ නැහැ. මම ඔබට බල කළ විට පමණයි කිව්වේ හිටපු ජනාධිපතිතුමා පරීක්ෂණයක් ඉල්ලනවා කියලා. ඔබ කතා කළේ චැනල් 4 වාර්තාව පරම සත්‍යය ලෙස තබාගෙනයි. ප්‍රශ්නය:- මෙතන තිබෙන කාරණාව පරම සත්‍ය පිළිබඳ නොවයි ?

පිළිතුර:- විශේෂයෙන්ම චැනල් 4 චෝදනා සම්බන්ධයෙන් මම කමිටුවක් පත් කර තිබෙනවා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. ඒ වගේම හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සහ සුප්‍රසිද්ධ නීතිඥවරයෙකුගෙන් එම කමිටුව සමන්විත වෙනවා.

ප්‍රශ්නය:- කොමිසමේ නිදහස හැර වෙනත් දෙයක් කිරීමට තරම් මෙම කොමිසමට හැකියාවක් තිබෙනවා කියා කිසිවෙකු විශ්වාස කරන්නේ නැහැ ?

පිළිතුර:- එය ඔබේ මතය, මගේ මතය නොවෙයි.

ප්‍රශ්නය;- නැහැ. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්.

පිළිතුර :- නැහැ. මට කතා කර අවසන් කරන්න දෙන්න

ප්‍රශ්නය :- ඔබට උත්තර දෙන්න අවශ්‍ය නැත්නම් උත්තර අවශ්‍ය නෑ. නමුත් මට අහන්න පුළුවන්.

පිළිතුර;- නැහැ. මම කියන්නේ එය ඔබේ මතය පමණයි. මගේ මතය නොවෙයි කියලා.

ප්‍රශ්නය:- කතෝලික පල්ලිය තමයි මේ පිළිබඳව කතා කරන්නේ ?

පිළිතුර :- එය අමතක කරන්න. මම කතා කරන්නේ කතෝලික පල්ලිය ගැන නොවයි. මම ඔබ ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම පමණයි සිදු කරන්නේ. ඒ වගේම මම ගනුදෙනු කරන්නේ රදගුරු සම්මේලනය සමග මිස කාදිනල්තුමා සමග නෙවෙයි. කතෝලික සභාවට කොමිසමේ සියලු වාර්තා අවශ්‍ය බව දැනුම් දුන්නා. මම ඒ සියල්ල දුන්නා.

ප්‍රශ්නය:- ඔවුන් බලාපොරොත්තු වෙන්නේ විනිවිදභාවයෙන් යුතු ස්වාධීන විමර්ශනයක් ?

පිළිතුර:- ඔවුන් එකඟ වූ ස්වාධීන කොමිෂන් සභාව එයයි. ඔබ රදගුරු සම්මේලනය සමඟ ගනුදෙනු කරන්නේ නැහැ. නමුත් මම කරනවා. ඒ වගේම ඔවුන් පැමිණ මාව මුණගැසෙනවා. ඔවුන් හමුවෙන්නේ මම මිස ඔබ නොවෙයි. ඔබ මෙතන වාඩි වී කඩදාසියක් අතට අරගෙන කියවනවා. නමුත් මම කතෝලික සභාව සමග සාකච්ඡා කළා. මම නැවත මගේ රටට ගියවිටත් ඔවුන් සමඟ සාකච්ඡා කරනවා. දෙවැන්න තමයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. ඉතින් යම් අතපසුවීමක් සිදුවුවහොත් නැවත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ පිළිබඳ කටයුතු කරයි. අවසාන වශයෙන් කරන්නේ මොකක්ද කියා තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවයි. හිටපු ජනාධිපති සිරිසේන මහතාගේ කාරණය සම්බන්ධයෙන් කථා කළහොත්, මම ආපසු ගිය පසුව ඔහු හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔහුද මේ සම්බන්ධව කොමිසමක් පත් කළා, ඔහුට තවදුරටත් මේ පිළිබඳ විමර්ශනයක් අවශ්‍යයි ද කියා මම සාකච්ඡා කරනවා. මම මේකට සම්බන්ධත් නැහැ. මම උත්සාහ කරන්නේ මෙයට විසඳුමක් ලබාදීමටයි. ඔබ කාදිනල්තුමා ලබා දුන් කඩදාසියක් අරගෙන ඔහුට පේන්න එය කියවනවා. ඔබ කතෝලික සභාවත් සමඟ කතා කර තිබෙනවාද? ඔබ කතෝලික පූජකවරුන් සමඟ කතා කර තිබෙනවද?

ප්‍රශ්නය :- නැහැ. මම කතා කර නැහැ.

පිළිතුර:- එසේනම් ඔබට මගෙන් මේ ප්‍රශ්නය ඇසීමට කිසිඳු අයිතියක් නැහැ. එය සම්පූර්ණයෙන්ම වැරදියි කිසිම ගැටළුවක් සම්බන්ධයෙන් අපට ජාත්‍යන්තර විමර්ශන අවශ්‍ය නැහැ. එක්සත් රාජධානියට එහෙම වෙලා නැහැ. ජර්මනියට එහෙම වෙලා නැහැ. ඔබට මොනවද ලැබී තිබෙන්නේ? ඔබ සහභාගී වී තිබෙන ජාත්‍යන්තර පරීක්ෂණ මොනවාද? එක්සත් රාජධානිය සහභාගී වී තිබෙන ඒවා මොනවාද? ඇයි අසරණ ශ්‍රී ලංකාවේ අපට සහ ආසියාතිකයින්ට විතරක් මෙහෙම කරන්නේ? ඔබ හිතන්නේ අපි පහත් රටවල් කියාද?

මාධ්‍යවේදියා:- නැහැ

ජනපති :- එහෙනම් ඇයි එහෙම අහන්නේ?

මාධ්‍යවේදියා:- මොකද කිසිවක් සිදු නොවු කොමිෂන් සභා සම්බන්ධයෙන් ඔබට 2008 සිට අද දක්වාම දිවෙන දිගු ඉතිහාසයක් තිබෙනවා. මට ඒ පිළිබඳ ලයිස්තුවක් කිව හැකියි. උදුලාගම, උගත් පාඩම්....

ජනපති:- පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම තමයි මේ. ඒ හැමදෙයක් සඳහාම අප අවශ්‍ය පියවර ගෙන තිබෙනවා

ප්‍රශ්නය:- ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අවසාන වාර්තාවේ තත්ත්වය කෙතරම් අශෝභන වී තිබෙනවාද කිවහොත්, මේ වන විට ඇමරිකානු කොංග්‍රසයේ සිටින 12 දෙනෙකු විසින් ඔබේ රජයට බලපෑම් කරන ලෙස බයිඩ්න් පාලනයෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම සිදුවී ඇති අපයෝජන මොනවාද යන්න සහ ඒවා මැඩපවත්වන්නේ කෙසේද සොයා බැලීමට ඔබ මීට මාස කිහිපයකට පෙර සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ප්‍රකාශයට පත් කළා. මම පෙන්වා දුන් ඒවාට මෙන්ම මෙම කොමිසමටත් බලයක් නැහැ

පිළිතුර:- ඔබ එය වැරදියටයි වටහාගෙන තිබෙන්නේ. එය සාමාන්‍ය ජනාධිපති කොමිෂන් සභාවක් නොවෙයි. අපි සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවා ඇති බවට මේ රටවල් සමඟ එකඟතාවයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට පක්ෂ සමඟ සාකච්ඡා සිදු කරමින් පවතින අතර අපි බටහිර රටවල් සමගත් සාකච්ඡා කරනවා. සෙනෙට් සභිකයින්ට මෙයට මැදිහත් විය හැකියි. සත්‍ය සහ ප්‍රතිසන්ධාන පනත මේ වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මම ජනාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව බරපතල ප්‍රශ්න ඇති වී නැහැ

ප්‍රශ්නය:- මම විශ්වාස කරනවා ඔබ මිට මාසයකට පමණ පෙර නිකුත් වු එක්සත් ජාතීන්ගේ වාර්තාව දකින්න ඇති කියලා ?

පිළිතුර:- එක්සත් ජාතීන්ගේ වාර්තාව ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ප්‍රශ්නය:- කවුද ඒක ප්‍රතික්ෂේප කළේ ?

පිළිතුර:- ශ්‍රී ලංකා රජය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කවුද එය ලබා දුන්නේ? මම එක්සත් ජාතීන්ගේ වාර්තාව අනුමත කරන්නේ නැහැ.

ප්‍රශ්නය:- මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැරදී කියලද ඔබ කියන්නේ?

පිළිතුර:- එක්සත් ජාතීන්ගේ සංවිධානය නොවෙයි. මානව හිමිකම් කොමිෂම වැරදියි.‍

ප්‍රශ්නය:- මානව හිමිකම් කොමිෂම වැරදියි වගේම Amnesty සහ human rights watch ද වැරදියි ද?

පිළිතුර :- මානව හිමිකම් කොමිෂම වැරදියි. මාධ්‍යවේදියා:- අපරාධ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔබ කටයුතු කරනවා ද? ඔබේම ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් එය ඉල්ලා සිටිනවා.

ජනපති:- කවුද ඇමතිවරුන්?

මාධ්‍යවේදියා:- මම හිතන්නේ ප්‍රනාන්දු මහත්මයා.

ජනපති:- කොයි ප්‍රනාන්දු ද?

මාධ්‍යවේදියා:- ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ සිදු කිරීමට එකඟයිද?

ජනපති:- ප්‍රනාන්දු නම තිබෙන ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. වෙළඳ හා වාණිජ කටයුතු ඇමතිවරයා ප්‍රනාන්දු කෙනෙක්. සංචාරක ඇමතිවරයාත් ප්‍රනාන්දු කෙනෙක්. ඒ අයගෙන් කිසිම කෙනෙක් මගෙන් මෙවැනි ඉල්ලීමක් කර නැහැ. ඔබ බරපතළ චෝදනාවක් කර තිබෙන්නේ. ඒ නිසා එය පැහැදිළිව සඳහන් කරන්න.

මාධ්‍යවේදියා:- බරපතළ චෝදනාව මොකද්ද?

ජනපති:- විමර්ශනයක් අවශ්‍ය බව පැවසූ මගේ ඇමති මණ්ඩලයේ සිටින ඇමතිවරු දෙදෙනා කවුද කියලා?

මාධ්‍යවේදියා:- එය චෝදනාවක් නොවෙයි. ඇත්තටම එය ප්‍රසිද්ධ කරුණක්. ජනපති:- නැහැ, ඔබ වැරදියි. මට තේරෙන විදියට නම් ඉන්නේ එක් අයෙකු පමණයි.

මාධ්‍යවේදියා:- මේ පිළිබඳ සොයා බලන ලෙස මට ඉල්ලීමක් කළ හැකිද ?

ජනපති:- නීතියට අනුව, ඔබේ රටේ වගේම මගේ රටෙත් යම් විමර්ශනයක් සිදු කළ හැක්කේ පොලිසියට පමණයි. ඉන්පසුව, පොලිසිය මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළහොත්, මහේස්ත්‍රාත්වරයාට වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමට නියෝග කළ හැකියි.

මාධ්‍යවේදියා:- ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා විමර්ශනය සිදු කරනවාද? ඔබ ඊට කැමතිද?

ජනපති:- ඇත්තවශයෙන්ම, ඔවුන් විමර්ශනයක් සිදු කරනවා.

මාධ්‍යවේදියා:- ඒ වගේම විනිවිදභාවය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් හෝ ඔවුන්ගේ සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳ ඔබට කිසිදු ප්‍රශ්නයක් නැද්ද?

ජනපති:- නැහැ. ඔබගේ රටේ පවතින නඩු සම්බන්ධයෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයින් සිටිනවාද?

මාධ්‍යවේදියා:- 60,000ත් 100,000ත් අතර ශ්‍රී ලාංකික ජනතාවක් අතුරුදන් වී තිබෙනවා. ඔබ තවමත් නැහැ කියනවා.

ජනපති:- නැහැ. අවසානය දක්වා අපට තවදුරටත් වැඩ කිරීමට තිබෙනවා. මම හිතන්නේ එම සංඛ්‍යාව මීට වඩා අඩු බවයි.

මාධ්‍යවේදියා:- ඉතින්, ඒ පිළිබඳ ක්‍රියාත්මක විය යුතුයි නේද ?

ජනපති:- අතුරුදන් වූවන් පිළිබඳ කොමිසම මේ පිළිබඳව කටයුතු කරනවා. එහි කටයුතු කාලයක සිට සිදුවෙමින් පවතිනවා. මම ජනාධිපති ධූරයට පත් වුණේ මීට වසරකට පෙරයි.

මාධ්‍යවේදියා:- හොඳයි, නමුත් ඔබ අගමැති ලෙස හය වතාවක් බලයට පත් වී තිබෙනවා. ඉතින්, මෙය ඔබේ වගකීමක් ?

ජනපති:- මෙහි පළමු පියවර තැබුවේ මම අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ බව සිහිපත් කළයුතුයි.

මාධ්‍යවේදියා:- මම ඔබෙන් අවසාන වශයෙන් ප්‍රශ්නයක් අසන්නම්. ඇතැම්විට ඔබට මේ සමඟ සම්පූර්ණයෙන්ම එකඟ විය නොහැකි වෙයි. නමුත් සැබවින්ම ඔබ හමුවේ දැන් තිබෙන මෙම ප්‍රශ්නය ඉතා බරපතල ප්‍රශ්නයක් කියා මම විශ්වාස කරනවා. සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව වගවීම සහ යුක්තිය ඉටු කර නොමැති බව සිතන්න. ඒ පිළිබඳව ඔබ මෙහිදී දක්වන අදහස පිළිබඳව බොහෝ දෙනෙක් බලා සිටිනවා.

ජනපති:- මම ජාත්‍යන්තර ප්‍රජාව සමඟ මෙය නිවැරදි කිරීමට කටයුතු කරනවා. අපි ඔවුන් සමඟ එක්ව කටයුතු කරනවා. ඔවුන් දන්නවා අප එය කරනවා කියලා. අපි සෑම දෙයක් සම්බන්ධයෙන්ම සාකච්ඡා කරනවා. මගේ විදේශ ඇමතිවරයා ඔවුන් සමඟ නිතරම සාකච්ඡා කරනවා වගේම තත්ත්වය පිළිබඳව ඔවුන් සියලුදෙනාට අවබෝධයක් තිබෙනවා.

මාධ්‍යවේදියා:- එය ඉතා හොඳ තත්ත්වයක්

ජනපති:- දැන් ඔබ ප්‍රශ්නය ඇසුවා. මම පිළිතුරක් ලබා දුන්නා. මෙය කිසිසේත්ම කනස්සල්ලට කරුණක් නොවෙයි. මම මානව හිමිකම්වලට ගරු කරනවා. ඒ පිළිබඳව හොඳම වාර්තාව තිබෙන්නේ මටයි. මාධ්‍යවේදියා. බොහොම ස්තූතියි ජනාධිපතිතුමනි,

ජනපති:- ස්තූතියි!

 



අදහස් (9)

ජනපති ජර්මනියේ Deutsche Welle සමග කතා කරයි

Perera Thursday, 05 October 2023 12:22 AM

රනිල් මොනතරම් උද්දච්ච ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී මිනිහෙක්ද කියලා ලෝකෙට පෙන්නුවා

:       6       19

Prabha Thursday, 05 October 2023 02:14 AM

මානව හිමිකම් ගැන ඔබට හොඳ අතීතයක් තිබෙන බවනම් මුළු ලෝකයම දන්නවා .ඒක ඇත්ත

:       2       15

Chandana Thursday, 05 October 2023 02:42 AM

මහන්තත්ත ,නාකි මෝඩයෙක් කියලා පෙන්නුවා

:       3       22

මැක්ස් Thursday, 05 October 2023 07:51 AM

මානව හිමිකම්, අතුරැදන්වීම්, යුද අපරාධ, පාස්කු ප්‍රහාර වැනිි මනස්ගාත අල්ලා ගෙන සමහර දෙස් විදෙස් බලවේගවලට උවමනා කරන්නේ 2009 නන්දිකඩාල් පරාජයේ පලිය ගන්නයි. අරගලය යනුවෙන් වර නැගූ ප්‍රහසනය ද එහිම කොටසක්. යම් කලෙකදී එම බලවේග සමග සිටි ජනාධිපතිවරයා දැන් එම තත්ත්වය තේරැම් අරගෙන ඇති බවක් මෙම සම්මුඛ සාකච්ඡාව හරහා තේරැම ගත හැකිය.

:       19       5

Sachith Thursday, 05 October 2023 09:28 AM

"මානව හිමිකම් සම්බන්ධයෙන් හොඳම වාර්තාව තියෙන්නේ තමාට"... එතකොට බටලන්ද ?

:       4       18

විජිත් Thursday, 05 October 2023 09:41 AM

" ජනපති:- දැන් ඔබ ප්‍රශ්නය ඇසුවා. මම පිළිතුරක් ලබා දුන්නා. මෙය කිසිසේත්ම කනස්සල්ලට කරුණක් නොවෙයි. මම මානව හිමිකම්වලට ගරු කරනවා. ඒ පිළිබඳව හොඳම වාර්තාව තිබෙන්නේ මටයි. " මම - ඔව් ඔව් අපි දන්නවා ..88-89 කාලයේ දුප්පත් උගත් තරුණ තරුණියන් දහස් ගණනක් " බටලන්ද " වධකාගාරයේදී වධදී මරා පුලුස්සාදමුවේ මේ මානව හිමිකම් ගැන හොඳම වර්තාවතියෙන මොලේ අමාරුකාරයාටයි කියලා.නීතිඥ විජේදාස ලියනාරච්චිගේ ඇස් ද්දෙක වධකයින් උගුල්ලා දමද්දී වියරුවෙන් සිනාසිසී බලාසිටියේ මානව හිමිකම් රකිනවා කියලා ..ගමේ රා බීපු චන්ඩියෙක් වගේ සරමත් උස්සාගෙන ජර්මන් ජාතික මාධ්‍යවේදියාට තග දමපු රනිල් වික්රමසිංහ නොවෙයිද ? රනිල් තමුසේ කාටත් හොරෙන් අංගොඩ ඉස්පිරිතාලෙට ගිහින් ඔය මොලේඅමාරුවට බෙහෙත් අරගන්නවා.එහෙම නැතිවුනොත් ළඟදීම මහපාරේදීම මිනිස්සු ගඩාෆිට දුන්න බෙහෙත් බොන්න සිදුවේවි අනිවාර්යයෙන්ම.

:       3       20

රටවැසියා Thursday, 05 October 2023 10:35 AM

ජනාධිපතිතුමා මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි නොවී සිටියා නම් වඩාත්‍ හොඳයි!

:       3       11

Perakum Dissanayake Thursday, 05 October 2023 11:19 AM

බටලන්ද ගැන කිවුවට මොනවත් වෙන් නැහැනෙ.. චනල් 4 එකට කිවුවොත් හරි ප්‍රෝ ග්‍රෑම්ර කන්න කියල

:       0       0

Bamunuarachchi Thursday, 05 October 2023 06:50 PM

නියමයි! මාධ්‍යවේදියාට නියමෙට උත්තර දුන්නා. අනුර ගොයියා මේ අවස්ථාවට මුහුණ දුන්නානම් කොහොම හිටීද කියලා මට හිතා ගන්නවත් බැහැ. තොල්කයෙක් අරන් යන්නවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1534 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 278 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 80 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 169 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 84 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 59 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39980 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25936 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 219 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site