IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දූෂණය මඬින්න රාජ්‍ය විගණනයට පණ දෙන්න

බලයට පත්වී ඇති නව රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ ඉදිරිපත් කර ඇති දින සියයේ වැඩ පිළිවෙල යටතේ 2015 පෙබරවාරි 19 දින ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එය 2015 මාර්තු 19 දින සම්මත කරගැනීමටත් යෝජිතව ඇත. මහජනතාව විසින් වත්මන් රජය බලයට පත්කිරීමට තීරණය කිරිමේදී මෙම දින සියයේ ආකර්ෂනීය වැඩපිළිවල ද ඒ සඳහා බෙහෙවින් ඉවහල් වුයේය යන්න පොදු මතයකි. එහෙත් එම වැඩපිළිවලට අන්තර්ගත වු වෙනත් කරුණු මෙන් නොව නිරායාසයෙන් අර්ථ කථනය නොවු මෙම යෝජිත විගණන පනත යනු කුමක්ද  සහ එවැන්නක අවශ්‍යතාවය පිළිබඳව බහුතර ජනතාවට ප්‍රමාණවත් වැටහීමක් තිබේයැයි සිතිය නොහැක. විගණන පනත සම්මත වීම තුලින් යම් බලයක් හෝ සහනයක් ලැබෙනුයේ කවරෙකුටද යන්න සහ එයින් රටට සහ පොදු ජනතාවට ලැබෙන යහපත් ප්‍රතිඵලය කුමක්ද යන්න පිළිබඳව ජනතාව දැනුවත් වීම කාලීන අවශ්‍යතාවයකි. තවද රටේ සීමිත සම්පත් වඩාත් ඵලදායීව උපයෝජනය කරලීමට හා එම සම්පත් උපරිම ලෙස ආරක්‍ෂාකාරි වන පරිසරයක් බිහිකර, එහි ප්‍රතිලාභ ජනතාවට  ලැබෙන බවට තහවුරු වීමට නම් යෝජිත විගණන පනතේ කවර විධිවිධානයන් ඇතුලත් විය යුතුද යන්න පිළිබඳව මහජන කතිකාවක් ඇතිවීම ද ඉතා කඩිනම් සහ අතිශය වැදගත් අවශ්‍යතාවයකි.

දුෂණය හා නාස්තිය පිටු දැක රටේ පොදු සම්පත් ඵලදායීව උපයෝජනය වීම පිළිබඳව පොදු මහජනතාවට නිසැක තහවුරුවක් ලබාගත හැකි දැනට පවතින විශ්වාසනීය මාර්ග වනුයේ  විගණකාධිපතිවරයාගේ විගණන සොයා ගැනීම් මත පදනම් වන විගණන වාර්තා සහ  එම වාර්තාවන් පදනම් කරගෙන පාර්ලිමේන්තු කාරක සභා විසින් වැඩිදුර විමර්ශනයන් සිදු කර නිකුත් කරනු ලබන (කෝප් වාර්තාව ලෙස ප්‍රචලිත) වාර්තා පරිශිලනය කිරිමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලද බලතල උපයෝගි කරගෙන ස්වාධීනව වර්ෂ 215 ක් පුරා අඛන්ඩව විගණකාධිපතිවරයා සිදු කරනු ලැබු විගණන අනාවරණයන් නොවුයේ නම් රජයේ පොදු සම්පත් අවභාවිතය සහ අදුරදර්ශි හා අනාර්ථික ගණුදෙනු පිළිබඳව ජනතාවට නිවැරදිව කරුණු දැනගැනීමේ හැකියාවක් ඇති නොවේ.

විවිධ අවදීන් වලදී යම් යම් වෙනස්වීම් වලට භාජනය කරනු ලදුව සියවස් ගණනකින් පසුවද දැනට බලාත්මක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 154 ව්‍යවස්ථා මඟින් වත්මන් විගණකාධිපතිධුරය සහ එම ධුරයේ වගකීම හා බලතල‍ දක්වා ඇති අතර එම බලතල හා වගකීම් පාඨකයාගේ දැනගැනීම සඳහා පහත පරිදි සැකෙවින් දැක්විය හැක. විගණකාධිපති විසින් ආණ්ඩුවේ සියලුම දෙපාර්තමේන්තුවල ගිණුම්ද, අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ, අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලයේ , රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ , පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ කාර්යාලයේ , පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ, මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ , පළාත් පාලන ආයතන කාර්යාලවල සහ රාජ්‍ය සංස්ථා කාර්යාලවල ගිණුම්ද , යම්කිසි ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙළඳ ව්‍යාපාරවල හෝ වෙනත් ව්‍යාපාරවල ගිණුම්ද විගණනය කළ යුතුවේ. තවද  මුදල් පනත, පළාත් සභා පනත , මහ නගරසහා  ආඥා පනත,  නගරසහා  ආඥා පනත,  ප්‍රාදේශිය සභා පනත,  ගොවිජන සංවර්ධන ආඥා පනත සහ ක්‍රිඩා සංගම් පනත ආදිය මඟින් ඉහත බලවරම තවදුරටත් විස්තරාත්මකව දක්වා ඇත. ඒ අනුව වත්මන් විගණකාධිපතිවරයා විසින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, සංස්ථා, මණ්ඩල,  ලාභ මුලික නොවන ව්‍යාපාර, උසස් අධ්‍යාපන ආයතන,  පළාත් සභා, පළාත් පාලන ආයතන,  සමාගම් සහ විදේශ ව්‍යාපෘති ලෙස ආසන්න වශයෙන්  ආයතන/ව්‍යාපෘති 1200 ක පමණ මුල්‍ය ප්‍රකාශන හා කාර්යසාධනය පිළිබඳව වාර්ෂිකව විගණනය කල යුතුව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(5) ව්‍යවස්ථාව ප්‍රකාර විගණකාධිපතිවරයාට හෝ ඔහුගේ අධිකාරලත් කවර හෝ තැනැත්තකුට තම කාර්ය සාධනය , රාජකාරි හෝ කර්තව්‍යයන් ඉටු කිරිමේ, සියලු පොත්පත්, වාර්තා ,වාර වාර්තා සහ වෙනත් ලියකියවිලි ලබාගැනීමට , ගබඩාවලට සහ වෙනත් දේපළවලට පිවිසීමට සහ එකී කාර්ය සහ කර්තව්‍යයන් ඉටුකිරීම සඳහා අවශ්‍ය වියහැකි තොරතුරු ලබාගැනීමට සහ කරුණු පැහැදිලි කරගැනීමට හිමිකම තිබේ. එලෙසම විගණකාධිපතිගේ කාර්යයන්ට සහාය වීම සඳහා සුදුසුකම් ලත් විගණකවරුන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විගණකාධිපති වෙත බලතල පැවරී ඇත. තවද විගණනයට අදාල වන ශිල්පීය, වෘත්තීය හා විද්‍යාත්මක ගැටළු නිරාකරණය කරගැනීමේදී අවශ්‍ය වන විශේෂඥ සහාය ලබාගැනීමටද ව්‍යවස්ථාවෙන් බලය ලැබේ. විගණකාධිපතිවරයාගේ ඉහත සඳහන් බලතල වලට අමතරව එම තනතුර සහ ස්වාධීනත්වයද ව්‍යවස්ථාව මඟින් පහත පරිදි තහවුරු කර තිබේ.

ඒ අනුව ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් විගණකාධිපති පත්කරන අතර ඔහුට යථා පැවැත්මෙන් සිටිනතාක් ස්වකීය ධූරය දැරිය හැකිය. ජනාධිපතිවරයාට විගණකාධිපති ඉවත් කළ හැක්කේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය,ආබාධිත තත්ත්වය මත ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමකින් පමණක් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවථාවේ තවදුරටත් දැක්වෙන පරිදි විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරන අතර, එසේ නිශ්චය කරන ලද වැටුප ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන අතර ඔහුගේ ධූර කාලය තුළ එය අඩු නොහැක. තවද විගණකාධීපති කිසිදු අමාත්‍යවරයෙකුගේ හෝ රජයේ නිලධාරියෙකුගේ අධික්‍ෂණයට යටත් නොවේ.

ඉහත දක්වා ඇති පරිදි ව්‍යස්ථාපිත බලයක් හා ස්වාධීනත්වයක් සහිත විගණකාධිපති ධුරය විගණන පනතක් මඟින් තවදුරටත් බලගැන්විය යුතුද සහ එවැන්නක් අවශ්‍යයද යන හැඟිම මේ වන විට  මෙම ලිපිය කියවන පාඨකයාට ඇතැම් විට ඇතිවිය හැක. එසේ වුවද මෙම ලිපිය කියවා නිම කරන විට විගණකාධිපතිධුරය තවදුරටත් බලගන්වා ශක්තිමත් කල යුත්තේ කවර හේතුන් නිසාද යන්න පිළිබඳව වටහා ගැනීමට පමණක් නොව එලෙස බලගැන්වීම සදහා ජනමතයක් ඇතිකිරීමට පුරවැසියෙකු ලෙස ක්‍රියාකාරීව  මැදිහත් විය යුත්තේ කවර හේතූන් නිසාද යන්න පිළිබඳව වැටහීමක්ද පාඨකයාට ලැබෙනු ඇත.

යම් රටක රාජ්‍ය විගණනය මෙහෙයවන ආයතනය එම රටෙහි උත්තරීතර විගණන ආයතනය ලෙස සැලකෙන අතර ඒ අනුව ශ්‍රි ලංකාවේ විගණකාධිපතිවරයා ශ්‍රි ලංකාවේ උත්තරීතර විගණන ආයතනය වන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වේ. අපේක්‍ෂිත පරිදි සිය ධුරයේ කාර්යය කාර්යක්‍ෂමව හා ස්වාධීනව ඉටුකරගෙන යාමට ශ්‍රි ලංකාවේ විගණකාධිපතිවරයාට  බාධා රාශියක් පවතින අතර කලාපීය හා කලාපයෙන් බැහැර රටවල උත්තරීතර විගණන ආයතන සතු බලතල හා  ස්වාධීනත්වය සමඟ සසදා බලන විට  මෙරට විගණකාධිපතිවරයාට හිමිව ඇත්තේ සාපේක්‍ෂව අවම බලතල ප්‍රමාණයක් හා අඩු ස්වාධීනත්වයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ශ්‍රි ලංකාවේ විගණකාධිපති ධුරය විශේෂිත රාජ්‍ය නිලධාරින්ගේ  ලැයිස්තුවට ඇතුළත් කර නොමැති අතර, රාජ්‍ය නිලධාරින්ට අදාල ආයතන සංග්‍රහයේ විස්තර කර ඇති පරිදි රජයේ සියලුම පරිපාලන රෙගුලාසි විගණකාධිපතිට හා ඔහුගේ කාර්ය මණ්ඩලයටද අදාල වේ. මෙය තවදුරටත් විගණකාධිපතිගේ පරිපාලන ස්වාධීනත්වය සීමා කිරිමක් ලෙස දැකිය හැකිවේ. ඔහුගේ රාජකාරි පිළිබද මෙම පරිපාලනමය අඩුපාඩු විගණන කටුයතුවලට සැලකිය යුතු ලෙස අවහිර වේ.

මේ වන විටත් 1400 ක තරම් වු සිය විගණන කාර්ය මණ්ඩලයෙන් 40% කට ආසන්න පුරප්පාඩු සංඛ්‍යාවක් පුරවාගත නොහැකිවීම, දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනත් රාජ්‍ය හා පෞද්ගලික අංශ රැකියා සදහා නිරන්තරයෙන් ඉවත්ව යාම පාලනය කරගත නොහැකිවීම, වර්ෂ 25 ක තරම් කාලයක් සේවය කලද කිසිදු උසස්වීම අවස්ථාවක් අහිමිව ඉච්චා භංගත්වයට පත්වු නිලධාරි බහුතරයකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය  අභිප්‍රේරණයට ලක්කරගත නොහැකිවීම, දේශිය හා විදේශිය පුහුණුවීම් සදහා ප්‍රමාණවත් මුල්‍ය ප්‍රතිපාදන ලබාගත නොහැකිවීම, සිය කාර්යභාරයන්ගේ පුළුල් වීමට සාපේක්‍ෂව කාර්ය මණ්ඩලය සහ වෙනත් සම්පත් පුළුල් කරගත නොහැකිවීම, තමන්ට අවශ්‍ය පරිදි විවිධ ක්‍ෂේත්‍රයන් ට අදාල  විෂයබද්ධ හා ශිල්පීය දැනුම සහිත නිලධාරින් සිය නිත්‍ය කාර්ය මණ්ඩලයට ඇතුළත් කරගත නොහැකිවීම, ඇතුළු විශාල අභියෝග රැසකට මුහුණදෙමින් ශ්‍රි ලංකාවේ විගණකාධිපතිවරයාට සිය කාර්යභාර්ය ඉටුකිරීමට සිදුව තිබේ.

තවද මේ වනවිට රාජ්‍ය අංශයේ ඇතැම් ආයතන අති දැවැන්ත පිබිදීමකට  ලක් වී තිබුණද විගණකාධිපති දෙපාර්තමේන්තුව ඒවාට මුහුණදීමට ප්‍රමාණවත් පරිදි ප්‍රසාරණයකට පත්වී ඇති බව නොපෙනේ. උදාහරණයක් ලෙස රාජ්‍ය අංශයේ ඉදිකිරීම්,වරාය, රේගු, ජාත්‍යන්තර ආයෝජන වැනි කටයුතු වල ප්‍රසාරණය දැක්විය හැක. එසේ වුවද අනෙකුත් රාජ්‍ය ආයතන කාලීන අවශ්‍යතා අනුව අවශ්‍ය ප්‍රසාරණයන්ට ලක්වී තිබේ. නිදසුනක් ලෙස වර්ෂ 20 කට පමණ පෙර දෙපාර්තමේන්තු පහකට හයකට පමණ සිමා වී තිබු මහා භාණ්ඩාගාරය, රජයේ කාලීන සංවර්ධන අවශ්‍යතාවයන් අනුව සහ වෙනත් උපාය මාර්ග සැලසුම් වලට අනුව මේ වන විට දෙපාර්තමේන්තු  15 ක් දක්වා ප්‍රසාරණය කර තිබීම දැක්විය හැක. තවද වෙනත් රාජ්‍ය ආයතන කාලීන අවශ්‍යතා අනුව සිය කාර්ය මණ්ඩල සංඛ්‍යාවන් සහ ස්ථර වැඩි කරගෙන ඇති අතර දෙස් විදෙස් පුහුණුවීම් මඟින් ස්වකීය කාර්ය මණ්ඩල හැකියාවක් යාවත්කාලීන කරගෙන ඇත. එලෙසම රජයේ ඇතැම් දෙපාර්තමේන්තුවලට අදාලව නිලධාරින්ගේ පුහුණුවීම් හා සම්මන්ත්‍රණ ආදීය තරු හෝටල්වල නේවාසිකව පවත්වන යුගයක විගණකාධිපති දෙපාර්තමේන්තුවට එවැනි ආසන්න තත්ත්වයක් හෝ ලබාදී නොතිබීමද විමසුමට භාජනය විය යුතු කරුණකි. විගණන ක්ෂේත්‍රයේ සහ ජාත්‍යන්තර විගණන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි විදේශ පුහුණුවීම් තම කාර්ය මණ්ඩලයට ලබාදීමේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව සිටිනුයේ අන්ත අසරණ තත්ත්වයක බව කිවහැක්කේ වර්ෂයකට එම දෙපාර්තමේන්තුවේ සමස්ථ නිලධාරින්ගෙන්ම විදේශ පුහුණු සහ වැඩමුළු වලට සහභාගිවීමේ අවස්ථාවන් ලැබී ඇත්තේ නිලධාරින්  4 ක් 5 ක් තරමේ ප්‍රමාණයකට බව  සහ එම ඇතැම් ඒවා දින දෙක තුනක ඒවා වන  බව අදාල කාර්යසාධන වාර්තා ආදිය අනුව පෙනී යන බැවිනි. වර්ෂ 30 ද ඉක්ම වු සේවා කාලයක් සම්පුර්ණ කලද කිසිදු විදේශ පුහුණුවීමක්, වැඩ මුළුවක් සඳහා සහභාගි වීමට අවස්ථාවක් නොලබා විශ්‍රාම යන විගණන නිලධාරින් සංඛ්‍යාව සමස්ථ කාර්ය මණ්ඩලයෙන් 95% කටත් වැඩිවිය හැකි බව ඉන් පැහැදිලි වේ. දෙපාර්තමේන්තුවේ පවතින කාර්ය මණ්ඩල ව්‍යුහය අනුව එම ඇතමුන්ට සිය සේවා කාලය තුළ කිසිදු උසස්වීම් අවස්ථාවක් ලැබීමට ඉඩකඩක් තිබේද යන්නද සැකසහිතය. එසේ වුවද විගණකාධිපති දෙපාර්තමේන්තුවටම සමාන කාර්ය මණ්ඩලයක් සහිත ඇතැම් දෙපාර්තමේන්තු සදහා එහි සමස්ථ කාර්ය මණ්ඩලයම ආවරණය වන පරිදි ඵලදායී ලෙස අවස්ථා කිහිපයකදී සති ගණනාවක විදේශිය පුහුණුවීම් සහ උසස්වීම් ඉඩ ප්‍රස්ථා ලබාදී කාර්යක්‍ෂම සේවාවක් ලබාගැනීමට කටයුතු කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදී ඇති බව එම දෙපාර්තමේන්තු තොරතුරු පරිශිලනය කිරිමේදී අනාවරණය වේ. තවද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සමාන රජයේ සේවයේ නියතු වෙනත් විවිධ සේවාවන්හි නිරත නිලධාරින්ගේ සේවා ව්‍යවස්ථාවන් 2006 වර්ෂයේ සිට විවිධ ඉදිරි වර්ෂයන්හි දී සංශෝධනය කර තනතුරු සංඛ්‍යාවන් වැඩිකර උසස්වීම් ලබාදී වැඩි වැටුප් තලයන්හි පිහිටුවා තිබුණද වර්ෂ 08 කට ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුවද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට එම සමාන වරප්‍රසාද ලබාදීමට අදාල බලධාරි ආයතන පියවර ගෙන නොතිබීම දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය අඩපණ කිරිමේ අවශ්‍යතාවයක් මත යම් දේශපාලනික මැදිහත් වීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වු තත්ත්වයක් ද යන සැකය ඇති කරයි. එලෙසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාවට අනුව විගණකාධිපතිවරයෙකු සිටිය යුතුය සහ  විගණකාධිපතිවරයාට ධුරයේ කටයුතු ඉටු කළ නොහැකි අවස්ථාවකදී එම ධුරයේ වැඩ බැලීම සඳහා අයකු පත්කල හැකිය ලෙස දක්වා තිබුණද විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් අනතුරුව කඩිනමින් නිත්‍ය විගණකාධිපතිවරයෙකු පත් නොකර වැඩ බලන විගණකාධිපතිවරුන් දීර්ඝ කාලීනව සේවයේ යෙදවීමද එම ධුරයේ කටයුතු අඩපණ වීමට ඉඩ සැලසීමක් ලෙස අදහසක් ඇතිවිය හැක. එසේ වුවද උත්තරීතර විගණන ආයතන පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය විසින් යම් රටක උත්තරීතර විගණන ආයතනයක තිබිය යුතු මුලික අවශ්‍යතා 08 ක් හඳුන්වා දී ඇති අතර එහි තෙවනි අවශ්‍යතාවය ලෙස දක්වා ඇත්තේ එහි ප්‍රධානියාට ප්‍රතිහිංසාව පිළිබඳ බියකින් තොරව රාජකාරි ඉටු කල හැකි පරිදි ස්ථිර කොන්දේසි මත දීර්ඝ කාලයකට ඔහුගේ පත්වීම් ලබාදිය යුතු බවත් ඔවුන් බලයෙන් ඉවත් කිරීම විධායකයෙන් ස්වාධීනව සිදුවිය යුතු බවත්ය.

ඉහතින් දක්වා ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විගණකාධිපතිවරයාට ලබාදී ඇති බලතල පරිදි විශේෂිත වු ක්ෂේත්‍රයන්ට අදාල දැනුම ඇති විශේෂඥ වරුන්ගේ සේවය අවශ්‍ය විටදී ලබාගත හැකි වුවද ඉංජිනේරු,නීති,වෛද්‍ය,තොරතුරු තාක්‍ෂණ වැනි ක්ෂේත්‍රයන්හි නිලධාරින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිත්‍ය තනතුරු වලට පත්කර ගැනීමේ හැකියාවක් විගණකාධිපතිවරයාට ලබාදී නොමැත. අවශ්‍යවන්නේ නම් යම් සිද්ධියකට අදාලව යම් බාහිර වෘත්තිකයන්ගේ සේවය මුදල් ගෙවා ලබාගතහැකි වුවද එවැනි බාහිර තැනැත්තන් වෙතින් සිය වෘත්තියේ නිරත සහෝදර වෘත්තිකයන්ට එරෙහිව ස්වාධීන නිවැරදි නිරික්‍ෂණයක් ලබාගත හැකි පරිදි පෙළඹවීමක් කිරීමට තරමේ මුල්‍යමය ප්‍රතිලාභයක් ඔවුනට ලබාදීමේ මුල්‍යමය ස්වාධීනත්වයක් වත්මන් විගණකාධිපතිවරයාට නොමැත්තේ භාණ්ඩාගාරයෙන් ලබාදෙන සීමිත අයවැය ප්‍රතිපාදන මත යැපීමට සිදුව ඇති හෙයිනි. තවද  විගණකාධිපති දෙපාර්තමේන්තුවේ යම් නිලධාරියෙකු සිය නිත්‍ය සේවා ස්ථානයෙන් බැහැරව යම්  ක්ෂේත්‍ර පරික්‍ෂාවකට දිවයිනේ කවර කොතනක හෝ වු ස්ථානයකට දින කිහිපයකට යැවීමට විගණකාධිපතිවරයාට අවශ්‍ය වුවහොත් පවතින රෙගුලාසි හා විධිවිධාන අනුව එම නිලධාරියාට දිනකට ගෙවිය හැක්කේ රු.625 ක උපරිම  දීමනාවක් සහ බස්රථ හෝ දුම්රිය ගමන් ගාස්තුව පමණි.  ඒ අනුව රජයේ වෙනත් නිලධාරින්ටද පොදු එම මුදලින් තම ගමන් ගාස්තුද ආහාර පාන වියදම් ද ,නවාතැන් ගාස්තු වියදම් මෙන්ම ජංගම දුරකථන ගාස්තු වැනි සන්නිවේදන වියදම් ද පියවා ගැනීමට විගණන නිලධාරියාටද සිදුවේ. එවන් මුදලකින් සිය වියදම් පියවාගත නොහැකි වීම නිසා අදාල විගණන පරික්‍ෂාවට නිලධාරියෙකු යෙදවීමට විගණකාධිපතිවරයාට නොහැකි වුවහොත් ඒ තුලින් ඇතැම් විට රුපියල් මිලියන ගණනක් වටිනා වංචා , දුෂණ හා වෙනත් මුදලින් අගය කළ නොහැකි වටිනා විගණන සොයා ගැනීම් අනාවරණය කරගත නොහැකිවිය හැකි අතර එය සමස්ථ සමාජයටම අහිතකර ප්‍රතිඵල ගෙනදෙන අයහපත් තත්ත්වයකි.

උත්තරීතර විගණන ආයතන පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය විසින් යම් රටක රාජ්‍ය විගණකයා වෙත තිබිය යුතු යැයි හඳුන්වා දී ඇති අවශ්‍යතාවයන් 8 අතුරින් අංක 02 ලෙස හදුන්වාදී ඇත්තේ රජයේ සහ එහි අධිකාරින්ගේ මැදිහත් වීමකින් හෝ පාලනයකින්  තොරව විගණකයන්ට තම අයවැය කළමනාකරණය කරගැනීමට ඉඩ තිබිය යුතු වීමයි. ඒ අනුව යෝජිත විගණන පනත විගණකාධිපතිවරයාට එම ස්වාධිනත්වය ලබාදීම ඉතා වැදගත් වේ.

මෙහිදී සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්වේ වෘත්තීය මට්ටමට සමාන වෙනත් සේවාවන්හි නිරත නිලධාරින්ට ප්‍රසම්පාදන කමිටු , සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩල, කළමනාකරණ කමිටු,ව්‍යාපෘති කමිටු වැනි විවිධ කමිටු වලට සිය රාජකාරි කාලය තුළ සහභාගි වී තම වැටුපට අමතරව විවිධ දීමනා ලබාගැනීමේ අවස්ථාව ලැබී තිබුණද විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරින්ගේ ස්වාධීනභාවය හේතුවෙන් එලෙස වෙනත් ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාවක් නොලැබේ. තවද රජයේ සේවයේ තනතුරු පුරප්පාඩු තිබීම හේතුවෙන් එම තනතුරු වල රාජකාරි ඉටුකරන නිලධාරින්ට ඒ සඳහා යම් දීමනාවක් ලබාදීම සිදුවුවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට එවැනි දීමනා ද නොලැබෙනුයේ ඒ සඳහා මුල්‍යමය ස්වාධීනත්වයක් නොමැති නිසා වියහැක.

එලෙසම පසුගිය දිනවල ජනමාධ්‍ය මඟින් විශාල ලෙස ප්‍රචාරණයට භාජනය කරනු ලැබු පරිදි විගණකාධිපතිවරයාගේ සොච්චම් වැටුප එම ධුරයේ ගෞරවය හා ස්වාධීනත්වය පවත්වාගත හැකි මට්ටමට වැඩි කරගැනීමේ හැකියාවක්ද මෙතෙක් ලැබී නැත. කෙසේ වෙතත් එම වත්මන් වැටුප සංඛ්‍යාත්මකව මෙම ලිපියේ ඇතුලත් නොකරනුයේ එම තනතුර සහ එහි වැටුප නැවතත් කාටුන් ශිල්පීන්ට මාතෘකාවක් වනු දැකීමට ලේඛකයා අකමැති හෙයිනි. කෙසේ වෙතත් විගණකාධිපතිවරයකුට සිය ධුර කාලය ඉකුත් වීමෙන් අනතුරුව  ද තම ජීවනෝපාය සඳහා නැවතත් රජයේ විවිධ තනතුරුවල නිරතවීමට අවශ්‍ය නොවන පරිදි ද තමන් දැරු වෘත්තියේ ගෞරවය රැකෙන පරිදි ද සිය සැදෑ සමය ගතකිරීමට ප්‍රමාණවත් විශ්‍රාම වැටුපක්  ලැබෙන පරිදි විගණකාධිපති වැටුප ඉහල නැන්වීම සිදුවිය යුක්තකි. මෙහිදී සලකා බැලිය යුතු කරුණක් වන්නේ විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුව විසින් තීරණය කරණ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වගන්තියට අනුව ඒකාබද්ධ අරමුදලට වැයබරක් වන යෝජනාවක් පාර්ලිමේන්තුව ගෙන ආ හැක්කේ කැබිනට් අමාත්‍යවරයෙකුට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ඇතිව වන අතර එහිදී පාර්ලිමේන්තුව කරනුයේ එලෙස විධායකය විසින් යෝජනා කර ඇති වැටුප හෝ ඊට අඩු වැටුපක් තීරණය කිරිමයි. ඒ අනුව පාර්ලිමේන්තුවට අවශ්‍යය වැටුපක් විගණකාධිපතිවරයාට ලබාදීමේ හැකියාවක් වත්මන් ව්‍යවස්ථාව යටතේ පවතීද යන්න ගැටලුවකි.

මහජනතාව අපේක්‍ෂා කරන ගුණාත්මක කාලීන හා අභීත සේවයක් ලබාදීමට නම් විගණකාධිපතිවරයාගේ කාර්යක්‍ෂමතාව හා ස්වාධීනත්වය බෙලහීන කරන ඉහත සඳහන් බාධාවන් ඉවත්කර යෝජිත විගණන පනත මඟින් විගණකාධිපතිවරයාට ස්වාධීන මුල්‍යමය හා පරිපාලනමය බලතල ලබාදිම ඉතා වැදගත් වේ. එලෙසම ප්‍රමාණවත් ව්‍යවස්ථාපිත විධිවිධාන නොමැතිවීම හේතුවෙන් මේ දක්වා විගණකාධිපතිවරයාගේ විෂය පථයට ලක්කළ නොහැකි වු රාජ්‍ය දායකය ඇති සමාගම් සහ එවැනි වෙනත් පරිපාලිත ආයතන විගණනය කිරිමේ බලතල විගණකාධිපතිවරයාට ලබාදී එම රාජ්‍ය සම්පත් ආරක්‍ෂා කරගැනීමටද පියවර ගත යුතුව ඇත. එලෙස මුල්‍යමය හා පරිපාලන බලතල ලැබෙන්නේ නම් විගණකාධිපතිවරයාට අවශ්‍යය පරිදි විශේෂ දැනුම සහිත නිලධාරින් ප්‍රමාණවත් වෙළදපල වටිනාකමට ගැලපෙන පරිශ්‍රමිකයක් ගෙවා සේවයට බදවා ගෙන ඔවුන් දෙපාර්තමේන්තුව තුළ රදවාගැනීමටත්, අවශ්‍ය පරිදි සිය කාර්ය මණ්ඩලය වෙත දේශිය හා විදේශිය පුහුණුවීම් ලබාදී ඔවුන්ගේ කාර්ය සාධනය ඉහල දැමීමටත් බාධාවකින් තොරව  ක්ෂේත්‍ර පරික්‍ෂාවන්හි සිය සේවකයින්  යෙදවීමටත් , විගණන ආයතන හා ඒවායේ කාර්යභාර්ය පුළුල් වීමට සාපේක්‍ෂව සිය කාර්ය මණ්ඩලය හා භෞතික සම්පත්  ප්‍රසාරණය කරගැනීමටත්  රාජ්‍ය විගණකයින් අභිප්‍රේරණය කිරිමටත් හැකිවනු ඇත.

තවද එලෙස මුල්‍යමය හා පරිපාලන බලතල විගණකාධිපති සතුවන්නේ නම් ඉතා හදිසියෙන් අවතීර්ණ විය යුතු ස්ථානීය විගණන  පරික්‍ෂාවන්ට යොමුවිය හැකි පරිදි අදාල විෂය දැනුමෙන් පෝෂිත නිලධාරින් සංචිතියක් පවත්වාගෙන යමින් එම අංශය සදහා වාහන සහ මුදල් අත්තිකාරම් වැනි වෙනත් අවශ්‍ය පහසුකම් මිනිත්තු ගණනකින් ලබා දී නිලධාරින් ඒ සඳහා පිටත් කර යවා වරදක් සිදුවීමට හෝ සිදුකිරිමට ප්‍රථම එය වලක්වාගත හැකි  පරිසරයක් ඇතිකර ගත හැකි වනු ඇත.

එලෙසම වෙනත් ඇතැම් රජයේ දෙපාර්තමේන්තුවල ක්‍රියාත්මක කරන අයුරින් සේවක තෘප්තිය හා ඔවුන්ගේ කාර්යක්‍ෂමතාවය වැඩිකරගැනීමට හැකිවන පරිදි විගණකයන්ගේ දක්‍ෂතා ඇගයෙන පරිදි යම් දිරි දීමනා සහ සුදුසු උසස්වීම් ක්‍රම හදුන්වා දීමටත් හැකි වනු ඇත. උත්තරතර විගණන ආයතනයක පැවතිය තිබිය යුතු 08 වන අවශ්‍යතාවය ලෙස එම ජාත්‍යන්තර සංවිධානය දක්වා ඇත්තේ විගණන නිරික්‍ෂණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරිම පිළිබඳව පසු විපරම් කිරිමේ ස්වාධින වැඩ පිළිවෙලක් උත්තරීතර විගණන ආයතන සතුවිය යුතු බවයි. එවැනි පසු විපරමක් සිදුවන විට ඉහත පරිදි විගණකයන්ගේ දක්‍ෂතා ඇගයීමටද එමඟින් නිරාසයෙන් සිදුවනු ඇත.

කෙසේ වෙතත් යෝජිත විගණන පනත මඟින් බලතල සහ ස්වාධීනත්වය වැඩිවන ආකාරයටම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විෂය පථයද පුලුල්වීම අනිවාර්ය අතර තමන් වෙත ලැබෙන මුල්‍යමය හා මුල්‍යමය නොවන ප්‍රතිලාභ කෙරෙහි යොදවන අවධානයට වඩා වැඩි වෘත්තීමය අවධානයකින් යුතුව තම රාජකාරි ඉටු කිරීමටද විගණන නිලධාරින් වග බලා ගත යුතුය.

මෙහිදි සළකා බැලිය යුතු තවත් ඉතා වැදගත් කරුණක් වන්නේ වෙනත් ඕනෑම රාජ්‍ය නිලධාරියකුට තමාගේ විෂයට අදාල ක්‍ෂ්ත්‍රය පිළිබඳ දැනුමෙන් සහ පරිපාලනයට අදාල සිමිත නීතිරිති හා රෙගුලාසි කීපයක දැනුමෙන් පෝෂිතව සිය රාජකාරි ඉටු කල  හැකිවුවද විගණන නිලධාරියෙකුට තමාගේ විගණන විෂය පථයට ලක්වෙන එනම් තමා විසින් කාලීනව විමර්ශනය කරන ඕනෑම ක්‍ෂ්ත්‍රයක් එනම් ඉදිකිරිම්, වෛද්‍ය, නීති, සේවා, බැංකු, මුල්‍ය, අධ්‍යාපන, සුභසාධන, මිලදී ගැනීම්, ක්‍රීඩා,ස්වභාවික සම්පත් සංරක්‍ෂණය, ගිණුම්කරණ වැනි ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව එම කාර්යන්හි නිරත නිලධාරින්ගේ කාර්යන් විමර්ශනය කිරිමට හා ඇගයීමටද ප්‍රමාණවත් මට්ටමේ දැනීමක් සහ සමස්ථ ආයතන හා මුල්‍ය රෙගුලාසි පිළිබඳ පුළුල් වැටහීමක් තිබිය යුතු වීමයි. එවැනි දැනුමකින් පෝෂිත නිලධාරින් විගණකාධිපති දෙපාර්තමේන්තුව තුළ රදවා ගැනීමට නම් අනිවාර්යෙන් ඔවුන් වෙත යම් සුවිශේෂි ප්‍රතිලාභ ක්‍රමයක් හදුන්වා දිය යුතු  වේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් අපේක්‍ෂිත සේවය වඩාත් කාර්යක්‍ෂමව ලබාගැනීමට නම් එම දෙපාර්තමේන්තුව වෙනත් රාජ්‍ය සේවාවන්ගෙන් වෙනස් වු විශේෂිත සේවාවක් ලෙස හදුනාගෙන සමාන රාජ්‍ය සේවාවන්හි නිලධාරින්ට වඩා විශේෂිත වු වැටුප් ක්‍රමයක් විගණන නිලධාරින්ට හදුන්වා දිය යුතු බවට පසුගිය රජය විසින්ද සිය ධුර කාලය අවසානයේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය මණ්ඩල කාර්යාල වෙබ් අඩවිය පිරික්සීමේදී අනාවරණය වන අතර එවැනි තීරණයකට එළඹීමට හේතු වී ඇත්තේද ඉහත දැක්වු පරිදි විගණන නිලධාරියකු සතු හා සතුවිය යුතු  විශේෂ නිපුණතා නිසා විය යුතුය. ඒ අනුව යෝජිත විගණන පනත හා එයට අනුගත සේවා ව්‍යවස්ථාවන් සැකසීමේදී එම අමාත්‍ය මණ්ඩල තීරණය කෙරෙහිද අවධානය යොමුවීම ඉතා වැදගත් වනු ඇත.

තවද රජයේ ආයතනවල කළමනාකාරිත්වය මඟින් මෙහෙයවනු ලබන අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීමට එම බලධාරින් යොමු කර විගණකාධිපතිට එම අභ්‍යන්තර විගණනය මත යම්තාක් දුරට සෑහිමකට පත්ව තම සීමිත සම්පත් ප්‍රමාණය තම ව්‍යවස්ථාපිත විගණනයේ අතිශය වැදගත් මෙන්ම වඩාත් අවදානම් සහ සැක සහිත සිද්ධීන් වෙත වැඩි අවධානයක් සහිතව යොමු කරමින් තම කාර්යය වඩාත් සාර්ථක කරගත හැකි පරිසරයක් ඇති කරදීමට බලධාරින් පියවර ගත යුතුය.

තවද රාජ්‍ය අංශයේ අභ්‍යන්තර විගණනකයන් සහ මුල්‍ය පාලනයට මෙන්ම කාර්යසාධනයට අදාල කාර්යන්හි නිරත රජයේ නිලධාරින්ට මෙන්ම විදේශිය රාජ්‍ය විගණකයන්ටද විධිමත් පුහුණුවක් ලබාදී පිළිගත් සහතිකයක් ලබාදිය හැකි ආයතනයක් බවට ද විගණකාධිපති දෙපාර්තමේන්තුව පත්කරන්නේ නම් සමස්ථ රාජ්‍ය සේවයේම ගුණාත්මක වර්ධනයට, රටේ යහපාලනයට සහ දේශයේ අභිමානය වර්ධනයට  එය උපකාරි වනු ඇත.

තවද වෙනත් ඇතැම් රටවල උත්තරීතර විගණන ආයතන විසින් සිය විගණන අනාවරණයන් පිළිබඳව මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරිමේ ක්‍රමයක් තිබුණද ශ්‍රි ලංකාවේ එලෙස සම්ප්‍රදායක් නොමැතිවීම හේතුවෙන් විගණකාධිපතිගේ කාර්ය භාර්ය පොදු මහජනතාවගේ ඇගයීමට ලක්වීමක් සිදුනොවේ. එහෙත් උත්තරීතර විගණන ආයතනයකට තිබිය යුතු 07 වන කරුණ ලෙස එම ජාත්‍යන්තර සංවිධානය විසින් දක්වා ඇත්තේ තම සොයාගැනීම් ප්‍රසිද්ධ කිරිමට තිබිය යුතු නිදහසයි. එලෙසම ඇතැම් විට පටු පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට හානිකර අයුරින් සිදුවන මාධ්‍ය ප්‍රචාරණයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් මහජනතාවට ලබාදීමට විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවස්ථාවක් නොමැති වීමට විසදුමක් ලබාදීම කෙරෙහිද බලධාරින්ගේ අවධානය යොමුවීම වැදගත් වනු ඇත. එනම් බොහෝ රාජ්‍ය ආයතන මෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවටත් මාධ්‍ය සාකච්ඡා මඟින් කරුණු අනාවරණය කිරිමේ ක්‍රම වේදයක් තිබීම ඉතා වැදගත් වනු ඇත.

තවද  බලයට පත් වත්මන් රජයේ මැති ඇමතිවරු වෙතින්ද එලෙස බලයට පත්වීමට පෙර සහ පසුව නිතර නිතර ප්‍රකාශ වු සහ තවදුරටත් ප්‍රකාශ වෙමින් පවතින කරුණක් නම් මුල්‍යමය මෙන්ම තාක්‍ෂණික විගණනයක් රට තුළ සිදුකළ යුතු බවයි. එය ඉතාමත් නිවැරදි සහ කාලීන මෙන්ම තවදුරටත් ප්‍රමාද කළ නොහැකි කඩිනම් අවශ්‍යතාවයකි. කෙසේ වෙතත් එවැනි අවශ්‍යතාවයක් පිරිමසාගැනීමට කළ යුත්තේ යෝජිත විගණන පනත මඟින්  විගණකාධිපති ධුරය තවදුරටත් බලගැන්වීමයි. තාක්‍ෂණ විගණන හෝ වෙනත් කවර නාමයකින් හෝ විගණකාධිපති ධුරයට  ඉහලින් හෝ බාහිරව වෙනත් බලධාරි විගණන ආයතනයක් බිහිවීම සිදු නොවිය යුත්තේ එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පවතින රාජ්‍ය විගණනය සවිබල ගැන්වීමට  ගොස් පවතින තත්ත්වයන් විනාශ වී ව්‍යාකූල තත්ත්වයක් ඇතිවිය හැකි හෙයිනි. තවද ජාත්‍යන්තර සම්මුතීන් අනුවද උත්තරීතර විගණන ආයතනය ලෙස රටක තිබිය යුත්තේ එක් නිශ්චිත ආයතනයක් පමණක් වන අතර එම ආයතනයේ බලතල හා ස්වාධීනත්වයට හානිකර වෙනත් ස්ථාවර ආයතන බිහිවිය නොහැක. ඒ අනුව ශ්‍රි ලංකාවේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සතු බලතල අවතක්සේරු වීමකට හෝ අභියෝග වලට ලක්වීමට ඉඩ නොතැබීමට බලධාරින් විසින් වග බලා ගැනීම ඉතා වැදගත් වනු ඇත.  

ඒ අනුව විගණකාධිපති ධුරයට ඉහලින්  එම ධුරයේ කාර්යභාර්ය අභියෝගයට හෝ නිශේධනයට ලක්කල හැකි ආයතන හෝ පුද්ගලයන් බිහිවීම වැලැක්විමට අමතරව වෙනත් රටවල මෙන්ම සාවද්‍ය හා විධිවිරෝධි ලෙස කටයුතු කරන රාජ්‍ය නිලධාරින්ට එරෙහිව අධිභාර හෝ දඩ පැනවීමේ අර්ධ අධිකරණමය බලතල ශ්‍රි ලංකාවේ විගණකාධිපතිධුරයට ද හිමිකරදීම ඉතාමත් වැදගත් වනු ඇත. එසේම ජාතික විගණන පනත අනුව හදුන්වාදෙනු ලබන විගණන කොමිසම වෙතින් තමන්ට අවශ්‍යය සාධනීය සහයෝගය විගණකාධිපතිවරයාට ලබාගත හැකි අයුරින් එම කොමිසමේ සංයුතිය තීරණය කිරීම ඉතා වැදගත් වනු ඇත. එමෙන්ම එම කොමිසමට ප්‍රමාණවත් බලතල ලබාදීමද වැදගත් වන අතර කොමිසමට පත්වන සාමාජිකයන්ගේ ක්‍රියා කලාපය අනුව අනාගත විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනයද සේවක අයිතීන්ද තිරණය වනු ඇත. කෙසේ වෙතත් යෝජිත විගණන පනත මඟින් රාජ්‍ය විගණන නිලධාරින් රාජ්‍ය සේවයෙන් පරිබාහිරව වෙනත් කාර්ය මණ්ඩලයක් බවට පත්වන්නේ නම් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය සුරැකීමද, වෘතිමය ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය විටදී අභියාචනය කලහැකි යම් ආයතනයක් බිහි කිරිමද, වත්මන් රාජ්‍ය විගණන නිලධාරින්ට විගණන පනත ක්‍රියාත්මක වීමත් සමඟම සිය අභිමතය පරිදි ප්‍රමාණවත් ප්‍රතිලාභ සහිතව ස්වේචිඡාවෙන් විශ්‍රාම යාමේ ක්‍රමයක් හදුන්වාදීමද මෙම ක්‍රියාවලිය තුළ ඉතාමත් වැදගත් වනු ඇත.

කෙසේ වුවද යෝජිත විගණන පනත ක්‍රියාත්මක කිරීම තුළින් රටක් වශයෙන් අවසානයේ අපේක්‍ෂා කළ යුත්තේ විගණකාධිපතිවරයාගේ බලතල වැඩිකර ඔහුගේ ස්වාධීනත්වය වැඩිකර වංචා හා දුෂණ අනාවරණය කරගැනීම හෝ එවැනි දුෂිත පුද්ගලයන් වෙත දඩුවම් පැනවීම පමණක් නොව රටේ පුරවැසියටන්ට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ලෙස රට තුළ යහපාලනයක්  ඇති කරගැනීමයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව සිය වත්මන් දැක්ම ලෙස යොදාගෙන ඇත්තේ "ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ප්‍රතිලාභය උදෙසා රාජ්‍ය නිලධාරින්ගේ වගකීම සහ යහපාලනය පෙරදැරි කරගත් රාජ්‍ය අංශයේ මගපෙන්වන්නා වීම" වන අතර එම දෙපාර්තමේන්තුවේ මෙහෙවර ලෙස යොදාගෙන ඇත්තේ "ප්‍රශස්ථ ගුණාත්මක විගණනයක් මෙහෙයවීම සහ පාර්ලිමේන්තුවට කාලීන හා නිරවද්‍ය වාර්තා ලබාදීම මඟින් යහපාලනය ප්‍රවර්ධනය කිරීම" යන්නයි. ඒ අනුව වත්මන් රජය විගණන පනත හදුන්වාදී කල යුත්තේ එම දෙපාර්තමේන්තුවට සිය "දැක්ම" සහ  "මෙහෙවර" කරා හඹායාමට අවශ්‍ය පහසුකම් ලබාදීම හා එයට පවතින බාධා ඉවත් කර විගණන සොයාගැනීම් පිළිබඳව කඩිනම් සාධනීය ප්‍රතිචාර දැක්වීමට විගණනයට ලක්වන ආයතනයක් පෙල ගැස්වීම පමණි. එවිට රට තුළ යහපාලනය ඇති වී රටේ පුරවැසියන්ට ප්‍රතිලාභ අත්වනු නොඅනුමානය. එවන් තත්ත්වයක් ඇති කරගැනීමට පක්‍ෂ විපක්‍ෂ හෝ කිසිදු භේදයකින් තොරව අත්වැල් බැදගැනීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමක් මෙන්ම වගකීමකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

දූෂණය මඬින්න රාජ්‍ය විගණනයට පණ දෙන්න

චාන්දනී Thursday, 12 February 2015 02:20 PM

අදාළ විගණන තනතුරු ලාභීන්ද අපක්ෂපාති ,වෘත්තීය ගරුත්වය රකින , අවංක අයවළුන් විය යුතුය . නැතිනම් හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වගේ වේවි. (බ)

:       0       0

ගමගේ Thursday, 12 February 2015 02:27 PM

මහත්තයෝ, රාජ්‍ය සේවයේ ඉන්න දක්ෂ ගණකාධිකාරිවරු,වරලත් ගණකාධිකාරීවරු, ඉංජිනේරුවො වගේ වෘත්තිකයොත් විගණකාධිපති දෙපාර්තමේන්තුවට බඳවාගෙන හරියට වැඩක් කළොත් නම් ඉතින් රටට සෙතක් වෙයි. (නි)

:       0       0

දුමින්ද Thursday, 12 February 2015 10:54 AM

විගණනය ලෙඩා මළ පසු එන මරණ පරීක්ෂණ වාර්තාවක් පමනක් නොවිය යුතුයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 60 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 143 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 113 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 918 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 38 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 79 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 891 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site