IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නැවුම් මියුරු ගී පබඳින කිවිඳාන - චිරං ජයතු අප රඹුකන සමිඳාන

2016-10-22-ent-64

‘සසර දනව්ව හතළිස් වසරක’ ගී පද අසිරිය නම් වූ ආරාධනා පත‍්‍රයේ අවසන් පිටුවේ වූ ඉහත කවි දෙපදය මගේ සිත් ගත්තේය. මම මොහොතකට මේ ආරාධනා පත‍්‍රය කියවමි.

හෙළ ගී කෙත සරුසාර කරනු වස්, හතළිස් වසරක් පුරා ගේය පද රචනයෙන්ද, නිර්මාණශීලී යති පරපුරකට නව මං තනා දෙමින් ද ඉටු කරන ලද උත්තුංග මෙහෙවර කෘතවේදීව සිහිපත් කරමින් රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වෙත දැයේ බුහුමන් පිරිනමන සසර දනව්ව මහෝත්සවයට සහභාගී වනු පිණිස ඔක්තෝබර් 30වන දින පස්වරු 2.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවට සපැමිණෙන මෙන් ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.....

 

රඹුකන හාමුදුරුවො ගීත ලියන්න පටන් අරන් අවුරුදු හතළිහක්ද?

මම මගෙන්ම විමසා ගතිමි.

එමොහොතෙහිම උන්වහන්සේගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගතිමි.

 

‘බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති

බණත් අහන්නැති ඒ කාලේ

නිවන් දකින්නට පිං මදි වෙන්නැති

ඒකයි තවමත් සංසාරේ......

 

2016-10-22-ent-65වික්ටර් රත්නායකයන් ගයන මේ ගී හැඬට යටින් දුරකථනය නාදවන හඬද ඇසිණි.

‘‘බුදු සරණයි.’’

එහා පැත්තෙන් ඇසුණේ අපේ සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ කට හඬයි.

මම මා ගැන කියා, මගේ අවශ්‍යතාවය සඳහන් කළෙමි.

 

‘‘මම දැන් ඉන්නේ පේ‍්‍රම් දිසානායක මහත්තයාගේ කන්තෝරුවේ. එතෙන්ට එන්න පුළුවන්ද?’’

ප්‍රේම් අයියාගේ ෆාස්ට් ඇඞ්ස් ආයතනය පිහිටා ඇත්තේ මරදානේ දේවානම් පියතිස්ස මාවතේය. මම එසැනින්ම එහි ගියෙමි.

‘‘මම ලියපු ගීත පනහක ස්වර ප‍්‍රස්තාරයි, ගීත රචකයො පනස් දෙනෙක් ලියපු විචාරයි ඇතුළත් කරලා පොතක් කරනවනෙ. උත්සවය අවස්ථාවෙ එළි දක්වන්න. මේ ඒකෙ වැඩ.

හාමුදුරුවෝ කීහ.

ඉනික්බිති පේ‍්‍රම් දිසානායක මහතා විසින් අපේ පිළිසඳර කාර්යයට නිදහස් තැනක් සකස් කර දුන්නේය.

මම අපේ හාමුදුරුවන්ගේ හතළිස් වසරක් තිස්සේ පැමිණි ගීමගේ රස තැන් නොදත් තැන් විචිත‍්‍ර තැන් ගැන විමසුවෙමි.

‘‘හැත්තෑව දශකය කියන්නේ අපේ රටේ කලා ලෝකේ ස්වර්ණමය යුගය කියලනෙ කියන්නේ. ඔය කාලේ මම කැලණිය විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නවා. නාට්‍යය, චිත‍්‍රපටිය, ගීතය ඔය හැමදේම හොඳම අවධිය වෙලා තිබුණෙ මේ කාලෙ. ඉතින් විද්‍යාර්ථීන් විදිහට අපිත් ඔය කලාංග ගැන ඉගෙන ගත්තා, කතා කළා. ඔය අතරින් මගේ හිත ගිහින් තිබුණෙ ගීතයට. මේ නිසාම අපි ගුවන් විදුලියට ආවා ගියා. ඩෝල්ටන් අල්විස්ලා, මඩවල එස්. රත්නායකලා, පණ්ඩිත් අමරදේවලා, දයාරත්න රණතුංගලා, පේ‍්‍රමසිරි කේමදාසලා, මහගම සේකරලා මට අඳුනගන්න ලැබෙනවා. ඒ අය එක්ක සමීපව ඇසුරු කරන්න ඉඩ ප‍්‍රස්ථාව ලැබෙනවා.

ඉතින් ගීතය ගැන කරන කතා බහ ඔස්සේ, සුභාවිත ගීත ගැන දැනගන්නවා. මමත් ගීත ලියන්න පටන් ගන්නවා.

 

ඔබ වහන්සේ අතින් මුලින්ම ගීතයක් ලියැවෙන්නේ කාටද?

මොහොතක නිහඬතාවය මධ්‍යයේ මම අපේ හාමුදුරුවන්ට තවත් ප‍්‍රශ්නයක් යොමු කරමි.

‘‘මම මුලින්ම සිංදුවක් ලියන්නෙ දයාරත්න රණතුංගයන්ට.

 

‘කල්ප කාල ගතවන තුරු

මෙතේ බුදුන් බුදුවන තුරු

වැඩ සිටින්න බෝ සමිඳේ

මහ බෝ සමිඳේ......’

 

මම මේ ගීතය ලිව්වේ අනුරාධපුරේ වැඩ ඉන්න ජයසිරි මහ බෝ සමිඳුන්ට.

අනුරාධපුරේට වන්දනාවෙ යන ඕනම කෙනකුගේ ප‍්‍රාර්ථනාව තමා බෝධීන් වහන්සේ මේ ජාතිය තිබෙන තුරුම වැඩ සිටිවා කියනා ප‍්‍රාර්ථනය. මොකද අපිට දැන් අපේ බුදු හාමුදුරුවො නෑ. අපිට තියෙන ලොකුම සම්පත් තමයි ජය ශ්‍රී මහා බෝධියයි. දළදා හාමුදුරුවොයි. ඉතින් මේ කල්පය පවතින තුරුම මේ සම්පත් දෙක අපිට ඉතුරු වෙලා තියෙන්න ඕනැ කියන ප‍්‍රාර්ථනාව අපේ ළඟ තියෙනවා.’’

රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ තව තවත් ගී ලියන්නට පටන් ගත්හ.

එවකට සිද්ධාර්ථ හාමුදුරුවන් දුහුනෙකි. අද ප‍්‍රවීණයන්ව සිටින ටී.ඇම්. ජයරත්න, එඞ්වඞ් ජයකොඩිලා, චරිතා ප‍්‍රියදර්ශනීලා ද එවකට ආධුනිකයන්ය. ඉතින් සිද්ධාර්ථ හාමුදුරුවන් අතින් ලියැවෙන ගී පද මාලා එදා මේ ආධුනික ශිල්පීහු ආදරයෙන් බාර ගත්හ.

මේ ගීත නිර්මාණවල තියෙන අපේකම, බෞද්ධ පසුබිම බොහෝ වැදගත් විය.

සාමාන්‍යයෙන් සරල ගී වැඩසටහනකට බුදුගුණ ගී ආදිය අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුයි.

අපේ කම මේ ගී පද මාලාවල අන්තර්ගත විය.

‘‘ඒ අපේකම තිබුණේ අපේ හාමුදුරුවන්ගේ පුංචි කාලයේ ලද දහසක් අත්දැකීම්වලය.’’

‘‘මම මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක්කොලේ උපන්න දරුවෙක්. රඹුකන කියන්නේ හද්ද පිටිසර ගමක්. මගේ අම්මා තාත්තා ගොවියො. හවසට හවසට සීයටයි ආච්චිටයි ඇහෙන්න මම යශෝදරා වත, පන්සිය පනස් ජාතක පොත, වගේ පොත් කියවනවා. මේ වයේ තියෙන දේවල් ඔක්කොම අපිට නොතේරුණත් මේවයේ තියෙන ගීතවත්කම අපේ හිතේ රැුඳිලා තිබ්බා. පස්සේ කාලේ පිරිවෙණේදී, විශ්වවිද්‍යාලයේදී මේවා වැඩිදුරට ඉගෙන ගන්න කොට අර ළමා කාලෙදී හිතේ රැුඳිල තිබ්බ රිද්මය මිහිර මගේ මතකයෙ තිබුණා.

මම විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ නතර වෙලා හිටියෙ කැලණිය රජ මහා විහාරයෙයි. කැලණිය පන්සල කියන්නෙත් පුදුමු තැනක්නෙ. බුදු හාමුදුරුවොත් වැඩම කරපු පින් බිමක්නෙ. ඉතින් මෙතන මට ගීත නිධානයක් වුණා. මම හුඟාක් සින්දු ලියද්දී, මගේ හිතේ අර ගමේ පන්සලේ ඇසුර රැුඳිලා තිබ්බා. ගමේ ජීවිතේ රැුඳිලා තිබ්බා.

 

‘‘කඳුළු හෙළා නෑඹිලියට සහල් ගරන අම්මා

සුසුම් හෙළා ගිනි අළුගෙන ලිප මොළවන අම්මා

වෙල් දෙණිවල ඇවිද ගොසින් වෙරළු ගෙනත් අම්මා

ඉනිවැට ළඟ බලාසිටී අපි එනතුරු අම්මා....’’

 

දීපිකා ඔය කියන්නේ මගේ අම්මා ගැන. ඈත එපිට ගම් දනව්වල ඉන්න අම්මල ගැන. ඒ කාලෙ ගම්වල හිටපු අම්මලගෙ භූමිකාව තමයි ඔය. එතකොට මම ටී.එම්. ජයරත්නට ලියපු පළවෙනි ගීතය.

 

‘‘සීයක් ආයු ලැබ - මගෙත් ආයුගෙන

මටත් වඩා කල් ඔබ ජීවත් වේවා

මෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඳ

විශාඛාව වේවා...’’

 

මේත් මව්ගුණ ගීතයක්. අපි අම්මට වඳින ගාථාවක් තියෙනවා.

දසමාසේ උරේකත්වා කියලා. මේ ගාථාවේ එන ආයු දී ගං වස්ස සතං කියන්නේ සියවසක් ආයු ලැබේවා කියන එකට.’’ රඹුකන හාමුදුරුවෝ ලියූ ගීත තවත් රාශියකි. ඒ අතරින් මගේ මතකයට එන්නේ එඞ්වඞ් ජයකොඩි ගයන ගමේ පන්සල ගීතයයි.

‘‘ගමේ පන්සල අපේ පන්සල

අපේ කම රැක්කා

අපේ දානෙදි අපේ මරණෙදි

අපේ ළඟ සිටියා...’’

 

‘‘එදා ගම් දනව්වල තිබුණ පන්සල් ඒ වගේ. ගමේ හැමෝම හැමදේටම දිව්වේ පන්සලට. පන්සලේ හාමුදුරුවොත් තමන්ගේ දායකයන්ගෙ ඕනැ එපාකම් හැම එකකදීම ළඟින්ම හිටියා.’’

ඇත්තටම මම මේ හැම ගීතයක්ම ලිව්වෙ ළමා කාලෙදී මම ලබපු අත්දැකීම් ඇසුරු කරගෙන.

මම මුලිනුත් කිව්වනෙ අත්තාටයි, අත්තම්මාටයි අහගෙන ඉන්න. මම යශෝධරාවත කියෙව්ව කියලා. ඔය යශෝධරා වත මගේ මතකයෙ රැුඳිලා තමයි.

ලාදළු බෝපත් සිංදුව කරුණාරත්න දිවුල්ගනේට ලියලා දෙන්නෙ.

 

‘‘ලාදළු බෝපත් සෙමින් සැලෙන සේ

යශෝදරා දේවී......

වාවනු බැරි තැන රහසේ හැඬුවා

පෙර සංසාරේ ඇසුර මතක් වී.....

ලේන කුලේ සිට ආගිය මඟතොට

සිටියා නොසැලෙන පහන් වැටක් වී....

නිවන් දකින තුරු මේ සංසාරේ

පසුපස ආවා සෙවනැල්ලක් වී......

 

තැලී සෙනේ සිත සැලී හඬන විට

වැටී දෙපා ළඟ යශෝධරාවෝ.....

පිපී නිවන් මල් සාදුකාර දී

නිවී පහන් විය උදෑසනක් සේ....’’

 

තම සුරතින් එදාමෙදා තුර ලියැවුණ තවත් අමරණීය ගී පද වැල් හි පසුබිම් කතා පිළිබඳව සිද්ධාර්ථ හාමුදුරුවෝ පවසති.

එහෙත් මගේ මතකය හදිසියෙන්ම දිව ගියේ.

කරුණාරත්න දිවුල්ගනේ ශිල්පියා සිය අවසන් සංගීත තැටිය මේ සිහින හරි පුදුමයි පිළිගැන්වූයේ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දෝතටය. එදා දිවුල්ගනේ අයියා මා සමඟ පැවසු කතාවක් මට මතක් වෙයි.

‘‘මමයි ගුණදාස කපුගෙයි රජරට සේවයෙ රස්සාව අහිමි වෙච්ච දවසෙ ආවෙ සිද්ධාර්ථ හාමුදුරුවො ළඟට. එදා ඉඳලා සෑහෙන කාලයක් යනතුරු අපිව බලා ගත්තේ සිද්ධාර්ථ හාමුදුරුවෝ.’’

මම මේ කතාව සිද්ධාර්ථ හාමුදුරුවන්ට කියා උන් වහන්සේගෙන් සරණක් ලැබුණු අපේ තවත් කලාකරුවන් ගැන විමසුවෙමි.

ඒ, එබඳු සිදුවීම්, අපේ පාඨක පිරිසට වැදගත් වේය යන හැඟීමෙනි.

එහෙත් සිද්ධාර්ථ හාමුදුරුවෝ මගේ ප‍්‍රශ්නයට උත්තර දුන්නේ නැත.

‘ඒ කතා කිව්වොත් මම කයිවාරු කාරයෙක් වෙනවා. ඇරත් අපි බුද්ධ පුත‍්‍රයො විදිහට සරණක් වෙන්න ඕනැ කෙනාට සරණක් විය යුතුයි. නමුත්

ඒ සරණ වුණු ආකාරය ගැන රටට කිවයුතු නැහැ.

ඒ වගේම තමයි අපි ලියන කියන දේවල් අපේ ළඟ තියෙන්න ඕනැ. අපි මනුස්සකම ගැන කතා කරනව නම් අපේ ළඟ මනුස්සකම තියෙන්න ඕනැ. අපි ආදරේ ගැන කතා කරනවනම් ඒ ආදරේ අපි ළඟ තියෙන්න ඕනැ. එහෙම නොවුනොත් අපි කලාකාරයො වෙන්නෙ නැහැ.’ සිද්ධාර්ථ හාමුදුරුවෝ මේ දේශනා කරන්නේ ධර්මය නොවේ දැයි මට කල්පනා වේ.

එහෙත් මා පැමිණියේ සැඳැල්ල අතිරේකයට සිද්ධාර්ථ හිමියන්ගේ හතළිස් වසරක කලා ජීවිතය ගැන ලියන්නට මිස දහම් ලිපියක් ලියන්නට නොවේ. කෙසේ වෙතත් අපේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන් ප‍්‍රසිද්ධ, ධර්ම කථික භික්ෂුවක ලෙස නොවේ. ගීත රචක භික්ෂුවක ලෙසිනි. එබැවින්, මම නැවත වරක් මාතෘකාව වෙනස් කරමි.

අපේ හාමුදුරුවොද ලංකාවෙ පළමුවැනි ගීත රචක හාමුදුරුවො.

නැහැ මට කළින් ගුවන් විදුලියට ගීත නාටක ලියපු හාමුදුරු කෙනෙක් හිටියා. වැලමිටියාවේ ධම්මරක්ඛිත කියලා. ඒ හාමුදුරුවො ලියපු ගීත නාටකයක තිබුණු ගීතයක් තමයි සනත් නන්දසිරි මහත්තයා ගායනා කරන, සිත් නෙත් මහත් දකින කියන ගීතය. ඊට පස්සේ ගීත රචනා කළ භික්ෂුව තමයි මම.

 

ඔබ වහන්සේ ගීත ලියද්දී, ඔබ වහන්සේට එරෙහිව කථිකාවතක් ගොඩනැගුණෙ නැද්ද?

මම උන්වහන්සේගේ මුහුණු බලමි.

‘‘බුදු දහමේ තියෙනවනෙ නච්ච ගීත වාදිතවලින් වැළකෙනවා කියලා සිල් පදයක් හැබැයි බුදු හාමුදුරුවො ගීතයට ප‍්‍රියකළ ගීත ගයපු කෙනෙක්. සිද්ධාර්ථ හාමුදුරුවන් මේ කියන්නේ කුමක්ද? බුදු හාමුදුරුවන් ගැයූ ගී මොනවාද? මම කුහුලින් යුතුව සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ මුහුණු බලමි. ‘සිදුහත් තවුසා සාරා සංකෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුද්ධත්වය ලබා ගත් මොහොතේ උන් වහන්සේ මොකක්ද කිව්වේ. අනේකා ජාති සංසාරේ කියන ගාථාව. ගාථාවක් කියලා පාලියෙන් කියන්නේ මොකක්ද? ගීතයක්. පාලි ගාථා තමයි සිංහල ගීත. එහෙමනම් බෞද්ධ භික්ෂුවක් ගීතයක් ලියන එක වැරැුද්දක් වෙන්න බෑ.

ඇරත් මම ලියලා තියෙන්නේ හරසුන් ගීත නෙමෙයි බණ පද. මේ ගීතවලින් දෙන පණිවිඩයයි, බණකයි කිසිම වෙනසක් නැහැ.’

අපේ හාමුදුරුවෝ පවසති.

මා සාදුකාර නුදුන්නත් සිද්ධාර්ථ හාමුදුරුවන් මේ කියන්නේ බණ බව මටද වැටහේ.

එහෙත් වෙනස උන්වහන්සේ ලියූ බණ ගී, අපේ රටේ ප‍්‍රසිද්ධ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් ගායනා කිරීමයි.

මම යළිත් සසර දනව්ව ඇරියුම් පත අතට ගනිමි. සසර දනව්වේ ගී ගයන ශිල්පී නාමාවලියද එහි සඳහන්ය.

ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද නන්දා මාලනී, ආචාර්ය දයාරත්න රණතුංග, අයිවො ඩෙනිස්, ටී.එම්. ජයරත්න, විශාරද එඞ්වඞ් ජයකොඩි, බන්දුල විජේවීර, නීලා වික‍්‍රමසිංහ, සෝමතිලක ජයමහ, කරුණාරත්න දිවුල්ගනේ, විශාරද දීපිකා ප‍්‍රියදර්ශනී, විශාරද චරිතා ප‍්‍රියදර්ශනී, අතුල අධිකාරී, සමිතා මුදුන්කොටුව, නිරෝෂා විරාජිනී, සන්ධ්‍යා බුලත්සිංහල, මිත‍්‍ර කපුගේ සහ දිස්නා අතපත්තු.

‘‘මේ ප‍්‍රසංගය පැවැත්වෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ බවත් ලියන්න.’’

සිද්ධාර්ථ හාමුදුරුවෝ ඉල්ලීමක් කරති.

එයද ලියා තබමින් මම අපේ හාමුදුරුවන්ගේ දෙපා නැමද සමුගත්තෙමි.

 

‘මේ ඉර හඳ යට හමුවී

ආදරයෙන් කතා කරපු අය

සෙනේ වඩපු අය

ළඟ පාතකවත් නෑ.........’

 

සමුගැනීමේ අරුමය එයයි

අපේ හාමුදුරුවනේ,

එහෙත් සමුනොගෙන

කොහොමද?

 

ශාන්ත කුමාර විතාන / ඡායාරූප සඳුන් ගමගේ

 

2016-10-22-ent-64
2016-10-22-ent-63



අදහස් (0)

නැවුම් මියුරු ගී පබඳින කිවිඳාන - චිරං ජයතු අප රඹුකන සමිඳාන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති ජොන්ස්ටන්ට විදේශ් ගත වීම තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 10 0 0

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව


ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 849 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 1019 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 531 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 303 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 326 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 60 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site