IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පොසොන් සඳ සිසිලේ සාධුකාර හඬ පැතිරේ...

පොසොන් සඳ දැනටමත් අහස අරා හිදී. හෙට නොව අනිද්දා රාත‍්‍රියට සොලොස පුරා වටකුරුවට අහසට නැගෙන මේ පොසොන් සඳ මිහින්තලයත්, මහමෙව්නාවත්, තන්තිරිමලයත් සෞම්‍ය සඳ එළියෙන් නහවනු ඇත්තේය.
සුවහසක් බැතිමතුන්ගේ මුවෙන් නැගෙන සාධු නාදය දසදෙස පැතිර යද්දී, මිහින්තලයට, ජය ශ්‍රී මහා බෝධියට, රුවන්වැලිසෑයට, තන්තිරිමලයට මෙන්ම අනුබුදු මිහිඳු හිමියන්ට ලියූ බැති ගී හඬද දසත පැතිරෙයි.

5665

 


ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු අපේ ජාතියේ මුදුන් මල්කඩය. සිද්ධාර්ථ බෝධිසත්වයන් බුදු බව පසක් කරගනු වස්, සෙවන පැතූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අද ඉන්දියාවේද වැඩ නොවසති. එතැන වැඩවසන්සේ පසුව පැන නැගුණු බෝධියකි. එහෙත් එම මුල් බෝධියෙන්ම මතුවූ අංකුරයක් වන අපේ ශ්‍රී මහා බෝධිය වර්තමානයේදී ලොව පවතින පැරැුණිම වෘක්ෂය බවටද පත්ව තිබේ. ඉතින් මේ සිරිමා බෝධිය පිළිබඳව බොදු ගීත රචකයන් අතින් ලියැවුණු. ගායකයන්ගේ ගායිකාවන්ගේ මුවින් ගැයුණු ගීත ගණනික් රාශියකි.


ඒ අතරින් දීපිකා ප‍්‍රියදර්ශනී ගයන ජය සිරිමා හාමුදුරුවනේ ගීතය සුවිශේෂීය.


මෙම ගීතයට පද එක් කළ මහින්ද චන්ද්‍රසේකර ගීත රචකයා අනුරාධපුරයේම නැතිනම් නුවර කලාවියේම වාසයකරන්නෙකි.
ඉතින් අපි මහින්දට සවන් දෙමු.


‘‘මගේ ගම මැදවච්චිය. මේ නිසා පුංචි දවස්වල ඉඳලාම ජය ශ්‍රී මහා බෝධියට අප නිතර නිතරම වගේ එනව යනවා. හිටපු ගමන් කිරි ආහාර පාත්තරයක් අරගෙන ඇවිත් පූජාකරලා යනවා.


ඒත් 1985 දී අපේ ජයසිරි මා බෝ හාමුදුරුවන් වැඩ ඉන්න භූමියට කොටි ත‍්‍රස්තවාදීන් ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළා. මේ ප‍්‍රහාරයෙන් පස්සෙ බෝධීන් වහන්සේ වඳින්න පුදන්න යන්න සිද්ධ වුණෙත් තහංචි මැද පරීක්‍ෂණවලට පවා ලක්වෙලා. දොරටුව ළඟ පොලිසිය ගෑණුන්ට එක පෝලිමක් පිරිමින්ට තව පෝලිමක්. අපි කිරි ආහාර පාත්තරයක් අරගෙන ගියොත් ඒකත් ගලෝල කූරු ගහල බලනවා මොනවහරි පුපුරන ද්‍රව්‍යයක්වත් හංගලද කියලා. ඒත් අපි මේ කිරි ආහාර පාත්තරේ අරගෙන එන්නේ පුදුම විදිහෙ ශ‍්‍රද්ධාවකින්. ලූණුවත් බලන්නෙ නැතුව.


මේ විදිහට මළුවට ඇතුල්වෙන අපිට උඩ මළුවට නම් යන්න ලැබෙන්නෙම නෑ.


ඒත් ඉස්සර, ඒ කියන්නෙ අපි පුංචි කාලේ නම් අපි කිසිම තහංචියක් නැතුව උඩ මළුවටත් ඇතුල් වුණා. ඒ කාලෙ රන්වැටක් තිබුණෙත් නැහැ. තිබුණෙ යකඩ වැට විතරයි.


ඉස්සරෝම කාලෙ මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කැලෑවෙන් වැහිල තිබිලා තියෙන්නෙ. මේ බෝධීන් වහන්සේ හොයාගත්තු හාමුදුරුවෝ තනියෙන්මයි බෝධීන් වහන්සේ රැුකගෙන තියෙන්නේ.


වියළි කාලෙට අනුරාධපුරේ වැව් ඔක්කොම හිඳෙනවා. වතුර ටිකක් ඉතුරු වෙන්නෙ තිසා වැවේ විතරයි. ඉතින් කැලේ ඉන්න අලි ඔක්කොම තිසා වැවට එනවා වතුර බොන්න. ඊට පස්සෙ මේ ගොල්ලො උඩ මළුව පැත්තට හැරෙනවා. බෝ කොළ කන්න අලි හරිම කැමැතියි. මේ කොළවල තියෙන කිරි රහට උන් ආස නිසා.


ඉතින් අලින්ගෙන් බෝධීන් වහන්සේ රැුකගන්න එක සෑහෙන ප‍්‍රශ්නයක්. බැරිම තැන හාමුදුරුවෝ බෝධීන් වහන්සේ බාරකාර ගම්වල අයට කතාකරල මේ බෝධීන් වහන්සේ රැුකගන්න එකතුවෙන්න කියලා ඉල්ලීමක් කළා.


මගේ ගම මැදවච්චිය කිව්වනෙ. මගේ ආච්චිලගේ කාලෙදි පුළුවන් තරම් දර එකතුකරගෙන කරත්ත ගණනාවක පටවගෙන මළුවට එන පුරුද්දක් තිබුණා. සතියක් තිස්සෙ රෑට ගිනි මැල ගහගෙන මේ බෝධිය අලින්ගෙන් ආරක්‍ෂා කරනවා. උදේට බෝධියට වන්දනාමාන කරනවා. පූජා පවත්වනවා. එක පැත්තකින් මේක ලොකුම පිංකමක්.


මේ කට්ටිය ආපහු යන්නේ ඊළඟ කරත්ත පේලිය අවට පස්සෙ.


ඉතිං මෙන්න මේ උපාසක නඬේක කෙනෙක් බෝධීන් වහන්සේ වන්දනා කරන්න ආවොත් ඒ ඇත්තට හරි ඇත්තියට හරි හිතෙන දේවල් තමයි මම මේ ගීතයට ලිව්වෙ.’’

Sri-Mahbo-2
ජය සිරිමා හාමුදුරුවනේ
දරමිටි ඇද්දා රෑ නිදිමැරුවා
ගිනි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරි මා හාමුදුරුවනේ

වැලි මළුවේ හිඳ සාධු කියන කොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාඩිය මුහුවුණ
අපේ බාර පිළිගන්න හොඳයි

රන්වැට පාමුල සාදු කියනකොට
ලෙන්ගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුවො දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි.


(සංගීතය - රෝහණ වීරසිංහ)


මහින්ද චන්ද්‍රසේකර තම දුක්ගැනවිල්ල ජය සිරිමා හාමුදුරුවන් වෙත යොමුකරද්දී තවත් ගීත රචකයකු බෝධීන් වහන්සේගේ අසිරිමත් ගුණ සමුදාය මෙනෙහි කරන්නේය.


මීගොඩ විල්සන් එවැන්නෙකි. එහු තම බැති සිත විවර කර, ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හඬින් අපේ සවනග සතපන්නේ මෙසේය.


සිරිමා බෝ වැලි මලූවේ
දැල්වෙන සිළු පහන්සිලේ
මුනි කරුණා ගුණෙන් පිරි
සිත සැනහේ නිසංසලේ

නේරංජන නදී තෙරෙන්
හමන සීත සුළං රැුල්ලෙන්
සැලෙනා බෝපත් අතරේ
සනරාමර රැස් වැතිරේ

මෙත්ගුණ පිරි නෙත් සගලේ
නිවන් සුවය රැහැන් ඇදී
නටන පහන් වැටි එළියේ
ලොව්තුරු දම් රස මතුවේ


ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ ද සිරිමා බෝ සමිඳුන්ට බැති ගී ගණනාවක්ම ලියූ ගීත රචකයෙකි. ඒ අතරින් දයාරත්න රණතුංග ගැයූ මේ ගීතයද බොදු සිත් කම්පිත කරන්නේය.


සිලි සිලි නදිනේ
සැලි සැලී පවනේ
බෝපත් සෙලවෙන්නේ
ජය සිරිමා බෝ
සමිඳුන් සෙවණේ
බුදු ගුණ උතුරන්නේ

සිහිල හමා ඒ
සුවඳ ගලා ඒ
හද වත තුළ
බැතිසිත උතුරා

ගිමන නිවී සේ
පවස සිදීයේ
අමා දියෙන්
හදවත සනහා


ජයසිරිමහා බෝ හාමුදුරුවන් හැරුණුවිට රුවන්වැලිසෑය තරම් සැදැහැවතුන්ගේ වන්දනාවටත් ගීත රචකයන්ගේ ගීපද මාලාවලටත් විෂයවූ තවත් පුණ්‍ය වස්තුවක් මහමෙව්නාවේ නම් නැත.


රන් වැලි සෑ රන්කොත මුදුනින්
රන්වන් ගණ රන් කිරණ ගලා
සම්මා සම්බුදු සිහිලස උතුරා
පින්බර දැය යළි එකළු වුණා

රත්නමාලි මහ සෑ සිරසින්
හෙළ යස රැස දියතේ පැතිරේ
පහන් හැඟුම් ඉපදිලා හදේ
නිවන් පුරට පාවඩ ඇතිරේ

දිවමන් බුදු හිමි වැඩහිඳිනා
පින්බිම තුන්ලොව වෙන කොතැනා
දුටු දන ඇස ඇස රසදුන් දී
නිවී සසර ගිම් සිත සැනසේ


ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතයට කරුණාරත්න දිවුල්ගනේ ගැයූ මේ ගීතයේ පද රචනය පල්ලේගම හේමරතන හිමියන්ගේය. රුවන්වැලි සෑයේ බාරකාර හිමියන් වන උන්වහන්සේ අතින් වැඩිපුරම ලියැවෙන්නේද මහමෙව්නා උයන පිළිබඳ ගීත රචනාමය!


ජය සිරිමා බෝ සමිඳුන් වෙනුවෙන් ගීත ගණනාවක්ම රචනා කළ පල්ලේගම හාමුදුරුවෝ අනුරපුරය ගැනද ගී ලියා අපේ සිත් සතන් බොදු බැතියෙන් පහන් කරති. මෙම ගී බණ යැයි මට සිතේ.


පණ්ඩිත් අමරදේවයන් ගැයූ
ඔබේ නමින් සෑය බඳිමි
නම් වූ ගීතයද මේ මොහොතේ මගේ මතකයට නැගෙයි.
ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ


මහගමසේකර පද රචනා කර ඇති මේ ගීතයේ පසුබිම අපූරු කතාන්තරයකි.


දුටුගැමුණු රජු මේ මහා චෛත්‍යය ඉදිකරන්නට තීරණය කළ ස්ථානයේ විශාල රන් තෙලඹු ගහක් විය. මේ ගස කපන්නට යන සෑමවිටකම ඊට බාධා කෙරිණි. ඒ බාධාව කළේ මේ ගසට අරක් ගෙනසිටි ස්වර්ණමාලි නම්වූ වෘක්‍ෂ දේවතාවියයි. අවසානයේදී මේ දෙවඟන බිමට බැස ඉල්ලීමක් කළාය. ඇගේ විමානය හැර යන්නට නම් මේ හදන්නට යන චෛත්‍යයට ඇගේ නම යෙදිය යුතුය යන්නයි. මෙතැන ඉදිකළ මහා සෑය ස්වර්ණමාලි මහා චෛත්‍යය ලෙස නම් කෙරුණේ ඒ අනුවය.


මහගමසේකරගේ මෙම ගී පදවැලට පසුබිම් වූයේ අන්න ඒ කතාවය.


ජයසිරිමා බෝධිය රුවන්වැලි සෑය මිහින්තලය හැරුණු විට රජරට අනෙක් පින්බිම ලෙස පොසොන් සඳට ආලෝකවත් වන්නේ තන්තිරිමලයයි.
පොසොන් පෝදා විදුලිය බුබුලෙන් නැහැවෙන තන්තිරිමලේ චෛත්‍යය ආලෝක පූජාවට බැතිබර දායකත්වය ලබා දෙනු ලබන්නේ විජය පුවත්පත් සමාගම විසින් වීමද අපට ආඩම්බරයකි.


සඟමිත් තෙරණිය ජයසිරිමා බෝ අංකුරය වැඩමවද්දී, එක් රාත‍්‍රියක නවාතැන් ලැබුණේ එවකට තිවන්ක බමුණුගම ලෙස හැදින්වුණු තන්තිරිමලේ ගල් තලාවේදීය. පසු කලෙක මේ ජයසිරිමා බෝ රදුන්ගේ අෂ්ට ඵලයකින් හටගත් බෝධියක් තන්තිරිමලයේ රෝපණය කෙරිණි.


මෙන්න මේ තන්තිරිමලය පිළිබඳව ද ගීතයක් ලියැවී තිබේ. එහි පදරචකයා ද අනුරාධපුරයේම උපන් මහින්ද දිසානායක වීම සුවිශේෂ කාරණයකි.


සිරිමා බෝ හිමි ගිමන් නිවූ තැන
අටපල රුක බෝ රදුන් රැඳුණු බිම
දුකින් තැලෙන සිත් සුවපත් කරවන
මහ වෙහෙර තන්තිරිමලේ
දෙව්රමකි මේ මිහිතලේ

ගල් කුළු අතරින් බුදුරුව මතුවෙන
සිරස පුරා දුටුවා මෙනි මුනිතුම
පොකුණින් සිල් මල් සුවඳ ගලාගෙන
මහ වෙහෙර තන්තිරිමලේ
දෙව්රමකි මේ මිහිතලේ

තිවක්කගම මහ වන පෙත විනිවිද
අහස උසට නැගිලා මහදාගැබ
සඳක් වෙලා රෑ එළියේ බැබලෙන
මහ වෙහෙර තන්තිරිමලේ
දෙව්රමකි මේ මිහිතලේ


ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට කරුණාරත්න දිවුල්ගනේ ගැයූ මේ ගීතය පිළිබඳව මහින්ද දිසානායක කියන කතාවට අපි මොහොතකට සවන් දෙමු.


මම උපන්නෙ විලච්චියෙ දුනුමඩලාව කියන ගමේ. මේ ගම තියෙන්නෙ තන්තිරිමලය කිට්ටුව. මේ නිසා ගමට යන හැම දවසකම වගේ තන්තිරිමලේට ගිහිල්ල නායක හාමුදරුවෝ මුණගැහෙන පුරුද්දක් මගේ ළඟ තියෙනවා. එහෙම ගිය එක දවසක  උන්වහන්සේ මගෙන් අහනවා තන්තිරිමලේ ගැන ලියැවුණු ගීතයක් නැති එක ලොකු අඩුවක් නිසා ගීතයක් ලියන්න බැරිද කියලා.


මේ ගීතය ලියැවෙන්නෙ අන්න ඒ ඉල්ලීම අනුවයි.


තන්තිරිමලේ කාලයක් කැලේට ගිහින් තිබුණු පින්බිමක්. කලින් හිටපු ලොකු හාමුදුරුවො තමයි මේ පින්බිමට ඇවිත් අවට සෙනඟ පදිංචිකරලා මේ පින්බිම රැකගත්තෙ. අද තියෙන විදිහට සංවර්ධනය කළේ. ඇත්තෙන්ම අද තන්තිරිමලේ තිබෙන්නෙ ලොකු සෙනඟක් එන පින්බිමක්. මේ පින්බිම ගැන ගීතයක් ලියන්න ලැබීම වාසනාවක් කියල මම හිතනවා.’’


තන්තිරිමලේ යනු සුන්දර ගල්තලාවකි. චෛත්‍යය ද බෝධින් වහන්සේද වැඩ සිටින්නේ ඒ ගල්තලාව මතුපිටය.
මේ ගීතය ඇසෙනවිට මතකය වැළඳ ගන්නේ අන්න ඒ සුන්දර භූමි දර්ශනයයි.


අනිද්දා රාත‍්‍රියට සඳ පහන ගලන විට මේ පින්බිම මොනතරම් සුන්දරද? තව තවත් බැති ගී ලියන්නට ගීත රචකයන්ගේ පෑන් තුඩුවලට ශක්තිය ලැබෙනු නියතය.

 

 m

 

 



අදහස් (0)

පොසොන් සඳ සිසිලේ සාධුකාර හඬ පැතිරේ...

සම්පත් Sunday, 21 June 2015 04:20 PM

ඇත්තටම අපගේ පැරණි ගීත රසවින්දනය කරනකොට මනසට කොපමණ සුවයක් දැනෙනවද ? (නි)

:       0       0

චන්න බුවනක Friday, 05 June 2015 03:45 PM

මේ සෑය ස්වරණ මාලි සෑයද? රත්න මාලි සෑයද ? ස්වර්ණ මාලි කියන දෙවඟනක් ගැන සඳහන් කර තිබෙන නිසයි ඇහුවේ. (කේ)

:       0       0

තුසිත Wednesday, 03 June 2015 06:48 AM

ශ්‍රී මහා බෝ සමිඳුන් පන මෙන් අප සියලු දෙනාම රැකිය යුතුය. (නි)

:       0       0

කමල් Monday, 01 June 2015 12:32 PM

සාදු! සාදු! සිරි මහා බෝ හාමුදුරුවනේ! තව කල්පයක් මගේ ලක් රට රකින්න හාමුදුරුවනේ (නි)

:       0       0

නිමල් ලාලිත Tuesday, 02 June 2015 01:59 AM

මෙහි සදහම් කරුණු සිය දහස් වරක් ඇත්ත.මේ සිංහල බෞද්ධ රට.ලෝකයේ ඇති උතුම් වස්තූන් වැඩ සිටින රට. නමුත් සියල්ල අමතකකර දේශපාලන බලපෙරේතකම නිසා මේ සිංහල බෞද්ධ රටක් යැයි කියන්න බැරි දේශපාලුවන්ට කත් අදිමින් මේ සිංහල බෞද්ධ රටේ සිංහලකම,බොදු අයිතිය විනාශවීමට මංපාදමින් අපි දේශපාලන ගැත්තන් වෙමු. (නි)

:       0       0

දිලිප් Wednesday, 03 June 2015 11:12 PM

මෙහෙවු රට සිංහල බෞද්ධ නෙමෙයිලු? මට තේරෙන්නේ නැහැ මොන පක්ෂෙන් මොන පාටින් ආවත් මිනිස්සු මේ වගේ තමන්ගේ ජාතියට ගරහන මිනිසුන්ට ඡන්දෙ දෙන්නේ කොහොමද කියලා. (නි)

:       0       0

ජී.ඒ.කිත්සිරි Wednesday, 03 June 2015 02:19 AM

හොඳයි, රුවන්වැලි මහසෑය නොහැඳිනීම ගැන දුකයි. (නදී)

:       0       0

පෑම් Sunday, 07 June 2015 01:00 AM

දිලීප්, ස්වර්ණමාලි සෑය රත්නමාලි සෑය දෙකම එක තේරුමයි (නි)

:       0       0

සුනිල් Thursday, 18 June 2015 11:24 PM

සිරිමා බෝ සමිඳු අනිමිස ලෝචනයෙන් පිදු සම්මා සම්බුදු සාදු අපි වදිනවිට සිරිමා බෝ සමිඳු බුදු නෙත ගැටෙනවා... සම්බුදු සාදු සද්ධා විර්යය සති සමාධි බොදු හදවත් තුළ වඳිනා ... සම්බුදු සාදු.... සත්තිස් බෝධිය පිරුමට සිරිමා බෝධිය වඳිනවා... සම්බුදු සාදු.... තුන්ලෝ දෙවු බඹුන් අහසෙන් බැස වඳිනා අනුරපුරේ.... සුදු කොත් කැරලි වටකොට වැඩසිටින අනුරපුරේ.... නිවනින් නිවෙන්නට අපි යමු සියලු දෙනා අනුරපුරේ.... සෝවාන් සකදාගාමී අනාගාමී රහත් වැඩි අනුරපුරේ.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2344 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1538 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2326 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3224 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site