IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘‘මම රජගෙදර පදිංචියට යන්නේ නැහැ‘‘

 (පළමුවැනි කොටස) 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධූරයට පත්වීමෙන් පසු සිදුකළ මුල්ම රූපවාහිනී සාකච්ඡාව. ප්‍රවීණ සාහිත්‍යකරුවකු හා උපකාරක පන්ති ගුරුවරයකුවන උපුල් ශාන්ත සන්නස්ගල මහතා වැඩසටහන මෙහෙයවීය.

සුබ සන්ධ්‍යාවක් වේවා ජනාධිපතිතුමනි.

ප්‍ර.

අර ගමේ වොලිබෝල් ක්‍රීඩවේදී බෝලේ උස්සලා අර පැත්තෙන් ඩෑෂ් එක ගහන එක්කෙනාට අවස්ථාවක් දෙනවා. එහෙම නැතිව ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියා සමග සාමාන්‍ය පුරවැසියෙක් විදියට ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්න අවසරද?

පි.

සාමාන්‍ය පුරවැසියෙක් සහ ප්‍රධාන පුරවැසියා කියලා කියන එකම දැන් සාමාන්‍යෙයන් රටේ ජනාධිපතිවරයා මෙතෙක් හැඳින්වුවේ ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අතිගරු ජනාධිපති. මම මෙතැනින් එහාට බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරයා හැඳින්වීමට රටේ මගේ හිතවත් ආදරණීය ජනතාවට වගේම අනෙකුත් දේශපාලන ක්ෂේත්‍රයේ රාජ්‍ය සේවයේ ඒ සියලු දෙනාට මම යෝජනා කරනවා මේ අතිගරු කියන කොටස අයින් කරමු කියලා. ජනාධිපතිවරයා හැඳින්වීම හොඳයි සාමාන්‍ය ව්‍යවහාරයේදි ශ්‍රී ලංකා ජනරජයේ  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. අති උතුම් ශ්‍රීමත් අතිගරු ඒව ඔක්කොම අයින් කරන්න. උතුමාණන් වහන්සේත් බැහැ. මම යෝජනා කරනවා මේක එක් පැත්තකින් නිල වශයෙන් කරන ප්‍රකාශයක්. අනික් පැත්තට මම හිතන්නේ ආර්යාවත් ඕනැ නැහැ අපට. ඒක නිසා මගේ බිරිඳ මගේ නෝනා හඳුන්වනකොට මෛත්‍රිපාල සිරිසේන මැතිනිය.

ප්‍ර.

පවුලේ එකොළහක් දහයක් දොළහක් හිටියම ගොවි ජනපදයක මට නම් මගේ ජීවිතයේ කුඩා කාලේ කුසගින්න දැනිල තියෙනවා. මේ රටේ පුරවැසියන්ට කුසගින්න දැනිල තියෙනවා. මං ඇත්තටම ආසයි දැනගන්න ඔබතුමාට පොඩි කාලේ කුසගින්න දැනිල තියෙනවද?

පි.

පැහැදිලිවම. අපේ පවුලේ මමත් එක්ක 12ක් නේ. මට අද වගේ මතකයි උදේට සාමාන්‍යයෙන් අපේ ගෙවල්වල තුන්වේලම ඒකාලෙත් බත් තමයි කන්නේ. කුඹුරු තියෙනවනේ. හාල් තියෙනවානේ. උදේට අම්මා පිඟන් 12කට බත් බෙදනවා. සාමාන්‍යයෙන් අපි හැමදාම උදේට සම්බෝලයි බතුයි තමා කන්නේ. ඒවත් බෙලෙක් පිඟන්වල.

ප්‍ර.

මමත් හද්ද පිටිසර ගමක කෙනෙක්. මගේ අම්මට හිටියා දරුවෝ 10දෙනෙක්. මං ගෙදර පොඩිම එක්කෙනා. ජනාධිපතිතුමත් හද්දා පිටිසර ගමක එක්කෙනෙක්. මම හිතන්නේ ම‍ගේ පවුලටත් වැඩිය ඔබේ පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව වැඩියි.  වැඩියෛන්ම දුක් විඳින අම්මල තමයි වැඩියෙන්ම දරුවට වැඩියෙන්ම ආදරේ මම හිතන්නේ. දරුවා වෙනුවෙන් දුක් විඳින්න දුක් විඳින්න දරුවා කෙරෙහි තියෙන ආදරේ වැඩිවෙනවා. අපි කියනවා ආදරයේ උල්පත අම්මා කියලා. ඔබතුමාට මොනවහරි තියෙනවද කියන්න.

පි.

ඔව් ඇත්තටම අම්මා කියන සම්පත මම හිතන්නේ ලෝකයේ කිසිම කෙනකුට අම්මාගෙන් ලැබෙන සෙනෙහස ආදරය කරුණාව දයාව උණුසුම ආරක්ෂාව අම්මාගෙන් මිසක් වෙන කෙනෙක්ගෙන් ගන්න පුළුවන්කමක් නැහැ.

ප්‍ර.

ජනාධිපතිතුමනි ඔබතුමා කිව්වා ජනාධිපති වුනාට පස්සේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වන්නේ නැවත නැහැ. හැබැයි ඔබතුමා ඉදිරි වසර 6 කටත් මේ රටේ ජනාධිපතිවරයා. හැබැයි අපි හිතනවා විධායක ජනාධිපති නෙමෙයි කියලා. ජනාධිපති ඒකාධිපති ආඥාදායක රජෙක් නෙමෙයි කියලයි පුරවැසියෝ අපි විශ්වාස කරන්නේ. ‍මේ රටේ බහු ජනතාව පෙළගැසුනෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල. ඉතිහාසයේ එහෙම කිව්වා. හැබැයි එහෙම කිව්ව කවුරුත් ඒක කළේ නැහැ. දැන් ඔබතුමාටත් බලය ටික ටික රහ වැටෙන කාලේ. පත්වෙච්ච ගමන්මනේ. මම අහන්නේ දින 100 ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද? පාර්ලිමේන්තුවට බලය දෙනවද? 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේනවද නැද්ද?

පි.

ඔව් ඇත්තටම සන්නස්ගල මහත්මයා, මේ රටේ ජනතාව විධායක ජනාධිපති ධූරය 1978 ව්‍යවස්ථාවෙන් ආරම්භවෙච්ච තැන ඉඳලම මෙයට විරෝධයක් ආවා. එදා මෙදා කාලය තුළ රට තුළ පුළුල් සංවාදයක් ඇතිවුණා. සෑම මැතිවරණයකදීම මැතිවරණ පොරොන්දුවක් බවට පත්වුණා. මැතිවරණ ප්‍රකාශනවලට ඇතුළත් කළා. 2005ට කලින් ගත්තොත් මට මතකයි 1994 පොදු පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණා ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම. සිද්ධ වුණේ නැහැ. 2005 මහින්ද චින්තනේ තිබුණා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිද්ධ වුණේ නැහැ. 2010 මහින්ද චින්තන මැතිවරණ ප්‍රකාශනයේ  තිබුණා. ඒ සියල්ලත් එක්කම මේ පිළිබඳව පොදු ජන මතය දැඩි ලෙස ගොඩනැගුණා මේ අසීමිත බලයට විරුද්ධව. මම ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා පොදු අපේක්ෂකයා විදියට විපක්ෂයේ පත්වුණෙත් එය භාර ගත්තෙත් මේ අසීමිත බලයක් තිබෙන මේ ජනාධිපතිධූරයේ තිබෙන බලතල ඉවත් කිරීම සඳහා. අපේ මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිවම පළවැනි ඡේදයම පටන් ගන්නෙත් මේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කියලා. ඒ නිසා අනෙක් පැත්තෙන් ගත්තාම අපේ දින 100 වැඩ පිළිවෙළේ 2015 අප්‍රේල් 20 වනවිට බොහොම පැහැදිලිව කියනවා ‘අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට සම්බන්ධවූ විධායක් සහිත ආණ්ඩු ක්‍රම ව්‍යුහය ක්‍රියාත්මක කිරීම‘. ඒ නිසා මේ ප්‍රකාශනවල තිබෙන ආකාරයටම ජනාතාවට දුන් ඒ පොරොන්දුව එසේම විය යුතුමයි. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ මොකද මේ බලයත් එක්ක රට තුළ තිබුණු මහා දේශපාලන ඛේදවාචකය. අත්තනෝමතික තත්ත්වය හිතුවක්කාර තත්ත්වය ඒ තුළ ගොඩනැගුණු ප්‍රචණ්ඩත්වය. බලයට පත්වුනාම  තමන්ගේ බලයට පත්කරපු පක්ෂයේ සාමාජිකයින් නායකයින් කියන දේ ප්‍රතික්ෂේප වෙනවා. තමන්ගේ ඇමැති මණ්ඩලයේ කටවල් වැහෙනවා. තමන් බලයට පත් කරපු ජනතාවගේ හඬ අමතක වෙනවා. ඒ නිසා මූලික වශයෙන්ම මම කෙරෙහි විශ්වාසය තබල රටේ ජනතාව ඒ දුන්නු පොරොන්දු කරුණු කාරණාවලදී මේ අදාළ ව්‍යවස්ථා සංශෝධනයේ බලතල ඉවත් කිරීම එය නියමිත පරිදි නියමිත කාලයට ඉතාම අවශ්‍යවූ කාරණයක් මේ සංශෝධනය සමග. ඒගැන රටේ ජනතාව බලාපොරොත්තුවනවා වගේම අපි සැබෑ ලෙසම සත්‍ය ලෙසම කියූ දේ කරන මිනිස්සු විදියට මේ දේ කළයුතුමයි කියන එක මම කියන්නට ඕන. ඒ මොකද මේ දවස් 14 ක අත්දැකීම් ගත්තහමත් මට පෙනී යනවා මේ තනතුරේ තිබෙන අසීමිත බලය. රස කියන එක මම පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අසීමිත බලය මොන තරම් දේවල්වලට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. ඒක නිසා මේ බලය වහ වහා ඉවත් කළ යුතුයි. ඉවත්විය යුතුමයි.

ප්‍ර.

මම හිතනවා මේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ ප්‍රකාශය ලබාගත් එක මේ මාධ්‍ය සාකච්ඡාවේ ජයග්‍රහණයක් කියල. ඒකට හේතුව මේ රටේ ඉතිහාසයේ පහළවන පළමුවන ජාතිවාදී නොවන, ආගම්වාදී නොවන රජ කෙනෙක් නොවන, කුලවාදී නොවන ගෞරවාන්විත ජනාධිපතිවරයා බවට ඔබ පත්වෙනවා.

පි.

ඇත්තටම සන්නස්ගල මහත්මයා, මැතිවරණ අවස්ථාවේ එක් එක් අංශවලින් රටට අවශ්‍ය වෙනස පිළිබඳව ගත්තොත් අපේ ආගමික අංශයෙන් ගත්තොත් අපේ ගෞරවනීය මහා සංඝරත්නය මම විශ්වාස කළේ නැහැ ඒ තත්ත්වයට මහා සංඝරත්නයේ ආශිර්වාදය සමග මේ කටයුත්තට උන්වහන්සේලාගේ සහයෝගය. මම හිතන්නේ ජය පිරිත් රට පුරා මම හිතන්නේ ලක්ෂයක් වාරයකට වඩා මට ආශිර්වාද කරන්න ඇති. ඊළඟට කතෝලික පූජකතුමාලා. දේවස්ථානවල පල්ලිවල මම දන්නවා යාඥා කළා. ආශිර්වාද කළා මට මේ අවශ්‍ය පෙරළියට මාව මේ තනතුරට ගේන්න කියල. ඒවගේම හින්දු පූජනීය ස්ථානවල ඉස්ලාමීය පූජනීය ස්ථානවල මේ සෑම තැනකම ඒ සියලු පූජකවරුන්ගේ ආශිර්වාදය ලැබුණා. පුදුමාකාර විදියට. ඉතින් මේ රටේ සියලු කොටස් සිංහල බෞද්ධ, කතෝලික, ඉස්ලාමීය, හින්දු, බර්ගර්, මැලේ මේ සියලු ජන කොටස්. අනෙක් පැත්තෙන් ගත්තහම එක්සත් ජාතික පක්ෂය මූලිකත්වය ගත්තා වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මේ කටයුත්තේදී මහ විශාල කැපවීමක් කළා. ජාතික හෙළ උරුමය, ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මයාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ඒ වගේම ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදියුද්දීන් මහත්මයාගේ ජාතික මුස්ලිම් පෙරමුණ, විශේෂයෙන්ම උඩරට කඳුකරය නියෝජනය වන වතුකරයේ ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයින් ගණනාවක්, බහුජන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන, කලාකරුවෝ රාජ්‍ය සේවයද, ගුරුවරුද, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, උගතුන් නීතිවේදීන් මේ ශිෂ්‍යයින් තරුණයින් මේ සියල්ල ගත්තාම මම කලිනුත් කීවේ මේ මැතිවරණය කළේ ජනතාව. නැතුව අපට මැතිවරණ යාන්ත්‍රණයක් එහෙම ශක්තිමත්ව තිබුණේ නැහැ. අරගොල්ලෝ පටන් අරගෙන තිබුණේ අට මාසයකට කලින්. ඉතින් මේ මගේ මැතිවරණ ව්‍යාපාරය මාව ජයග්‍රහණය කරන්න, අපිව ජයග්‍රහණය කරන්න, රට ජයග්‍රහණය කරන්න, රටේ ජනතාව ජයග්‍රහණය කරන්න ජනතාව මේ මැතිවරණ ව්‍යාපාරය කළේ. විශේෂයෙන්ම ගත්තොත් අන්තර්ජාලයේ වෙබ් අඩවිවල අපේ තරුණ දරුවො මොනතරම් මේ මැතිවරණ ව්‍යාපාරය තුළ හිටියද කියල මම දන්නවා. කිසිම මැතිවරණයක මම හිතන්නේ නැහැ අපේ නව පරපුර මේ තාක්ෂණයත් එක්ක එකුතුවෙලා තිබුණු ආණ්ඩුව වෙනස් කරල අලුත් ආණ්ඩුවක් ගේන්න මේ විදියට තරුණ පරපුර තාක්ෂණය පාවිචිචි කළේ නැහැ. ඒ විදියට මහ පෙරළියක් අපේ දරුවො කළා. ඉතින් ඒක නිසා ඒ සියලු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනෑ. ඒ පරිවර්තනය කරන්න ඕනෑ. කළ යුතුමයි එය.

ප්‍ර.

ජනාධිපතිතුමනි ඔබතුමාගේ පරණ ඡායාරූප කිහිපයක් පසුගිය ඡන්ද කාලේ අපි දැක්කා. එක ඡායාරූපයක් තිබෙනවා සංගීත භාණ්ඩයක් ළඟ තියාගෙන ඉන්නවා. මම ලංකා ඉතිහාසයේම එහෙම ඡායාරූපයක් දැකල නැහැ ජනාධිපතිවරයෙක්ගේ. කලාවට, සාහිත්‍යයට, සිනමාවට මෙහෙම ලැදිකමක්. අපි ඉස්කෝලේ යනකොට කියනවනේ ඉස්කෝලෙට මාතාව කියල. තෝපාවැව මාතාව. ගෙදර ඉන්නෙත් අම්මා. ඊට පස්සේ අපි තව අම්මා කෙනෙක් කියනවා උපන් රටට. ඕන කෙනෙක් කියන්නේ අපේ මාතෘ භූමිය කියල. ඔබතුමා හරි කැමතිලු මේ ‘රත්න දීප ජන්ම භූමි‘ සින්දුවට. මොකක් හරි හේතුවක් තියෙනවද ඒකට.

පි.

ඇත්තටම එක පැත්තකින් ගත්තහම පාසල් ශිෂ්‍යයෙක් විදයටත් සංගීතය හදාරපු කෙනෙක් මම. මුලින්ම තෝපා වැව මධ්‍ය මහා විද්‍යාලයේ මගේ සංගීත භාණ්ඩය ගිටාරය. ඊට පස්සේ තමයි ඔය ඔබ දැකපු සංගීත භාණ්ඩය එකෝඩියන් එක මම පාවිච්චි කළේ. ඉතින් ඒත් එක්කම ප්‍රධාන වශයෙන්ම අපි හැදිච්ච පරිසරය. මොකද අපි පොළොන්නරුවෙ ගොවි ජනපදයක තාත්ත ගොවියෙක් විදියට මව ගුරු මාතාවක් විදියට අපේ ගෙදර තක්ෂලාවක් වගේ. අපේ ගමේ ඉස්කොලෙට එන ගුරු මහත්ම මහත්මීන් බොහෝ වෙලාවට අපේ ගෙදර නවාතැන් අරගෙන ඉන්නව හතර පස් දෙනෙක්. පිට පළාත්වලින් පොළොන්නරුවේ ගුරු නැහැ ඒ කාලේ. කොළඹින්, රත්නපුරෙන්, මාතරින්, ගම්පහින්, කළුතරින් ගිහින් තමයි එහෙ සේවය කරන්නේ. ඉතින් ඒ පරිසරයේ හැදුනාම ඒ පරිසරයේ ආභාෂයත් එක්ක ප්‍රධාන වශයෙන්ම අපේ ගැමි පරිසරයේ අපේ සංස්කෘතියත් එක්ක අපි ගොඩනැගෙන කොට දේශීය සංගීතය, අපේ සංස්කෘතිය මේ සියල්ලත් එක්ක අපි ඇළුම් කරන තත්ත්වයත් එක්ක අමරදේව මහත්මයා  මම බොහොම ආදරේ කරන කෙනෙක්. අමරදේව මහත්මයා අසනීප වෙච්චි නිසා දැන්නම් ගෙදරින් පිට යන්නේ නැහැ. නමුත් අමරදේව මහත්මයා එක්තරා කාලයක් තිබුණා පොළොන්නරුවට ගිහිල්ලා, මම එක්කගෙන යනවා පරාක්‍රම සමුද්‍රයේ වැව් බන්ට් එකට ගිහිල්ලා හවසට ගලක් උඩ ඉඳගෙන අපි දෙන්නා පැය ගණන් කථා කරනවා. අමරදේව මහත්මයාගේ සංගීතය, ගීතයක් ගායනා කරනකොට තිබෙන රසාස්වාදය වගේම අමරදේව මහත්මයා සිංහල භාෂාව පිළිබඳව මහා පුළුල් දැනුමක් තියෙන ප්‍රවීණ කෙනෙක්නේ. එතුමත් එක්ක සිංදුවක් අහනකොට තිබෙන රසවින්දනයට වඩා හරි එහා යනවා එතුමත් එක්ක කථා කරනකොට එතුමාගේ භාෂා ඥානයත් එක්ක එතුමා කරන පැහැදිලි කිරීම් සංවාදයේ රස ගුලාවක්. ඉතින් එවැනි පසුබිම් එක්ක රත්න දීප ජන්ම භූමි ගීතය මම හරිම ඇලුම් කරන ආදරය කරන ගීතයක්.

ප්‍ර.

ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්කමින් ඉවත්වෙලා. ඒ වෙලාවේ ඔබතුමාට කීවේ පක්ෂයට පිහියෙන් ඇන්න ද්‍රෝහියා කියලා. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය සටන කරට අරගෙන ඔබ පොදු අපේක්ෂකයා කළා. තවත් විවිධ පක්ෂ කණ්ඩායම් සම්බන්ධ වුණා. දැන් ජනාධිපතිවුණාට පස්සේ ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතියා වුණා. දැන් කියන්නේ මිනිස්සු සභාපතියා කියල. සභාපතිවරයා කියන්නෙත් නැහැ. මොකද එක්සත් ජාතක පාක්ෂිකයෝ මේකට තරහයි. දැන් ද්‍රෝහියොයි ප්‍රේමියොයි මාරුවෙලා. අර කාලයක් දේශ ප්‍රේමියොයි දේශ ද්‍රෝහියොයි මාරු වුණා වගේ. දැන් රටම බලන් ඉන්නවා ඔබතුමා දෙන උත්තරේ දිහා.

පි.

දැන් මම හිතන්නේ සන්නස්ගල මහත්මයා මේ වැඩසටහනේ ඔබ අසන ප්‍රශ්නවලින් වැදගත්ම ප්‍රශ්නය මේක. දැන් අපි මැතිවරණයට කලින් අවස්ථාව ගත්තොත් මම ආණ්ඩුවෙන් එළියට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදියට. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අපි  ඒ වගෙම මාත් එක්ක ආණ්ඩුවෙන් ආපු රාජිත සේනාරත්න ඇමතිතුමාලා, දුමින්ද දිසානායක ඇමැති තුමාලා, එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන අමැතිතුමාලා, ගම්පහ වසන්ත සේනානායක මහත්මයා දැන් අපි ආණ්ඩුවෙන් එළියට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එතකොට අපි එළියට ඇවිල්ලා පොදු අපේක්ෂකයෙක් විදියට මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. මේ මැතිවරණ ව්‍යාපාරයේ බොහොම පැහැදිලිවම තියෙනවා අපි හදන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියලා. ජාතික ආණ්ඩුවක් හදන්නේ කියල.එතකොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් හදන්න සැබෑලෙසම රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නියෝජනය වෙන්න ඕන. නැත්නම් ඒක ජාතික ආණ්ඩුවක් වෙන්නේ නැහැ. ඉතින් එක්සත් ජාතික පක්ෂය මූලිකත්වය අරගෙන අනෙක් සහෝදර පක්ෂ ගණනාවක් පෙරමුණක් ඇතිවෙලා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඍජුව නොවුණත් වක්‍රව විශාල සහයෝගයක් දුන්නා මේ ජයග්‍රහණයට. ඒ විදියට රටේ ජනතාව ජනාධිපතිවරයා විදයට මාව තෝරා පත් කරගත්තා.  ඒ ජනාධිපතිවරයා විදයට තෝරා පත් කරගත්තා වගේම දිවුරුම් දීලා ඊළඟට අපි දින මේ සියයේ වැඩසටහන ඊළඟට මැතිවරණ ප්‍රකාශනය දැන් මේවා ක්‍රියාත්මක කරන්න ඕන අපි ජනතාවට දුන්නු පොරොන්දුත් එක්ක. දැන් මේවා ක්‍රියාත්මක කරන්න ගියාම තමයි තේරුණේ මේ කියන මහා අසීමිත බලතල තියෙන විධායක ජනාධිපතිධූරය ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් දීල නැති බලයක් තියෙන මේ තනතුරෙන් හැබැයි මේ ප්‍රකාශනයේ තියෙන කිසිම දෙයක් ඉෂ්ට කරන්න පුළුවන් කමක් නැහැ පාර්ලිමේන්තුවේ 2/3ක බලය නැතිව. එහෙමනම් පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ගන්න අද පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ වලින් වැඩි බලයක් තියෙන්නේ කාටද? වැඩි බලයක් තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. පාර්ලිමේන්තුවේ 225 න් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රීවරු ඉන්නවා 127 ක්. දැන් මේ 127 නැතුව දින 100 කරන්නත් බැහැ. මැතිවරණ ප්‍රකාශනයේ කිසිදෙයක් කරන්නත් බැහැ. ඊළඟට මැතිවරණ ප්‍රකාශනයේම අපි කිව්වා සර්ව පාක්ෂික ආණ්ඩුවක්. ජාතික ආණ්ඩුවක්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 127 ගන්නේ නැතුව එකපාරටම අපේ හිතවත් ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයෙක් කියන්න පුළුවන් ඒ ගොල්ලෝ සහයෝගය දෙන්නේ නැතිනම් තියෙන්නේ ඡන්දෙකට යන එකනේ කියල බොහොම සරලව කියන්න පුළුවන්. එතකොට දින සියයට මොකද වෙන්නේ. එතකොට එකක්වත් කරන්න බැහැත දින සියය නෙමෙයි 150 කින් කරන්නත් බැහැ. එතකොට අනික් පැත්තට ගත්තහම කරන්න බැහැ වගේහ කියන්න බැහැ මැතිවරණය තියල ඊළගට එන පාර්ලිමේන්තුවේ ව්‍යුහය කොහොම වෙයිද කියල. ඒක අපිට කොහෙත්ම උපකල්පනය කරන්න බැහැ. එහෙමනම් අපි දින 100 වතුරේ යවනවද? මැතිවරණ ප්‍රකාශනයේ තියෙන කරුණු අමතක කරනවද? ‍දේශපාලන අර්බුදයක් හදාගන්නවද? ඒ කිසිම දෙයක් කරන්න හම්බවෙන්නේ නැහැ. ඒ නිසා තිබුණු තියෙන එකම විසඳුම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබා ගැනීම. ඒ සහයෝගය ගැනීෆම් කාරණයේදී මම කියන්න ඕනෑ මාව පක්ෂයේ සභාපති කරන්න මහින්ද රාජපක්ෂ මහත්මයගේ හිත එකඟ කරගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පිරිස් වැඩ කෙරුවා. මැතිවරණයත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විවිධ මත දරන තැනට පත්වෙලා හිටියා. එක කණ්ඩායමක් ඇවිල්ලා මාව හම්බවෙලා කිව්වා අපිට පක්ෂයේ අනාගතයටත් රටේ අනාගතයටත් ඔබතුමා දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් සම්පූර්ණ කැමැත්ත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක. ඒ අය එක්ක කථා කරල මහින්ද රාජපක්ෂ මහත්මයව කැමති කරවගෙන කථානායකතුමාගේ ගෙදර හම්බෙන්න කැමැත්ත පළ කළා. ඒගැනත් මම දැක්කා මාධ්‍යවල කියල තිබුණා කාගෙන්වත් අහන්නැතිව කවුරුත් එක්ක සාකච්ඡා කරන්නේ නැතිව මම තනි මතයට මහින්ද රාජපක්ෂ මහත්මයා හමුවුණා කියල. හමුවුණේ කොහොමද කියන එක් නෙමෙයි වැදගත් ගත්තු තීන්දුව, ලබාගත්ත ජයග්‍රහණ, ජයග්‍රහණය රටට වැදගත් වෙන්නේ කොහොමද කියන එක. විනාඩි 10ක්වත් සාකච්ඡාව තිබුණේ නැහැ. කථානායකතුමාගේ නිල නිවසේදී අපි දෙන්නයි චමල් රාජපක්ෂ මහත්මයයි විතරයි එතැන හිටියේ. මුලින්ම මහින්ද රාජපක්ෂ මහත්මය කිව්වා පාක්ෂිකයන්ට හිරිහැර කරනවා සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා තත්ත්වයන්. මම කිව්වා මේ ගැන අත් දැකීම් තියෙනවා. මැතිවරණයට කලිනුත් ප්‍රචණ්ඩ ක්‍රියා තිබුණනේ. ඒක මේ රටේ සාමාන්‍ය තත්ත්වය. අපිට මේ ගැන අත් දැකීම් තිබෙනවා. මම මේ ගැන කළ හැකි සම්පූර්ණ ක්‍රියා කරනවා මේක නවත්වන්න. මම අගමැතිතුමා එක්කත් මේ ගැන කථා කළා කියල. ඒ කියල මම අපි ආපු කාරණය කථා කරමු කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඇහුවා මෛත්‍රී පක්ෂය බාර ගන්නවද කියල? මම කිව්වා මං කැමතියි බාරගන්නව කියල. එහෙමනම් ඉන්න නිලධාරී මණ්ඩලයත් එක්කම බාර ගන්නවද ඇහුවා. මම කිව්වා පක්ෂය බාර ගන්නවා හැබැයි අලුත් නිලධාරී මණ්ඩලයක් මම තෝරගන්නව කියල. ඒකට එතුමා අකමැත්ත පළ කළේ නැහැ. මගේ ප්‍රශ්නයක් නැහැ කියලා එතුමා ඇහුවා පක්ෂය තුළ මගේ තත්ත්වය කුමක්ද ඇහුවා. මම කිව්වා පක්ෂයේ අලුත් නිලධාරී මණ්ඩලය එක්ක සාකච්ඡා කරලා ඔබතුමාට තීරණයක් දෙන්නම්. එච්චරයි සාකච්ඡාව. එතැනින් එහාට ගියේ නැහැ. තේ එක්ක බිව්වා.

ප්‍ර. ආප්ප කෑවේ නැහැ?

පි. ආප්ප කෑවේ නැහැ...(සිනාසෙමින්)

මන්ත්‍රීවරු හම්බුණා. අපි වැඩේ කරන විදිය කථා කළා. එකකොට මේ කාරණාවේදී මම බොහොම පැහැදිලිව කියන්න ඕන මේකෙ තියෙන සංකීර්ණ ස්වභාවය. එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සංවිධාන රාශියක් එකට එකතුවෙලා මාව ජනාධිපතිවරයා බවට පත්කළා. ඒ කියන්නේ 9 වැනිදා සිකුරාදා සවස 6ට මම ජනාධිපතිවරයා විදියට දිවුරුම් දුන්නා. ඊළඟ සිකුරාදා මාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදියට පත් කරගත්තා. දැන් මෙතැනදී අපි රටට හඳුන්වලා දෙන්න හදන නව දේශපාලන සංස්කෘතිය බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕන. වෛරයෙන්, ක්‍රෝධයෙන් ද්වේශයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මම සෞඛ්‍ය ඇමැතිකම දාලා, පක්ෂේ ලේකම්කම දාලා එළියට ඇවිල්ලත් ඊට පහුවදා මට අගමැතිකම පිළිබඳ පණිවිඩේ එව්වා. ඒ සියල්ල දාලා මට පෞද්ගලිකව වෙච්ච කරදර හිරිහැර ඒ සියල්ල සම්පූර්ණයෙන් අමතක කරලා දාලා මම සහ මගේ දරුවන්ගේ ජීවිත සියල්ල පරදුවට තියලා. එතකොට ඒ විශ්වාසයත් එක්ක ඒ කටයුත්තෙදි ඒ තනතුරට මාව පත්කරගත්තා. ඊළඟට අපි මැතිවරණ ප්‍රකාශනයේ තියෙන දේ ඉෂ්ට කරන්න ඕන.

ප්‍ර.

ජනාධිපතිතුමනි. දැන් පසුගිය මැතිවරණයේදී දැන් ඉන්න අගමැතිතුමා හිටියේ, චම්පික රණවක මැතිතුමා හිටියේ, සරත් ෆොන්සේකා මහත්මයා හිටියේ, චන්ද්‍රිකා මැතිනිය හිටියේ, ඔබතුමා හිටියේ එක වේදිකාවක. ඊළඟ මැතිවරණයේදී  අගමැතිතුමා එක වේදිකාවක ඉන්නවද ඔබතුමා එක වේදිකාවක ඉන්නවද දෙන්නම එක වේදිකාවේ ඉන්නවද ප්‍රති පක්ෂය කවුද? විපක්ෂය කවුද ? ඇත්තටම මින්ස්සු බලන් ඉන්නව ඊළඟ මැතිවරණයේ මොකද වෙන්නේ කියල?

පි.

ඔව් දැන් බොහොම පැහැදිලිව කියන්න ඕනෑ. අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් පිළිබඳව මේ සංකල්පය ක්‍රියාත්මක කිරීම කරල තියෙන්නේ මේ දින 100ට පමණක් නොවේ. අපි පැහැදිලිව කිව්වා දින 100ට පස්සේ මැතිවරණයක් තියල අඩුම තරමින් අවුරුදු දෙකක්වත් යන්න ඕන. අද මේ තියෙන ගහමරා ගැනීම, විනාශකාරී තත්ත්වය පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මේ තුළ පුළුවන්ද කියන එක තේරුම් ගන්න ඕන. මේ ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම අවසන්විය යුතුයි. කිසිම කෙනකුට මේ ප්‍රචණ්ඩත්වය අයිති නෑ. හිමි නෑ. ප්‍රචණ්ඩත්වයේ හිමිකරුවෝ කියන්නේ තිරිසන්නු. මිලේච්ඡත්වය. ඒක තමයි කියන්නේ රටක අවිහිංසාවාදය නීතියක් වෙන්න ඕන කියල. අපි ඉස්සරහට මාස තුනක කාලය කොහොමද සහෝදරත්වයෙන් යන්නේ. මෙතැනදී මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දුන්නේ නැත්නම් මම දන්නවා මේ ඇතිවන නොසන්සුන්කාරී තත්ත්වය කොහොමද කියල. මේ ප්‍රකාශනයේ තියෙන කාරණා ඉෂ්ට කරන් මේ දෙපාර්ශවය සුහදතාවයකින් කටයුතු කළ යුතුයි. මම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව, ඒක පහත්කොට කථා කරලා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට මාව තර්ජනයක් වන විදියට මම කටයුතු කරනවා නම් ඒක මගේ මනුෂ්‍ය ගතිගුණයක් විදියට මම හිතන්නේ නැහැ. එත් එක්කම මේ ජයග්‍රහණයේ දින සියයේ ක්‍රියාත්මක භාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය මා වෙත බාරදීල තියෙනවා. මෙතැනදී මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවල දෙන්නත් බැහැ. එය කිසිසේත්ම කළයුතු නැහැ. අපි අලුත් දේශපාන සංස්කෘතියක් ගොඩනගන කොට ලෝකයේ සංවර්ධන වෙච්ච රටවල් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව වගෙ රටවල් ගත්තම ඒ රටවල මැතිවරණ තියෙනවා. ඒ රටවල් වල මේ අපි වගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිද්ධ වෙනවාද? මැතිවරණ දිනයේ හැර ඒ ගැන දන්නේවත් නැහැ. මොනතරම් සාමාකාමීව මැතිවරණය කෙරෙනවද? ආණ්ඩුවක් පත්වුණාම ආණ්ඩුව විපක්ෂය කියල බෙදීමක් නැතිව ඒ රට වෙනුවෙන් පෙනී සිටිනවද? අපේ මුල්ම කටයුත්ත තියෙන්නේ දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම. අවසානේ ඊළඟට අපි මැතිවරණයකට යන එක. මම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටත් කිව්වා අපි මේක ඉතාම අවබෝධයෙන් කළ යුතු දෙයක්. මේ මාස තුනේ අපි ඉස්සරහට ගිහිල්ල මේකෙ තියෙන ඉලක්ක සම්පූර්ණ කරගෙන අපි එතැනින් එහාට යන්නේ කොහොමද කියල සාකච්ඡා කරල වැඩපිළිවෙළකට යන්න ඕන. හැබැයි මේක හුඟක් දෙනකුට හුරු නැහැ. මේක දෙපැත්තට අදින්නම තමයි හදන්නේ. මේක කඩන්නමයි හදන්නේ. මේක කැඩුවොත් මම කියන්නේ අපි පරාදයි කියල. අපි කියල කියන්නේ රට පරාදයි කියල. ජනතාව පරාදයි කියල කියන්නේ. මේක පුද්ගලිකව අපි ගැන හිතන්නේ නැතිව කැපකිරීමකින් පරිත්‍යාගශීලීව, අධිෂ්ඨානශීලීව කරන්න ඕන දෙයක්. අපිට මෙතන ප්‍රමුඛතාවය තියෙන්නේ දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රය නොවේ. එක්සත් ජාතික පක්ෂයේවත්, නිදහස් පක්ෂයේවත් න්‍යාය පත්‍ර නොවේ. කාගෙවත් දේශපාලන න්‍යාය පත්‍රය නොවේ.  රටේ න්‍යාය පත්‍රය. රට සහ රටේ ජනතාව අංක එක වෙන්න ඕන. අපි අසීරු අමාරු කාර්ය තෝරාගන්න ඕනෑ. ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕන. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්නට ඕනෑ. අපි පියවරෙන් පියවර ඉස්සරහට යනකොට අපි මැතිවරණයේදී වේදිකාවට නගින්නේ කොහොමද අපි මොන වේදිකාවද තෝරගන්නේ, වේදිකාවේ කථා කරන්නේ මොනවද, අපි මැතිවරණය කරන්නේ කොහොමද ඒ කියන කරුණු කාරණා මම හිතනවා අපිට බොහෝ මනුෂ්‍යත්වය තුළ මානවවාදය තුළ අපිට බොහොම පැහැදිලිව විසඳගන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා.  ඒ නිසා මම නැවත නැවතත් කියනවා එක්සත් ජාතික පක්ෂයේ ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයින් මේක වරදවා තේරුම් ගන්න එපා. මේ ගැන සැකයක් හිතන්න එපා. ඒ වගේම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආදරණීය පාක්ෂිකයින් හිතවතුන් මේක වරදවා තේරුම් ගන්න එපා. මේක බොහොම සංයමයකින් මේක බොහොම ඉවසීමකින් හික්මීමකින් සහ ආචාරශීලීව විනයගරුකව මීට පෙර මේ රටේ නොතිබූ ‍නොවිඳපු දේශපාලන අත්දැකීමක් විදියට මේ කාර්යයට අපි සෑමකෙනෙක්ම කැපවෙමු. තමන්ගේ තනතුර තමන්ගේ පක්ෂය තමන්ගේ පදවි තානාන්තර නෙමෙයි ඒ සියල්ල අපි එකට හිතල රට සහ රටේ මහජනතාව වෙනුවෙන් මේ කැපකිරීම් සහ පරිත්‍යාග කරමු. ඒ නිසා ඉදිරියේදී පියවරෙන් පියවර ඉස්සරහට යනකොට ඒ එන යම් යම් ගැටළු තිබෙනවා නම් ඒවා අපි ඉතාම ඉහළ ආදර්ශයක් දීල මොකද ලෝකයේ කිසිම රටක මෙවැනි පූර්වාදර්ශයක් නැහැ. ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕන. මේ ඇති වෙච්චි සිද්ධිය වැනි පූර්වාදර්ශයක් නැහැ. ඒක නිසා අපි විතරක් නෙමෙයි මේ රටේ මහජනතාව විතරක් නොවෙයි මුළු ලෝකයේ අනෙක් රටවල්වලත් ප්‍රජාතන්ත්‍රවාදය පවතින මේ අපි කරන්නේ මොකක්ද කොහොමද ඉස්සරහට යන්නේ කියල බලාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා මේ අත්හදා බැලීම හරි කටුකයි. මේක බොහොම සංකීර්ණයි. නමුත් මේ අත්හදා බැලීම අපි කරමු.

 

 

 



අදහස් (0)

‘‘මම රජගෙදර පදිංචියට යන්නේ නැහැ‘‘

ශිරෝ Monday, 02 February 2015 07:57 AM

උතුම් ගති ගුණ වලින් යුතු නිර්භය අව්‍යාජ ජනධිපතිවරයෙක්. ඔබේ ප්‍රාර්ථනය ඉටුවී අපේ රට යහපත් දේශයක් කරන්නට රත්නත්‍රයේ ආශිරවාදයත් දෙවියන්ගේ පිහිටත් ඔබට ලැබේවා.! (ර)

:       0       0

කාන්ති Monday, 02 February 2015 12:43 AM

බොහොම හරවත් ලිපියක් (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Monday, 02 February 2015 12:45 AM

සංවේදී නායකයෙකුගේ කතාවකට වඩා මේක සංවේදී මනුෂ්‍යයෙකුගේ කතාවක්. (නි)

:       0       0

සඳා Monday, 02 February 2015 09:31 AM

එක්සත් ජාතික පාක්ෂිකයෝ හිතන්නේ එයාලගේ බලය කියල..ශ්‍රි ලංකා නිදහස් පාක්ශිකයෝ විදියට අපිට අසරණ කමක් දැනෙනවා. (බ)

:       0       0

නයන Monday, 02 February 2015 01:55 AM

ඔබ ඉතිහාසගත ජනාධිපතිවරයෙක් වේවි. ජයවේවා! (නි)

:       0       0

රංජන් Monday, 02 February 2015 03:30 AM

ඔබට ගැලපෙන්නේ අවිහිංසා වාදය වැනි දේශපාලන දර්ශනයක්. වෛරී දේශපාලනයට යොමු නොවන්න තමන්ට ඇති හැකියාවෙන් වැඩ ගන්න. (නදී)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත Monday, 02 February 2015 03:34 AM

සියලු රටවැසියන්ගේ බලාපොරොත්තුව එයයි. ඔබතුමා ඇතුළු සියලුම පාලකයන්ට එය සාර්ථක කිරීමට හැකිවේවා. (නදී)

:       0       0

චන්දන Monday, 02 February 2015 03:44 AM

රටක තත්වය මනින්නේ ඒ රටේ නායකයාගේ තත්වය අනුව. දින 100 වැඩ ටික පෙන්නන්න (නදී)

:       0       0

බණ්ඩාර Monday, 02 February 2015 03:52 AM

කතාව විතරක් මදි. කෙරුවාවත් බලමු. අග්‍ර විනිශ්චය කාර නාඩගම නම් අපි බැලුවා. ටෙලිකොම් සහෝදරයත් දැක්කා. තව බොහෝ දේවල් වෙනවා. අපි ඇස් අරගෙන බලන් ඉන්න බවත් මතක තියා ගන්න. (නදී)

:       0       0

චමින්ද Monday, 02 February 2015 03:55 AM

බොහොම වැදගත්. නමුත් එක්සත් ජාතික පාක්ෂිකයෝ හිතන්නේ එයාලගේ බලය කියලනේ. එහෙම නොහිතන ආකාරයට මෙතුමා වැඩ කලොත් ප්‍රශ්ණ නොවෙන්න පුලුවන්. නැතිනම් මේ සියලු දේ විනාශ වෙනවා. මහින්ද ජනාධිපති තුමන් රට බේරාගත්තා. ඔබත් රටට ආචාරශීලීව විනය ගරුකව පාලනය කළ ඉතිහාසගත ජනාධිපතිවරයෙකු වේවි. ජයවේවා! (නදී)

:       0       0

කරූ Monday, 02 February 2015 03:57 AM

තුන් වේලම බත් කෑවමත් කුසගින්න දැනෙනවඳ? (නදී)

:       0       0

අශාන් Tuesday, 03 February 2015 05:30 PM

උරුගුවේ වගේ සරලම රාජ්‍ය නායකයෙක් බිහි වෙනවා නම් ඇත්තටම සතුටුයි. (නදී)

:       0       0

දුමින්ද Monday, 02 February 2015 10:23 AM

ගමන දැන පටන්ගෙන ඇත (නි)

:       0       0

දුමින්ද Monday, 02 February 2015 10:23 AM

නායකත්ව ලක්ෂන යනු මාධ්‍ය සාකච්ඡාවකින් පමණක් මැණිය යුතු දෙයක් නොවෙයි (නදී)

:       0       0

නන්දලාල් Tuesday, 03 February 2015 06:24 PM

බොහොම වැදගත් ඒ වගේම දුරදර්ශි විදියට හිතල, රටේ අනාගතය ගැන අවංකවම කල්පනා කරන, වැදගත් මනුස්සයකුගේ උතුම් සිතුවිලි ගොඩක් මේ කතාවෙන් මුළු රටටම පෙන්වා දී තිබෙනවා. අවංකවම රටට සේවය කිරීමට ඇප කැපවී සිටින අනිකුත් දේශපාලකයන්ට මෙතුමාගේ කතාව බොහොම වැදගත් වටිනා එකක් වේවා කියා මම ඉතාම ආදරයෙන් ප්‍රර්ථනා කරමි (නදී)

:       0       0

නිමල් Monday, 02 February 2015 05:08 AM

ලෝකයේ මෙවැනි ජනාධිපතිවරයෙක් තවම බිහි වී නැහැ (දිල්)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 03 February 2015 08:04 PM

ඇමරිකාවෙත් ජනාධිපතිට ආමන්ත්‍රණය කරන්නේ ජනාධිපති මහතාණනි (මිස්ටර් ප්‍රසිඩන්ට්) කියලනේ. ලංකාවේ ඉතින් නායකයෝ අන්දවන්න හරි හපන්නු නේ . මේ තමයි ගොනාට නොඇන්ද එකම ජනාධිපති තුමා. (නදී)

:       0       0

ප්‍රනාන්දු Monday, 02 February 2015 08:59 PM

සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා, සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා.... (නි)

:       0       0

අබේවික්‍රම Monday, 02 February 2015 05:35 AM

නිහතමානි මහජන නියෝජිතයකු වේවා (දිල්)

:       0       0

අහිංසා Monday, 02 February 2015 06:19 AM

මෙතුමා ශ්‍රී.ල.නි.ප කෙනෙක් නිසා මෛත්‍රී පාලනයක් තියනවා.ඒකට වටේ ඉන්න අය කියන දේවල් නම් අහන්න එපා (දිල්)

:       0       0

ජයවීර Monday, 02 February 2015 06:20 AM

හැම සද්දයකටම වඩා නිශ්ශබ්ධතාවය බයයි කියනවානේ ((දිල්)

:       0       0

ශාන්ත Monday, 02 February 2015 07:16 AM

ජනාධිපතිතුමනි, ඔබ ඇත්තටම අප රටට පහළ වූ නියම මානුෂ හිතවාදී උතුම් පුද්ගලයෙක්. ඔබේ ගමනට මගේ පුද්ගලික ආශිර්වාදය සමඟම ඔබට දීර්ඝායුෂ! ජනහිතකාමී නායකතුමනි, ඔබට ජයවේවා! (නි)

:       0       0

රන්ජිත් Sunday, 01 February 2015 02:58 PM

රටේ නායකයෙකු ලෙස සදාකල් සිටියයුතු උතුම් මිනිසෙක් (නි)

:       0       0

නිමල් Tuesday, 03 February 2015 12:55 AM

ජනාධිපති යන වචනය නියමාකාරව නිර්වචනය කළ ඔබ එ් අනුව ක්‍රියාකිරීම අපට ලොකු ආඩම්බරයකි. (නි)

:       0       0

මෝහමෙඩ් රිෂාන් Sunday, 01 February 2015 03:17 PM

ලෝකයේ මෙවෙනි ජනාදිපති වරයෙක් තවම බිහිවී නැත (නදී)

:       0       0

තිලක් -ඩුබායි Monday, 02 February 2015 07:35 AM

රටේ දරුවන්ට කන්න අදින්න නැතිව ඉන්නකොට "පවුල් වනාන්තරයක් සහ කල්ලියක්" විසින් රටේම දනස්කන්දය ඩොලර් ට්‍රිලියනර් ගණනින් සුරගෙනම කෑවා .විකුනම් කෑවා .රටේ වටිනා කියන සියලුම මර්මස්ථාන ටික තමන් සතු කර ගත්තා.ඔවුන්ට නිතියනුකුලව දැඩි දඩුවම් දී ගසා කාපු මුදල් සම්බාරය සහ මර්මස්ථාන නැවත ජනතා සතු කිරීම ජනදිපතිගේ යුතුකමක් සහ වගකීමකි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 24 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1335 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 817 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1354 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 965 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site