IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහින්දට නව පණක්

පසුගිය බදාදා රාති‍්‍රයේ පැවැති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන සහභාගීව සිටි අමාත්‍යවරුන් හමුවේ කියා සිටියේ අයවැය තෙවන වර කියවීම සාර්ථක කරගනු සදහා සියලූදෙනා කණ්ඩායමක් ලෙස වැඩකටයුතු කළ යුතුව තිබෙන බවයි.අයවැය යෝජනා සම්බන්ධයෙන් තනි තනිව විවේචන ඉදිරිපත් කිරීමෙන් වැළකෙන ලෙසද හෙතෙම ඔවුන්ට දැනුම් දුන්නේය.අයවැය තෙවන වර කියැවීමෙන් පසු එහි අන්තර්ගත යෝජනා එකින් එක ගෙන ඒවා ජනතාවට වැදගත් වන්නේ කෙසේදැයි පෙන්වාදෙන වැඩසටහනක් ආරම්භ කිරීමේ වැදගත්කම ද ජනපතිවරයා පෙන්වා දුන්නේය.

අයවැය තෙවන වර විවාදය පැවැත්වීමට නියමිත ලබන අඟහරුවාදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අයවැය යෝජනා සම්බන්ධ සංශෝධනයන් සභාගත කරනු ඇත.එයින් එකක් වනුයේ හෙක්ටයාරයකට ලබාදීමට යෝජිත පොහොර සනනාධාරය හෙක්ටයාර දෙකක් දක්වා ඉහළ දැමිමයි.තව ද පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ට වාහන බලපත් ලබාගැනීමට තිබෙන අවස්ථාවද අහෝසි කිරීමට නියමිතව ඇත. ඒ වෙනුවට දැනට තිබෙන වාහන ඔවුන් වෙනුවෙන් වෙන් කිරීම රජයේ අරමුණයි. එසේවුවත් වෙනම වාහනයක් අවැසි පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු වෙතොත් වාහන මිලදී ගැනීම සදහා ඔවුන් වෙනුවෙන් සහනදායී ණය ක‍්‍රමයක් හදුන්වාදීමට රජය සැළසුම් කර තිබේ.පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් තමන්ට හිමිවූ වාහන බලපත් අධික මුදලකට අලෙවි කළ ව්‍යාපාරයට මේ අනුව නැවතීමේ තිත තැබෙනු ඇත.

ජනපතිවරයා අයවැය සම්බන්ධයෙන් විශේෂ අදහස් දැක්වීමක නිරතවූයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අදහස් දැක්වීමකට සවන්දුන් පසුවය.වෘත්තීය සමිති කි‍්‍රයාකාරකම් පිළිඹදව චෝදනා මුඛයෙන් අදහස් පළකළ අගමැතිවරයා ඔවුන් මේ දිනවල අයවැයට එරෙහිව විපක්ෂය උසි ගැන්වීමේ ව්‍යායාමයක නිරතව සිටින බව කීය.එය පසුපස තිබෙන්නේ ජනතාව වෙනුවෙන් උපන් අනුකම්පාවක් නොව පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමක් බවද අගමැතිවරයා පැවසීය.අමාත්‍යවරු කිහිපදෙනෙක්ම අගමැතිවරයා සමග එකගවූහ.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් මේ චෝදනා නැගෙන බවක්ද දැකගත හැකිවිය.

 

විපක්ෂය කැරළිකාර මාවතකට යොමුකිරීම පසුපස රාජපක්ෂ පමණක් නොව තමන්ගේම පවුලේ සාමාජිකයෝ දෙදෙනෙක්ද සිටින බව ජනපති සිරිසේන මෙහිදී කීය.අමාත්‍ය මණ්ඩලය හමුවේ සිදුවූ මේ සාකච්ඡාව එක්තරා අතකට මහින්ද රාජපක්ෂට තවමත් තිබෙන දේශපාලන සවිය අගය කිරීමක් වැනි විය.ශී‍්‍රලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් අඩකට ආසන්න පිරිසක් තවමත් ඔහු වෙනුවෙන් පෙනී සිටින බව පසුගියදා අයවැය ඡුන්ද විමසීමේදීද දැකගත හැකිවිය.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කි‍්‍රයාකාරකම් අගමැතිවරයා දැඩිව විවේචනය කළේය.දැනටමත් ඔහු කිහිපවතාවක්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සමග වාද විවාද කිහිපයකම නිරතව තිබේ.පසුගිය සිකුරාදා පාර්ලිමෙන්තුවේදීද එම සංගමයට ඔහුගෙන් ගැලවීමක් තිබුණේ නැත.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ජනපතිවරණ සමයේදී මෛතී‍්‍රපාල සිරිසේන පැරදවීමට කටයුතු කළ බවට ඔහු චෝදනා කළේය.අනතුරුව සූදානම් කරගෙන පැමිණ සිටි කතාවට අදාළ නොවන විශේෂ කරුණක් සදහන් කළ ඔහු පළාත් පාලන ආයතනයන්ගේ මැතිවරණය ලබන අලූත් අවුරුද්දට පෙර අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව කියා සිටියේය.මේ සදහා වර්තමානයේ දියත් කර ඇති ඡුන්ද කොට්ටාස සීමා නීර්ණක වැඩකටයුතු වහාම අවසන් කිරීමටත්,පළාත් පාලන ආයතනයන්ට බලපැවැත්වෙන නව නීති සම්මත කරගැනීමට හා ගැසට් නිවේදන ප‍්‍රකාශයට පත්කිරීමට ආදී ලෙසත්, විශාල වැඩකොටසක් රජය හමුවේ ඇත.මේ සියල්ල මැතිවරණයට පෙර අවසන් කළ යුතුය.

 

යහපාලනය සදහා වන එක්සත් ජාතික පෙරමුණේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවය  ඕනෑම දෙයකට මුහුණදීමේ සූදානමකින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන බවක් පෙනෙන්නට ඇත.නමුත් මැතිවරණයේදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂය කෙසේ කටයුතු කරනු ඇත්දැයි තවමත් පැහැදිලි නැත.මෛතී‍්‍රපාල සිරිසේනගේ හා රජයේ කටයුතු වලට එරෙහි පාර්ශවයක් එහි සිටින අතර ඔවුන්ට මෙම මැතිවරණය කොළ එළියක් වනු ඇත්දැයි යන්නද ගැටලූවකි.පක්ෂය එක්සත් කිරීමට කොතෙක් පියවර ගත්තද ඒ කිසිත් සාර්ථක කරගැනීමට පක්ෂ නායකයා ලෙස ජනපති සිරිසේනට මේ දක්වාම හැකියාවක් ලැබී නොමැත.පක්ෂයේ බිම් මට්ටම් සහය තවමත් ඇත්තේ මහින්ද රාජපක්ෂ වෙත වීම මෙවර මැතිවරණයේදී නිදහස් පක්ෂය ජයග‍්‍රාණයේ මාවතට යොමුකිරීම අරබයා කටයුතු කරමින් සිටින ජනපති සිරිසේන හමුවේ ඇති තවත් අභියෝගයකි.

 

නමුත් අගමැතිවරයා පවසන ආකාරයට පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මාසයට පෙර පැවැත්විය හැකිවේදැයි යන්න ගැටලුවකි.පසුගිය සිකුරාදා ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මන්ත්‍රණයකදී විවිධ පක්ෂ මේ සම්බන්ධයෙන් එකිනෙකාට වෙනස් මත දරන බව පෙනී ගියේය.තවද මැතිවරණය පැවැත්වීම ගැන ජනපතිවරයා හා අගමැතිවරයා මත දෙකක පිහිටා කටයුතු කිරීමද ගැටලුවකි.අගමැතිවරයාගේ අදහස වන්නේ සමානුපාතික ක්‍රමය යටතේ හෝ වේවා කේවල ක්‍රමය යටතේ හෝ වේවා මැතිවරණය අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් පැවැත්විය යුතු බවයි.එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා  පිළියෙල කිරීමට මසක් පමණ ගතවෙතියි ගණන් බලා තිබෙන හෙයින් මැතිවරණය පැවැත්වීම ගැන අවසන් තීරණයක් ජනවාරි පළමු සතිය පමණ වන විට ගතහැතිවුවහොත් එය ඉතාම සුදුසු බව ඔහුගේ මතයයි.නමුත් බොහෝ දේශපාලන පක්ෂ අලුත් මැතිවරණ ක්‍රමයකට අනුමැතිය පලකර ඇති බැවින් මෙවර මැතිවරණය පැවැත්විය යුත්තේ නව ක්‍රමය යටතේ මිස සමානුපාතික ක්‍රමය යටතේ නොවන බව ජනපති සිරිසේනගේ මතයයි.දෙදෙන අතර මේ මත ගැටුම නිසාවෙන් මැතිවරණය අලුත් අවුරද්දට ප්‍රථමයෙන් පැවැත්විය හැකිවේද යන්න සැකසහිතය.

 

මෙම හමුවේදී අදහස් පළකළ සීමා නීර්ණක කමිටුවේ සභාපති අසෝක පීරිස් මහතා කියා සිටියේ නව මැතිවරණ කොට්ටාස නම් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මහජන පෙත්සම් 2000 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යනය කිරීමට ඉතිරිව තිබෙන බවය.පසුගිය රජය සමයේ මැතිවරණ කොට්ටාස සකස් කර තිබෙනුයේ දේශපාලන වාසි මුල් කරගෙන බවද ඔහු පැවසීය.සුළුතරය හා කුලය අනුව ජන කොටස් අතර බෙදීම් ඇතිවන අයුරින් ඡන්ද කොට්ටාස ඇතිකර තිබෙන බවද ඔහු අනාවරණය කළේය.උදාහරණයක් ලෙස ගතහොත් 60000 ක පමණ ජනගහණයක් සිටින සමන්තුරේ ප්‍රාෙද්ශීය සභාවේ සාමාජිකයින් ගණනට වඩා ඒ සමානම ජනගහණයක් සිටින දෙහිඅන්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සාමාජිකයින් ගණන වැඩිය.3000 ක ජනගහණයක් සිටින ලග්ගල ප්‍රාදේශීය සභාවට ආසන 10 ක්  වැනි අධික සංඛ්‍යාවක් හිමිය.මෙසේ හඳුනාගෙන ඇති වෙනස්කම් තවදුරටත් අධ්‍යනය කිරීමට සති දෙකක් පමණ ගතවනු ඇති බවද පීරිස් මහතා පැවසීය.කමිටුවේ නිර්දේශ සැළකිල්ලට ගෙන නව ඡන්ද කොට්ටාස සකස් කිරීමට මැතිවරණ දෙපාර්තමෙන්තුවට තවත් කාලයක් ගතවනු ඇත.හමුවට සහභාගීව සිටි පක්ෂ නායකයෙක් පසු අවස්ථාවක සන්ඩේ ටයිම්ස් හා අදහස් දක්වමින්,

‘අන්තිමට අපි ඔක්කොටම එකගතාවයකට එන්න බැරි වුනා.එච්චරයි වුනේ.‘

 යැයි කීය.අවුරුද්දට පෙර මැතිවරණයක් පැවැත්විය හැකිදැයි ඔහුටද ඇත්තේ සැකයකි.හමුව පැවැත්වුණු දින සවස් වරුවේ පක්ෂ නායකයින් සහභාගීත්වයෙන් සම්මන්ත්‍රණයක්ද පැවැත්විණ.මැතිවරණ පැවැත්වෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ නව මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාය.

 

පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයින් හට දැන් නව ජවයක් ලැබී තිබීම නිසා මැතිවරණය ඉක්මනින් පවත්වන තරමට තමන්ට වාසි අත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායකයෝ විශ්වාස කරති.ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තත්ත්වය නම් මීට ඉඳුරාම වෙනස්ය.එහි බිම් මට්ටමේ සාමාජිකයින් මෛත්‍රී හා මහින්ද ලෙස දෙපිළ බෙදී සිටීම පක්ෂයට අතිශයින් අවාසිසහතය.හදිසියේවත් මහින්ද රාජපක්ෂ පෙරටුකොටගෙන නව

පක්ෂයක් ඇතිවුවහොත් මෛත්‍රීපාල සිරිසේනගේ නායනත්වයෙන් යුත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය මැතිවරණ සටනේ තෙවැනි තැනට තල්ලු වීම නොවැළැක්විය හැකිවනු ඇත.

 

පළාත් පාලන ආයතන මැතිවරණයෙන් ලබන ජයග්‍රහණයෙන් පාර්ලිමෙන්තු මැතිවරණ සමයේ ඉදිරපත් කළ මාස 60 කින් රට ගොඩනැගීමේ ‘පංච මහා සංකල්පය‘ සාර්ථකව දියත් කිරීමට හැකිවේයැයි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාවයි.එම වැඩපිළිවෙලේ එක් පියවරක් වන්නේ ගම් සංවර්ධන කිරීමට ග්‍රාමරාජ්‍ය කේන්ද්‍ර 2500 ක් ඇතිකිරීමය.මෙම කේන්ද්‍ර සඳහා මුදල් වෙන්කෙරෙන්නේ මධ්‍යම රජයෙනි.පහත දැක්වෙන්නේ ග්‍රාම රාජ්‍ය කේන්ද්‍ර ඇතිකිරීම අරබයා පාර්ලිමෙන්තු මැතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා වල සංක්ෂිප්තයකි.

 

  • 60 දශකයේ සිදුවූ බලය විමධ්‍යගත කිරීම නිසා ගම් ආදී දුෂ්කර පළාත් වල පරිපාලන කටයුතු සිදුවූයේ එසේ විමධ්‍යගත කෙරුණු බලයේම දිගුවක් ලෙසය.සංවර්ධනයේ ප්‍රතිඵල මේ අනුව ගමට නිසි පරිදි නොයෑම 1971 කැරැල්ල ඇතිවීමටද ප්‍රධාන හේතුවක් වුනි.මේ තත්ත්වයට පිළියමක් ලෙස 1982 වසරේදී ග්‍රා මෝදය මණ්ඩල සංකල්පය හා වර්තමානයේ ජන සභා සංකල්පය ක්‍රියාත්මක කෙරුණත් එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැත.
  • ගම් මට්ටමේ පරිපාලන කටයුතු වල ප්‍රධාන බලතල දරන්නේ ග්‍රාම නිලධරයාය.ඔහු යටතේ පවත්නා ප්‍රෙද්ශය හදුන්වන්නේ ග්‍රාම නිලධාරී කොට්ටාසයක් ලෙසය.ග්‍රාම නිලධාරී කොට්ටාසකය බහුවිධ කාර්යයන් සිදුවේ.මධ්‍යම රජය සපයන පහසුකම් ගම් මට්ටමෙන් බෙදා හරින්නේ ග්‍රාම නිලධාරී කොට්ටාස මාර්ගයෙනි.

 

  1. මධ්‍යම රජයේ දෙපාර්තමෙන්තු වලින් ලබාදෙන පහසුකම් ගම් මට්ටමෙන් සැපයීම
  2. විශේෂ අවශ්‍යතා ඇති පුරවැසියන් ඔවුන්ට සහයක් ලබාගත හැකි රාජ්‍ය ආයතන වෙත යොමු කිරීම හා අවශ්‍යතාවක් ඇතිවෙතොත් සේවා සපයන්නන්ගෙන් සහය ලබාගනු වස් ජනාවාසයේ වෙසෙන්නන්ව දැනුම්වත් කිරීම
  3. ගම් මට්ටමින් සිදුවිය යුතු සංවර්ධන කටයුතු හඳුනාගැනීම
  4. සමාජයේ පොදු කටයුතු වල පාර්ශවකරුවෙක් ලෙස කටයුතු කිරීම
  5. ග්‍රාම නිලධාරී කොට්ටාසයට ඉහළින් පිහිටන අනෙක් පරිපාලන ඒකකයන් කරා සමාජය සම්බන්ධ කිරීමේ පුරුක ලෙස ක්‍රියාකිරීම ආදියද ග්‍රාම නිලධාරී කොට්ටාසයක වගකීම්ය.

 

  • සේවා සපයන්නන් හා සම්බන්ධ වීමට ක්‍රියාකාරී පදනමක් නොමැතිවීම ගම් මට්ටමේ සංවර්ධන කටයුතු සිදුකිරීමට බාධාවකි.මෙම තත්ත්වය හමුවේ ගමක් ක්‍රියාත්මක වන්නේ තනි ඒකකයක් ලෙසය.විසඳුම වන්නේ ප්‍රාදේශීය මට්ටමින් සැළසුම් සකස් කෙරෙන,බලතල ඇති නිලධරයින් සිටින, ක්‍රමවේදයක් ඇති කිරීමය.ගම් මට්ටමින් ඇතැම් ආයතනයන් ක්‍රියාත්මක වෙතත් පවත්නා තත්ත්වය හමුවේ ඒවායේ කාර්යක්ෂමතාව මැන ගැනීමේ හැකියාවක්ද නොමැත.
  • ගම් මටටම මත පදනම් වන සැළසුම් සකස් කිරීමේ හා එම සැළසුම් ක්‍රියාත්මක වීම විමර්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමට මේ අනුව අවස්ථාවක් ඇත.මෙවන් ක්‍රමවේදයක් නොමැතිවීම ගම් මට්ටමේ ජීවත් වන්නන්ගේ වගකීම් හා කාර්යයන් ඇතුළුව ඔවුන්ගේ සමස්ත මානව සංවර්ධනයම අවදානමේ හෙළා තිබේ.ග්‍රාම නිලධරයා මගින් සම්බන්ධ සිටියද ඊළගට ඇති පරිපාලන ඒකකය හා ග්‍රාම නිලධාරී කොට්ටාසය සැළකූ විට දෙක අතර තිබෙනුයේ සැළකිය යුතු පරතරයකි.ප්‍රතිපත්ති හා සැළසුම් සකස් කිරීම බිම් මට්ටමේ සිට ඉහළ මට්ටම් දක්වා දිවෙන ක්‍රියාවලියක් වුවත් ගම හා අනෙක් පරිපාලන කොට්ටාස අතර පවතින පරතරය නිසා මේ අයුරින් ප්‍රතිපත්ති හා සැළසුම් සකස් කිරීම දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත.

 

  • ග්‍රාමජය සංවර්ධන මධ්‍යස්ථාන 2500 ක් ඇතිකිරීමට රජය සැළසුම් කර තිබෙන්නේ ගම හා මනා සබඳතාවයක් පවත්වාගනිමින් ආර්ථික,සංස්කෘතිමය හා සමාජීය සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණ පෙරදැරිවය.මෙම සංවර්ධන මධ්‍යස්ථාන වල බලතල ගම්වැසියන්ම ඔවුන් අතරින් තෝරාගන්නා පුද්ගලයින්ට හිමිය.කිසිඳු දේශපාලන අතපෙවීමක් හෝ නායකත්වයක් මේ කටයුතු සඳහා යොදා ගැනීමට අවසර නැත.

 

  1. පොකුරු ගම්මාන සංකල්පය අනුව කටයුතු කරමින් ගම්මාන වලින් කාර්යක්ෂමව සේවාවන් ලබාගැනීම
  2. වඩා පුළුල් හා විධිමත් සේවා සැපයුමක් ගම්මාන වෙත ලබාදීම
  3. දරිද්‍රතාවයෙන් පෙළෙනා වැසියන් ඉලක්ක කර මෙම සේවා සැපයීමේ ක්‍රියාමාර්ගයන් වැඩිදියුණු කිරීම

මෙම මධ්‍යස්ථානයන්ගේ කාර්යභාරයයි.

නගරය හා ගම අතර ඇති ඇති - නැති පරතරය අවම කිරීම ග්‍රාමෝදය සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමේ තවත් අරමුණකි. ග්‍රාම නිලධාරී කොට්ටාස 4 - 5 ක් මෙම එක මධ්‍යස්ථානයක් යටතට ගැනේ.මෙම ග්‍රාම නිලධාරී කොට්ටාස එක් ඒකකයක් ලෙස සළකා පරිපාලන කටයුතු මෙම මධ්‍යස්ථානයක් යටතේ සිදුවෙද්දී එම එක් එක් ග්‍රාම නිලධාරී කොට්ටාස නියෝජනය කරන ග්‍රාම නිලධරයින්ට පැවරෙන වගකීම වනුයේ තම පාලන පෙදෙස් වල ප්‍රාථිමික මට්ටමින් පරිපාලන කටයුතු වල නිරතවීමයි.මෙය අදියර දෙකක් අනුව සිදුවන පරිපාලනයක් ලෙස හඳුන්වාදිය හැකිය.

 

ග්‍රාම රාජ්‍යය සංවර්ධන මධ්‍යස්ථානයක් ග්‍රාම නිලධාරී කොට්ටාස කිහිපයක හා තවත් පරිපාලන මධ්‍යස්ථාන කිහිපයක එකතුවක් ලෙස ක්‍රියාත්මක වන ප්‍රා‍ෙද්ශිය සංවිධානයක් ලෙස හඳුන්වාදීමටද පිළිවන.එහි ලක්ෂණ මෙවැනිය.

 

ඒකකයක්

ගම් කිහිපයක හා අදාළ කලාප ලේකම් කාර්යාලයේ එකතුවක් ලෙස ක්‍රියාත්මක වන ඒකකයක්

කාර්යය

ගම්මාන වල සිදුවන සංවර්ධන කටයුතු හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් තිරස් අතටත්,මධ්‍යම රජය පළාත් පාලන ආයතනයන් දියත් කරන සංවර්ධන කටයුතු සිරස් අතටත් සම්බන්ධ කෙරෙන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම.මෙසේ සම්බන්ධ කෙරෙන සංවර්ධන කටයුතු වලින් ගම් මට්ටමේ දියත් කළ යුතු සංවර්ධන ව්‍යාපෘතීන් හඳුනාගැනීම හා ක්‍රියාවට නැංවීම.

 

ක්‍රියාකාරීත්වය

  • ගම් මට්ටමින් අපේක්ෂිත ආර්ථික,සමාජීය හා සංස්කෘතිකමය සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීම සහ ඒම සංවර්ධන අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් සම්බන්ධීකරණ කාර්යය ඉටුකිරීම
  • සැපයිය යුතු සේවා හා යටිතල පහසුකම් සංවර්ධන ඉලක්කයන් හඳුනාගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට එම ඉලක්ක හා සංවර්ධන සැළසුම් සකස් කිරීමේ ක්‍රියාවලිය අතර සම්බන්ධීකරණ කාර්යය ඉටුකිරීම
  • කොට්ටාස මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් සිදුවන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතීන් සැළකිල්ලට ගෙන ඒවා ඒකාබද්ධ කිරීම මගින් බිම් මට්ටමේ සිට ඉහළ මට්ටම දිවෙන අයුරින් නිසි පරිදි එම ව්‍යාපෘති සම්බන්ධ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පරිසරය සැකසීම

මගපෙනවීම හා නායකත්වය ලබාදීම

  • ගම්මාන අතර සහයෝගය වර්ධනය කිරීම මගින් පොදු සංවර්ධන අවශ්‍යතා වලට සියලුදෙනාගේ දායකත්වය ලබාගැනීමට මගපෙන්වීම
  • දැනට තිබෙන සේවා සැපයුම් වලින් උපරිම ප්‍රයෝජනය ලබාගත හැකිවන පරිදි පොකුරු ගම්මාන එම සේවා සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම හා එම සේවා උපරිමයෙන් ලබාගැනීමට යොමු කිරීම

 

සංවර්ධන ව්‍යාපෘති සැළසුම් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම

  • ග්‍රාම රාජ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරී මඩුල්ල සමන්විත වනු ඇත්තේ ගම් මට්ටමින් තෝරාගන්නා සාමාජිකයන්ගෙනි.එක් එක් ග්‍රාම නිලධාරී කොට්ටාසයක තිබෙන ගම් අතරින් නැතහොත් ‘ගම් ගොඩැල්ලෙන්‘ මෙම පුද්ගලයින් තෝරාගැනෙනු ඇත.නිලධාරී මඩුල්ල සාමාජිකයින් 15 - 20 අතරය.කාන්තාවන් හා තරුණ තරුණියන්ද තෝරාගැනේ.
  • ආගමික නායකයින්ගෙන් සැදුම් ලත් උපදේශක කවුන්සිලයක්ද ඇති කෙරේ
  • පත්කරගන්නා නිලධාරී මණඩලය අතරින්ම විධායක මණ්ඩලයක්ද පත් කර ගැනේ.විධායක මණ්ඩලයට පත් කර ගැනෙන නිලධාරීන් නිශ්චිත කාල සීමා වලදී වෙනස් කෙරේ
  • සංවර්ධන ක්‍රියාකාරකම් වලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනෙන්නේ මාර්ග කිහිපයකින්ය
  1. මධ්‍යම රජය,පළාත් සභා,ප්‍රාෙද්ශීය සභා වෙන්කරන මූල්‍ය ප්‍රතිපාදනයන්
  2. රාජ්‍ය නොවන සංවිධාන,පෞද්ගලික අංශය හෝ සමාජයම මැදිහත්ව ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදනයන්

 

පළාත් පාලන මැතිවරණය අරබයා රාජපක්ෂ හිතවාදීන්ගේ කඳවුරේද ඇතිව තිබෙන්නේ කලබලයකි.හිටපු ජනපතිවරයාද පසුගිය සතියේ අන් කවරදාටත් වඩා කාර්යබහුලව සිටිනු දැකගත හැකිවුනි.ඔහු අගමැතිවරයාද හමුවී සාකච්ඡා කළේය.රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා අගමැතිවරයා හා සමග සාකච්ඡා කරන්නට ඇතැයි කියැවුනත් සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වූ අගමැති වික්‍රමසිංහ කියා සිටියේ රාජපක්ෂ තමන් හා සාකච්ඡා කළේ ව්‍යවස්ථාවට සිදුකිරීමට නියමිත වෙනස්කම්,මැතිවරණ ක්‍රමයට සිදුකිරීමට නියමිත වෙනස්කම් ආදී කරුණු සම්බන්ධයෙන් බවයි.පාර්ලිමෙන්තුවේ පසු පෙල මන්ත්‍රීවරුන්ටද සභාවේ අදහස් පළකිරීමට (විශේෂයෙන් ඔහුට සහය දක්වන මන්ත්‍රීවරුන්ට) අවස්ථාව ලබාදීය යුතුව ඇතැයිද රාජපක්ෂ පැවසූ බව අගමැතිවරයා වැඩිදුරටත් කීය.

 

රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා ගම්පහ,දෙල්ගොඩ ප්‍රෙද්ශයේ පන්සලක බෝධි පූජා පිංකමකටද සහභාගීව සිටියේය.පිංකම අවසානයේ අදහස් දැක්වූ ඔහු වත්මන් රජය ඔහුව හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ව දඩයම් කරමින් සිටින බවට චෝදනා කළේය.පසුගිය සතිය මුළුල්ලේම රාජපක්ෂ ඔහුගේ හිතවතුන් හා එක්ව නව පක්ෂයක් පිහිටුවීමේ කටයුතු වල නිතරව සිටින බවටද නොයෙක් වාර්තා පලවුනි.ඔහු මෙම පක්ෂය හා එකවනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නැතත් එසේ නව පක්ෂයක් ඇතිවුවහොත් එය ක්‍රියාත්මක වනු ඇත්තේ ඔහුගේ ආශිර්වාදය මත බව කිව හැකිය.මෙම කටයුතු හා සම්බන්ධ ආරංචි මාර්ගයක් සඳහන් කරන ආකාරයට පක්ෂයට නමක් හා සංකේතයක් හඳුන්වාදීම අරබයා මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.‘ශ්‍රීලංකා නිදහස් පෙරමුණ‘ එසේ යෝජනාවී ඇති එක් නාමයක් බව සඳහන්ය.රාජපක්ෂ නව පක්ෂයක් සමග පෙරට පැමිණියහොත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට කුමකින් කුමක් වනු ඇතිදැයි යන්න ගැටලුවකි.

 

විපක්ෂ කඳවුරේ මෙම කටයුතු සිදුවෙමින් පැවැතෙන විට රජය කාර්යබහුලව සිටින්නේ යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ නැගී ඇති චෝදනා වලට පිළිතුරු බැදීමේ කටයුතු වල නිරතවීය.ඇමරිකා රාජ්‍ය දෙපාර්තමෙන්තුවේ උපදේශක තෝමස් ෂැනන් මහතා අද දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර තිබෙන නිවේදනයක දැක්වේ.පසුගිය සමයේ මෙරට සංචාරයක නිරතවූ එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපතිනී සමන්තා පවර් මහත්මිය ත්‍රිකුණාමලය නාවික හමුදා බල ප්‍රෙද්ශයේ සංචාරයක නිරතවූ බවට චෝදනා නැගුණු අතර නමුත් ඇයගේ සංචාරක සැළැසුමේ එවැන්නක් සඳහන්ව නොතිබුණි.එම සංචාරයේ නිතරව තිබෙන්නේ ත්‍රිකුණාමලය ප්‍රෙද්ශයේ සිදුවූ අතුරුදන්වීම් පිළිඹද විමර්ෂණය කිරීමට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ නියෝජිතයින් පිරිසකි.

 

එළැඹෙන පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයටද එකසේ තිරණාත්මකය.එකම රජයක සිටිමින් නමුත් මැතිවරණයේදී දෙපක්ෂයක් නියෝජනය කරමින් ඔවුන් කටයුතු කරනු ඇත්තේ කෙසේදැයි දැකගත හැක්කේ ඉදිරියටය.ඒ සමගම මහින්ද රාජපක්ෂ ක්‍රමයෙන් සක්‍රීය වෙමින් සිටීම මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යටතේ පවතින ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දල්වා තිබෙනුයේ රතු එළියකි.එවන් තත්ත්වයක් ඇතිවුවහොත් තෙවැනි තැනට තල්ලු නොවී තම ස්ථානය රැකගැනීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ප්‍රබල සටනක් දියත් කිරීමට සිදුවන බව නම් පැහැදිලිය.

 

රාජපක්ෂගේ ආරක්ෂකයින් කප්පාදු කිරීම

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පළව තිබූ පුවත්පත් වාර්තා මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීමට සමත්විය.

‘මේ වාර්තාව වැරදියි.හිටපු ජනපතිවරයාට මේ වෙනකොට යුද හමුදා සාමාජිකයින් 102 ක් වෙන්කරදී තිබෙනවා.එයින් 80 ක් පෙනී සිටින්නේ ඔහුගේ ආරක්ෂාව භාරව.අනෙක් 22 නා තමයි ඔහුගේ කාර්යාල කටයුතු භාරව සිටින්නේ.‘

‘වත්මන් රජය දැන් එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කරන්නට පටන් අරගෙන.රාජපක්ෂ පාලන සමයේ මේ වගේ සැකකරුවන් 11000 ක් පමණ පුනරුත්ථාපනය කර නිදහස් කිරීම සිදුකළා.තවත් 300 ක් විතර සිරගත කළා ඔවුන්ට එරෙහිම නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කාලය ලබාගැනීමට.මේ අයයි දැන් මේ නිදහස් වෙමින් ඉන්නේ.ඉතින් දැන් හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව ඉතාම අවදානම් අඩියක තිබෙන බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැ.වත්මන් රජය ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම මැදිහත්විය යුතුයි.ඔහුගේ ආරක්ෂක බල ඇණියට තවත් සාමාජිකයින් අනුයුක්ත කරන්නට කටයුතු කළ යුතුයි.‘ මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා කීය.

නිදහස් කිරීමට යන සැකකරුවන් අතර වෙස්වලාගෙන ක්‍රියාත්මකවූ ප්‍රබල ත්‍රස්ත සාමාජිකයින් දෙදෙනෙක් සිටින බවත් ඔවුන්ව නිදහස් කිරීමෙන් අනිටු ප්‍රතිවිපාක අත්විදීමට සිදුවනු ඇති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද අදහස් පළ කර තිබේ.

 

මේ සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාද පසුගියදා පාර්ලිමෙන්තුවේදී ප්‍රශ්න කළේය.සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඔහුට පිළිතුරු දෙමින් සඳහන් කළේ එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන අයුරින් රාජපක්ෂගේ ආරක්ෂක භටයින් කප්පාදු කිරීමට රජය කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැති බවය.

 

පසුගිය සතියේ අප පුවත්පතේ පළව තිබූ වාර්තාවේ සඳහන් වූයේ හිටපු ජනපතිවරයාගේ වියදම් වෙනුවෙන් කොපමණ මුදලක් වැයවන්නේදැයි ගණන් බලන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මුදල් ඇමැති රවී කරුණානායක මහතාට දැනුම්දී තිබෙන බවය.ඔහුගේ ආරක්ෂාවට,සපයා ඇති වාහන වලට,ඔහුගේ කාර්යමණ්ඩලයට ආදී ලෙස වියදම ගණන් බලන්නැයි මුදල් අමාත්‍යරයාට ජනපතිවරයා උපදෙස් දී ඇතැයි එම වාර්තාවේ සඳහන් විය.

 

සන්ඩේ ටයිම්ස් වෙත දැනගැනීමට හැකිව තිබෙන ආකාරයට මුදල් අමාත්‍යංශය මේ සම්බන්ධ වාර්තාවක් පිළියෙල කර දෙසැම්බර් මස 02 වැනිදා ජනපතිවරයාට ලබාදීමට කටයුතු කර තිබේ.එම වාර්තාවේ දැක්වුණු ආකාරයට හිටපු ජනපතිවරයා වෙනුවෙන් සාමාජිකයින් 103 ක පොලිස් බල ඇණියක් වෙන් කර ඇති බව එම වාර්තාවේ දැක්විණ.නමුත් කොපමණ හමුදා සාමාජිකයින් සංඛ්‍යාවක් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටිත්දැයි දැනගැනීමට හැකියාවක් මුදල් අමාත්‍යංශයට තිබී නොමැත.අමාත්‍යංශයට යන්තම් දැනගැනීමට ලැබී ඇත්තේ 500 ක පමණ හමුදා බල ඇණියක් සිටින බවය.

 

රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය සැළකිල්ලට ගත් විට මේ අනුව රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන්කර තිබෙන මුලු පොලිස් හා හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 205 කි.පෞද්ගලික ආරක්ෂක කටයුතු වලට හමුදාව යොදාගැනීම ජනපති නියමයෙන් තහනම් කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පසුගිය දිනෙක පැවසීය.දේශපාලන නායකයෙක්ට සැපැයෙන පොලිස් ආරක්ෂාවේ ප්‍රමාණය පිළිබඳ තීරණය ගන්නේ ජාතික ආරක්ෂක කවුන්සිලයයි.

 

මෙවන් වාර්තාවක් පිළියෙල කිරීමට ජනපති සිරිසේන මුදල් අමාත්‍යංශයට උපදෙස්  දුන්නේ පාසිකුඩාහි නිවාඩුවක නිරතවීමට ගොස් සිටි රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට යුද හමුදාව,නාවික හමුදාව හා පොලිසිය ඒකාබද්ධව ඉහළ ගණයේ ආරක්ෂාවක් සපයා තිබූ බව සඳහන් කර පළව තිබූ වාර්තා විමර්ෂණය කිරීමෙන් පසුවය.



අදහස් (0)

මහින්දට නව පණක්

සුමිත්‍ර Sunday, 13 December 2015 11:59 AM

පොලිස් ආරක්ෂව දෙන්න ඕනෑනේ. හිටපු ජනාධිපතිතුමාට නව පණක් ආවොත් කාට කාටත් හොඳ වෙයි (නි)

:       0       0

චන්දා Sunday, 13 December 2015 12:11 PM

තම අක්මුල් සිඳගත් සිංහලයාට අබ සරණයි! ඉතින් ආයුබෝවන් ලක්මාතා! (නි)

:       0       0

දහම් Sunday, 13 December 2015 01:30 PM

ඒ ජාතික වීරයාට කරදරයක් වුණොත් මේ රට එකම ලේ විලක් වෙන එක නම් සහතිකයි. (නි)

:       0       0

තරංග Sunday, 13 December 2015 02:05 PM

බලමුකෝ ඉස්සරහට වෙන දේ (නි)

:       0       0

බණ්ඩාර Monday, 14 December 2015 05:17 AM

හිටපු ජනාධිපතිතුමා තාමත් ජනතාවගේ හදවත්හි ඉන්න ජාතික වීරයාය. ඔහු රටට කළ සේවය සදා අනුස්මරනීයයි. එය කාටවත් බොරු කියන්න බැහැ. එතුමා යළි එනකන් ජනතාව මඟ බලාගෙන ඉන්නවා ඒ බව ජන හදවත් දන්නවා එතුමාට කරදරයක් කලොත් මුළු සිංහල දේශයම නැගිටීවි ඒ බව අනිවාර්යයි (ම)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 14 December 2015 10:15 AM

කිසිවෙකුට නිමා කිරීමට නොහැකිවූ 30 වසරක කුරිරු යුද්දය අවසන් කර දේශයට මර බිය නැති කරපු ඒ සේනාධිපති නායකයාගේ රුව සහ හඩ අප කෙසේ අමතක කරන්නද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 831 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5193 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3034 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1411 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1519 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28243 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 406 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site