IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘රජය ජනතා පණිවිඩය තේරුම් ගත යුතුයි‘

මහ බැංකු අධිපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් පැවති ආන්දෝලනය නිමා කරමින් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන, කීර්තිමත් රාජ්‍යතාන්ති‍්‍රකයකු සහ ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කළේය.

කුමාරස්වාමිගේ පත්වීම මුලින්ම නිවේදනය කෙරුණේ ජනපති සිරිසේනගේ ට්විටර් ගිණුම ඔස්සේය.

‘අදාළ සියලූ පාර්ශවයන් හා සාකච්ඡා කිරීමෙන් පසුව මම ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපති ලෙස පත් කළෙමි‘ යැයි එහි සඳහන්ව තිබුණි.

නව මහ බැංකු අධිපතිවරයා පත්කිරීමට ප‍්‍රථමයෙන් ජනපතිවරයා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සංවර්ධන මූලෝපාය සහ අන්තර්ජාතික වෙළදාම් පිළිබද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා හමුවී තම තීරණය පිළිබද ඔවුන්ව දැනුම්වත් කළේය.අගමැතිවරයා ඊට එකගතාව පලකළ අතර සමරවික‍්‍රමද තම අමාත්‍යංශයට අනුයුක්තව උපදේශකවරයකු ලෙස සේවය කරමින් සිටි කුමාරස්වාමිව නිදහස් කිරීමට එකඟ විය.

‘ මහ බැංකු අධිපතිධූරයට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සුදුසුම පුද්ගලයෙක්.ඔහු මේ පත්වෙන්නේ විදේශ විනිමය පිළිබද අලූත් පනතක් හඳුන්වාදෙන්න නියමිතව තිබෙන, කොළඹ වරාය නගරයේ ආර්ථික සහ වෙළද මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබෙන, බැංකු රෙගුලාසි ශක්තිමත් කිරීමට පියවර ගැනෙමින් තිබෙන කාලයක.අප ලෝකයට විවෘත වීමේදී ඒ සම්බන්ධ කටයුතු වල හොදින් නිරතවිය හැකි පුද්ගලයකු රටට අවශ්‍යයි ‘

 

සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ අගමැති වික‍්‍රමසිංහ කීවේය.

 

බ‍්‍රහස්පතින්දා ලැබුණු අගමැතිවරයාගේ ලිපිය

 

ඇවිලෙන ගින්නට පිදුරු දැමුවාක් මෙන් තත්ත්වය තවත් ආන්දෝලනාත්මක කළේ බ‍්‍රහස්පතින්දා (ජූනි 30 වැනිදා) ජනපති සිරිසේන වෙත අගමැති වික‍්‍රමසිංහ යොමුකළ ලිපියකි.එතෙක් මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධූර කාලය නිමාවීමට නියමිතව තිබුණේද එදිනය.චරිත රත්වත්තේ මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරීමට තමන් හට මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ අනුමැතියද ලැබී තිබෙන බව අගමැතිවරයාගේ ලිපියේ සදහන්ව තිබිණ.රත්වත්තේ පත්කෙරෙන්නේ කෝප් කමිටු වාර්තාව නිකුත් කෙරෙන තෙක් තාවකාලිකව බවද එහි වැඩිදුරටත් සදහන් විය.කෝප් වාර්තාවෙන් මහේන්ද්‍රන් සියලූ චෝදනා වලින් නිදහස් කෙරෙනු ඇතැයි අදහසක් පැවතීම මෙයට හේතුවයි.මහ බැංකුව ගැසට් කර පවරා ඇත්තේ ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයා වන තමා යටතට බවද අගමැතිවරයාගේ ලිපියේ සදහන්ව තිබිණ.

 

මුදල් ඇමැතිවරයා යෝජනා කරන පුද්ගලයකු නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරීමේ බලය මූල්‍ය කටයුතු පිළිබද පණතින් හිමිව ඇත්තේ රටේ ජනපතිවරයාට බව ඔහු පිළිගෙන තිබිණ.නමුත් මුදල් ඇමැතිවරයා මේ දිනවල දිවයිනේ නොමැති නිසා තනිව නව මහ බැංකු අධිපතිවරයකු පත්කිරීමේ හැකියාවක් ජනපතිවරයාට නොමැති බවද ලිපියේ වැඩිදුරටත් සදහන් විය.

‘ මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ මා හොද අවබෝධයකින් කටයුතු කළේ‘ අගමැතිවරයා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.

 

දැනගන්නට ලැබුණු පරිදි වික‍්‍රමසිංහගේ ලිපියට පිළිතුරු ලිපියක් යවා ඇති ජනපතිවරයා සුදුසු පුද්ගලයින් සිටීනම් ඔවුන්ව යෝජනා කරන ලෙස ඉල්ලා ඇත.චරිත රත්වත්තේ මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට ඔහුගේ කැමැත්තක් තිබී නොමැති බව මින් පැහැදිලිය.නමුත් අගමැතිවරයා ජනපතිවරයාගේ ඉල්ලීමට ප‍්‍රතිචාරයක් දක්වා නැත.ජනපතිවරයාට සමිීප ආරංචි මාර්ග පවසන ආකාරයට කුමාරස්වාමි ඇතුලූ පස් දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අගමැතිවරයා වෙත යවා ඇති ජනපති සිරිසේන ඔවුන් අතරින් කවරකු හෝ යෝජනා කරන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබේ.නමුත් අගමැතිවරයා සිට ඇත්තේ මහේන්ද්‍රන් වෙනුවට චරිත රත්වත්තේ මහ බැංකු අධිපති ලෙස පත්විය යුතුයැයි ස්ථාවරයකය.එනිසාවෙන්ම ඔහු ජනපතිවරයාගේ ඉල්ලීමට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත.

 

මෙම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළ ආකාරයට අනතුරුව සිදුව ඇත්තේ වැඩ බලන ආර්ථික ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ නිර්දේශය මත ජනපතිවරයා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරීමය.මේ සම්බන්ධ නෛතික පසුබිම කොළඹ ප‍්‍රකට නීතිඥවරයකුගෙන්ද විමසා තිබෙන අතර ඔහු පවසා ඇත්තේ වැඩ බලන මුදල් ඇමැතිවරයාට, මුදල් ඇමැතිවරයා හා සමානව යෝජනා ඉදිරිපත් කිරීමට බලය ඇති බවය.රාජු කුමාරස්වාමිගේ පුතණුවන් වන ඉන්ද්‍රජිත් තනතුරු රැුසක් හොබවා තිබෙන පුද්ගලයකු වන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය මෙන්ම ශී‍්‍ර ලංකා මහ බැංකුවද ඔහු සේවය ලබාදී ඇති ආයතන අතර ඇත.

 

සිකුරාදා රාති‍්‍රයේ රාජ්‍ය තොරතුරු දෙපාර්තමෙන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.මුදල් අමාත්‍යංශයේ නිර්දේශය ලැබුණු පසු අගමැතිවරයා හා සාකච්ඡුා කර නව මහ බැංකු අධිපතිවරයකු පත්කිරීමට ජනපති සූදානමින් සිටින බවත්, විදෙස් ගතව සිටින මුදල් ඇමැතිවරයා දිවයිනට පැමිණි වහා මෙම කටයුතු සිදුකරන බවත් එහි සදහන් විය.

 

පැයක් ගතවීමට මත්තෙන් රාජ්‍ය තොරතුරු දෙපාර්තමෙන්තු ජෙනරාල් රංග කලංසූරිය මහතා දිවයිනේ ප‍්‍රධාන මාධ්‍ය ආයතන හා සම්බන්ධ විය.නිකුත් කළ නිවේදනය ප‍්‍රකාශයට පත් නොකරන්නැයි ඔහු එම ආයතන ප‍්‍රධානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය.එම නිවේදනයට ජනපතිවරයාගේ අනුමැතිය ලැබී නොතිබීම එවන් ඉල්ලීමක් කිරීමට හේතුව විය.පසුව සිකුරාදා රැුයේ නිවේදනයක් නිකුත් කළ මාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා එහි සදහන් කළේ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් රජයේ තොරතුරු දෙපාර්තමෙන්තුව කිසිදු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර නොමැති බවය.

 

‘තාවකාලික හෝ වැඩ බලන මහ බැංකු අධිපතිවරයෙක් ලෙස පත්වීමක් නැහැ.එවැන්නකට නීතියෙන් අවසරයක්ද නැහැ.කවුරුන් හෝ කෙනෙක් මහ බැංකු අධිපති ලෙස පත්කෙරෙන්නේ වසර හයකට.ධූරයෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න තීරණය කරන්නට බලය තිබෙන්නේ ඔහුට හෝ ඇයට.‘

 

කුමාරස්වාමි මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට ප‍්‍රථමයෙන් සන්ඬේ ටයිම්ස් හා විශේෂ අදහස් දැක්වීමක නිරතවූ අගමැති වික‍්‍රමසිංහ පැවසුවේය.

 

මහ බැංකුව ඇතුලූ තවත් මූල්‍ය ආයතන ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යංශය යටතට පවරා ගැනෙන කෙටුම්පතක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.එය සම්මතවූ පසු මහ බැංකු අධිපතිවරයා යෝජනා කිරීමේ බලය හිමි වන්නේ මෙම අමාත්‍යංශය භාර ඇමැතිවරයාටය.වර්තමානයේ මෙම අමාත්‍යංශය ඇත්තේ අගමැතිවරයා යටතේය. ගෙවුණු සදුදා දිනයේ සැළසුම්කර තිබූ පරිදි බැදුම්කර නිකුතුව නිදහස් කිරීමට නොහැකිවීම ගැනද අගමැතිවරයා අදහස් දැක්වූවේය.ඉතාම ඉක්මනින් තවත් දිනයක් ඒ සදහා වෙන්කර ගන්නා බවද ඔහු පැවසුවේය.

මුදල් ඇමැති කැඳවයි

චීනයේ සහ ජපානයේ නිල සංචාරයක නිරතව සිටි මුදල් ඇමැති රවී කරුණානායක නැවත දිවයිනට කැදවනු වස් අගමැති ලේකම් කාර්යාලය දුරකතනය ඔස්සේ ඔහු හා සම්බන්ධ විය.ඒ වන විට ඔහු චීනයේ කටයුතු නිමා කොට ආර්ථික ඇමැතිවරුන්ගේ හමුවකට සහභාගීවීම සදහා ජපානයේ ටෝකියෝ නුවර බලා ගොස් සිටියේය.වහා දිවයිනට පැමිණෙන්නැයි ඔහුට දැනුම්දෙනු ලැබිණ.නමුත් සෙනසුරාදා දිනයේ ඔහුව දැනුම්වත් කර ඇත්තේ එසේ පැමිණිමේ අවශ්‍යාතාවක් නොමැති බවය.

නව මහ බැංකු අධිපතිවරයකු පත්කිරීම රජයේ ඉතාම වැදගත් සංධිස්ථානයකි.ජනපතිවරයා මහේන්ද්‍රන් ගැන කිසිදු අවධානයක් යොමුකර නොමැති බව ඉතාම පැහැදිලිය.බහුතර එක්සත් ජාතික පාක්ෂිකයෝ සිතා සිටියේ මහේන්ද්‍රන් සම්බන්ධයෙන් පැවැත්වෙන කෝප් කමිටු විමර්ෂණය අවසාන වන තෙක් තාවකාලිකව මහ බැංකු අධිපතිවරයෙක් පත් කෙරෙනු ඇති බවය.කමිටු වාර්තා මහේන්ද්‍රන්ට පක්ෂව ඉදිරිපත්වනු ඇතැයිද ඔවුහු විශ්වාස කළහ.

 

ජනපතිවරයාගේ සමිීපතමයෝ නව මහ බැංකු අධිපතිවරයා පත්කර ඇත්තේ වසර හයකට බව සහතික කළහ.ජනපති සිරිසේන ගත් මෙම තීරණය දේශීයව මෙන්ම අන්තර්ජාතිකව ඔහුගේ ප‍්‍රතිරූපය ඔප් නංවන්නක් බවද ඔවුහු කීහ.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගේ සිත දිනාගැනීමටද මේ සමග ජනපතිවරයාට හැකිව තිබෙන බවද ඔවුහු පෙන්වා දුන්හ.

 

‘ඇත්තටම ජනපතිවරයාට වුවමනාවක් නැහැ හැම එකම එක්සත් ජාතික පක්ෂයේ විදිහට කරන පුද්ගලයෙක් වෙන්න.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න නම් දැඩි තීරණ ගන්නත්, එම තීරණ වල රැුදී සිටින්නත් ඔහුට සිදුවෙනවා‘ ඔවුහු කීවෝය.

මහ බැංකු අධිපතිවරයා පත්කිරීම අරබයා නැගුණු ආන්දෝලනයට පෙර සිටම ජනපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබිණ.වැට් බදු ඉහළ යාම හමුවේ රට පුරා වෙළදසැල් හිමියන් අතරින් නැගෙමින් පවතින විරෝධය සමනය කිරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත වන අතර ආර්ථික විප්ලවයක් ඇති කිරීමේ අරමුණින් රජයේ පාලනය යටතේ තිබෙන බොහෝ ක්ෂේත‍්‍ර නිදහස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද තිදෙන අවධානය යොමුකරනු ඇතැයි දැනගන්නට ඇත. සිංගප්පූරුව, හොංකොං සහ ඩුබායි වැනි රටවල ආර්ථික මොඩලයන්ද අධ්‍යනය කිරීමෙන් පසු රටේ ආර්ථිකයට සිදුකෙරෙන වෙනස්කම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාවක්ද පවතී.ගෙවුණු සතියේ අනුරාධපුර, නුවර, සේරුනුවර, කිරිබත්ගොඩ සහ වරකාපොල යන පෙදෙස්වල වෙළදසැල් හිමියෝ තම කඩ සාප්පු වසා දමා වැට් බදු ඉහළ යාමට විරෝධය දැක්වූහ.

‘ඔය උද්ඝෝෂණ පස්සේ ඉන්නේ වංචා හා දුෂණ චෝදනා නිසා නොයෙක් විමර්ෂණ වලට ලක්වෙමින් ඉන්න දේශපාලකයින්. ‘

ජපානයේ ටෝකියෝ නුවර සිට සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ මුදල් ඇමැති කරුණානායක පැවසුවේය.වැට් බද්දෙන් පීඩාවට පත්ව සිටින්නවුන්ට සහනයක් සළසනු වස් වැට් බදු පදනම පුළුල් කිරීමේ දැක්මක් රජයට තිබෙන බවද ඔහු කීවේය.

නමුත් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට දිවයින පුරා ඇතිවෙමින් තිබෙන විරෝධතා සම්බන්ධව ඇත්තේ වෙනත් මතයකි.

‘වැට් බදු නිසා කරදරයට පත්වෙලා ඉන්න වෙළද මහතුන් සහ පාරිභෝගික ජනතාව වෙනුවෙන් අප පෙනී සිටිනවා.වැට් බදු වලට පාර්ලිමෙන්තු අනුමැතිය හිමිවුනේ නැහැ.ඒ ගැන සදහනක්වත් පාර්ලිමෙන්තුවේ සම්මතවුනු අයවැය යෝජනාවල තිබුණෙත් නැහැ.‘ ඔහු කීවේය.

නව මහ බැංකු අධිපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් ඔහු අදහස් පලකළේය.

‘අපි මේ පත්වීම පිළිගන්නවා.ඔහු අත්දැකීම් බහුල වෘත්තියවේදියෙක් වගේම ක්ෂේත‍්‍රයේ සිටින ගරු කටයුතු පුද්ගලයෙක්.ඔහු යටතේ මහ බැංකුව එහි පැරණි විශ්වසනීයත්වයට පත්වනු ඇතිය කියා අපි සිතනවා.‘ ගුණවර්ධන පැවසුවේය.

 

මහ බැංකු අධිපතිවරයාගේ පත්වීම අරබයා මහත් කලබගෑනියක් ඇතිවූයේ පසුගිය බදාදා දිනයේය..‘තවත් පැය කිහිපයකින් මම නව මහ බැංකු අධිපතිවරයෙක් පත්කරනවා.‘ යැයි ජනපති සිරිසේනගේ ට්විටර් ගිණුමේ සටහන්වූ පණිවුඩයක් එයට මුල්විය.ජනපතිවරයාගේ කාර්යමණ්ඩල සාමාජිකයෝ එම පණිවුඩය තම තමන්ගේ ට්විටර් ගිණුම් ඔස්සේද ප‍්‍රචාරය කර හැරීම තත්ත්වය තවත් ව්‍යාකූල කළේය.මේ කලබලය ඇතිවන අවස්ථාවේ ජනපති සිරිසේන සිටියේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක නැගී ගිරාදුරුකෝට්ටේ බලා යමිනි.එහි පැවැති හමුවකදීද ඔහු කියා සිටියේ තමා තවත් පැය කිහිපයක් ඇතුළත නව මහ බැංකු අධිපතිවරයකු පත්කරන බවය.සැබෑවටම සිදුවන බවට සහතිකයක් නොදී අනාගත සැළසුම් ගැන අවධාරණාත්මකව අදහස් දැක්වීම ජනපති සිරිසේනගේ සිරිතකි.වරක් පොළොන්නරුවේ ජන හමුවකදී ඔහු පැවසුවේ ජනතාව මත බදු බර පටවමින් සිටින රාජ්‍ය නිලධරයින් වහාම ගෙදර යැවීමට කටයුතු කරන බවයි.නමුත් එම නිලධරයින් අදටත් සේවයේ නියුතුව සිටී.මෙවන් ප‍්‍රකාශ වලින් හානියට පත්වන්නේ තම ප‍්‍රතිරූපය බව ඔහු වටහාගත යුතුව ඇත.එසේවුවත් ජනපතිවරයා කටයුතු කරමින් සිටින්නේ එකිනෙකා අතර සන්නිවේදන කටයුතු සැළකීමේදී තවමත් මුල් අවධියේ සිටින සභාග රජයක බව සත්‍යයකි.බදු සංශෝධනය කිරීමක් ගැන ජනපතිවරයා කළ අදහස් දැක්වීමක් ප‍්‍රකට පුවත්පතක් වාර්තා කර තිබුණේ රජයේ ඇමැතිවරයකුගේ ප‍්‍රකාශයක් උපුටා දක්වමින්ය.එහි කිසිදු තැනක ජනපති ගැන සදහනක් නොවීය..

 

කොළඹ බලා එන ගමනේදී ජනපති සිරිසේන අනපේක්ෂිතව මහ බැංකුවට ගියේය.නිල නොවන වාර්තා වලට අනුව ජනපතිවරයා වත්මන් මහ බැංකු නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කෙරෙන ලිපියක් ඔහු සමග රැගෙන ගොස් ඇත.ජනපතිවරයා එන බව දැන ඔහු පිළිගන්නට අර්ජුන් මහේන්ද්‍රන් බුලත් හුරුල්ලක්ද රැුගෙන ප‍්‍රධාන දොරටුව අසළ සිටගෙන සිටි බවත්, ජනපතිවරයා ඔහු ගැන සැළකිල්ලක් නොදක්වා අනෙක් අය හමුවට ගොස් පසුව ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවත් මෙම වාර්තා වල වැඩිදුරටත් සදහන්ය.එවිට වේලාව පස්වරු හතරට ආසන්නව තිබී ඇති අතර අගමැති සිට ඇත්තේ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය කමිටුවේ හමුවකට සහභාගීවීම සදහා අරලිය ගහ මන්දිරය බලා යාමට සූදානම් වෙමිනි.

 

නමුත් ඔහු වහාම ගොස් ඇත්තේ  මහ බැංකුවටය.අරලියගහ මන්දිරයට ඒ වන විට රැස්ව සිටි අමාත්‍ය කණ්ඩායමට ඔහු දැනුම් දී ඇත්තේ තමන් යටතට අයත් වන ආයතනයකට ජනපතිවරයා පැමිණ ඇති හෙයින් එම ආයතනය වෙත යාම තම වගකීම බවයි.අනතුරුව පැවති සාකච්ඡාවේදී අගමැතිවරයා නැවත වතාවක් මූල්‍ය පණත ප‍්‍රකාරව මුදල් ඇමැතිවරයාගේ නිර්දේශය අනුව නව මහ බැංකු අධිපතිවරයකු පත්කළ යුතුව තිබෙන බව කියා ඇත.

 

අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ මහේන්ද්‍රන් නැවත වතාවක් පත්කළ යුතුව තිබෙන බවය. පුදුමයකට මෙන් විපක්ෂයේ ඇතැම් පිරිස් හා හිටපු අති සුවිශේෂී පුද්ගලයකු පවා අර්ජුන් මහේන්ද්‍රන්  නැවත පත්කිරීමට පක්ෂයේ සහාය ලබාදී ඇත. කෝප් වාර්තාවෙන් මහේන්ද්‍රන්ව සියලූ චෝදනා වලින් නිදහස් කරනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසය විය.

 

බැදුම්කර ගැටලූව කෝප් විමර්ෂණය සහ විගණකාධිපති වාර්තාව

 

මහ බැංකු බැදුම්කර ගැටලූව සම්බන්ධයෙන් කෝප් කමිටු විමර්ෂණය මේ වන විට සිදුවන අතර මහේන්ද්‍රන් වරදක් කර ඇතිදැයි සනාථ කරගැනීමට විගණකාධිපතිවරයාගේ වාර්තාවක්ද උපයෝගී කරගැනෙමින් පවතී.අවසන් වාර්තාව මෙම සතියේ නිකුත් කිරීමට නියමිතය.එම වාර්තාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් කළහොත් ඔහුව නැවත පත්කිරීමට හැකිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායකයෝ සිතා සිටියෝය.ඒකාබද්ධ විපක්ෂය මේ අතර නගන පැනය වන්නේ මහේන්ද්‍රන්ට එරෙහි චෝදනා කෝප් වාර්තාවෙන් තහවුරු වුවහොත් රජයේ ස්ථාවරය කුමක් වනු ඇතිද යන්නයි.ඔහුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක වීමක් සිදුවේද? ඔවුහු අසන්නෝය.

 

පහත දැක්වෙන්නේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා මහ බැංකු බැදුම්කර ගැටලූව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සදහන් වැදගත් කරුණු කිහිපයකි.

 

‘පළමු ඡේදයට අනුව මුල් අවස්ථාවේ වළක්වාගත හැකිව තිබූ අලාභය රුපියල් ලක්ෂ 8890 කට අධිකය.තවත් ඡේදයක දැක්වෙන පරිදි වළක්වාගත හැකිව තිබූ අලාභය රුපියල් ලක්ෂ 7840 කට අධිකය.මේ අනුව සළකන විට 2015 පෙබරවාරි 27 සිට 2016 මාර්තු 29 වැනිදා දක්වා සිදුවූ බැදුම්කර නිකුතු වලින් වළක්වාගත හැකිව තිබූ මුලූ අලාභය රුපියල් බිලියන 1.6 කට අධිකය.‘

 

මේසා අලාභයක් සිදුවීම වළක්වානොගත්තේයැයි විගණකාධිපතිවරයා චෝදනා නගා ඇත්තේ වගකිව යුතු බළධරයින්ටය.

 

‘සෘජුව බැදුම්කර නිකුත් කිරීම තාවකාලිකව තහනම් කෙරුණද 2015 පෙබරවාරි 27 වැනිදා සිට 2016 මාර්තු 29 වැනිදා දක්වා වෙනත් මාර්ග වලින් සිදුවුණු බැදුම්කර නිකුතු ද සැළකිල්ලට ගතහොත් අලාභය මෙම අගයට වඩා අතිශයින් ඉහළ අගයක් ගැනීමට පිළිවන.‘

 

අලාභය සිදුව ඇතැයි විගණකාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන කාලසීමාවේ මහ බැංකුවේ අධිපති ධූරය හෙබවූයේ අර්ජුන් මහේන්ද්‍රන්ය.ඔහු අතින් වරදක් සිදුව ඇත්දැයි සොයා බැලීමට විමර්ෂණයක් සිදුකිරීම මෙනිසා අත්‍යාවශයය.මෙතරම් මුදල් ප‍්‍රමාණයක් නාස්තිවීම පසුපස වෙනත් අයථා ගනුදෙනු හෝ අපරාධ සම්බන්ධ කටයුතු හෝ තිබේදැයි තම බලතල අනුව විමර්ෂණය කළ නොහැකි බවද විගණකාධිපතිවරයා තම වාර්තාවේ සදහන් කර ඇත.මේ අනුව සළකන විට එම කරුණු සම්බන්ධ විමර්ෂණයක් අදාළ විමර්ෂණ ආයතන මැදිහත්ව සිදුකළ යුතුවද ඇත.මේ සියල්ල හමුවේ එක්සත් ජාතික පක්ෂය සිටින්නේ ගිරයට හසුවූ පුවක් ගෙඩියක තත්ත්වයකය.අර්ජුන් මහේන්ද්‍රන්ට නැගී තිබෙන චෝදනා කෝප් වාර්තාවෙන් සනාථ වුවහොත් ඔවුනට තවදුරටත් ඔහු මහ බැංකු තනතුරට සුදුසු යැයි නම් කළ නොහැකිය.විගණකාධිපති වාර්තාවෙන් පෙන්වා දී ඇති මුදල් නාස්තියට සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමේ වගකීමද අනෙක් පසින් ඇත්තේ ඔවුනටය.

 

මහ බැංකු අධිපතිවරයකු පත්කිරීම පමා වීම සිවිල් සංවිධාන වල නොරිස්සුමටද හේතු විය.සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පසුගියදා මාධ්‍ය හමුවදී පවසා සිටියේ ඉක්මනින් තීරණයක් නොගතහොත් වහා කි‍්‍රයාත්මක වීමට තම සංවිධානයට සිදුවනු ඇති බවයි.විජේසූරිය පසුගිය මස 17 වැනිදා ජනපතිවරයා හමුවට පැමිණි සිවිල් සංවිධාන කි‍්‍රයාධරයින් හත් දෙනාගෙන් එක් අයෙකි.

 

මේ සම්බන්ධව පසුගිය සතියේ පළවූ ලිපියේ වෙනසක් සිදුවිය යුතුය.පොලිස්පතිවරයා හා කළ සාකච්ඡුාව පැමිණ සිටි අයටද ඇසෙන පරිදි ජනපතිවරයා තම දුරකතනයේ ස්පීකරය කි‍්‍රයාත්මක කළ බව එහි සදහන් වුවත් දැනගැනීමට හැකිවූ ආකාරයට ඔහු එවැන්නක් කර නොමැත.

 

‘මමයි සජින් වාස් ගුණවර්ධන ගැන ප‍්‍රශ්නය මතු කළේ.පොලිස්පතිවරයා සමග කරපු දුරකතන සංවාදයට ඔහු අපට ඇසෙන්නට සැළැස්වුයේ නැහැ.‘ පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා කීවේය.ඔහු නිවැරදිය.

 

නමුත් සජින් වාස් ගුණවර්ධනට සපයා තිබූ විශේෂ කාර්ය බලකා ආරක්ෂාව පිළිබද විමසීමට ජනපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා දුරකතනය ඔස්සේ සම්බන්ධවූ බව සත්‍යයකි.එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ එසේ ආරක්ෂාව සපයා ඇත්තේ හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාගේ ධූර කාලයේ බවය.මේ පිළිබදව ජනපති සිරිසේන, හිටපු පොලිස්පතිවරයාගෙන්ද විමසුවේය.

එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ ගුණවර්ධනට විශේෂ කාර්ය බලකා ආරක්ෂාව සැපයීමට අණ ලැබී ඇත්තේ අරලියගහ මන්දිරයෙන් බවය.රජයේ එක්තරා ඇමැතිවරයෙක් එම නියෝගය ලබාදී ඇති බවද කියැවිණ.වහාම කි‍්‍රයාත්මක වන පරිදි ගුණවර්ධනට සපයා තිබූ විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ඉවත් කිරීමට ජනපති සිරිසේන කටයුතු කළේ ඉන් පසුවය.

සජින් වාස් සහ අගක් මුලක් නැති කොන්ත‍්‍රාත්තු

පසුගිය සදුදා දින පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ටාශයේ අත්අඩංගුවට පත්වූ ගුණවර්ධන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහු මෙම මස පස්වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කැරිණ.

වාස් ගුණවර්ධන මෙවර අත්අඩංගුවට පත්වූයේ අපරාධ පරීක්ෂණ කොට්ටාශ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රවී සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් සිදුකෙරුණු දීර්ඝ විමර්ෂණයකින් පසුවය.කාර්සන් මැනේජ්මන්ට් සර්විසස් සහ ඉක්විටි ටූ පීල්සී යන සමාගම් වාස් ගුණවර්ධනට අයත් කොස්මොස් ඒවියේෂන් සහ කොස්මික් කන්ස්ට‍්‍රක්ෂන් යන සමාගම් වලට විශාල වශයෙන් මුදල් බැර කර ඇතැයි අනාවරණය වීමත් සමග මෙම විමර්ෂණය ආරම්භ විය.වාර්තා වන ආකාරයට කාර්සන් මැනේජ්මන්ට් හි අධ්‍යක්ෂක කි‍්‍රෂ්ණා සෙල්වනාදන් සහ ඉක්විටි ටූ පිල්සී අධ්‍යක්ෂක ඒ.පී.වීරතුංග පොලිස් ප‍්‍රශ්න කිරීම් වලදී තම සමාගම් වලින් ගුණවර්ධනගේ සමාගම් වලට මුදල් යැවූ බව පිළිගෙනද ඇත.

 

තමන්ට වාස් ගුණවර්ධන හමුවූයේ මිතුරු හමුවකදී බව සෙල්වනාදන් පවසා තිබේ.එහිදී ගුණවර්ධන, සෙල්වනාදන්ගේ ව්‍යාපාර කටයුතු පිළිබදව විමසා ඇත.සෙල්වනාදන් අධ්‍යක්ෂක ධූරය හොබවන ඉක්විටි පීල්සී සමාගම අංක 55 ජනාධිපති මාවතේ ගොඩනැගිලි සංකීර්ණයක් ප‍්‍රතිසංස්කරණය කරමින් සිටින බව ගුණවර්ධනට දැනගැනීමට හැකිව ඇත්තේ එම අවස්ථාවේදීය.වාර්තා වන ආකාරයට පසු අවස්ථාවක සෙල්වනාදන්ව බොරැුල්ලේ තම කාර්යාලයට කැදවා ඇති ගුණවර්ධන ඉක්විටි පීල්සී සමාගම ප‍්‍රතිසංස්කරණය කරන ගොඩනැගිල්ලේ උප කොන්ත‍්‍රාත්තුවක් තම කොස්මික් කන්ස්ට‍්‍රක්ෂන් වෙත භාරදෙන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත.මේ අවස්ථාව වන විට එම ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සම්බන්ධ උප කොන්ත‍්‍රාත්තු සියල්ල ඉක්විටි සමාගමෙන් වෙනත් සමාගම් වලට ලබාදී අවසන්ව තිබී ඇත.

එවක වාස් ගුණවර්ධන බලවත් පුද්ගලයකු වූ නිසා ඔහු සමග කළ කතාබහේදී තම ජීවිතයට තර්ජනයක් එල්ලවීමේ ඉගි පළවූ බව සෙලවනාදන් පොලිස් ප‍්‍රශ්න කිරීම් වලදී පවසා තිබෙන බව දැනගන්නට ඇත.එනිසා ඔහු කොස්මික් කොන්ස්ට‍්‍රක්ෂන් සමාගමේ ඉදිකිරීම් කටයුතු විමර්ෂණය කිරීම මැයෙන් උප කොන්ත‍්‍රාත්තුවක් ගුණවර්ධන වෙත ලබාදී ඇතැයි පැවසේ.එම කොන්ත‍්‍රාත්තුව සකස් කර ඇත්තේද වාස් ගුණවර්ධනගේ සිතැගි වලට අනුව බව සදහන්ය.ගොඩනැගිල්ලේ ප‍්‍රතිසංස්කරණ කටයුතු නිමාවූ පසු ගුණවර්ධන තම ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 100 ක් ඉල්ලා සිටි බවද, නමුත් ඔහු හෝ ඔහුගේ සමාගම කළ කිසිදු දෙයක් නොතිබූ බවද සෙල්වනාදන් පවසා ඇත.

මුදල් ගෙවන ලෙස නාදුනන පුද්ගලයින්ගෙන් තමාට තර්ජන එල්ලවූ බව සෙල්වනාදන් කියා ඇත.ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 50 බැගින් අවස්ථා දෙකකදී ස්ටෑන්ඩර්ඞ් චාටඞ් බැංකුවේ යෝරක් වීදියේ ශාඛාවට මුදල් බැර කර තිබේ.අපරාධ පරික්ෂණ කොට්ටාශයේ නිලධරයෝ එම මුදල් බැර කළ බැංකු ගිණුම් සහ බැර පත් අංක සොයාගෙන එම ගනුදෙනුව හා සම්බන්ධවූ පුද්ගලයින්ගෙන් ප‍්‍රකාශයද සටහන් කරගැනීමට සමත්ව ඇත.කොස්මික් කන්ස්ට‍්‍රක්ෂන් සමාගමේ ගණකාධිකාරී ප‍්‍රසාද් දිමුතු කුමාර ප‍්‍රකාශයක් ලබාදී සමාගමේ ගිණුම් පොත් විමර්ෂණ කටයුතු සදහා භාරදී ඇතත් මෙවැනි ගනුදෙනුවක් සිදුවූ බවට සදහනක් ඒවායේ නොමැති බව එම නිලධරයෝ පවසන්නෝය.ගනුදෙනුව පිළිබද තොරතුරු යටගසා ඇතැයි ඔවුන්ගේ අදහසයි.

 

තම සමාගම යටතේ කි‍්‍රයාත්මක වන හෝටල් වලට සංචාරකයින් ප‍්‍රවාහනය කිරීම සදහා කොස්මොස් ඒවියේෂන් සමාගමෙන් හෙලිකොප්ටර යානා කුලියට ගන්නා ලෙස තවත් අවස්ථාවක වාස් ගුණවර්ධන බලකළ බවද සෙල්වනාදන් අනාවරණය කර ඇත.කොස්මොස් ඒවියේෂන් යනු වාස් ගුණවර්ධනට හිමි තවත් සමාගමකි.හෝටල වල සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන්නේ නැති බවත් එනිසා හෙලිකොප්ටර ප‍්‍රවාහන සේවයක් අවශ්‍ය නොවන බවත් සෙල්වනාදන් එම අවස්ථාවේ කියා ඇත.වාර්තා වන ආකාරයට එහිදිී සෙල්වනාදන්ට තර්ජනය කර ඇති ගුණවර්ධන මාස පහක කාලයකට හෙලිකොප්ටර යානාවක් කුලියට ගැනීමට ඔහුව බලහත්කාරයෙන් එකග කරවාගෙන තිබේ.ජීවිතයට හානියක් වේයැයි බියෙන් තමා ඊට එකගවූ බවත් ඒ අනුව හෙලිකොප්ටර යානය ලබාගැනීමට ගිවිසුම් අත්සන් කළ දිනයේ ගුණවර්ධන තමාගෙන් රුපියල් ලක්ෂ 200 ක මුදලක් ඉල්ලා සිටි බවත් සෙල්වනාදන් වැඩිදුරටත් පවසා තිබේ.

ස්ටෑන්ඩර්ඞ් චාටඞ් බැංකුවේ කොළඹ කොටුව ශාඛාවෙන් ජාතික සංවර්ධන බැංකුවේ කොස්මොස් ඒවියේෂන් නම් බැංකු ගිණුමට මෙම මුදල් යවා ඇති බව අනාවරණයව තිබේ.ගෙවීම් සිදුකළදසෙල්වනාදන්ගේ ප‍්‍රකාශයේ සදහන් අන්දමට  මේ දක්වාම ගුණවර්ධනගේ සමාගම ඔහුට හෙලිකොප්ටරයක් ලබාදී නොමැත.මුදල් ගෙවීමක් සිදුව ඇති බව සනාථ කෙරෙන සාක්කි තිබුණද ඒ සම්බන්ධ කිසිදු සදහනක් කොස්මොස් ඒවියේෂන් ගිණුම් වාර්තා වල නොමැත.මෙම ගනුදෙනුවද යටගසා ඇතැයි අපරාධ පරික්ෂණ කොට්ටාශ නිලධරයින්ගේ මතයයි.

අපරාධ පරික්ෂණ කොට්ටාශ විමර්ෂණ වලට අනුව පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයකු ලෙස පත්වීමෙන් පසු වාස් ගුණවර්ධන 2010 පෙබරවාරි මස 19 වැනිදා කොස්මොස් ඒවියේෂන් අධ්‍යක්ෂක ධූරයෙන් ඉල්ලා අස්වී ඇතත් එම සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂක ලෙස දිගටම කටයුතු කර තිබේ.2010 - 2011ල 2012 - 2013ල 2013 - 2014ල ඔහු ලබාදී ඇති වත්කම් වාර්තා වලට අනුව ගුණවර්ධනගේ මාසික ආදායම පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයකු ලෙස ලබන වැටුප සහ රුපියල් ලක්ෂ 3 ක තවත් මුදලකි.මෙය ඔහු 2015 මාර්තු 16 වැනිදා සහ නැවත 2015 මාර්තු 19 වැනිදා පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ටාශයට ලබාදී ඇති ප‍්‍රකාශ වලින් සනාථ කර ඇත.එසේ වුවත් විමර්ෂණ වලින් අනාවරණයව ඇත්තේ ගුණවර්ධන රුපියල් ලක්ෂ 6100 කට ආසන්න මුලූ වටිනාකමකින් යුත් බැංකු ගිණුම් 15 ක් පවත්වාගෙන ගොස් ඇති බවය.මෙය ඔහුගේ සමාගම් ගණකාධිකාරී දිමුතු කුමාර සහ සහයක ගණකාධිකාරිණිය රම්‍යා කුමාරි යන දෙදෙන සහතික කර ඇත.

 

නමුත් මෙම ගිණුම් ගැන කිසිදු සදහනක් ගුණවර්ධන ලබාදී ඇති වත්කම් ප‍්‍රකාශයේ නොමැත.2009 ජනවාරි 12 සිට 2014 දෙසැම්බර් 19 වැනිදා දක්වා කාලයේ රුපියල් ලක්ෂ 1560 කට ආසන්න මුදලක් මෙම බැංකු ගිණුම් වලින් ගුණවර්ධන ලබාගෙන තිබෙන බවද අනාවරණයව ඇත.එම බැංකු ගිණුම් අයත් බැංකුවල කලමණාකරුවන් පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ටාශයට පැමිණ ලබාදුන් ප‍්‍රකාශ සහ බැරපත් හා ලදුපත් ඇතුලූ වෙනත් ලේඛණ වලින් මේ බව සනාථව තිබේ.වාස් ගුණවර්ධන උපයාගෙන ඇති බව කියන තවත් රුපියල් ලක්ෂ 1440 ක මුදලක් සම්බන්ධවද පසුගියදා තවත් විමර්ෂණයක් ආරම්භ විය.

සජින් වාස් ගුණවර්ධනට නැගී තිබෙන චෝදනා තවමත් සනාථව නොමැත.මෙනිසා නීතිය ඉදිරියේ ඔහු නිවැරදිකරුවෙකි.නමුත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ වාස් ගුණවර්ධන ඉතාම ප‍්‍රබල පුද්ගලයකු විය.තම අත්සනින් යුත් කොළ කැබැල්ලකින් මහ බැංකුවේ මුදල් මහජන සබදතා ප‍්‍රවර්ධනය කිරීම සම්බන්ධ ඇමරිකා සමාගමකට මුදල් යැවීමට පවා ඔහුට හැකිවිය.

වත්මන් රජය යටතේ පත්වූ නව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දිගින් දිගටම එම ධූරයේ රැුදී සිටීමට උත්සාහ කළේය.එනිසා ඔහු බොහෝ දෙනෙකුගේ උදහසට ලක්විය.නමුත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සහය තවමත් ඔහුට හිමිය.

කුමන හෝ හේතුවක් නිසා වාස් ගුණවර්ධනට මෙම රජය යටතේද හිමිවූයේ රජ සැළකිලිය.ආරක්ෂාවට විශේෂ කාර්ය බලකා භටයෝ පවා ඔහුට අනුයුක්ත කර තිබිණ.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ගාල්ල මැයි රැුලියේ වේදිකාවේ ඔහුටද අසුනක් හිමිවිය.මෙනිසා රාජ්‍ය විමර්ෂණ ආයතනයන්ද, කුමන චෝදනා නැගී තිබුණද, ඔහුගෙන් ඈතටවී සිටියේය.

තත්ත්වය වෙනස් කිරීමට සිවිල් සංවිධාන වලට මැදිහත් වීමට සිදුවිය.දැන් ඉතාම සීඝ‍්‍රයෙන් විමර්ෂණ කටයුතු සිදුවෙමින් පවතී.නමුත් එම සංවිධාන තවත් වංචනිකයින් හා දූෂිතයින් වත්මන් රජයේ හිතවතුන්ගේ සෙවණ යටතේ සැපසේ සිටින බව නොදන්නවා විය හැක.

රජය කෙරෙහි මහජන අප‍්‍රසාදය මෙවන් විමර්ෂණ කටයුතු වලින් යම්තාක් දුරකට අවම කර ගැනීමට හැකියාව තිබෙන බව සදහන් කළ යුතුය.නමුත් ගෙවුණු සතියේ පමණක් රජයට එරෙහිව සංවිධානය කර තිබූ විරෝධතා ප‍්‍රමාණය 56 ක් විය.ඒවා සංවිධානය කර තිබුණේද විවිධ හේතු මතය.මෙයින් ලැබෙන පණිවිඩය රජය තේරුම්ගත යුතුය.



අදහස් (0)

‘රජය ජනතා පණිවිඩය තේරුම් ගත යුතුයි‘

විපුල Monday, 04 July 2016 02:49 AM

කෙනෙක් පත්කරනකොට මීටවඩා බලන්න ඕනෑ. අවුරුදු එක හමාරක්ම තව තවත් රට ණයවෙන්න ඉඩ හැරියා (නි)

:       0       0

ටුආන් Monday, 04 July 2016 04:43 AM

ජනතාව නම් දැන් හොඳින් තේරුම්ගෙනයි ඉන්නේ (නි)

:       0       0

ජයන්ත Monday, 04 July 2016 06:06 AM

පිස්සුද ටුආන් ? ජනතාවගේ තේරුම් ගැනීම ඊළඟ ඡන්දයේදී ඔබට බලාගන්න පුළුවන් වේවි (නි)

:       0       0

තාබෘෘ සිල්වා Sunday, 03 July 2016 12:15 PM

මේ හේතුත් ඇති බලය ලබාගන්න කුමන්ත්‍රණය කරන උදවියට රජයේ වැරදි තිබෙනවානම් කතා කළ යුත්තේ පාර්ලිමේන්තුවේ මිස පන්සල් වල නොවේ (බ)

:       0       0

ශ්‍රීලාල් Sunday, 03 July 2016 03:54 PM

තාබෘෘ සිල්වා, සිවිල් සංවිධානත් පාර්ලිමේන්තුවේ වෙන්න ඇති නේද කතාකරන්නේ? (නි)

:       0       0

වින්සන්ට් Sunday, 03 July 2016 06:25 PM

ඒකාබද්ධ විපක්ෂය කියාගන්නා පිරිස අර්ජුන් මහේන්ද්‍රන් මහතාට විරෝධතා ගෙන ගියත්, සජින් වාස් ගුණවර්ධන මහතා වැනි අයට නිහඬ කුමක් නිසාද යන්න අපට තේරුම්ගත නොහැකිය. ඒ වගේම රජයේ පිරිසක්ද අර්ජුන් මහේන්ද්‍රන් මහතා ආරක්ෂා කිරීමේ උත්සාහයක්ද නිතරම පෙනෙන්නට ඇත. මෙවැනි තත්ත්වයකදී රටත් ජනතාවත් වෙනුවෙන් අපේ විශ්වාසය වර්තමාන ජනාධිපතිතුමා ගැන පමණි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 6 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 0 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 196 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 387 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 232 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 554 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38905 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site